Home » වටිනා ධර්ම කරුණු » රැකීමට පහසු අපහසුම සීලය

z_p18-rakima2සීලය යනු සිත, කය, වචනය යන දොරටු තුනෙන් කය, වචනය යන දොරටු දෙක සංවර කර ගැනීම යි. වැරදි වලින් කය වචනය රැක ගැනීමයි. පරපණ නැසීම, සොරකම් කිරීම, කාමයෙහි වරදවා හැසිරීම ආදී වශයෙන් ශාරීරිකව සිදු කරනු ලබන වැරදි වලින් වෙන්වීම කායික සංවරයයි. බොරු කීම, කේලම් කීම, වැඩකට නැති නිෂ්ඵල බස් දෙඩවීම ආදී වශයෙන් වන වැරදි වලින් තොරවීම වාචසික සංවරය නම් වේ. මේ ආකාරයෙන් යම් යම් වැරදි වලින් (පව්වලින්) වැළකීම ‘චාරිත්‍ර ශීල’ නම් වේ. වැඩිහිටියන්ට සැලකීම, ඔවුනොවුන් වශයෙන් මිත්‍රශීලීව හැසිරීම, පින්කම් කිරීම, පරිසරය සුරැකීම ආදී වශයෙන් හොඳ දෑ අනුගමනය කිරීම ‘චාරිත්‍ර ශීල’ නම් වේ. සිරිත් විරිත් අනුගමනය කිරීම යනු මෙයම යි. මේවා සිදුකළ යුත්තේ කයින් හා වචනයෙන් මිස සිතින් නොවේ. එම නිසා කෙනෙක් කයින් වචනයෙන් වැරදි කළහොත් සිල් බිඳේ. එහෙත් සිතෙන් සිල් නොබිදේ.

සිල් සමාදන්වීම පිළිබඳ වැරදි වැටහීම් නිසා අද බොහෝ බෞද්ධයෝ ශීලය කෙරෙහි දක්වන්නේ ආගන්තුක ස්වරූපයකි. සිල්දෙන භික්‍ෂුවගෙන් කොටසක් තමන්ට ලැබෙන බව සිතති. මේ නිසා සිල්වතුන් සොය සොයා ගොස් සිල් සමාදන් වෙති. සිල්වතුන්ගේ සිල්වලින් කොටසක් තමන්ට ලැබෙන නිසාත්, එහෙයින් පින් අත්පත් වෙන නිසාත්, යන වැරදි කල්පනාව හේතු කොට සිල් ආරක්‍ෂා කිරීමට ඔවුහු නොපෙළඹෙති.

එසේ නම් සිල් සමාදම්වීම යනු කුමක්ද? සිල් සමාදම් වීම යනු සිල් බාර ගැනීමයි. උදාහරණයක් වශයෙන් සතුන් මැරීමෙන් වළකින ශික්‍ෂා පදය සමාදම් වෙමි. (පාණාතිපාතා වේරමණී සික්ඛා පදං සමාදියාමි) ආදී වශයෙන් ඒ පව් වලින් වළකින බවට තිබෙන නීතිය (ශික්‍ෂා පදය) රකින බවට පොරොන්දු වීමයි. පොරොන්දු වූ පමණින් යමක් ඉටු නොවේ. එනිසා පොරොන්දුව රැකිය යුතුයි. එය සීලයයි.

මෙය චේතනා සීලය වශයෙන් හැඳින්වේ. කෙනෙක් ළඟ පොරොන්දු වූ විට ඔහු සාක්‍ෂියට තබා වැරදි වලින් වැළකී සිටිනවා මිස, සිල් දෙන පුද්ගලයාගේ ශීලයෙන් කොටසක් තමන්ට ලැබෙන්නේ නැති බව අවබෝධ කර ගත යුතු ය.

සමාදන් වූ හෝ පොරොන්දු වූ පරිදි, අකුශලයන්ගෙන් ඈත්ව කුසලයන්ගෙන් යුක්තව ජීවත් විය යුතුයි. එය චෛතසික සීල වශයෙන් විශුද්ධි මාර්ගයේ දී හඳුන්වයි. මේවා පුරුදු පුහුණු කිරීම ම පුද්ගලයාගේ දියුණුවට හේතු වේ.

