Home » පුවත් පත් ප්‍රකාශන » සම්මත ජාතික සංකේත වෙනස් කිරීම සුදුසු නැහැ

සම්මත ජාතික සංකේත වෙනස් කිරීම සුදුසු නැහැ

Hegoda-vipassi-teroජාතික ගීය දෙමළ භාෂාවෙන් ගායනා කිරීම සුදුසු නැතැයි සඳහන් කරමින්  රත්මලාන  ධර්ම පර්යේෂණාලයේ අධ්‍යක්ෂ  හෑගොඩ විපස්සි හිමියෝ  ජනාධිපති  මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත ඊයේ (24)  ලිපියක් යොමුකර ඇත.

උන්වහන්සේගේ අත්සනින් යුතුව යොමුකර ඇති එම ලිපියේ මෙසේද සඳහන්වේ.

ජාතික ගීය දෙමළ භාෂාවෙන්ද  ගායනා කිරීමට රාජ්‍ය අනුමැතිය  දීමට ජනාධිපතිතුමා එකඟතාව පළ කිරීමත් සමග රට පුරා  මහත් විරෝධතා මතුවෙමින් පවතී. ජාතික කොඩිය, ජාතික ගීය, රාජ්‍ය ලාංඡනය ආදී ජාතික සංකේතයන් යම් අර්ථයක්, යම් අවශ්‍යතාවක් උදෙසා සම්මතව පවතී ද එම චිරවිසම්භාවිත විවරණ තවදුරටත් ආරක්ෂා කිරීම නූතන රාජ්‍ය   යුතුකම වන්නේය.

ජාතික වේදනාවන්ට පිළියම් කිරීමේදී අප අන්ධ ලෙස තර්කයන් මත පිහිටා නොසිටිය යුතුය. චිරාත්  කාලයක් පැවැති සංස්කෘතික අයිතීන් මත ප්‍රජාතාන්ත්‍රික අයිතීන් ගොඩනැගීම ඕනෑම රාජ්‍යයක පදනමයි. අපේ ආසන්න රාජ්‍ය  වන ඉන්දියාවේ රාජ්‍ය ලාංඡනය  අශෝකස්ථම්භ ශීර්ෂයත්, කොඩියේ ධර්මචක්‍රයත්. පාර්ලිමේන්තුවේ  කථානායක ආසනයේ ඉහළින්ම යොදා ඇත්තේ “ධර්ම චක්‍රප්‍රවර්තනාය” යන පාඨයත් යන මේ කරුණු ඒ සඳහා නිදසුන් කොට දැක්විය හැකිය. බටහිර රාජ්‍යවල ස්වභාවයත් චිරාගත සංස්කෘතික උරුමයත් මත පිහිටා ජාතික සංකේතයන් සම්මත කොට ගැනීමයි.

විවිධ භාෂා කතා කරන, විවිධ ආගම් අදහන, විවිධ පක්ෂ භජනය කරන, විවිධ දෘෂ්ටි, මතවාද ඇති, විවිධ ජාතීන් වාසය කරන රටක ඒකීය තත්ත්වය ඇති කිරීමේ අධ්‍යාත්මක රිතීන් වශයෙන්  ජාතික සංකේතයන් සම්මතව පවතියි. එම නිසා සියලු ජනවර්ගයන්ගේ ලාංකේය පදනම ඇතිකිරීමෙහිලා ජාතික ගීය සිංහල භාෂාවෙන් පමණක් ගායනා කිරීම ව්‍යවස්ථාපිතයි. මෙයින් අන්‍ය භාෂකයන් නොසලකා හැරීමක් කිසිසේත්ම සිදු නොවේ. අපේ රටේ සෑම පුද්ගලයෙක්ම සිංහල භාෂාවෙන් ජාතික ගීය ගායනා කරන විට හෝ ඊට ගෞරව කරන විට ඔවුන්ගේ සිත් සතන්හි ඇති වන්නේ “අපේ රට” යන ‍පොදු හැඟීම්ය. එහෙත් භාෂා කීපයකින් ගායනා කිරීමේදී ඒ හැඟීම් ඇති නොවේ. එම නිසා ශ්‍රී ලංකා ජනරජයේ ජාතික ගීය “ශ්‍රී ලංකා මාතා ගීය වන්නේය” යන ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ 7 වන වගන්තිය තවදුරටත්  තහවුරු කළ යුතුය.

අවම වශයෙන් මාසයකට වරක් හෝ නිශ්චිත දිනක, නිශ්චිත වේලාවක සෑම රාජ්‍ය හා පෞද්ගලික ආයතනවලත් ජාත්‍යන්තර පාසල් ඇතුළු සියලු පාසල්වලත් රාජ්‍ය හා  පෞද්ගලික රූපවාහිනී, ගුවන් විදුලි නාලිකාවලත් ජාතික ගීය ගායනා කිරීමට සම්මතයක් ඇති කරගත හැකි නම් එය ලාංකේය ඒකීයත්වයේ සාර්වභෞම පදනමක් වනු ඇත.

//www.lakbima.lk/index.php?option=com_content&view=article&id=44711:2015-03-25-06-33-26&catid=34:news&Itemid=62