Home » පුවත් පත් ප්‍රකාශන » බුදු දහම සුරකින තුන් පිටකය

බුදු දහම සුරකින තුන් පිටකය

Divaina

 

 

 

මෙයින් වසර 2635 කට පෙර සිද්ධාර්ථ බෝසතාණන් වහන්සේ දඹදිව ලුම්බිණි සල් උයනේදී උප්පත්තිය ලැබූහ. එසේ උප්පත්තිය ලැබූ බෝසතාණෝ කුමාර අවධිය ගතකර අවුරුදු 29 යේදී අභිනිෂ්ක්‍රමණය කළහ.

එසේ අභිනිෂ්ක්‍රමණය කළ බෝසතාණෝ අවුරුදු හයක්‌ තිස්‌සේ ආලාරකාලාම වැනි තවුසන් ළඟට ගොස්‌ බුද්ධත්වය ලබා ගැනීමට උත්සාහ කළා. නමුත් සාර්ථක වුණේ නැහැ. මෙම කාලයේදී උන්වහන්සේ කළ අනුවේදනීය දුෂ්කරක්‍රියා පිළිබඳව මඡ්ඣිම නිකායේ සීහනාද සූත්‍රයේ සඳහන් වෙනවා.

ඉන්පසු උන්වහන්සේ මධ්‍යම ප්‍රතිපදාව අනුගමනය කරමින් අවුරුදු 35 දී ලොව්තුරා බුද්ධත්වයට පත්වුණා. උන්වහන්සේ බුද්ධත්වයට පත් වී දැනට අවුරුදු 2600 ක්‌ ගතවී තිබෙනවා. ඒ අනුව සිද්ධාර්ථ බෝසතාණන් වහන්සේ උප්පත්තිය ලබා අවුරුදු 2635 ක්‌ වෙනවා. අප මහා බෝසතාණෝ බුද්ධත්වයට පත්වී දේශනා කළ ප්‍රථම ධර්ම දේශනාව ධම්මචක්‌කපවත්තන සූත්‍රය. සංයුත්ත නිකායේ සච්ච සංයුත්තයේ මේ බව සඳහන් වෙනවා.

 

එහිදී බුදුරජාණන් වහන්සේ පස්‌වග තවුසන්ට මෙසේ දේශනා කළා.

යතොචද ඛෝ මේ භික්‌ඛවේ. ඉ මෙසු චතුසු අරිය සච්ෙච්සු ඒවං තිපරිවට්‌ටං ද්වාදසාකාරං යථාභූතං ඥන දස්‌සනං සුවිසුද්ධං අහෝසි. අථාහං භික්‌ඛවේ සදේවකෙ ලෝකේ සමාරකේ සබ්‍රහ්මකෙ සස්‌සවණ බ්‍රාහ්මණීයා පජාය සදෙව මනුස්‌සාය අනුත්තරං ඤාණංච පන මේ දස්‌සනං උදපාදි අකුප්පා. මේ චේතෝ විමුත්ති

Ven.Hegoda Vipassi Thero

Ven.Hegoda Vipassi Thero

 

මෙහි තේරුම මෙසේයි.

මහණෙනි, යම් කලෙක මට මේ චතුරාර්ය සත්‍ය මෙසේ තිපිරිවට්‌ටකාකාරක්‌ හා දොළොස්‌ අයුරක්‌ ඇති ඥාන දර්ශනය තතු සේ විශේෂයෙන්…. එකල්හි මට දෙවියන් සහිත මරුන් සහිත, බඹුන් සහිත ලෝකයේ මහණ බමුණන් සහිත දෙව් මිනිසුන් සහිත පූජාවෙහි අනුත්තර සම්‍යක්‌ සම්බෝධිය අවබෝධ කළෙමි යිs ප්‍රතිඥා කරමි. මට ඥාන දර්ශනය පහල විය. මාගේ අර්හත් ඵල සමාධිය වෙනස්‌ කළ නොහැකියි. (අකෝප්‍යය)

