Home » විශේෂාංග »  සසුනේ ආයුෂ තව වසර 2440 ක් ද

 සසුනේ ආයුෂ තව වසර 2440 ක් ද

හෑගොඩ විපස්සි හිමි

රත්මලානේ ආදර්ශ නගරයේ ධර්ම පර්යේෂණාලයේ අධ්‍යක්ෂ හෑගොඩ විපස්සි හිමි

මෙම ලිපියෙහි මුල් කොටස වෙසක් පුර පසළොස්වක පත්‍රයේ පළ විය

උක්ත චුල්ලවග්ග පාලියේ භික්ඛුනීඛන්ධකයේ පාඨයත්, බුදුරජාණන් වහන්සේගේ පරිනිර්වාණයෙන් වසර පන්සීයකට පමණ පසු ඇති වු මිළිඳු නාගසේන සංවාදයේ එන අධිගම අන්තර්ධාන, පටිපත්ති අන්තර්ධාන, ලිංග අන්තර්ධාන කතා ප්‍රවෘත්තින් පදනම් කොට ලියන ලද සමන්තපාසාදිකා විවරණ හේතු කොට “පන්දහසක් කල් පවත්නා බුද්ධ ශාසනය” යන ව්‍යවහාරය ගොඩ නැගී ඇතැයි අනුමාන කළහැකිය.

ඊට තවත් සාක්ෂ්‍යක් වශයෙන් අටුවාවලට වඩා පැරණි දීපවංසය, බුද්ධශාසනයේ ආයු කාලය පිළිබඳ ඉදිරිපත් කොට ඇති අදහසක් පෙන්වා දිය හැකිය. එනම් “යම්තාක් කල් නවලෝකෝත්තර ශ්‍රී සද්ධර්මයෝ පවතිද්ද,යම්තාක් කල් සද්ධර්ම සංග්‍රහය විනාශ නොවන්නේද, ඒතාක් ශාස්තෘන් වහන්සේගේ ශාසනය ඉතා දීර්ඝ කාලයක් පවතින්නේ වෙයි යනුවෙන් සඳහන්ය. මුල් බුදුසමයට අයත් මජ්ක්‍ධිම නිකායේ භද්දාලි සූත්‍ර වැනි දේශනාවලට අනුගතව මෙම විවරණය කොට ඇත. අට්ඨකථාචාරි බුද්ධඝෝෂ හිමියන්ගේ ජීවමාන සමය 4-5 සියවස් ලෙස සැලකේ. ඒ අනුව 4 වන සියවසේ සිට මේ මතය තිබෙන්නට ඇත.

මේ ප්‍රස්තූතයෙහි විසිතුරු විස්තර කථනයන් පාලි සිංහල මූලාශ්‍රයන්හි අන්තර්ගත වේ. එනම්

  1. අධිගම අන්තර්ධානය
  2. ප්‍රතිපත්ති අන්තර්ධානය
  3. පරියාප්ති අන්තර්ධානය
  4. ලිංගඅන්තර්ධානය,
  5. ධාතු අන්තර්ධානය

අධිගම –අන්තර්ධානය

මාර්ගඵල ප්‍රතිසම්භිධා, ත්‍රිවිද්‍යා, අභිඥාය යන මේවා අධිගමයි. බුද්ධ පරිනිර්වාණයෙන් අවුරුදු දාහක් මුළුල්ලේ භික්ෂූන් වහන්සේ සිව්පිළිසිඹියා (පටිසම්භිධා) සහිතව රහත් වෙති. කල්යත්ම එසේ නොහැකි වී ෂඩ් අභිඥා ති‍්‍රවිද්‍යා සහිතව රහත් වෙති. අනතුරුව එසේ විශේෂතා ලබාගැනීමට නොහැකිව සුක්ඛ විපස්සකව රහත් වෙති. ඊට පසු කාලවලදී ක්‍රමයෙන් පිරිහී අනාගාමී ,සකෘදාගාමී. සොතාපන්න වර්ගයෙන් පමණක් මාර්ගඵල ලබති. එසේ අවසාන සොතාපන්නයාගේ අභාවයෙන් අධිගම අන්තර්ධානය වේ.

