Home » විශේෂාංග » මේ ධර්ම සංගායනාවක් පැවැත්වීමට සුදුසු කාලයයි

Siluminaලෝකයේ කිසිදු ආගමකට දර්ශනයකට සම කළ නොහැකි බෞද්ධ දර්ශනයේ දාර්ශනික අගය වර්තමානයේ යටපත් වෙමින් පවතින බව දක්නට ලැබෙන්නේ බෞද්ධ අබෞද්ධ ඇතැමුන්ගේ ක්‍රියාකාරකම් හරහා ය. එමෙන් ම ජාත්‍යන්තර වශයෙන් බුදු දහම යටපත් කිරීමේ ව්‍යාපාර දියත් වන බවට සාක්ෂි ලැබෙන්නේ මෑත ඉතිහාසයේදී පමණක් නොවේ. පුන්කලස විශේෂ වෙසක් අතිරේකයට අදහස් දැක්වූ රත්මලාන ආදර්ශ නගරයේ ධර්ම පර්යේෂණාලයේ අධ්‍යක්ෂ හෑගොඩ විපස්සි හිමියන් අවධාරණය කරන්නේ ධර්ම ප්‍රචාරය හරහා අන්‍යාගමිකයන් අතින් සේම බෞද්ධයන් අතින් ද ථෙරීය සම්ප්‍රදායේ බිඳ වැටීමක් සිදුවන බවයි.

ar-10ලෝකයේ සියලු ආගම් උච්ඡේද හෝ ශාස්වත දෘෂ්ටිවලින් යුක්ත යි. දිගින් දිගට ගමන් කරන ආත්මයක් තිබෙන බව පිළිගැනීම ශාස්වත දෘෂ්ටියයි. උච්ඡේදවාදය එහි විරුද්ධ බවයි. ප්‍රාග් බෞද්ධ යුගයේත් මෑත යුගයේත් වර්තමානයේත් මේ දෘෂ්ටින් සමාජයේ දකින්න ලැබුණා. මෑත කාලයේ හිටිය හිට්ලර් වැනි පාලකයන්ට තිබුණේ උච්ඡේද දෘෂ්ටිය ඒ අය පින් පව් ගැන සැලකුවේ නෑ.

මේ දෘෂ්ටි දෙකට ම අයත් නොවන එක ම දහම වන්නේ බුදු දහමයි. බුදු දහමේ ආත්මය කියා දෙයක් නැහැ. ඒත් අපේ තියෙන භාෂාමය ගැටලුවක් නිසා ඇතැම් අයට බුදු දහමත් ආත්මවාදී දර්ශනයක් කියා සිතෙන්න පුළුවන්.

ඒ පුනර්භවයක් පිළිබඳ ව බුදු දහම පිළිගන්නා නිසා යි. ඒ පුනර්භවය දිගින් දිගට යන ආත්මයක් නොවෙයි. එහි නැවතීමක් තියෙනවා. බුදු දහම උච්ඡේද හා ශාස්වත කියන දෘෂ්ටි දෙකට ම පටහැනි ව ගිය දහමක් නිසා මේ දහම තුළ කාටවත් ගැටීම් ඇතිවෙන්නේ නැහැ.

මනුෂ්‍යත්වය, පමණක් නෙවෙයි සමස්ත ලෝක සත්ත්වයාත්, ජීව අජීව සියලු වස්තු පිළිබඳවත් මේ දහමේ කතා කෙරෙනවා. අර කියපු ඇතැම් වගේ ඒකාංශක සාකච්ඡා බුදු දහමේ නැහැ. සමස්ත ලෝකයේ සංරක්ෂණය ගැනයි බුදු දහම සාකච්ඡා කරන්නේ.

බුදු දහමේ ගැඹුරු ගුණය මේ වුවත් බුදු සමය නියෝජනය වන්නේ අපේ ක්‍රියාකාරකම් හරහා යි. ඒ නිසා අප ක්‍රියාත්මක වන ආකාරය මුල් බුදුසමය නියෝජනය කරනවා ද යන්න වර්තමානයේ විශාල අර්බුදකාරී තත්ත්වයක් ඇතිකර තිබෙනවා.

