Home » පුවත් පත් ප්‍රකාශන » බුදු දහමේ ජාතිවාදයක් නැහැ

බුදු දහමේ ජාතිවාදයක් නැහැ

lakbimalogoVipassi Theroමෑත වකවානුව තුළ ‘ජාතිවාදය’ යන මාතෘකාව නිතර නිතර කතා කෙරෙනවා. මීට නිසි අර්ථකථනයක් අදහසක් නොමැතිකම නිසා ජනතාව මේ සම්බන්ධයෙන් මංමුලා වූ ස්වභාවයක් දක්නට ලැබෙනවා. ඒ නිසාම අපේ හාමුදුරුවනේ ‘ජාතිවාදය’ යන්නට කෙටි අර්ථකථනයක් සපයමින්ම අද දහම් සංවාදයට ප්‍රවේශයක් ලබමු.

හොඳයි ඉතාම කාලීන මාතෘකාවක්. විශේෂයෙන්ම මෑත වකවානුව තුළම ඔබ කිවූ පරිදිම නිතර නිතර කතා කෙරෙන කාරණාවක්. ජාතිය, උපත පිළිබඳව ශ්‍රේෂ්ඨ විදියට උසස් කොට සැලකීම, වර්ණනා කිරීම ජාතිවාදය යන මාතෘකාවට දිය හැකි සරලම අර්ථකථනයයි. ජාති යනු උපතයි. වාද යනු කීමයි. ජාතිවාදය යන වචනයට නිවැරදි විවරණයක් අර්ථකථනයක් ලබාදීම අන් කවරදාටවත් වඩා අද අවශ්‍යව තිබෙනවා. මේ වචනය සඳහා අදහස ගැනීමේදී මූලාශ්‍රයන් කරා යා යුතුයි.

එසේනම් හාමුදුරුවනේ අපි ඒ මූලාශ්‍රයන් සම්බන්ධ කෙටි විමසුමක් කරමු.

මේ සඳහා පැරණිම මූලාශ්‍රය තමයි බමුණන්ගේ දහම. බුදුරජාණන් වහන්සේ ලොව පහළ වන්නට කලින් මනුෂ්‍යයාගේ උප්පත්තිය පිළිබඳව බමුණන් විවිධ නිර්දේශ ඉදිරිපත් කරලා තිබුණා. ඒ පිළිබඳව සෘග්වේදය ආදී ග්‍රන්ථවල දැක්වෙනවා. මනුස්මෘතිය ග්‍රන්ථයේත් විධිමත් ලෙස තිබෙනවා. මහා බ්‍රහ්මයාගේ මුඛයෙන් බමුණන් මැවුන බවත් ශ්‍රේෂ්ඨ ඔවුන් බවත් අන් අය හීන අය බවත් දැක්වෙනවා. බ්‍රාහ්මණයන් සුදු වර්ණයයි. අන් අය කළු වර්ණයි. බමුණන් ශුද්ධවන්තයෝයි. අන් අය අශුද්ධවන්තයෝයි. බ්‍රහ්මයන් කෙරෙන් උපන් හෙයින් බ්‍රහ්මජයෝය. බ්‍රහ්ම නිර්මිතයෝය. මේ ආදී වශයෙන් ඔවුන්ගේ ජාතිය උසස් කොට සලකනවා.

එහෙත් බුදු දහම තුළින් මීට නිසි පිළිතුරු සැපයෙනවා නේද අපේ හාමුදුරුවනේ.

ඔව්. තමන්ගේ උපත පිළිබඳව වර්ණනා කිරීම බේද ඇති කිරීම තමයි වාදය කියන්නේ. යම් කිසිවෙක් උපතින් උසස් හෝ පහත් යැයි වර්ගීකරණය කිරීම බමුණන්ගෙන් සිදු වුණා. ජාතියම ශ්‍රේෂ්ඨ නොවන බවත් ධර්මයම ශ්‍රේෂ්ඨ
වන බවත් බුදුරජාණන් වහන්සේ දේශනා කළා. ඒ නිසා ශ්‍රේෂ්ඨත්වය ගොඩනැගෙන්නේ මිනිසුන් කරන ක්‍රියාකාරකම අනුවයි. ඉතින් ඒ නිසා ජාතිවාදය මුළුමනින්ම බුදුදහමේ ප්‍රතික්‍ෂේප කරනවා. ජාතිවාදය යන්න පහත් දෙයක් වශයෙනුයි බුදුදහමේ සැලකෙන්නේ.

