Home » විශේෂාංග » විනය රැකීමේ මුලස්‌ථානය දේශපාලනයයි

විනය රැකීමේ මුලස්‌ථානය දේශපාලනයයි

විනය රැකීමේ මුලස්‌ථානය දේශපාලනයයි

අද අප රටේ සෑම ක්‍ෂේත්‍රයකම පැතිරී ගිය අපැහැදිලිභාවයක්‌ දක්‌නට හැකිය. ඒ නිසාම රටෙහි හෙට දවස වඩාත් අභියෝගයට ලක්‌ව ඇති බව පෙනෙයි. මේ අභියෝගයට මුහුණ දීමට නම් පැහැදිලි භාවය ඇති කර ගැනීම අත්‍යවශ්‍ය කාරණයකි. සමාජයේ විවිධ අංශවල දක්‌නට ලැබෙන මෙම අපැහැදිලිභාවය හා අවුල් සහගතභාවය ඉවත් කොට නිරවුල් හා නිවැරැදි මාවතකට සමාජය අවතීර්ණ කර ගැනීමට ඇති එකම මඟ බුද්ධ දර්ශනයයි. ඒ අරමුණ ඇතිව සමාජයේ ප්‍රශ්න බුදුදහම තුළින් බලා පැහැදිලිභාවය ඇතිකර ගැනීමට දරණ උත්සාහයකි මේ. රත්මලාන ධර්ම පර්යේෂණාලයේ අධ්‍යක්‍ෂ හෑගොඩ විපස්‌සි හිමියන් සමඟ දිවයින ආරම්භක කර්තෘ එඩ්මන්ඩ් රණසිංහ මහතා සහ සන්නස අන්තර්ජාල පුවත්පතේ දිස්‌නා බණ්‌ඩාර පවත්වන සාකච්ඡා මාලාවක පළමු කොටසයි මේ. මෙම ලිපිය www.sannasa.org වෙබ් අඩවියට පිවිසීමෙන් ද කියවිය හැකිය.

එඩ්මන්ඩ් රණසිංහ – හාමුදුරුවනේ අපි මේ සාකච්ඡාව පටන් ගත්තේ සමාජයේ යහපැවැත්මට බුදු දහමින් අපට ලබාගන්නට පුළුවන් ආභාෂය පිළිබඳ සාකච්ඡා කරන්න. දැන් අප මේ මුහුණ දෙන අවුල් සහගත තත්ත්වය මගහරවා ගන්න පැහැදිලි බව ඕනෑ කියල අපි කිව්වා. ඔබ වහන්සේ පැහැදිලි කළා මේ තත්ත්වයට විවෘත භාවය අත්‍යවශ්‍ය බව. පැහැදිලි බව තහවුරු වෙන්න විනය කොච්චර දුරට බුදු දහමෙන් පෙන්නල දීල තියෙනවද? සමාජයේ ඉන්න අයට සැකෙන් බියෙන් තොරව ජීවිතයක්‌ ගත කිරීමට හැකි තත්ත්වය ඇතිකරන්න පුළුවන් බුදුදහමෙන්. මේ පෙන්නල දීල තියෙන විනය කරුණු අනුව මගේ විශ්වාසය ඒක.

විපස්‌සි හිමි – බුදුහාමුදුරුවෝ දේශනා කළ දහම තුළටත් විනයක්‌ අවශ්‍ය නම් සමස්‌ත සමාජයේ තියෙන විවිධ ක්‍ෂෙත්‍රයන්ට විනයක අවශ්‍යතාව දැඩිසේ පේනවා. අවුරුදු 20 ක්‌ යනකම් විනය නීතියක්‌ විනය ප්‍රඥප්තියක්‌ බුදුහාමුදුරුවෝ පැනෙව්වේ නෑ. එතෙක්‌ බුදුදහම වැළඳගෙන ක්‍රියාකරපු අය විශේෂයෙන් මහා සංඝරත්නයේ ඒකායන පරමාර්ථය වුණේම නිර්වාණය සාක්‌ෂාත් කිරීම. මේ ක්‍රියාමාර්ගය තුළදී ඒ නිවනට පටහැනි දේවල් සිදු වුණේ නෑ. නමුත් ටික ටික බුදුහාමුදුරුවන්ගේ දහම ව්‍යාප්ත වන විට විවිධ කණ්‌ඩායම්, විවිධ බලවේගයන් මේ ශාසනයේ පැවිදි භාවයට පත්වුණා. ඒත් එක්‌කම විවිධ විවිධ දේවල් ගොඩනැගුණා. බුදුදහමේ මූලිකම දේවල් වලට පටහැනි විදියට යම් යම් සිද්ධීන් සිද්ධ වුණා. ඒක පාලනය කරගන්න යම්කිසි නීතියක්‌ අවශ්‍ය වුණා. මේ නීතිය තමයි විනය ප්‍රඥප්තිය කියන්නේ. පාරාජිකා පාලියේ වේරංජ පාඨයේදී විනය ප්‍රඥප්තීන් පැනවීමට හේතු දහයක්‌ දක්‌වා තිබෙනවා. ඒ හේතු දහය තුළ විනය පැනවීමේ හේතුවත් විනය ශික්‌ෂාපද පැනවීම හේතුවෙන් බලාපොරොත්තු වන දෙයත් පැහැදිලි වෙනවා. සංඝ සුත්තුතාය, භික්‌ෂූන් වහන්සේගේ යහපත් පැවැත්ම සඳහා, සංඝ පාසුතාය, සංඝයාගේ පහසුව පිණිස, බුම්මලානං පුග්ගලානං නිග්ගහාය, නොහික්‌මුණු නැතහොත් වරදට නැමුණු මනස්‌ ඇති භික්‌ෂූන්ට නිග්‍රහ කිරීම පිණිස, පේසලානම් භික්‌කුනම් ථාසුවිහාරාය, හික්‌මුණු දැමුණු දැහැමි භික්‌ෂුන් වහන්සේලාගේ පහසු විහරණයට, දිට්‌ඨ දම්මිකානම් ආසවානම් සංවරාය, උපන් කෙලෙස්‌ නැතිකරන්න. සම්පරායිකානම් ආසවනම්, නූපන් ආශ්‍රවයන්ගේ ඇති නොවීම පිණිස, අප්පසන්නානම් පසාදාය, නොපැහැදුනු අයගේ පැහැදීම පිණිස පසන්නානම් ගිහියෝඛාවාය, පැහැදුනු අයගේ වඩාත් පැහැදීම සඳහා සද්ධම්මතිතියා, සද්ධර්මයේ පැවැත්ම සඳහා විනයානුග්ගහාය, යහපත් චර්යාවට පහසු කරුණු පිණිස.

