Home » විශේෂාංග » ලංකාවේ කිසි දිනෙක රාවණා කෙනෙකු සිටියේ නැත

ලංකාවේ කිසි දිනෙක රාවණා කෙනෙකු සිටියේ නැත

lakbimalogoථෙරවාදී බුදු සමයට එරෙහි බලවේග අපේ රටේ අතීතයේත් ක්‍රියාත්මක විය. අදත් විවිධ ස්වරූපවලින් එවැනි බලවේග කලින් කලට ඉස්මතු වෙමින් ක්‍රියාත්මක වෙයි. මේවා ගැන බොහෝ බෞද්ධයන්ට වැටහීමක් නැත. වැටහීමක් ඇති බොහොමයක් දෙනාට වගක් නැත. එනිසා අන්‍යාගමික ආක්‍රමණිකයන්ට තමන්ගේ කටයුතු වඩාත් පහසු වී තිබේ. මෙලෙස ථෙරීය හෙවත් මහා විහාර සම්ප්‍රදාය විනාශ කිරීමේ එක් බලවේගයක් වශයෙන් රාවණා පිළිබඳ මිථ්‍යාව පෙන්වා දිය හැකිය.

Rawanaඅපේ රටේ රාවණා නම් රජ කෙනෙකු සිටි බව ගෙනහැර දක්වමින් ඒ පිළිබඳව කතාබහ වෙන, ලියැවෙන තොරතුරු බොහෝය. රාවණා සම්බන්ධ පර්යේෂණ ආයතන පවා දැන් බිහිව තිබේ.

ඉන්දියාවේ රාමායනයත්, පස්වෙනි සියවසේ ලංකාවේ රචිත ජානකීහරණය නම් සංස්කෘත කාව්‍ය ග්‍රන්ථයත් රාම, සීතා සහ රාවණා පිළිබඳ කතා ප්‍රවෘත්තීන් පිළිබඳ විස්තර කරයි. මෙම වෘත්තාන්තවලට අනුව බොහෝ ඈත කාලයේ අපේ රටේ (එහි දැක්වෙන පරිදි ලංකාපුරයේ) රාවණා නම් අසුර රජෙකු හිඳ ඇත. ඔහු දකුණු ඉන්දියාව ඇතුළු රටවල් දහයකට අධිපතිව සිටි නිසා හිස් දහයක් තිබූ බව සඳහන්ය. රාවණා සිය අධිරාජ්‍යයේ කටයුතු සොයා බැලීම සඳහා දඬුමොනරය නමින් හැඳින්වූ යානයකින් ගුවනේ ගමන් කළ බවද දැක්වෙයි.

එසේ සංචාරයේ යෙදී සිටි දිනෙකදී ඉන්දියාවේ දණ්ඩකාරණ්‍යයේ සිටි සීතා නමැති රූමත් කාන්තාව දැක ඇය කෙරෙහි සිත් වසඟ වූ රාවණා ඇය ලංකාවට රැගෙන එයි. සීතා කුමරිය රාවණා රජුගේ බිරිඳ වීමට අකමැති නිසා ඇය රහසිගත ස්ථානයක සිරකොට සඟවා තබන්නට රාවණා කටයුතු කරයි.

සීතාගේ සැමියා වූ රාමා දුනු ශිල්පයෙහි අතිශූරයෙකි. ඔහු තම සොහොයුරු ලක්ෂ්මනද, හනුමන්තා නමැති වඳුරකු සහ ඔහුගේ වානර හමුදාවද සමග සීතා සොයා ගැනීමට ලංකාපුරය බලා පිටත් වෙයි. මෙහිදී හනුමන්තාගේ වානර හමුදාව ඉන්දියාව සහ ලංකාපුරය අතර මුහුදු තීරයෙහි ගල් පර්වත දමා පාලමක් තනන්නේ රාම ඇතුළු පිරිසට ලංකාපුරයට පා නැගීම සඳහාය.

