Home » පුවත් පත් ප්‍රකාශන » සංහිඳියාව ඇති වීමට නම් බෞද්ධ ආර්ථික දර්ශනයක් අවශ්‍යයි

සංහිඳියාව ඇති වීමට නම් බෞද්ධ ආර්ථික දර්ශනයක් අවශ්‍යයි

හෑගොඩ විපස්සි හිමිරත්මලාන ධර්මපර්යේෂණාලයේ අධ්‍යක්ෂ හෑගොඩ විපස්සි හිමි

පාලකයාගේ ආර්ථික ප්‍රතිපත්තිය පිළිබඳ බෞද්ධ දර්ශනයේ සඳහන් කරුණු ගැන ලෝක අවධානයට ලක් වී ඇති මේ මොහොතේ රත්මලාන ධර්මපර්යේෂණාලයේ අධ්‍යක්ෂ හෑගොඩ විපස්සි හිමි අවධාරණය කරන්නේ, පාලකයාගේ චින්තනය පුළුල් නොවන්නේ නම් රටක ආර්ථික සංවර්ධනය ඇති කළ නොහැකි බවයි. රටේ සම්පත් නිසි ලෙස පරිහරණය නොකරන්නේ නම් හා ආවේණික සම්පත්වලින් ප්‍රයෝජන නොගන්නේ නම් රටක ආර්ථික සංවර්ධනය ඇති කළ හැක්කේ කෙසේදැයි උන් වහන්සේ ප්‍රශ්න කරති.

උපයාගැනීමේ ක්‍රමවේදය සහ එහි නිරවද්‍යභාවය ගැන බෞද්ධ දර්ශනයේ කරුණු විසල් ප්‍රමාණයක් අන්තර්ගත වනවා නේද හාමුදුරුවනේ?

“ධම්මිකා ධම්ම ලද්දා” කියලයි මූලික සූත්‍රවල දැක්වෙන්නේ. ව්‍යග්ගපජ්ජ සූත්‍රය මීට නිදර්ශනයක්. ඒ වගේම විය පැහැදම් කිරීමේදී උපායශීලි වීම ගැනත් සඳහන් වනවා. මේ නිදර්ශනය ගැන ඔබේ අවධානය යොමු කරන්න. “යම් තටාකයකට දිය එන මාර්ග හතරක් තිබෙනවා, ඒ වගේම දිය බැස යන මාර්ගත් හතරක් තියෙනවා. යම්කිසි කෙනෙක් දිය ඇතුළු වන දොරටුත් දිය පිට වන දොරටුත් විවෘත කරලා දිය තටාකය පුරවන්න උත්සාහ කළොත් ඒක පිරෙන්නෙ නැහැ. ඒ නිසා දිය පිට වන දොරටු වහලා දිය ඇතුළු වන දොරටු අරින්න ඕනෑ. එතකොට තමයි තටාකය පිරෙන්නෙ.”

ඒ වගේ අපි උපයාගන්න දේවල් විවිධ ක්‍රමවලින් විනාශ වනවා. ඒ විනාශ වීමේ ප්‍රධාන ම සාධකයක් ලෙස මත්වතුර හැඳින්විය හැකියි. යහපත් ඇසුරෙන් ඈත් වීමත් පරිහානියට හේතුවක්.

පාලනතන්ත්‍රය මෙහෙයවන පුද්ගලයන් මත්වතුර නිසා අගතියට පත් වූ ආකාරය ගැන ඉතිහාසයේ නොයෙක් තැන්හි සනිදර්ශිත සිද්ධි අප මතකයට නැ‍ඟෙනවා. ඒ ගැන ඔබ වහන්සේ‍ගේ අවධානය යොමු කළොත්… ‍