සීලෙ පතිට්ඨාය නz_p18-rakima1රො සපඤ්ඤො
චිත්තං පඤ්ඤං ච භාවයං

(නැණවත් මිනිසා සිල් පුරා සමාධිගත, (භාවනාව) ප්‍රඥාවත් වඩයි)

විමුක්ති මාර්ගය ගොඩනැඟී ඇත්තේ ශීල සමාධි ප්‍රඥා යන ත්‍රිශික්‍ෂා මතයි. බුදුදහමේ අනූපූර්ව ලක්‍ෂණ යනු එයයි. අද කෙනෙක් පිළිවෙත් තේරුම් නොගෙන භාවනාව ම වඩති. ඉන් ලද ප්‍රගතියක් නම් නැත. භාවනා කිරීමට පෙර ශීලයෙන් ක්‍රියාකරී විය යුතුයි. ශීලයෙන් තොර භාවනාවක් නැත. ආදී චරණය වශයෙන් සීලය හඳුන්වන්නේ ද එම නිසායි.

රැකීමට පහසුම හා රැකීමට අපහසු ම සීලය

සිල් මුලින්ම පිරිය යුත්තේ ඇයි? මනසෙහි කෙලෙස් පවතිනා ආකාර තුන සලකා බැලීමෙන් එය තේරුම් ගැනීමට හැකි ය. එනම්,

1. අනුසය
2. පරියුටඨාන
3. වීතික්කම

මේවා මනසෙහි කෙලෙස් පවත්නා අවස්ථා හෙවත් ස්වභාව යයි. රාගය, ද්වේෂය, වෛරය, මානය, කුහක කම්, ගුණමකු කම් ආදී කෙලෙස් මනසෙහි පැලපදියම් වී නිදියගත් ස්වරූපයෙන් පවතියි.එසේ පැවැත්ම අනුසය වශයෙන් හැඳින් වේ. අනුසය වශයෙන් පවත්නා කෙලෙස් ප්‍රඥා ශික්‍ෂාව විසින් සංවර කෙරේ – යටපත් කෙරේ. (චිත්තානු පස්සනා වැනි භාවනා තුළින් අනුසය ධර්ම නැති කිරීමට සම්මර්ශනය කරයි) යටපත් කර ගත නොහැකි විටෙක අලුයට ගිනි පුපුරු සේ ඇවිලෙමින් කැකෑරෙමින් හාත්පසින් නැඟී සිටින තත්ත්වයකට පත් වේ. එය පරියුට්ඨාන (පරි + උට්ඨාන) වශයෙන් හැඳින් වේ. සමාධි ශික්‍ෂාව පරියුට්ඨාන අවස්ථාවේ මැඩ පවත්වා ගනියි. සිත එක අරමුණක මෙහෙයවීම, පිහිටුවීම, විසිරෙන්නට නොදී තබාගැනීම සමාධියයි. එය දියුණු කිරීම භාවනාව බැවින් භාවනා පුහුණුවෙන් හාත්පසින් නැඟී සිටි කෙලෙස් අවස්ථා සමනය කර ගනියි. මේ ආකාරයෙන් පරියුට්ඨාන කෙලෙස් පාලනය කර ගන්ට බැරි නම් වීතික්කම තත්ත්වයට පත්වේ. වීතික්කම යනු ඉක්මවා යෑමයි. පිටාර ගලා යෑමයි. අභ්‍යන්තරික වශයෙන් පැවැති කෙලෙස් සමාජගතවීම නොහොත් බාහිර ගත වන්නේ මේ මොහොතෙයි. මේ මොහොත පාලනය කරන්නේ, සන්සුන් කරන්නේ, සංවර කරන්නේ, වලක්වන්නේ ශීල ශික්‍ෂාවෙනි. කයින් හා වචනයෙන් සංවර නොවූ පුඟුලා නිරන්තරයෙන් ගැටුම්කාරී සමාජ පරිසරයක් ගොඩනඟා ගන්නේ මේ නිසා ය. මෙයින් සැප නොව දුක් ම අති වේ.

සිදු විය හැකි ලොකු කුඩා ගැටුම් වලක්වාගෙන කුසලවන්ත ජීවිත ගත කර ගත හැක්කේ සිල්වතෙකුට පමණයි. මේ ජීවන පැවැත්ම සමාජ ප්‍රගතිය උදෙසා මිස දුගතිය පිණිස නොවේ. වලක්වා ගැනීම පහසුම අවස්ථාවත් වළක්වා ගැනීමට අපහසුම අවස්ථාවත් වීතික්තම මොහොත බව ඔබට දැන් වැටහේ.