ප්‍රතිපත්ති අන්තර්ධානය

මාර්ගඵල නිපදවා ගත නොහැකිවූ කල්හි භික්ෂූුහු චතුපාරිශුද්ධ ශීලයම රකිති. කල් ගතවෙත්ම කුඩා, අනු කුඩා ශික්ෂාපද උල්ලංඝනය කරති. සතර පාරාජිකා පමණක් රකිති. එබඳු භික්ෂුන් සිටින කළ ප්‍රතිපත්ති ශාසනය පවතියි.අන්තිම භික්ෂුවගේ ශීල භේදයෙන් හෝ මරණයෙන් ප්‍රතිපත්ති ශාසනයද අතුරුදහන් වේ.

පර්යාප්ති අන්තර්ධානය

පර්යාප්ති යනු, අටුවා ටීකා සහිත බුද්ධ වචනය ඉගෙන ගැනීම, ඉගැන්වීම, ධාරණය කර ගැනීමයි. කල්යත්ම කලි යුගයෙහි රජවරු අධාර්මික වෙති. ඒ නිසා ඇමැතියන් රට වැසියන්ද අධාර්මික වන හෙයින් රට සශ්‍රීක නොවන්නේය.එහෙයින් ඇතිවන දුර්භික්ෂය හේතු කොට ගෙන භික්ෂූවටද සිව්පසය හිඟ වී පර්යාප්ති ධාරණයට හෝ අධ්‍යයනයට නොහැකි වෙයි. එනිසා ගැඹූරු අර්ථ සහිත අභිධර්ම පිටකය තේරුම් ගැනීමට නොහැකි වෙයි. ඉන්පසු සූත්‍රපිටකයත් පිරිහෙයි. ලාභ, සත්කාර, කීර්ති ප්‍රශංසාකාමි භික්ෂූහු ජාතක පමණක් ධරති. කල්යත්ම ඒවාද පිරිහී ගොස් විනය පිටකයෙන්ද යටත් පිරිසෙන් සතර පදයක ගාථාවන් පවා ද දන්නා හෝ තේරුම් කර දිය හැකි භික්ෂුවක් සොයාගැනීමට හෝ නොහැකි වෙයි. මෙසේ වු කල්හි පර්යාප්ති අන්තර්ධානයයි කියනු ලැබේ.

ලිංග අන්තර්ධානය

එසේ පර්යාප්ති පිරිහුණු කල්හි භික්ෂූන්ගේ පාත්‍ර සිවුර ගැනීම් ඉරියව් පැවැත්වීමේ ආදි චර්යා ප්‍රසාද ජනක නොවේ. බමුණන් නිගණ්ඨයෝ මෙන් ඇවිදිති. පසුව ඒවාද හැර දමා කහපටියක් අතෙහි හෝ කරෙහි බැඳ අඹූදරුවන් රකිමින් ගොවිතැන් වෙළහෙළදාම් ආදී විවිධ රැකී රක්ෂා ආදිය කරමින් ජීවත් වෙති. මෙසේ හැසිරෙන භික්ෂූන් කාෂාවකණ්ඨක යනුවෙන් මජ්ක්‍ධිම නිකායේ උපරිපණ්ණාසක දක්ඛිණා විභංග සුත්‍රයේ දී හඳුන්වා ඇත. කල්යත්ම කහකඩ (පටි) ද ඉවත ලා සිටියි. එකල් හි ලිංග අන්තර්ධානය ලෙස හැඳින්වේ.

