Home » විශේෂාංග » ධර්මය නම් උත්තුංග විනිශ්චකරුවා ආත්ම ඝාතකයාට තීන්දුවක් දෙයි

ධර්මය නම් උත්තුංග විනිශ්චකරුවා ආත්ම ඝාතකයාට තීන්දුවක් දෙයි

අපේ හාමුදුරුවනේ – සිය දිවි නසා ගැනීම් ලෝකයේ බහුල වෙලා . ලංකාවෙත් බොහෝ විට අසන්නට ලැබෙනවා .පරපණ නැසීම පාපයක් බව කුඩා දරුවා පවා හොඳින් දනිතත් සිය දිවි නසා ගැනීම පිළිබඳව ඇතැමකු දරන මතයන්හි බොහෝ ගැටලු සහගත තත්ත්වයක් මතු වෙනවා. මේ පිළිබඳ බෞද්ධ විග්‍රහය ඔබ වහන්සේගෙන් දැන ගන්නට කැමැතියි.

විපස්සි හාමුදුරුවෝ – අපට සිය දිවි නසා ගැනීම නොහොත් ආත්ම ඝාතනය පිළිබඳව බෞද්ධ විග්‍රහය අනුව පුළුල් ලෙස කතා කළ හැකි යි. ලිපියකින් ඒ පිළිබඳව කතා කිරීමේදී අපට එය විග්‍රහ කරන්නට වන්නේ සාරාංශ වශයෙන් . නමුත් ඔබ ඇසූ ප්‍රශ්නයට බෞද්ධ විග්‍රහය අනුව නිශ්චිත පිළිතුරක් තිබෙනවා. බෞද්ධ දර්ශනය අනුවත් පොදු ධර්මතාවය අනුවත්, මෙය විමසීමේදී අපි ඉතා ප්‍රවේශමෙන් වැරදි අවබෝධයන් දුරුකරලමින් මෙම ගැටලුව ලිහා ගත යුතුවෙනවා. මෙය ජාති, ආගම, කුල, පන්ති තරාතිරමකින් තොරව ලෝකය පුරා සිදු වන්නක්. ඒ නිසා පොදු ධර්මතාවයට අනුවත් මෙය විග්‍රහ කරගනිමින් එහි ස්වභාවය හඳුනාගත යුතු වෙනවා. එහෙම වුණාම අපට ආගමානුකූල විග්‍රහය ඉදිරිපත් කිරීමටත් එය පොදුවේ තේරුම් ගැනීමටත් පහසුයි.

පැරැණි ගී‍්‍රක රෝම ශිෂ්ඨාචාරවල සිය දිවි නසා ගැනීම එක්තරා යුගයක ප්‍රශංසනීය ලෙස පිළිගත් අතර තවත් වරෙක පහත් ක්‍රියා ලෙස පිළිගත් බව පෙනෙනවා. ඒ වාගේම හින්දු ඉස්ලාම් ක්‍රිස්තියානි ආදි සෑම ආගමක්ම ආත්ම ඝාතනය නිග්‍රහ කළ යුතු ක්‍රියාවක් වශයෙන් පොදුව සලකනවා. එහෙත් ‘භගවත් ගීතාව’ ‘මහා භාරතය’ වැනි හින්දූන්ගේ වීර කාව්‍ය වලත් ක්‍රිස්තියානි බයිබලයේත් කුරානයේත් ස්වධර්ම වෙනුවෙන් සිය දිවි තොර කර ගැනීම පාපයක් නොවන බව හඳුන්වනවා.

අපේ හාමුදුරුවනේ ස්වධර්ම සඳහා සිය දිවි හානි කරගැනීම වඩාත් පැහැදිලි කර ගත්තොත්….

