Home » විශේෂාංග » පිරිකර ලෙස මුදල් පූජා කිරීම වරදක්‌ද ?

පිරිකර ලෙස මුදල් පූජා කිරීම වරදක්‌ද ?

Ven. Hegoda Vipass Theroපිරිකර යන්න පාලියෙන් සඳහන් කෙරෙනුයේ පරික්‌ඛාර ලෙසිනි. එය සංස්‌කෘත භාෂාවෙන් පරිෂ්කාර ලෙස හැඳින්වේ.

පිරිකර යන වචනය ගොඩනැඟීම සම්බන්ධව ඉතාම පැරණි මූලාශ්‍රයන් දැකගත හැකියි. බුදුරජාණන්වහන්සේ ලොව පහළවීමට ප්‍රථමයෙන් පවා මේ හා සම්බන්ධ සිද්ධීන් දැක ගැනීමට පුළුවන. සූත්‍ර පිටකයේ මෙන්ම විනය පිටකයේ පිරිකර ගොඩනැඟුන ආකාරය පිළිබඳව සඳහන් වෙනවා.

පිරිකර සම්බන්ධ වැදගත් වන සූත්‍රයන් ලෙස මජ්ඣිම නිකායේ වනපත්ථ සූත්‍රය හඳුන්වා දිය හැකියි.

පබ්බජිතේන ජීවිත පරික්‌ඛාරා සමුදානේ තබ්බා
චීවර පිණ්‌ඩපාත සේනාසන ගිලානපච්චය
භේස-ජපරික්ඛාර තෙ කසිරෙන සමුදාගච්ඡති.

භික්‍ෂුව විසින් ජීවත්වීම පිණිස චීවර, පිණ්‌ඩපාත, සේනාසන, ගිලානුප්‍රත්‍යය යන පිරිකර දුකසේ උපදවා ගත යුතුය යන්න මෙහි තේරුමයි.

මෙම අදහස තවත් විවිධ සූත්‍රවලදී දැකිය හැකියි. කෙසේ වෙතත් අප සඳහන් කළ සූත්‍රය අනුව පිරිකර නිර්වචනය කර ඇති ආකාරය ඉතාම පැහැදිලියි. එහි සරල අදහස වනුයේ පිරිකර යනු භික්‍ෂුවට ජීවත්වීමට අවශ්‍ය කරණ උපකරණයි. නැතහොත් භික්‍ෂුවගේ ජීවනෝපාය පිණිස අවශ්‍යවන උපකරණ සමූහයයි.

භික්‍ෂුවට අවශ්‍ය ඇඳුම්, පැළඳුම් මෙහි චීවර ලෙස දක්‌වා තිබේ. පිණ්‌ඩපාතය යනු ආහාරයි. භික්‍ෂුවට වැඩසිටීමට අවශ්‍ය ස්‌ථානයක්‌ තිබීම සේනාසන ලෙස හැඳින්වේ. ගිලානපච්ඡය යනු ගිලන්පසයි. භේසඡ්ජ යනු ලෙඩක්‌ දුකක්‌ ඇතිවූ විට අවශ්‍ය කරන ප්‍රතිකාරයි.

මෙන්න මේ සිව්පසය තමයි භික්‍ෂුවට අවශ්‍ය පිරිකර ලෙස හඳුන්වාදී තිබෙන්නේ. භික්‍ෂුවට මේ සිව්පසය ලබාගැනීමට ඉතාම දුෂ්කර බවත් එය දුෂ්කර ලෙස ලබාගත යුතු බවත් බුද්ධ දේශනාවේ සඳහන් වෙනවා. ඒ කෙසේ වෙතත් රාජ රාජ මහා මාත්‍යාදීන්ගේ මැදිහත්වීම නිසා ඇතැම් අවස්‌ථාවලදී මේ සිව්පසය නැතහොත් පිරිකර ලබාගැනීම ඒ කාලයේදී භික්‍ෂුවට එතරම් දුෂ්කර වුණේ නැහැ. ගැටලු සහගත වුණේ නැහැ.

බුදුරජාණන්වහන්සේ දේශනා කළේ පාංශුකූල චීවරය භික්‍ෂුවට සුදුසු බවයි. පංශුකූල චීවරයක්‌ යනු මිනී ඔතා විසිකරන ලද වස්‌තු හෝ නිවෙස්‌වලින් විවිධ හේතු නිසා අපවිත්‍ර වී විසිකරන ලද වස්‌තු සෝදා, පිරිසිදු කර, කපා, පඬු පොවා සාදාගත් වස්‌ත්‍රයයි. නැතහොත් ඇඳුමයි. මෙසේ සාදාගන්නා ලද චීවරය ඉතා කර්කශ වූවකි.

