Home » පුවත් පත් ප්‍රකාශන » වඩා ප්‍රබල විශ්ව ශක්‌තියද?මානව ශක්‌තියද?

විශ්ව ශක්‌තියෙන් රෝග සුවකරන බවටත්, විවිධ හාස්‌කම් දක්‌වන බවටත් පවසමින් විවිධ අවස්‌ථාවලදී අප සමාජයේ ඉස්‌මතු වන පුද්ගලයෝ වෙති. සමහර පැවිදි ස්‌වාමීන් වහන්සේද විශ්ව ශක්‌තියෙන් රෝග සුවකරන බව පවසමින් විවිධ ක්‍රියාකාරකම් වල යෙදුණු අවස්‌ථා පසුගිය කාලයේදී දැකගත හැකිවිය. එනිසා විශ්ව ශක්‌තිය යනු කුමක්‌ද? එය සත්‍යයක්‌ද ? නැතිනම් එය මායාවක්‌ද? අද අප ධර්ම සංවාදයට ලක්‌කරනුයේ මෙම කාරණයයි.

මේ පවතින්නේ කලියුග කාලයයි. කලියුග කාලයේදී සිදු විය හැකි දැ, එහි ලක්‍ෂණ බුදුරජාණන් වහන්සේ සිය සූත්‍රවලදී විවිධ අවස්‌ථාවන්හි දේශනා කර තිබෙනවා. කලියුග කාලයේ දී ලක්‍ෂණ මැනවින් පෙන්වා දුන් අවස්‌ථාවන් ලෙස කොසොල් රඡ්ජුරුවන් දුටු සිහින හා එහි පලාපල පිළිබඳ බුදුදහමේ දැක්‌වෙන විග්‍රහය ඉතාම වැදගත්. අප මේ පිළිබඳව මීට ඉහත දී ඔබව දැනුවත් කළ බව මෙහිදී සිහිපත් කිරීමට කැමැතියි.

අද වන විට ශ්‍රී ලංකාවේදී අමුතුම ශක්‌තීන් ගැන අහන්නට ලැබෙනවා. ඒ වෙනුවෙන් පෙනී සිටින අය මෙය හඳුන්වන්නේ විශ්ව ශක්‌තිය ලෙසයි. තමන් ළඟ පවතින බව කියන විශ්ව ශක්‌තියෙන් පිළිකා ඇතුළු භයානක රෝගාබාධ සුවකරන බවට මේ අය ප්‍රචාරය කරනවා. සමාජයට සහතික දෙනවා. පසුගිය කාලයේදී එක්‌තරා ස්‌වාමීන්වහන්සේ නමක්‌ද තමන්ට විශ්ව ශක්‌තිය ඇතැයි පවසමින්, විශ්ව ශක්‌තිය සමාජයට මුදාහරින බව පෙන්වමින් අත්වලින් විවිධ චලන ඉදිරිපත් කරමින් හැසිරුණු අයුරු අපි දුටුවා. ඇතැම් රූපවාහිනී නාලිකාවලිනුත් මීට අනුග්‍රහය ලබාදුන්නා. විශ්ව ශක්‌තිය තියෙනවා කියන අයට පුළුවන්නම් පිළිකා රෝහලට කොළඹ මහ රෝහලට ගිහිල්ලා තමන්ගේ විශ්ව ශක්‌තිය මුදාහරින්නැයි කියලා අපි අභියෝග කරනවා. එහෙම ඒ අයට කරන්න පුළුවන්නම් දහස්‌ ගණනක්‌ වන රෝගීන්ට සැලසෙන්නේ ලොකු සෙතක්‌. ඒ අයත් කර ගන්නේ ලොකු පිංකමක්‌. රෝගී අසරණ පුද්ගලයන්ට පිහිටවිය හැකි ශක්‌තියක්‌ කාට හෝ තිබේනම් එය කෙතරම් ආශ්චර්යයක්‌ද? එසේ ඔවුනට කළ හැකිනම් ඔවුනගේ ශක්‌තියට ජනතාව ඇති තරම් මුදල් හදල් පවා දේවි.

 

ඇත්තටම මේ විශ්ව ශක්‌තිය කියන්නේ කුමක්‌ද?