බුදු දහම කිසි විටෙකත් බිඳ වැටෙන්නේ නැහැ. ඒත් එය යටත් වීමක් විවිධ යුගවලදී සිදුවී තිබෙනවා. අප සොයා බැලිය යුතු වන්නේ එබඳු අවස්ථාවලදී බුදුරජාණන් වහන්සේ ඇතුළු ව ප්‍රඥාසම්පන්න භික්ෂුන් වහන්සේලා ක්‍රියා කළේ කෙසේ ද යන්න යි. බුද්ධ කාලයේ වුවත් දේවදත්ත භික්ෂුව චබ්බග්ගිය භික්ෂුන් ඇතුළු බුදු සසුනේ පැවිදි වූවන් පවා බුදු දහම යටපත් කිරීමට ගත් උත්සාහයක් පැහැදිලියි.

ඊට අමතර ව විවිධ තීර්ථකයන් හා අන්තවාදී දර්ශන දැරුවන් ද ඒ අතර වෙනවා. ඒත් ඒ යුගයේ ඒ කිසිවකට බුදු දහමේ ව්‍යාප්තිය ඛණ්ඩනය කිරීමට හැකි වූයේ නැහැ. මක් නිසා ද දහම ආරක්ෂා කරගැනීමේ විවිධ ක්‍රමවේද ඒ අවස්ථාවලදී ක්‍රියාත්මක කළා.

ඒ අතර බුදුන් වහන්සේ විනය ශික්ෂාවන් පැනවීමක් දක්නට ලැබෙනවා. බුද්ධ ශාසනය පිහිටුවා වසර විස්සක් ගත වන තුරුත් කිසිදු ශික්ෂාවක් පැනවීමට අවශ්‍ය වුණේ නැහැ. ස්වයං විනයක් ශාසනය තුළ දකින්න ලැබුණා.

ඒ යුගයේ බුදු දහම වැලඳගත් කාගේත් අරමුණ වූයේ නිර්මාණය පමණයි. එමෙන්ම බුද්ධ පරිනිර්වාණයත් සමඟ සුභද්‍ර නම් භික්ෂුවගේ අභද්‍ර වචන නිසා ශාසනික අර්බුදයක සෙවණැලි පහළ වන්නට වන බව රහතන් වහන්සේලාට හැඟී ගියා. ඒ සමඟම උන්වහන්සේලා සිදු කළේ ධර්ම සංගායනාවක් සිදු කර සම්මුතින්ට එලැඹීම යි. එය පසුකාලීන ව කතිකාවන් දක්වා විකාශය වූ බව දකින්න ලැබෙනවා.

අපේ ඉතිහාසය බැලුවොත් මෙසේ වසර 300 – 400 ක් වැනි කාලවලදී ශාසනික පරිහානියන් සිදුවී ඇති බව දකින්න ලැබෙනවා. ඒ අවස්ථාවලදී එකී අර්බුදය නිරාකරණය කරනු වස් විවිධ සම්මුතින්ට එලැඹිමක් සිදුවී තිබෙනවා.

ශාසනය පරිහානියට හේතු ලෙස බුදුන් දක්වා ඇත්තේ භික්ෂුන් ආසවට්ඨානීය ධර්මවලට යොමුවීම යි. ලාභ කීර්ති ප්‍රසංශා පිටුපස භික්ෂුව නොයා යුත්තේ ඒ නිසයි.

අනෙක් සියලු ආගම්වල මෙන් ම බෞද්ධයා ද ධර්ම ප්‍රචාරය සඳහා යම් ක්‍රියාමාර්ග අනුගමනය කරයි. මෙතනදී අප මතක් කර ගත යුතු වන්නේ බුදුරජාණන් වහන්සේ ප්‍රථම රහත් සැටනම අමතා කළ ප්‍රකාශයයි. “චරත භික්ඛවේ චාරිකං බහු ජන හිතාය බහු ජන සුඛාය…” බොහෝ දෙනාගේ හිත සුව පිණිස ධර්ම ප්‍රචාරයේ නිරතවීම අපේ ආධ්‍යාත්මික රීතියයි.