 

මේ පිළිබඳව සූත්‍ර දේශනා ආශ්‍රයෙන් තවදුරටත් පැහැදිලි කළොත් හාමුදුරුවනේ?

ජාතිවාදය ඇත්තේ මිනිසුන් අතර නොවන බව වාසිත්ථ සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ගස් වැල් තිරිසන් සතුන් අතරයි මෙය තියෙන්නේ. නහය, කට, ලිංග භේදය සෑම මනුෂ්‍යයකුගේම සමානයි. සිවුපා, කටුසු, බළලු, දියෙහි ඉන්න මත්ස්‍යයන් ආදී එකිනෙකට වෙනස්කම් අනුව ජාතීත්වය තියෙනවා. මිනිසුන් අතර මේ වගේ බෙදීමක් නැහැ. මිනිසුන් හැම කෙනාම එකයි. උපතින් උස් පහත්කම් ඇතිවන්නේ නැහැ. උසස් කුලයක කෙනෙක් මිනී මරනවා නම් සොරකම් කරනවා නම් එයා පහත් කෙනෙක්. පහත් කුලයක උපන් කෙනෙක්. උසස් වැඩ කරනවා නම් එයා උසස් කෙනෙක්. ජාතිවාදය කියන එක බමුණන්ගෙන් පැවත එන අදහසක්. මෙවැනි දේ නිසා තමයි දෙවැනි ලෝක යුද්ධය ඇති වන්නටත් හේතු වුණේ. හිට්ලර් හිතන් හිටියා ඔවුන් උසස්ම ජාතිය කියලා. මිනිසාගේ ප්‍රගතියට හේතු නොවන නිසා එය බුදුදහම ප්‍රතික්‍ෂේප කරනවා.

 

ජාතිවාදය සහ ජාතිකත්වය යන සංකල්ප නිසි ලෙස අවබෝධ කර නොගැනීම නිසා තමයි අද ජාතිවාදය ගැන නිතර නිතර කතා කෙරෙන්නේ.

ඔව් ජාතිවාදය කියන්නේ චිරාත් කාලයක් පැවතුණ අපේ අනන්‍යතාවය. සංස්කෘතිය බිඳ දමා ගැනීම නමෛයි. තම ජාතියට ආගමට සංස්කෘතියට සිරිත්විරිත්වලට ඓතිහාසික ස්ථානවලට ආදරය කිරීම ආරක්ෂා කිරීම ඒ වෙනුවෙන් පෙනී සිටීම නමෛයි ජාතිවාදය කියන්නේ. එය ජාතිකත්වයයි. ජාතිකභාවයයි. ජාතිබව, ජාතිකම එතුළින් ජාතිවාදය නමෛයි ඉදිරිපත් කෙරෙන්නේ. සමාජයක පැවැත්මට සංස්කෘතිය පවත්වාගෙන යා යුතුයි. මිනිස්සු මරන්න කියලා ඉගැන්වුවොත් ම්‍ලේච්ඡත්වයයි. එය ප්‍රතික්‍ෂේප කරනවා. එම නිසා බෞද්ධයන් වශයෙන් ඔවුන් තමා අපේ අනන්‍යතාව, සංස්කෘතිය, බිඳදමා ගැනීම නමෛයි. තම ජාතියට, ආගමට, සංස්කෘතියට, සිරිත් විරිත්වලට ඓතිහාසික ස්ථානවලට ආදරය කිරීම, ආරක්ෂ කිරීම, ඒ වෙනුවෙන් පෙනී සිටීම කරන කොට එය ඇතැමෙක් ජාතිවාදය කියලා ‍ලේබල් ගහනවා නම් සම්පූර්ණ වැරදියි. ඒක තමයි අද සමාජය මේ ජාතිවාදයක් ගැනම කතා කරන්නේ. ඒ ගැන හරි අවබෝධයක් නොමැතිකමයි.

 

බුදුදහමෙන් ‍පෝෂිත වූවන් වශයෙන් බෞද්ධයන්ට මේ පිළිබඳව හසල අවබෝධයක් ආභාෂයක් නිතැතින්ම ඇති බව පැහැදිලියි.