මහාවග්ගපාලියේ සඳහන් වන අන්දමට ජීවක නමැති වෛද්‍යවරයා විසින් බුදුරජාණන්වහන්සේට විරේකයක්‌ දුන් බව සඳහන් වෙනවා. එහිදී බුදුරජාණන් වහන්සේට තිස්‌වතාවක්‌ පමණ විරේක වුණා. ඒ වෙලාවේ බුදුරජාණන්වහන්සේ පොරවාගෙන සිටියේ පාංශුකූල චීවරයයි. එය ඉතා කර්කශයි. ගොරෝසුයි. එම අවස්‌ථාවේදී ජීවක වෛද්‍යවරයා බුදුරජාණන්වහන්සේ අමතා කිව්වේ බුදුරජාණන් වහන්ස, පාංශුකූල චීවරය නොව ගහපති චීවරයක්‌ පිළිගන්න කියා. ගහපති චීවරය යනු එක්‌ එක්‌ දායකයන් විසින් දෙනු ලබන වටිනා චීවරයක්‌. එම අවස්‌ථාවේදී බුදුරජාණන්වහන්සේ එය පිළිගනු ලැබුවා. සිව්පසය (පිරිකර) ලබාගැනීම දුෂ්කර වුවත් එම දේවල් පහසුවෙන් ලැබුණු විට බුදුරජාණන්වහන්සේ ප්‍රතික්‍ෂේප කළේ නැහැ.

බොහෝ ගිහි පින්වතුන් භික්‍ෂූන්වහන්සේලාට අට පිරිකර නැතහොත් පාලියෙන් සඳහන් වන ආකාරයට අට්‌ඨ පරික්‌ඛාරකය පිළිගන්වනු ලබනවා. අටපිරිකරයේ ඇතුළත් කොටස්‌ අට පිළිබඳව විවිධ තැන්වලදී වෙන වෙනම සඳහන් වුවත් ත්‍රිපිටකයේ කිසිම තැනක අටපිරිකර පිළිබඳ තොරතුරු සඳහන් වන්නේ නැහැ. එහෙත් මේ වන විට අටපිරිකර යන්න මහා කුසලානු සම්පන්න දෙයක්‌ ලෙස සමාජගතවී තිබෙනවා. භික්‍ෂුවගේ අවශ්‍යතාව සඳහා අටපිරිකර අවශ්‍ය බවට පිළිගැනෙනවා. එය වරදක්‌ නොවේ.

පිරිකර යනු භික්‍ෂුවගේ පරිහරණයට අවශ්‍ය කරන සරල උපකරණ ටිකක්‌ බව අප මේ කතා කළ කාරණා අනුව ඉතාම පැහැදිලියි.

කෙසේ වෙතත් අද වන විට සමාජය වෙනස්‌වී තිබෙනවා. සංකීර්ණවී තිබෙනවා. මේ තත්ත්වය හමුවේ භික්‍ෂුන්වහන්සේලාගේ අවශ්‍යතාද වෙනස්‌වී තිබෙනවා. ඒ තත්ත්වය තුළ භික්‍ෂූන් වහන්සේලාට පිරිකර ලෙස මුදල් ලබාදීම හොඳද? නරකද? යන කතිකාවත සමාජය තුළ ගොඩනැගී තිබෙනවා. අද අපේ ධර්ම සංවාදයේදී මේ පිළිබඳව ධර්මානුකූල විග්‍රහයක්‌ කිරීමයි අපේ අපේක්‍ෂාව.

සංග විනය අනුව භික්‍ෂුවට මුදල් හදල් පිළිගැනීම තහනම්. සඟ විනය අනුව තමන් උදෙසා, තමන් ළඟ තබන ලද මුදල් වුවත් සිතින් පිළිගැනීම ඉවසීම, පවා තහනම්. එවන් මුදල් අතපත නොගා වෙනත් කෙනෙකුගේ මාර්ගයෙන් මුදල් පරිහරණය කිරීම පවා භික්‍ෂුවට අකැප බවයි සඟ විනයේ සඳහන් වන්නේ.

