Home » වටිනා ධර්ම කරුණු » යහපත් අඹුසැමියෝ දෙවියන්ගෙන් පවා නමස්‌කාර ලබති

යහපත් අඹුසැමියෝ දෙවියන්ගෙන් පවා නමස්‌කාර ලබති

යම් ස්‌ත්‍රියක්‌ ස්‌වාමිපුරුෂයා කෙරේ හිත අනුකම්පාවෙන් ද, ඒ වගේම පුත්‍රයකු ආරක්‍ෂා කර ගන්නාක්‌ මෙන් තම ස්‌වාමියා රකින්නේ නම් එවැනි භාර්යාවන් මවක්‌ හා සමාන භාර්යාවක්‌ හෙවත් මාතු සම භරියා ලෙසයි සැලකෙන්නේ.

යම් ස්‌ත්‍රියක්‌ ස්‌වාමිපුරුෂයා කෙරේ හිත අනුකම්පාවෙන් ද, ඒ වගේම පුත්‍රයකු ආරක්‍ෂා කර ගන්නාක්‌ මෙන් තම ස්‌වාමියා රකින්නේ නම් එවැනි භාර්යාවන් මවක්‌ හා සමාන භාර්යාවක්‌ හෙවත් මාතු සම භරියා ලෙසයි සැලකෙන්නේ.

තෘප්තිමත් විවාහ ජීවිතයකට සතුට කෙතරම්ම වැදගත්ද? අපි පසුගිය සතියේ ඒ පිළිබඳව ධර්මානුකූල අවබෝධයක්‌ ලබා ගැනීමට උත්සාහ කළෙමු. මේ එහි දෙවැනි පියවරයි.

අනේපිඬු සිටුතුමාගේ පුතා විවාහ වුණේ සුජාතා නම් වූ තරුණියක සමඟයි. සුජාතා කියන්නේ ධනංජය සිටුවරයාගේ දියණියයි. ධනංජය යනු විශාඛා මහා උපාසිකාවගේ පියාණන්. ඒ අනුව විශාඛාවගේ නැඟණිය වූ සුජාතා විවාහ වුණේ අනේපිඬු සිටුතුමාගේ පුතත් සමඟයි.

මේ විවාහයෙන් පසුව දිනක්‌ බුදුරජාණන් වහන්සේ අනේපිඬු සිටුතුමාණන්ගේ නිවසට වඩිනවා. එම වේලාවේදී අනේපිඬු සිටුතුමාගේ නිවසේ තිබුණේ මහා කලබැගෑනියක්‌. එවිට බුදුරජාණන් වහන්සේ විමසීමක්‌ කරනවා මෙම ගාලගෝට්‌ටියට හේතුව කුමක්‌ද කියලා.Ven. Hegoda Vipass Thero

එවිට අනේපිඬුq සිටුතුමා පිළිතුරු දෙමින් ප්‍රකාශ කරනවා සුජාතා නිවසට පැමිණි දිනයේ සිට නිවසේ මෙවැනි සණ්‌ඩු සරුවල් ඇතිවෙනව කියලා.

සුජාතා කියන්නේ ආඩම්බරකාර දියණියක්‌. එම ආඩම්බරකමට හේතු වූයේ ඇය බොහෝම ධනයෙන් භවභෝග සම්පත්වලින් ආඪ්‍ය වූ සිටු පවුලක දියණියක වීමයි. ඇයගේ මෙම ආඩම්බරකම නිසා ස්‌වාමියාගේ පාර්ශ්වයේ ඥති හිත මිත්‍රාදීන්ට සංග්‍රහ කිරීමක්‌ හෝ කතා කිරීමක්‌ සිදුවූයේ නැහැ.

මේ අවස්‌ථාවේ බුදුරජාණන් වහන්සේ සුජාතාවට දේශනා කරනවා විවිධ ගති සොබා ඇති භාර්යාවන් හත්දෙනකු සිටින බව.

