Home » වටිනා ධර්ම කරුණු » අපණ්ණක ප්‍රතිපදාව හෙවත් නොවරදින මග

Hegoda Vipassi Theroආගමක් ඇදහීම මිනිසාට ආවේණිකව පවතින්නේ බොහෝ කාලයක සිටය. එසේම කිසිම ආගමක් නො අදහන මිනිසුන් අද මෙන්ම එදා ද සිටි බව බෞද්ධ සාහිත්‍යයෙන් පෙනේ. ආගමිකයන් අතර ද එක්බඳුව හෘදයාංගමව ආගම අදහන අය නොවෙති. එලෙසින්ම ආගම ධර්මයන් ගේ විවිධත්වය ද, අද මෙන් එදා ද පැවැතී ඇත. බුද්ධකාලයෙහි ෂට් ශාස්තෘන්ද සිටි බව ප්‍රසිද්ධය. ඔවුන්ගේ ඉගැන්වීම් හෙවත් දර්ශන කීපයෙකි. ශාස්වත, උච්ඡේද, වශයෙන් හා නාස්තික, අකිරිය, අහේතුක කිරි අමරාවික්ඛෙප ආදී වශයෙන් ද වෙති. සියල්ල විග්‍රහ කළ විට දෙසැටකි. මේ ආකාර ආගම් වලාවට අසුව නො තෙමුනු මිනිසුන් සමූහයකට බුදුරජාණන් වහන්සේ දෙසූ දහමක් මෙහිලා ප්‍රකාශිත වන්නේ ය. එනම් අපණ්ණක ධර්මයයි. (මජ්ක්‍ධිම නිකාය) කොසොල් ජනපදයෙහි එක් කැලෑ දොරක “සාළ” නම් බමුණු ගමක් වෙයි. දනව් සැරි සරන නොයෙක් තරා තිරමේ මහණ බමුණෝ මේ ගමෙහි ළැගුම් ගනිති. ඔවුන්ට ආගන්තුක සත්කාර කරන ගම්වැසියෝ නොයෙක් විට ඔවුන් ගේ ධර්මයන් ද අසති. අනුන් හෙළා දැක තමන් හුවාගෙන කියන ඒ දහම්, එකිනෙකට ඇති විසමතාව නිසාම එගම්වැසියන් සත්‍යවශයෙන් ගෙන ශ්‍රද්ධාවෙන් අදහන්නේ නැත. මෙසේ පවතින සමයෙහි බුදුරදුහු ද චාරිකාවෙහි හැසිරෙන අතර එහි වැඩිසේක. මේ බව අසා සිරිත් පරිදි ගැමියෝ බුදුරදුන් වෙත ගියෝ ය. ඔවුන්ගේ ස්වභාවය දත් බුදුරජාණන් වහන්සේ ඊට සුදුසු දහමක් දෙසීමට ඔවුන්ගෙන් මෙසේ ප්‍රශ්න කළහ.

“ගෘහපතියෙනි, යුෂ්මතුන්ගේ ශ්‍රද්ධාව දිනාගත් කිසියම් පි‍්‍රයමනාප ශාස්තෘවරයෙක් සිටී ද?” කියායි. “නැත ස්වාමීනි”, කියා මීට පිළිතුරු ලැබුණේ ය. එවිට බුදුහු “පි‍්‍රයමනාප ශාස්තෘවරයකු නොලබන යුෂ්මතුන් විසින් මේ අපණ්ණක ධර්මය සමාදන්ව සිටිය යුතුයි. එය බොහෝ කලක් හිතසුව පිණිස වන්නේය’යි ප්‍රකාශ කළහ.

අපණ්ණක යනු කුමක්ද?

