Home » විශේෂාංග » මැදපෙරදිග යන කතුනට හරිහම්බ කරන මුදල්

මැදපෙරදිග යන කතුනට හරිහම්බ කරන මුදල්

ඉතිරි කරන හැටි කියා දෙන්න ඕනෑ අග හිඟකම් දරාගන්නට බැරිවු විට ඇතැම් මවුවරුන් මැද පෙරදිග යන්නේ ඇතැම් විට දරුවන්ගේ භාරකාරත්වය කාට හෝ පවරාය. වසරින් දෙකෙන් මුදල් හරි හම්බ කරන් එන්නට යන ඇතැමුන්ගේ ජීවිත සිතු තරම් සුන්දර වන්නේද නැත. මෙරට වෙසෙන දරුවන්ගේ ජීවිත ද සුන්දර නැත .‍ මැද පෙරදිග ගෘහ සේවය මෙන්ම ඇඟලුම් සේව‍ය හෝ වේවා වෙනත් ඕනෑම සේවයක යෙදෙන සියල්ලෝම සාර්ථක වන්නේද නැත.ඇතැමුන් උපයා ගන්නා මුදල් වලින් නිසි ඵල ප්‍රයෝජන ගැනීමට දන්නේ ද නැත . කෙනෙකු දියුණු වී ජීවිත ජයගන්නා විට තවකෙකු මුළු පවුලම අසරණ කරගත් අවස්ථා එමට ඇත. කෙසේ වෙතත් පවුලේ දියුණුව පතා තම බිරිය සොයුරිය මව විදේශ ගත කිරිමට පෙර පවුලේ සමාජිකයෙනි ඔබ ඒ ගැන තවත් වරක් සිතුවොත් කොතරම් නම් වටිනවා ද?

as-13[1]ර්තමානයේ කාන්තාව මැදපෙරදිග යන්නේ අවසානයේ කරකියා ගන්නට කිසිවක්ම නැති වූ විටය. දරුවන්ට ඉගැන්වීම ගෙයක් දොරක් හදා ගැනීම, පවුලේ ආර්ථිකය ශක්තිමත් කර ගැනීම ආදි වූ පවුලේ ආර්ථික කටයුතු වෙනුවෙන් උරදීමට විදේශගත වන ඇයගේ ජීවිතය සොඳුරු නැත. නන්නාඳුනන රටක හුදකලා වන ඇයගේ සිතුම් පැතුම් තේරුම් ගැනීමට හැකි වන්නේ ඒ තත්ත්වයට මුහුණ දුන් අයකුට පමණි. විදේශයකදී ලබන තනිකම පාළුව නිසාම ඇතැම් අය අමාරුවේ වැටෙති. ජීවිත සාර්ථක කරගන්නට කියා යන ඇතැමෙක් අසාර්ථක වෙති. මැදපෙරදිග සිටින කාන්තාවන්ගේ දුක්ඛ දෝමනස්සයන් හඳුනාගෙන ඒ වෙනුවෙන් ධර්මය දේශනා කිරීමේ අවස්ථාවන් ලැබු යතිවරයාණෝ කෙනෙකුන් සමඟයි අද මේ කතාබහ. ඒ රත්මලාන ධර්ම පර්යේෂණාලයේ හෑගොඩ විපස්සි ස්වාමින් වහන්සේ ය.

“දෙදහස් දහය වසරේ සිට මේ දක්වාම නොකඩවාම ට්‍රයිකෝ ඇපරල් ආයතනය මඟින් වෙසක් උත්සවය වෙනුවෙන් ජෝර්දානයට විවිධ භික්ෂුන් වහන්සේ වැඩම කරවලා ධර්ම දේශනා පින්කම් පවත්වා තිබෙනවා. එම පින්කම් මාලාවේ තවත් එක් පියවරක් හැටියට තමයි මෙවර එම අවස්ථාවට මට සහභාගි වීමට ලැබුණේ.මැදපෙරදිග රටවල් කියන්නේ ඔවුන්ගේ ආගම පමණක් රජයන රටවල්. ඒ රටවලදී බෞද්ධාගමට ගරු කිරීමත්, බුද්ධ පින්තූරවලට වැදුම් පිදුම් කිරීමත් නිසා අපේ රටේ අය විවිධ කරදර කම්කටලුවලට මුහුණ දී තිබෙනවා.