විශ්ව යනු සියලු, සෑම, සම්පූර්ණ යන අදහසයි. නැතහොත් මුළු ලොවම යන්නයි. වැලිවිට සෝරත හාමුදුරුවන්ගේ ශ්‍රී සුමංගල ශබ්ද කෝෂයේදී මේ බව පෙන්වා දී තිබෙනවා.

නමුත් විශ්ව ශක්‌තිය පිළිබඳව බුදුරජාණන් වහන්සේගේ දේශනාවක්‌ කොහේවත් නැහැ. මේ ලෝකයේ උත්තරීතරම උත්තමයන් වහන්සේ බුදුරජාණන් වහන්සේයි. උන්වහන්සේ එවැනි ශක්‌තියක්‌ භාවිත කළ බවක්‌ කොතැකවත් සඳහන් වන්නේ නැහැ.

විශ්වය යනු ලෝකයයි. එය නිරතුරුව කැඩෙන, බිඳෙන හා විනාශ වන සුලු ස්‌වභාවයකයි පවතින්නේ.

මේ ලෝකයෙහි අගක්‌ මුලක්‌ නැති බවයි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ.

අනමතග්ගෝයං සංසාරෝ පුබ්බාකෝටි න පඤaඤයති – සංයුක්‌ත නිකාය

ඒ වගේම විශ්වයේ ව්‍යාප්තිය පිළිබඳව දීඝ නිකායේ අග්ගඤaඤ සූත්‍රයෙහි සඳහන් වෙනවා. අංගුත්තර නිකායේ ටික නිපාතයේ චූලනිකා සූත්‍රයේදී චත්ක්‍රා වාටයන් පිළිබඳව සඳහන් වෙනවා. සඳු සහ හිරුගේ ආලෝකය පතුරුවන තැන චක්‍රාවාටයක්‌ ලෙසයි එහි සඳත් වෙන්නේ. එනම් ඉරක්‌ තියෙනවා. සඳක්‌ තියෙනවා. ඒ අනුව බලන කල අපේ පෘථිවියත් චක්‍රාවාටයක්‌. චක්‍රාවාට දස දහස්‌ ගණනක්‌ ඇති බව මෙම සූත්‍රයේ සඳහන් වෙනවා. එහි සඳහන් වන එක්‌ ඉරකින් එක්‌ සදකින් ආලෝකය පැතිරෙන ප්‍රමාණය තමයි චක්‍රාවාටය කියන්නේ. එබඳු චක්‍රාවාට දහසක්‌ සහස්‌සී චූලනිකා ලෝක ධාතුව ලෙස සැලකෙනවා. සහස්‌සී චූලනිකා ලෝක ධාතු දහසක්‌ එනම් චක්‍රාවාට දශලක්‍ෂයක්‌ ද්වසහස්‌සී මඡ්Cධිමිතා ලෝක ධාතුවයි. ද්විසහස්‌සී මඡ්Cධිමිතා ලෝක ධාතු දසදහසක්‌ එනම් චක්‍රාවාට සිය කෝටියක්‌ තිසහස්‌සී මහාසහස්‌සී ලෝක ධාතුවයි. මේ ආදී වශයෙන් චූලනිකා සූත්‍රයේදී චක්‍රාවාටයන් පිළිබඳව සඳහන් වෙනවා. මේ ආකාරයෙන් නිර්මාණය විශ්වය විනාශ වන අයුරු අංගුත්තර නිකායේ සත්තසුරියුත්මාන සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ දේශනා කර තිබෙනවා.

 

මෙහිදී අපට පැන නඟින ප්‍රශ්නය තමයි විශ්ව ශක්‌තිය කියන්නේ කුමක්‌ද යන්න.

