Home » පුවත් පත් ප්‍රකාශන » මූලික අයිතිවාසිකම් හමුවේ ශාසනික සම්ප්‍රදාය බිඳ වැටේද ?

ධර්මය පිළිබඳ ප්‍රශ්නයකදි දැන උගත් එක් භික්ෂුවකගෙන් අසා පිළිගැනීමට වඩා එබඳු දෙතුන්නමකගෙන් අසා පිළිගැනීමටත් වඩා උගත් ගණනායක මහා සංඝයාගෙන්ද ඊටත් වඩා බුදුන් ගෙන්ම අසා පිළිගන්නා ලදැයි කීමද උසස් ලෙස සැලකිය යුතුය.

ධර්මය පිළිබඳ ප්‍රශ්නයකදි දැන උගත් එක් භික්ෂුවකගෙන් අසා පිළිගැනීමට වඩා එබඳු දෙතුන්නමකගෙන් අසා පිළිගැනීමටත් වඩා උගත් ගණනායක මහා සංඝයාගෙන්ද ඊටත් වඩා බුදුන් ගෙන්ම අසා පිළිගන්නා ලදැයි කීමද උසස් ලෙස සැලකිය යුතුය.

පරමාදර්ශී සමාජයේ කේන්ද්‍රීය රීතිය වන්නේ සංවරයයි. එහිලා භික්ෂූන්ට බුදුරජාණන් වහන්සේ පිරිපුන් සිල් ඇතිව, ප්‍රාතිමෝක්ෂ සංවරයෙන් යුතුව වාසය කරන ලෙසත්, ආචාර ගෝචර සම්පන්න වන ලෙසත් සුළු වරදෙහි පවා බිය දක්නා සුළුව ශික්ෂා පදයන්හි හික්මෙන ලෙසත් වදාළහ. බුදුහු මුල් විසි අවුරුද්දක පමණ කාලය තුල භික්ෂු ජීවිතය හැඩ ගැසුනේ ඕවාද හෙවත් අවවාද ප්‍රාතිමෝක්ෂයෙනි. ඉන්පසු ඇතිවු විපරිනාම ධර්ම හේතු කොට ආනා හෙවත් ආඥා ප්‍රාතිමෝක්ෂයක අවශ්‍යතාවය මතු විය. මේ නිසා විනය ශික්ෂා 227ක් ඊට අතිරේක විනය පිටකයේ අන්තර්ගත තවත් අතිවිශාල විනය ශික්ෂාකර්මයන් පහළ වන්නට විය.

විවිධ විශේෂ නය (ක්‍රම) ඇති බැවින් හා කය වචන දෙක හික්මවා විශිෂ්ට තත්ත්වයකට පත් කරවන බැවින් විනය යැයි අටුවාවෙ සඳහන් වේ. අනිත් විනය යනු පරමාර්ථ

සත්‍යයක් නොව සමාජයක නිරවුල් පැවැත්ම සඳහා ඇති කරගත් සම්මුතියකි. එම නිසා ධර්මය මෙන් විනයෙහි ෙද්දාන්තික පදනමකට වඩා නෛතික පදනමකින් යුක්ත බවද පැහැදිලිය. සමාජ බද්ධ ප්‍රස්තුතයක් වූ විනය සාර්වභෞම සර්වකාලීන නොවන හෙයින් කාල දේශ වශයෙන් වෙනස් වෙයි, වෙනස් විය යුතුය. එසේ නූනහොත් ආයතනික චිර පැවත්මට හානිදායකය. බුදු රජාණන් වහන්සේ කුඩා අනු කුඩා සිකපද උල්ලංඝනය කිරීමට අවසර දුන් නමුත් බුද්දානුද්දක ශික්ෂා පද කුමක්දැයි නොවදාළ බැවින් ඒ කිසිවක් වෙනස් නොකිරීමට ප්‍රථම සංගීතිකාරක තෙරුන් වහන්සේලා නිගමනය කළහ. මෙනිසා විනය නම් බුද්ධ ශාසනයේ ආයුෂ වෙ. විනය පවත්නා තෙක්ම බුදු සසුන පවතියි යනුවෙන් උන් වහන්සේලා සම්මුතියකට එළඹුණහ. හුදෙක් එය නූතන භික්ෂුවකට ආප්තෝපදේශයක්ම වේ.

