Home » පුවත් පත් ප්‍රකාශන » දහම නොදැන අටුවාචාරීන් වහන්සේලාට ගරහන්නෝ සාහසිකයෝය

බුදුරජාණන් වහන්සේ දේශනා කළ ශ්‍රී සද්ධර්මය ත්‍රිපිටකයේ සඳහන් වෙනවා. අභිධර්මය ඇතුළු විවිධ සූත්‍ර ඇතුළත් මෙහි තුන්පිටකය සමඟ නිතැතින්ම කියෑවෙන ග්‍රන්ථාවලියක්‌ තියෙනවා. එය අප හඳුන්වන්නේ අටුවාව ලෙසයි

මෙය පාලි භාෂාවෙන් හඳුන්වනු ලබන්නේ අට්‌ඨ කතා ලෙසයි. පාලි භාෂාවෙන් අට්‌ඨ කතා යන්න “අටුවා” ලෙස ව්‍යවහාරයට පැමිණ තිබෙනවා. බුද්ධ දේශනාව ආශ්‍රයෙන්ම අටුවාව ගොඩනැගී තිබෙනවා. ඇත්ත වශයෙන් අටුවා පිළිබඳව අවබෝධයක්‌ නොමැතිව තුන්පිටකයේ බොහෝ දේ තේරුම් ගත නොහැකියි. අටුවාව ග්‍රන්ථාරූඪ කිරීමට හේතුවත්, එය ලිවීමට අත්දැකීමුත් ගොඩනැඟී තිබෙන්නේ බුදුරජාණන් වහන්සේගේ දේශනා පදනම් කරගෙනයි. එය බොහොම පැහැදිලි කාරණයක්‌.

අටුවා ලිවීමට හේතුව කුමක්‌ද?

පෙළේ (තුන් පිටකයේ) තියෙන අමාරු පද, අපහසු සංකල්ප තවදුරටත් පැහැදිලි කරන, විවරණය කරන, ප්‍රකට කරන ග්‍රන්ථාවලිය අටුවාව ලෙස තවදුරටත් හඳුනාගැනීමට පුළුවන්.

අටුවාවේ තියෙන්නේ අටුවාව. එය ලියූ අයගේ අදහස්‌ නොවේ. අටුවාවේ තියෙන්නේ බුදුරජාණන් වහන්සේ දේශනා කළ ධර්මයම පදනම් කරගෙන, ඒවා ස්‌ඵුට කර දක්‌වමින් යම් කරුණක්‌ තහවුරු කිරීමයි මෙහිදී සිදුවන්නේ. නූතනයේ නම් විවිධ වෛවාරණ බණ අසන්න පුළුවන්. සමහරු දේශනා කරන්නේ පල්හෑලි පමණයි. ඒ අය කරන්නේ කටට එන දෙයක්‌ කීම හෝ ප්‍රකාශ කිරීම පමණයි.

එහෙත් අප රටේ එදත් අදත් ධර්මය, විනය, විකෘති නොකර ව්‍යක්‌ත ලෙස ධර්මය දේශනා කරන ධර්මධර, උගත්, පණ්‌ඩිත ස්‌වාමීන් වහන්සේලා සිටිනවා. උන්වහන්සේලා ධර්මය දේශනා කරනු ලබන්නේ මාතෘකාවකට අනුවයි. නිදසුනක්‌ ලෙස එවැනි හිමිනමක්‌ කර්මය ගැන දේශනා කරනවා කියමුකෝ. එවිට උන්වහන්සේලා “කර්මය” පැහැදිලි කිරීම සඳහා සූත්‍ර පාඨ, ගාථා උද්ධෘත කොට දක්‌වමින් අහවල් තැන මෙහෙමයි සඳහන් වෙන්නේ යනුවෙන් දේශනා කරනු ලබනවා. ඊට අමතරව තවත් කරුණුත් පැහැදිලි කරනු ලබනවා. එම ක්‍රමය තමයි අටුවා යන්නෙන් අදහස්‌ කරනුයේ. අටුවාව යනු ඉතාම ශාස්‌ත්‍රීය විවරණයක්‌.