ධාතු අන්තර්ධානය

අධිගම ප්‍රතිපත්ති, පර්යාප්ති, ලිංග අතුරුදහන් වූ කල්හි එකල මිනිසුන්ගේ ශ්‍රද්ධා බුද්ධිය මදවීම නිසා පූජා සත්කාර නොලබන්නා වු ධාතුන් වහන්සේලා බුදුන්ගේ අධිෂ්ඨාන බලයෙන් සත්කාර සම්මාන ලබන තැනකට වඩිති. කල්යත්ම හැම තැන්හිම සත්කාර සම්මාන නොවේ. එකළ ලක්දිව සෑම සර්වඥධාතුන් වහන්සේලා රුවන්වැලි දාගැබට වඩිති. එතැනින් නා දිවයින රාජායතන චෛත්‍යයට වඩිති. ඉන්පසු මහබෝමැඩයට වඩිති. නාලොව, දෙව්ලොව ධාතුහුද වඩිති. සියලු ධාතුන් වහන්සේලා මහා බෝධි පර්යංකයෙහි රැස්වී බුදුරජාණන් වහන්සේගේ වෙස්ගෙන දෙතිස් මහා පුරිස් ලකුණෙන්, අසූ අනුව්‍යඤ්ජනයෙන්, ව්‍යාම ප්‍රභාවෙන් සම්පූර්ණව බෝ මැඩ පලක් බැඳ වැඩ සිටිති. සවනක් ඝන බුදුරැස් බඹලොව දක්වා විහිද අනන්ත අපරිමාන සක්වලට ද දිවන්නේය. එයින් සියලු දෙව් මිනිස්සු රැස්වෙති. අද බුදුහු පිරිණි වෙති. මේ අපගේ අන්තිම දර්ශනයයි. හඬා වැළපෙති. එකල්හි ජීවමාන බුදුන් සෙයින් යමක ප්‍රාතිහාර්යය පා පිරිනිවන් පාති. මෙසේ ධාතු අන්තර්ධාන වර්ණනාතික්‍රාන්තියෙන් ලියන ලද අභව්‍ය සිද්ධීන්ය.බුද්ධ දේශනාව අනුව මේ අදහස කිසිසේත්ම තහවුරු කළ නොහැකිය. අප මෙතෙක් සාකච්ඡා කළේ ඒ ඒ අවධීන් හි ශාසනායුෂය පිළිබඳ ගොඩනැගී ඇති මතිමතාන්තරයි.

සදහම් මග අතුරුදහන් වීම, සිදුවන හේතු විශාල සංඛ්‍යාවක් දේශනා පාලියේ සඳහන් වේ. ඒවායෙන් එකක් දෙකක් පමණක් මෙහිදී පෙන්වා දීම වැදගත්ය. එනම් පෙර අප බුදුරජාණන් වහන්සේ විසින් පනවන ලද ශික්ෂා පද ඉතා අල්පයි. එහෙත් බොහෝ භික්ෂුන් රහත් බැව්හි පිහිටියාහුය. දැන් පනවන ලද ශික්ෂාපද බොහෝ. එහෙත් රහත් බැව්හි පිහිටන භික්ෂූහු අඩු වෙති. ඊට හේතු කවරේදැයි මහාකස්සප මහ රහතන් වහන්සේ බුදුරජාණන් වහන්සේගෙන් විමසන ලද අවස්ථාවන් සද්ධම්ම පතිරූපක සුත්‍රයෙහි සඳහන්ය. එය යක්කඩුවේ ප්‍රඥාරාම හිමියන්ගේ වචනවලින් දක්වමු. “කාශ්‍යප සත්වයන් ප්‍රතිපත්ති පිරීමෙන් පිරිහෙද්දී, සද්ධර්මය,ශාසනය, අන්තර්ධානය වෙද්දී, ශික්ෂාපද වැඩි වෙයි. රහත්වීම අඩු වෙයි. වදාරා රත්රන් වතුරේ දමා රන් ඔපය ගන්නා රත්රන් පෙනුම ඇති කළ නිසා රත්රන් අතුරුදහන් නොවෙයි. රත්රන් නොපෙනී රත්රන් වගේ පෙනෙන දේ ලොව පහළ වීමෙන් පසු රත්රන් නොපෙනී යයි. ඒවාගේ කාශ්‍යපය, සද්ධර්මය මෙන් පෙනෙන දේ ලොව පහළ නොවනතුරු සද්ධර්මය අතුරුදහන් නොවෙයි. සද්ධර්ම පෙනුම ඇති දේ පහළ වු දා සද්ධර්මය නැතිවීයයි.අහන දකින විට ඒ වගේ පෙනෙන ප්‍රතිපත්ති පෙනුම ඇති දුෂ්ප්‍රතිපත්තිත්,ධර්ම පෙනුම ඇති අධර්මත්, විනය පෙනුම ඇති අවිනයත්, ලොව ඇති නොවන තුරු ඒවා නොනැසී පවතියි. ශ්‍රමණ පෙනුම ඇති අශ්‍රමණයන්, මහණකම නැතිකරගෙන පෙනුමෙන් වේෂයෙන් පමණක් මහණුන් වගේ පෙනෙමින් අපිත් ශ්‍රමණයම්හ” යි කියමින් මහණුන් අතර හැසිරෙන ශ්‍රමණ ප්‍රතිරූපකයන් පහළ වු විට මහණකමත් අතුරුදහන් වුවා නම් වෙයි. ඒ ඒ පෙනුම ඇති දේ පහල වු විට ඒ ඒ දේ නැති වෙලා යයි.