විශ්වය යනු පෘථිsවිය නම් එම පෘථිවියේ සම්පත් අපි භුක්‌ති විදිsනවා. ආහාර ගැනීමෙන් අපට ශක්‌තියක්‌ ලැබෙනවා. ඒවා හැදුණේ පොළොවේ. එහි සාරය උරා ගනිමින් අපි ජීවිතයේ පහසුකම් සලස්‌වා ගන්නවා. ආහාර ලබා ගැනීමෙන් නිරෝගිමත්ව ජීවත්වන පුද්ගලයාට අධ්‍යාපන වශයෙන් ඉහළට යැමට පුළුවන්. තවත් කෙනෙක්‌ තමන්ගේ ශිල්පීය ඤdණය වැඩිදියුණු කරගනිමින් ඉදිරියට යනවා. තවත් කෙනෙක්‌ මේ කිසිම ශක්‌තියක්‌ නොමැතිව දීන පුද්ගලයෝ වශයෙන් ජීවත්වෙනවා. මේ ආකාරයෙන් තමයි ශක්‌තිය උරාගන්නේ. මේ ශක්‌තිය උරාගත් අය අතුරින්ම තමයි වෛද්‍යවරුන් විද්‍යාඥයන් ඇතුළු බුද්ධිමතුන් බිහිවන්නේ. මිනිසාගේ සඳ තරණය කියන්නේ විශ්ව ශක්‌තිය ඉක්‌මවා මනුෂ්‍ය ශක්‌තිය ඉස්‌මතු වූ මොහොතක්‌. නැතහොත් මානව ශක්‌තිය ඉස්‌මතු වූ මොහොතක්‌. දැන් මේ වන විට ලෝකය ගොඩක්‌ දියුණුයි. විශ්ව ශක්‌තිය අභිබවා මානව ශක්‌තිය අද වන විට ලෝකයේ ප්‍රබල තත්ත්වයට පත්ව තිබෙනවා. නැව්, ගු=වන්යානා, අභ්‍යවකාශ යානා, නිර්මාණය වන්නේ එහි ප්‍රතිඵලයක්‌ වශයෙන්. සඳ තරණය කළ මිනිසා අද අනෙකුත් ග්‍රහලෝක පිළිබඳවත් පර්යේෂණ පවත්වමින් සිටිනවා. අලුත් ග්‍රහලෝක සොයාගෙන තිබෙනවා. එනිසා අද නවීන මිනිසා යනු විශ්වශක්‌තිය ඉක්‌මවා ගිය අයෙක්‌. ඇත්තටම මෙහෙම කල්පනා කරන විට විශ්ව ශක්‌තිය කියා දෙයක්‌ නැහැ.

අද සමහරු කියනවනේ තමන්ට විශ්ව ශක්‌තිය තියෙනවා කියා. එහෙත් යම් යම් පුද්ගලයන්ට විශේෂිත වූ විශ්ව ශක්‌තියක්‌ නැහැ. ඒ අය විශ්ව ශක්‌තියෙන් රෝග සුවකරනවා යනුවෙන් කරන්නේ බොරුවක්‌. වංචාවක්‌. බුදුරජාණන් වහන්සේ මෙවැනි ශක්‌තියක්‌ උපයෝගී කරගෙන රෝගීන් සුවපත් කළේ නැහැනේ. පූතිගත්තතිස්‌ස තෙරුන්ගේ කතා ප්‍රවෘත්තියෙන් මේ බව හෙළිවෙනවා. බුqදුරජාණන් වහන්සේට වරෙක බඩේ රුදාවක්‌ හැදුණා. උන්වහන්සේ ජීවක වෛද්‍යවරයාගෙන් ප්‍රතිකාර ගනු ලැබුවා. බුදුරජාණන් වහන්සේ වැනි ශ්‍රෝෂ්ඨ උත්තමයකුට තමන්ගේ ශක්‌තියෙන් යම් යම් රෝග පාලනය කර ගැනීමේ හැකියාව තිබුණත් උන්වහන්සේවත් ස්‌වභාවිකත්වයට ඉඩ දුන්නා මිස එය ඉක්‌මවා ගියේ නැහැ.

