Home » පුවත් පත් ප්‍රකාශන » ව්‍යාකරණය ආකෘතියක් පමණයි

දේශයක ප්‍රගමනය සඳහා ඒ දේශයේ ජනතාවට අනන්‍ය වූ චින්තන ධාරාවක් තිබිය යුතුය. ශ්‍රී ලාංකේය ජනවිඥානයට කා වැදී තිබෙන බෞද්ධ දර්ශනය පදනම් කරගත් චින්තනය මේ රටේ සමස්ත චින්තනය බව විචාරක මතයකි.

රත්මලාන ආදර්ශ නගරයේ ධර්ම පර්යේෂණාලයේ අධ්‍යක්ෂ පාණදුර විජය සෞගත විද්‍යාලය පිරිවෙනේ ආචාර්ය හෑගොඩ විපස්සි හිමියන් මේ සංලාපයෙන් අවධාරණය කරන්නේ සියලු ජනයා එකසේ පිළිගත් බෞද්ධ දර්ශනය පදනම් කරගත් දේශීය චින්තනය තවදුරටත් ආරක්ෂා කරගත යුතු බවත්, එය ඛණ්ඩනය වන අයුරු මනාව හඳුනාගෙන එවැනි උපක්‍රම වළක්වා ගත යුතු බවත් ය.Hegoda Vipassi Thero

අප බොහෝදෙනා අද දේශීය චින්තනයක් පිළිබඳ ව කතා කරනවා. සියල්ල අපට ආවේණික ආකාරයෙන් නොදැනීම හා නොපිළිගැනීම නිසා සමාජයේ විවිධ පරස්පරතා ඇතිවී තිබෙනවා. මේ අතර අපට අනන්‍ය වූ චින්තනයක් ගොඩනඟා ගත යුත්තේ කෙබඳු පදනමක් යටතේද?

අපට පැහැදිලිව විනිවිද දැකිය හැකි අතීතය පිළිබඳ ව කතාකරන විට මහින්දාගමනයට පෙර යුගය ඉතා දියුණු සංස්කෘතියක් තිබූ යුගයක් ලෙස පැහැදිලි සාක්ෂි සොයාගැනීම දුෂ්කරයි. එහෙත් මහින්දාගමනයෙන් පසු පැහැදිලිව බෞද්ධ සංස්කෘතිය පදනම් කරගත් අපට අනන්‍ය වූ චින්තනයක් ගොඩනැඟුණු බව අප කවුරුත් දන්නා කරුණක්. අපට අනන්‍ය වූ චින්තනය එයයි. ඒ චින්තනය හරහා තමයි මහ වැව් වාරි කර්මාන්ත වැනි ආර්ථිකයත් දේශපාලනය සදාචාරය යන සියලුම අංශ ගොඩනැඟුණේ. මෙයින් අදහස් කරන්නෙ නැහැ

අපේ සංස්කෘතිය හා චින්තනය ඒ ආකාරයෙන් එක තැනක තිබිය යුතුයි කියලා. අපට අනෙක් සංස්කෘතින්ගෙන් චින්තනය පෝෂණය කරගත හැකියි. ඒ වගේම භෞතික සම්පත් ගොඩනැඟීමත් සමඟ චින්තන ධාරාවේ වෙනස්කම් සිදුවෙනවා. ලෝකයේ කොහෙවත් ඒකාකාරී චින්තනයක් පවතින්නේ නැහැ. අද අපට මේ ගැටලුවලට බලපා තිබෙන්නේ චින්තනයේ වෙනස්වීම නෙවෙයි, හොඳ නරක හඳුනාගැනීමට අපොහොසත් වීමයි.

ඔබ වහන්සේ දේශනා කරන පරිදි බුදුදහම පදනම් කරගත් චින්තනයක් ගොඩනැඟීම මේ රටේ අන්‍යාගමිකයන්ට යම් ගැටලුකාරී තත්ත්වයක් උද්ගත කරන්නේ නැද්ද?