බුදුරජාණන් වහන්සේ සුජාතාවට දේශනා කළ භාර්යාවන් පිළිබඳව අංගුත්තර නිකායේ සප්තභරියා සූත්‍රයේ වැඩිදුරටත් සඳහන් වෙනවා.

එම භාර්යාවන් හත්දෙනා මෙසේයි.

  1. වධක සම භරියා
  2. චෝර සම භරියා
  3. අරිය සම භරියා
  4. මාතු සම භරියා
  5. භගණි සම භරියා
  6. සල සම භරියා
  7. දාසි සම භරියා

මෙම භාර්යාවන් හත්දෙනාගේ ගති ලක්‍ෂණ හඳුනා ගැනීමෙන් කෙනෙකුට නිවැරැදි වෙන්න පුළුවන්. අනෙක්‌ පැත්තෙන් බලන විට බුදුරජාණන් වහන්සේ මෙම සූත්‍ර දේශනාකර තිබෙන්නේ ඒක පාර්ශ්වීයව නොවේ. මෙම සූත්‍ර දේශනාකර තිබෙන්නේ ද්වී පාර්ශ්වීය ලෙසයි. නැතහොත් දෙපැත්තටම සමබර වන ලෙසයි. භාර්යාවන්ට අදාළ මෙම ලක්‍ෂණ සමහර විට පුරුෂ පාර්ශ්වයේත් දක්‌නට ලැබෙනවා. ඒ නිසා මෙම වැරැදි ගති ලක්‍ෂණ නැති කරගෙන හොඳ ආකල්ප ඇති කර ගැනීමෙන් අඹු සැමියන්ට සාර්ථක යුග දිවියක්‌ ගත කිරීමට පුළුවන්.

ස්‌ත්‍රිය පුරුෂයා කෙරේ දුෂ්ට සිත් ඇත්තී නම්, ඒ වගේම හිත අනුකම්පාවක්‌ නොවේ නම්, පර පුරුෂයන් කෙරෙහි ඇලෙනවා නම්, ස්‌වාමියාට අවමන් කරයි නම්, ස්‌වාමියා පහත් කොට සිතයි නම් හා ඒ වගේම ගෙදර දොරක වැඩකටයුතු ඉටු නොකර සිටිත් නම් එවැනි භාර්යාවක්‌ වධක සම භරියා ලෙසයි සැලකෙන්නේ.

ස්‌වාමිපුරුෂයා ගොවිතැනින්, වෙළෙ¹මින් හෝ වෙතන් කර්මාන්තයකින් උපයා සපයා ගන්නා ධනය නිසි සේ පරිහරණ නොකර ඒවා සොර සැමියන්ට හෝ වෙනත් අයට දෙයි නම්, එවැනි භාර්යාවන් චෝර සම භරියා හෙවත් සොර අඹුවක්‌ ලෙස සැලෙකනවා.

යම් බිරිඳක්‌ කිසිවක්‌ නොකොට නිකම්ම සිටී නම්, ඒ වගේම අලසව වැඩ කරන්නේ නම්, පරුෂ විධිහට වැඩ කරයි නම්, එවැනි අය අරිය සම භරියා නැතහොත් භාර්යාවන් ලෙස සැලකේ.

යම් ස්‌ත්‍රියක්‌ ස්‌වාමිපුරුෂයා කෙරේ හිත අනුකම්පාවෙන් ද, ඒ වගේම පුත්‍රයකු ආරක්‍ෂා කර ගන්නාක්‌ මෙන් තම ස්‌වාමියා රකින්නේ නම් එවැනි භාර්යාවන් මවක්‌ හා සමාන භාර්යාවක්‌ හෙවත් මාතු සම භරියා ලෙසයි සැලකෙන්නේ.

භගනි යනු බාල සොයුරියයි. එවැනි සොයුරියක්‌ වැඩිමල් සහෝදරයාට ගෞරව සම්පන්න යුක්‌තව සලකයි නම්, අන්න ඒ ආකාරයෙන් ලැඡ්ජා බයෙන් යුක්‌තව තමන්ගේ ස්‌වාමිපුරුෂයාට සලකන භාර්යාව භගණි සම භරියා ලෙස සැලකේ.