අනෙක අපි ගරු කළ යුත්තේ, අපි ගුරු කර ගත යුත්තේ අපේ ශක්‌තියයි. මොහොතකට සිතන්න. ඔබට කෙතරම් නම් කේන්ති ඇවිත් ඇද්ද? සමහර පුද්ගලයන් කෙරේ ඇතිවෙන කේන්තිය දැඩි වෛරය නිසා ඔහුට පහරදීමට, ඝාතනය කිරීමට තරම් සිතුවිලි ඇතිවී තිබෙනවා නේද? නමුත් කේන්තියට හිතට ආ දේ ඔබ ක්‍රියාත්මක කරන්නේ නැහැ. එය ඔබ පාලනය කරනවා. මෛත්‍රී සහගත සිතුවිලි ඇතිකරන උපේක්‍ෂා සහගතව එම සිතුවිලි යටපත් කරනවා. මේ තමයි ඔබ සතු ශක්‌තිය. අප මානවයා සතු ශක්‌තිය . පෘථග්ජන මිනිසුන් විදිහට කොතරම් නම් කාමුක සිතුවිලි ඇතිවනවාද? නමුත් බුද්ධිමත්ව සිතන මිනිසුන් ඊට ඉඩදෙන්නේ නැහැ. මනසින් මැනවින් විමසා ඒ ඇලෙන ගැලෙන ස්‌වභාවයන්ගෙන් ඈත්වෙනවා. ඒ සඳහා මුල්වුණේ තමන්ගේ ශක්‌තියයි.

නමුත් මෙහෙම ප්‍රශ්නයක්‌ තියෙනවා. සමහර පුද්ගලයන් ලෙඩ රෝග නිසා කායිකව මෙන්ම මානසිකව ඇදවැටෙන අවස්‌ථා තියෙනවා. ඔවුන්ගේ අසහනකාරී තත්ත්වයන් වර්ධනය වෙනවා. එවැනි පුද්ගලයකු තමන්ට වැළඳුණු රෝගයකට දිගින් දිගට ප්‍රතිකාර කළත් එකවර සුව නොවෙන්න පුළුවන්. එවැනි පුද්ගලයකු නොදැනුවත්කම නිසා විශ්වශක්‌තිය ඇතැයි කියන පුද්ගලයකු ළඟට ගොස්‌ පිහිට පතන්න ඉඩකඩ තියෙනවා.

එතැනදී ඔවුන් දමන උප්පරවැට්‌ටිවලට ඔවුන් අසුවෙනවා. සමහර විට ඒ දේවල් දැඩිව විශ්වාස කිරීම නිසා යමකුට යම් තාවකාලික සහනයක්‌ එතැනදී ලැබෙන්න පුළුවන්. එතැනදී පැහැදිලිවම ඔහුට තිබිල තියෙන්නේ. මානසික රෝගයක්‌.

බුදුරජාණන් වහන්සේ පුද්ගලයන්ට වැළඳිය හැකි රෝග දෙකක්‌ දේශනා කළා.

දිස්‌සන්ති භික්‌ඛවේ සත්තා කායිකෙන රෝගෙන එකංපි වස්‌සං ආරෝග්‍යං පටිජානමානා දේවපි වස්‌සානි ආරෝග්‍යං පටිජානමානා……. වස්‌සස……. තම්පි ආරෝග්‍ය පටිජානමානා තෙ භික්‌ඛවේ සත්තා දුල්ලභා ලෝකස්‌මිං යෙ ෙච්තසිකෙන

රෝගෙන මුහුත්තංපි ආරෝග්‍යං පටිජානාති අඤaඤත්‍ර ‚ණාසවෙහි

 

අංගුත්තර නිකායේ චතුක්‌ක නිපාතයේ රෝග සූත්‍රය

මෙහි තේරුම මෙසේයි.

ලෝක සත්ත්වයාට තිබෙන්නේ රෝග දෙකක්‌. එනම් කායික රෝග හා මානසික රෝග වශයෙන්. මෙයින් කායික රෝගවලින් පීඩා නොවිද අවුරුද්දක්‌, දෙකක්‌ තුනක්‌ හතරක්‌ පහක්‌ දහයක්‌, විස්‌සක්‌ තිහක්‌ හතළිහක්‌ පනහක්‌ හෝ ඇතැම් විට සියයක්‌ නිරෝගීව සිටින අය සිටිති. එහෙත් රහතන් වහන්සේලා හැර අන් සෑම දෙනාම මානසික රෝගවලින් , හිතේ ලෙඩින් පෙළෙනවා. මොහොතක්‌වත් මානසික රෝග වලින් නොපෙළෙන්නේ රහතුන් වහන්සේලා පමණයි. ඇතැම් විට කායික රෝගවලින් පෙළෙන්න පුළුවන්.