අප ම ඒ රීතියෙන් මිදී හුදු ජනපි‍්‍රයතාව සොයා විවිධ මාදිලියේ ප්‍රචාරාත්මක වැඩසටහන්වලට යාම අසීරුයි. මක් නිසා ද එවිට අපේ මුල් බුදුසමයේ දාර්ශනික අගය බිඳ වැටෙන බැවිනි. අනෙක් ආගම් ප්‍රචාරයේදී බලහත්කාරයෙන් බඳවා ගැනීම්, ලාභ සත්කාර ලබා දී බඳවා ගැනීම්, රවටා හාස්කම් පෙන්වා බඳවා ගැනීම් සිදුවිය හැකි වුවත් අපට ඒවා අනුගමනය කළ හැකි වන්නේ නැහැ.

කෙනෙක්ට බුදු දහමට ඇතුළුවීමටත් පිටව යාමටත් පූර්ණ නිදහස තිබෙනවා. ඒ නිදහස මනුෂ්‍යත්වයට බාහිරින් වූ කිසිදු බලවේගයකට සීමා කළ නොහැකියි. සර්ව බලධාරී දෙවිවරු අපේ දර්ශනයේ නැහැ.

බුදුන් දේශනා කළේ “සුද්දි අසුද්දි පච්චත්තං නාඤ්ඤ මඤ්ඤ විසෝදිය” (පිරිසිදු අපිරිසිදු භාවය ඇතිකරගන්නේ තමාම යි) ලෙසයි. තමන් කළ යුතු නො කළ යුතු දේ මිස බුදු දහමේ නීති නැත. ප්‍රශ්න කළ නොහැකි තත්ත්වයන් නැත. අප ධර්ම ප්‍රචාරය කරනවානම් එය කළ යුත්තේ පූර්ණ අවබෝධයකින් ය.

පෘතුගීසින් ලංකාවට පැමිණියේ එක් අතකින් බයිබලයත් අනෙක් අතින් තුවක්කුවත් රැගෙනයි. “එක්කෝ ඔවුන්ගේ ආගම වැළඳ ගැනීම නැත්නම් මරණය” බලහත්කාරයෙන් ආගමට බඳවා ගැනීමේ දිගු ඉතිහාසයක් ඔවුන්ට තිබුණා.

මුස්ලිම් සංස්කෘතියේ ව්‍යාපෘතියත් එබඳු ඉතිහාසයකට උරුමකම් කියනවා. බුදුදහමේ මෙන් ලෝභ ද්වේශ මෝහ යන අකුසල මූල සිද්ධාන්තයන් පිළිබඳ අවබෝධයක් ඔවුන් තුළ නැහැ. ඔවුන් වර්ධනය දුටුවේ සංඛ්‍යාත්මකව පමණයි.

බෞද්ධයන්ගේ අසරණකමවලට පිහිට වී ඔවුන් ආගමට හරවා ගැනීම අදත් බොහෝ ප්‍රදේශවල දක්නට ලැබෙනවා. මෙය බුදු දහමේ ‘කරුණාව‘ කියන සංකල්පයට විරුද්ධයි. කරුණාව තුළ ලාභ සත්කාර අපේක්ෂාවක් වැනි යටි අරමුණු අන්තර්ගත වෙන්නේ නැහැ.

අනෙක් කාරණය නම් අන්‍ය ආගමික පූජා විධි බෞද්ධ පූජා විධි සමඟ සම්මිශ්‍රණය කිරීමයි. මෙය සිදුවන්නේ භික්ෂුන් වහන්සේලා අතින්ම ය. ඊට හේතුව විශේෂයෙන් ථෙරීය සම්ප්‍රදාය පිළිබඳ ව දැනුම හීන වීම ය.

