Home » පුවත් පත් ප්‍රකාශන » පැවිදි සමාජය නැතහොත් ප්‍රවෘජ්‍යා භූමියට පත්වීම යන්න පිළිබඳව විග්‍රහයක්

පැවිදි සමාජය නැතහොත් ප්‍රවෘජ්‍යා භූමියට පත්වීම යන්න පිළිබඳව විග්‍රහයක්

Hegoda Vipassi Thero2ගිහි සහ පැවිදි සමාජයන් ගත් කල්හි පැවිදි සමාජයට හිමිවන්නේ සුවිශේෂී වූ ස්ථානයක්. එම පැවිදි සමාජය නැතහොත් ප්‍රවෘජ්‍යා භූමියට පත්වීම යන්න විග්‍රහ කළහොත් හාමුදුරුවනේ, පළමුවෙන්ම කිව යුතුයි මෙම පැවිදි වීම යන්න සීමාවක් කියන්න බැරි දෙයක්. පස්කම් විඳින සමාජයේ පස්කම්වලින් අයින්වෙලා ජීවත්වන එක අමාරු දෙයක්. ගිහියෙක් තමයි පැවිද්දෙක් බවට පත්වෙන්නේ. අපි මේ කතා කරන්නේ ජීවමානව බුදුරජාණන් වහන්සේ වැඩසිටි කාලය හෝ රහතන් වහන්සේලා වැඩසිටි කාලය ගැන නොවෙයි. වර්තමාන භික්ෂුත්වය ගැනයි.

එම කාරණය තවදුරටත් විග්‍රහ කළොත් හාමුදුරුවනේ, කුඩා කළ පැවිදි වුණ පුංචි දරුවා හැදී වැඩෙන්නේ මහතෙරුන් වහන්සේගේ රැකවරණය මතයි.

එම රැකවරණය යටතේ ඔවුන් ශාසනික දායාද ලබනවා. “පබ්බජ්ජිං දුරදි රමං” පැවිද්ද අමාරුයි. පැවිදිවෙලා ඉන්න එක ඊට වඩා අමාරුයි යනුවෙන් දැක්වෙන්නේ.මහණකම රැකගෙන ඉන්න එක අමාරු දෙයක්.

කුඩා අවධියේ මහණ වුණාම මේ දේවල්, ආකල්ප ගොඩනගා ගන්නවා. භික්ෂුන් වහන්සේ කරන කියන දෑ වචනයෙන් ව්‍යවහාරික භාෂාවෙන් පවා වෙනස්. පුංචි සාමණේර වහන්සේ නමක වුවත් ජනතාවගේ දායක කාරකාදීන්ගේ කුදුමහත් සෑම කටයුත්තකටම සහභාගි වෙනවා. පුංචි හාමුදුරුකෙනෙක්ට වුණත් විශාල පිරිසකට වුව නායකත්වය දෙන්න ශක්තිය ලැබිලා තියෙනවා.

නමුත් හාමුදුරුවනේ අද ඇතැම් විට පැවිදි වීම සහ පැවිදි වුණ ඇතැමුන් ගැන විවිධ මතිමත අසන්නට ලැබෙනවා.

ඔව්. මුලින්ම කිව යුතුයි බොහෝ විට හිතුවක්කාර විදිහට ඕලාරික විදිහට ඇතැමෙක් කටයුතු කරනවා නම් ඒ වයසට ගොස් පැවිදි වුණ අයයි. බුදුරජාණන් වහන්සේ වැඩසිට අවධියේ පවා සසර කලකිරී ඉන් එතෙරවන්නට බොහෝ පිරිස් පැවිදි වුණා. නමුත් වර්තමානයේ පැවිදි ජීවිතයක් වැරදි විදිහට අර්ථකථනය කරන බවක් පෙනෙන්නට තිබෙනවා. ජීවිතය දුකක්. මන මෝහනය වන විදිහට මේ ආත්මයේදීම නිවන් අවබෝධ කරන්නට අවශ්‍යයි කියා ප්‍රකාශ කරනවා. එකපාරටම නිවන දකිනට පුළුවන්කමක් ඇත්තේ නැහැ.

නිවන් දැකීම හෝ වෙනත් එවන් කාරණාවක් යැයි කියමින් අද බොහෝ පිරිස් ප්‍රවෘජ්‍යා භූමියට ඇතුළත් වෙනවා කියන මතයකුත් තිබෙනවා.