මෙම විනය නීතිය පිළිබඳව පරාජිකාපාලියේදී වැඩිදුරටත් මෙසේ සඳහන් වෙනවා.

යෝ පන භික්ඛු ජාතරූපරජතං

උග්ගණ්‌හෙය්‍ය වා

උග්ගණ්‌හාපෙය්‍ය වා උපනික්‌ත්තංවා සාදියෙය්‍ය නිස්‌සග්ගියං පාචිත්තියං

යම් භික්‍ෂුවක්‌ රන් රිදී මසු කහවනු තමා පිsණිස පිළිගනී නම් හෝ තමා පිණිස අනුන් ලවා ගන්නවා නම්, එසේම තමන් ඉදිරියේ තබන ලද ඉහත භාණ්‌ඩ සිතින් ඉවසයි නම් එය පචිති අවතැන් වේ යන්න මෙහි තේරුමයි.

මෙම සූත්‍රයේ සඳහන් රන්, රිදී, මසු, කහවනු යනු සියල්ල මුදල් ලෙසයි සැලකෙන්නේ. දඹදෙනි කතිකාවතෙත් මේ පිළිබඳව වැඩිදුරටත් සඳහන් වෙනවා. මෙම මූල්‍ය වටිනාකමක්‌ ඇති දේ භික්‍ෂුවට කිසිසේත්ම අවශ්‍ය නැති බවත් එය පචිත අවතැන් ලෙසයි සැලකෙන්නේ.

පචිත අවතැක්‌a යන්නත් මෙහිදී පැහැදිලි කර ගැනීම වැදගත්. පචිත අවතැක්‌ යනු ශික්‍ෂා පද කැඩීමෙන් සිදුවන වරදක්‌ ලෙසයි සැලකෙන්නේ. උපසම්පදා භික්‍ෂුවකට විනය ශික්‍ෂා පද 220 ක්‌ රැකිය යුතුයි. ඉන් සතර පරාජිකාව ප්‍රබලයි.

භික්‍ෂුවක්‌ සතර පරාජිකාවෙන් එක්‌ ශික්‍ෂා පදයක්‌ හෝ කැඩුවොත් පැවිදි උපසම්පදාව අහිමි වෙනවා. මනුෂ්‍ය ඝාතනයක්‌ සිදු කිරීම, මෛයිථුන්‍ය සේවනයේ යෙදීම, සොරකම් කිරීම, මිනිසුන් ඝාතනය කරන අවි ආයුධ ළඟ තබා ගැනීම, තමන් මාර්ඵල නොලබා මාර්ගඵල ලාභියකු යෑයි කීම යනාදිය පරාජිකා ලෙස සලකනවා.

යම් භික්‍ෂුවක්‌ සතර පාරාජිකාවලට හෝ ඉන් එක්‌ කාරණයකට මැදි වී පැවිදි උපසම්පදාව අහිමි වුවත් හේතු සම්පත්තීන් තිබේ නම් පාරාජිකා වූ භික්‍ෂුවකට වුවද නිවන් දැකීමට පුළුවන්.

මේ අනුව ඉතා පැහැදිලියි විනය ශික්‍ෂා පදවල ක්‍රමවේදය කුමක්‌ද කියා.

භික්‍ෂුවක්‌ අතින් මිනිසකු ඝාතනය වුවොත් එය පවකි. ඒ වගේම ගිහියකු එම ඝාතනය සිදු කළත් පවක්‌. නමුත් උපසම්පදා භික්‍ෂුවක්‌ එම ඝාතනය සිදු කළහොත් එතැනදී පවක්‌ වගේම විනය ශික්‍ෂා පදයක්‌ කැඩීමක්‌ සිදුවෙනවා. පරාජිකාවට පත් වූ භික්‍ෂුවක්‌ බවට පත් වෙනවා. නමුත් මෙහෙම හිතමුකෝ. එතැනදී භික්‍ෂුව ඝාතනය කරන්නේ මනුෂ්‍යයෙක්‌ නොවෙයි. අලියෙක්‌. එහිදී පවක්‌ සිදු වෙනවා නමුත් භික්‍ෂුව පාරාජිකා භික්‍ෂූන් බවට පත් වන්නේ නැහැ. බල්ලෙක්‌ මැරුවත් එහෙමයි. පව සිදුවෙනවා. නමුත් පරාජික වන්නේ නැහැ. නමුත් සඟ විනයේ සඳහන් වන අන්දමට එම අලියා හෝ බල්ලා මනුස්‌සයන්ට ප්‍රයෝජනවත්ව සිටි සතෙකු වුණා නම් පව වගේම පරාජිකා වීමකුත් සිදුවෙනවා. මෙතැන උගන්වන්නේ ලොකු දර්ශනයක්‌.