මෙහි තිපිරිවට්‌ටං යනුවෙන් එක්‌ තැනක සඳහන් වෙනවා. තිපරිවට්‌ටං යනු තුන් ආකාරයකින් චතුරාර්ය සත්‍ය අවබෝධ කළ බවයි. සත්‍ය ඥානය, කෘත්‍ය ඥානය සහ කෘත ඥානය යනු එම තුන් ආකාරයයි. දුක්‌ඛ සත්‍යය සත්‍ය ඥනය වශයෙන් අවබෝධ කර ගැනීම, දුක්‌ඛ සත්‍ය කෘත්‍ය ඥනය වශයෙන් අවබෝධ කර ගැනීම සහ දුක්‌ඛ සත්‍යය කෘතක්‌ ඥානය වශයෙන් අවබෝධකර ගැනීම, එය ආකාර තුන බව දහමෙහි වැඩිදුරටත් සඳහන් වෙනවා. ඒ අයුරින් දුක්‌ඛ, සමුදය, නිරෝධය මාර්ග යන චතුරාර්ය සත්‍ය බුදුරජාණන් වහන්සේ තිපරිවට්‌ටාකාරයෙන් අවබෝධ කරගනු ලැබු සේක. ඒ අනුව එය දොළොස්‌ ආකාර හෙවත් ද්වාදසාකාර වෙනවා.

මෙකී තත්ත්වය තේරුම් ගැනීමට එක්‌ අවස්‌ථාවක්‌ පමණක්‌ උපුටා දැක්‌වීමට කැමැතියි. මෙහිදී සත්‍ය ඥනය යනු දුක්‌ඛ සත්‍යයේ සත්‍ය ඥනයයි. පඤ්චස්‌කන්ද දුක්‌ඛය සත්‍ය ලෙස අවබෝධ වීම දුක්‌ඛ සත්‍යයේ සත්‍ය ඥානය ලෙස හඳුන්වා දිය හැකියි.

පඤ්චස්‌කන්ධය බෙදා බැලිය යුතු බැවින් පිළිසිඳ දැනගත යුතු ධර්මයක්‌ යෑයි අවබෝධ කර ගැනීම කෘත්‍ය ඥානයයි. ඒ වගේම පඤ්චස්‌කන්ධ දුක්‌ඛය අවබෝධ කළා කියන එක අවබෝධ වීම කෘත ඥානයයි.

ඒ අයුරින් සමුදය සත්‍යයත් නිරෝධ සත්‍යයත්, මාර්ග සත්‍යයත් යන්නත් තුන් ආකාරයකින් බෙදා වෙන් කෙරෙනවා. මෙම අර්ථකතනය ඉතා සෞම්‍ය සිතින් තේරුම් ගත යුත්තක්‌. මෙම ඥාන විභාගයන් සස¹ පැහැදිලි කරගත යුත්තක්‌..

කෙසේ හෝ වේවා “බුද්ධ” යන වචනය අපට හමුවෙන්නේ සිදුහත් බෝසතාණන් වහන්සේ බුද්ධත්වයට පත් වූ පසුවයි. ඉන් එහා බුද්ධ යන වචනය හමුවන්නේ නැත.

බුදුරජාණන් වහන්සේ උත්කට්‌ට සහ සේතවය යන නගර පා ගමනින් වඩිනා අවස්‌ථාවේදී උන්වහන්සේගේ පා පියවර වැල්ලෙහි සටහන් වෙනවා. එම පා පියවර දකින ද්‍රෝණ නමැති බමුණා කල්පනා කරනවා මෙම පා පියවර නම් මනුෂ්‍යයකුගේ වෙන්න බැහැයි කියා. ඒ අනුව මෙම පා පියවර ඔස්‌සේ ගමන් කරමින් මෙම පා පියවර කාගේදැයි ඉදිරියට ගමන් කළා. එසේ ගමන් කළ බමුණාට වෘක්‌ෂයක්‌ මුල වැඩසිටින බුදුරජාණන් දුටුවා. බුදුරජාණන් වහන්සේ දකින බමුණා අහනවා ඔබ දෙවියෙක්‌ද කියා.