යම් භික්ෂුවකට විනයෙහි එය තහනම් කර නැතැයි කියා ශ්‍රමණ ආකල්ප වලට සංවරයට නොගැළපෙන දෙයක් කළ හැකිය. එසේම ධර්ම විනයෙහි එකළ ඒ ෙද් අනුදැන නැතැයි කියා ශ්‍රමණ සාරුප්‍යයටද ගැළපෙන දෙයක් මග හැරිය හැකිය. එවැනි හැඟීම් වළක්වා නිර්වද්‍ය දේ කිරීමටත් සාවද්‍ය දේ නොකිරීමටත් විමර්ශනශීලී ධර්මඤාණයෙන් යුක්ත විය යුතුය. එ සඳහා උපයෝගී කර ගත හැකි සාධාරණ දහම් නය වශයෙන් මහාපදේස පෙන්වා දිය හැකිය. මහා අපදේස යන පද දෙක සන්ධී වී මහාපදේස යන පදය සෑදී ඇත. අපදේස යනු ඉඩ හෝ කරුණු යන අර්ථයයි. බුද්ධාදී උතුමන් බොහෝ දේ කෙටිකොට දැක්වූ මහා කරුනු මහාපදේසයයි. තවද පරිවාරපාලි පාඨයට අරුත් සපයන තැන මහාපදේස සාමුක්කංසිකයන් ලෙස දක්වයි.

නියමයකට හෝ ව්‍යවස්ථිත නීතියකට අසු නොවූ දෙයක් ඒ නීති පරමාර්ථයන්ට එකඟ වන සේ තීරණය කිරීම සඳහා ගන්නා “මාර්ගය” මෙයින් පැහැදිළි කරන බවත් එය ප්‍රමාණයක් වශයෙන් ගන්නා විට එකක් වත එනම් “ආප්තය” හෙවත් “ආප්තානුලෝම”යි මහාපදේස පිළිබඳ අදහස් දක්වමින් හෑගොඩ ඛෙමානන්ද නාහිමියෝ පවසත්. අංගුත්තර නිකායේ මහා පරිනිබ්බාන සුත්‍රයෙහිත් , නෙත්තිප්පකරණයෙ යුත්තිභාර විභංගයේත් අන්තර්ගත මහාපදෙස සූත්‍රාන්ත මහාපදේස වශයෙන් දැක්විය හැකිය. ඒ මහාපදේශයන්හි සමෝදානයක් පහත දැක්වේ.

  1. මෙය ධර්මය , මෙය විනය , මෙය ශාස්තෘ ශාසනය කියා බුදු රජාණන් වහන්සේ අසන ලදී. නැතහොත් බුද්ධාපදේස
  2. මෙය ධර්මය , මෙය විනය , මෙය ශාස්තෘ ශාසනය කියා අසවල් වෙහෙර වසන සංඝ මහා ස්ථිවරය උන්වහන්සේලාගෙන් අසන ලදි. නැතහොත් සංඝාපදේස.
  3. මෙය ධර්මය, මෙය විනය, මෙය ශාස්තෘ ශාසනය කියා අසවල් වෙහෙර වසන බහුශුත ධර්මධර භික්ෂූන් ගෙන් අසන ලදී, නැතහොත් සම්බහුලථේරාපදේස
  4. මෙය ධර්මය , මෙය විනය , මෙය ශාස්තෘ ශාසනය කියා අසවල් වෙහෙර වසන බහුශ්‍රුත ධර්මධර එක භික්ෂූන් ගෙන් අසන ලදි. නැතහොත් එකත්ථේරාපදේස