නමුත් පචිත අවැතක්‌ කියන්නේ දේශනගාමී අවැතක්‌. දේශනගාමී අවැතක්‌ යන්නෙන් අදහස්‌ කරනුයේ පොහොය සීමාවකට ඒකරාශි වී දේශනා ශුද්ධියෙන් පිරිසිදු වීමයි. මේ වකවානුව තුළ භික්‍ෂූන් වහන්සේලා වස්‌ වැඩ සිටියා. දැන් වස්‌ පවාරණය වී තිබෙනවා. වස්‌ සමාදන් වීමෙදීත් පවාරණය වීමේදීත් දේශනාගාමී දේවල් ප්‍රකාශයට පත් කෙරෙනවා. මේ දේවල් සිදු කරන්නේ විනය සීමාවකදීයි. අවැති යනු ශික්‍ෂා පද කැඩීමක්‌ විතරයි. පවක්‌ සිදුවන්නේ නැහැ. මේ දේවල් (සග විනය) හැදුවේ සංඝ සංස්‌ථාව පවත්වාගෙන යැමේ අටියෙනුයි. විනයේ ස්‌වභාවය ඒකයි. විනය යනු ශීලය නොවේ. විනය යන්න කාලයෙන් කාලයට, ප්‍රදේශයෙන් ප්‍රදේශයට, සමාජයෙන් සමාජයට, සංස්‌ථාවෙන් සංස්‌ථාවට වෙනස්‌ වන ප්‍රස්‌තූතයක්‌, ධර්මතාවක්‌. නමුත් ශීලය වෙනස්‌ වන්නේ නැහැ. මෙය තවදුරටත් පැහැදිලි කර ගැනීම වැදගත්.

අටසිල් සමාදන් වූ මොහොතක විකාල භෝජනා වේරමනී ශික්‍ෂා පදං සමාදියාමි ” යන සිල්පදය රකිනවා. ඉන් අදහස්‌ කරන්නේ විකාලයේ ආහාර ගැනීමෙන් වැළකීමයි. සිල් පවාරණය වූ පසු ඒ තැනැත්තා හෝ තැනැත්තිය ආහාර ගනු ලබනවා. අවේලාවේ ආහාර ගැනීම පවක්‌ නම් වේලාවේදී ආහාර ගැනීමත් පවක්‌. සිල් පවාරණය වූ පසු අපි ආහාර ගත්තත් සතුන් මරන්න යන්නේ නැහැ. මෙහිම පුංචි උදාහරණයන්ට ශීලය සහ විනය අතර වෙනස වටහා ගන්න පුළුවන්.

දැන් අපට තියෙන ප්‍රබලම ප්‍රශ්නය දිහාවට අවධානය යොමු කරමු.

පාරාජිකා පාලියේ සඳහන් අන්දමට රාජ රූප රජත යන ශික්‍ෂා පදය මුල් කරගෙන භික්‍ෂුවකට මුදල් ඇල්ලීම හොඳද? නරකද? යන්න භාවකාලයේදීම ප්‍රශ්නයක්‌ බවට පත් වුණා.

දෙවන සංගායනාව ඇතිවීමටත් මූලික හේතුව වුණේ මෙම ශික්‍ෂා පදයයි. ඒ නිසා එදා පටන් අද දක්‌වාම මෙම ප්‍රශ්නය අප හමුවේ තිබෙනවා.

මුදල පිරිකරක්‌ ලෙස පූජා කිරීම කිසිදු විනය විරෝධී දෙයක්‌ නොව්. ඉන් කිසිදු පවක්‌ සිදුවන්නේ නැහැ. ඒ වගේම අවැඩක්‌ සිදුවන්නේ නැහැ. භික්‍ෂුන් වහන්සේලාට මුදල පිරිකරක්‌ ලෙස පූජා කිරීම වරදක්‌ නොවන බවයි උන්වහන්සේලාගේ අදහසත්. ශාස්‌ත්‍රීය, සාම්ප්‍රදායික කරුණු මත පිහිටලයි අපි මෙම අදහස්‌ ඉදිරිපත් කළේ.