සද්ධර්මය අන්තර්ධානය කරන්නේ කාශ්‍යපය, පෘථිවි ධාතුව හෝ නොවෙයි. ආපෝ ධාතුවද නොවෙයි. තේජෝ ධාතුවද නොවෙයි. වායො ධාතුවද සද්ධර්ම අන්තර්ධානය නොකරයි. එසේ නම් කාශ්‍යප සද්ධර්මය අන්තර්ධානය කරන්නෝ කවරහුද සද්ධර්මය අන්තර්ධාන කරන හිස් මිනිස්සු ඒ තුච්ඡ පුද්ගලයෝ කාශ්‍යප ,මේ ශාසනයෙහිම ඇති වෙත්, ඒ හිස් මිනිස්සු කාශ්‍යප ,මේපර්ය්‍යාප්ති ප්‍රතිපත්ති ප්‍රතිවේධ සංඛ්‍යාත ත්‍රිවිධ සාසනය නසා වනසා දමත්,

තවද කාශ්‍යපයෙනි මේ සසුනේ අතුරුදහන් වීම පිණිස නැසීම පිණිස හේතුවන කරුණු පහකි. එනම් භික්ෂු, භික්ෂූණි, උපාසක,උපාසිකා යන සිව්වනක් පිරිස

  1. ශාස්තෘන් වහන්සේ ගැනත්
  2. ධර්මය ගැනත්
  3. සංඝයා ගැනත්
  4. ශික්ෂා ගැනත්,
  5. සමාධි භාවනා ගැනත් ගරු සරු නැතිව නොසලකා හැරීමයි.

බුද්ධත්වයෙන් වසර විස්සක් ගතවන තෙක්ම විනය නීති පැනවීමක් නොතිබුණේය.එම නිසා වරක් සැරියුත් රහතන් වහන්සේ බුදුරජාණන් වහන්සේගෙන් ශාසනය දිගු කලක් පවතිනු පිණිස ශික්ෂා පද පනවන ලෙස ඉල්ලා සිටිති. එම අවස්ථාවේ දී බුදුරජාණන් වහන්සේ වදාළේ භික්ෂූන් කෙරෙහි යම් කලෙක ආසවට්ඨානීය ධර්ම එනම් රත්තඤ්ඤුමහන්තතා (සාසනයේ බොහෝ කල් ගත වූ භික්ෂූන් සංඛ්‍යාව වැඩිවීම) වෙපුල්ලමහන්තතා (ලාභ සත්කාර කීර්ති, ප්‍රසංසා බහුල වීම) බාහුසච්චමහන්තතා (විවිධ විෂයන් පිළිබඳ දැනීම වැඩිවීම) යන කරුණු ඇති වූ කල්හි ශික්ෂා පනවන බවයි.