අටුවාචාරීන් විසින් ‘අපණ්ණකො අති විරුද්ධො අද්වෙජ්ඣගාමී එකංසගාහිකො” කියා අර්ථ දී ඇත. අපණ්ණක යනු අවිරුද්ධව දෙවිදියක් නැති, ඒකාන්තග්‍රාහී යනු එහි තේරුමයි. බුදු දහමෙහි මේ වචනය පාරිභාෂික ශබ්දයකි. ජාතකට්ඨ කතාවේද ‘අපණ්ණක’ නමින් ජාතකයක් ඇත. අපණ්ණක ප්‍රතිපදාව ගැන ත්‍රිපිටකයෙහි කීප පළක සඳහන් වේ. ‘අපණ්ණක’ යන්නේ විරුද්ධ පදය ‘තක්කගාහ” යන්නයි. අපණ්ණක යන වචනයට නිරුක්ති සෙවීම ඉතා දුෂ්කරය. කුමන ධාතුවකින් කුමන ප්‍රත්‍යයක් වී සිද්ධ පදයක් දැයි විග්‍රහ කළ තැනක් දක්නට නොලැබේ. එහෙත් රිස් ඩේවිඩ්ස් පඬිතුමා “අපඤ්භක” යන්නේ විකෘතියක් දෝයි මේ ගැන කල්පනා කරයි. මජ්ක්‍ධිම නිකායේ අපණ්ණක සූත්‍රයේ “අපණ්ණකං මේ තත්‍රැප්පති භවිස්සති” යන්නෙහි අපණ්ණකං යනු ක්‍රියා විශේෂණ පදයකි. “ඒකාන්තයෙන්” යන තේරුමයි. ‘ප්‍රශ්නයක් නැතිවම යන අදහසද (රීස් ඩේවිඩ්ස් මතය අනුව) එහි තිබේ. කෙසේ වෙතත් අපණ්ණක යන වචනයේ තේරුම ‘ඒකාන්තය’ යනුයි. බුදුරදුන් යටකී සාළ්‍යෙක බ්‍රාහ්මණයන්ට දෙසූ ධර්ම ක්‍රමය විමසා බැලීමේදී අපණ්ණක ප්‍රතිපත්තිය හෙවත් දර්ශනය පැහැදිලි වන්නේ ය.