විපස්සි හාමුදුරුවෝ- ස්වධර්ම සඳහා සිය දිවි නසා ගන්නවා යැයි හඳුන්වන්නේ පරහිතකාමීත්වය වෙනුවෙන් දිවි තොර කර ගැනීමෙයි. තමා කාලයක් තිස්සේ ගොඩ නගාගත් ආත්මීය විශ්වාස ජාති ආගම කුල ගෝත්‍ර උරුමයන් දේශ හිතෛශී භාවය වැනි හේතූන් මත ඇතිවන යම් තත්ත්වයකදී සිය දිවිනසා ගැනීම මේ ගණට අයත් වෙනවා. තවදුරටත් පැහැදිලි කරගතහොත් 1. ඉච්ඡාභංගත්වය 2.පරහිතකාමීත්වය මත ඒ කියන්නේ ස්වධර්ම මත 3. උදාරධ්‍යාශය සංසාරික විමුක්තිය මත සිය දිවි තොර කර ගැනීම වශයෙන් කොටස් කර දැක්විය හැකි යි. ඉච්ඡාභංගත්ව මත සිය දිවි නසා ගැනීම බොහෝ විට පෞද්ගලික කාරණයක්. එය පරහිතකාමී ආත්ම ඝාතනයට ප්‍රති විරුද්ධ පැත්තක්. අප උදාහරණයක් ගෙන බලමු.පේ‍්‍රම සම්බන්ධතා බිඳ වැටීම. තමා ට රුචි ආකාරයට යමක් ඉටු නොවීම. ණය තුරුස් පොරොන්දු කඩවීම්, ලැජ්ජාව , භය අපවාද ඉවසිය නොහැකි වේදනාවන් ආදියේ දී සිය දිවි තොර කර ගැනීම මෙම ගණයට අයත් වෙනවා.

පේ‍්‍රම සම්බන්ධයක් බිඳ වැටීමෙන් හෝ පොදුවේ ආත්ම ඝාතනයන් සිදු වුවත් එය වන්නේ ලෝභ, ද්වේශ හෝ මෝහය මුල් කර ගෙනයි. ඉතින් සිය දිවි හානි කර ගැනීම ඉහත චෛතසික තත්ත්වයන් මුල් කර ගනිමින් සිදුවන්නේ නම් එය අකුසලයක්.

පේ‍්‍රම සම්බන්ධයක් බිඳ වැටීමෙන් හෝ පොදුවේ ආත්ම ඝාතනයන් සිදු වුවත් එය වන්නේ ලෝභ, ද්වේශ හෝ මෝහය මුල් කර ගෙනයි. ඉතින් සිය දිවි හානි කර ගැනීම ඉහත චෛතසික තත්ත්වයන් මුල් කර ගනිමින් සිදුවන්නේ නම් එය අකුසලයක්.

තෙවනුව කතා කළ උදාරධ්‍යාශය නිසා සිය දිවිතොරකර ගැනීම් ඉහත සිය දිවි නසා ගැනීම් වලට වඩා හාත් පසින්ම වෙනස් දෙයක්. උදාරධ්‍යාශය නොහොත් උදාර පරමාර්ථ හෙවත් සංසාරික විමුක්තිය උදෙසා ආත්ම ඝාතනය මදක් ගැඹුරෙන් විමසිය යුතු ගැටලුවක්, බුදු දහමෙහි මෙවන් ආත්ම ඝාතන පිළිබඳව දැක ගැනීමට පුළුවන්. වෙනවා.

බෝසතාණන් වහන්සේ විවිධ ආත්ම භවයන්හිදි පරමාර්ථ පාරමි පුරාණය සඳහා ආත්ම පරිත්‍යාග කිරීමේ පුවත් ථෙරවාදී මහායාන දෙකොටසේම සඳහන් වෙනවා. එමෙන්ම ජාතක පාලියේ සස ජාතකය මජ්ඣිම නිකායේ ඡන්නෝවාද සූත්‍රය සංයුක්ත නිකායේ ගෝධික හා වක්කලී සූත්‍රාදි තැන් මේ අදහස සනාථ කිරීම සඳහා මුලාශ්‍ර සාධක වශයෙන් ගත හැකියි. මේ නිසා සංසාරික විමුක්තිය උදෙසා සිදුවූ ආත්ම ඝාතනයන් උදාරධ්‍යාශය මත සිය දිවි හානිකර ගැනීම් වශයෙන් ගත හැකියි. මේ හැර අන් සියලු අවස්ථා බුදු දහම අනුව සාවද්‍ය නැතහොත් අකුසල් ක්‍රියාවක් වෙනවා.