ශාසන විනාශයට හේතු වශයෙන් බුදුරජාණන් වහන්සේ වදාළේ අනාගත කාලයේ ගැඹුරු අරුත් ඇති සූත්‍ර පැහැදිලි කරන ධර්ම, ගිහියන් පමණක් නොව පැවිද්දන් ද ශ්‍රවණය නොකරන බවත් ඒවා අවබෝධ කිරීමට උත්සාහ නොගන්නා බවත් ය. එහෙත් ජන කවියන් සේ විසිතුරු ලෙස කියන වැරදි දහම් ශ්‍රවණය කිරීමට රුචි කරන බවත් එමගින් සතුටු වන බවයි. තවද අනාගත කාලයේ බොහෝ ගිහිපැවිද්දෝ ගැඹුරු ධර්මවිනය ගැන දැනුමක් නැතිවම දන්නෝ යැයි සිතමින් බොහෝ වැරදි අර්ථ කථන දෙති. ධර්මය ගැනත් ඔවුහු එකිනෙකා ගැනත් කිසි ගරුසරුවක් නොදක්වති. විනය බණදහම් කනපිට පෙරළමින් කෙලෙසන්නෝ වෙති. ධර්මවිනය ගැන දැන උගත්කම් නැතත්, ලාභ සත්කාර ආදී ප්‍රබලකම් හා පක්ෂ බල නිසා එඩිතරව සඟ මැද ධර්මය අධර්මය ලෙසත්, විනය අවිනය ලෙසත්, අධර්මය ධර්මය ලෙසත්, අවිනය විනය ලෙසත්, ප්‍රකාශ කරති. ලජ්ජා භය නිසා වාද බිමට නොබසින සිල්වත්, ගුණවත් ධර්මධර භික්ෂූහු ධර්ම විනය යථා තත්ත්වයෙන් ඉදිරිපත් කරතත්, දුර්වල වී යන්නාහුය ආදි වශයෙන් ථෙරගාථා පාලියේ සඳහන්ය.

මේ කරුණු පරික්ෂා කිරීමේ දී පැහැදිලි වන්නේ පන්දහසේ වර්ෂ ප්‍රමාණය බුද්ධඝෝෂ හිමියන්ගේ අටුවාකරණයත් සමඟ ලාංකේය ජන සමාජය තුළ තහවුරු වූ බවයි. එසේ වුවත් සද්ධර්මය අතුරුදහන් වන්නේ අවුරුදු පන්දහකින් යැයි නිගමනය කිරීමක් හෝ එවැනි නිගමනයකට පසුබිමක් හෝ බුද්ඝෝෂ හිමියන්ගේ අටුවා විවරණ ඉඩ නොදෙයි. එසේම වසර පන්දහසකින් ශාසනය අතුරුදහන් වන කථාව බුද්ධ දේශනාවේ කිසි තැනෙක සඳහන් නොවේ. ඒ පිළිබඳ අපට කිසිඳු විවාදයක් නැත. ඒ වකවානුවල ශාසනික සංස්ථිතීන්ගේ පරිණාමීය ධර්මතා අනුව පුරාතන බෞද්ධාචාරවරයෝ, එවන් සංකල්පීය මතයක් ඉදිරිපත් කොට ඇත්තාහ. ව්‍යක්ත, විනීත විශාරද, බහුශ්‍රැත,ධර්මානුධර්ම ප්‍රතිපන්න ස්වකීය ආචාර්ය වාදයන්හි විශද ප්‍රඥාසාරයෙන් යුක්ත ඒ උතුමන්ගේ සප්‍රාමාණික මතවාදයන් හුදු මනඞකල්පිත කියා ප්‍රතික්ෂේප කිරීමට ඉක්මන් වීම බුද්ධිගෝචර නොවන්නේය.

කෙසේ වුවත් ධර්මය තිබුණත් විනය තිබුණත් නිවන් මග තිබුණත් ප්‍රතිපත්ති පුරන්නවුන් පිරිහී ගිය විට සද්ධර්මය, ශාසනය පිරිහී යන වග බුද්ධ දේශනාව අනුව ඉතා ප්‍රකට කරුණකි. එම නිසා බුද්ධ ශාසනයේ සංස්තිථිය අවුරුදු සියයකින් හෝ දහසකින් හෝ පන්දහසකින් හෝ දසදහසකින් හෝ ලක්ෂයකින් හෝ තීරණය කරුණු ලබන්නේ ප්‍රතිපත්ති පුරන පැවිද්දන් හෝ ගිහියන් විසිනි. එම නිසා බුද්ධානුශාසනා යම් තාක් දුරට පිළිපදී ද ඒතාක් දුරට ශාසනයාගේ ආයුෂ තීරණය වන්නේය.

උපුටා ගත් ලිපිය //www.lakehouse.lk/budusarana/2016/05/29/tmp.asp?ID=fea06