මේ දස වැදෑරුම් කරුණුවලින් සමස්‌ථ සමාජයේ සියල්ලක්‌ම නියෝජනය වනවා. මේක භික්‌ෂු සමාජයට පමණක්‌ නොවෙයි අපේ බාහිර සමාජයට පවා මේ කරුණු යම්කිසි නීතියක්‌ පනවන්න හේතු වෙනවා. ඒකට මූල සාධකයක්‌ වෙනවා. ඉතිං විනය දේශනා කිරීමේ අරමුණ වුණේ මෙන්න මේ හේතු නිසා. සැරියුත් මහරහතන් වහන්සේ බුදුහාමුදුරුවන්ගෙන් ඉල්ලීමක්‌ කළා ස්‌වාමීනි මේ ශාසනයේ තිර පැවැත්ම සඳහා විනය නීති පනවන්න කියලා. බුදුහාමුදුරුවෝ දේශනා කළා සාරිපුත්‍රය මම ඊට සුදුසු කල් දන්නවා. යම්කිසි අවස්‌ථාවක ආසවට්‌ඨානීය ධර්ම පහළ වුණොත් අන්න ඒ අවස්‌ථාවේදී මම විනය නීති පනවනවා. ඇත්තවශයෙන් මෙතනදී පැහැදිලි වන්නේ අතීතයට බලපාන පරිදි නීති පැනවිය නොහැකි බවයි. ඒ නීතිය පැනෙව්වාට පස්‌සේ එතැන් පටන් ඇතිවන දේවල් ඒ නීතියට ග්‍රහණය කර ගන්න පුළුවන් දැන් ආසවට්‌ඨානීය ධර්මය කීවේ භික්‌ෂූන් වහන්සේලා රත්තCඳ්Cඳු මහත්තතා, චිර කාලයක්‌ ජීවත්වීම. මේරත්තCඳ්Cඳු මහත්තතා කියන දේ පිළිබඳ ධර්මානුකූලව බැලුවොත් සියුම් ආකාරයේ විග්‍රහයක්‌ තියෙනවා. ගොරෝසු විග්‍රහයක්‌ ගත්තොත් ඕනෑම ආයතනයක චිරාත් කාලයක්‌ යම්කිසි කෙනෙක්‌ රැඳිල ඉන්නවනම් එතන ගැටලුවක්‌ තියෙනවා. ඒක ආසවට්‌ඨානීය ධර්මයක්‌. ඒ වගේම වේපුල්ල මහත්තතා, ඒ කියන්නේ විපුලත්වයට පත්වීම. විවිධ ආකාරයෙන් භික්‌ෂූන් වහන්සේලා අතර විපුලත්වයට පත්වීම නිසා යම් යම් ගැටලු ඇතිවෙනවා. මොකද ඒ ගොල්ලේ ටික කාලයක්‌ ඉන්නකොට හිතනවා අපි තමයි මේකේ නිසි බලධරයො කියලා. ඒ නිසා තමන්ට ඕන ඕන දේවල් කරන්න පුළුවන්. ඒ වගේම ලාභග්ග මහත්තතා, ලෝකයේ දුක සංකා වැඩිවෙන්න වැඩිවෙන්න ගැටුම් ඇතිවෙනවා. බුදුන් වහන්සේ භික්‌ෂූන් වහන්සේලාට දේශනා කළා මේ දේවල් පිළිගන්න එපා කියලා. බාහුසච්ච මහත්තතා, බහුශ්‍රැතභාවය, මෙතෙන්දි අදහස්‌ කරන්නේ විවිධ විෂය ක්‍ෂේත්‍රයන් පිළිබඳ පැතිරෙන ඥන ස්‌වභාවයක්‌ තියෙනවනම් ඒ සංකල්ප ඔස්‌සේ මේ අපේ තියෙන මූලධර්මයන් විග්‍රහ කිරීමට උත්සාහ කරනවා. මේකත් පරිහානියට හේතුවක්‌. තමන්ට ආවේනික ක්‍ෂේත්‍රය තුළ ජීවත්වෙන්න ඕන. ඒ නිසා මෙන්න මේ කියන ආසවට්‌ඨානි ධර්මයන් සංඝරත්නයේ යම්කිසි දවසක පහළ වුණොත් අන්න එදාට මේ නීති පනවනවා කියලා බුදුහාමුදුරුවෝ දේශනා කළා.

එඩ්මන්ඩ් රණසිංහ – දැන් ඔබවහන්සේ පෙන්වාදුන් කරුණු අනුව බලන විට විනය භික්‌ෂු සමාජයට විතරක්‌ නෙමෙයි, මුළු සමාජයටම වලංගුයි, යුක්‌තිසහගතයි, සාධාරණයි කියන දේ මෙතෙන්දි පැහැදිලිව පෙන්නුම් කරනවා.