බොහෝ මිනිසුන් කයින් නිරෝගී වුවත් මනසින් රෝගීන් වෙනවා. මනසින් රෝගීන් වෙන නිසා අන්ත ඒ දුර්වලතාව මත ඇතැම් අය ඉස්‌මතු වන්න පුළුවන්. මෙකී අසරණභාවය හේතු කොටගෙන වංචනිකයන්ගේ, බොරුකාරයන්ගේ, දූෂකයන්ගේ මේ අමුqතු ශක්‌තියට ග්‍රහණය වෙන්න පුළුවන්.

පසුගිය දිනවල ඉන්දියාවේ සිට පැමිණ භාවනානුයෝගීව සිටි බව කියන පුද්ගලයකුගේ බහට ගොඩක්‌ දෙනා රැවටුණා. මෙම වංචාකාරයා අත්අඩංගුවට ගන්න විට ඔහු නිසා ස්‌ත්‍රීන් කීපදෙනෙක්‌ අතවරයට ලක්‌ව සිටියා. පරුෂව ජීවත්වන අශීලාචාර, අශිෂ්ට ලෙස කටයුතු කරන අයට ඔය කියන තරම් බලයක්‌ කොයින්ද? ඒ අයට එතරම් බලයක්‌ තියෙනව නම් සෘජු ලෙස පවට සම්බන්ධ නොවන හරකුන්, ඌරන් වැනි සතුන්ට කොයි තරම් බලයක්‌ තිබිය යුතුද? සතුන්ට, නොපෙනෙන බලවේගවලට වඳින්න පුදන්න ගත්තේ වෛදික යුගයේදීයි. මෙය ප්‍රාථමික අවස්‌ථාවක්‌.

මානසික රෝගී තත්ත්වය තේරුම් ගැනීමට දසන්ගත ජාතකය හොඳම නිදසුනක්‌. එම කතාවේ එන මද්දව රජතුමා දිනක්‌ යම් පුද්ගයෙකුට වටින දෙයක්‌ පරිත්‍යාගය කරනවා. රාත්‍රිය වෙද්දී මේ රජතුමාට කල්පනා වෙනවා “මම මොනතරම් අපරාධයක්‌ද කළේ. ඇයි මම එම දේ එම පුද්ගලයාට දුන්නේ.” කියලා.

දැන් රජතුමා ඒ ගැනම කල්පනා කරනවා. රජතුමාගේ හිත දැඩි අවිවේකියි. දැන් ඒ ගැනම කල්පනා කරලා කෑම කන්නෙත් නැහැ. අන්තිමේදී රජතුමා ලෙඩවුණා. රජතුමාගේ රාජකීය වෛද්‍යවරු ප්‍රතිකාර කළත් රජතුමා සුවපත් වුණේ නැහැ.

එදවස මෙම රජතුමාගේ පුරෝහිත වශයෙන් කටයුතු කළේ අප බෝසතාණන් වහන්සේ. බෝසතාණන් වහන්සේ කල්පනා කරනව මොකක්‌ද රජතුමාගේ අසනීපයට හේතුව කියලා. අවසානයේදී බෝසතාණන් වහන්සේ හේතුව දකිනවා. රෝගය සුවපත් කිරීමට ශාන්ති කර්මයක්‌ කළ යුතු යෑයි බෝසතාණෝ කල්පනා කළා. ඒ අනුව මෙම අපූරු ශාන්ති කර්මයට අප බෝසතාණන් වහන්සේ අපූරු ශිල්පීන් ටිකක්‌ සොයා ගනු ලැබුවා. අඩි 2 1/2 ක්‌ දිග කඩු ගිලින ශිල්පීන් තමයි මෙම අවස්‌ථාවට සහභාගී වුණේ.

දැන් ශිල්ප දැක්‌වීම ඇරැඹුණා.

ශිල්පීන් කඩු ගිලිනවා. රජතුමා ඇස්‌ දෙක නොසොල්වා ඒ දිහා බලා සිටිනවා. මොනවද වෙන්නේ කියලා කල්පනා කරනවා.

එම වේලාවේදී අප බෝසතාණන් වන පුරෝහිතගෙන් අහනවා” මේ ලෝකයේ කඩු ගිලිනවාට වඩා තවත් අමාරු වැඩක්‌ තියෙනවද කියලා.”

එවිට පුරෝහිත උත්තර දෙනවා.

“ඔව් රජතුමනි, කඩු ගිලිනවාට වඩා යමක්‌ දෙන්න හිතන එක ඊටත් වැඩිය අමාරුයි.”

