Home » පුවත් පත් ප්‍රකාශන » එදා මකුලාරාමය අද මක්කම

එදා මකුලාරාමය අද මක්කම

MAKKAH-PAAK-1අපේ බුදුරජාණන් වහන්සේ තමන්ගේ ගුරුවරයා ලෙස සැලකුවේ ධර්මයයි. මෙයින් පෙන්නුම් කරන්නේ අපට ඉහළින් යුක්තිය, ධර්මය, නීතිය තබා ගත යුතු බවයි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පෙරවදනේ සඳහන් කරන්නෙත් ධර්මිෂ්ට සමාජයක් බිහිකිරීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ අරමුණ හා වගකීම බවයි. ඇත්ත වශයෙන්ම ජාතික ගීය වෙනස් කිරීමට යෝජනා ගෙන ඒමෙන් පැහැදිලි වන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව නොසලකා හැර ක්‍රියා කරන බවයි. මෙය බරපතළ කාරණයකි. තමන්ගේ මතිමතාන්තර කුමක්වුවත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීමට අයිතියක් නැහැ.

රිසානා නාෆීක් නමැති ශ්‍රී ලාංකික මුස්ලිම් තරුණියක් හිස ගසා මරා දැමුනා. එම සිදුවීමත් එම නීති ගැනත් අත්තවාදය ගැනත් සමාජයේ විශාල කතාබහක් ඇතිවී තිබෙනවා. මුස්ලිම් ජාතිකයින් හා දැඩි සහෝදරත්වයකින් බැඳී මතෛක් අප ගතකළ ඉතිහාස තොරතුරු මොනවාද හාමුදුරුවනේ?
මුස්ලිම් ජාතිය ඉස්ලාමීය ආගමත් සමග ගොඩ නැගෙන්නක්. මුස්ලිම් ආගමට බැඳීමත් සමග ආගමත් ජාතියත් එකක් බවට පත්වෙනවා. මේ තත්ත්වය කවර වූ ජාතිකයෙකුට වුවද එක සමානයි. ඉස්ලාම් ආගම වැළඳගත් දා සිට ඔවුන් මුස්ලිම් ජාතිකයන්.

විශේෂයෙන් අරාබිකරය පදනම් කරගනිමින් නව ජාතිකත්වයක් හා ආගමක් වශයෙන් මෙහි ශීඝ්‍ර වර්ධනයක් පෙන්නුම් කරනවා.

ක්‍රිස්තු පූර්ව 8 වන ශතවර්ෂයේදී පමණ ප්‍රථමවරට වෙළෙඳාම සඳහා ලංකාවට පැමිණි මුස්ලිම් ජාතිකයින් පිළිබඳව කියැවෙනවා. නමුත් ඒ ජාතික කාන්තාවන් මෙරටට පැමිණි බවට තොරතුරු අනාවරණය වන්නේ නැහැ.

ඉන් පැහැදිලිව කිව හැක්කේ සිංහල කාන්තාවන් විවාහ කරගැනීම මගින් ඔවුන් ලංකාව පුරා පැතිර ගොස් තිබෙන බවයි. කුළු බඩු, මැණික්, රිදී වැනි දේ වෙළෙඳාමට පැමිණි ඔවුන් අවසානයේ ලංකාව තුළම පදිංචි වී වෙළෙඳාමේ යෙදෙන්නට පටන් ගැනෙනවා.

ථෙරවාදී බුදු දහම පවතින රටක් වශයෙන් ලංකාව තුළ ඕනෑම ආගමිකයෙක්ට සිටිය හැකියි. නමුත් ඔවුන්ගේ මූලික ආගමික සිද්ධාන්ත මෙරට ක්‍රියාත්මක වුණේ නැහැ. ගල් ගසා මරා දැමීම, හිස ගසා මැරීම වැනි දරුණු නීති ක්‍රියාත්මක නොවන්නේ ඔවුන් මෙරටදී මෙරට ‍පොදු නීතිය තුළම ක්‍රියාත්මක වීම නිසයි. පවුකාරයාට ගල් ගසන කෲර වද හිංසාව බෞද්ධ අනන්‍යතාවය තුළ ගොඩ නැගුනේ නැහැ.

එහෙත් අද වන විට අන්තවාදී මුස්ලිම් ජාතිකයන් බෞද්ධ උරුමයන් විනාශ කරන බවට චෝදනා නැගෙන්න පටන් අරන්. නමුත් මෙවැනි සිදුවීම් පිටුපස සිටින්නේ සාම්ප්‍රදායික මුසල්මානුවන් නොවෙයි කියනවා.

රහතන් වහන්සේ වැඩ සිටි කූරගල හොරොව්පතාන කිරණාගල රජ මහා විහාරය ආදී ඓතිහාසික සිද්ධස්ථාන පුරාවිද්‍යා දෙපාර්තමේන්තු නිලධාරීන් සේවයේ යොදවා සිටියදීත් අයුතු ලෙස පරිහරණය කරන්න පෙළැඹිලා සිටින්නේ බෞද්ධ ජනතාවගේ සිත් සතන් පාරවන ආකාරයටයි. මේ ආකාරයට බෞද්ධ සිද්ධස්ථාන සංහාරයකට ලක් කරමින් තමන්ගේ අණසක පතුරුවා ගැනීමට උත්සාහ දැරීම නිසා සහජීවනය විනාශ විය හැකියි.