බුදුහු එදා පැවැති දෘෂ්ටි පහක් නිදර්ශනය කරමින් නැණවතා විසින් ඒ මතයන් (දෘෂ්ටීන්) පිළිබඳව පිළිපැදිය යුතු හැටි – අපණ්ණක ක්‍රමය – වදාරා ඇත. ඒ දෘෂ්ටි පස නම් 1 නත්ථික වාදය, 2 අකිරියවාදය, 3 අහේතු වාදය, 4 න අරුප්පවාදය, 5 න භව නිරෝධ වාදය යන මේවාය. මෙහි නත්ථිකවාදය නම් මෙලොව නැත, පරලොව නැත යනාදී දසවිධ මිථ්‍යාදෘෂ්ටියයි. අකිරියවාදය යනු පින් පව්වල විපාක නැත යනාදී කම්පල නො ඇදහීමයි. අහේතු වාදය යනු සත්ත්වයන්ගේ කෙලෙසීමට හෝ පිරිසුදු වීමට හේතුවක් නැත ඉබේම පිරිසුදු වේ, යන මිසදිටුවයි. න අරුප්ප වාදය යනු සර්වප්‍රකාරයෙන් ම අරූප ලෝක නැත රූපලෝක නම් ඇත යන දෘෂ්ටියයි. න භව නිරෝධවාදය යනු සර්වප්‍රකාරයෙන් නිර්වාණයක් නැත අරූප ලෝකය නම් ඇත යන දෘෂ්ටියයි. මේ ධර්ම කොට්ඨාසයන් ප්‍රකාශ කළේ ෂට් ශාස්තෘන් බව ප්‍රසිද්ධය. මේවායේ තිබෙන විසමකම නිසා එකක් වත් සත්‍ය වශයෙන් නො පිළිගැනීම සාළෙය්‍යක බ්‍රාහ්මණයන්ගේ සිරිතයි. ඔවුන් අදහන ශාස්තෘවරයෙකු හෝ ආගමක් හෝ නැතැයි කීවේ එහෙයිනි. බුදුරදුන් සාළ්‍යෙයක ගෘහපතියන් අමතා දෙසූ මේ ධර්ම ක්‍රමය සැකෙවින් මෙසේ ය. “ලෝකයෙහි පරලොවක් නැතැයි” කියන අය ද ඇත. ඔවුන්ට කෙළින්ම විරුද්ධ “පරලොවක් ඇතැයි” කියන අය ද ඇත. මේ දෙපක්ෂයෙන් පරලොවක් නැතැයි කියන නාස්තිකවාදියා කුසල් දහම් අත්හැර පව්කම්හි නියැළිව පව්කම්වල ආදීනව නොබලමින් පින්කම්වල ආනිසංස නො දකිමින් මිථ්‍යාදෘෂ්ටි හේතුවෙන් බොහෝ පව් රැස්කර ගනී.” මේ නාස්තිකවාදියා දෙස නැණවතා බලන්නේ මෙසේ ය. ඉදින් පරලොවක් නැත්නම් මේ මිනිසා මැරුණාම හොඳ ආත්මයක් (නමක්) කරන්නේද? (නැත) ඉදින් පරලොවක් ඇත්නම් මොහු මරණින් පසු අපායට යන්නේය. ඔවුන්ගේ වචනය ඇත්ත වී ඒකාන්තයෙන්ම පරලොවක් නැති වුවත් ඔහු මේ ලොව වශයෙන් “දුශ්ශීල මිථ්‍යා දෘෂ්ටික නාස්තික වාදියෙකැ”යි නුවණැත්තන් විසින් නින්දා කටයුත්තෙක් වන්නේ ය. ඉදින් පරලොවක් තිබුණොත් මොහු අපායට යන නිසා එලොව මෙලොව දෙතැනම මොහුට පරාජයයි. එනම් මෙලොව නින්දාව හා පරලොව අපාය ලැබීමයි. මොහු අපණ්ණක ධර්මය වරදවා සමාදන් වූයේ එක පැත්තක් (මෙලොව) පමණක් ගෙන සිටී. කුසල් පැත්ත අත්හරියි. එසේම පරලොවක් ඇතැයි කියන අත්ථිකවාදියා අකුසල් අත්හැර පින් දහම් කරමින් පව්කම්හි ආදීනව හා පින්කම්හි ආනිසංස බලමින් සම්‍යග්දෘෂ්ටි හේතුවෙන් බොහෝ කුසල් රැස්කර ගනී. මොහු දෙස නැණවතා බලන්නේ මෙසේ ය. ඉදින් පරලොවක් ඇත්නම් මොහු ඒකාන්තයෙන් මරණින් පසු සුගතියට යන්නේ ය. පරලොවක් නැත කියා කියන්නවුන්ගේ වචනය ඇත්ත වී පරලොවක් නැති වුවත්, අන්‍යයන් විසින් මොහු සිල්වතෙක සම්‍යක් දෘෂ්ටිකයෙක අත්ථික වාදියෙක කියා ප්‍රශංසා කරනු ලබන්නේ ය. මේ නිසා පරලොවක් ඇතත් මොහු (සුගතියට යන නිසා) දිනුයේ ය. නැතත් ප්‍රශංසා කරනු ලැබූ නිසා දිනුයේ ය. දෙතැන්හි ම දිනුයේ ය. මොහු අපණ්ණක ධර්මයන් හරි හැටි සමාදන් වූයේ දෙපැත්තම (එලොව මෙලොව) පැතිර ගෙන සිටියි. අකුසල් පැත්ත අත්හරියි. (අපණ්ණක ධර්මය නම් මෙයයි) අක්‍රියවාදියා හා අහේතුක වාදියා ගැන ද මේ ආකාරයෙන්ම නැණවතා විසින් සලකා බලන බව තථාගතයන් වහන්සේ දෙසූහ. තවද ආරුප්ප (අරූප ලෝක) නැතැයි ද ඇතැයි ද කියන්නවුන් ගැන නැණවත් තැනැත්තා විසින් සලකා බලන හැටි මෙසේ දේශිතය. මා විසින් ආරුප්ප ඇති බව හෝ නැති බව නො දක්නා ලදී. මා එසේ නොදැක නොදැන එය සත්‍යයයි ඒකාන්ත වශයෙන් ගෙන ව්‍යවහාර කරනවා නම් එය මට නුසුදුසු ය. “ආරුප්ප නැතැයි” යි කියන අයගේ වචනය සත්‍ය වූවත් රූප ලෝක ඇත. ඒකාන්තයෙන්ම මා එහි උපදිනවා ඇත. “ආරුප්ප ඇතැ” යි කියන්නවුන්ගේ වචන ඇත්ත වී ඒවා (අරූප ලෝක) තිබුණොත් මා එහි උපදිනවා ඇත. (මේ අනුව ආරුප්ප තිබුණත් මට හොඳය, නැතත් මට හොඳයයි සැලකීම අපණ්ණක ධර්මයයි.) එසේම භව නිරෝධ සංඛ්‍යාත නිර්වාණය නැතැයි ද ඇතැයිද කියන්නෝ වෙති. මොවුන් ගැන නැණවතා කල්පනා කර බලනහැටි මෙසේ දේශිතය. “නිර්වාණය ඇති හෝ නැති බව මම නොදුටුයෙමි. නොදනිමි. නො දැක නො දැන ඒකාන්ත වශයෙන් සත්‍ය ලෙස පිළිගැනීම මට නොවටී. නිර්වාණය නැති වුවත් අරූප ලෝක ඇත. භාවනා කිරීමෙන් මා එහි උපදිනවා ඇත. නිර්වාණය ඇතොත් දිටුදැමියෙහිම මම පිරිනිවන් පාන්නෙමි. මෙයින් නිවන නැත යන දෘෂ්ටිය ඇල්මට සංයෝගයට ළං වෙයි. නිවන ඇත යන දෘෂ්ටිය විරාගයට මෝක්ෂයට ළං වේ. නිවන නැතත් (අරූපාවචරයෙහි උපදින නිසා) භාවනාකිරීම හොඳය. ඇතත් (මෙලොව වශයෙන් ම පිරිනිවෙන නිසා) භාවනාව හොඳය. මේ අපණ්ණක ධර්මයයි. බුදුරදුන්ගේ මේ සූත්‍ර දේශනාව අනුව අපණ්ණක ප්‍රතිපදාව වනාහි බුදුදහමෙහි විශිෂ්ට දර්ශනයකි. මේ දර්ශනවාදය එක වචනයකින් තේරුම් කළ නොහැකිය. මේ දර්ශනය ඉතා මැනවින් පිළිබිඹුවන කවියක් සුභාෂිතයේ එයි.