ඒ පාලමෙන් ලංකා පුරයට ඇතුළු වූ රාම, ලක්ෂමන හා වානර සේනාව රාවණා සමග සටන් කොට ඔහු මරා සීතා ඉන්දියාවට රැගෙන යයි. මේ සටනේදී රාවණා රජුගේ සොයුරු විභීෂණ රාමගේ පක්ෂය ගෙන සටනට සහාය දුන් නිසා ඊට තුටුපඬුරු ලෙස රාම විසින් විභීෂණ ලංකාපුරයේ රජු වශයෙන් පත් කරනු ලැබූ බවට වැඩිදුරටත් එහි සඳහන් වෙයි. පසුව විභීෂණ ලංකාපුරය ආරක්ෂා කරන දෙවියකු බවට පත්වූ බව පැවසේ. කැලණියේ විභීෂණ දේවාලය ඉදිකර ඇත්තේ ඔහුගේ නමිනි.

මේ කිසිවක් සත්‍ය කරුණු නොවේ. මෙවැනි වෘත්තාන්ත සංස්කෘත සාහිත්‍යයේ තවත් දැකිය හැකිය. නමුත් රාවණා සංකල්පය
පිළිගන්නා සමහරුන්ගේ මතය වන්නේ වසර හතළිස් දහසකට පෙර ජීවත් වූ රාවණා අපේ ප්‍රථම නරපතියා ලෙසය. රාවණා, අඟහරු ග්‍රහ ලෝකයෙහි ෙචෙත්‍යයක් හැදූ බව සමහරු කියති. මේ අතර තවත් අය පවසන්නේ න්‍යෂ්ටික බෝම්බ ඇතුළු මිසයිල බෝම්බ මුලින්ම සොයා ගන්නා ලද්දේ රාවණා විසින් බවයි.

වසර දාහත්දහසකට පෙර රාවණා මෙරට රජකම් කළ බව තවත් අයගේ මතය වේ. රාවණා පිළිබඳ සෙල්ලිපි සොයා ගත් බව කියමින් මේ මතය තහවුරු කරන්නෝද සිටිති. නමුත් මේ සෙල් ලිපි ව්‍යාජ ඒවාය. තවදුරටත් කිවහොත් පැරණි සෙල් ලිපිවල යම් යම් වචන විකෘති කර තමන්ගේ මතය ඉස්මතු කිරීමට දරණ ලද වෑයමක් ලෙස ඒවා හැඳින්විය හැකිය.

රාමායනයෙහි සංස්කෘත ශ්ලෝක විසිහතර දහසක් තිබේ. රාවණා සම්බන්ධ කතා ඇතුළත් වන්නේ එහිය. ඉන්දියාවේ ඇතැම් ප¾ඩිවරුන්ගේ පිළිගැනීම වන්නේ මෙය ඉපැරණි ප්‍රාග් බෞද්ධ යුගයේ රචිත ග්‍රන්ථයක් බවයි. නමුත් එහි භාෂාව ලෞකික සංස්කෘත භාෂාවට අයත් වෙයි. ඒ අනුව මධ්‍යස්ථ විචාරකයන් දක්වන්නේ රාමායනය බුද්ධ කාලයෙන් පසුව රචනා වූවක් බවය. විශේෂයෙන් දසරථ ජාතකය වස්තු බිජය කර ගනිමින් රාමායනය ලියා ඇති බව පිළිගත හැකිය.

රාවණා යනුවෙන් කිසිදු රජ කෙනෙකු ලංකා ඉතිහාසයෙහි සිටියේ නැත. ලංකාවේ රාවණා කෙනෙකු ගැන යම් සඳහනක් ඇත්නම් ඒ 15, 16 වැනි සියවස්වල රචනා වූ ග්‍රන්ථවලය. පස්වෙනි සියවසේදී ලියැවුණු මජ්ක්ධිම නිකායේ අටුවාවෙහි දක්වන්නේ රාම සීතා කතා සම්ප්‍රඵලාප ලෙසිනි. ලංකාවේ අටුවා, ටීකා, ගැටපද ග්‍රන්ථ, මහාවංසය, දීපවංසය, පූජාවලිය, රාජාවලිය, නිකාය සංග්‍රහ, අමා වතුර, බුත්සරණ, සද්ධර්මරත්නාවලිය, දහම් සරණ, මිලින්ද ප්‍රශ්නය ආදී වූ කිසිදු ග්‍රන්ථයක කිසිදු ශිලා ‍ලේඛනයක හෝ ඒ හා සමාන ඉපැරණි වෙනත් කිසිදු මූලාශ්‍රයකවත් රාවණා නම් රජෙකු පිළිබඳව සඳහන් නොවෙයි.
මෙලෙස වීර කාව්‍යයන් පදනම් කර ගනිමින් වැරදි ඉතිහාසයක් ගොඩනගන්නට ඇතැමුන් උත්සාහ දරන්නේ ඇයි ද යන්න විශේෂයෙන් විමසා බැලිය යුත්තකි.