මෙත් බෝසත් විවරණ පූජා, මහාමායා පූජා, විවිධ මල් වර්ගවල පූජා, අමුතු පෙරහර වර්ග මෑත කාලීන ව අපට දැක ගැනීමට හැකි වුණා. අපට ආමිස පූජා ක්‍රමයක් හා පෙරහර ක්‍රමයක් අනන්‍ය ලෙස තිබෙනවා.

ඒවාට පටහැනි ලෙස තවත් පූජා හඳුන්වා දෙන්නේ ඇයි? මේ පූජා සංස්කෘතින් බොහොමයක් අන්‍ය ආගම්වලින් සම්බන්ධ කරගත් ඒවා යි. එයින් සිදුවන්නේ කුමක් ද? බුදු දහම ඒ සියලු ආගම් හා සමාන වීමයි.

ඒ මඟින් අපේ ගැඹුරු දහම යටපත් වී ආත්ම වාදය ඉස්මතු වෙනවා. සර්ව බලධාරී දෙවියන් සියල්ල පාලනය කිරීමට උත්සාහ ගන්නවා. මෙය අපේ සංස්කෘතියේ ද විනාශයට හේතු වෙනවා. ඉන්දියාවෙන් ථෙරීය බුදු දහම විනාශ වූයේ ද සංකරාචාරීන්ගේ එබඳු ක්‍රියාවල බලපෑමෙන් බව අමතක නො කළ යුතු ය.

එමෙන්ම අපට ම ආවේණික වූ අප උත්තරීතරත්වයෙන් සලකන ඇතැම් වචන ඒ අය භාවිත කරනවා. භාෂාවේ වචන භාවිතයට නීති දමන්න බැහැ. එහෙත් භාෂාවේ සම්මුතින් ද අපට බිඳ දැමිය නො හැකියි. 2010 අපි‍්‍රයෙල් 25 දින පුවත්පතක පළවී තිබුණා කිතුනු සංඝ දිනයක් පිළිබඳ ව. සංඝ කියන වචනය මෙතෙක් භාවිත වූයේ භික්ෂුන් වහන්සේලාට පමණයි.

ඔවුන්ගේ පූජකයන්ට වෙනම නාමයන් තිබුණා. ඒ පූජකයන් පූජ්‍ය තත්ත්වයෙන් සලක සංඝ යන නාමය යොදා ගැනීමේ අරමුණ කුමක් ද? මේ ආගම් සමාන කිරිමට යාමේ ප්‍රයත්නයක්. එසේ බුදු දහම සමඟ සමාන කළ හැකි වෙනත් ආගමක් තිබේ ද? එමෙන් ම පසුගිය දිනවලදී “ධාතු” යන වචනය පිළිබඳවත් එබඳු ගැටලුවක් පැන නැග තිබුණා.

ඒ වගේම ‘ආරාම’ කියන වචනය භාවිත වුණේ පන්සලම යි. එය අපට ම ආවේණික වචනයක්. එහි තේරුම ‘ඇලෙන තැන’ යන්නයි. ආරාමයේ දී ඇලෙන්නේ යහපතෙහි මිසක් ලෝභ ද්වේශ මෝහවල නොවෙයි. මේ ගැඹුරු අර්ථයෙන් ඔබ්බට ගොස් එවැනි වචන භාවිතා කරන්නේ කුමන අරමුණක් ඇතිව ද?

එමෙන්ම ඇතැම් බෞද්ධ ආරාමවලට වර්තමානයේ අසපු යන නාමය යෙදීමට ද ඇතැම් භික්ෂුන් පෙලැඹී ඇත. අසපුව යනු ලෞකිකත්වයට බර යාගහෝම කරනු ලබන ස්ථානයයි. කාලිදාසගේ රඝුවංශය අභිඥාන ශාකුන්තලය වැනි කෘති කියවූ කෙනෙක්ට අතීතයේ සිට අසපු පිළිබඳ සංකල්පය වැටහෙනු නොමැත. සංස්කෘතයෙන් ආශ්‍රම පාලියෙන් අස්සම කියා කියන්නේ මේ අසපුවලට යි.