– එතකොට ඔබ වහන්සේ පවසන්නේ උදාරධ්‍යාශය සඳහා සිය දිවි නසා ගැනීම අකුසලයක්, එසේත් නැතිනම් සරලව පැවැසුවොත් පවක් නොවන බව ද?

හෑගොඩ හාමුදුරුවෝ – මෙබඳු අවස්ථා ගැන විග්‍රහ කිරීමේදි ඉතාම කල්පනාකාරීව විනිශ්චයකට එළඹිය යුතුවනවා. මෙතනදී හේතු විග්‍රහකොට බැලීම, ක්‍රියාඵලය විග්‍රහකොට බැලීම, කුසලාකුසල ප්‍රවණතා විග්‍රහකොට බැලීම කළ යුතු වෙනවා.

හේතු විග්‍රහකොට බැලීමේදි යම් ක්‍රියාවක් ලෝභය, ද්වේශය, මෝහය යන අකුසලයන් මූලික කර ගනිමින් කෙරෙන්නේ නම් එය අකුසලයක්. ‘තීනි මානි භික්‍ඛවේ අකුසලමූලානි කතමානි තීනි ලෝභෝ අකුසල මුලං දොසො අකුසල මුලං – මොහො අකුසල මුලං – අංගුත්තර නිකාය තික නිපාතය.

ක්‍රියාව සිය දිවි නසා ගැනීම නම් මෙයට හේතුව ඉහත කිව් ආකාරයට ලෝභය ද්වේශය නැතිනම් මෝහය නම් එතන ඇති වන්නේ පාපයක්.

උදාහරණ වශයෙන්, පේ‍්‍රම සම්බන්ධයක් බිඳ වැටීමෙන් හෝ පොදුවේ ආත්ම ඝාතනයන් සිදු වුවත් එය වන්නේ ලෝභ, ද්වේශ හෝ මෝහය මුල් කර ගෙනයි. ඉතින් සිය දිවි හානි කර ගැනීම ඉහත චෛතසික තත්ත්වයන් මුල් කර ගනිමින් සිදුවන්නේ නම් එය අකුසලයක්.

දැන් අපි ක්‍රියා ඵල විග්‍රහ කර බලමු. කුසලාකුසල විනිශ්චය සඳහා විශ්ව සාධාරණ මේ න්‍යාය අනුව බලන කළ සිය දිවි නසා ගැනීම තමාටත් සෙසු පරිවාර ජනයාටත් දුක් පිණිස හේතුවෙයි. එම නිසා එය අකුසලයක්, පාපයක් වශයෙන් තීරණය කිරීම අපහසු නොවේ. එහෙත් ස්වධර්ම මත එනම් රට ජාතිය, ආගම, සමාජය,ජාතික උරුමය ආදි පෞද්ගලිකත්වයෙන් තොර පොදු අරමුණක් වෙනුවෙන් පරහිතකාමිත්වයෙන් ඇතැමෙක් සිය දිවි හානිකර ගනිති. මෙවන් ආත්ම ඝාතන ජීවිත පරිත්‍යාග ලෙස ද සමාජයේ හඳුන්වනු ලබයි. නමුත් එවන් අවස්ථාත් ඉහත න්‍යායට අනුව අකුසල් සහගතයි.