මුදල පිරිකරක්‌ ලෙස පූජා කිරීම කිසිදු විනය විරෝධී දෙයක්‌ නොව්.
ඉන් කිසිදු පවක්‌ සිදුවන්නේ නැහැ. ඒ වගේම අවැඩක්‌ සිදුවන්නේ නැහැ. භික්‍ෂුන් වහන්සේලාට මුදල පිරිකරක්‌ ලෙස පූජා කිරීම වරදක්‌ නොවන බවයි උන්වහන්සේලාගේ අදහසත්. ශාස්‌ත්‍රීය, සාම්ප්‍රදායික කරුණු මත පිහිටලයි අපි මෙම අදහස්‌ ඉදිරිපත් කළේ.

අප මේ සම්බන්ධව අදාළ පොත්පත් සියල්ලක්‌ම වාගේ පරිශීලනය කර බැලුවා. ත්‍රිපිටකයේ පරාජිත මහවග්ගපාලිය, චූලග්ගපාලිය, විනය අට්‌ඨ කතාව, සමන්ත ප්‍රාසාදිකාව, ප්‍රාතිමෝක්‍ෂය, ප්‍රාතිමෝක්‍ෂ විවරණය, එහි අටුවාව, පාලි මුක්‌තක, විනය විනිශ්චය, දඹදෙණි කතිකාවත, පොළොන්නරු කතිකාවත යන විනය ශික්‍ෂා පද අඩංගු ග්‍රන්ථ පිළිබඳව අප දීර්ඝ ලෙස අධ්‍යයනය කරනු ලබනවා. ඒ වගේම එම කරුණු විමර්ශනශීලීව සොයා බැලීමක්‌ සිදු කරනු ලැබුවා.

භික්‍ෂුවට මුදල් පරිහරණය කිරීම පිළිබඳව අපගේ අදහස ඉදිරිපත් කිරීමට පෙර ඉහත පොත් පත් අධ්‍යයනය කිරීම පමණක්‌ ප්‍රමාණවත් වෙයි කියලා අප විශ්වාස කරන්නේ නැහැ.

එසේම විනය සම්බන්ධ ප්‍රශ්නයකදී පෞද්ගලිකව තම මතය පමණක්‌ ඉදිරිපත් කිරීමත් සාධාරණ වන්නේ නැහැ. ඊට මහ ථෙරුන් වහන්සේලාගේ අදහස්‌ විමසිය යුතුයි.

නූතනයේදී භික්‍ෂූන් වහන්සේලාට පිරිකරක්‌ ලෙස මුදල් පූජා කිරීම සුදුසුද කියා ශාස්‌ත්‍රීය අධ්‍යයනයක යෙදී මහ තෙරුන් වහන්සේලාගෙන් අදහස්‌ විමසුවා. ඉතාම ධර්මධර, විනයධර සහ බොහෝ කාලයක්‌ ජීවත්වන පරිණත භික්‍ෂූන් වහන්සේලා එනම් ශාසන භාරකාරී මහ තෙරුන් වහන්සේලාගෙනුත් මේ පිළිබඳව මාධ්‍ය හරහා ප්‍රසිද්ධියේ යමක්‌ ප්‍රකාශ කිරීමට කලින් අප විසින් විමසීමක්‌ කරනු ලැබුවා. උන්වහන්සේලාගේ කිසිදු විරෝධයක්‌ නැහැ. මුදල පිරිකරක්‌ ලෙස පූජා කිරීම කිසිදු විනය විරෝධී දෙයක්‌ නොව්.

ඉන් කිසිදු පවක්‌ සිදුවන්නේ නැහැ. ඒ වගේම අවැඩක්‌ සිදුවන්නේ නැහැ. භික්‍ෂුන් වහන්සේලාට මුදල පිරිකරක්‌ ලෙස පූජා කිරීම වරදක්‌ නොවන බවයි උන්වහන්සේලාගේ අදහසත්. ශාස්‌ත්‍රීය, සාම්ප්‍රදායික කරුණු මත පිහිටලයි අපි මෙම අදහස්‌ ඉදිරිපත් කළේ.

හුදෙක්‌ අත්තනෝමතික අදහසක්‌ නොවේ. …………..

එනිසා යම් කිසි දායකයෙක්‌ දායිකාවක්‌ පිරිකරක්‌ වශයෙන් මුදල් පූජා කළොත් එය පිරිකරක්‌ ලෙස භාර ගැනීමට අපට අයිතියක්‌ තියෙනවා. කිසිදු ප්‍රශ්නයක්‌ නැහැ.