විපස්‌සි හිමි – විනය කියන්නේ රාමුවක්‌ කියල අපි කලිනුත් සඳහන් කළානේ. හැබැයි විනය පරමාර්ථ සත්‍යයක්‌ නොවෙයි. විනය කියන්නේ සම්මුතියක්‌. සමාජයක චිර පැවැත්ම යහපත් පැවැත්ම සඳහා පනවාගන්නා ලද රෙගුලාසි මාලාවක්‌ විනය කියන්නේ. හැබැයි මුල් බුදුසමය හැඳින්වෙන්නේ ධම්ම විනය කියන දෙයින්. මේ කෙසේ වෙතත් බුදුහාමුදුරුවෝ දේශනා කළ දහම් විනය ආරක්‌ෂා කර ගන්නට පළවෙනි සංගායනාවේදී මහ රහතන් වහන්සේලා හොඳ තීරණයක්‌ ගත්තා. ඒ තීන්දුව තමයි විනයෝනාම සාසනස්‌ස ආයු, විනය නම් ශාසනයාගේ ආයුෂ යෑයි පැවසුවා. යම්තාක්‌ දුරට විනය රැකෙනවද ඒ තාක්‌ දුරට ශාසනය රැකෙනවා.

එඩ්මන්ඩ් රණසිංහ – විනය නැති දාක බුදුදහමත් නෑ. ඒ දේශනාව අද බුදුදහමට පමණක්‌ නොවේ. ගිහි ජීවිතයට, සමාජයට, දේශපාලනයට, ආර්ථික කටයුතුවලට පාවිච්චි කරන්න පුළුවන්. ඒ බවක්‌ ඇති කරගන්න අවස්‌ථාව තියෙනවා කියල මගේ විශ්වාසය.ඒක මං හිතන්නේ සංඝ සංස්‌ථාවට තියෙන කාර්ය භාරයක්‌. විනයක්‌ සමාජයේ තියෙනවා නම් ඒ සමාජය යහපැවැත්මෙන් පවතිනවා. විනය ගැන කතා කරනකොට අපි වැඩිපුරම කියන්නේ ආගමික ජීවිතය ගැන. නමුත් අපි ඒක ගෙනියන්න ඕන සමාජයට.

විපස්‌සි හිමි – ඒක ඇත්ත. ඇත්තටම මේ බෞද්ධ මූලධර්ම සමාජගත කරන්න ඕන. රණසිංහ මහත්තයා පැහැදිලි කරන විදියට සමාජයේ මේ ගැටුම්කාරී තත්ත්වයන් ගොඩනැගිල තියෙන්නේ විනය පිරිහීම නිසා. හැබැයි සියයට සීයක්‌ විනය ආරක්‌ෂා කරන්න බෑ. නමුත් අවම ප්‍රමාණයෙන් හරි රැකුණොත් ඒ සමස්‌ථ සමාජය යහපත් කරන්න පුළුවන්. උදාහරණයක්‌ විදියට ගත්තොත් රාජ්‍ය ආයතනයක්‌ නම් ඒ රාජ්‍ය ආයතනය තුළ තියෙනවා නීති මාලාවක්‌. විනයක්‌ තියෙනවා. ඒ විනය අනුව කටයුතු කරනවා නම් පරිපාලනය ගෙනියන්න ලේසියි. කවුරු ආවත් පරිපාලනය ගෙනියන්න ලේසියි. ආයතනික සංග්‍රහයට පටහැනිව තමයි අපි කටයුතු කරන්නේ. ඒ කටයුතු කරන්නේ ඇයි? අපේ තියෙනවා ගුප්තමය අදහස්‌ සමුදායක්‌. ඒ ගුප්තමය සැඟවුන අදහස්‌ මුදුන්පමුණුවා ගන්න තමයි අපි මේ සියලුම බලමුළු කම් ගොඩනගා ගන්නේ. ඒ නිසා පැහැදිලි බවක්‌ නෑ මෙතන. පැහැදිලි බව නැති නිසා තමයි මේ තරම් විනය පිරිහිලා තියෙන්නේ. අද විනය ආරක්‌ෂා කරන්න ඕනැයි කියන පොලිසියේ විනය කොහොමද? පොලිසියේ විනයත් බිඳවැටිල තියෙන්නේ. පාසල් විනය කොහොමද? බිඳ වැටිල තියෙන්නේ. විශ්වවිද්‍යාල පද්ධතිය ගත්තත් විනය බිඳ වැටිල. මේ හැම තැනම දැන් විනය බිඳ වැටිල.

එඩ්මන්ඩ් රණසිංහ – දේශපාලන ව්‍යqහය තුළත් ඒකම ඇතිවෙලා තියෙනවා.

විපස්‌සි හිමි – විනය රැකීමේ මූලස්‌ථානය දේශපාලනය. දේශපාලනය සෑමකෙනකුටම බලපාන දෙයක්‌. සුනඛයන්ටත් අදාළයි දේශපාලනය. වැරදිලා හරි පාන් ගෙඩියේ මිල වැඩිවුණොත් පාන් ගෙඩියක්‌ කන සුනඛයෙකුට දෙන්න වෙන්නේ පාන් භාගයයි. මේ දේශපාලන ක්‍රියාවලිය සමස්‌ථ සමාජයටම බලපානවා.ගහකොල වලට පවා බලපානවා. බුදුහාමුදුරුවෝ දේශනා කළේ පාලකයා ගහකොල ආරක්‌ෂා කරන්න ඕන කියලා. සතා සිවුපාවා ආරක්‌ෂා කරන්න ඕන. ඉතින් විනයනේ මේ හැම තැනම යන්නේ. ඉතිං විනය එතනින් රැකෙන්න ඕන. රැකිය යුතු තැන රැකුණොත් සමස්‌ත සමාජයේම රැකෙනවා.