නමුත් මෙවන් ජීවිත පරිත්‍යාගයන් ආචාර විද්‍යාත්මක පදනමක් මත පිහිටා උසස් මට්ටමකින් අගය කිරීම සමාජ සම්මත පුරාතන ධර්මතාවයක්. සම චර්යාව (සම චලියං) ආරක්‍ෂා කිරීම පුරවැසියන්ගේ පරම යුතුකම බව අශෝක ශිලා ලේඛණ වල පවා සඳහන් වෙනවා. එහෙත් ඉහත කිව් ආත්ම පරිත්‍යාග පවා අකුසලයක් යැයි හැ¼ඳින්විය හැකියි. එහෙත් සමාජයේ පැවැත්මට නැතිනම් යහපත් පැත්තකට රටත් ලෝකයත් යොමුකිරීමට පන්ති අසාධාරණයන් වෙනුවෙන් , රටක විමුක්තිය උදා කිරීම වෙනුවෙන් , පරහිත කාමිත්වයෙන් ඉදිරිපත් වීම, පෙනී සිටීම , නායකත්වය දීම ආදී ලෙස පුළුල් දෘෂ්ඨියකින් විග්‍රහ කළහොත් මෙය ලෝකයේ ගමන් මඟ හා ගැට ගැසුණු සාධකයක්. මෙය ධර්මය අනුව අකුසලයැයි විග්‍රහකර බැලිය හැකි වුවත් එසේ ප්‍රකාශ කළ පමණින් මෙවැනි සිද්ධීන් නවතාලිය නොහැකියි. මෙසේ ආත්ම පරිත්‍යාගයන් කළ ඇතැම් චරිත යුග යුග පවතින වීර චරිත බවට පත්වෙන වාර බොහෝයි.

එසේම යම් භික්‍ෂුවක් මහත් ආබාධයකින් දිගුකල් පෙළේ ද උපස්ථාන කරන භික්‍ෂුවක් පිළිකුල් කෙරේද? මහත්සේ වෙහෙසේ ද? ගිලනාගෙන් මිදෙන්නෙමි යැයි සිතයි ද? කෙසේවත් රෝගය සුව නොවන්නේ ද? මෙවන් අවස්ථාවක රෝගී භික්‍ෂුව අනෙක් අයගේ අපමණ වෙහෙස ගැන සිතා, තමාගේ රෝගය සුව නොවන බව මෙනෙහි කර ආහාර බෙහෙත් ප්‍රතික්ෂේප කිරීම වරදක් නොවේ. මේ පිළිබඳ සඳහන් වන්නේ සමන්තපාසාදිකා වේය. මෙයින් පෙනෙන්නේ ආචාර විද්‍යාත්මක පදනමක පිහිටා අටුවාව ද මෙවන් ආත්ම ඝාතන සාධාරණීකරණය කර ඇති බවයි. එසේම ආත්ම ඝාතන ප්‍රාණඝාත අකුසලයක් නොවන බව රේරුකානේ චන්දවිමල මහා නාහිමියන්ගේ ධර්ම විනිශ්චය පුස්තකයේ සඳහන් වෙයි.

මේ අනුව පෙනෙන්නේ මෙවන් තැනකදි කුසලා කුසල විග්‍රහ කිරීමට වඩා පවතින යථාර්ථය මත පිහිටා මෙවැනි සිය දිවි නසා ගැනීම දෙස බැලීමයි. ඒ පිළිබඳව සංස්තිථීක විග්‍රහයක් දැක්වීමයි. එහෙත් අකුසල මූල ධර්ම පදනමින් බලන විට චිත්ත පරම්පරාව අකුසල පරිනාමීය සාධක මත සිදුවන බැවින් මෙවන් අවස්ථාවල සිය දිවි හානිකර ගැනීම ද අකුසලයකි.

කුසලාකුසල ප්‍රවනතා අනුව විභාග කර බැලිමේදී සිය දිවි නසා ගැනීමේ දී එම පුද්ගලයාගේ චිත්ත සංතතිය ක්‍රියාත්මක වන අකාරය පිළිබඳව විමසා බැලිය යුතුය. සිය දිවි නසා ගැනීමට පෙළෙඹෙන විට දිගෙන් දිගටම එයට අනුගත වන චෛතසිකයන් උපදී. සත්වයාගේ පැවැත්ම පුනර්භවය සහිත අවසන් නිමේශයේදි සිය දිවි තොර කර ගන්නවාත් සමඟ චුති සිතට නරක කර්ම නිමිති ගති නිමිති, පහළවීම නැවැත්විය නොහැකිය. එවිට නරක ස්ථානයක උපත සිදු වෙයි.