අටුවාවක්‌ නිර්මාණය කරන්නේ කෙසේද කියා දීඝනිකායේ ටීකාවේ සය විදිහක්‌ සඳහන් කරනවා.

“අථවා ඒහි අකාරෙහි

සංවණණ්‌නා සාතබ්බා සච්චන්ධතෝ,

පදතෝ, පදවිභාගතෝ, අත්ථතෝ,

අනුයෝගතෝ පරිහාරනෝ චාති”

සච්චධතෝ යනු නිදානය ඉදිරිපත් කිරීමයි. නිදානය යන්න සූත්‍ර නිදානය සහ අට්‌ඨකතා නිදානය යනුවෙන් කොටස්‌ දෙකකට වෙන් කෙරෙනවා. යම් සූත්‍රයක්‌ අර්ථ නිරූපණය කිරීමේදී එය කවදා කොතැනකදී කවුරුන් අරභයා දේශනා කළේද යන්න පැහැදිලි කිරීම සූත්‍ර නිදාන වේ. විනය ශික්‍ෂා පදවලදී, විනය පැනවීමට හේතුව, කාටද? කුමක්‌ නිමිති කරගෙන ද යන්න පැහැදිලි කිරීම යන්න අට්‌ඨ කතා නිදානය ලෙස හඳුන්වනු ලබනවා.

දෙවැනි ක්‍රමය “පදතෝ” ලෙස හඳුන්වනු ලබනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කළ පාලි පාඨවලින් උපුටා ගන්නා ලද කොටස්‌වල අර්ථය පදයක්‌ පාසා පැහැදිලි කිරීම “පදතෝ” ලෙස සැලකෙනවා.

“යං කදාචි කරහචි දීඝස්‌ස

අද්ධුතෝ අච්චයේන සංවම්මති”

මෙය දීඝනිකායේ බ්‍රහ්මජාල සූත්‍රයේ තියෙන පාඨයක්‌.

බුදුරජාණන් වහන්සේ දේශනා කළ මෙම පාඨය අටුවාවේ මෙසේ පැහැදිලි කරනු ලබනවා.

“යංකි නිපාතමත්තං, කදාචිති

කිස්‌මිඤ්චි කාලේ

කරහචි”ති තස්‌සේව වේ මචනං,

දීඝස්‌ස අද්ධුතනෝති

දීඝස්‌ස කාලස්‌ස අච්චයෙතානි

අනික්‌කමෙන සංවට්‌ටකීතී

විනස්‌සති”

දීඝනිකායේ අප ඉහතින් සඳහන් කළ සූත්‍රය අටුවාව අනුව විස්‌තර කරන්නේ මෙසේයි.

එම විවරණයට අනුව “යං” යනු නිපාත පදයකි. කරහචි යනු යම්කිසි කාලයක්‌ යන්නයි. දීඝස්‌ස අද්ධුතෝ යනු දීර්ඝ කාලයක්‌ අවෑමෙන් යන්නයි. සංවම්මතී යනු විනාශ වීම යන්නයි.

මෙලෙසයි අටුවාව විස්‌තර කරනු ලබන්නේ, මෙහිදී පද විග්‍රහයට භාවිත කරනු ලබන්නේ අටුවාචාරීන්ගේ විග්‍රහ නොවෙයි. ඒ සඳහා භාවිත කරනු ලබන්නේ බුදුරජාණන් වහන්සේම දේශනා කළ වෙනත් වෙනත් සූත්‍රවල තියෙන අදහස්‌.

තුන්වැනි ක්‍රමය පද විභාගයයි. (පද විභාගතො)

පෙළෙහි (ත්‍රිපිටකයෙහි) එන පාඨවල නිවැරැදි අර්ථ අවබෝධ කරගැනීමට ව්‍යාකරණය, රචනා ක්‍රම ගැන දැනීමක්‌ අවශ්‍යයි. පද විභාගයෙන් සිදු කෙරෙනුqයේ එම පැහැදිලි කරගැනීමයි. අදාළ පද නාම පදයක්‌ද? ආඛ්‍යාන පදයක්‌ ද? නිපාත පදයක්‌ද? උපසර්ග පදයක්‌ ද? සමාන පදයක්‌ද? තද්ධිත පදයක්‌ද? නාම පදයක්‌ ද? යනාදී වශයෙන් පවතින ව්‍යාකරණමය පදනමයි පද විභාගයෙන් සිදුකෙරෙන්නේ.