දිස්‌නා බණ්‌ඩාර – හාමුදුරුවනේ අපිට පේන දෙයක්‌ තමයි මේ සමාජය තුළට අද අළුත් අළුත් සංකල්ප ඇතිවෙලා තියෙනවා. උදාහරණයක්‌ විදියට ජනප්‍රිය සංස්‌කෘතිය. ඒ වගේ සංස්‌කෘතීන් ඇතුලේ විනය කියන දේ තේරුම්ගන්නේ කොටුවීමක්‌ විදියට. ඒ කියන්නේ ඔබවහන්සේ කිව්වා විනය කියන්නේ රාමුවක්‌ කියලා. එතකොට අපි දකිනවා. ගොඩක්‌ අය හිතන්නේ විනය රකිනවා කියන්නේ යම් රාමුවකට කොටුවීමක්‌ කියලා. අද වෙනකොට බහුතරයක්‌ දෙනා එහෙම හිතන්න පුරුදු වෙලා තියෙනවා. එතකොට හාමුදුරුවනේ ලොකු අභියෝගයක්‌ වෙනවා නේද මේ වගේ හිතන සමාජයකට මේ තත්ත්වය ඇති කරන්න.

විපස්‌සි හිමි – ඔව් ඇත්ත වශයෙන්ම විනය කියන්නේ රාමුවක්‌ තමයි. රාමුවක්‌ තුළ අපට ඕන දෙයක්‌ කරන්න පුළුවන්. හැබැයි රාමුව කඩන්න බෑ.

දිස්‌නා බණ්‌ඩාර – ඒත් හාමුදුරුවනේ දැන් ගොඩක්‌ වෙලාවට තියෙන අදහසක්‌ තමයි තරුණ පරම්පරාව ඇතුළේ මේ රාමුව බිඳගෙන ඉදිරියට යන්න ඕන කියලා. අපි දකිනව සමහර චිත්‍රපට, නවකතා ඒ වගේ දේවලින් මේ රාමුව බිඳින්න ඕන. ඇයි අපි මේ කොටුවෙලා ඉන්නේ.

විපස්‌සි හිමි – මේ රාමුව හැදිල තියෙන්නේ සමාජයේ යහපත් පැවැත්මටනේ. යහපත් පැවැත්මට අවශ්‍ය කරන දේවල් ඇයි අපි කඩා බිඳ දමන්නේ. අනෙක්‌ පැත්තෙන් දැන් අපි කියමුකො මේ රාමුව ඉක්‌මවා යන්න ඕන කියලා කණ්‌ඩායමක්‌ කියනවා කියලා. ඒ ගොල්ලෝ ඉක්‌මවා යන්න හදන්නේ කොහොමද? ඒ ගොල්ලෝ ඉක්‌මවා යන්න හදන්නේ සම්මතය බිඳදාලා. ඕනෑම නිර්මාණයක්‌ කරන්න පුළුවන් ඒකට සීමා පනවන්නේ නෑ බුදුදහම. හැබැයි ඒ නිර්මාණය කිරීම තුළින් බලන්න ඕන. මේ නිර්මාණය කිරීමෙන් මට හොඳද? අනුන්ට හොඳද? සමාජයට හොඳද? සමහරවිට ඒකපාර්ශ්වික වශයෙන් ගතහොත් මේ නිර්මාණය මට හොඳයි. ආදායමක්‌ ලැබෙයි. මම ජනප්‍රිය වෙයි. විවිධ විවිධ පරමාර්ථ. ඒත් සමස්‌ථ සමාජයට හානියක්‌ වෙනව නම් ඒක වැරදි ක්‍රියාවක්‌. ඒනිසා අපි හැමවෙලාවකම සමබරව හිතන්න ඕන. මේ රාමුව තුළ අපට ඕනෑම නිර්මාණයක්‌ කරන්න පුළුවන්. හැබැයි රාමුවට හානියක්‌ නොවන විදියට. නවකතා ලියන අය වේවා, චිත්‍රපට නිෂ්පාදනය කරන අය වේවා, නාට්‍ය රචනා කරන අය වේවා, මේ සම්මතයනෙ බිඳදාන්නේ. ලැඡ්ජ භයනෙ බිඳ දාන්නේ. බුදුහාමුදුරුවෝ දේශනා කලා ලැඡ්ජා භය තමයි අපි ආරක්‌ෂා කරන්නේ. ලැඡ්ජාවෙන්න ඕන වැරදි දේවල් කරන්න. මේ වැරදි දේවල් මොනවද?

අම්මා කියන්නේ කාන්තාවක්‌. ඉතිං දරුවට අම්ම කාන්තාවක්‌ වශයෙන් මේ සමාජය ඉදිරිපත් කරන්න ගියොත් මොකද වෙන්නේ. අම්ම කියන්නේ භෞතිකමය වශයෙන් ගත්තොත් අමුතු කෙනෙක්‌ නෙමෙයි. එයා ගැහැණියක්‌. දරුව ඉන්න ඕන මගේ අම්ම කියන සීමාව තුළ. මේ සම්මතය බිඳ දානවා කියන්නේ අම්ම කියන සීමාව බිඳ දාලා මෙයා කාන්තාවක්‌ විතරයි. පිsරිමියෙකුට විරුද්ධ කෙනෙක්‌ විතරයි. තාත්තා කියන්නේ ගැහැණියකට විරුද්ධ කෙනෙක්‌ විතරයි. මෙන්න මේකයි සම්මතය බිඳිනවා කියන්නේ. එහෙනම් තිරිසන් ගත සමාජයකටනේ අපි යන්නේ. සම්මතය බිඳිනවා කියන්නේ තිරිසන්ගත සමාජයක්‌. අපට නිර්මාණ කරන්න පුළුවන් සම්මතය තුළ ඉඳගෙන. බුදුහාමුදුරුවෝ දේශනා කළා සුඛකමානි පූතානි, සත්ත්වයා සැප කැමතියි. ඇස්‌, කන්, නාසා ආදී ඉන්ද්‍රියන් පිනවන්න කැමතියි. හැමෝම කැමතියි. ඒත් මට ඕන විදියට පිනවන්න බෑනේ. බලන්න එපෑ සමස්‌ත සමාජයට වන හානිය. ඉතිං එහෙමනම් මේ කරන ඒවා විප්ලව නෙමෙයි. උමතු ක්‍රියා, දැන් බලන්න අපේ මේ පෙරදිග සංස්‌කෘතිය මේ වගේ බිඳ වැටෙනකොට බටහිර සංස්‌කෘතිය සීමා හදාගෙන යනවා. මම හිතන්නේ රණසිංහ මහත්තයා ඒ පිළිබඳ හොඳට දන්නවා.