ස‚ යනු යෙහෙළියයි. සතුටින්, සාමදානයෙන් කටයුතු කරමින් තමාගේ යෙහෙළියකට මෙන් ස්‌වාමිපුරුෂයාට සලකයි නම් එවැනි භාර්යාවන් භගිණි සම භරියා ලෙස සැලකේ.

ගෙදර වැඩකටයුතු කරන සේවිකාවන් මෙන් ගේදොර වැඩකටයුතු සියල්ල බොහෝම යටහත් පහත්ව කැපවීමෙන් කරමින් ස්‌වාමියාට සලකයි නම් එවැනි ස්‌ත්‍රීන් දාසි සම භරියා ලෙස සැලකේ.

මෙම සූත්‍රය දෙස බැලීමේදී කෙනෙකුට හිතෙන්න පුළුවන් බිරිඳට පමණද මෙවැනි ගති ලක්‍ෂණ තිබිය යුත්තේ කියලා. යටහත් පහත් ගති ලක්‍ෂණ තිබිය යුත්තේ ඇයට විතරද කියලා. සැමියාට ඕනෑම දෙයක්‌, වැරැද්දක්‌ කළ හැකිද? යනාදී ප්‍රශ්නත් ඇතිවෙන්න පුළුවන්. ඇයි බුදුරජාණන් වහන්සේ සැමියන්ට ඔවුන්ගේ චර්යාවත්, ලක්‍ෂණ දේශනා කර නැද්ද? යනාදී නොයෙකුත් ප්‍රශ්න ඇතිවෙන්න පුළුවන්.

බුදුරජාණන් වහන්සේ මෙම දේශනාව කළේ සුජාතාව පදනම් කරගෙනයි. දහම තේරුම් ගත යුත්තේ අදාළ ප්‍රස්‌තුතයට අනුවයි. වෙනත් තැන්වලදී බුදුජාණන් වහන්සේ දේශනා කර තිබෙනවා සැමියකු විසින් බිරිඳට ඉටු කළ යුතුකම් මොනවගේ විය යුතුද කියලා.

ඒ කෙසේ වෙතත් සප්ත භරියා සූත්‍රයට අනුව ගත්තත් බිරිඳ තමන්ගේ පතිවෘත්තාව ආරක්‍ෂා කර ගනිමින්, ශිෂ්ට සම්පන්නව, බොහොම ලෙන්ගතුව කටයුතු කරද්දී ඒ සැලකුම් ලැබීමට තරම් ස්‌වාමිපුරුෂයා උසස්‌ තත්ත්වයක සිටිය යුතුයි.

බිරිඳ තමන්ගේ සැමියා පුතකු ලෙස සලකමින් මවක ලෙස කටයුතු කරද්දී (මාතු සම භරියා) ඒ සැලකුම් ලැබීමට ස්‌වාමියා ළඟත් ඊට සාපේක්‍ෂව අදාළ ගුණය තිබිය යුතුයි.

මෙම දේශනා සැලකෙන්නේ පර්යාය දේශනා ලෙසයි. (එනම් දෙපාර්ශ්වයටම සමාන යන්නයි) අනෙක්‌ අතට මෙම දේශනා පමුණුවා ගත යුතු දේශනා ලෙසද සැලකෙනවා. එනම් භාර්යාව ළඟ හැමවිටම තිsබිය යුතුයි සැලකෙන ගති ලක්‍ෂණ ස්‌වභාවය සැමියාටත් පොදුයි, නැතහොත් ඒවා ආරෝපණය ගත යුතුයි යන්න එය අදහසයි. සැමියා ශිෂ්ට සම්පන්නව නිවැරැදිව ජීවත් වෙනතාක්‌ දුරට යහපත් බිරිඳක්‌ ඒ හා සමානවම ජීවත් වෙනවා.

