Home » විමර්ශන » ශ්‍රී ලංකාවේ ප්‍රෞඪ ඉතිහාසය අන්‍ය ආගමික පෙළ පොත් වලින් වනසනවා

ශ්‍රී ලංකාවේ ප්‍රෞඪ ඉතිහාසය අන්‍ය ආගමික පෙළ පොත් වලින් වනසනවා

Vipassi-Theroඅන්‍යාගමික පාසල් පෙළ ‍පොත් මගින් ශ්‍රී ලංකාවේ ප්‍රෞඪ ඉතිහාසය විකෘති කිරීමේ වැඩපිළිවෙළක් දියත් කර ඇතැයි රත්මලාන ධර්ම පර්යේෂණාලය කළ පර්යේෂණයකින් හෙළි කරගෙන ඇත. මනඃකල්පිත ඉතිහාසයක් නිර්මාණය කරමින් ව්‍යාප්ත කරන්නේ මහා ආක්‍රමණශීලී කුමන්ත්‍රණකාරී වැඩපිළිවෙළක් බව එහි අධ්‍යක්ෂ හෑගොඩ විපස්සී හිමියෝ පැවැසූහ. ඉස්ලාම් ධර්මය උගන්වන පාසල් පෙළ‍පොත්වල මෙසේ ශ්‍රී ලංකාවේ ඓතිහාසික ඉතිහාසය වෙනස් කර ඇති බව එම පර්යේෂණයෙන් හෙළි වී ඇත. රජයේ පාසල්වල 11 ශ්‍රේණියේ ඉගෙනුම ලබන මුස්ලිම් දරුවන් සඳහා ලබාදෙන ඉස්ලාම් ආගම ‍පොතේ වැරදි තොරතුරු වැඩි වශයෙන් දක්වා ඇති බවද ඉන් පෙන්වා දෙයි.

එම ඉස්ලාම් ආගම ‍පොතේ මෙලෙස සඳහන් වෙයි. “ශ්‍රී ලංකාව හා අරාබිවරුන් අතර වූ සබඳතාව ඉතා පැරණිය. ආර්යයන් ලංකාවට පැමිණීමට පෙර අරාබිවරුන් මෙහි පැමිණි බව විලියම් හයිගර් යන අය සඳහන් කරයි. පසුගිය අවුරුදු 2000 පුරා අරාබිවරුන් මෙහි වාසය කරන නිසා එකල සිටි වැද්දන් හෝ අනෙකුත් පෞරාණික වැසියන් මෙන්ම ඔවුන්ද මේ රටේ පුරවැසියන් බව හිටපු පුරා විද්‍යාඥයෙකු වන ආචාර්ය බා‍ලේන්ද්‍ර සඳහන් කරයි.”

මෙම තොරතුරු සම්පූර්ණයෙන් වැරදි බවත් විලියම් හයිගර් නමැති විද්වතෙක් පිළිබඳව කොහේවත් සඳහන්ව නැති බවත් පර්යේෂණාලය පවසයි.

එසේම ශ්‍රී ලංකාවේ පුරාවෘත්ත, ශිලා ‍ලේඛන, මහා වංශය, දීප වංශය, අටුවා ආදී ඓතිහාසික ‍ලේඛන කිසිවක් නොසලකා රටේ බෞද්ධ ඉතිහාසය විකෘති කරමින් මෙම පෙළ‍පොත් ලියා ඇති බව පෙනී යන්නේ යැයි හෑගොඩ විපස්සී හිමියෝ පැවැසූහ.

1980 දශකයේදී කාගේත් බහුමානයට පාත්‍ර වූ මහාචාර්ය විමල විජේසූරිය මහතා, අන්‍යාගමික පාසල් පෙළ ‍පොත් මගින් ශ්‍රී ලංකාවේ ඉතිහාසය විකෘති කර ඇති බවත් එය නිවැරදි කරන ලෙසත් බලධාරීන් දැනුම්වත් කළද මතෛක් එම පෙළ ‍පොත් නිවැරදි කිරීමට කටයුතු කර නැති බවද උන් වහන්සේ පෙන්වා දෙයි.

එසේම කිතු දහම අනුරාධපුර යුගයේ පැවතුණු බවටත් විවිධ ‍පොත්පත්වල සඳහන් කර තිබුණත් එයද අසත්‍ය තොරතුරක් බව උන්වහන්සේ පෙන්වා දෙති. අධ්‍යාපන බලධාරීන් විසින් මේ සම්බන්ධයෙන් සිය අවධානය යොමු කර ඉතිහාසය විකෘති කරන වැඩපිළිවෙළ වැළැක්වීමට කටයුතු කළ යුතුව ඇතැයි උන් වහන්සේ වැඩිදුරටත් අවධාරණය කළහ.