රජතුමා දැන් කල්පනා කරනවා එලෙස යමක්‌ දෙන්න, පරිත්‍යාග කරන්න හිත හදා ගැනීම නමැති කාර්යය මම කළානේ කියලා.

දැන් කඩු ගිලීමේ සංදර්ශනයත් ජයටම පැවැත්වෙනවා.

නැවතත් රජතුමා පුරෝහිත විමසනවා.

“පුරෝහිත මේ ලෝකයේ කඩු ගිලිනවාටත් වඩා යමක්‌ දෙන්න හිත හදා ගන්නවාට වඩා අමාරු දෙයක්‌ තියෙනවද?

තියෙනවා රජතුමනි, පුරෝහිත උත්තර බඳිනවා.

“කිමෙක්‌ද පුරෝහිත ඒ……? රජතුමා විමසනවා.

රජතුමනි පරිත්‍යාග කිරීමට (යමක්‌ දීමට) ඇතිවූ සිතුවිල්ල ක්‍රියාත්මක කිරීම.

රජතුමා දැන් යළිත් කල්පනා කරනවා. මම ඒ අමාරු කාර්යයත් කළානේ.

සංදර්ශනයත් දිගින දිගටම පැවැත්වෙනවා.

 

රජතුමා යළිත් මෙහෙම අසනවා.

 

“මේ ලෝකයේ කඩු ගිලිනවාටත් වඩා යමක්‌ පරිත්‍යාග කිරීමට හිත හදාගෙන එය දීමටත් වඩා අමාරු කාර්යයක්‌ තියෙනවාද?

“තියෙනවා රජතුමනි” පුරෝහිත උත්තර දුන්නා.

කිමෙක්‌ද පුරෝහිත ඒ….. රජතුමා යළිත් විමසනවා.

“යමක්‌ පරිත්‍යාග කළාට පසු ඒ ගැන හිත හදා ගැනීම.”

දැන් රජතුමා කල්පනා කරනවා. මම අර දේ පරිත්‍යාග කළාට හිත හදාගන්න බැරිවුණානේ. රජතුමාගේ මානසික තත්ත්වය ක්‍රමක්‍රමයෙන් යහපත් තත්ත්වයට පත්වූ නිසා පැවැති රෝග තත්ත්වයත් මෙම සන්දර්ශනය අවසාන වන විට නැතිවුණා.

මිනිසුන්ගේ තියෙන දුබල, අසරණ, සැලෙන චරිතවල මානසික තත්ත්වය නිසා තමයි සමහර පුද්ගලයන්ට විශ්ව ශක්‌තිය තියෙනවා කියා මේ අය රවටා ගන්න පුළුවන්. එනිසා මිනිසා කළ යුත්තේ නැති විශ්ව ශක්‌තියක්‌ ගැන කල්පනා නොකර තමන්ගේ තියෙන ශක්‌තිය ඉස්‌මතු කරගෙන ක්‍රියාකිරීමයි.

අප 21 වැනි සියවසේ සිටියත් අප රටේ බොහෝ උදවිය මිථ්‍යාව විශ්වාස කිරීම, ඒ දෙසට ගමන් කිරීම ගැන කනගාටුයි. මිත්‍යාවලට වැඩි වැඩියෙන් ප්‍රචාරයට අවස්‌ථාවන් ලැබීම මෙම තත්ත්වය පුළුල් වීමට හේතුවී තිබෙනවා. මිථ්‍යාවෙන් ආකූල ව්‍යාකූල වූ අපේ මිනිsස්‌ සිත් වෙනස්‌ කිරීමට චින්තන විප්ලවයක්‌ කළ යුතු කාලය එළැඹී තිබෙනවා. එම චින්තන විප්ලවයට අප නොගියොත් මිථ්‍යාවට යටවී මෙම සමාජය දවසින් දවස තවත් අසරණ වීමේ අනතුරක්‌ තියෙනවා.

අප සමාජය මිථ්‍යාවට යටවෙන්නේ බුද්ධි බෙලහීනතාව නිසයි. බුදුරජාණන් වහන්සේ තමයි ශ්‍රේෂ්ඨතම ශල්‍ය වෛද්‍යවරයාණෝ. එනිසා උන්වහන්සේගේ ධර්මය නිසි ලෙස අවබෝධය කර ගැනීමට පෙළඹීමෙන් පමණයි අපට මේ තත්ත්වයෙන් මිදිය හැක්‌කේ.