නමුත් ජොර්දානයේ වෙසෙන ශ්‍රී ලාංකිකයන් ඊට වඩා වාසනාවන්තයි කියන්න පුළුවන්. මං එහෙම කියන්නේ ඒ රටේදී මා ලැබු යම් යම් අත්දැකීම් නිසයි. ඒ රටේ තානාපති කාර්යාලයේ බුද්ධ මන්දිරයක් තනවා තිබෙනවා. ඒ සඳහා රටේ රජුගෙන් අවසරය ලැබී තිබෙනවා. මේ බුද්ධ මන්දිරය කාගේත් ඉල්ලීම් මත සැම සවසකම පැය තුනක් විවෘතව තැබෙනවා. මේ ගිය ගමනේ දී ධර්ම දේශනා දොළහක් පමණ පැවැත්වීමට අවස්ථාව ලැබුණා. සාමාන්‍යයෙන් එක් ධර්ම දේශනයකට එරට වෙසෙන අපේ රටේ අය දාහක් දෙදාහක් පමණ සහභාගි වෙන්නට ඇති. ඔවුන් සමඟ කතාබහ කිරීමට ලැබීමෙන් මේ අයට තිබෙන ගැටලු රාශියක් අවබෝධ කර ගැනීමේ ඉඩ ලැබුණා.

එරට නිපදවෙන ඇගලුම්වලට ඇමෙරිකානු වෙළෙඳපොළේ විශේෂ ස්ථානයක් හිමි වෙනවා. මේ ඇගලුම් නිපදවන්නේ අපේ රටෙන් ගිය තරුණ තරුණියෝ, කාන්තාවන් මොවුන් ඉතාම හොඳින් තම කාර්යය කරගෙන යනවා.නමුත් මේ අයගේ සේවයට ,ඔවුන්ගේ මහන්සියට සරිලන වැටුපක් එහිදි ලැබෙනවා කියලා අපිට හිතන්න අමාරුයි. අපේ රටේ කාන්තාවන් විදේශගත වන්නේ කරගන්නම දෙයක් නැති විටයි. එය එහෙම වුණත් මේ විදේශගත වන කාන්තා ශ්‍රමිකයන් මෙරට ආර්ථිකයට විදේශ විනිමය ගෙන එන්නියක් බවට අද පත්වෙලා තියෙනවා. නමුත් මේ අය ගෙවන ජීවිත අපි බාහිරව සිට බලන තරම් සුන්දර නැහැ කියා ඔවුන් සමඟ කරන කතාබහේදී දැනගන්න ලැබුණා.as-14[1]

ඇතැම් අයට තමන් කරන්නට යන වෘත්තිය ගැන විධිමත් පුහුණුවක් ලැබී නැහැ. ඇතැම් විට විදේශගත වන ගැහැනු ළමයි අසරණයි. තවත් විටෙක අනාරක්ෂිතයි.ඒ ව‍ගේම තමයි මවක විදේශ ගතවු විට ඒ පවුලේ දරුවන් ගේ ජීවිතත් අනාරක්ෂිතයි. මවුපියන් දරුවන් සැමියාගෙන් වෙන්ව විදේශගත වන තරුණ කාන්තාවන් එරටේදී වෙනත් සබඳතාවලට පැටළෙනවා. ඔවුන් ඇතැම් විට එයින්ම කරදරයට පත්වෙනවා. මෙහිදී මට හිතෙනවා මේ අයට විදේශගත වීමට පෙර යම් අවබෝධයක් ලබාදිය යුතුයි කියා පාළුව හුදකලාව දරා ගැනීමත්, ඒ ජීවිතයට හුරුවීමත් පිළිබඳව.