අප කතා කළ සප්ත භරියා සූත්‍රයේ සඳහන් දාසි සම භරියා යන්න තවදුරටත් පැහැදිලි කරගතහොත් මේ තත්ත්වය තවත් සරලව තේරුම් ගත හැකියි. බිරිඳ ගෙදර සේවිකාවක ලෙස තමන්ගේ වැඩකටයුතු නොපිරිහෙළා ඉටු කරන විට එය නිවසේ දියුණුවට විශාල පිටිවහලක්‌ වෙනවා. එවැනි භාර්යාවන් ලද ස්‌වාමිපුරුෂයකු එය වැරැදි ලෙස වටහාගෙන හිස උදුම්මා ගතහොත් එතැන සිදුවන්නේ විශාල පිරිහීමක්‌. සැබෑ ගෞරවනීය ස්‌වාමිපුරුෂයකු නම් එතැනදී කළ යුත්තේ තම භාර්යාවගේ කැපවීම අගේ කිරීමයි. ඇයගේ කැපවීම නිවට කමක්‌ ලෙස නොසැලකිය යුතුයි. ඇයට සෙනෙහස දක්‌වමින් ආදරණීය ලෙස සැලකීමෙන්, ගෞරව කිරීමෙන් පවුල් ජීවිතය තවත් සාර්ථක කර ගැනීමට පුළුවන්. යෙහෙළියක ලෙස තම ස්‌වාමිපුරුෂයාට සලකන භාර්යාවකගේ තත්ත්වය ගත්තත් එහෙමයි. ඇයගේ මිත්‍රත්වය පිළිගැනීමට තරම් ශිෂ්ට සම්පන්න සැමියකු එතැන සිටිය යුතුයි. එසේ නොමැතිව භාර්යාවගෙන් සියලු යුතුකම් ඉටු වෙද්දී සැමියා යුතුකම් පැහැර හරී නම් එතැන සාර්ථක පවුල් සංස්‌ථාවක්‌ ගොඩනැඟෙන්නේ නැහැ.

සතරාකාර පවුල් ජීවිතයක්‌ ගැන අංගුත්තර නිකායේ පඨම සංවාස සූත්‍රයේ සඳහන් වෙයි.

  1. ඡවෝ ඡවාය සද්ධිං සංවසති- මළමිණියක්‌ බඳු සැමියකු මළ මිනියක්‌ බඳු බිරිඳක සමඟ විසීම.
  2. ඡවෝ දෙවියා සද්ධිං සංවසති -මළ මිණියක්‌ බඳු සැමියකු දෙවඟනක බඳු බිරිඳක සමග විසීම.
  3. දේවෝ ඡවාය සද්ධිං සංවසති – දෙවියකු බඳු සැමියකු මළමිණියක්‌ බඳු බිරිඳක සමග විසීම.
  4. දේවෝ දේවියා සද්ධිං සංවසති

දෙවියකු බඳු සැමියකු දෙවඟනක බඳු බිරිඳක සමග විසීම.

ඡව කියන්නේ මළ මිනියයි. මෙහිදී අදහස්‌ කරන්නේ යම් සැමියකුගේ හෝ බිරිඳකගේ හෝ ගුණධර්ම නැති වීමයි. පහත් අධම ගතිවලින් යුක්‌ත වීමයි. කොටින් කියනවා නම් ගුණධර්ම මැරීමයි. යහපත් ගුණධර්මවලින් යුතුව විසීම දෙවියකු හෝ දෙවඟනක හා සමානයි. ඇත්ත වශයෙන් ම සැමියත් බිරිඳත් දෙදෙනාම එසේ වූ විට පවුල් ජීවිතය අතිසාර්ථක වෙනවා. සුන්දර වෙනවා.