විනය නීති එකම ආකාරයෙන් පවතින්නේ නැහැ. ශීලය වගේ නොවේ විනය යන්න වෙනස්‌වීම් වලට භාජන වන්නක්‌. මුදල් භාවිත කිරීම පිළිබඳ දැඩි ප්‍රතිපත්තියක සිටියොත් භික්‍ෂුන් වහන්සේලාට ආගමික කටයුත්තකට හෝ වෙනත් පූජනීය අරමුණක්‌ වෙනුවෙන් අරමුදලක්‌ හෝ ගොඩනඟන්න වෙන්නේ නැහැ. ක්‍රෙඩිට්‌ කාඩ්, චෙක්‌පත් කිසිවක්‌ පාවිච්චි කරන්න බැහැ. බැංකු ගිණුමක්‌වත් පවත්වාගෙන යන්න බැහැ. මොකද මේ සියල්ලේම මූල්‍යමය වටිකාකමක්‌ තියෙන නිසා. නවීකරණය වූ ලෝකයේ මුදල් පිළිබඳ රූක්‌ෂ ප්‍රතිපදාවක්‌ අනුගමනය කිරීම ප්‍රායෝගික නැහැ. යම් භික්‍ෂුවක්‌ මුදල් අතින් අල්ලන්නේ නැහැ. එය ශීලයට බාධාවක්‌ කියා සීමා පනවාගෙන සිටින්න පුළුවන්. එය හුදෙක්‌ තමන් ළඟ නැති මවා පෙන්වීමක්‌ විය හැකියි. එවිට භික්‍ෂුන් කමන් මුදල් නෝට්‌ටු අල්ලන්නේ නැහැ කියල දැඩි මතයක ඉන්න පුළුවන්. නමුත් ඒ අය වෙනුවට ආදේශකයන් පාවිච්චි කරනවානේ. සමහර විට එය ටිකට්‌ ක්‍රමයක්‌ විය හැකියි. රුපියල් පනහේ නෝට්‌ටුවක්‌ වෙනුවට එම වටිනාකම ඇතුළත් ටිකට්‌ පතක්‌ නිකුත් කළොත් එහිත් තියෙන්නේ මූල්‍යම වටිනාකමක්‌. එය තමයි මුදල, එය භාණ්‌ඩ හුවමාරු කිරීමේ ක්‍රමයක්‌.

මෙතෙන තියෙන ප්‍රශ්නය වනුයේ පිරිකරක්‌ ලෙස මුදල් භාරගැනීම නොවේ. එම භාරගත්නා මුදල් යොදවන්නේ කුමකටද කියන එකයි තියෙන ප්‍රශ්නය. භික්‍ෂුන් වහන්සේ පිරිකරක්‌ ලෙස ලබා ගන්නා මුදල් වැරදි ලෙස පාවිච්චි කළොත් තමයි වැරදි. මුදල් පමණක්‌ නොව වෙනත් ඕනෑම දෙයක්‌ වැරදි විදිහට පාවිච්චි කළොත් සිදුවන්නේ වැරැද්දක්‌. ලෝභ, දේවේෂ, මෝහ යන අකුසල් මූල දුරුකර දායකයන් විසින් දෙන පිරිකර එම අකුසල් මූල්‍ය වලින් තෙරපි තෙරපී භික්‍ෂුන් වහන්සේ ගත්තොත් සිදුවන්නේ අවැඩක්‌.

පිරිකර ලෙස මුදල් පිළිගැනීමේ දී සැලකියයුතු විශේෂ කාරණයන් තියෙනවා. එනම් පුංචි සාමනේර භික්‍ෂුන් වහන්සේලාට පිරිකර ලෙස මුදල් දීමේදී යම් ගැටලුවක්‌ ඇතිවිය හැකියි. උන්වහන්සේ දැනුමෙන් මුහුකුරා නොගිය නිසා උන්වහන්සේලා අතට මුදල් සැපයීමේදී වැඩිහිටි ස්‌වාමින් වහන්සේගේ අනුදැනුම මත ලබාදීම වඩාත් සුදුසුයි. එම අවස්‌ථාවේදී දක්‌වන විශේෂ සැලකිල්ල හැර අන් සෑම අවස්‌ථාවකදීම පිරිකර ලෙස පරිත්‍යාග ලබා ගැනීම වරදක්‌ නැහැ.

