Home » විශේෂාංග » සත්පුරුෂයින් හඳුනා ගැනීම දුෂ්කරය

සත්පුරුෂයින් හඳුනා ගැනීම දුෂ්කරය

පින්වතුනී,

ලෝකයේ වෙසෙන සතා සිව්පාවා දුටු පමණින් හඳුනා ගන්න පුළුවන්. දැන් බලන්න සිංහයා, කොටියා, ගිරවා, නයා කපුටා ආදී ඒ ඒ සතුන්ට ආවේණික ලක්‍ෂණවලින් ම පුංචි ළමයෙකුට උනත් හඳුනා ගන්න පුළුවන් ද? බැහැ නේද? ඒ ඇයි? බුදුරජාණන් වහන්සේ වදාළේ,

න වණ්ණ රූපෙන නරෝ සුජානෝ

න විස්සසේ ඉත්තර දස්සනේන

සුසඤ්ඤතානං හි වියංජනේන

අසංඤතා ලෝකමිමං චරන්ති

පාටින් රූපයෙන් මිනිස්සු හඳුන ගන්න බැහැ. දුටු පමණින් විශ්වාස කිරීමට හොඳ නැහැ. මොකද? හොඳ යහපත් සත්පුරුෂයින්ගේ වෙස් ගත් නරක අයහපත්, අසත්පුරුෂ, කයිරාටික මිනිසුන් ලෝකයේ සැරිසරනවා. ඒ නිසා මිනිසා දුටු පමණින් කතාබහ කළ පමණින් සුදුසු කෙනෙක් කියා නිගමනයට බැස ආශ‍්‍රය කරයි. එහෙත් ටික දවසකින් තමන් අමාරුවේ වැටුණු විට ඔහු කවුදැයි අවබෝධ වෙයි. එතකොට අපි ප‍්‍රමාද වී හමාරයි.

මේ නිසා මිනිසුන් හඳුනා ගැනීමට අවැසි කරුණු 4 ක් බුදුරජාණන් වහන්සේ වදාළා.

කෙනෙක් සැබෑ සිල්වතෙකු දැයි හඳුනා ගැනීමට ඔහු සමග දිගු කළක් ආශ‍්‍රය කරන්න ඕනෑ. මේ පුද්ගලයා සැබෑ සිල්වතෙක් ද? නැතහොත් යහපත් සත්පුරුෂයෙක් ද? කියා මම පරික්‍ෂාකාරී වෙනවා යන අදහසින්. හැබැයි එය කළ හැක්කේ නුවණැති කෙනෙකුට.

දෙවන කරුණ නම් කතා ව්‍යවහාරයෙන් පිරිසිදු බව හඳුනාගන්නට පුළුවන්. එයත් කෙටිකලකින් නොවේ. දිගු කලකින්. මෙම පුද්ගලයාගේ සැබෑ ස්වභාවය අවබෝධ කරන්නට ඕනෑ යන අදහසින් ඔහුව ආශ‍්‍රය කළ යුතු යි. මෙය කළ හැක්කේ ද නුවණ ඇති කෙනෙකුටයි.

සත්ත ජටිල සූත‍්‍රයේ සඳහන් තුන් වෙනි කරුණ නම් කෙනෙකුගේ ඥාන ශක්තිය, පරිනතභාවය යම් විපත්තියක දී හඳුනා ගත හැකි බවයි. මොකද විපත්තියේ දී ඔහු විසින් ඉන් මිදෙන්නට ගන්නා ස්වභාවය අනුව ඔහුගේ තලතුනා පරිනතභාවය ප‍්‍රකට වන නිසා.

මිනිසුන් හඳුනා ගන්නට තිබෙන සතරවන කරුණ නම් සාකච්ඡ කිරීමෙන් ප‍්‍රඥාව හඳුනා ගැනීමයි. නුවණ හඳුනා ගැනීමට මාධ්‍යයක් වන්නේ සාකච්ඡුා කිරීමයි. කෙනෙකුගේ සාකච්ඡුාවකින් පමණක් සපුරා බුද්ධිය හඳුනා ගන්න බැහැ. දීර්ඝ ලෙස සාකච්ඡුා කළ යුතු යි.

ඉන් හැම අවස්ථාවක දී ම අප පුරුදු වී සිටින්නේ වැඩි විපරම් කිරීමකින් තොරව ඕනෑම කෙනෙකු විශ්වාස කිරීමයි. මේ නිසා අප කොතරම් අවස්ථාවල දී අමාරුවේ වැටී සිටිනවා ද? එම නිසා ඉතා විමසා බලා කටයුතු කිරීමෙන් අපගේ ජීවිත ආලෝකමත් කර ගැනීමට හැකි වෙයි.

 

ඔබ සැමට තෙරුවන් සරණයි!