ධර්මය පිළිබඳ ප්‍රශ්නයකදි දැන උගත් එක් භික්ෂුවකගෙන් අසා පිළිගැනීමට වඩා එබඳු දෙතුන්නමකගෙන් අසා පිළිගැනීමටත් වඩා උගත් ගණනායක මහා සංඝයාගෙන්ද ඊටත් වඩා බුදුන් ගෙන්ම අසා පිළිගන්නා ලදැයි කීමද උසස් ලෙස සැලකිය යුතුය. එහෙත් ශබ්ද ශ්‍රැතිය මත පවත්නා ඒ සෑම අවස්ථාවකම සාධූත්වයෙන් පිළිගත යුත්තේ සූත්‍රාදිය හා සසඳා ගැළපේ නම් පමණකි. නොඑසේ නම් ප්‍රතික්ෂේප කළ යුතුයි. නෙත්තිප්පකකරණයේ මහෝපදේස විවරණය මීට වඩා වෙනස්ය. මහාපදේශයන් සූත්‍රයෙහි ගැළපිය යුතු විනයෙහි සැසඳිය යුතුය. ධම්මතා (ධර්මතා) වෙහි තැබිය යුතුය. සූත්‍ර යනු චතුරාර්ය්‍ය සත්‍යයිද , විනය යනු රාග – දෝස – මෝහ විනයයිද , ධර්මතා යනු ප්‍රතිත්‍යසමුප්පාද යයිද සඳහන් කරයි. එහෙත් මේ පිළිබඳව නොදාරා නොදැනුවත්වම පැවිදි නොපැවිදි ඇතැමෙක් සර්ව කාලින බුදු දහම කාලීන කිරිමට යැයි කියමින් අසත්‍ය අශාස්ත්‍රීය තර්ක විතර්ක හුවා දක්වමින් ශාසනවිලෝමකව ක්‍රියා කරති. පෙළ දහම , අටුවා ටිකා හා තදනුබද්ද සප්‍රාමාණික කෘති ආශ්‍රිතව ශික්ෂණයකින් හෙබි ව්‍යක්ත , විශාරද , බහුශ්‍රුත ධර්මධර භාෂාතත්වඥයන් විසින් සිදු කරන ලද හා සිදු කළ යුතු ත්‍රිපිටක පරිවර්තන ආදී උදාර කර්තව්‍ය අප්‍රබද්ධ භික්ෂූන්ගේ අත්තනෝමතික ග්‍රහණයට නතුව තිබේ. එම නිසා සාවද්‍ය පරිවර්තන එළි දකී. සෑම ආගමික සිරිතක්ම හෙළ බසින් සිදු කළ යුතුයි පෙන්වා දෙති. මේ වන විට චිරාගතව පැවති පිරිත් සජ්ඣායනා පවා ගීත ස්වරයෙන් සිංහලකරණය වී ඇත. විද්‍යා ආදී නූතන සංකල්ප හා සසඳමින් එදා බුදු ඇසින් දුටු යථාර්ථය මෙදා විදු ඇසින් දැකිමට සාවද්‍ය ප්‍රයත්න දරති. මනා ගුරු ආශ්‍රයක් ලබමින් චිරාගත ශාසන සම්ප්‍රදායානුකූලව භික්ෂූත්වය ගොඩනගා ගත යුතුයි. එසේ නොවූ හෙයින් බුඩ්ඩ පබ්බජිත ඕලාරික චරියා නිසා ශාසනික ස්වලක්ෂණ හා චාරිත්‍රවිධීන් විනාශ වෙමින් පවතියි. බහුශ්‍රුත ධර්මධර භික්ෂූන්ගේ උපදෙස් පවා නොතකමින් ඔවුන්ගේ අත්තනෝමතික ක්‍රියා හේතු කොට බුද්ධ භාෂිත දූෂිත විම නොවැළැක්විය හැකිය. එම නිසා ස්වයං ශික්ෂණය සඳහා බුදුන් වදාළ මහාපදේස එම පැවිදි පිරිසේ දැඩි අවධානයට ලක් විය යුතුය.

ශාසනික පැවැත්මේ අතීත වර්තමාන අනාගත යන කාලත්‍රය සම්බන්ධ දේවල් පිළිබඳ එකක් එකක් පාසා විනය ශික්ෂා පැනවිය නොහැකිය. ධර්ම විරෝධී ශාසන විරෝධී නොවන පරිදි විනය ශික්ෂා වෙනස් කර ගැනීම විනය පිටකයේ පහාපදේස උපයෝගි කර ගත යුතුයි.

  1. අකැපයි , තහනම් කර දෙය අකැපයට අනුලෝමී ( එකඟ) නම් අකැපයි
  2. අකැපයයි තහනම් නැති දෙය කැපයට අනුලෝමී නම් කැපයි
  3. කැපයයි නියම කර නැති දෙය අකැපයට අනුලෝමී නම් අකැපයි
  4. කැපයයි නියම කර නැති දෙය කැපයට අනුලෝමී නම් කැපයි.

තවදුරටත් මෙය වටහා ගැනීම සඳහා හෑගොඩ ඛෙමානන්ද නාහිමියන්ගේ ථේරවාදන්‍යායයේ දක්වා ඇති නිදසුනක් දක්වමු.

  1. භික්ෂූන්ට බයිසිකල් පැදීම අකැපයයි තහනම් කර නැත. එහෙත් අකැපයට අනුලෝමය. කාය සංවරය නැති වන හෙයිනි. එහෙයින් අකැපය.
  2. සවසට තේ බීම අකැපයි තහනම් කර නැත. කැපයට අනුලෝම අෂ්ට පාන චතුමධුරාදිය වැනි හෙයිනි. එහෙයින් එය කැපය.
  3. අතේ ඔරලෝසු බැඳීම භික්ෂූන්ට නියම කර නැත. එය අකැපයයි අනුලෝමය. මණ්ඩන විභූෂණයක් වන හෙයිනි. එහෙයින් එය අකැපය.
  4. අසංකඩයේ ඔරලෝසු පාවිච්චිය නියම කර නැත. එය කැපයට අනුලෝමය. අවශ්‍ය පිරිකරක් මෙන් වෙලාව දැනගැනීමේ උපකරණයක් වන හෙයිනි. එහෙයින් එය කැපයි.