එඩ්මන්ඩ් රණසිංහ – එතකොට හාමුදුරුවනේ සමාජය තුළ මේ විදියේ චින්තන සංස්‌කෘතියක්‌ හදනවානම් ඒ බව පාලකයන්ට පෙන්වල දෙන්න පුළුවන් හොඳම සංස්‌ථාව තමයි භික්‌ෂු සංස්‌ථාව. ඔබවහන්සේ කලින් කිව්වා වගේ බුද්ධ ධර්මය මත පදනම් වෙලා බුද්ධ ධර්මය අනුව මෙන්න මේ විදියටයි. පාලකයෝ සිටිය යුත්තේ කියලා හරි වැරැද්ද කියල දෙන්න අර සංඝ සංස්‌ථාවට සෑම සුදුසුකමක්‌ම තියෙනවා. මං හිතන්නේ ඒ සුදුසුකම ඒ සංස්‌ථාව ලබාගත යුතුය. ඒ සුදුසුකම ලබාගත්තාට පසු සමාජයේ තියෙන හැම කොටසක්‌ම සංස්‌ථාව කෙරෙහි විශ්වාසයක්‌ ඇතිකර ගන්නවා. ඒ විශ්වාසය ඇතිවුණාට පස්‌සේ සංඝ සංවිධානයට ලැබෙනවා විශාල බලයක්‌. ඒක අද ඊයේ වෙච්ච දෙයක්‌ නෙමෙයි. ඉතිහාසයේම තියෙනවා. සංඝ සංවිධානයට පුළුවන් වෙනවා පාලකයන්ට කියන්න ඔය කරන වැඩේ හරිනෑ. පොදුවේ ගත්තහම මුළු සමාජයටම හානියක්‌ වෙන්නේ. එතකොට පුළුවන් සංඝ සංවිධානයට මේ රට යහපාලනයක්‌ වෙත යොමුකරන්න. බුද්ධ ධර්මය පදනම් කරගෙන දැන් අද තියෙන තත්ත්වය හැටියට ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාව තියෙනවා. අධිකරණය තියෙනවා. පොලිසිය තියෙනවා. ඔය හැමදෙයක්‌ම තිබිලත් වැඩිදෙනාගේ යහපතට හේතුවිය යුතු දේවල් වැඩිදෙනාගේ යහපතට හේතු නොවන අන්දමට ක්‍රියාත්මක වෙනවා. ඒක පෙන්නල දෙන්න සංඝ සංවිධානය සූදානම් විය යුතුයි. ඒ කාර්යභාරය ඉටුකරන්නට ඕනැයි කියලා අවබෝධයක්‌ ඇතුව. එතකොට සංඝ සංවිධානය ස්‌වාධීන විය යුතුයි. එතකොට සංඝ සංවිධානයට බලයක්‌ එපෑ. බලය ලබාගන්න ආකාරය බුදුදහමෙන් පැහැදිලිව කියලදීල තියෙනව කියලයි මං හිතන්නේ.

විපස්‌සි හිමි – සංඝ සංවිධානයේ බලයම තමයි ස්‌වාධීනත්වය. භික්‌ෂූන් වහන්සේට බුදුහාමුදුරුවෝ දේශනා කළේ ධර්මානුකූලව ධර්ම විනය ප්‍රතිපත්තිය තුළ ජීවත් වන්න. රාජානං අනුවත්තේතුං, රජතුමාට අනුවර්තනය වන්න. හැබැයි රජතුමා කියන සියලුම දේ අනුමත නොකර, මේ බුදුදහමත් එක්‌ක ගොඩනැගිච්ච පදනම තුළ හැම අවස්‌ථාවකදීම රාජ්‍ය පාලකයා භික්‌ෂූන් වහන්සේලාගේ අවවාද අනුශාසනා පරිදි තමයි රජය කළේ. හැබැයි එදා භික්‌ෂූන් වහන්සේලා ඉතාම ස්‌වාධීනව සිට අවවාද අනුශාසනා කළා. තමන් තනි තනි තීන්දු දුන්නේ නැහැ. රජතුමා නිරන්තරයෙන්ම සංඝරත්නයට බැඳිල ඉන්නවා අවවාද අනුශාසනා ගන්න. අපි දැන් මේ ඓතිහාසික භික්‌ෂු උරුමය රැකගන්නව නම් අපට පුළුවන් වෙනවා ඉතාම නිවැරැදි දර්ශනයකට සමාජය ගෙනියන්න. භික්‌ෂුවක්‌ මුල්වෙනවා කියන්නේ ධර්මය මුල්වෙනවා කියන එක. මේ ධර්මය මුල්වෙන එක තුළ ගොඩාක්‌ අයට යම් යම් ගැටලු ඇතිවෙන්න පුළුවන්. ගැටලු මතුවෙනව කියන්නේ රාජ්‍ය පාලනය සඳහා කොහොමද බුදුදහම අදාළ වන්නේ කියලා නොදන්නාකම. ඇයි? සත්තු ඝාතනය කරන්න එපා කියනවා. මත්පැන් බොන්න එපා කියනවා. විනෝදෙන් ඉන්න එපා කියනවා. මෙවැනි ප්‍රායෝගික ගැටලු මතුවෙනවා. දැන් අපි පටලවාගෙන තියෙන්නේ. බුදුදහමේ තියෙනවා භික්‌ෂූන් වහන්සේට දේශනා කළ විනය පද්ධතියක්‌ සහ ධර්මයක්‌. හුදෙක්‌ කාමභෝගී ගිහි ජීවිතයක්‌ ගතකරන ගිහියා තුළ සියයට සියයක්‌ම විනය සම්ප්‍රදායන් අනුගමනය කරන්න ඕන නෑ. මේ අය තේරුම්ගන්න ඕන සමචරියාව. සමාජයේ පැවැත්මට අදාළ වන දේවල් ආරක්‌ෂා කරගෙන ජීවත් වෙන්න ඕන. ඊට නිසි උපදේශනයක්‌ දෙන්න අපට ශක්‌තියක්‌ තියෙන්න ඕන. ධර්මානුකූලව ලබපු ප්‍රවීණත්වයක්‌ සහ පරිණත භාවයක්‌ තියෙන්න ඕන. ඒ පරිණතභාවයේ ඉදල අනුශාසනා සිද්ධ කරනවානම් මේ සමාජයේ විශාල ප්‍රගතියක්‌ ලබන්න පුළුවන් ගැටලුවක්‌ නෑ. බුදුදහම විශ්වතෝමුඛයි. ඕනෑම ක්‍ෂේත්‍රයකට පිවිසීමේ හැකියාව බුදුදහමට තියෙනවා. ඒ දර්ශනය අපි ගොඩනගා ගන්න ඕන. ගොඩනගාගෙන මේ අවශ්‍යතැන් දැනුවත් කරන්න ඕන. එතකොට අපි හිතනවා ඉතාම ධාර්මික පාලනයක්‌ ඒ තුළ ගෙනියන්න පුළුවන් කියලා.