බෞද්ධයන් වන අපට වසර දෙදහස් තුන්සියයක් ඉක්මවා ගිය බෞද්ධ ඉතිහාසයක් තිබේ. සෙල් ලිපිවලින්, පුරාවස්තුවලින් ‍පොතපතින්ද මේවා තහවුරු වී ඇත. නමුත් අන්‍යාගමික බලවේගවලට අවශ්‍යව ඇත්තේ අපේ රට ශුන්‍ය ඉතිහාසයක් කරා රැගෙන යාමටය. ත්‍රිපිටකයේ අඩංගු වන්නේ ඔප්පු කළ හැකි කරුණුය. එනිසා බුදුරජාණන් වහන්සේ ඓතිහාසිකය. මේ පදනම බිඳ දැමීම අන්‍යාගමික කුමන්ත්‍රණකාරී බලවේගවල අරමුණ වී තිබේ.

රාවණා ඉතිහාසය ඔප්පු කිරීම සඳහා කරුණු ගෙන හැර දක්වන්නට සමහරු ලංකාවේ පිහිටි රාවණා නම ඇතුළත් ස්ථාන, ග්‍රාම නාම, වාසගම්, ආදියද උපයෝගී කර ගනිති. නමුත් මේ සම්බන්ධයෙන් කරන ලද ගවේෂණ මගින් පැහැදිලි වන්නේ මේ නම්ගම් බිහිවී ඇත්තේ පහළොස්වන සියවසෙන් පසුව බවය. කෝට්ටේ යුගයේ සංදේශ කාව්‍යවල, පිරිහුණු නුවර යුගයේ එනම් වැලිවිට සරණංකර හිමියන් බිහිවන විට පැවැති යුගයේදී මෙම රාවණා සංකල්ප තිබිණි. සීතා එළිය, රාවණා ඇල්ල, සීතා ඇල්ල වැනි ස්ථාන හා ප්‍රදේශ මුල් යුගයේදී ඒ නමින් හඳුන්වා නැත. මෙවැනි දුර්වල සාධක මතින් රාවණා කෙනෙකු ගොඩනගන්නට දරණ උත්සාහය හරියටම කිවහොත් කිලෝ ග්‍රෑම්වලින් දුර මනින්නට හදනවා වැනි දෙයකි.

අපි විවිධ ග්‍රාම නාම, පුද්ගල නාම ආදිය ඉංග්‍රීසි වචනවලින් ද භාවිත කරමු. මේ ඔස්සේ යම් කෙනෙකු පර්යේෂණයක් කර ලංකාවේ ජනාවාස ආරම්භ වූ යුගයේදී මෙරට බටහිර රටක කොටසක් වශයෙන් පැවැතුණු නිසා මේ අයුරින් ඉංග්‍රීසි වචන ව්‍යවහාරයට පත්වූ බව කියන්නට බැරි කමක් නැත. නමුත් ඇත්ත වශයෙන්ම එයින් කියවෙන්නේ මෙයින් අවුරුදු සියයකට, එකසිය පනහකට එහා මෙරට අතීතය සම්බන්ධයෙන් පමණි. එකල අපේ රටේ පැවතියේ ඉංග්‍රීසි ආධිපත්‍යයයි. එතැනින් එහා  තවත් ඈත අතීතයට ගියත් වර්ෂ 1505න් එහාට ඉංග්‍රීසි වචනයක් හෝ ඊට ආසන්න වචනයක් ඉදිරිපත් කරන්නට ඔවුන්ට නොහැකි වනු ඇත. වර්ෂ 1505 යනු පෘතුගීසින් මෙරට ආක්‍රමණය කළ වසරයි. මේ ආකාරයටම රාවණා සම්බන්ධ වචන භාවිතයත් ඉතිහාසයේ කෝට්ටේ යුගයෙන් එහාට ගෙන යා නොහැකිය. මේවා රාවණා තහවුරු කරන්නට දක්වන ඉතාමත්ම දුර්වල සාධක බව ඉහත සඳහන් කළේ එබැවිනි. මෙහි සැඟවී පවතින අදහස වන්නේ ථෙරවාදී බෞද්ධ සම්ප්‍රදාය බිඳ දැමීමය.