අපි ආගමික පදනමකින් ඉවත්වෙලා විවෘත ව බැලුවොත් පොදුවේ ඕනෑම කෙනකුට බුද්ධ දේශනාවේ අන්තර්ගතයට යොමුවෙන්න පුළුවන්. ප්‍රශ්නය තිබෙන්නේ අද අපි නූතනයේ තිබෙන ආගම් පදනමේ සිට බුදු දහම දෙස බැලීමයි. බුදුදහම බෞද්ධ විඥානයෙන් ම බලනවා නම් ඕනෑම කෙනකුට බෞද්ධ සංස්කෘතිය තුළ ජීවත්වෙන්න පුළුවන් බව පෙනෙනවා. බෞද්ධ මූලධර්ම නොදැනීම නිසායි මේ ප්‍රශ්න ඇතිවෙන්නේ.

ජාතිවාද කුලවාද ආගම්වාද පිළිබඳ බෞද්ධ දර්ශනයේ සාකච්ඡා කෙරෙනවා. දීඝ නිකායේ වාසෙට්ඨ සූත්‍රයේ සඳහන් වෙනවා ජාතිවාදය පිළිබඳ ව. ගස්වැල්, සතා සිවුපාවාට ජාතියක් තිබෙනවා. ජාති දෙකක ගස් හෝ සතුන් එකතු කරන්න බැහැ. වර්ග දෙකක සතුන් එකතුවීමේදී එතැන ගැටුමක් හටගන්නවා. එහෙත් මනුෂ්‍ය කියන වර්ගය එහෙම නැහැ.

එකතු වෙන්නත් එකතු කරන්නත් පුළුවන්. එහෙත් මිනිසුනුත් වර්ග කරන්න පුළුවන්. ඒ ගොවිතැන් කරන පුද්ගලයා ගොවියා ලෙසත්, සොරකම් කරන පුද්ගලයා සොරා ලෙසත් ආදී ලෙස ඔහු කරන ක්‍රියාව අනුවයි. එහෙම නැතුව වෘත්තිය හෝ කතාකරන භාෂාව හෝ උත්පත්තිය අනුව වර්ග කරන්න බැහැ. මෙවැනි දර්ශනයකදී කුමන හෝ මනුෂ්‍යයකුට අසාධාරණයක් ඇතිවෙන්න පුළුවන්ද?

එහෙත් චින්තනය හා භාෂාව අතර තිබෙන්නේ අත්‍යන්ත බැඳීමක් බව විවිධ විද්වතුන් පිළිගන්නවා.

චින්තනයක් ඉදිරිපත් කිරීමට භාෂාව අවශ්‍යයි. අප සිතන දේ භාෂාවක් මඟින් ප්‍රකාශ කරනවා. එහෙත් අපට හිතන්න භාෂාවක් අවශ්‍ය නෑ. අපේ චින්තනය ඉදිරිපත් කරන ආකෘතිය භාෂාව යි.

ඒ වගේම කෙනෙක්ට හොඳ ආකල්ප ගොඩනැඟෙන්න හොඳ චින්තනයක් අවශ්‍යයි. ඒ චින්තනය භාෂක සමාජයේ විවිධ ප්‍රවණතා මතත් ගොඩනැඟෙනවා. බලන්න ‘අම්මා’ කියන වචනය දරුවකුට ආදරය, කරුණාව, පෝෂණය, ආරක්ෂාව කියන සියලු සංකල්ප ඇති කරවනවා. එහෙත් අම්මා කියන්නේ ගැහැනියක්. ඒ මවගේ දරුවන්ට හැර අනෙක් හැමෝටම ඇය කාන්තාවක්.

මේ විදියට කායික පදනම මත අම්මා කියන සම්මුතිය බිඳ දැමුවොත් එතැනින් බිහිවෙන්නේ තිරස්චීන චින්තනයක්. ඒ නිසා භාෂාවේ වචනවලට අපේ චින්තනයට අනුගත වූ අර්ථ පරාසයක් තිබෙනවා. ඒවා ගොඩනැඟී තිබෙන්නේ ඒ සමාජගත චින්තනයට අදාළ සම්මුතීන් මතයි. යමෙක් ඒ සම්මුතීන් බිඳ දමනවා නම් ඔහු භාෂාවත් චින්තනයත් දෙකම බිඳ දමනවා.