මොග්ගල්ලාන පඤ්චිකා නම් ග්‍රන්ථයෙහි මෙසේ සඳහන් වෙනවා.

“යො නිරුක්‌තිං ජනානි

ජනානි පිටකත්තයං

පදෙ පදෙ විකචෛයය

වනෙ අන්ධ ගජෝ විය”

මෙහි තේරුම මෙසේයි.

යම්කිසි කෙනෙක්‌ ත්‍රිපිටකය දැනගත්තත් නිරුක්‌තිය (පද විභාගය) දන්නේ නැති නම් මහා වනාන්aතරයකට වන්a අන්ධ ඇතකු සේ පදයක්‌ පදයක්‌ ගාණේa හැකිළෙනවා.

අන්ධ ඇතෙක්‌ වනාන්තරයේ ගමන් කරද්දී සිදුවන්නේ කුමක්‌ද? අර ගහේ හැප්පෙනවා. මේ ගහේ හැප්පෙනවා. මහා අවුලෙන් අවුලට පත් වෙනවා.

ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කළ ධර්මයන් අවබෝධ කරගැනීමට පද විභාගයන් දැනගත යුතුයි. ව්‍යාකරණය මොකක්‌ද? සමාස පදයක්‌ද? නාම පදයක්‌ද? මොන විභක්‌තියේ යෙදුණු පදයක්‌ද? යනාදී වශයෙන් අවබෝධයක්‌ නොමැතිව පාලි පාඨයන්ගේ අර්ථයන් විස්‌තර කරගන්නේ කෙසේද? ඒ නිසයි පද විභාගතෝ යන ලක්‍ෂණය අටුවාවේ විස්‌තර කරන්නේ.

හතරවැනි ලක්‍ෂණය අත්ථතෝ නම් වේ. අටුවාවේ ප්‍රධානම කාර්යභාර්ය වන්නේ මෙයයි. වචනවල සහ සංකල්පවල නිවැරදි අර්ථය පැහැදිලි කිරීම මින් අපේක්‌ෂා කරන අතර අටුවාචාරීන් වහන්සේලාගේ ප්‍රධානම කාර්යය වන්නේත් මෙයයි.

අටුවා රචනා කිරීමේදී අටුවාචාරීන් වහන්සේලා භාවිත කරන්නේ උන්වහන්සේලාම හදාගත් වචන නොවේ. බුදුරජාණන් වහන්සේ යම් සූත්‍රයක්‌ දේශනා කර අදහසක්‌ ඉදිරිපත් කර තිබේනම් එම අදහස තහවුරු වන තවත් සූත්‍ර පාඨ උපුට උපුටා දැක්‌වීමකුයි අටුවාවෙන් සිදු කෙරෙන්නේ.

එවං මේසුතං එකං සමයං භගවා… යනාදී වශයෙන් පවතින වචන බෞද්ධයන්ගේ කටට හොඳට හුරුයි. මෙහි යෙදෙන එවං කියන නිපාත පදයට අර්ථ කීපයක්‌ යෙදෙන බව අටුවාවල දක්‌වනවා. එවං කියන පදය උපමා, උපදේශ, සතුට, ගැරහීම්, පිළිගැනීම්, ආකාර නිදස්‌සන, අවධාරණ යනාදී අර්ථවල යෙදන බව බුද්ධඝෝෂ හාමුදුරුවෝ අටුවාවල පැහැදිලි කර තිබෙනවා. එනිසා බොහොම පැහැදිලියි එවං යන්න අටුවාචරීන් වහන්සේලාගේ වචනයක්‌ නොවේ. එය බුදුරජාණන් වහන්සේ දේශනා කළ වචනයක්‌. “එවං ජාතෙන මච්ෙච්න කත්තබ්බං කුසලං බහුං” යන්නෙන් අදහස්‌ කරනුයේ උපමාවක්‌. මේ අයුරින් එවං යන පදය විවිධ අර්ථයන් යෙදනවා. එසේ එවං යන්න විවිධ තැන්වල යෙදෙන බව අටුවාචාරීන් වහන්සේලා පෙන්වා දෙන්නේ බුදුරජාණන් වහන්සේ විවිධ සූත්‍රවල දේශනා කළ පාඨ, සූත්‍ර උපුටා දක්‌වමින්.