නැතිනම් මොවුන් ඒ රටවලදී මංමුළා වීමක් සිදුවන්නේ. ඒ වගේ තවත් පිරිසක් ඉන්නවා මුදල් හරිහම්බ කළාට ඔවුන් දන්නේ නැහැ ඒ මුදල් ඉතිරි කරන්නේ කොහොම ද එයින් පල ප්‍රයෝජන ලබාගන්නේ කොහොම ද කියලා. අපේ රටෙන් එරටට සේවයට ගිය තරුණියක එම ආයතනයේ කළමනාකරුට දුන්නලු හීටරයක් ගෙදරට යවන්න කියලා. මොහු ඇහුවලු මොකටද මේ හීටරය කියලා. ඔහු එහෙම අහලා තියෙන්නේ ඒ හීටරය අපේ රටට නොගැළපෙන නිසයි. ඒ කියන්නේ ඒ හීටරය එරට සීත කාලයට පාවිච්චි කරන එකක්. අපේ වගේ රටකට එවැනි හීටරයකින් වැඩක් නැති බව අවබෝධ කරලා දෙන්න ගියත් එය තේරුමක් නැති දෙයක් බවට පත්වෙලා. අනෙක මේ ළමයා දෙහිඅත්තකණ්ඩියේ පදිංචිකාරියක්. ඉතින් ඒ පළාතෙ අයට හීටර් අවශ්‍ය ද?

මේ ඇගලුම් කර්මාන්ත ශාලාවල අපේ රටේ තරුණ ළමයි පැය දහය එකොළහ එක දිගට සේවය කරනවා. ඔවුන්ට ලැබෙන්නෙත් සොච්චම් මුදලක්. ඒ වගේම ඔවුන්ට තියෙන මානසික ප්‍රශ්නත් වැඩියි. ඇතැම් විට මේ මානසික පීඩනය නිසා ඔවුන්ට තේරෙන්නේ නැහැ මොනව ද කරන්න ඕන කියලා. ඒ වගේම තමයි තවත් පැත්තකින් බැලු විට මේ අය විවිධ වංචාකාරයින්ට හසුවෙනවා. තමන් හරි හම්බ කරගත් සියල්ල ඒ වෙනුවෙන් වැය කරපු අයත් මේ ගමනේදී මම හමුවුණා.

එරට තිබෙනවා අපේ අය වෙනුවෙන් රූපවාහිනි නාළිකාවක්. ඒ නාළිකාවේ විවිධ දැන්වීම් පළ වෙනවා. අප දුටු දෙයක් තමයි වැඩිපුරම විකාශය වන්නේ යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම් පිළිබඳව දැන්වීම්. තමන් කැමැති අයගේ හිත ගැනීම හැරගිය අය ගෙන්වා දීම, වශි බන්ධන ආදි වශයෙන් විවිධ මාදිලියේ දැන්වීම් ප්‍රචාරය වෙනවා. අපේ ළමයි මේවා බලනවා. හිත ශක්තිමත් නැති, අභියෝගවලට මුහුණ දීමට තරම් ශක්තිමත් නැති මේ ළමයි මේ මිනිසුන්ට රැවටෙනවා. තමන් හරිහම්බ කළ රුපියල් දසදහස් ගණන් නිකරුණේ නාස්ති කරගන්නවා.

තවත් පැත්තකින් ඔවුන් මියගිය ඥාතින් නිසා පීඩා විඳිනවා. තමන්ගේ මියගිය අම්මා තාත්තා ආච්චි වැහුණා කියලා තවත් අය පීඩා විඳිනවා. අපි මෙහිදී හොයන්න ඕන ඇයි මේ ළමයි මෙච්චර මුළාවේ වැටෙන්නේ කියලයි. මෙහිදී මට හමුවූ එක්තරා ළමයි පිරිසක් ඔවුන් වෙසෙන නේවාසිකාගාරයේ මියගිය අයකුගේ ඇල්ම බැල්ම තිබෙන නිසා එහි වෙසෙන්න බැහැ කියමින් තැවුණා. පසුව අප එම ස්ථානයට ගොස් පිරිත් කියා පිරිත් පැන් ඉස ඔවුන් තුළ ඇති මානසික වියවුල් බව ඉවත්කර දුන්නා.