උපමාවක්

සුදෝ සුදු වතින් සැරසුනු සැදැහැවතෙකු සියලු සත්වයෝ සුවපත් වෙත්වා! නීරෝගි වෙත්වා! නිවන් දකිත්වා ! සිතමින් මෙත් වඩයි. තිගැස්සී දෙනෙත් විවර කොට බලන්නේ, නොදුරෙහි සිටින පුද්ගලයා, කලකට පෙර තම ජීවිතයට හානි කළ අසවලා යැයි හඳුනා ගනියි. දැන් සංසුන් මනස කැලඹී ක්‍රෝධය බුර බුරා පැන නගියි. තම ජීවිතයට කළ හානිය විවිධාකාරයෙන් සිහිවෙයි. සමාධිගත නොවූ සිතට මෙය පාලනය කළ නොහේ. පින්බර මුහුණ වෛරයෙන්, ක්‍රෝධයෙන් පුපුරු ගසයි. විඩාබර වේ. හදවතෙහි ක්‍රෝධය නමැති ගිනිදැල් දිදුලයි. දැන් දැන් මේ තත්ත්වය පාලනය කළ නොහේ. කටපියාගෙන සිටිය නොහැකිය. බැනගෙන බැනගෙන යයි. ඉන් නතර නොවේ. අතට අසුවූ ගල් ගෙඩියකින් සතුරාට පහර දෙයි. ලේ පෙරාගෙන බිම වැටෙයි. එයින්ම මිය යයි. කුරාකුහුඹුවෙකුටවත් වරදක් නොකළ, මොහොතකට පෙර මෙත් වැඩූ අහිංසක උපාසක තැන මිනීමරුවෙක් වී ඇත.

ඉහත සිද්ධියේ මෙත් වඩන අවස්ථාවේ කෙලෙස් අනුශය වශයෙන් පවතියි. පුද්ගලයා හඳුනාගත් මොහොතේ සිට ඇති වූ කැළඹීම් ස්වභාවය පරියුට්ඨානයයි. සමාධිය පුහුණු නොකළ නිසා කැළඹුණු ක්ලේශ සංවරගත නොහැකි විය. මෙහි වීතික්කම අවස්ථාව නම් බැණ වැදීමත් ගල්පහර දීමත් ය. කායික හා වාචසික වශයෙන් සංවර නොවූ හෙයින් කෙලෙස් පිටාර ගලාගොස් සමාජගත විය. ඇතැම් විට ඔහුට වාචසික සංවරයක් නොතිබී කායික සංවරය තිබුණා නම් හෝ මිනිස් ඝාතනයක් නොවේ. සීලය නොරැක්ක නිසා අහිංසකයා මිනී මරුවෙක් වූ හැටි ඔබට වැටහෙනවා නේද?

ප්‍රහීණ නොකළ නිදිය ගත්තාසේ සංතානයෙහි කිඳී පවතින ගතිය අනුශයයි. කාමරාග, පටිඝ, දිට්ඨි, විචිකිච්චා, මාන, භවරාග, අවිජ්ජා වශයෙන් ඒවා සත් වැදෑරුම් ය. වරක් බුදුරජාණන් වහන්සේ ළදරුවන්ගේ මනස තුළ පවා අනුශය වශයෙන් කෙලෙස් පවතින බව ‘මාලූංක්‍ය පුත්‍ර උඩුකුරුව නිදන කුඩා ළදරුවෙකුට ස්වකීය කය පිළිබඳව හැඟුමක් නොවේ. කෙසේ සත්කාය දිට්ඨියක් උපදින්නේ ද ඔහුට සත්කාය දිට්ඨිය අනුශය වශයෙන් පවතී යයි” වදාළහ.

මේ තරම් දීර්ඝව සාකච්ඡා කළේ ශීලයෙන් තොරව බෞද්ධ ජීවිතය ගොඩනඟා ගත නොහැකි බව පැහැදිලි කිරීමටයි. ශීලයෙන් වෙනත් පැති ජීවිතයේ අර්ථවත් කරගන්නේ කෙසේදැයි විමසා බලමු.