අටුවාවේ පස්‌වැන ලක්‌ෂණය වන්නේ අනුයොගතෝ – පරිහාරතෝ යන්නයි.

මෙය අප පැහැදිලි කරන්නේ ග්‍රන්ථයක උපුටා දැක්‌වීමක්‌ ඇසුරින්. “පාලි අට්‌ඨ කතාවන්හි පිළිබිඹු වන ව්‍යාකරණ සම්ප්‍රදාය” යනුවෙන් මහාචාර්ය වෑගම පියරතන හාමුදුරුවෝ ලියූ පර්යේෂණාත්මක ග්‍රන්ථයේ අනුයෝගතෝ – පරිහාරතෝ යන වචන දෙක විස්‌තර කරනුයේ මේ ආකාරයෙන්.

“අර්ථකථන ශිල්පීය ක්‍රමයෙහි විවේචනය කිරීමේ අංශය අනුයෝග හා පරිහාර යනුවෙන් කොටස්‌ දෙකකි. අනුයෝග ක්‍රමය යනු ප්‍රශ්න ඉදිරිපත් කිරීම හෝ ප්‍රශ්නවල වැදගත්කම විවේචනාත්මකව පරීක්‍ෂා කිරීමයි. පරිහාර යනු එබඳු ප්‍රශ්නවලට පිළිතුරු සැපයීමයි”

…. මේ ආදී වශයෙන් උන්වහන්සේගේ අගනා ග්‍රන්ථයේ මේ පිළිබඳව තවදුරටත් විග්‍රහ කර තිබෙනවා.

දැන් අප “උපාසක” යන නිතර යෙදෙන පදය ගැන මඳක්‌ විමසා බලමු. කවුද උපාසක කිය්නේ, කුමන කරුණක්‌ නිසාද උපාසක කියන්නේ, උපාසකගේ ශීලය කුමක්‌ද, ආජීව කුමක්‌ද, ඉන් සිදුවන්නේ මොනවගේ විපත්තිද? යනාදී වශයෙන් ප්‍රශ්න කර කර පිළිතුරු සැපයීම අනුයෝග පරිහාරතෝ යන අටුවා ක්‍රමවේදයේ ලක්‌ෂණයයි. මේ ආකාරයේ ධර්මානුකූලව ඉතාමත් විශිෂ්ට ආකාරයට අටුවාවන් රචනා කර තිබෙනවා.

අටුවා ගැන සඳහන් කිරීමේදී මේ ගැනත් මතක්‌ කළ යුතුයි. තමන්ට අභිමත පරිදි අටුවාවල අදහස්‌ ඉදිරිපත් කරන්න කාටවත් බැහැ. එය ඉදිරිපත් කළ යුත්තේ ශාස්‌ත්‍රීය ක්‍රමයකටයි. අටුවා පද ඉදිරිපත් කරන ශාස්‌ත්‍රීය ක්‍රම හතරක්‌ තියෙනවා.

සුත්ත, සුත්තානුලෝම, ආචාර්යවාද, අත්තනෝමතික යනු එම ක්‍රමවේද හතරයි.

ඉදිරිපත් කරන දේ සූත්‍රයට ගැලපෙනවද (සුත්ත), එයට අනුකූල වේද (සුත්තානුලෝම) විවිධ ආචාර්යවරුන්ගේ මතවාද මොනවාද (ආචාර්යවාද) සහ තමන්ගේ අදහසට (අත්තනෝමතික) ගැලපේද යන්න අටුවා විවරණය කෙරෙන ශාස්‌ත්‍රීය ක්‍රමවේදය ලෙස හඳුන්වා දී තිබෙනවා.