අන්තවාදී ක්‍රියාවන් පිළිබඳව ලෝකයපුරා සාකච්ඡාවක් පවතිනවා.

එදා අරාබිකරය බෞද්ධ රාජ්‍යයන් බවට පත්ව තිබූ බවට මතයක් පවතිනවා.

ප්‍රාග් බෞද්ධ යුගයේදී මැදපෙරදිග අරාබිකරයේ සුවිසල් බෞද්ධ වෙහෙර විහාරස්ථාන තිබුණු බවට සඳහන් වෙනවා. අද ඒ සියල්ල විනාශ කර දමා තිබෙනවා.

බුදුන්ගේ කාලයේ සුනාපරන්ත රට ලෙස හැඳින්වූයේ මැදපෙරදිගයි. ජීවමාන බුදුරජාණන් වහන්සේගේ කාලයේ බුදු දහම පැතිරුණු රටක්. ඒ කියන්නේ හයවැනි සියවස් කාලයේදී පමණ බුද්ධ ධර්මය අදහන බෞද්ධ ජනතාව ජීවත්වූ ප්‍රදේශයක්.

මජ්ජිම නිකායේ පුණ්නෝවාද සූත්‍රයේදී පුණ්න හිමියන් ධර්ම ප්‍රචාරණ කටයුතු සඳහා සුනාපරන්ත හෙවත් මැදපෙරදිග රටට යාමට බුදුරජාණන් වහන්සේගෙන් අවසර ඉල්ලා සිටි බව සඳහන් වෙනවා. පුණ්න හිමියන් ගිහි කළ සුනාපරන්ත රට සිට වෙළෙඳාම පිණිස පැමිණ බුදු රජාණන් වහන්සේගේ ධර්මය පිළිබඳ පැහැදීම නිසා මහණ බව ලබා රහත් ඵලය ලබා ගත් හිමිනමක්.

පුණ්න හිමියන් තමන්ගේ දේශයට යාමට අවසර ඉල්ලුවත් බුදුරජාණන් වහන්සේ දරුණු මිනිසුන් ඉන්න එම ප්‍රදේශයට නොයන ලෙස අවවාද කරනවා. නමුත් පුණ්න හිමියන් පවසන්නේ බැන්නට කමක් නැහැ. ඒ රටේ මිනිස්සු ගහන්නෙ නැහැනේ ආදී වශයෙනුයි. මේ කතා බහ අවසානයේ බුදුරජාණන් වහන්සේ පුණ්න හිමියන්ට පවසන්නේ සුනාපරන්ත රටේ ධර්ම ප්‍රචාරය සඳහා සුදුසු පුණ්න මහ රහතන් වහන්සේ බවයි.

අට්ඨ කතාවේ සඳහන් වන ආකාරයට පුණ්න මහ රහතන් වහන්සේ සුනාපරන්ත රටේ ධර්ම ප්‍රචාරයට වැඩම වීමෙන් අනතුරුව අම්බහට්ඨ විහාරය සමුද්‍රගිරි විහාරය, මාතුලගිරි විහාරය හා මකුලාරාමය කියන වෙහෙර විහාර ඉදිකරනවා.
ඉන් අනතුරුව උන්වහන්සේගේ ආරාධනයෙන් සුනාපරන්ත රටට වැඩම කර තිබෙනවා. ඒ අනුව ප්‍රථම අරාබි භික්ෂුන් වහන්සේ වන්නේ පුණ්න මහ රහතන් වහන්සේය.

අපේ හාමුදුරුවනේ බුද්ධ ඉතිහාසයේ දැක්වෙන මෙම කරුණු තහවුරු කර ගැනීමක් සිදුව නැද්ද?

ග්‍රන්ථ පරිශීලනය ඇසුරින් ආචාර්ය පරවාහැර පඤ්ඤානන්ද හිමි ශාස්ත්‍රීය අධ්‍යයනයක් සිදුකළා. සුනාපරන්ත දේශය කියන්නේ මැදපෙරදිග බවත් එම ප්‍රදේශයේ දියුණු බෞද්ධ පරිසරයක් තිබුණු බවත් ඉන් හෙළිවුණා.

එදා මකුලාරාමය අද මක්කම කියන ඔවුන්ගේ මහා පූජනීය ස්ථානය බවට පත්වෙලා. ඒ රටවල පුරාවිද්‍යා ගවේෂණයකට ඉඩ හසර ලැබුණොත් යටපත් වී තිබෙන බෞද්ධ ඉතිහාසය මතුකර ගත හැකියි.