ඔව්. මම ආරම්භයේ සිටම සිහිපත් කළානේ බුදු දහමේ ජාතිවාදය සම්පූර්ණයෙන්ම ප්‍රතික්‍ෂේප කරනවා. සමානාත්මතාව ඉහළින් අගය කරනවා. උගන්වනවා. ඒ පිළිබඳව ලොවටම ඉගැන්වීම් කළ ආදර්ශ සැපයූ ශාස්තෘන් වහන්සේ අප බුදුරජාණන් වහන්සේයි. අපිට වෙනම රටක් ඕන. වෙනම බැංකු ඕන. වෙනම ඇඳුම් ඕන. වෙනම චෙක්පත් ඕන. ඉඩම් අයිතිය ඕන කියලා යමෙක් හෝ යම් පිරිසක් කටයුතු කරනවා නම් අන්ත ජාතිවාදයයි. එය අනුමත කරන්නට බැහැ. එවිට සමාන නීතියක් නැතිවෙනවා. සමාන අදහස් නැතිවෙනවා. මිනිසුන් ජාතිවාදී වෙනවා. ගැටුම් නිර්මාණය කරගන්නවා. මේ වනවිට ලංකාවේ යහපාලනයක් ඇති කරන්න කියලා පරිවර්තනයක් වෙලා තියෙනවා. ඒත් ජාතිවාදී මත ඛණ්ඩනය කරන්න විධිමත් ලෙස ප්‍රවිෂ්ටයක් ලබන ආකාරය පෙනෙන්නට නැහැ. බෞද්ධ මතවාද වැඩි වැඩියෙන් ප්‍රචාරය කිරීම ජාතිවාද ගිනිදැල් නැති කිරීමට හේතුවක්. ඒ කිව්වේ හැම දෙනාම බෞද්ධ විය යුතුයි කියලා නමෛයි. සිංහල බෞද්ධ මතයක් නමෛයි පැරණි සමාජයේ තිබුණේ. බෞද්ධ නීතියයි තිබුණේ. සිංහල මතවාදයක් ඇතැම් පාර්ශ්වයන් විසින් ගොඩනගා තිබෙනවා. මේ නිසා තමයි ඇතැම් ගැටුම් නිර්මාණය වී තිබෙන්නේ. එම නිසා සිංහලකම රකින්නට අවශ්‍ය නැහැ. රැකිය යුත්තේ බෞද්ධ කමයි.

මේ සම්බන්ධයෙන් සමාජයට නිසි අර්ථකථනයක් හා ඊට කඩිනම් ඵලදායී වැඩසටහනක් ක්‍රියාත්මක කිරීම වහ වහා කළ යුතුයි.

ජාතිවාදය අවුස්සනවා. ඒ අයට වැට බඳිනවා. රැලි සංවිධානය කරනවා වැනි දේ කියනවා වෙනුවට පළමුව කළ යුතු වන්නේ ජාතිවාදය යන්නට නිසි අර්ථකථනයක්, විවරණයක් ලබා දීමයි. ජනතාවට මේ ගැන පැහැදිලි කිරීමක් අවශ්‍යයි. නැත්නම් තව ටික දවසකින් ධර්ම දේශකයාණන් වහන්සේටත් ජාතිවාදයා, ආගම්වාදියා කියයි. තම ජාතිය ආගම වෙනුවෙන් කතා කිරීම කටයුතු කිරීම ජාතිවාදය නමෛයිනේ. වෙනත් කිසිම ආගමක නැති දර්ශනයක් බුදුදහමේ තියෙන්නේ. බුදුරජාණන් වහන්සේගේ ධර්මය  මිනිසුන්ට සන්නිවේදනය කිරීමයි කළ යුත්තේ. සංහිඳියාව සමාජගත කිරීම යහපාලනයේ ප්‍රමුඛතම රීතියක් විය යුතුයි. නැත්නම් සමාජයේ බිඳ වැටීමක් ඇතිවෙයි. මේ සම්බන්ධයෙන් බෞද්ධ සංවිධාන මේවායෙහි යථාර්ථය සොයා විධිමත් ලෙස කටයුතු කළ යුතුයි.

සාකච්ඡා කළේ – ජනක හෙට්ටිආරච්චි