කෙසේ වුවත් බුද්ධඝෝෂ හාමුදුරුවෝ අත්තනෝමති යන්න විග්‍රහ කළ අයුරු අටුවාවේ දැක්‌වෙන්නේ මෙහෙමයි. “අටුවා විවරණය කරන ක්‍රම අතරින් අත්තනෝමතිය ඉතාම දුර්වල එකක්‌. ඊට වඩා ආචාර්යවාදය හොඳයි. ඊටත් වඩා සුත්තානුලෝමය හොඳයි. සියල්ලටම වඩා වැදගත්ම, බලවත්ම දෙය නිවැරදිම දෙය සූත්‍රයි. (සුත්ත) එනම් බුදුරජාණන් වහන්සේ වදාළ දේශනාවයි.

මෙම විග්‍රහය දෙස බැලීමේදී පෙනී යන කරුණක්‌ වන්නේ අටුවා විවරණය ශාස්‌ත්‍රීය ක්‍රමවේදයකට මෙන්ම ඉතාමත් නිහතමානීව කළ දෙයක්‌ බවයි. මෙය පුළුල් ලෙස සාකච්ඡා කළ යුතු මාතෘකාවක්‌ වුවත් ඒ පිළිබඳව මෙම ලිපියෙන් ඒ ගැන දීර්ඝ ලෙස සාකච්ඡා කිරීමට අප බලාපොරොත්තු වන්නේ නැහැ.

කෙසේ හෝ වේවා අප උත්සාහ කළේ අටුවාවේ ස්‌වරූපය කෙබඳු ද යන්න පාඨකයා දැනුවත් කිරීමටයි. ඒ පිළිබඳව ගැඹුරු ශාස්‌ත්‍රී විවරණයකට යැමට මේ මොහොතේ අපි බලාපොරොත්තු වන්නේ නැහැ.

ප්‍රාණඝාතයක්‌ වීමට නම් කරුණු පහක්‌ සම්පූර්ණ විය යුතුයි. එම අංග පහක්‌ සම්පූර්ණ විය යුතුයි කියන කතාව කියන්නේ කවුද? එය අටුවාචාරීන්ගේ අදහසක්‌. බුද්ධඝෝෂ හාමුදුරුවෝ උන්වහන්සේ ලියූ දීඝ නිකායේ අට්‌ඨ කථාවේ. මඡ්Cධිම නිකායේ අට්‌ඨ කථාවේ, ඉථි උත්තක අට්‌ඨ කථාවේ ආදියේදී ප්‍රාණඝාත අකුසලය සිදුවීමට සම්පූර්ණ කළයුතු අංග පහ මොනවද කියා දක්‌වා තිබෙනවා.

පාණේ, (ප්‍රාණියකු වීම), පාණසඤිකා (පණ ඇති බව දැන ගැනීම), වධක ෙච්තනා (මැරීමේ චේතනාව) උපක්‌ක්‍රමෝ (මැරීමට උපක්‍රම යෙදීම), තේන මරණං (මරණයට පත්වීම) යන කාරණා පහ සම්පූර්ණ වුවහොත් ප්‍රාණඝාත අකුසලය සිදුවන බව සඳහන් වෙනවා.

තොටගමුවේ ශ්‍රී රාහුල හිමියන් කාව්‍යසේකරයේදී මෙය කවියට නගා තිබෙනවා.