බුදුරජාණන් වහන්සේ ජීවමානව වැඩනොසිටියාට ධර්මය තිබෙනවා. නිවන් දකින්නට පුළුවන් යැයි සිතා ඉංජිනේරුවන්, වෛද්‍යවරුන් ඇතුළු විවිධ වෘත්තීන්වල නිරත තරුණ කොටස් අද විශාල වශයෙන් පැවිදිවන්නට පටන් අරන්. සරසවියේ අවසන් වසරේ සිටින තරුණයන් පමණක් නොව තරුණියන් පවා ජීවිතය ගැන කලකිරවා පැවිදි කරවන වැඩපිළිවෙළක් තිබෙනවා. මේ නිසා අද බොහෝ මවුපියන් හැඬු කඳුළින් ඉන්නේ. පවු‍ලේ එකම දරුවා පවා පැවිදි කරගන්නවා.

 සරසවියේ අවසන් වසරේ සිටින තරුණයන් පමණක් නොව තරුණියන් පවා ජීවිතය ගැන කලකිරවා පැවිදි කරවන වැඩපිළිවෙළක් තිබෙනවා

සරසවියේ අවසන් වසරේ සිටින තරුණයන් පමණක් නොව තරුණියන් පවා ජීවිතය ගැන කලකිරවා පැවිදි කරවන වැඩපිළිවෙළක් තිබෙනවා

මේ හේතුවෙන් අනාගතයට උගත් පරපුරක් රටට අහිමිවෙනවා. ඒ විතරක් නොවේ පවුල් ජීවිත ගතකරන තරුණ විවාහකයන්ට දරුවන් බිහිකරන්න එපා කියා කළිකිරවා ජීවිත අවුල්කරන කුමන්ත්‍රණයකුත් ක්‍රියාත්මක වෙනවා. මොවුන් මිරිගුවක් පසුපස යනවා කියා ටික කලක් යන විටයි තේරෙන්නේ. ඇත්ත වශයෙන්ම භික්ෂුන් වහන්සේට අතීතයේ පටන්ම ඓතිහාසික පිළිගැනීමක්, සැලකීමක් තියෙන්නේ. තමන්ගේ ජීවිතය, ජීවනෝපාය පවත්වාගෙන යාම සඳහාම චීවරය භාවිතා කරනවානම් එය ඉතා වැරදි ක්‍රියාවක්. හදිහූනියම්, අධි මානසිකත්වයෙන් ප්‍රතිකාර කිරීම් වැනි දේ පැවිදි අයකුට කිසිසේත් ගැළපෙන්නේ නැහැ. නිවසට ඇවිත් ප්‍රතිකාර කිරීම් වැනි දේ පැවිදි දිවියකට කිසිසේත්ම ඔබින්නේ නැහැ. පැවිදි වීමේ අරමුණ කුමක්ද කියා නොදන්න අයයි එලෙස කටයුතු කරන්නේ.

මෙවැනි ක්‍රියාවන් හමුවේ ධර්ම පර්යේෂණාලය මෙහෙයක් ඉටුකරන බවයි සමාජයේ පිළිගැනීම,

ඔව්. අද සමාජයේ අකටයුතුකම්, ශාසන විරෝධී ක්‍රියාවන් අසන්නට දකින්නට පුළුවන්. විවිධ විකෘති අදහස් සහිත ‍පොත් පත් ලියැවෙනවා. ඒවා එළිදක්වනවා. ඇතැමුන් කිසිදු අවසරයක් නොමැතිව විවිධ අකටයුතුකම් කරමින් කටයුතු කරනවා. ථෙරවාදී සම්ප්‍රදාය ලංකාවේ තිබුණත් ථෙරවාදී, මහායාන නොවෙයි කුමන යානයෙන් වැඩකරන අයද කියා මේ අය ගැන සිතන්නට බලන්නට සිද්ධ වෙනවා. ධර්ම පර්යේෂණාලය මෙවැනි කාරණාවන් මොනවාද කියා මතවාදීව හිතන්නට හොයන්නට බලන්නට පෙළඹුණා. පුද්ගලයකුට චෝදනා කරනවා නොවෙයි. වැරදි ඇතොත් එය ශාස්ත්‍රීයව බලලා බුදු දහමේ නාමයෙන් කරන වැරදි පෙන්වලා කරන දෙයයි කරන්නේ. අද සමාජයේ සිදුවන බොහොමයක් දෙවල් ශාස්ත්‍රීය වශයෙන් විවේචනයට ලක්නොවීම විශාල පාඩුවක්. මධ්‍යස්ථ ඒවා විවේචනයට ලක්කළ යුතුයි. සත්‍යවාහිනී සඟරාවෙන් කෙරෙන්නේ එවැනි දේවල් පිළිබඳව සමස්ත ජනතාවම දැනුම්වත් කිරීමයි.

එක් එක් අවස්ථාවන්හිදී විවිධ අලුත් විකෘති මත සමාජගත කෙරෙන බවයි පෙනෙන්නට ඇත්තේ.