නැත, බමුණ මම දෙවියෙක්‌ නොවේ යෑයි බුදුරජාණන් වහන්සේ එවිට උත්තර දෙනු ලබනවා.

ඔබ ගාන්ධර්වයෙක්‌ද? යනුවෙන් බමුණා නැවතත් ප්‍රශ්න කරනු ලබනවා. නැත බමුණ මම ගාන්ධර්යවයෙක්‌ද නොවෙමියි බුදුන් වහන්සේ උත්තර දෙනු ලබනවා.

එවිට බමුණා අහනවා ඔබ යක්‍ෂයෙක්‌ද කියා. මම යක්‌ෂයෙක්‌ද නොවෙමි, බුදුරජාණන් වහන්සේ නැවතත් උත්තර දෙනු ලබනවා.

ඔබ එසේ නම් මනුෂ්‍යයෙක්‌ද? බමුණා නැවතත් ප්‍රශ්න කරනු ලබනවා.

එවිට බුදුරජාණන් වහන්සේ මෙසේ දේශනා කරනු ලබනවා. බමුණ මම මනුස්‌සයෙක්‌ද නොවෙමි” යනුවෙන්.

“එසේ නම් ඔබ කවරෙක්‌ද? ද්‍රෝණ බමුණා අවසාන වශයෙන් ප්‍රශ්න කරනු ලබනවා.

එවිට බුදුරජාණන් වහන්සේ මෙසේ දේශනා කරනු ලබනවා.

බමුණු මම දෙවියකු නම් දෙවියකු තුළ තිබෙන ආශ්‍රම, කාම ආදී කෙලෙස්‌ තිබිය යුතුයි. කෙලෙස්‌ ඇතිවීමට හේතු වන ලෝභ, ද්වේෂ, මෝහ යන කිසිවක්‌ මා ළඟ නැහැ. මම යක්‍ෂයකු නම් යක්‍ෂයකු තුළ තිබෙන කාමාදීන් තිබිය යුතුයි. මා තුළ එවැන්නක්‌ නොමැත. ඒ නිසා මම යක්‍ෂයකු නොවෙමි. එසේම මනුෂ්‍යයකු තුළ හෝ ගාන්ධර්වයකු තුළ තිබෙන කෙලෙස්‌ ද මා සතුව නොමැත. ඒ නිසා මම මනුෂ්‍යයකු හෝ ගාන්ධර්වයකු නොවෙමි.

මෙහිදී බුදුරජාණන් වහන්සේ තමන් කොයි වගේ කෙනෙක්‌ද කියා අපූර්ව උදාහරණයක්‌ පෙන්වා දුන් සේක.

බමුණා නෙළුම්මලක්‌ දියෙහිම හටගෙන, හැදී වැඩී, පෝෂණය වී එම දියෙහිම ඉස්‌මතු වන්නේය. එසේම ඒ මත ඉස්‌මතු වන නෙළුම් මල දියෙහි නොගැටී තිබෙන්නේ යම් සේද, මම ද මේ ලෝකයේ මිනිසුන් අතර ඉපදී, හැදී වැඩී පෝෂණය වී නෙළුම් මල දියෙන් ඉස්‌මතු වී, දියෙහි නොගෑවී නොගැටී සිටින්නා සේ මම ද මේ ලෝකයේ මිනිසුන් අතර ඉපදී, හැදී වැඩී පෝෂණය වී, ලෝකයාට ගැටීමක්‌ නොමැතිව, ඇලීමක්‌ නොමැතිව ලෝකයේ ඉස්‌මතුව සිටින්නේය.

ඒ නිසා මම උත්තරීතර මනුෂ්‍යයෙකි. (උත්තර මනුස්‌සෝ), ඒ වගේ ම මම බුදුවරයෙකි. (බුද්ධෝති මං බ්‍රාහ්මවේධාරිනි) බමුණා, මට බුද්ධ යෑයි කියන්න යෑයි බුදුරජාණන් වහන්සේ දේශනා කළහ. මේ බව අංගුත්තර නිකායේ ද්‍රෝණ සූත්‍රයෙහි සඳහන් වේ.