කර්මය මුල්කරගෙන සෑම දෙයක්‌ම සිදුවන්නේ නැහැ. පසුගිය දිනවල අනෝරා වැසි වැස්‌සා. ඉන් විශාල ජනතාවක්‌ විපතට පත්වුණා. මෙය කවුරුවත් කළ දෙයක්‌ නොවේ. බුදුරජාණන් වහන්සේ නියාම ධර්ම වශයෙන් මෙය දේශනා කළා. උතුනියාම, බීජ නියාම, කම්ම නියාම, ධම්ම නියාම, චිත්ත නියාම වශයෙන් මෙම නියාමන ධර්ම බුදුරජානන් වහන්සේ වදාළා. උතුනියාම යනු ස්‌වභාව ධර්මයේ සිදුවන වෙනස්‌වීම නිසා යම් යම් අය රෝගාබාධයන්ට ලක්‌විය හැකියි. එදා රසවත්ව හැදුණු ගෙඩි වර්ග අද රසවත් භාවයෙන් අඩුයි. මෙය උතු නියාමයක්‌. කවුරුවත් කරන දෙයක්‌ නොවේ. අඹ ඇටයක්‌ සිටවුවොත් අඹ පැලයක්‌ම තමයි ලැබෙන්නේ. අඹ ඇටයක්‌ සිටුවා කොස්‌ ගසක්‌ බලාපොරොත්තු වන්නේ නැහැනේ. මෙය බීජ නියාමයක්‌. එයත් කවුරුවත් කරන දෙයක්‌ නොවේ. කම්ම නියාම යනු කරන කුසල් අකුසල් අනුව ඊට අනුරූපව විපාක ලැබීමයි. කර්මය යනු එක්‌ කොටසක්‌ පමණයි. ස්‌වභාවධර්මය අනුකූලව සිදුවන දේවල්වලට ධම්ම නියාමයෑයි කියනු ලැබේ. හිරු නැගෙනහිරින් උදාවෙනවා. හිරු බස්‌නාහිරින් බැස යනවා. මෙය ධම්ම නියාමයක්‌ මිස කර්මය නිසා සිදුවන්නක්‌ නොවේ.

කර්මය විපාක නොදෙන තවත් අවස්‌ථා කීපයක්‌ දහමෙහි දැක්‌වෙනවා. ගිහි සම්පත්ති – ගිහි විපත්ති, උපත් සම්පත්ති – උපත් විපත්ති, කාල සම්පත්ති – කාල විපත්ති, පයෝග සම්පත්ති සහ පයෝග විපත්ති ලෙස ඒවා හඳුනා ගැනීමට පුළුවන්. මේ කාලයේදී අප මුහුණ දෙන්නේ කාල විපත්තිවලටයි.

දුප්පත් පවුලක වුවත් කෙනෙක්‌ ලස්‌සන වෙලා ඉපදෙන්න පුළුවන්. එය උපත් සම්පත්තිය නිසා මිස කර්මය අනුව සිදුවන්නක්‌ නොවේ. එම ලස්‌සන නිසාම ඔහුට හෝ ඇයට උසස්‌ ප්‍රභූ පැලැන්තියේ පවුලක ඇසුරට වැටෙන්න පුළුවන්. ඉන් ආවාහ විවාහ වෙන්න පුළුවන්. අතීතයේත් මෙවැනි දේවල් සිදුවුණා. වර්තමානයේදීත් එවැනි දේවල් සිදුවෙනවා. මේවා අපි දළ වශයෙන් පෙන්වා දුන්නේ සියලු දේ කර්මයෙන් සිදු නොවන බව පෙන්වාදීමටයි. කර්මයෙන් සිදුවන්නේ එක්‌ කොටසක්‌ පමණයි. කර්මය යනු ක්‍රියාවයි. තමන් හොඳ ක්‍රියාවක්‌ කළ විට හොඳ විපාකයන් ලැබෙනවා. හොඳට හිතලා හොඳ තීන්දු ගන්න පුළුවන්. තරහට හිතලා නරක තීන්දු ගන්න පුළුවනි. අපි කළ යුත්තේ හොඳ දේ ක්‍රියාත්මක කිරීමයි.