සතකු බව දැනුම ද

මරණව සිත් පයෝග ද

දිවි යනු සියත බද

පසැගතිය යෙත් පළමු සික පද

ප්‍රාණඝාතයක්‌ සිදුවීමේදී අංග පහක්‌ සම්පූර්ණ විය යුතු බව බුදුරජාණන් වහන්සේ සෘජුව දේශනා කර නැහැ. නමුත් විවිධ සූත්‍රවලදී

මෙහි ලක්‍ෂණ දක්‌වා තිබෙනවා. අටුවාචාරීන් වහන්සේලා කළේ මේ සියලු දේ සමෝධානය කර මූලික අදහසක්‌ ගෙන මෙම සංකල්පය ඉදිරිපත් කිරීමයි. මේ අයුරින්ම අනෙකුත් පන්සිල් පද සඳහාද සම්පූර්ණ විය යුතු අංග දක්‌වා තිබෙනවා. මෙම අංග දක්‌වන්නේ අටුවාචාරීන් වහන්සේලායි.

අටුවාව යනු බුදුරජාණන් වහන්සේ දේශනා කළ විවිධ සූත්‍රයන්, ඒවා එකතු කර එක අදහසක්‌ ඉදිරිපත් කිරීමයි. මේවා සිංහල භාෂාවේදී හෙළටුවා වශයෙන් තිබුණා. හෙළටුවා 28 ක්‌ තිබුණ බව පර්යේෂණවලදී හෙළිවී තිබෙනවා. නමුත් එය උපකල්පනය කළ දෙයක්‌ යෑයි ඇතැම් ආචාර්යවරු පවසනවා. කෙසේ නමුත් මහා අට්‌ඨ කතාව, මහා පච්චරිය අට්‌ඨ කතාව, කුරුන්දි අට්‌ඨ කතාව යනුවෙන් හෙළටුවා කොටස්‌ තුනක්‌ තිබුණු බව බුද්ධඝෝෂ හාමුදුරුවන්ගේ අට්‌ඨ කතාවල සඳහන් වෙනවා.

හෙළ අටුවාවන් රචනා කර තිබුණේ පාලියෙන් හෙළටුවා පාලි ටිකක්‌ හඳුනා ගැනීම සඳහා මේ ආකාරයෙන් ඉදිරිපත් කිරීමට පුළුවන්.

යොගෙ සොහෙවදානකි උපද්දවභි නම්, සාමාවතිය, වත්ථු නාම පඨමංයි මහ අටුවාති ආ බැවින් අප්පමාදති පණ්‌ඩිතහ ජෙනෙ මාරස්‌ස පුප්ඵෙවදානකි. පුප්ඵ අකුසල සාලිත්ථක සිස්‌සේ යන්න භක්‌කාරක ලතකසිප ලකුණ්‌ටතො වදානකි. රැස්‌ස නැමි රහදො වදානකි ආවාටහි නම්

අටුවා ඇදුරන් අතර මුල් තැන හිමිවන්නේ බුද්ධඝෝෂ හාමුදුරුවන්ටයි. උන්වහන්සේ ලංකාවට පැමිණ පාලි අට්‌ඨකතා ග්‍රන්ථ රචනා කළ කාලය අටුවා කාලය වශයෙන් සලකනවා. ඒ අනුව බලන කල බුද්ධඝෝෂ හාමුදුරුවෝ ලංකාවට වැඩම කළේ ක්‍රි.ව. 5 වැනි සියවසේ. ඒ කාලයේ රජකළේ මහානාම රජතුමා. බුදුගොස්‌ හිමියන් ලංකාවට වැඩම කරන්නට පෙර මෙහි වැඩම කළ බුද්ධදත්ත හාමුදුරුවෝ මහා විහාරික හාමුදුරුවරු ඇසුරු කරමින් අටුවාකරණයේ නියෑළුණා. එහෙත් සාර්ථක වූයේ නෑ. අටුවා ලියන ලද්දේ බුද්ධඝෝෂ හිමියන් පමණක්‌ නොවේ. ධම්මපාල හිමි, උපසේන හිමි මහානාම හිමි ඒ අතර සිටිනවා. කෙසේ වුවත් බුද්ධඝෝෂ හාමුදුරුවො තමයි වැඩියෙන්ම අටුවා රචනා කළේ.