බුදුරජාණන් වහන්සේ කතා කළේ පුරවැසියන්ගේ වචන. වැළඳුවේ සාමාන්‍ය මිනිසුන් අනුභවයට ගන්නා දේමයි. නමුත් මේ ගැටීමත්, ඇලීමත් උන්වහන්සේ තුළ තිබුණේ නැහැ. මෙහිදී බුදුරජාණන් වහන්සේ බමුණාට තමාට “බුද්ධ” ලෙස අමතන්නැයි දේශනා කිරීමත් සමඟ “බුද්ධ” යන වචනය ව්‍යවහාරයට එන්නාහ. බෝසතාණන් වහන්සේ බුද්ධත්වය ලැබීමට පෙර එවැනි පර්යාස (සමාන) වචනයක්‌ තිබී නැහැ. නමුත් මහාචාර්ය ඩබ්ලිව්. එස්‌. කරුණාතිලක මහතා පෙන්වාදී තිබෙනවා. සෘග් වේදයේ පස්‌වැනි මණ්‌ඩලයේ “බෝධීග්” යනුවෙන් වචනයක්‌ යෙදී තියෙනවා. එය හැරුණුකොට චතුරාර්ය සත්‍ය අවබෝධ කරගත් නිසා බුද්ධ කියන අර්ථය යටතේ කිසිවකු හැඳින්වෙන්නේ නැහැ. අප බෝසතාණන් වහන්සේ බුද්ධත්වයට පත්වීමත් සමඟයි. “බුද්ධ” යන වචනය මෙම සමාජයට එක්‌වූයේ.

අප කලින් පෙන්වා දුන් පරිදි ධම්මචක්‌කත්පවත්වන සූත්‍රයේදී පෙන්වා දෙන්නේ බුදුරජාණන් වහන්සේ චතුරාර්ය සත්‍ය අවබෝධ කරගත් නිසා “බුද්ධ” වන බවයි. එසේම අතීත, වර්තමාන, අනාගත ධර්මයන් අවබෝධ කරගත් නිසා “බුද්ධ” ලෙස හැඳින්වුණු බව අටුවාවල සඳහන් වෙනවා.

බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයට පත්වුණේ වෙසක්‌පුර පසළොස්‌වක පොහොය දිනයකයි. ඒවාගේම උන්වහන්සේ පරිනිර්වාණයට පත්වූයේත් වෙසක්‌ පොහෝ දිනකයි.

දීඝනිකායේ මහා පරිනිබ්බාන සූත්‍රයෙහි මෙසේ සඳහන් වෙනවා.

හද්දානි භික්‌ඛවේ

ආමන්තයාමී වෝ

වයධම්මා සංඛාරා

අප්පමාදේන සම්පාදේථාති

 

මෙය තමයි අවසාන බුද්ධ වචනය (අයං තථාගතස්‌ස පච්චිමා වාචා)

බුදුරජාණන් වහන්සේ පන්සාලිස්‌ වසක්‌ (අවු. 45) දෙවි මිනිසුන් සහිත මේ තුන් ලොව වාසීන්ටත් ධර්මය දේශනා කළහ. ඒ වගේම ඒ අය සසර කතරින් එතෙර කරනු ලැබුවා. ඒ නිසා වර්තමානයේත්,a අනාගතයේත් මේ ලොව සනසන්නේ බුදුදහමයි.

කෙසේ හෝ මේ සියලු දේවල් අවසානයේදී බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. මම තවත් සුළු මොහොතකින් පරිනිර්වාණයට පත් වෙනු ලබනවා. මාගේ ආයුෂ තව ටිකයි. අවසානයේදී බුදුරජාණන් වහන්සේ භික්‍ෂූන් වහන්සේ අමතා “අප්‍රමාදීව කුසල් රැස්‌ කරන ලෙස” දේශනා කරනු ලබනවා.