ශීලයෙහි ලක්‍ෂණය හෙවත් සාමාන්‍ය ස්වභාවය නම් සමාදන් ශික්‍ෂා පද අතට ගත් දෙයක් නොවිසිරෙන්නට, නොබිඳෙන්නට, නොවැටෙන්නට, අල්ලාගෙන පරිහරණය කරන්නා සේ රැක ගැනීමයි. කාලයක් තිස්සේ ඒ වැරදි වලින් වැළකී, සත් සමාජ චාරිත්‍ර විධි ආරක්‍ෂා කරමින් සිටින විට මනා පුහුණුවක් ලැබේ. එම නිසා ඉබේ සිදුවන ස්වභාවයට පත් වේ. එවිට ඔහු සිල් ඇත්තෙකි. නැතහොත් සිල්වතෙක් බවට පත්වේ. තවද ශීලය යනු ගතිය, ස්වභාවය යන අරුත්ය. පි‍්‍රයශීලී (පි‍්‍රය ගතිය) ප්‍රගතිශීලි (දියුණුවන ගතිය – ස්වභාවය) මිත්‍රශීලි (මිතුරු ගතිය) යන තැන් වලත් කැඩෙන සුළු, බිඳෙන සුළු යන තැන් වලත් ඇත්තේ මේ අදහසයි. සතුන් නොමරන, හිංසා නොකරන, සොරකම් නොකරන, අනුන්ගේ දෑ විනාශ නොකරන, කාමයෙහි වරදවා නොහැසිරෙන, මත් පැන් නොබොන, බොරු නොකියන, පරුෂ වචන නොකියන, හිස් වචන කතා නොකරන, දෙමව්පියන්ට සලකන, පිරිසුදුව, නිවැරදිව, දක්‍ෂව යමක් කරන, පොදු දේපල රකින ආදී ගති ඇත්තා සිල්වතෙකි.

ලෝක පාලක ධර්ම

සිල් රැකීමේ ආසන්න කාරණය හෙවත් හේතුව හිරි හා ඔත්තප්ප යන සෝබන චෛතසික දෙකයි. හිරි කියන්නේ පව් කිරීමට තියෙන ලජ්ජාවයි. ඔත්තප්ප කියන්නේ පව් කිරීමට තියෙන භයයි. ලෝක පාලක ධර්ම වශයෙන් ද ඒවා හඳුන්වයි. කෙනෙක් පව් කිරීමට තිබෙන භය නිසා දුෂ්චරිත නොකරති. කෙනෙක් පව් කිරීමට තිබෙන ලජ්ජාව නිසා දුෂ්චරිත වලින් වළකිති. ඇතැමෙක් මේ දෙකම නිසා දුෂ්චරිත නොකර සිටිති. හිරියෙහි විරුද්ධ වචනය අහිරිකයි.( පව් කිරීමට තිබෙන ලජ්ජා නැතිකම) ඔත්තප්පයේ විරුද්ධ වචනය අනොත්තප්පයි. (පව් කිරීමට තිබෙන භය නැති කමයි) හිරිඔතප් නිසා සමාජ සාරධර්ම රැකේ. ඇතැමෙක් තිරිසන් ගති ස්වභාවයක් දක්වන්නේ හිරිඔතප් බිඳුණු නිසා ය. ඇතැම් වැරදි ක්‍රියා කාලාන්තරයක් තිස්සේ කරගෙන ඒම නිසා වැරැද්දක් බවට නොහැඟේ.සිදු කළයුතු චාරිත්‍රයක් යැයි හැඟේ. මේ ආකාරයට ප්‍රපංච ගොඩනැඟී ම අතිශය ඛේදනීයයි.

හිරිඔතප් සහිත මෘදු මොලොක් ගති ගිහි පැවිදි දෙපිරිසටම අත්‍යවශ්‍යයි. දිනක් බුදුරජාණන් වහන්සේ ‘අලුත් විවාහපත් කාන්තාවක් යම් රැයෙක හෝ දවසක හෝ කැඳවාගෙන එන ලදුව, ආ අලුත ඇය නැන්දම්මා කෙරෙහි ද, මාමා කෙරෙහිද, ස්වාමියා කෙරෙහිද, පමණක් නොව දාසකම්කරු පුරුෂයන් කෙරෙහි පවා අතිශය විලිබිය සහිත වේ. එබඳු වධූකාව (ලේලි – භාර්යාව) එදා එහෙම වෙතත් ටික කලක් ගත වීමෙන් නැන්දා මාමා පමණක් නොව ස්වාමි පුත්‍රයා කෙරෙහි ද ලජ්ජා, බිය නැතිව තොපි කුමක් දනිවුද? මෙතැනින් ඉවත් ව යවු” යි වශයෙන් දරදඬු ස්වභාවය ඇතිවේ. එම නිසා අලුත ගෙනා මනමාලියක ගේ සිතට බඳු සිතින් විලිබිය සහිත වන්නෙමු. හික්මිය යුතුයි. භික්‍ෂූන්ට බුදුහු වදාරති. (තස්මාතිහ භික්ඛවෙ එවං හි සික්ඛිතබ්බං අධුනාගත වධූකා සමෙන චෙතසා විහරිස්සාම)

ඉතිරි කොටස ජූලි 11 පත්‍රයේ පළවේ