මෙම අටුවාවල සමකාලීන අදහස්‌ තියෙනවා. ශ්‍රී ලංකා ඉතිහාසයෙත් එය තියෙනවා. මිහිඳු හාමුදුරුවෝ ශ්‍රී ලංකාවට වැඩීම ගැන සමන්ත පසාදිකාවේ සඳහන් වෙනවා. ඒ වගේත් ලස්‌සන උපමා කතා එහි සඳහන් වෙනවා. පපඤaඤසෝදනිය අට්‌ඨ කතාවෙහි සදහන් වෙනවා ශ්‍රී ලංකාවේ භික්‍ෂූන් වහන්සේලා 39 ක්‌ දර කඩන ගෙවිලියක්‌ කියූ ගීතයක්‌ අසා රහත් වුණා කියලා.

නමුත් අටුවා ගැන මොලොව හසරක්‌ නොදන්න ඇතැම් ගිහියෝද සිවුරු පොරවා ගත් ඇතැම් පැවිද්දොaද අටුවාචාරීන් වහන්සේලාට බණිනවා. නිග්‍රහ කරනවා. මේවා මහා අපරාධ. අටුවාවේ තියෙන ශාස්‌ත්‍රීය ස්‌වභාවය නොදැන, නූගත්කම නිසාම ඔවුන් කියන දේ නිසා අපේ බෞද්ධයන් නොමඟ යන්න පුළුවන්. එනිසා අටුවාචාරීන් වහන්සේලාට නිග්‍රහ කරන මෙම අයගෙන් ප්‍රවේශම් වෙන්න කියලා අප බොහොම කාරුණිකව බෞද්ධයන්ගෙන් ඉල්ලා සිටිනවා.

අටුවාචාරීන් වහන්සේලා නොවන්න බෞද්ධාගම තේරුම් ගන්න බැරිවෙනවා. ථෙරවාද සම්ප්‍රදාය කියන්නේ අටුවාවයි. අටුවාව කියන එක දැකලවත් නොමැති, අටුවාවක්‌ කවදාවත් නොකියවපු එක්‌තරා අන්තවාදී කණ්‌ඩායමක්‌ බුද්ධඝෝෂ හාමුදුරුවන් ඇතුළු අටුවාචාරීන් වහන්සේලාට දිගින් දිගටම බැණවැදීම අපි දකින්නේ සාහසික අපරාධයක්‌ ලෙසයි.

“සාහසික” යන්නේ තේරුම නපුරු යන්නයි. ඒ වගේම නපුරු අපරාධ කරන්නා යන අර්ථයත් එහි ගැබ්වී තිබෙනවා. එනිසා අටුවාවට චෝදනා කරන අපහාස කරන අය සාහසික අපරාධකරුවන් ලෙසයි, ඉතිහාසගත වන්නේ.

සංයුක්‌ත නිකායේ තුදු බ්‍රහ්ම සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ මෙසේ දේශනා කර තිබෙනවා. පුරිසස්‌සහි ජාතස්‌ස තුඨාරි ජායතේ මුෙ€ යාය ජිJදති අත්තානං බාලෝ දුබ්භාසිතං භණං

මෙලොව උපන් මෝඩයාගේ මුඛයේ (කටේ) පවතිනුයේ කෙටේරියකි. නපුරු වචන කියන පුද්ගලයා තමාට කියන දේවලින් විනාශය ළඟා කර ගනී.

ඒ වගේම නින්දා තුළ යුත්තාට ප්‍රසංසා කරනවා නම්, ඒ වගේම ප්‍රශංසා කළ යුත්තාට නින්දා කරනවානම් ඔහු කටින් පව්රැස්‌ කරන්නෙක්‌.

යෝ නින්දියං පසංසති තං වා නින්දති යෝ පසංසියෝ විචිනාති මුෙ€න සෝ කලිං කාලිනා තෙන සුඛං න විJදති

මේ අයුරින් පව් රැස්‌ කරන්නාට යම් අයෙක්‌ අනුබල දීමත් පාපයක්‌.