එඩ්මන්ඩ් රණසිංහ – ඔබ වහන්සේ කියනවා වගේ බහුශ්‍රැතභාවය ඇති අයට පුළුවන් පැහැදිලි බව හරියට පෙන්වල දෙන්න. මේකයි මේ පැලැන්තියෙන් සිදුවිය යුත්තේ. දේශපාලකයන්ගෙන්, රාජ්‍ය විධායක නිලධාරින්ගෙන්, ව්‍යාපාරිකයන්ගෙන් සිදුවිය යුත්තේ මේකයි කියලා පෙන්වන්න පුළුවන්. ඒකේ සම්පූර්ණ ප්‍රතිඵල ලැබුණේ නැති වුණත් සමාජයේ ඉන්න සැමටම බිය සැක නැතිව යම්කිසි සහනදායක ජීවිතයක්‌ ගතකරන්න පුළුවන්. ඒ විදියට කරන්නට අද ඉන්න භික්‌ෂු පරපුර කොතෙක්‌ ඉදිරිපත් වෙයිද කියන එක ප්‍රශ්නයක්‌.

විපස්‌සි හිමි – නූතනයේ වැඩසිටින්නේ සුවිශේෂී මහා සංඝරත්නයක්‌. උන්වහන්සේලා ධර්මධර විනයධර ස්‌වාමීන් වහන්සේලා. භාෂා ශාස්‌ත්‍රය ප්‍රගුණ කරපු විවිධ අත්දැකීම් සම්භාරයකින් යුක්‌ත මහා සංඝරත්නය ලංකාවේ වැඩසිටිනවා. ඒ ගැන සැකයක්‌ නැහැ. ඒත් ප්‍රධානතම දුර්වලතාව තමයි අපි තවම එක අරමුණකට ඇවිත් නැති එක. ඒ වගේ එක අරමුණකට එන්න පුළුවන් නම් ස්‌වාමීන්වහන්සේලාට මේ ජයග්‍රහණය ලබන්න පුළුවන් වෙයි. හැබැයි එය ලබාගන්නවා කියන එකත් ලේසි පහසු වැඩක්‌ නෙමෙයි. උඩගම් බලා යනවා වගේ වැඩක්‌. ඒකට කරන්න තියෙන හොඳම දේ තමයි සංඝායනාවක්‌ පැවැත්වීම. දැන් යුද්ධය එහෙම නිමාවට පත්වෙලා තියෙනවා. අපට රාජ්‍ය අනුග්‍රහය ලබාගන්න පුළුවන්. ඒ වගේම බුදුදහම අනුගමනය කරන රජයක්‌ දැන් තියෙන්නේ. ඒ පරිසරය තියෙන නිසා දැන් අපි ශාසන භාරධාරී ස්‌වාමීන් වහන්සේලා බොහොම බුද්ධිමත්ව කල්පනා කරමින් කටයුතු කළොත් අපට පුළුවන් වෙනවා මෙන්න මේ අපි කතා කරන තත්ත්වය ලංකාවට උදාකරලා දෙන්න. එහෙම උදාකරලා දුන්නොත් ඒක තමයි අපෙන් වෙන්න පුළුවන් විශිෂ්ටතම කාර්යභාරය. භික්‌ෂු උරුමය රැකීම ඒකයි.

එඩ්මන්ඩ් රණසිංහ – රජයෙන් උදව් ලබාගන්න එක කොච්චර දුරට යහපත්ද ඔය අරමුණ ඉටුකර ගන්න.