අද බොහෝවිට සාකච්ඡා වන්නේ භාෂාවේ ව්‍යාකරණය බිඳ දැමීම පිළිබඳවයි. එහෙත් සංකල්පමය වශයෙන් බස නැසීමක් මේ වන විට දක්නට ලැබෙනවා නේද?

ව්‍යාකරණය කියන්නේ යම්කිසි ආකෘතියක්. භාෂාවේ සංකල්ප නිසා තමයි ව්‍යාකරණය ගොඩනැඟෙන්නේ. අතීතයේ දී ‘ඔහු’ කියන්නේ නිත්‍ය බහුවචනයක්. එහෙත් අද එය ඒක වචනයක් ලෙසයි භාවිතා වන්නේ. ව්‍යාකරණය ධාතු කරඬුවක් නෙවෙයි. එය වෙනස් විය හැකියි. සුඛෝච්ඡාරණය ආදිය නිසා වියරණ නීති ලිහිල් විය හැකියි. එහෙත් සම්මුතීන් එතරම් ලෙහෙසියෙන් වෙනස් කරන්න බැහැ.

එය සමාජයේ චින්තනය සමඟයි වෙනස් වන්නේ. උදාහරණයක් විදියට ශ්‍රේෂ්ඨ කියන වචනය ගුණවාචී පදයක්. එය ශිල්පීය ඥානය උදෙසා යොදන්න බැහැ. ශිල්පීය දක්ෂතා තිබූ පමණින් කෙනෙක් ශ්‍රේෂ්ඨ වෙන්නේ නැහැ. ශ්‍රේෂ්ඨ වන්නේ ගුණවන්තකමින් පමණයි. අප දකිනවා ඇතැම්විට ක්‍රීඩකයන්ට පවා ඇතැම් මාධ්‍ය ශ්‍රේෂ්ඨ ක්‍රීඩකයෙක් යැයි වර්ණනා කරනවා. එතැනදී අපේ සම්මුතීන් බිඳෙනවා.

ඒ වගේම වචන භාවිතයේදී ඒ වචනය ගොඩනැඟුණේ කුමන සංකල්පයක් මත ද යන්නත් පැහැදිලි කරගත යුතුයි.

උදාහරණයක් ලෙස ‘මංගල’ කියන වචනය අද විවිධ අවස්ථාවලදී භාවිතා වෙනවා. ඒ වගේම එහි විරුද්ධාර්ථය ලෙස අවමංගල යන්නත් භාවිතා වෙනවා. එහෙත් ‘මංගල’ යන වචනයේ උත්පත්තිය ගැන සොයා බැලුවොත් අපට පෙනෙනවා, බුදුරජාණන් වහන්සේගෙන් දෙවිවරු පිරිසක් මංගල කාරණා විමසනවා. ඒ කියන්නේ දියුණුවන කරුණුයි. මංගල සූත්‍රයේ ඒ සඳහා කරුණු තිස් අටක් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඒ වගේම තවත් වරෙක පිරිහෙන කරුණු පිළිබඳව පරාභව සූත්‍රයේ දේශනාකර තිබෙනවා.

මේ ඓතිහාසික චින්තනය අනුව අපට පේනවා මංගල යන්නෙහි විරුද්ධාර්ථය පරාභවය කියලා. මංගල උත්සව තිබෙනවා. ඒත් පරාභව උත්සව නැහැ. එය අයහපත් නිසා උත්සව පවත්වන්න බැහැ. ඒත් අපි ගුණවත් කෙනෙක්ගේ මරණයකදී ඔහුට ගරු කිරීමක් ලෙස අවමංගල උත්සව පවත්වනවා. මේවා පටලවාගත යුතු නැහැ.