‍බුදු රජාණන් වහන්සේ කරන දේශනා මේ සම්බන්ධව අප ගළපාගන්නේ නැති වීම ගැටලුවක්. ආර්ථික සංවර්ධනය සඳහා ආර්ථික විද්‍යාඥයන් විවිධ පදනම් ඉදිරිපත් කළත්, ඒ සඳහා සදාචාරාත්මක රීතියක් සමාජගත විය යුතුයි. ඒ රීතිය සමාජගත නොවීම ගැටලුවක්. නිදර්ශනයක් ලෙස සාමාන්‍ය කම්කරුවකු දිනකට රුපියල් දහසක් පමණ උපයනවා. ඔහු උපයාගත් ධනයෙන් අනවශ්‍ය ලෙස වැඩි ප්‍රමාණයක් වියදම් වනවා. එයින් ඔහුගේ ශක්තිය හීන වනවා. ඒ වගේම පවුල් සංස්ථාව බිඳවැටෙනවා. ශ්‍රමිකයන් හිඟ වීම නිසා රටේ ආර්ථිකය බිඳවැටෙනවා. අවසානයේ රාජ්‍යතන්ත්‍රය දුර්වල වීම දක්වා මෙය ව්‍යාප්ත වනවා. අප බො‍හෝ ගැඹුරු මතවාද ගැන පර්යේෂණ කරනවා. ඒත් මේ මූලික ඒකකය බිඳවැටීම සමස්ත පාලනතන්ත්‍රයටම බලපෑම් කරනවා.

මත්වතුර හේතුවෙන් පාලනතන්ත්‍රයත් බිඳවැටීම ගැන දැක්වෙන ‘කුම්භ’ ජාතක කතාවත් මීට නිදර්ශනයක් නේද හාමුදුරුවනේ?

කුම්භ ජාතකයේදී එක්තරා වැද්දකු දඩයම සඳහා කැලේට යනවා. කැලේදී වැද්දා දකිනවා ගස් දෙබලකට විවිධ සතුන් ඇවිත් එහි ඇති යමක් පානය කරන ආකාරය. අනතුරුව ඒ සතුන් ඇදවැටෙනවා; විවිධ ආකාරයේ චර්යාවන්ට ගොදුරු වෙනවා. විපරම් කරලා බැලුවාම වැද්දාට මේ ගස්දෙබලේ ඇති දියරයෙන් පල් ගඳක් වහනය වන බව දැනුණා. ඒත් වැද්දා මේ දියරයෙන් ටිකක් පානය කළා. වැද්දාටත් අමුතු මත් ගතියක්, උත්තේජනයක් දැනෙන්න පටන් ගත්තා. ඔහු ඒ කිට්ටුව සිටි තාපසයකුටත් මේ දියරය බොන්න දුන්නා. අනතුරුව මේ වැද්දා තමන්ගේ ගමේ හිතවතුන්ට මේවා බොන්න දුන්නා; අවසානයේ ඔහු මෙය විකුණන්නට පටන් ගත්තා. ටික කලෙකින් රටේ රජතුමාට මේ පානය ගැන ආරංචි වුණා. රජතුමා මේ වැද්දා ගෙන්වා ඔහුට නියෝග කළා, “මිනිස්සුන්ට දෙන්න එපා, මේ පානය මට විතරක් දෙන්න” කියලා. වැද්දාට වරප්‍රසාද රාශියක් දුන්නා. රටේ සුරාපානය ව්‍යාප්ත වෙලා රාජ්‍යය පිරිහීමට පත් වුණා.

ඒ පටන් ගැන්ම අද “සුරාබදු දෙපාර්තමේන්තුවක්” නිර්මාණය වීම දක්වා ව්‍යාප්ත වෙලා නේද හාමුදුරුවනේ?

ඔව්. අද ඒ තත්ත්වයට ම සුරාපානය වැඩිදියුණු වෙලා… ඊට අණපනත්, මිල ගණන් නිර්මාණය වෙලා… එය ජාතික ආර්ථික ප්‍රශ්නයක් බවට පත් වෙලා.

ලංකාවේ රාජාණ්ඩු කළ අවසන් රජතුමා වන ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමාගේ රාජ්‍යත්වය පිරිහීමටත් බලපෑම් කළේ මේ කරුණම නේද හාමුදුරුවනේ?