විපස්‌සි හිමි – රජයෙන් උදව් ලබාගන්නවා කියන්නේ මේ පදනම යටතේ. පළවැනි සංඝායනාව ඉන්දියාවේ සිද්ධ වුණේ අජාසත්ත රජතුමාගේ අනුග්‍රහය යටතේ. ඒ අනුග්‍රහය ලැබුණ කියල අපි පවතින රජයේ යම් යම් වැරදි තියෙනවානම් ඒවා අනුමත කරන්නේ නැහැ. පවතින රාමුව තුළ ඉඳගෙන ඒ රාමුව නිවැරැදි කරන්නයි භික්‌ෂූන් වහන්සේලා මේ තත්ත්වයට පත්වෙන්නේ. බොහෝ වෙලාවට අපි තනි තනි භූමිකා ගොඩනගා ගන්නයි උත්සාහ කරන්නේ. අන්න ඒ තනි තනි භූමිකා ගොඩනගාගන්න උත්සාහ නොකරන විට සමස්‌ථ අරමුණට ගමන් කරන්න පුළුවන්. ඒ සමස්‌ත අරමුණට ගමන් කරන්න නම් රාජ්‍ය අනුග්‍රහය අත්‍යවශ්‍යයි. දැන් එදා තිබිච්ච මතය තමයි ලංකාවේ රජවෙන්නෙ බෞද්ධයෙක්‌ කියන එක. ඒකෙ කිසි ගැටලුවක්‌ නැහැ. ස්‌විස්‌ටර්ලන්තයේ ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවෙම සඳහන් කරනවා එරට ජනාධිපති අනිවාර්යයෙන්ම ක්‍රිස්‌තියානි වෙන්න ඕන. එයාගේ දරුවා අනිවාර්යයෙන්ම ක්‍රිස්‌තියානි වෙන්න ඕන. රාජ්‍යයක්‌ ගොඩනැගිල තියෙන්නේ ඒ රටට ලැබිච්ච පැරණිම සංස්‌කෘතිය තුළයි. ඒ සංස්‌කෘතිය ආරක්‌ෂා කරන්න පෝෂණය කරන්න රාජ්‍ය බැඳිල ඉන්නවා. ඒ නිසා අපි සංස්‌කෘතිය තුළ ඉඳගෙනම තමයි මේ දේවල් නිවරදි කරගන්න වෙන්නෙ. මම හිතනවා රාජ්‍ය අනුග්‍රහය ලැබුනා කියන එක ගැටළුවක්‌ වෙන්නෙ නැහැ. ඒක ලැබෙන්නත් ඕන. එහෙම නැත්නම් මේක නීතිගත වෙන්නේ නෑ. ඒක අපට තනියම කරන්න පුළුවන් කාර්යයක්‌ නොවේ. ඒ තුළ තමයි අපේ ව්‍යවස්‌ථාව ගොඩනැගෙන්නේ. මෙන්න මේක තමයි අපේ භික්‌ෂූන් වහන්සේලාගේ ධර්මය සම්බන්ධයෙන් අප ඉදිරිපත් කරන නිර්දේශය. අප ව්‍යවස්‌ථාවක්‌ ඉදිරිපත් කරනවා. මේක තමයි සමස්‌ථ සමාජයට අප ඉදිරිපත් කරන නිර්දේශය. මේ අනුව තමයි රාජ්‍යයේ ව්‍යවස්‌ථාවන් ගොඩනැගෙන්න ඕන. ව්‍යවස්‌ථාවක්‌ ක්‍රියාත්මක වෙන්න ඕන. අද භික්‌ෂූන් වහන්සේලා තමන්ගේ රුචිකත්වය අනුව විවිධ විවිධ අදහස්‌ දරන්න පුළුවන්. අපි දකිනවනේ දේශපාලනයට පිවිසෙච්ච ස්‌වාමීන්වහන්සේලා ඉන්නවා. පාර්ලිමේන්තුවේ ඉන්නවා. පළාත් සභාවේ ඉන්නවා. මෙහෙම ගියොත් ග්‍රාමසේවක තනතුර සඳහාත් භික්‌ෂූන් වහන්සේලා ඉදිරිපත් වෙයි. මෙහෙම වුණොත් අපි ඔක්‌කොම සීසීකඩ යනවා. බුදුහාමුදුරුවෝ කියලා තියෙනවා ගොදුරුබිම ජීවත් වෙන්න කියලා. අපි මේ ගොදුරුබිම ඉක්‌මවා ගිහිල්ලා තියෙනවා.

එඩ්මන්ඩ් රණසිංහ – ඉතිහාසයේදී අපට හම්බවෙනවා බොහොම බුද්ධිමත් විදියට හිටපු භික්‌ෂූන් වහන්සේලා. ඒ බුද්ධිමත් බව කොච්චර පුළුල්ද කියලා පෙන්වන්න ඔබ වහන්සේට පුළුවන් අවස්‌ථාවක්‌ උදාහරණ විදියට දෙන්න.

විපස්‌සි හිමි – ඔව්. පුළුවන් යටත් විජිත යුගයේදී ක්‍රිස්‌තියානි මත ඛණ්‌ඩනය කරන්න පැවැති ඌරුගොඩවත්තේ වාදයේදී මොහොට්‌ටිවත්තේ ජනානන්ද ස්‌වාමීන් වහන්සේ ක්‍රියා කළ ආකාරය විමසා බලමු. උන්වහන්සේ විස්‌තර කරන්නේ මෙහෙමයි “වෛද්‍ය ශාස්‌ත්‍රයෙන්ද, ව්‍යාස, ධන්වන්තරි, නාගර්ජුන යන උත්තම සෘෂිවරයන් වහන්සේලාගේ මාහැඟි කියමන් වලින්ද, වරාහමිභිරාචාර්ය ශ්‍රී හරිභර්තෘ පණ්‌ඩිත ශ්‍රී කාලිදාස පණ්‌ඩිත, ශ්‍රී ශිග්ලනම්ශ්‍රාචාර්ය යන පූර්වදිග උත්තම පඬිවරයන්ගේ මාහැඟි වාක්‍ය වලින්ද, පයිගෝරස්‌, සැනේකා, ප්ලේටෝ, හැරාක්‌ලීටස්‌ ඇපිකිවුරස්‌, ඩෑමොක්‍රිටස්‌, සිසිරො, ඇරිස්‌ටෝටල්, ඇන්ටෝනයිනස්‌ යන අපරදිග ශ්‍රේෂ්ඨ පඬිවරයන්ගේ වාක්‍ය වලින්ද, මෙහි පහත දක්‌වන වැදගත් පොත්පත් ආදියෙන්ද ඉතා පැහැදිලිව ඔප්පු කළෙමි.