අද භික්‍ෂුන් වහන්සේ ගත්විට පාසල්වල ගුරුවරු ලෙස සේවය කරනවා, විශ්වවිද්‍යාලවල කථිකාචාර්යවරු ලෙසත් මහාචාර්යවරු ලෙසත් සේවය කරනවා. අමාත්‍යාංශවල තනතුරු දරන ස්‌වාමින් වහන්සේලා ඉන්නවා. මන්ත්‍රී ස්‌වාමින් වහන්සේලාත් ඉන්නවා. මේ සියලු ස්‌වාමින් වහන්සේ වැටුප් ලබනවා. ඒ කියන්නේ මුදල් පරිහරණයන් සිදුවෙනවා. එය වරදක්‌ නොවෙයි. නමුත් තර්කයක්‌ ලෙස බැලුවොත් භික්‍ෂුන් වහනසේලාට පිරිකර ලෙස ලැබෙන මුදල් පරිහරණයට නුසුදුසු නම් වෘත්තියකින් වැටුප් ලබා මුදල් පරිහරණය කිරීමත් වැරදි විය යුතුයි. එසේ නම් ඒ දේවලුත් ප්‍රතික්‍ෂේප කළ යුතුයි. විහාරස්‌ථාන ගොඩනැඟීමටත් මුදලක්‌ අවශ්‍ය වෙනවා. මුදල් පරිහරණය අවතැක්‌ නම් ඒ දේවල් ගොඩනැගෙන්නේ කොහොමද? මුදල් කියන්නේ ආදේශකයක්‌ පමණයි. දෘෂ්ඨි සහගතව මුදලට ඇලීම තමයි වැරදි.

සිව්පසය ලබා ගැනීමට මුදල් උපකාරි වේ නම් එය සිව්පස ආකාරයක්‌. එනිසා පිරිකර ලෙස මුදල් ලබා ගැනීම නොවෙයි වරද, එය පරිහරණය කරන ආකාරයයි වැදගත්. එහි කාර්යභාරය පැවරෙන්නේ භික්‍ෂුන් වහන්සේටයි.

අප මෙය තේරුම් ගැනීමට සරල උදාහරනයක්‌ ගනිමු. යම් භික්‍ෂුවක්‌ අසනීප වෙනවා. වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීමට මුදල් අවශ්‍යයි. නමුත් පිරිකර උන්වහන්සේට ලැබී තිබෙන්නේ සිවුරක්‌ නම් එතැනදී වෛද්‍ය ප්‍රතිකාර ගාස්‌තු ලෙස සිවුරු දෙන්න බැහැනේ. බස්‌ එකේ යන ස්‌වාමින් වහන්සේලා කෙනෙකුට බස්‌ ගාස්‌තු ලෙස මුදල් මිස තමන්ට ලැබුණු වෙනත් පිරිකරක්‌ දෙන්න බැහැනේ. කෙසේ වෙතත් මේ සියලු දෙවල් වැටෙන්නේ සංකාරවලටයි. එකතුවීම්වලටයි. මෙම එකතුවීම්වලදී භික්‍ෂුව තමන්ගේ අධ්‍යාත්මික සංවරයට හානියක්‌ නොවන ලෙස ක්‍රියාත්මක වීම අවශ්‍යයි.

අද එහෙම වෙනවනේ. විදෙස්‌ගත අපේ ස්‌වාමීන් වහන්සේලා කොයි තරම් විදෙස්‌ විනිමය ප්‍රමාණයක්‌ අපේ රටට ගෙනෙනවද? ඉන් කෙතරම් පන්සල් ගොඩනඟනවද? නැතිබැරි දායකයන්ට උපකාර කරනවද? සුනාමිය අවස්‌ථාවේදීත් එලෙස අපේ භික්‍ෂුන් වහන්සේ කෙතරම් මුදලක්‌ ලංකාවට ගෙනවිත් විපතට පත්වූවන්ට ආධාර කළාද? මේ දේවල් වරදක්‌ද? ඇතැම් විනයවර්ධන ගිහියන්, භික්‍ෂුන් වහන්සේ පටු ආකල්ප තුළ ඉඳගෙන මෙයට විරුද්ධව කතාකරන්න පුළුවන්. නමුත් ඉන් සමස්‌තය රැකෙන්නේ නැහැ.

ධර්ම සංවාදය
වසන්ත ලියනගේ