එමෙන් ම විවිධ සංස්කෘතින්ට හා චින්තනයන්ට ආවේණික වූ වෙනම වාග්මාලාවක් තිබෙනවා. ඒවා වෙනත් සංස්කෘතීන්හි වෙනත් අර්ථ සඳහා භාවිතා කිරීමත් මේ බිඳ වැටීමට හේතුවෙනවා නොවේද?

ඔව්. ලංකාවට බුද්ධ ධර්මය පැමිණීමත් සමඟ ඊට ආවේණික වූ වෙනම වාග් මාලාවක් බිහිවුණා. බුද්ධ ධර්මය දේශනා වුණේ පාලි භාෂාවෙන්. ඒත් පාලි භාෂාවෙන් බුදු රජාණන් වහන්සේව හඳුන්වන්නේ ‘බුද්ධො’ කියලා. ඒත් සිංහල අපි හඳුන්වන්නේ ‘වහන්සේ’ කියන ගෞරව නාමයත් සමඟයි. ඒ වගේම භික්ෂූන් වහන්සේ ‘වඩිනවා’ කියනවා. ඒත් පාලියෙන් ඒ සඳහා කියන්නේ ‘ගච්චති’ කියලයි.

සාමාන්‍ය කෙනෙක් ගමන් කරනවාටත් කියන්නේ ‘ගච්චති’ කියලයි. ‘ගච්චති’ කියන වචනය අවිශේෂයෙන් භාවිතා කළත් ‘වඩිනවා’ කියන සිංහල වචනය විශේෂයෙන් සංඝයා වහන්සේලාට පමණයි යොදන්නේ. මෙ වැනි වාග් මාලාවක් පුරාණයේ සිට ම සම්මුතියකින් භාවිතා වෙනවා. ඒ සම්මුතින් බිඳ දැමීම එක අතකින් ආක්‍රමණයක් විදියටත් දැන් සිදුවෙනවා.

භාෂාවේ අනන්‍යතාවය තිබෙන්නේ ඉන් ප්‍රකාශවන චින්තනය සහ එයින් රැස්වී තිබෙන දැනුම මත යැයි මතයක් තිබෙනවා.

ඔව්. පාලි භාෂාව ගත්තම පාලියෙන් විස්තර කෙරෙන්නේ බුද්ධ භාෂිතයයි. එය වෙනත් අදහස් විස්තර කිරීමට භාවිතා කරන්නේ නැහැ. වර්තමානයේ පාලියෙන් කතාකරන අයත් නැහැ. අක්ෂර ක්‍රමයකුත් නෑ. ඒත් පාලි භාෂාව ආරක්ෂා වී තිබෙනවා.

සිංහල භාෂාවට පදනම් වෙන්නේත් පාලි සංස්කෘත වැනි භාෂායි. ඒ වගේම දෙමළ පෘතුගීසි ඉංග්‍රීසි වැනි භාෂාවල සංකලනයකුත් තිබෙනවා.

භාෂාව දිනෙන් දින අලුත් වෙනවා. එහිදී එක් චින්තනයක් තවත් චින්තනයකින් පෝෂණය වෙමින් තමයි භාෂාව ඉදිරියට යන්නේ. ඒ අනුව බෞද්ධ ආකල්පවලට වෙනත් ආකල්ප මුසුවී සිංහල භාෂාවේත් විවිධ වෙනස්කම් සිදුවෙමින් පවතිනවා. එහෙත් එහි මුල් සංකල්පයට විනාශයක් සිදු නොවිය යුතුයි.

මුල් චින්තනයේ තිබෙන කරුණාව මෛත්‍රිය වැනි මානුෂික ගුණාංග වෙනස් නොවිය යුතුයි. ඇතැමුන් අද පැරණි සිංහල වචනවලට නිරුක්ති සැපයීමේ දී මේ පදනම භාවිතා නොකිරීම නිසා උමතු ප්‍රාකෘතයක් බිහිවී තිබෙනවා.

සංලාපය – බුද්ධික සමන් ගුණවර්ධන

Silumina2http://www.silumina.lk/punkalasa/20110501/_art.asp?fn=ar1105011