ඒ පොත් පත් ආදිය තමයි මේ පහතින් දැක්‌වෙන්නේ.

වෘහත් සංහිතාව, සිද්ධාන්ත සිරෝමණිය, විෂ්ණු පුරාණය, සුභාෂිතය, රසවාහිනිය, අභිධර්මාවචාරය, අරාබීන්ගේ කුරාන් පොත, හිස්‌ටරි ඔෆ් ට්‍රවල්ස්‌ නම් ඉංගී්‍රසි පොත, මිලින්ද ප්‍රශ්නය, සූත්‍ර නිපාතය, විසුද්ධිමාර්ගය, අග්ගCඳ්Cඳ සූත්‍රය සහ එම අටුවාව, ජිනධම්ම විකාශනිය. ව්‍යාසකාරය, සුශ්‍රැතය, රසකල්පදාමය, රාජතරංගිනිය, භෛෂඡ්ජ කල්පය, වරහමිහිරය, නීතිශතකය, රඝූවංශය, ශාන්තිශතකය, රෙපරමාදුන්ගේ බයිබලය, රෝමානුන්ගේ බයිබලය යනාදියයි. මේ විදියට තර්කානුකූලව බලලා තමයි මත ඛණ්‌ඩනය කරලා තියෙන්නේ. ඕනෑවට එපාවට කරලා නෑ. මේක තමයි බෞද්ධ සම්ප්‍රදාය. බුදුහාමුදුරුවෝ දේශනා කළ චින්තන නිදහස කියන්නේ මේකයි. මේ විදියට තියෙන බෞද්ධ උරුමය වැහිල ගිහිල්ලයි තියෙන්නේ. යම් යම් හේතූන් නිසා ලාභ සත්කාර, කීර්ති ප්‍රශංසා තමයි මේකට හේතුව.

දිස්‌නා බණ්‌ඩාර – හාමුදුරුවනේ අපි කතා කරනවා විනය සමාජගත කිරීමක්‌ පිළිබඳව. අපි කොතනකින් හරි මේක පටන් ගන්න ඕන නේද? ඔබවහන්සේ හිතන විදියට අපි පටන්ගන්න ඕන කොතනින්ද?

විපස්‌සි හිමි – අපි පටන් ගන්න ඕන තමන්ගෙන්මයි. හැබැයි ඊට වඩා කඩිනම් වෙන්න නම් අපි කතිකාවතකට යන්න අවශ්‍යයි. එතන ලොකු ආරම්භයක්‌ තියෙනවා. බුදුදහම සමාජගත කිරීමේදී අනුගමය කළ හැකි ක්‍රමවේද මොනවාද කියන දේ අපට එතැනදී කතා කරන්න පුළුවන්. අපේ සම්ප්‍රදාය මොකක්‌ද කියන දේ අපි පැහැදිලිව වටහා ගන්න ඕන. අපි කොහොමද ධර්ම දේශනා පවත්වන්න ඕන. විශේෂයෙන්ම තරුණ පෙළට නම් රාමුව ඉක්‌මවා නොයන විදියට. ඒත් මේ රාමුව තුළ ලෝකයට පිවිසෙන්න පුළුවන් විදියට.

එඩ්මන්ඩ් රණසිංහ – ඔබවහන්සේ කියන විදියට හාමුදුරුවන්ගේ දේශපාලනය හරියට සුද්ධ කරේ නැත්නම් අනික්‌ දේවල් සාර්ථක නොවෙන්න ඉඩ තියෙනවා. අද මුළු සමාජය තුළටම දේශපාලනය රිංගලා, සාහිත්‍යයට, කලාවට, ක්‍රීඩාවට දේශපාලනය රිංගලා. දේශපාලනය හිමි තැනට දේශපාලනය තල්ලුකරන එක තමයි අද තියෙන ප්‍ර්‍රධානම කාර්යය. ඒක කරන්න පුළුවන් එකම කොටස සංඝ සංස්‌ථාව, රටක ඉතිහාසයේ යම් අවස්‌ථාවක්‌ එනවා කවුද මේක කරන්නේ කියලා. අද ඒ අවස්‌ථාව උදාවෙලා. සමාජයේ විවිධ සංවිධාන ලොකු උත්සාහයක්‌ ගන්නවා මේ අවස්‌ථාවට ඇතුළුවෙන්න. නමුත් මං හිතනවා ඒ සියලුදෙනාට වැඩිය සංඝ සංවිධානයට ලොකු බලවේගයක්‌ තියෙනවා මේ අවස්‌ථාවේ. ඒක සංඝ සංවිධානයට තියෙන කාර්යභාරයක්‌.

විපස්‌සි හිමි – අනිවාර්යයෙන්ම ඒක සංඝ සංවිධානය භාරගත යුතුයි. දැන් දේශපාලනය පිළිකාවක්‌ වෙලා. මේක නිවැරැදිතාවයට ගේන්නනම් භික්‌ෂූන් වහන්සේ ස්‌වාධීනව කටයුතු කරන්න ඕන.

එඩ්මන්ඩ් රණසිංහ – දැන් මේ සාකච්ඡා කරගෙන යන කොට තේරුණා සංස්‌කෘතියයි ආගමයි වැදගත් කාර්ය භාරයක්‌ ඉටුකරනවා යහපාලනයට. ඇත්තටම සංස්‌කෘතියක්‌ නැතිව යහපාලනයක්‌ වෙන්නේ නෑ. හොඳ සංස්‌කෘතියක්‌ ඇතිවෙන්නෙ නම් ආගම එතෙන්නට පිවිසිය යුතුයි. අපි ඊළඟ සතියේදී ඒ තේමාව කතා කරමු.

එඩ්මන්ඩ් රණසිංහ
දිස්‌නා බණ්‌ඩාර

 

//www.divaina.com/2009/09/20/feature17.html