අපේ තිබුණේ ජේතවනාරාමය මිසක් ජේතවන අස්සමය නොවෙයි. ඒත් මෑතකදී බෞද්ධ චින්තනය නොදත් කෙනෙක් ත්‍රිපිටකය පරිවර්තනය කිරීමක දී ජේතවනාරාම අසපුවේ දී කියා භාවිත කර තිබෙනවා.

මේ මොනතරම් බෞද්ධ විරෝධී ප්‍රකාශයක් ද? ‘පන්සල’ ‘ආරාමය’ කියන වචන වලින් අපට දැනෙන හැඟීම ‘අසපුව‘ යන වචනයෙන් උද්දීපන කිරීමට උත්සාහ දැරීම මනෝඥ නොවේ. එය නොදන්නාකමේ පැතිකඩක් පමණි. මෙබඳු අය විවිධ පූජා හරහා ද සංස්කෘතික පරිහානියක් ඇති කිරීමට දායක වීම දුක් සහගත ය.

එමෙන්ම ලංකාවට මෑතක දී මෛත්‍රී බෝසත් සංකල්පය ජනපි‍්‍රය ලෙස සංක්‍රමණය වී ඇත. අපට ත්‍රිපිටකයේ මෛත්‍රී බෝසත් සංකල්පය දක්නට ලැබෙන්නේ අවස්ථා කීපයකදී පමණි. මක්ජීම නිකායේ චක්කවත්ති සීහනාද සූත්‍රයේ’ ත් ‘ජාතක පාලියේත්’ මෙය සඳහන් වෙනවා. එහෙත් චක්කවත්ති සීහනාද සූත්‍රයේ දී අපට පැහැදිලි වෙනවා මෛත්‍රී බෝසත් සංකල්පය මුල් බුදු සමයට ආගන්තුක දෙයක් බව.

එය මහායානයට ආවේණික දෙයක්. මහායානය ආත්මවාදය හා සෙසු හින්දු වැනි ආගම් සමඟ ගොඩනැගුණු දහමක්. ගැටලුව නම් අපට නිවන් සුව ලැබීමට අත්‍යවශ්‍ය සාධක ඇතිතරම් ත්‍රිපිටකයෙන් සොයාගත හැකිව තිබියදී අප මෛත්‍රී බෝසත් සංකල්පයක් කරපින්නා යන්නේ ඇයි? මෙය වෙළෙද ව්‍යාපාරයකි.

පසුගිය දිනවල එක්තරා මුස්ලිම් කාන්තාවක් “අඳුරෙන් එළියට” කියා කෘතියක් කළා. ඇයත් ඒ කෘතියේ මේ බෝසත් සංකල්පය ගැන කතාකර තිබෙනවා. පසුව ඇය බෞද්ධ විරෝධි පොත් පිටරට යැවීමට සූදානම් කර තිබියදී අත්අඩංගුවට ගනු ලැබුවා. මේවා ඉතාම භයානක තත්ත්වයන්. මේ සම්බන්ධයෙන් උගත් භික්ෂුන් වහන්සේලා පුළුල් ලෙස සංවාදයට භාජනය කළ යුතු යි.

ලංකාවේ මෙතෙක් භික්ෂුන්වහන්සේ කෙනෙක්ට ධර්ම දේශනයකට ආරාධනා කිරීම සඳහා ෆෝම් කොළ පිරවීමට අවශ්‍යතාවක් තිබුණේ නැහැ. ගාස්තු ක්‍රම ආදිය තිබුණේ නැහැ. ඒ වගේම විවිධ වූ ඔවුන්ට ආවේණික ප්‍රඥප්ති තිබුණේ නැහැ.

දැනට ඉතා සුප්‍රකට හිමිනමක් තමන්ගේ ව්‍යවස්ථා මණ්ඩලයක් කියලා එකක් සාදාගෙන එහි සඳහන් කර තිබෙනවා සූත්‍ර පිටකයේ ඛුද්දක නිකායේ කොටස් කීපයක් හැර පිළිගන්නා බවත්, අභිධර්මය හා අටුවාටීකා නොපිළිගන්නා බවත් විනය පිටකය පිළිගන්නා බවත්. ථෙරීය සම්ප්‍රදායේ ත්‍රිපිටකය මෙසේ නොපිළිගැනීම යනු කුමක් ද? මේවයෙන් සිදුවන හානිය පිළිබඳව මීට වඩා සැලකිලිමත් විය යුතුය.

