Home » පුවත් පත් ප්‍රකාශන » රාවණා කතාව සිංහල බෞද්ධ ඉතිහාසය විකෘති කිරීමට ගෙතූ ප්‍රබන්ධයක්

රාවණා කතාව සිංහල බෞද්ධ ඉතිහාසය විකෘති කිරීමට ගෙතූ ප්‍රබන්ධයක්

රාවණා ගැන සොයන පාර්ලිමේන්තු යෝජනාවට හෑගොඩ විපස්සි හිමිගේ විරෝධය

මාතර දිස්ත්‍රික් එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී බුද්ධික පතිරණවිසින් රාවණා රජුගේ ඉතිහාසය ගවේෂණය කිරීමට විද්වත් කමිටුවක් පත්කිරීම සඳහා පාර්ලිමේන්තුවට පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් රත්මලාන ධර්ම පර්යේෂණාලයේ අධ්‍යක්ෂ හෑගොඩ විපස්සී හිමියෝ සිය විරෝධතාව ප්‍රකාශ කළහ. රාවණා කතාව මිථ්‍යාවක් බව පෙන්වා දෙන උන්වහන්සේ ඉතිහාසය විකෘති කිරීමට සහය දක්වන යෝජනා ඉදිරිපත් කරන මෙම මන්ත්‍රීවරයාට විරෝධය පළ කරමින් පාර්ලිමේන්තුව තුළ කෙටි කලකට හෝ මොන්ටිසෝරියක් විවෘත කරන ලෙස ජනාධිපතිවරයාගෙන් සහ අගමැතිවරයාගෙන් ඉල්ලීමක් කළහ. රත්මලාන ධර්මපර්යේෂණාලයේ අධ්‍යක්ෂ හෑගොඩ විපස්සි හිමියන් සමග මෙම සම්මුඛ සාකච්ඡාව කරන්නට යෙදුණේ එබැවිනි.

රාවණා කතාව සිංහල බෞද්ධ ඉතිහාසය විකෘති කිරීමට ගෙතූ ප්‍රබන්ධයක්

රාවණා රජුගේ සැඟවුණු ඉතිහාසය ගවේෂණය කිරීමට විද්වත් කමිටුවක් පත්කිරීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරයකු කළ යෝජනාවේදී රාවණ කතාව මිථ්‍යාවක් බව ඔබවහන්සේ ප්‍රකාශ කළා. සත්‍ය වශයෙන්ම අපේ රටේ රාවණා නමින් රජෙකු සිටියේ නැතිද?
නැහැ. අපේ රටේ ඉතිහාසයේ කිසිම තැනක රාවණා රජු ගැන සඳහන් වී නැහැ. අපේ රටේ ඉතිහාසය ගැන සඳහන් වී තිබෙන මහාවංශය, දීපවංශය, ශිලාලිපි හා ඉතිහාසයට සාක්ෂි දරන පැරණි කාසි වැනි කිසිම තැනක රාවණ රජු ගැන සඳහන් වී නැහැ. සෙනරත් පරණවිතාන මහත්තයා කියන්නේ රාවණා කියලා රජ කෙනෙක් නොවෙයි, කවරෙකුවත් සිටියේ නෑ කියල.

රාවණා රජු ගැන ශ්‍රී ලාංකිකයන් අතර ජනගත වුණේ කොහොමද?
ඔය කතාව සාහිත්‍ය ප්‍රබන්ධයක්. රාවණා කියලා රජ කෙනෙකු හිටියා, දඬුමොනරයක් හදලා ඉන්දියාවට ගියා, සීතාදේවිය පැහැරගෙන ආවා කියන කතාව හුදු කතාන්දරයක්. වාල්මිකීගේ රාමායණය කියන්නේ සාහිත්‍ය ප්‍රබන්ධයක් මිසක් ඉතිහාසය ගැන ලියැවුණු ‍පොතක් නොවෙයි.

සීතාදේවිය සැඟවූ සීතාඑළිය, රාවණා ඇල්ල වැනි ස්ථාන ලංකාවේ ප්‍රකට වී තිබෙන්නේ රාවණා රජුගේ පුරාවෘතයත් සමග නේද?
ඒවා නිකම්ම නිකං ජනප්‍රවාද. ඔය තැන්වල ඉතිහාසය අරන් බැලුවොත් අවුරුදු 500ක්වත් නැහැ. අපි මෙහෙම උදාහරණයකින් පැහැදිලි කරගනිමුකෝ. අපේ රටේ බොහෝ ප්‍රදේශවල ඉඩම්වලට ඉංග්‍රීසි නම් යොදලා තිබෙනවා. තව අවුරුදු ගණනක් ගියාට පසුව ලංකාවේ හැමතැනකම ඉංග්‍රීසි නම් තිබෙනවා කියලා, කෙනෙකු කිව්වොත් ලංකාවේ මුල් පදිංචිකරුවන් ඉංග්‍රීසීන් කියලා ඒ කතාව වැරදියිනේ.