මෙහි මළමිනියක්‌ මළමිනියක සමග වාසය කරනවා කියන්නේ යම් පවුලක සැමියත් බිරිඳත්, ප්‍රාණඝාතය කරනවා නම්, සොරකම්, චණ්‌ඩිකම් කරනවා නම් කාමය වරදවා හැසිරෙනවා නම්. බොරුවෙන් වංචාවෙන් සටකපටකමින් ජීවත් වෙනවා නම්, මදයට පමාවට හේතු වන රහමෙර බොනවා නම්, මසුරුකමින් ජීවත් වෙනවා නම්, යහපත් උසස්‌ ගුණවත් සත් පුරුෂයන්ට මහණ බමුණන්ට, නින්දා අපහාස කරනවා නම් මේ ආදී වශයෙන් අධර්මිෂ්ඨව අශීලාචාරව ජීවත් වීමයි. නිතර නිතර සණ්‌ඩු සරුවන් කරමින්. පිළිකුලෙන් වෛරයෙන් බියෙන් සැකෙන් යුක්‌තව කොතරම් නම් පවුල් ජීවත් වෙනවාද? ඇත්තටම ඒ උදවිය ජීවත් වන්නේ අපායක.

ඇතැම් පවුලක සැමියා යහපත් සේ ගුණගරුකව ජීවත් වෙනවා. එහෙත් බිරිඳ යහපත් ගතිවලින් නැතහොත් ඉහත කී වැරැදිවලින් හෝ වැරැද්දකින් හෝ ජීවත් වෙනවා නම් එම පවුල සමබර නෑ. යහපත්ව ජීවත් වෙන්නත් බෑ.

බිරිඳ හොඳ වුණාට මදියි. සැමියත් හොඳ වෙන්න ඕනෑ. සැමියා හොඳ වුණත් බිරිඳ හොඳ නැත්නම් එයත් අසාර්ථකයි. ඒ නිසා දෙමහල්ලෝම යහපත් ගති ලක්‍ෂණවලින් හැකිතාක්‌ දුරට යුක්‌තව ජීවත්වෙමින් තමන්ගේ ගෘහ ජීවිතය දිව්‍ය ලෝකයක්‌ කරගන්න පුළුවන්.

දිව්‍ය විමානය පහළ වනුයේ මනුෂ්‍යයෝ වූ අප අතරේයි. දිව්‍ය ලෝකයේ නිර්මාතෘවරයා වනුයේ අපිමයි. වෙන කවුරුවත් නොවේ. ඒ වගේම අපායේ නිර්මාතෘවරයාත් අපමයි. වෙන කවුරුවත් නොවේ. එනිසා යුග දිවියේදී දිව්‍ය විමානය පහළ වනුයේ දෙවියෙක්‌ දෙවඟනක්‌ සමග ජීවත්වන ආකාරයේ (දේවෝ දේවියා සද්ධිං සංවසති) පවුල් ජීවිතයකදීයි. කාම සැප සම්පත් විඳ ගනිමින් නිවැරදිව යහපත්ව ධාර්මිකව ජීවිතය ගත කරන විට එතැන තියෙන්නේ විශාල තෘප්තියක්‌.

මළ කඳක්‌ ලෙස මිනිසුන්, ගැහැනුන් ඇතිවන්නේ කෙසේද? එම තත්ත්වයට පත්නොවී දෙවියකුසේ, දෙවඟනක සේ ජීවිතය හැඩ ගසා ගන්නේ කෙසේද? මේ පිළිබඳ පඨව සංවාස සූත්‍රයේ වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා.

යම්කිසි සැමියෙක්‌ ප්‍රාණඝාතය සිදු කරයි නම්, සොරකම් කරයි නම්, කාමේ වරදවා හැසිරේ නම්, බොරු කියයි නම්, රහමෙර පාවිච්චි කරයි නම්, පවිටු අදහස්‌ වලින් යුක්‌ත නම්, භාර්යාවට වද දේ නම් හා වෙනත් භාර්යාවන් සොයා යයි නම් ඔහු ගත කරන්නේ පවිටු දුෂ්ශීලී ජීවිතයකි. එවැනි සැමියකු මළකඳක්‌ හා සමාන යෑයි බුදුරජාණන් වහන්සේ දේශනා කර තිබෙනවා. මේ පව්කාරකම් නොකර අවම වශයෙන් පංච ශීලයවත් රැකගෙන ජීවත්වෙන, ක්‍රෝධයෙන් තොර බිරිඳට සලකන, සැමියෙක්‌ වෙතොත් ඔහු දෙවියකුසේ ජීවත්වන්නකු ලෙසයි සැලකෙන්නේ.