බුදුරදුන් පිරිනිවන් පා වසර තුන්සියයක් වැනි කාලයකදී මහායාන දර්ශනය බිහිවූ අතර එහි අරමුණ වූයේ හින්දු මති මතාන්තර ථෙරවාදය තුළට කාවැද්දීමය. මහායාන දර්ශනයෙහි ලංකාවතාර නමින් සූත්‍රයක් වෙයි. එහි රාවණා රජු පිළිබඳ දීර්ඝ විස්තරයක් දැක්වේ. රාවණා මිථ්‍යාව ගොඩනැගී තිබෙන්නේ මේ කරුණුද පදනම් කරගෙනය. මහායාන බුදු සමය තුළින් සත්‍ය වශයෙන්ම නියෝජනය වන්නේ බමුණන්ගේ ආධිපත්‍යයයි. ජීවමාන බුදුරදුන්ගේ සමයේත් බුදුදහමේ  ව්‍යාප්තිය බිඳ දමන්නට බමුණන් උපක්‍රම යෙදූ අතර කලින් කලට වරින්වරට විවිධ වේශයන්ගෙන් එවැනි උපක්‍රම ඉස්මතු විය. මහායාන ධර්මය බිහිවීමද මේ උපක්‍රම අතරින් එකකි. රාවණා මිථ්‍යාව යනු එබඳු තවත් එකක් බව කිව යුතුය.

සාහිත්‍යයේ හෝ ජනප්‍රවාදයෙහි එන චරිත ඓතිහාසික ද යන්න තහවුරු කිරීමට නම් ඒ සඳහා සාධක තිබිය යුතුවේ. අපේ ඉතිහාසයට සම්බන්ධ බොහෝ දේ මහාවංසය, දීපවංසය වැනි ග්‍රන්ථවලින් තහවුරු වී තිබේ. මෑත භාගයේ ඉන්දියාවේ හමුවූ අසෝක අධිරාජයාගේ සෙල් ලිපි තහවුරු කිරීමටද මහාවංසය වැනි ග්‍රන්ථ උපකාර විය. ඉන්දියාවේ විශාල ආගමික ග්‍රන්ථ සාහිත්‍යයක් පැවතියත් ඉන්දියානු ඉතිහාසය තහවුරු කිරීමට එමගින් හැකි වූයේ නැත. එනිසා අශෝක රජු සම්බන්ධ සෙල් ලිපි තහවුරු කර ගැනීම සඳහා පවා දීපවංසය මහාවංසය වැනි ග්‍රන්ථ උපකාර කර ගැනීමට සිදුවිය.

මේ වන විට අපේ රටේ රාවණා පිළිබඳ මතය තහවුරු කිරීම සඳහා විවිධ ක්‍රමවේද භාවිත කරමින් පවතී. බුදුන් සරණ වෙනුවට රාවණා සරණ යා හැකි විහාරස්ථාන පවා දැන් තිබෙන අතර මේවායෙහි රාවණා පූජාවන් තැබිමද සිදුවේ. එසේම සමහර විහාරස්ථාන යාග හෝම සිදුකරන ස්ථාන බවටද පත්ව තිබේ. ඒ විහාරස්ථානයන්හි නමස්කාරය වෙනුවට ඇසෙන්නේ හින්දු කෝවිල්වල පූසාරිවරුන් භාවිත කරන ඕංකාරයයි. ඕංකාරයෙන් නමස්කාර කරනු ලබන්නේ ත්‍රිමූර්තියයි. ත්‍රිමූර්තියෙන් දක්වන්නේ බ්‍රහ්ම, විෂ්ණු සහ ඊශ්වරය. මෙය සඳහන් වන්නේ හින්දු වේද ග්‍රන්ථවලයි. අද සමහර විහාරස්ථාන මෙලෙස හින්දුකරණය වීම පසුපස ඇත්තේ කුමක්ද යන්න වටහා ගැනීමට අපේ බෞද්ධයන්ට නොහැකි වීම කණගාටුවට කරුණකි.