මෙහිදී දැක්‌වෙන “සංකාරා” කියන වචනය ඉතා වැදගත් වෙනවා. සංකාර යනු බොහෝ ගැඹුරු, අර්ථ තියෙන පළල් වචනයක්‌. පංචස්‌කන්ධයේදී එක ස්‌කන්ධයක්‌ ලෙස සංකාර ස්‌කන්ධය සඳහන් වෙනවා. ඒaවගේත් භව කියන වචනයෙනුත් සංකාර යන්න අදහස්‌ වෙනවා. කර්මයටත් සංකාර කියලා සඳහන් කරනවා. සංකාර යන වචනයේ තේමාව වන්නේ එකතුවයි. නැතහොත් රැස්‌වීමයි. එකතුවන්නේ කුසල් හෝ අකුසල්. ඒ නිසා පුඤ්ඤාධිකාරී සංකාර කුසල්, අපුඤ්Æයි සංකාර අකුසල්, සහ අමිත්තඤ්ඤායි සංකාර කුසල් (අරූපාලෝකවල ඉපදීම ඉවහල් වන කුසල්) යන අවස්‌ථාවල “සංකාර” යන්න සඳහන් වෙනවා. මේ සියලු දේවල් සංස්‌කාරයන් සංස්‌කාර යන්න ත්‍රිපිටකයේදී නොයෙක්‌ ආකාරයෙන් විග්‍රහ කර තිබෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කළේ අපේ පඤ්චස්‌කන්ධය ඇතුළු මේ සියලු සංස්‌කාරයන් අනිත්‍ය බවයි. ස්‌ථිර නැති බවයි. කවදාක හෝ විකෘති වන බවයි. ඒ නිසයි අප්‍රමාදීව කුසල් රැස්‌කරන ලෙසට අවසන් බුද්ධ වචනයේ සඳහන් වන්නේ.

පන්සාලිස්‌ වසක්‌ තිස්‌සේ බුදුරජාණන් වහන්සේ දේශනා කළේ උන්වහන්සේ අවබෝධ කරගත් සියලු ධර්මය නොවේ. මේ පිළිබඳව සින්සපා සූත්‍රයේ සඳහන් වෙනවා.

බුදුරජාණන් වහන්සේ මහා ඇක්‌ටේරියා වනාන්තරයක වැඩම කරන අතරේ ඇක්‌ටේරියා කොළ මිටක්‌ අතට ගනු ලබනවා. එසේ ඇක්‌ටේරියා මිටක්‌ අතට ගෙන බුදුරජාණන් වහන්සේ භික්‍ෂුන්ගෙන් අහනවා මාගේ අතේ තියෙන ඇක්‌ටේරියා කොළ ද වැඩි එසේ නැත්නම් මේ වනාන්තරයේ තිබෙන ඇක්‌ටේරියා කොළ ද වැඩි කියා. එවිට භික්‍ෂූන් වහන්සේලා උත්තර දෙනු ලබනවා බුදුරජාණන් වහන්සේ ඔබ වහන්සේගේ අතේ තියෙන්නේ ඇක්‌ටේරියා කොළ ස්‌වල්පයයි. නමුත් මේ මහා ඇක්‌ටේරියා වනාන්තරයේ තිබෙන ඇක්‌ටේරියා කොළ අතිවිශාලයි.

එවිට බුදුරජාණන් වහන්සේ උත්තර දෙනු ලබනවා. මහණෙනි, අන්න ඒ වගේ තමයි මම අවබෝධ කර ගත් ධර්මය එහි සීමාවක්‌ නැහැ. නමුත් දේශනා කර ඇත්තේ ඉන් ස්‌වල්පයක්‌ පමණයි. නමුත් මා දේශනා කළ ධර්මයෙන් මේ සංසාරයෙන් එතෙර වීමට පුළුවන්. එය ප්‍රමාණවත්.

බුදුරජාණන් වහන්සේ අසමසමයි. උන්වහන්සේ සමවන්නේ එවැනි තථාගත බුදුකෙනකුට පමණයි. “අච්චරිය පුග්ගලෝ” යනුවෙන් එහි සඳහන් වෙනවා.