මේ තත්ත්වය බිරිඳටත් සමානයි. බිරිඳ දුසිරිතෙහි යෙදෙන්නේ නම් පවිටු අදහස්‌ වලින් යුක්‌ත නම් ඇයත් මළ කඳක්‌ හා සමානයි, ඒ බිරිඳ සිල්වත්ව, ශීලාචාරසම්පන්නව ජීවත් වෙයි නම් ඇය දෙවඟනක්‌ ලෙස ජීවත්වන බවයි සැලකෙන්නේ.

යහපත් ලෙස යුග ජීවිතය ගතකරන අඹු සැමියන්ට දෙවියන් පවා නමස්‌කාර කරන බව සංයුක්‌ත නිකායේ සක්‌කනමස්‌සන සූත්‍රයේ සඳහන් වෙනවා.

යෙ ගහට්‌ඨා පුඤ්කරා
සීලවන්තෝ උපාසකා
ධම්මෙන දාරං පොසෙන්ති
තෙ නමස්‌සන්ති මාතලී

පිංකරන, සිල්වත්වූ, දැහැමිව අඹුදරුවෝ පෝෂණය කරනු තැනැත්තන්ට ශක්‍රයා වන්දනා කරන බවයි මෙම ගාථාවේ අදහස.

කොහේ හෝ යන්න සූදානම් වූ විට හැම අතකටම (දිශාවකටම) වැඳීම ශක්‍රයාගේ ස්‌වභාවයයි. දිනක්‌ මාතලී අහනවා ශක්‍රයාගෙන් කාටද වඳින්නේ කියලා. (මාතලී යනු ශක්‍රයාගේ රියෑදුරුයි) එවිට ශක්‍රයා උත්තර දෙනවා පිංකරන, සිල්වත් අයට නමස්‌කාර කරනවා කියලා. ඒ අනුව දිව්‍ය විමානයක වැනි තැනක ජීවත් වන අඹුසැමියන්ට දෙවියන්ගේ ලොක්‌කා වූ ශ්‍රක්‍රයාත් වැඳුම් පිදුම් කරන බව මෙහි සඳහන් වෙනවා. ඒ අනුව බලන කල යහපත් යුග ජීවිතය හරිම පූජනීයයි. එහි අදහස තමයි එවැනි යහපත් අඹුසැමියෝ පිදිය යුත්තන් බවට පත්වීම.

අද වන විට සමාජයේ බොහෝ දෙනකුට ආගම පිළිබඳව අවබෝධ නැතිව ගිහින්. සාහිත්‍ය පිළිබඳ අවබෝධයක්‌ නැහැ. ඒ වගේම අපේ ජනතාව හික්‌මෙන්නේ වෙළෙඳ ලෝකයක්‌ තුළ. කාමය උද්දීපනය සමාජ වටාපිටාවකයි අප ජීවන්වන්නේ. මේ තුළ හැදෙන අඹු සැමියෝ හිතනවා හුදෙක්‌ යුග ජීවිතය කියන්නේ ලිංගිකත්වය පමණයි කියා. එය වැරදි සිතුවිල්ලක්‌. නමුත් බුදු දහම අනුව අධර්ම රාගය ප්‍රතික්‍ෂේප කර තිබෙනවා. භව භෝග සම්පත් පරිහරණය කරමින් ඉතාමත් සතුටින් ජීවත්විය යුතුයි. නමුත් ඒ වගේ සමාජ පරිසරයක්‌ අපට දකින්න ලැබෙන්නේ නැහැ. එනිසා මෙම සමාජ ප්‍රවාහය වළක්‌වා ගැනීම කළ යුත්තේ තම තමන් විසින්මයි. ඒ සඳහා අවශ්‍ය වන්නේ ධර්මානුකූලව සිතීමයි. ඒ අනුව ජීවතවීමයි.

මතු සම්බන්ධයි

ධර්ම සංවාදය
වසන්ත ලියනගේ