කොහොම වුණත් වෙසක් සතිය තුළදී ඔවුන් තුළ අමුතු ප්‍රබෝධයක් තිබුණා. ඇතැම් ඇගලුම් කර්මාන්ත ශාලාවල පැය දෙකේ තුනේ ධර්ම සාකච්ඡා පැවැත්වු‍ණා. ඒවාට ශ්‍රී ලාංකීය තරුණ තරුණියන් පමණක් නොවෙයි කාම්බෝජය, චීනය ආදි රටවල අයත් සහභාගි වුණා. ඇතැම් තැන්වල මුස්ලිම් පූජකයොත් සහභාගි වුණා. ඒ වගේම වෙසක් පොහෝදා එම ස්ථාන බෞද්ධ කොඩියෙන් අලංකාර කර, වෙසක් පහන් කූඩු නිර්මාණය කර තිබුණා පමණක් නොවෙයි දන්සල පැවැත්වුණා. මේවාට ශ්‍රී ලාංකිකයෝ පමණක් නොව එරට අයත් සහභාගි වුණා. ඔවුන්ට එය විශේෂ අත්දැකීමක් වූ බවයි අප දුටුවේ. අපේ රටේ ජාතීන් වශයෙන් බෙදි වෙන්වී සිටිමින් ආරවුල් ඇතිකර ගැනීම ඵලක් නැති දෙයක් කියලා දැනෙන්නේ ඒ වගේ අත්දැකීම් ලැබු විටයි.

as-15කෙසේ වෙතත් ප්‍රියයන්ගෙන් වෙන්වී වසර ගණන් නාන්නාඳුනන රටවල වෙසෙමින්, තරුණ විය ගෙවා දමන, මේ ජීවිතවලට වටිනාකමක් තිබිය යුතුයි. ඔවුන් උපයන මුදලට සාධාරණයක් ඉටුවිය යුතුයි. ඒ සාධාරණය ඉටුවීමටත් වටිනාකමක් ලැබීමටත් මේ විදේශගත වන ශ්‍රමිකයන්ට ඔවුන් යන ගමන පිළිබඳවත්, ඔවුන්ගේ අපේක්ෂාවන් අරමුණු සපුරා ගැනීමත් පිළිබඳව පැහැදිලි වැටහීමක් ලබාදිය යුතු වෙනවා. ඇතැම් කාන්තාවන් සිටිනවා එරට අය සමඟ විවාහ වී යහපත් පවුල් ජීවිත ගත කරන.ඒ එක පැත්තක් .මේ කතාවේම තවත් පැත්තක් තිබෙනවා.‍අපේ රටෙන් මැද පෙරදිගට ගිිය ඇතැම් තරුණ කාන්තාවන් සිටිනවා අනියම් සබඳතාවල පැටලී ජීවිතය වරද්දා ගත් අය.ඒ වගේම ඔවුන් අතරින් සමහරු ඉන්නවා වසර ගණනකින් මවු බිමට නොගිය අය.

මේ ජීවිත පිළිබඳව තොරතුරු සොයා බැලීමේ දී ඇති වන්නේ කනගාටුවක්. විදේශ ගතවන කාන්තා ශ්‍රමිකයන් නිසා මේ රටට සැලකිය යුතු විදේශ විනිමයන් ලැබීම අප අගය කළ යුතුයි .නමුත් මේ තරුණ ජීවිත වල නැතිවී යන වටිනාකම් වලට වග කියන්නේ කවුද?නොදියුණු පවුල් ආර්ථිකය ගොඩ නැංවීමට ඇති හොඳම විසඳුම කාන්තාව විදේශ ගතවීම හෝ ඔවුන්ට වීදේශ ගතවීමට මාර්ගය පෑදීම නොවෙයි.රටේ බලධාරින්ට හැකියාව තිබිය යුතුයි මේ අයගෙන් මෙරටදී සේව‍ය ලබා ගැනීමට. ඇයි අපට බැරි මෙරට කරමාන්ත ඇරඹීමට. ඒ වගේම මේ විදේශගතවන තරුණ අම්මලාගේ ජීවිත ආරක්ෂා කර ගැනීමටත් ඔවුන්ගේ දරුවන්ගේ ජීවිත සුරක්ෂිත කිරීමට මීට වඩා හොඳ දෙයක් විය යුතුයි. එමෙන්ම අනන්ත දුක් විදින්ට පවුලේ ගැහැනිය මැද පෙරදිගට යවන්නේ නැතිව ශ්‍රමිකයන් විදේශ ගත කිරීමත් එක් විසඳුමක් ලෙසයි අප දකින්නේ.

අද කතාබහ

රත්මලාන ධර්ම පර්යේෂණාලයේ හෑගොඩ විපස්සි හිමි

ලිව්වේ – ඉනෝකා සමරවික්‍රම

//www.silumina.lk/2013/08/25/_art.asp?fn=as1308253