මේ දේවල් තේරුම් නොගෙන විශ්වයේ සිදුවන දේවලින් සිත නොසන්සුන් කරගෙන, ආකුල, ව්‍යාකූල කරගෙන විශ්වයේ ශක්‌තිය තමන්ට ඇතැයි කියන පුද්ගලයන්ට රැවටෙන්නේ නැතිව බුද්ධිමත්ව ප්‍රශ්න දිහා බැලීමට ජනතාව උත්සහ කළ යුතුයි. විශ්ව ශක්‌තිය කියා කාට හෝ අමුතු බලයක්‌ නැහැ. පොළොවෙන් උකහා ගන්නා ශක්‌තිය අප සෑම දෙනාටම තියෙනවා.

නමුත් යම්කිසි කෙනෙකුට අධ්‍යාත්මිකව තම ගුණ වගාවන් පෝෂණය කර ඒ තුළින් මෛත්‍රී සහගතව සිතන්න පුළුවන්. තමන් තුළ පිරිසිදුභාවයට හෝ අපිරිසිදු භාවය ඇතිකර ගත හැක්‌කේ තමන්ටම පමණයි. නමුත් වැරදියට ජීවත්වන පුද්ගලයෙක්‌ මෛත්‍රී සහගතව ජීවත්වන උතුමකු ළඟට ගෙස්‌ තමන්ට සෙත්ශාන්ති කරන්න යෑයි කීවත් ඉන් පලක්‌ වන්නේ නැහැ. කාමයෙහි වරදවා හැසිරෙන්න එපා කියලා බුදුහාමුදුරුවෝ දේශනා කළා. එය නොතකා ක්‍රියා කිරීම නිසා අද ඒඩ්ස්‌ වැනි දරුණු රෝග සමාජගතවෙලා තියෙනවා. මේ වගේ වැරදිකාමුක සේවනයේ යෙදුණු අයද මෛත්‍රී සහගතව ජීවත්වන උතුමකු ළඟට ගොස්‌ තමන්ට මෛත්‍රී කරන්නැයි ඉල්ලා සිටියද ඉන් පලක්‌ වේද? මෛත්‍රීය ලැබෙයිද නැහැ.

මිත්‍යා මත වපුරමින්, ඒ පිළිබඳව යාගහෝම කරමින්, සෙත්ශාන්ති කරන බව පවසමින් හැසිරෙන පිරිස්‌ නිසා මේ ලක්‌ෂ සංඛ්‍යාත මිනිසුන් අමාරුවේ වැටී සිටිනවා. මෙම වංචනිකයින් මේවාට ආගමික ස්‌වරූපයක්‌ ලබාදෙමින් කටයුතු කරන නිසා අහිංසක මිනිසුන් අමාරුවේ වැටෙන අවස්‌ථා වැඩියි. ආගම දහම කෙරෙහි ඔවුන්ගේ පවතින විශ්වාසය්, භක්‌තිය දඩමීමාකරගෙනයි ඔවුන් මෙම ජාවාරම කරගෙන යන්නේ. එනිසා අපි ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ අන්ධභක්‌තිකයන් නොවී බුද්ධියට මුල්තැන දෙමින් කටයුතු කරන ලෙසයි.

මේවා වැලැක්‌වීමට රාජ්‍ය අංශයෙන් මැදිහත්විය යුතුයි. මොවුන් පිළිබඳව ක්‍රියාකිරීමට පවතින නීතිරීති ප්‍රමාණාත්මක නොවේ නම් අලුතින් හෝ ඒ සඳහා නීති සම්පාදනය කළ යුතුයි. චිත්ත පීඩාවන්ට ලක්‌වී අසරණ වූ මිනිසුන් සූරාකෑම කෙතරම් නම් පාපයක්‌ද? එනිසා වහ වහා විවිධ ස්‌වරූපයෙන් පෙනී සිටින වංචනිකයන් ගැන හෙළිදරව් කිරීමට, ඔවුන්ගේ ක්‍රියාකාරීත්වය නැවැත්වීමට අප තවත් පසුබට නොවිය යුතුයි.

ධර්ම සංවාදය වසන්ත ලියනගේ