ඔව් බලන්න. මේ දිනවල කතා කෙරෙන අලුත්ම දෙයක්. රාවණ ප්‍රශ්නය, එක්තරා හිමිනමක් කියා තිබුණා අවුරුදු විස්සකින් රාවණාය නැවත සිහිය ලබනවා කියා. මතෛක් කල් අපි බුදුරජාණන් වහන්සේට බුද්ධ පූජාව තිබ්බා. නමුත් වත්මන් අපේ සමහර හාමුදුරුවරු රාවණා පූජාව තියන්න පටන් අරන්. අන්ධකාරයටයි මේ යමින් සිටින්නේ. මිත්‍යාව පිළිබඳවයි කියැවෙන්නේ. මෙන්න මෙවැනි දේවල් ගැන සංවාදයක් ඇතිවිය යුතුයි. අතීතයේත් පානදුරාවාදය වැනි ඇති වූ ප්‍රසිද්ධ සංවාදයන් මීට උදාහරණයි.

අතීතයේ වැඩසිටි උගත් ධර්මධර විනයධර මහ තෙරුන් වහන්සේ මෙවැනි ක්‍රියාවන් හමුවේ පෙරමුණ ගෙන කටයුතු කළා.

අතීතයේ පමණත් නොවෙයි. අද වර්තමානයෙත් අපේ පූජනීය මහා සංඝරත්නය තමයි මෙවැනි අවස්ථාවන්හි පෙරමුණ ගෙන කටයුතු කරන්නේ. ඊට පෙරමුණ ගෙන කටයුතු කරන්නේ අප කලින් සඳහන් කළා වැනි භික්ෂුන් වහන්සේලා නොවන බවත් සිහිපත් කළ යුතුයි. අද ඇතැම් හාමුදුරුවරු බුදුරජාණන් වහන්සේ ලංකාවේ ඉපදුණා රාවණා තව වසර කිහිපයකින් නැගිටිනවා වැනි දේවල් හොයාගත්තේ භාවනාවෙන් කියාත් කියනවා. මෙහෙම ගියොත් භාවනා කරන්නෙත් ප්‍රවේශමෙන් කියා අනතුරු අඟවන්නට වෙයි. මොකද මේගොල්ලෝ භාවනා කරලා හොයාගන්නේ අමුතු අමුතු දේවල්නේ.

බුදුරජාණන් වහන්සේ භාවනාවේ අරමුණ කිව්වේ කෙලෙස් නැති කරගන්නටයි. බුදුරජාණන් වහන්සේ ඉපදුණේ ඉන්දියාවේ කියන එකට කිසි ගැටලුවක් නැහැ. සම්බුද්ධ ජන්ම භූමිය දඹදිව බවට අංශුමාත්‍රයකවත් සැකයක් නැහැ. එහෙම තියෙද්දීත් බුද්ධ භූමි වන්දනා කියලා සිංගප්පුරුව, මැ‍ලේසියාව වැනි රටවලට අපේ බෞද්ධයන් එක්කගෙන යනවා. ඇතැම් පිරිස්. මේවා මහා ජාවාරම්. මෙවැනි දේ පිළිබඳව දැඩි විවේචන අවශ්‍යයි. පසුගිය ‍පොසොන් ‍පොහොය දින රූපවාහිනි වැඩසටහනක දැක්කා මහින්දාගමනය නැවත අභිෂේක කිරීමක් කියලා කියනවා.

මෙන්න මෙවැනි කාරණා සම්බන්ධයෙන් වන කථිකාවන් අවශ්‍යයි. නැතහොත් මෙසේම තවදුරටත් කටයුතු සිදුවුවහොත් විය හැකි හානිය විශාලයි අපේ හාමුදුරුවනේ.

ඔව්. මෙවැනි තත්ත්වයක්. බුදුදහම, සසුන ආරක්ෂා කරගැනීමට ෙතේ‍රනිකායික මහානායක හිමිවරුන් ප්‍රධාන බුදු දහම ‍පෝෂණය කිරීමට හා ආරක්ෂා කිරීමට බැඳී සිටින රජය සමග පාලකයන් සමග එක් වී කටයුතු කළ යුතුයි. ග්‍රන්ථ නියාමන පනත ඇතුළු වැදගත් පනත් කිහිපයක් සම්මත කර ගත යුතුයි. පිරිත් කථිකාවතක් ගොඩනගාගත යුතුයි. එවැනි සෑම සියලු දෙයකටම එළැඹි මෙම වස් කාලය ඉතාම සුදුසු කාලය බවත් සිහිපත් කළ යුතුයි.

රත්මලාන ධර්ම පර්යේෂණාලයේ අධ්‍යක්ෂ ශාස්ත්‍රපති හෑගොඩ විපස්සී හිමි

lakbimalogo//lakbima.lk/index.php?option=com_content&view=article&id=14856:2013-07-30-05-44-15&catid=58:urumaya&Itemid=80