රාවණා රජු ගැන සඳහන් වී තිබෙන ග්‍රන්ථ රචනා වී තිබෙන්නේ කුමන කාල වකවානුවේ පටන්ද?
ක්‍රි.ව. 4 වැනි සියවසේදී රචනා වුණු මහායාන ග්‍රන්ථයක් වූ ලංකාවතාර සූත්‍රයේ සඳහන් වී තිබෙනවා බුදුරජාණන් වහන්සේ ලංකාවට වැඩම කළේ රාවණා රජුගේ ආරාධනාවෙන් කියලා. මහායානය ඇතිවුණේ ථෙරවාදී බුදුදහම විනාශ කරන්න. ඒ නිසා තමයි ඊට හින්දුන්ගේ මතවාද ඇතුළත් වුණේ. අනික ලංකාවතාර සූත්‍රය රචනා වී තිබෙන්නේ සංස්කෘත භාෂාවෙන්. පාලි භාෂාවෙන් නොවෙයි. එයින්ම පැහැදිලියි එය බුද්ධ දේශනාවක් නොවන බව. හැබැයි රාවණා, රාම සීතා ඇතුළත් පැරණිම ග්‍රන්ථය වෙන්නේ වාල්මිකීගේ රාමායනය. එය පාණමී පඩිවරයාගෙන් පසුව රචනා වුණු ‍පොතක්. ජාතක කතා ‍පොතේ ඇතුළත් වී තිබෙන දශරථ ජාතකයේ රාම-සීතා කතාවට සමාන කතාවක් තිබෙනවා. හැබැයි ඒ කතාවේ රාවණා කෙනෙකු නම් නැහැ. දශරථ ජාතක කතාව මූලාශ්‍ර කරගෙන රාමායනය ලියැවී තිබෙන බව විද්වතුන්ගේ අදහසක්.

මිථ්‍යා කතාවක් මුල්කර ගනිමින් පාර්ලිමේන්තුව තුළ මෙවැනි කතාවක් ඇතිවීම ඔබවහන්සේ දකින්නේ කුමන ආකාරයටද?
මෙය අපේ බුදුදහම හා ඉතිහාසය විකෘති කෙරෙන එක්තරා කල්ලියක අවශ්‍යතාවක් අනුව සිද්ධ වුණු දෙයක්. මීට පෙරත් පාර්ලිමේන්තුව තුළ රාවණා රජු සම්බන්ධයෙන් ප්‍රකාශ කෙරුණා. 2013 දෙසැම්බර් 17 වැනි දින හැන්සාඩ් වාර්තාවේ සඳහන් වෙනවා යෝගේෂ්වරන් සින්නතම්බි මන්ත්‍රීවරයාගේ ප්‍රකාශයක්. ලංකාවේ පළමු රජු හින්දු භක්තික රාවණා රජු නිසා ලංකාව හින්දුන්ගේ රටක් බව ඔහු පාර්ලිමේන්තුව තුළ ප්‍රකාශ කළා. මීට පෙර හිටපු සංස්කෘත ඇමැතිවරයකුත් රාවණා රජුගේ සැඟවුණු ඉතිහාසය ගැන සොයා බැලීමට කමිටුවක් පත් කරන්න සූදානම් වුණා. යෝගේෂ්වරන් සින්නතම්බි මන්ත්‍රීවරයාගේ ප්‍රකාශ හැන්සාඩ් වාර්තාවට එකතු වුණාම පසුකාලීනව ඒවා එක්තරා කල්ලි විසින් මූලාශ්‍ර කරගන්නවා. ඒකයි මෙහි තිබෙන බරපතළකම.