බුදුදහමට එරෙහි විශාල අභියෝග තිබෙනවා. බුදුදහමට එරෙහි විවිධ කුමන්ත්‍රණ තියෙනවා. අටුවාචාරීන් වහන්සේලාගෙන් බෞද්ධ ශාසනයට සිදු වූ, සිදු වන සේවය නොදැන මේ කුමන්ත්‍රණකරුවන්ගේ ඉත්තන් වී සිටින්නන්ගෙන්ද බෞද්ධ ශාසනය පිරිසිදු කර ගැනීමේ යුග කාර්ය භාරයක්‌ අපට තියෙනවා. 2600 ශ්‍රී සම්බුද්ධත්ව ජයන්තිය සමරන මේ මොහොතේ අපේ බෞද්ධයන් මේ පිළිබඳවත් හොඳ සිහියෙන් සිටීම ඉතාම වැදගත්.

ප්‍රධාන පාළි අට්‌ඨකතා

1 අංගුත්තරනිකායට්‌ඨකථා (මනොරථ-පූරණී), බුද්ධඝෝෂ හිමි,

2අපදානට්‌ඨකථා (විසුද්ධජනවිලාසිනී)

3 ඉතිවුත්තකට්‌ඨකථා (පරමත්ථදීපනී) ධම්මපාල හිමි

4උදානට්‌ඨකථා (පරමත්ථදීපනී) ධම්මපාල හිමි

5 ඛුද්දකපාඨට්‌ඨකතා (පරමත්ථජොතිකා) බුද්ධඝෝෂ හිමි

6 චතුභාණවාරට්‌ඨකථා (සාරත්ථසමුච්චය)

7 චරියාපිටකට්‌ඨකථා (පරමත්ථදීපනී) ධම්මපාල හිමි

8 ජාතකට්‌ඨකථා බුද්ධඝෝෂ හිමි

9 ථෙරගාථාට්‌ඨකථා (පරමත්ථදීපනී) ධම්මපාල හිමි

10 ථෙරීගාථාට්‌ඨකථා (පරමත්ථදීපනී) ධම්මපාල හිමි

11 දීඝනිකායට්‌ඨකථා (සුමංගලවිලාසිනී) බුද්ධඝෝෂ හිමි

12 ධම්මපදට්‌ඨකථා බුද්ධඝොෂ හිමි

13 ධම්මසංගනී අට්‌ඨකථා (අත්ථසාලිනී), බුද්ධඝෝෂ හිමි

14 නිද්දේසට්‌ඨකථා (සද්ධම්මපඡ්ජොතිකා) උපසේන හිමි

15නෙත්තිප්පකරණට්‌ඨකථා ධම්මපාල හිමි

16 පඤaචප්පකරණට්‌ඨකථා බුද්ධඝෝෂ හිමි

17 පටිසම්භිදාමග්ගට්‌ඨකථා (සද්ධම්මප්පකාසිනී) මහානාම හිමි

18 පාතිමොක්‌ඛට්‌ඨකථා (කංඛාවිතරණී) බුද්ධඝොස හිමි

19 පෙතවත්ථු අට්‌ඨකථා (පරමත්ථදීපනී) ධම්මපාල හිමි

20 බුද්ධවංසට්‌ඨකථා (මධුරත්ථවිලාසිනී) බුද්ධදත්ත හිමි

21 මඡ්Cධිමනිකායට්‌ඨකථා (පපංචසූදනී) බුද්ධඝොස හිමි

22 විභංගට්‌ඨකථා (සම්මොහවිනොදනී) බුද්ධඝෝෂ හිමි

23 විමානවත්ථු අට්‌ඨකථා (පරමත්ථදීපනී) ධම්මපාල හිමි

24 විසුද්ධිමග්ග, බුද්ධඝෝෂ හිමි

25 සංයුත්ත නිකායට්‌ඨකථා, බුද්ධඝෝෂ හිමි

26 සමන්තපාසාදිකා, බුද්ධඝෝෂ හිමි

27 සුත්තනිපාතට්‌ඨකථා, බුද්ධඝෝෂ හිමි

රාත්මලාන ධර්ම පර්යේෂණාලයේ

හෑගොඩ විපස්‌සී හිමි

ධර්ම සංවාදය – වසන්ත ලියනගේ