Home » විමර්ශන » ජාතිවාදී විෂ ප්‍රචාර තහනම් කළ යුතුයි – Lakbima

ජාතිවාදී විෂ ප්‍රචාර තහනම් කළ යුතුයි – Lakbima

lakbimalogoKathu-wakiya

ජාතිවාදී විෂ ප්‍රචාර තහනම් කළ යුතුයි

ජාතිවාදය යන්න නිර්වචනය කරන ලෙස රත්මලාන ධර්ම පර්යේෂණාලයේ අධ්‍යක්ෂ හෑගොඩ විපස්සි හිමියන් රජයෙන් ඉල්ලා සිටි පුවත ඉකුත් බ්‍රහස්පතින්දා (26) “ලක්බිම” 03 වන පිටුවේ පළ විය. ජාතිකත්වය සහ ජාතිවාදය අතර වෙනස නිසි ලෙස පැහැදිලි නැති හෙයින්ද ජාතිවාදයට වැට බඳින්නට නම් ඊට පෙර ඒ ගැන නිශ්චිත අර්ථ නිරූපණයක් තිබිය යුතු බැවින්ද මෙම ඉල්ලීම කරන බව උන්වහන්සේගේ කතාවේ ගැබ්වූ හරයයි.

නව ආණ්ඩුව උතුරු නැගෙනහිර දෙමළ ජනතාවගේ ප්‍රශ්න හා දුක්ගැනවිලිවලට සියලුම ජාතීන්ට එකඟ විය හැකි සාධාරණ විසඳුම් සෙවීමේදී පවා ආණ්ඩු විරෝධීන් පෙළ ගැසෙන්නේ සිංහල ජාතිවාදයේ අවියෙන් සන්නද්ධව බව නුගේගොඩ රැලිය ඇතුළු ඉකුත් දින 50 තුළ සිදුවීම්වලින් පැහැදිලි විය. එසේම දෙමළ ජනතාවගේ ප්‍රධාන නියෝජිතයා වන දෙමළ ජාතික සන්ධානය ද යළි දෙමළ ජාතිවාදය අවුස්සමින් රජයේ විසඳුම් යෝජනා ලඝු කිරීමට හා හෑල්ලු කිරීමට තැත් කිරීමට තැත් දරන බව උතුරු පළාත් සභාව යුද අපරාධ ගැන ජාත්‍යන්තර විමර්ශනයක් ඉල්ලා සිටීමේ යෝජනාව සම්මත කර ගැනීමෙන් පෙනී ගියේය.

ජාතික වාදය හා ජාතිවාදය යනු එකක් නොව මුළුමනින්ම එකිනෙකට පරස්පර කරුණු දෙකකි. එහෙත් මෙම සංකල්ප දෙක අතර වෙනස ඉතා සියුම්ය.

තමන්ගේ ජන වර්ගය, භාෂාව, සංස්කෘතිය, සිරිත් විරිත් එහි ඉතිහාසය හා සම්ප්‍රදායන් අගය කිරීමට, රැක ගැනීමට හා ‍පෝෂණය කිරීමට යම් ජන වර්ගයක් දරන උත්සාහය ජාතික වාදයයි. එය ප්‍රශංසනීය කටයුත්තකි. තමන්ගේ මවට වන්දනා මාන කිරීමක් වැන්නකි. තමන්ගේ මවට සලකන කිසිවෙකු වෙනත් අයෙකුගේ මවට ගර්හා කරන්නේ නැත. ජාතිවාදය පැන නැගෙන්නේ තමන්ගේ මවට සලකමින් අන්‍යයන්ගේ මවුවරුන්ට ගරහන ආකාරයෙන්, තමන්ගේ ජාතිය හුවා දැක්වීමට එයට අයුතු වරප්‍රසාද ලබා ගැනීමට දරන උත්සාහයෙනි.

නිදහස ලබා ගැනීමෙන් පසුව ශ්‍රී ලාංකික ජාතියක්, දේශයක් ගොඩනැගීමට අප අසමත් වූයේ ජාතිවාදයෙන් උපන් ජන වාර්ගික ගැටලුව සිංහල හා දෙමළ දේශපාලනඥයන් (පසුකලෙක මුස්ලිම් දේශපාලන නායකයෝ ද මීට එක් වූහ.) දේශපාලන තුරුම්පුවක් බවට පත්කර ගැනීම නිසාය. එකම කාසියක දෙපැත්ත මෙන් මොවුහු එකිනෙකාගෙන්
‍පෝෂණය වූහ. “මේ රටේ අන්තිම දෙමළාගේ හමෙන් සෙරෙප්පු පළදින්නටත්” “සිංහලයන්ගේ ‍ලේ ගංගා මත පිහිනන්නටත්” පාරම් බෑ සිංහල දෙමළ දේශපාලනඥයන් ජනතා ඡන්දයෙන් පාර්ලිමේන්තුවට ආවේ මේ ජාතිවාදී කෝප ගිනි ඇවිලීම මතිනි.

කෙසේ වෙතත් සිංහල දේශපාලන පක්ෂ බලයට පත්වීම සඳහා හෝ පවතින ආණ්ඩුව අපහසුවට පත් කිරීම සඳහා හෝ යොදාගත් ජාතිවාදී ප්‍රචාර හුඹස් බියක් බව වැඩි කල් නොයා තහවුරු වූයේය. එදා සිංහල ජනතාව විරුද්ධ වූ දෙමළ භාෂාවට සමතැන් දීම වෙනත් මුහුණුවරකින් පසුව ක්‍රියාත්මක විය. ඒ ද්‍රවිඩ භාෂා විශේෂ විධි විධාන පනතෙනි. ජේ.ආර්. පාලන සමයේ දිස්ත්‍රික් සභා ලෙසින් ක්‍රියාත්මක වූයේ බණ්ඩාරනායක මහතාගේ රට සභා ක්‍රමයයි. අද එය ඊට වඩා බෙහෙවින් බලතල සහිත පළාත් සභා දක්වා වර්ධනය වී තිබේ. ජාතිවාදීන් කී පරිදි එහෙත් රට බෙදුණේ නැත.

එබැවින් විපස්සි හිමියන් කියන පරිදි ජාතිවාදය නිර්වචනය කළ යුතුය. ඒ වෙන කිසිවකට නොව ජාතිවාදී ප්‍රචාර තහනම් කිරීමටය. මන්දයත් ජාතිවාදය ඇවිස්සීමෙන් ජනතාව ප්‍රකෝප කිරීම ලාංකික ජාතියක්, දේශයක් ගොඩනැගීමටත් ජන වාර්ගික සංහිඳියාව ඇති කිරීමටත් පවතින ප්‍රධාන බාධකය බව ඓතිහාසිකව තහවුරුව ඇති බැවිනි.

සමාව දිය නොහැකි මෙම ජාතික අපරාධය නීතියෙන්, හැකි නම් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවෙන්ම තහනම් කළ යුතුය.

උපුටා ගැනිම //www.lakbima.lk/index.php?option=com_content&view=article&id=44178:2015-03-02-04-05-16&catid=50:katuwakiya&Itemid=97

 

 

Jatiwadaya Pilibanda Nirwachanayak One

 //www.lakbima.lk/oldpapers/daliylakbima/2015/February/last_26_02_15/main.pdf