එමෙන්ම වර්තමානයේ සර්ව පිත්තල සර්වාගමික සංකල්පය හරහා මෙතෙක් ප්‍රමුඛස්ථානය ලැබූ පූජ්‍ය භික්ෂුන්වහන්සේලා පූජක පක්ෂ සමඟ සමාන කිරීමක් දක්නට ලැබෙනවා. අතීතයේ ඇතිරිලි එළා වාඩි කරවූයේ භික්ෂුන් පමණි.

එමෙන් ම, ජනමාධ්‍යයන් ද මේ විනාශයන්ට හවුල් වී සිටිනවා. බුද්ධ දේශනාවේ ආරම්භක ධාතු, නික්කම ධාතු, පරක්කම ධාතු කියා අවස්ථා 3 ක් තිබෙනවා. යමක ආරම්භය පවත්වාගෙන යාම අවසානය දක්වා පවත්වාගෙන යාම එහි මූලික හරයයි.

ඒ මූලධර්මවලට පටහැණි ලෙසයි අද බොහෝ මාධ්‍ය පවා කටයුතු කරන්නේ. මිනිසුන්ට අධිෂ්ඨානයෙන් වීර්යයෙන් ක්‍රියා කිරීමට අත්වැලක් වෙනවා වෙනුවට මෙන්න ඔබට සතුට සම්පත ව්‍යාපාර දියුණුවට යයි කියා සෙත්කවි පිරිත් වැනි දේ නිතර ප්‍රචාරය කරනවා. අප පැය ගණන් යන්ත්‍ර ජප කර කර සිටීම යෝග්‍ය ද? එය යාඥාවේ තවත් ස්වරූපයක් ලෙස ප්‍රචලිත කිරීම මොන තරම් විනාශයක් ද?

ඒ වගේ ම මේ තරම් රාහු කාලය බලන යුගයක් අතීතයේ නොතිබූ තරම් ය. පුංචි දරුවාගේ සිට වැඩිහිටියා දක්වා වැඩ කරන්නේ රාහු කාලය බලා ය. මේ මිථ්‍යා දෘෂ්ටිය යි. රාහුට යටත් වී රට දියුණු කරන්නේ කෙසේ ද? ඒ අප ව පාලනය කරන වෙනත් සර්ව බලධාරියෙක් ද?

මේ තත්ත්වයන් පිළිබඳ වහා සංවාදයක් ගොඩනැගිය යුතු ම ය. ථෙරවාදී සම්ප්‍රදාය ත්‍රිපිටකය අටුවාව පිළිබඳ ව වගේ ම විවිධ සමාජ සම්මුතින් පිළිබඳව ද ඒකමතික තීරණයන්ට එළැඹිය යුතුව ඇත.

ඒ සඳහා සංගායනාවක අවශ්‍යතාවය එළැඹි ඇත. එසේ නොමැති වුවහොත් ඕනෑම කෙනෙක් තමන්ට අවශ්‍ය ලෙස ධර්මය විග්‍රහ කිරීමට විවිධ කෘති මුද්‍රණයට පෙලඹෙනු ඇත. අප මේ නැවත යන්නේ ප්‍රාග් බෞද්ධ යුගයකට යයි හැඟෙන්නේ එබඳු සිදුවීම් හරහා ය.

මේ පමණක් නොව අධිගමලාභීන් යැයි රහතුන් යැයි කියන පිරිස් ද සෝවාන් සහතික ලබා දෙන ආයතන ද මේ රටේ ඇත. මේ පිළිබඳ ව සංගායනාවක් හරහා නිවැරැදි ව පිළිතුරු ලබාදී සම්මුතින්ට එලැඹීමට කාලය උදාවී ඇත.

සංලාපය බුද්ධික සමන් ගුණවර්ධන