මජ්ඣිම නිකායේ කුක්කුරවතී සූත්‍රය අනුව ගොව්‍රතය සමාදන්වූ පුණ්න හා ශුනක ව්‍රත සමාදන් වූ සෙනිය යන දෙදෙනගේ පරලොව ගතියත් එපරිද්දෙන්ම සිදුවන බව බුදුන් වහන්සේ වදාරති. එම නිසා සත්වයා කර්මය ස්වකීය කොට දායාද කොට ඥාති කොට පිළිසරණ කොට ඇත්තාහ. චුල්ලකම්ම විභංග සූත්‍රයේද අන්තර්ගතයේ මේ බව තව දුරටත් පැහැදිලි වෙයි.

ඔබ වහන්සේ බුදු දහමේ විග්‍රහයන්ට අනුව පවසනවා සිය දිවි නසා ගැනීමේ අරමුණ විවිධ වුවත් චුති සිතට කර්ම නිමිති පහළ වන නිසා උප්පත්තිය නරක ස්ථානයක සිදුවන බව. නමුත් යම් කුසලතා වර්ධනය කරන කෙනෙක්, මනස මනාසේ හසරුවා ගත් කෙනෙක් මෙවන් තත්ත්වයකට පත් වුවහොත් ඔහුගේ චුති සිත පැහැදිලි තත්වයකට අරමුණකට පිහිටුවා ගෙන ආත්ම ඝාතනයක යෙදෙන්නේ නම් එවන් තැනැත්තාගේ සිය දිවි නසා ගැනීම සාධාරණය කළ නොහැකි ද?

විපස්සී හාමුදුරුවෝ – ඔබට ඇති වී ඇති ගැටලුවට බුදු දහමේ අඩංගු යම් සිදුවීම් කීපයක් උදාහරණයට ගෙන පිළිතුරක් දීමට පුළුවන්. කෙලෙස් නැසීමත් සමඟම පරිනිර්වාණයට පත්වන උතුමන් ‘සමසිසී’ පුද්ගලයන් ලෙස හඳුන්වනවා. යස්ස පුග්ගලස්ස අපුබ්බං අචරිමං ආසවපරියාදානං ච හොති –ජිවිත පරියාදානං ච අයං වුච්චති පුග්ගලෝ සමසිසී

යම් පුද්ගලයෙක් පෙර හෝ පසුනොව කෙලෙස් නැසීමත් ජීවිත නැසීමත් එක විට සිදුවේ ද මේ පුද්ගලයා සමසිසී යැයි ද කියයි. ගෝධික ඡන්ත වක්කලී යන තෙරුන්නාන්සේලා පශ්චිම භවික පුද්ගලයෝය. උන්වහන්සේලා තුන් නමම සිය දිවි හානිකර ගැනීමත් සමඟ නිවන් දුටුවහ.

‘උදාරධ්‍යාසය’ ගණයට වැටෙන්න මෙම ප්‍රවෘත්තිය සලකා බැලීමේදි උන්නාන්සේලාගේ චිත්ත සන්සථීන්ගේ පැවැත්ම නිර්වාණාවබෝධය සඳහා මනාව පුහුණු කර තිබූ ආකාරය එම සූත්‍රවලින් ප්‍රකට වන කරුණක්. නිදසුනක් වශයෙන් සංයුක්ත නිකායේ මාර සංයුක්තයේ සඳහන් ගෝධික සූත්‍රය මේ සඳහා පෙන්වා දිය හැක.