අනියමිත දෙ වුවද කිරීමටත් , නොගැළපෙතොත් එවැනි දෙ නොකිරීමටත් විනය පිටකාගත අපදේසයන්හි උපයෝගිතවයි. එහෙත් මෙවැනි විනය ශික්ෂා නොතකා නොවිමසා ශාසන විරෝධී ක්‍රියා මාර්ගයන්ට පෙළඹී ඇති බව පෙනේ.

රාජ්‍ය මන්ත්‍රණ සභාවල ධුරදැරීම හෝ රිය පැදවීම ආදී නූතන ක්‍රියාදාම භික්ෂුවට තහනම් කොට නැත. එවැනි උපස්තිථියක් (එළඹුමක්) බුදුන් දවස නොතිබුන බැවිනි. එසේ නුවු පමණින් එවැනි ක්‍රියාමාර්ගයන්ට භික්ෂුව සුදුසු නොවේ.

එසේ වූයේ නම් එය වැරදි ලෙස ශාසන දායාද සෙවීමකි. ( අයෝනිසෝ දායජ්ජං ගවේසති). කෙසේ වුවත් විවිධ දුර්වල හේතු සාධක හුවා දක්වමින් “අපිත් යමක් ශාසනය වෙනුවෙන් කළා” යැයි ආදිකම්මිකයන් වීරයන් වීමට මාන බලන අඳබාල මානසික ප්‍රවණතාවක් ඇතැම් භික්ෂු චර්යාවන්ගෙන් පෙනේ.

බුදුරදුන් වදාළේ සුළු සැපයක් වෙනුවෙන් විශාල සුඛ විහරණයක් විනාශ කර ගැනීම නුවණැත්තාගේ මග නොවන බවයි. ජීවිතයේ භෞතික අවශ්‍යතා පමණක් සපුරා ගැනීමෙන් මිනිසත් බව සඵල කර ගත හැකිය යන චාර්වකවාදි මත කර පින්නා ගත්තෙකුට ස්වකීය භුමිකාවේ සංස්ථිතික නීතිරීතීන් ඉක්මවා යමින් සියයට සියයක්ම නීතිය මත පිහිටා තර්ක විතර්ක කරමින් මූලික අයිතිවාසිකම් දිනා ගැනීමට අපහසු නොවන්නේය.

එහෙත් ආධ්‍යාත්මික රිතීන් නොසළකා එවැනි උපස්ථිති කරා එළඹෙනහුට මවද තවත් කාන්තාවක් යන නිගමනයට පත් වීමට අපහසු නොවන්නේය.

කෙසේ වුවත් හතළිස් දහසක් පමන භික්ෂූන් වහන්සේලා වැඩ සිටින නූතන සංඝ සසුනේ මහනායක ස්වාමින්ද්‍රයන් වහන්සේලා 32නමක් පමණ විරාජමානවෙති. අනුනායක මාහිමිවරුන්ගේ සංඛ්‍යාව ඊට වැඩි වන අතර පළාත් , දිස්ත්‍රික් , කෝරළ , පත්තු , දිසාපාලක ආදි වශයෙන් නිලයානුබද්ධ නායක ස්වාමින්ද්‍රයන් වහන්සෙලා ඊටත් වඩා වැඩිය. චිරාගත ශාසනික සම්ප්‍රදායයන් උල්ලංඝනය කරමින් ශාසන විලෝමක ක්‍රියාවන්හි නිරත පැවිද්දන්ගේ මෙන්ම ගිහියන්ගේ ක්‍රියාදාමයන් හමුවෙ උන්වහන්සේලා අසරණ වෙති. ඒ නිසා ධර්ම විනය විරෝධී සංසිද්ධීන් තැන ලොප් කිරීමටත් , ශාසනික අභිවෘද්ධිය පිණිස ඉවහල් වන සංඝ සම්මුතියක් හෙවත් නුතන කතිකාවතක අවශ්‍යතාවය පිළිබඳ ශාසන භාරධාරී තෙරවරුන්ගේ දැඩි අවධානයට යොමු කිරීමට කාලයයි මේ.