ලෝකයේ උසම බුදු පිළිමය ඇෆ්ගනිස්ථානයේ ඉදිකිරීමට පෙළැඹවීමක් ඇතිවූයේ නම් එම ප්‍රදේශවල බෞද්ධ ජනතාව විශාල වශයෙන් සිටින්න ඇති. බුදුරජාණන් වහන්සේ ජීවමානව වැඩ සිටි සමයේ බෞද්ධ රටවල් වූ මේ රටවල බෞද්ධයන් සිටි බවට සාක්ෂි කිසිවක් නැති කිරීමට ඔවුන් පෙළැඹිලා.

පිළිම වඳින්න එපා කියමින් බෞද්ධ සංකේත විනාශ නොකළ යුතුයි. තමන්ගේ ආගම දහම අනුව පිළිම වන්දනා නොකර සිටීම කළත් ඇයි වෙනත් ආගමික මත විනාශ කර ඉතිහාසය වළදමන්න උත්සාහ දරන්නේ.

ලංකාවෙත් වසර 2300ක් ඉපැරණි බෞද්ධ ඉතිහාසයක් මේ ආකාරයෙන් විනාශ කිරීමට මූලධර්මවාදී අන්තවාදී ඇතැමෙක් උත්සාහ දරන බව ඉතිහාසය අධ්‍යයනයෙන් පෙනී යනවා.

මහාචාර්ය විමල විජේසූරිය මහතා 1988දී පැහැදිලිව පෙන්වා දී තිබෙනවා ඔවුන් ඉතිහාසය වෙනස් කරන ආකාරය.

9-10 වසරවල ඉස්ලාම් ධර්මය ‍පොත්වල මෙවැනි කරුණු ඇතුළත් කිරීම මගින් සිදු වෙන්නේ සැලසුම් සහගතව ඉතිහාසය විකෘති වීමයි.

එතුමාගේ ශ්‍රී ලංකාවේ අරාබි ජනයා සහ ඉස්ලාම් සංස්කෘතිය ග්‍රන්ථයේ විජේසූරිය මහතා මේ කරුණු දක්වා තිබෙනවා.

අදත් මේ විදියටම ‍පොත්වල රට පිළිබඳ නැති ඉතිහාසයක් උගන්වනවා. සිංහල දෙමළ මුස්ලිම් සියලු දෙනාට එකම ඉතිහාසයක් ඉගැන්විය යුතුයි. එක් එක් ජාතීන්ට රටේ ඉතිහාසය දැන ගැනීම නිසා අවැඩක් සිදු වෙන්නේ නැහැ. එය හීනමානයට කරුණක් නොවෙයි.

පෙළ‍පොත්වලින් වැරදි තොරතුරු ළමා මනසට ඇතුළුවීම නිසා පසුකාලීන ගැටුම් ඇති වෙන්නේ ඉතිහාසය නොදැන කටයුතු කිරීම නිසයි.

මුස්ලිම් සහෝදරත්වය විනාශ කරන අන්තවාදය පැතිරවීම වැළැක්විය හැක්කේ කෙසේද?

රටට ‍පොදුවේ බලපාන එක නීති පද්ධතියක් අවශ්‍යයි. සංවිධානවලට ඕන ආකාරයට ලාංඡන නිකුත් කරන්න බැරි ආකාරයට නීති සකස් විය යුතුයි.

නමුත් කියන්න කනගාටුයි සිතන අප මේ කාරණා කෙරෙහි අවධානය යොමු කරන්නේ නැහැ. එල්.ටී.ටී.ඊ. සංවිධානය ගොඩ නැගුණා වගේ අන්තවාදීන් විසින් ත්‍රස්තවාදය බිහි කරන තුරු දේශපාලකයින් බලා නොසිට කටයුතු කළ යුතුයි.

තිස් අවුරුදු යුද්ධයෙන් බැට කෑ ලංකාවට තවත් යුද්ධ අවශ්‍ය නැහැ. බොදු බල සේනා සංවිධානය ජනතාව අවදිකරමින් සිටීම අගය කළ යුතුයි. නමුත් නොයෙක් කුඩා සංවිධාන මේ ව්‍යසනය පාදක කරගනිමින් ඉස්මතු වීමට උත්සාහ කිරීම භයානකයි. ඔවුන් අනුකරණය කිරීමට පමණක් පෙළැඹිලා. බොදු බල සේනා සංවිධානයේ මග පෙන්වීම යටතේ සංවිධානය වීමයි වැදගත්. ඉන් අනවශ්‍ය ගැටුම් ඇතිවීම වළක්වා ගතහැකියි.

කෙසේ හෝ සාමකාමී පරිසරයක් වෙනුවෙන් කටයුතු කිරීමේදී දේශපාලනඥයින් දේශපාලන අවධියෙන් කටයුතු කළ යුතුයි.

රත්මලාන ධර්ම පර්යේක්ෂණාලයේ අධ්‍යක්ෂ හෑගොඩ විපස්සී හිමි
රන්මලී සෝමසිරි
(උපුටා ගැනීම ලක්බිම )