බුදුරජාණන් දේශනා කළ සූත්‍ර කොතෙක්‌ද කියා සීමාවක්‌ නැහැ. ඒ කාලයේදී මේ සඳහා ත්‍රිපිටකය යනුවෙන් සඳහන් කළේද නැහැ. මෙම සූත්‍ර හැඳින්වූයේ ධම්ම විනය ලෙසයි. ඒවගේම ශාසනය කියන වචනයට අර්ථ ගොඩක්‌ දී තිබුණා. ශාසනය යන්න බුදුරජාණන් වහන්සේ ධම්ම කියන වචනයෙන් හැඳින්වුණා. ඒ වගේත් ධම්මචක්‌ක, සද්ධම්ම, ධම්ම විනය, බ්‍රහ්මචරිය, ශාසන පාවචන ආදී වශයෙන් ද ත්‍රිපිටකයේ ශාසනය යන්න හඳුන්වාදී තිබෙනවා.

ත්‍රිපිටකය මුලින්ම හඳුන්වා තිබුණේ නවාංග සක්‌තා ශාසනය ලෙසයි. සුත්ත, ගෙය්‍ය, වෙය්‍යාකරණ, ගාථා, උදාන, ඉතිවුත්තක, ජාතක, අබ්භූතධම්ම, වේදල්ල යන එම නවාංග සත්තා ශාසනයයි.

බුදුරජාණන් වහන්සේගේ පරිනිර්වාණයෙන් පසුව පළමුවැනි ධර්ම සංගායනාව පැවැත්වෙනවා. මල් අසුනක විසිරුනු විවිධ මල් වර්ග වර්ගීකරණයක්‌ කරන ආකාරයට විසිතුරු ධර්මය ඒකරාශි කිරීමයි මෙහිදී සිදුවූයේ. වර්ගීකරණය කරනු ලැබූ ධර්ම කොටස්‌ සඟුන් වහන්සේලාට පැවරීම මෙහිදී සිදුවුණා. දීඝ නිකාය ආනන්ද හාමුදුරුවන්ට සහ උන්වහන්සේගේ ගෝල පරම්පරාවට පැවැරුණා. මජ්ඣිම නිකාය සැරියුත් තෙරුන් වහන්සේට සහ උන්වහන්සේගේ ශිෂ්‍ය භික්‍ෂූන් වහන්සේලාට පැවැරුණා. සංයුක්‌ත නිකාය මහා කාෂ්‍යප මහතෙරුන් වහන්සේට සහ ගෝල පරම්පරාවට පැවැරුණා. අංගුත්තර නිකාය අනුරුද්ධ මහතෙරුන් වහන්සේට සහ උන්වහන්සේගේ ශිෂ්‍ය පරම්පරාවට පැවැරුණා. විනය පිටකය උපාලි මහතෙරුන් වහන්සේට සහ උන්වහන්සේගේ ශිෂ්‍ය පරම්පරාවට හදාරන්න ලැබුනා.

මේ සියලු භික්‍ෂුන් වහන්සේලා ප්‍රධාන ශිෂ්‍ය පරම්පරාව ධර්මය රැකගෙන ආවේ මුඛ පරම්පරාවෙන්. කට පාඩම් අයට කියන්නේ භානක කියලයි. දීඝ භානක, මජ්ඣිම භානක, සංයුක්‌ත භානක, අංගුත්තර භානක, ජාතක භානක ආදී වශයෙන් මෙම පිරිස හඳුන්වනු ලැබුවා. කෙසේ හෝ වේවා දෙවන, තෙවන ධර්ම සංගායනාවලින් පසුව මෙම ධර්ම කොටස්‌ එක්‌රැස්‌ කිරීම තවදුරටත් සිදුවුණා. බුදුරජාණන් වහන්සේ පරිනිර්වාණයට පත්වී අවුරුදු 440 ක්‌ ඉක්‌ම ගියතැන ලක්‌දිව වළගම්බා රාජ්‍ය සමයේදී මාතලේ අළු විහාරයේදී එතෙක්‌ මුඛ පරම්පරාවෙන් රැකගෙන ත්‍රිපිටකය ග්‍රන්ථාරූඪ කරනු ලැබුවා.