රාජසිංහ රජතුමාට විදෙස් ආක්‍රමණිකයන් මත්වතුර පුරුදු කිරීම නිසා ඔහු ඊට ඇබ්බැහි වුණා. රජතුමා මේ සඳහා කුණ්ඩසාලයේ අක්කර ගානක් ලබා දෙනවා. රාජ්‍ය ඉස්කාගාර, සුරාබදු නිලධාරීන් මේ සියල්ල බිහි වන්න පටන් ගත්තේ මේ ඔස්සේයි. ඉතිහාසයේදි රාජ්‍යත්වයේ පිරිහීමට බලපෑම් කරන ආර්ථික සාධක නිර්මාණය වුණු ආකාරය මේ අනුව වටහාගත හැකියි. වත්මන් ජනාධිපතිවරයා මත් විරෝධීව බොහෝවිට අදහස් ප්‍රකාශ කරනු අප අසා තිබෙනවා. රාජ්‍ය නායකයන් මේ ගැන උනන්දු වීමම වැදගත්. ඒ කියන්නේ මේක ජාතික ප්‍රශ්නයක් බවට පරිවර්තනය වී තිබෙනවා.

බෞද්ධ දර්ශනයේදී සීමා පැනවීම් සිදු කළ යුතු ආකාරය ගැන දැක්වෙන දර්ශනය කෙබඳුද හාමුදුරුවනේ?

අවශ්‍ය නම් මේ පරිහානිකර පානය එක රැයින් සීමා කළ හැකියි. ඒත් අප සමාජ සම්මුතියක් ගොඩනඟාගත යුතුයි. ආදීනව කරුණු දැක්විය හැකි සමාජ සම්මුතියක් ජනතාව මඟින්ම ඇති විය යුතුයි.

බුදුන් වහන්සේ දේශනා කළ සූත්‍ර, විනය, අභිධර්ම තුන් පිටකයේ මත්ද්‍රව්‍ය ආදීනව අරබයා කොතෙක් කරුණු සටහන් වී තිබෙනවාද? පංචශීලය වැනි මූලික ශීලවල පවා එය සඳහන්. අප සැම මත්වතුර භාවිතයේ ආදීනව දන්නවා; ඒත් පිළිපදින්නේ නැහැ. ඊට ආත්මශක්තිය අවශ්‍යයයි. බෞද්ධ දර්ශනයේ සාකච්ඡා වන මූලිකම දේ තමයි ස්වයං ශික්ෂණය. පාලකයාගේ සිට පාලිතයා දක්වා ස්වයං ශික්ෂණය ඇති කරගත යුතුයි.

බුදු රජාණන් වහන්සේ රටේ ආර්ථිකය මේ අයුරින් වර්ධනය කරගන්න කියා දේශනා කළා නොවෙයි; උන් වහන්සේ දේශනා කළ ධර්මයෙන් අප අපේ ආර්ථික රටාව සකසාගත යුතුයි. බමුණන් විසින් ගව සම්පත්තිය ඝාතනය කළ යුගයක් අපට තිබුණේ. ඒ සංකල්ප බුදු දහමින් නිවැරැදි කළා.

ඕනෑම රටකට තමාටම ආවේණික වූ සම්පත් තිබෙනවා. ඒ සම්පත් නිසි පරිදි කළමනාකරණය කරගැනීම අප අතින් ගිලිහෙන බවක් පෙනෙනවා. පාලක පාර්ශ්වයේ මේ ගැන වන වගකීම ගැන ඔබ වහන්සේ දරන්නේ කවරාකාර මතයක්ද?

අපේ රටේ සම්පත්වලින් ප්‍රයෝජන ගැනීමේදී මූලික ම කාර්යය වන්නේ පරිසරය ගැන අවධානය යොමු කිරීමයි. ජල සම්පත ගැන වන කියැවීම ඉන් එක් අංශයක්. අප, අපේ අපද්‍රව්‍ය පරිසරයට මුදාහරිද්දි එය කිසිවකුට හෝ හානියක් නොවන ලෙස කරන ලෙසයි බෞද්ධ දර්ශනයේ සඳහන් වෙන්නේ. බුදුන් වහන්සේ මේ අරබයා කුසලාකුසල සම්බන්ධය දේශනා කරනවා. යම්කිසි ක්‍රියාවක යෙදෙන විට එය මට හිත පිණිස පවතිනවද?; අනුන්ට හිත පිණිස පවතිනවද?; තමන්ටත් අනුන්ටත් හිත පිණිස පවතිනවාද?‍ විමසීම කුසලකර්මයක් ලෙසයි මජ්ඣිම නිකායේ රාහුලෝවාද සූත්‍රයේ දැක්වෙන්නේ. අකුසලකර්ම ගොඩනැ‍ඟෙන්නෙත් එහෙමයි. සමහර තීන්දු ගනිද්දි ජනතාව කිපෙනවා, උද්ඝෝෂණ වැඩි වෙනවා. ඒ ගැනත් මේ කුසලාකුසල සම්බන්ධය ඔස්සේ පැහැදිලි කිරීම් කරගත හැකියි. ආර්ථික සුරක්ෂිත බව සඳහා නිවැරැදි ආර්ථික තීන්දු ගැනීම අවශ්‍යයයි. නිවැරැදි තීන්දු ගැනීම සඳහා අවශ්‍ය මූලික ආර්ථික මූලධර්ම බුදු දහමේ සඳහන්.