“ඇතත් නැතත් පරලොව සුදනෙනි මහත
හළොත් යෙහෙකි පව්කම් නොතබාම සිත
නැතත් එපරලොව ඉන් වන අවැඩ නැත
ඇතොත් නැතැයි පව් කළහට වෙයි විපත”

මෙහි තේරුම ඉතා පැහැදිලිය. පද ඝටනාව ඉතා රමණීයයි. නිගමනය නුවැණති කවුරුන් විසින් හෝ පිළිගැනෙන්නකි. මෙයින් වටහා ගත යුතු “දර්ශන ලක්ෂණය” කුමක්ද? එය අනිකක් නොව, “තමන්ට අවිනිශ්චිත වූ හෝ අවිෂය වූ හෝ කාරණයක් ගැන පිළිපදින ක්‍රමය” යි. එය ඒකාන්ත ක්‍රමයකි. නොවරදින ක්‍රමයකි. විරෝධයක් නැති ක්‍රමයකි. තර්කයක් නැති ක්‍රමයකි. දෙගිඩියාවක් නැති ක්‍රමයකි. අපක්ෂපාත ක්‍රමයකි. එනම් අපණ්ණක ප්‍රතිපදාවයි.

අපණ්ණක ජාතකය

අපණ්ණක ජාතකයෙන් බෝසතුන්ගේ “අපණ්ණක පටිපදාවත්” බාල සත්ථවාහයන් (දෙව්දතුන්) ගේ “තක්කාගාහ පටිපදාවත්” පැහැදිලි වෙයි. මේ දෙදෙනාම ගැල් පන්සියයක් බැගින් බඩු පුරවා ගෙන බරණැස සිට වෙළෙඳාමට යාමට සූදානම් වෙති. එකවරම එකටම පිටත්ව ගියොත් දෙදෙනාටම වෙළෙඳාමට අලාභයකි. ඒ නිසා කවුරුන් ඉස්සෙල්ලා යායුතු දැයි තීරණය කර ගැනීමට දෙදෙනාම හමුව සාකච්ඡා කරති. මේ සාකච්ඡාවේ දී ඔවුන් දෙදෙනා පිළිපන් ආකාරයයි. මෙහි ඒ ප්‍රතිපදා දෙක. බෝසතුන්ගේ පිළිපැදීම අපණ්ණක විය. බාල සත්ථවාහයන්ගේ පිළිපැදීම සපණ්ණක හෙවත් තක්කගාහ විය. දෙදෙනා පිළිපැද්දේ කෙසේද? මෙය තේරුම් ගැනීමෙන් අපණ්ණක ප්‍රතිපදාව වැටහෙන්නේ ය.