ගෝධික තෙරුන් ඉසගිලි පව්වේ වැඩ වසමින් නොපමාව කෙලෙස් නසන වීර්ය ඇතිව නිවන් පිණිසම මෙහෙය වූ සිත් ඇතිව භාවනා කළා. මෙහිදී ලෞකික සමවතක් ලැබ එය සය වතාවක්ම පිරිහුණා. හත්වෙනි වතාවටත් මෙම තෙරුන් නොපමාව භාවනා කර පිරිහුණු සමාපත්තිය ලැබ මෙසේ කල්පනා කළා. ‘ මා සය වතාවක්ම ලෞකික සමාපත්තියෙන් පිරිහුණා” මෙසේ සිතා උන්වහන්සේ ආයුධයක් ගෙන තම ගෙල සිඳගනු ලැබුවා. එහිදී ඇති වුණු කටුක වේදනාවම කමටහනක් වශයෙන් ගෙන භාවනා කර නිර්වාණාවබෝධය කර ගත්තා. ඒ සමඟම උන්වහන්සේ පිරිනිවන් පෑවා.මේ එළඹුණු අවස්ථාව

අති සූක්‍ෂම අවස්ථාවක්. උන්වහන්සේ පෘතග්ජන වුවත් නිවන් පිණිස උසස් අන්දමින් සංසාරිකව මෙන්ම මේ ආත්මයේදි මනා පුහුණුවක් ඇති කරගත් තෙරුන්නාන්සේ නමක්. මෙතැනදි ආත්ම ඝාතනයත් නිර්වාණාවබෝධයත් එකම මොහොතකයි සිදු වුණේ. මෙම සිද්ධිය වූවේ බුදුන් වහන්සේ ජීවමාන කාලයේදීමයි. ත්‍රිපිටකය අධ්‍යායනය කළ අපගේ දැනීම අනුව ගොධික, ඡන්ත, වක්කලී තෙරුන්නාන්සේලාගේ ප්‍රවෘත්ති තුන හැර සිය දිවි නසා ගැනීම් පිළිබඳ වෙනත් ප්‍රවෘත්ති ත්‍රිපිටකයේ හෝ අටුවාවෙහි සඳහන් වන්නේ නැහැ.

අපේ හාමුදුරුවනේ මා අසා තිබෙනවා යම් කලකට පෙර අපේ රටේ එක් වන අරණක වැඩ සිටි සෝවාන් ඵල ලාභී විදේශීය භික්‍ෂූන් වහන්සේ නමක් එළඹුණු පීඩාකාරි තත්වයන් මත සිය දිවි තොරකර ගත් අවස්ථාවක්. උන්වහන්සේ ධර්මය පිළිබඳව පොත් පත් පවා ලියා තිබෙනවා.

විපස්සී හාමුදුරුවෝ – මාත් අසා තිබෙනවා. එම භික්‍ෂූන් වහන්සේ සිය දිවි නසා ගත් බව. උන්වහන්සේ සිය දිවි නසා ගත්ත ද ධර්මයට අනුකූලව සිතුවොත් උන්වහන්සේ සෝවාන් ඵල ලාභියකු නොවූ බව පැහැදිලියි. සෝවාන් ඵලය ලැබීමේදි සක්කාය දිට්ඨිය විචිකිච්ඡාව ශීලබ්බත පරාමාස යන සංයෝජන තුන සහ මුලින්ම ප්‍රහීණ කරනවා. සක්ඛාය දිට්ඨිය නැතිකරන උතුමෙකුගේ ස්වභාවය අනුව කිසි සේත්ම සියදිවි නසා ගැනීමකට පෙළඹෙන්නේ නැහැ. ගෝධික වැනි භික්‍ෂූන් වහන්සේ කිසිම මාර්ග ඵලයකට පැමිණ තිබුණේ නැහැ. ඒ භික්‍ෂුන් වහන්සේ ධ්‍යාන ලබනවා. නැවත පිරිහෙනවා. ඒ නිසා ගෙළ සිඳ ගත්තා. එහෙත් අරමුණ නිර්වාණාවබෝධයයි. ගෙල සිඳ ගැනීම කමටහනකට ගෙන ඒ භවයේදීම නිර්වාණය අවබෝධ කරගත්තා. ඒකයි මා සඳහන් කලේ එය ඉතා සූක්‍ෂම අවස්ථාවක් බව.