ලංකාවේ මහා සාගතයක්‌ ඇතිවුණා අවුරුදු 12 ක්‌ පමණ. බැමිනිතියාසාය ලෙස හඳුන්වනු ලබන මෙම සාගතයේදී භික්‍ෂුන් වහන්සේලා සෑහෙන දුෂ්කරතාවට පත්වුණා. පමණක්‌ භික්‍ෂුන් වහන්සේලා මේ නිසා ඉන්දියාවට ගියා. එහෙත් ධර්මය කටවහරෙන් රැකගෙන ආ භික්‍ෂුන් වහන්සේලා මෙම මහා සාගතයට මුහුණදෙමින්, තම කුස වැලිගොඩවල් වලට තද කර ගනිමින් තමන් දන්නා දේ අන් ස්‌වාමින් වහන්සේලාට කියා දුන්නා. ගස්‌ පොතුවත් කන්න බැරි තරමට මෙම නියඟය දරුණුවී තිබුණා. මෙම තත්ත්වය හමුවේ මෙතෙක්‌ කටවහරෙන් රැකගෙන ආ ධර්මය ග්‍රන්ථාරූඪ නොකළොත් පත්විය හැකි අනතුරු දැකලයි ත්‍රිපිටකය ග්‍රන්ථාරූඪ කරනු ලැබූයේ

ත්‍රිපිටකය ග්‍රන්ථාරූඪ කළේ සූත්‍ර, විනය, අභිධර්මය වශයෙනි. ත්‍රිපිටක ග්‍රන්ථාරූඪ කළ ආකාරය සංක්‍ෂිප්ත ලෙස මෙසේ දැක්‌වීමට පුළුවන්.

 

(1) විනය පිටකය – කොටස්‌ 5 කට බෙදෙයි

1. පාරාජිකා පාළි

2. පාචිත්තිය පාළි

3. මහාවග්ග පාළි

4. චුල්ලවග්ග පාළි

5. පරිවාර පාළි

 

(2) සූත්‍ර පිටකය – කොටස්‌ 5 කට බෙදෙයි

1. දීඝ නිකාය

2. මජ්ඣිම නිකාය

3. සංයුත්ත නිකාය

4. අංගුත්තර නිකාය

5. ඛුද්දක නිකාය

 

ඛුද්දක නිකායේ පොත් 15 කි.

1. ඛුද්දක පාඨ

2. ධම්මපද

3. උදාන

4. ඉතිවුත්තක

5. සුත්ත නිපාත

6. විමාන වත්ථු

7. පේත වත්ථු

8. ථේර ගාථා

9. ථේරි ගාථා

10. ජාතක පාළි

11. නිද්දෙස

12. පටිසම්භිදා

13. අපදාන

14. බුද්ධවංස

15. චරියා පිටක

 

(3) අභිධර්ම පිටකය – කොටස්‌ 7 කි.

1. ධම්මසංඝණීප්පකරණය

2. විභංගප්පකරණය

3. කථාවත්ථුප්පකරණය

4. ධාතුකථාප්පකරණය

5. පුග්ගල පඤ්ඤත්තිප්පකරණය

6. යමකප්පකරණය

7. පට්‌ඨානප්පකරණය

මේ අපි පැහැදිලි කළේ ත්‍රිපිටකය පිළිබඳ ඉතා දල සටහනක්‌ පමණයි. ත්‍රිපිටකයේ සඳහන් වන සූත්‍රවල විවරණයන් අටුවාවල ඇතුළත් වෙනවා. මෙහි සඳහන් කළ ත්‍රිපිටක ග්‍රන්ථ සෑම එකකටම පාහේ අටුවා ලියා තියෙනවා. අටුවා නොවන්නට ත්‍රිපිටකයේ බොහෝ ධර්ම තේරුම් ගන්නට අපට බැහැ. එනිසා අටුවා ගැන ඉදිරියේදි කතා කරමු.

රාත්මලාන ධර්ම පර්යේෂණාලයේ

හෑගොඩ විපස්‌සී හිමි

 

ධර්ම සංවාදය – වසන්ත ලියනගේ