රාවණා රජු පිටුපස එක්තරා කුමන්ත්‍රණයක් තිබෙන බව ඔබවහන්සේ ප්‍රකාශ කළා. ඔබවහන්සේ පවසන කුමන්ත්‍රණය සිද්ධ වෙන්නේ කුමකට එරෙහිවද?
අපේ සිංහල බෞද්ධ ඉතිහාසයට විරුද්ධව තමයි මෙම කුමන්ත්‍රණය සිද්ධ වෙන්නේ. අපේ අයට මේ විනාශය තේරෙන්නේ නැහැ. මේවා මේ විදිහට දිගටම ගියොත් තව කාලයක් ගතවුණාම බෞද්ධ-හින්දු කෝලාහලයක් ඇතිවෙන්න පුළුවනි. අද ජනමාධ්‍යයත් බරපතළ වැරැද්දක් කරනවා. ඒ තමයි මිථ්‍යා මත වපුරන්න මාධ්‍ය හරහා ඉඩකඩ ලබාදීම. මිථ්‍යාව වැපිරීම තුළින් ලංකාව ශුන්‍ය ඉතිහාසයකට ගෙනයෑම තමයි කුමන්ත්‍රණකරුවන්ගේ අරමුණ. අපිට මූලාශ්‍ර සහිත නිවැරදි ඉතිහාසයක් තිබෙනවා. ඒ පසුබිම දෙදරවලා විනාශ කරන්නයි සූදානම් වෙන්නේ.

අපේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ලංකාවේ ඉතිහාසය ඉගැන්වීමට කෙටි කලකට හෝ මොන්ටිසෝරියක් ආරම්භ කළ යුතු යැයි ඔබවහන්සේ පැවසුවා. ඉන් ඔබවහන්සේ අදහස් කළේ කුමක්ද?
ලංකාවේ උත්තරීතර තැන තමයි පාර්ලිමේන්තුව. ඒ අයට දේශීය උරුමයන්, සංස්කෘතිය, ඉතිහාසය, භාෂාව ගැන දැනුමක් නැතිනම් උත්තරීතර තැන සිටින අයට ඒ ගැන කියලා දෙන්න ඕනෑනේ. මේකට සිංහල, දෙමළ භේදයක් අවශ්‍ය නැහැ. ජාතිය කුමක් වුවත් ඒ හැමෝම රටේ ඉතිහාසය ගැන නිවැරදිව දැනගත යුතු නිසයි මම එහෙම කිව්වේ.

Rawana Mityawaඅද වනවිට ලංකාවේ උත්තරීතර ස්ථානය වන පාර්ලිමේන්තුවත් මිථ්‍යා විශ්වාස වපුරන තැනක් බවට පත්වී ඇති බව ඔබවහන්සේට සිතෙන්නේ නැතිද?
ඇත්ත. අනිවාර්යයෙන්ම එහෙම හිතනවා. අනික මට තියෙන ප්‍රශ්නය තමයි පාර්ලිමේන්තුවට කතා කරන්න දේවල් ඇත්තෙම නැතිද කියන ගැටලුව. අපේ ඓතිහාසික සිද්ධස්ථානවලට සිදුවන විනාශය, පුරාවිද්‍යා වටිනාකමක් ඇති ස්ථාන ගවේෂණය කිරීම, ස්වෛරීභාවය ගැන වගේ දේවල් කොයිතරම් තිබෙනවාද කතා කරන්න.

වර්තමානයේ මිථ්‍යා විශ්වාස සමාජගත වීමේ ප්‍රවණතාවක් දැකිය හැකියි නේද?
ඔව්. රටක රජයන අදහස් තමයි සමාජයේ රජ කරන්නේ. මෙවැනි යුග අපේ ඉතිහාසයේ පවා තිබුණා. සමාජය පිරිහුණාම මිථ්‍යා විශ්වාස රජ කරනවා. අද දකින්න ලැබෙන්නේ එවැනි සමාජයක්.

ඒ සම්බන්ධයෙන් බෞද්ධ භික්ෂූන් හඬක් නැගීම කාලීන අවශ්‍යතාවක් යැයි ඔබවහන්සේට හැඟෙනවාද?
ඔව්. ඒ නිසා තමයි අපි ඒ ගැන වහාම ක්‍රියාත්මක වෙලා කතා කරන්නේ. වර්තමානය රැකුණේ නැතිනම් අනාගතය රැකෙන්නේ නැහැනේ. ඒ නිසා අපි වර්තමානය රැකගැනීමට කටයුතු කරන්න ඕනෑ.

හර්ෂා සුගතදාස

උපුටා ගත් ලිපිය

//www.lakbima.lk/index.php?option=com_content&view=article&id=47902:2015-10-26-08-08-50&catid=61:2012-08-07-09-39-46&Itemid=77