ඉන්දියාවේ දුසේරා නමින් රාම සඳහා වාර්ෂිකව සංවිධානය කරනු ලබන උත්සවයක් ඇත. මෙහිදී ලංකාවේ සිතියමක් සාදා රාවණා නමින් මනඃකල්පිත රජ කෙනෙකුගේ සිතුවමක් නිර්මාණය කර ඊට කෙටේරිවලින් ‍පොරොවෙන් පහර දී ගිනි තැබිම සිදුවේ. අපේ රටේ දැන් දැන් සිදුවෙමින් පවතින දේවල්වලට අනුව මෙවැනි උත්සවයක් නුදුරු අනාගතයේදී මෙහිද ආරම්භ වන්නට බැරිකමක් නැත. එහිදී අපේ මිනිසුන්ට කරන්නට සිදුවන්නේ කුමක්ද? ඉන්දියානුවන් රාවණාට පහරදී ගිනි තබන අයුරින් මෙහි රාමාට පහරදී ගිනි තැබිමට නොවේද? මෙය බෞද්ධ හින්දු සංස්කෘතීන් අතර අනවශ්‍ය ගැටුමක් ඇති කරන තත්ත්වයක් දක්වා පවා දුරදිග යා හැක්කකි.

2007 වසරේදී ‍පෝක් සමුද්‍ර සන්ධිය හරහා  සේතුසමුද්‍රම් නම් නැව් මාර්ගය ඉන්දියාව විසින් සැලසුම් කිරීමේදී ඊට ඇතැම් හින්දූන් විරෝධතාව පළ කර ඉන්දීය අධිකරණයට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබුණේ මේ ව්‍යාපෘතිය නිසා ඔවුන්ගේ වන්දනීය චරිතයක් වන රාමා සම්බන්ධ ස්ථාන නාම ආදියට පහරක් වැදෙන බව කියමිනි. එහිදී ඉන්දීය අධිකරණය මගින් මේ සම්බන්ධයෙන් එරට රජයෙන් විමසීමක් කර තිබිණ. ඉන්පසු ඉන්දීය රජයත් එරට පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවත් කරුණු දක්වමින් කියා සිටියේ රාමායනය සාහිත්‍යයක් ලෙස ඉතා රසවත් වුවත් එය පුරාවිද්‍යාත්මකව ඔප්පු කළ නොහැකි ඓතිහාසික වටිනාකමක් නොමැති මිථ්‍යා කතාවක් බවය.

ලංකාවේ චිරාත් කාලයක් පැවැති ථෙරවාදී සම්ප්‍රදාය එනම් මුල් බුදු සමයේ ගැඹුරු හරය ආරක්ෂා කරන්නේ නම් මෙවැනි ගැටලුවලට විසඳුම් ඉබේම ලැබෙනු ඇත. පංචශීල ප්‍රතිපත්තියට අනුගත නොවන දේවල් සමාජගත කර බලයක් ගොඩනගා ගැනීමට උත්සාහ දැරීමෙන් සිදුවන්නේ නිරපරාදේ ගැටුම් නිර්මාණය වීමය. පුද පූජා පැවැත්වීම තුළින් සාමය ඇති වන්නේ නැත. සාමය ඇති කරන මුවාවෙන් මේ මිථ්‍යා මත සමාජගත කරන්නන් උත්සාහ දරන්නේ තමන්ගේ ආගමික බලය ඉස්මතු කිරීමටය.

මේ මිථ්‍යා රාවණා චරිතයක් නිසා තව දශක කිහිපයක මෑත භාගයේදී රාම රාවණා යුද්ධයක්, එනම් බෞද්ධ හින්දු ගැටුමක් ඇති වීමට ඉතා පැහැදිලි අවකාශයක් නිර්මාණය වෙමින් තිබෙන බව නම් පැහැදිලිය.

//www.lakbima.lk/index.php?option=com_content&view=article&id=39268%3A2014-08-29-13-22-41&catid=58%3Aurumaya&Itemid=80