මේ සාකච්ඡාව කිරීමට සිතුවෝ බෝධිසත්වයෝ ය. ඔහු හෝ මා පළමුවෙන් යායුතු යයි සිතූ බෝසතුන්ගේ අදහස නම් “පළමුව ගියත් පසුව ගියත් තමන්ට හොඳ බව“ යි. එසේ පිළිගන්නා තැනැත්තාට විරුද්ධවාදයක් නැත්තේය. එහෙයින් අවිරුද්ධ පටිපදාවයිද මෙය හැඳින්විණ. එසේ ම “කලින් යනවාද” “පසුව යනවාද?” කියා ප්‍රශ්නයකුත් ඔහුට නැත්තේ ය. ලැබුණු ලෙසකින් යන අදහස ඇති හෙයිනි. එවිට මෙය ඒකාන්තය. එහෙයින් මෙය “ඒකංසපටිපදා” නම් ද වේ. ඒකාන්ත නිසාම ප්‍රශ්නයක් නැති නිසාම දෙගිඩියාවක් ද ඔහුට නැත්තේ ය. එහෙයින් “අද්වෙජ්ඣගාමී” නම් වේ. අන්‍යයාට හොඳ එකක් තෝරා ගැනුමට දෙකම දීම නිසා මෙය පරිත්‍යාගයකි. එහෙයින් “නීය්‍යාණික පටිපදා” නම් වේ. “කලින් ගියොත් ලාභ ඇත. පසුව ගියොත් ලාභ නැත. එහෙයින් කලින් යා යුතුය” කියා තර්කයකුත් ඔහුට නැත. එහෙයින් මෙය “අතක්කගාහ” නම් ද වේ. බාලසත්ථවාහයා කලින් යාමේ අනුසස් බලා ප්‍රයෝජන ද දැක එය තෝරා ගත් පසු බෝසතුන්ට ලැබුණු පරිදි පසුව යාම සම්බන්ධව වැඩි අනුසස් හෙතෙම දුටුයේ ය. යම් හෙයකින් බෝසතුන්ට ලැබුණේ කලින් යාම නම් එහිද වැඩි අනුසස් ඔහු දකිනු ඇත. මෙහිදී බෝසතුන් ක්‍රියාකළ අදහස්කළ ප්‍රතිපත්තිය “අපණ්ණක පටිපදාව“ බව සැලකිය යුත්තේ ය. එහි ප්‍රතිපක්ෂ ධර්මය නම් “තක්කාගාහ පටිපදාව“ බව යට කියන ලද්දේ ය. එනම් බාලසත්ථවාහයන් ගත් ක්‍රමයයි. “කලින් ගියොත් නොබිඳුනු පාරේ යත හැකිය. ගොනුන්ට නොයිඳුල් අලුත් තණ කා හැකිය. මිනිසුන්ට නොයිඳුල් ලා පලා කෑ හැකිය. නොකැලැත් පැන් පිය හැකිය. කැමති ගණනකට බඩු විකුණා ගත හැකි”යි සිතු ඔහු කලින් යාම තෝරා ගත්තේ ය. ඔහු එය තෝරා ගත්තේ තර්කයෙන් කල්පනා කර බලාය. එහෙයින් එය “තක්කගාහ” නම් වේ. දෙකකින් හොඳයයි සිතෙන දෙය තෝරා ගන්නා විට අන්‍යයාගේ විරෝධයක් ඇතිවන්නේ ය. එහෙයින් මෙය “විරුද්ධ පටිපදා” නම් වේ. එක පැත්තක් (මෙහි කලින් යාම) හොඳ සේ අරගෙන ක්‍රියාකළ විට එය නරක් වූවොත් ඔහුගේ ගැනීම( ගාහය) ඒකාන්ත නොවේ. නිශ්චය වශයෙන් ම ඒකාන්තයෙන්ම හොඳ එකක් නොවේ. සැක සහිතය. එහෙයින් මෙය ‘අනේකංස පටිපදාව“ නම් ද වේ. (කලින් ගියත් හොඳයි පසු ගියත් හොඳයි” කියා ගන්නාගේ ග්‍රාහය ඒකාන්ත බව පැහැදිලිය. මේ දෙදෙනාගේ පටිපදාවන්ගේ (ප්‍රතිපත්තිවල) ප්‍රතිඵලය ජාතක කතාවේ පැහැදිලිවෙයි. කලින් ගිය බාලසත්ථවාහයන් යකුන්ට අසුවී විපතට පත් වූ හැටිත් බෝසතුන් සුඛිත වූ හැටිත් සිහිකර බැලිය යුත්තේ ය.

උපුටා ගන්නා ලද්දේ http://lakehouse.lk/budusarana/2015/07/31/tmp.asp?ID=vision08