අපේ හාමුදුරුවනේ ජීවිතයේ මා ලබා ඇති අද්දැකීමක් අනුසාරයෙනුයි මා මේ ප්‍රශ්නය ඔබ වහන්සේ වෙත යොමු කරන්නේ. යම් පුද්ගලයකුට සුව නොවන රෝගයක් වැළදෙනවා. රෝගය උත්සන්න වී දැඩි වේදනාවක් විඳිනවා. ඔහු දැඩිසේ එහෙත් කාරුණිකව ඉල්ලා සිටිනවා. ජිවිතක්‍ෂයට පත්වීමට ඔහුට එන්නතක් ලබා දෙන මෙන්. මෙතැනදී එළඹුණු තත්වය ආගමානුකූලව විග්‍රහ කළහොත්

විපස්සි හාමුදුරුවෝ – ඔබ පවසන්නේ ඉතා සංවේදි අවස්ථාවක පැන නගින ප්‍රශ්නයක් පිළිබඳව. මෙතනදී පැන නගිනවා, එන්නත දෙන්නා (වෛද්‍යවරයෙක් විය හැකියි) සහ එන්නත ලබන රෝගියා අතර මානසික සංකල්පයක්. මැරෙන එක හොඳයි කියා කීවත් “ඔබගේ ඉල්ලීම පරිදි දැන් ඔබව මරනයට පත් කරන්නයි යන්නේ සූදානම් වෙන්න” කීවොත් සිතුවිලි ඒ සැනින් වෙනස් වෙනවා. උපමාපි න සූකරා ලහු පරිවත්තං චිතතංති – අංගුත්තර නිකාය ඒකක නිපාතය

විපස්සි හාමුදුරුවෝ – මටම හිතෙනවා ඔබ තවත් ප්‍රශ්න අසන්නට පෙළඹෙන බවක්. අපි මෙතනින් මෙම ලිපියට නිමාවක් තබන එක හොඳයැයි මට සිතෙනව.

ඔබ ඉදිරියsaduu[1]ට අසන ප්‍රශ්න තව තවත් සංවේදි සංකීර්ණ ප්‍රශ්න විය හැකියි. නමුත් මේ ලිපිය ඔබ දැන් ගොස් විවේකී සුවයෙන් සකසන්න. නැවත නැවතත් කියවා බලන්න. මේ සෑම දේකටම සාරාංශ වශයෙන් හෝ උත්තර සොයා ගන්නට හැකිවේවි.

අවසන් වශයෙන් මා මෙසේ පවසන්නම්. මෙවැනි දේවල් පිළිබඳව දැඩි අන්තවාදි ස්වරූපයෙන් නොබැලිය යුතුයි. සිතත් සම¼ඟ ගැටලු සහගත ලෙස තර්ක ගොඩ නගා ගත යුතු නැහැ. මෙවන් අති සංවේදි අවස්ථාවක ගුණධර්ම පිරූ යහපත් මිනිසකු ලෙස හැසිරිය යුතු වෙනවා.

එළඹෙන තත්වයන් මත කළ යුතු දේ ඉතා යුක්ති සහගතව කළ යුතුයි. එසේ නොමැතිව සමාජයේ පැවැත්මක් නැහැ. හැබැයි මෙතෙනදී එකක් තේරුම් ගත යුතුයි. ඉතා සංවේදී අවස්ථාවක ගන්නා තීරණ ධර්මානුකූලව නොවන්නට පුළුවන්. එසේ නම් එය රඳා පැවැතිය යුත්තේ යුක්තිධර්මය මතයි.

//www.lakehouse.lk/budusarana/2012/02/07/tmp.asp?ID=vision11