බුදු දහමේ අනුදැන වදාළ පරිදි නොකළ යුතු වෙළෙඳාම් ගැන බෞද්ධ දර්ශනයේ සඳහන් මතය ඍජුවම ආර්ථික දර්ශනයට බලපෑම් කෙරේ. මේ වෙළහෙළඳාම් පිළිබඳවත්, එයින් මතු විය හැකි සමාජ, ආර්ථික, දේශපාලන කඩාවැටීම් පිළිබඳවත් මම හෑගොඩ විපස්සි හිමියන්ගෙන් විමසීමි.

මත්වතුර, අවිආයුධ, වසවිස, සත්ත්ව හා වහල් වෙළෙඳාම මීට අයත්. ලෝකය පුරා විවිධ ප්‍රශ්න ඇති වී තිබෙන්නෙත් මේ වෙළෙඳාම් නිසා නොවේද? මෙය සඳහන් වෙන්නේ අංගුත්තර නිකායේ වණිජ්ජා සූත්‍රයේ. මේ වෙළෙඳාම්වලින් වන ලාබයට වඩා අලාබය, අගතිය වැඩියි. විවෘත ආර්ථිකය නිසා මේ වෙළෙඳාම් සාමාන්‍යකරණය වී තිබෙනවා.

මෙහි සඳහන් සමහර වෙළෙඳාම් සඳහා අද නව අර්ථකථනයක් නිර්මාණය වී තිබෙනවා නේද අපේ හාමුදුරුවනේ?

ඒක ඇත්තක්. උදාහරණයක් ලෙස: අද විදෙස් විනිමය උපයන ප්‍රධානම මාර්ගය වන මැදපෙරදිග රටවල සේවය සඳහා යන කාන්තාවන් එක්තරා අන්දමකට පෙර කියැවීම්හි නව අර්ථකථනය ලෙස ගත හැකියි. රැකියා අවස්ථා අඩු වීමෙන් විරැකියාදිය තත්ත්වය වර්ධනය වීම නිසා මේ තත්ත්වය ඇති වී තිබෙනවා. සමාජ පද්ධති පිළිබඳ යම් යම් පරීක්ෂණ කරලා, අධ්‍යයනය කරලා ඒවාට හේතු සොයාගත යුතුයි. බුද්ධිගලනය වළක්වාගැනීම සඳහාත් කුමක් හෝ පිළියමක් ගත යුතු ව තිබෙනවා. එහෙත් ඒ පිළිබඳව විධිමත් සැලැස්මක් ක්‍රියාත්මක වන්නේ නැහැ. කාන්තාවන් මැදපෙරදිග රටවල රැකියාවලට යෑම නිසා අද සාමාජීය වශයෙන් ‍බොහෝ පරිහානියට ලක් වී තිබෙනවා. රටේ නිෂ්පාදන ක්‍රියාවලියට ජනතාව සහභාගි කරවාගැනීමේ ක්‍රමවේදයක් අවශ්‍යව තිබෙනවා.

ඔබ වහන්සේ මේ සඳහා කරන යම් යෝජනාවක් තිබෙනවද?

ඇත්තෙන්ම අපේ රටේ විශාල වශයෙන් පුරාවස්තු තිබෙනවා. විදේශ විනිමය උපයාගැනීමේ මූලිකම දෙයක් වශයෙන් පුරාවස්තු උප‍‍යෝගි කරගත හැකියි. අපේ පාලන තන්ත්‍රයට ඒ ගැන අමතක වී තිබෙනවා. විදෙස් සංචාරකයන් මේ පුරාවස්තු කෙරෙහි දැඩි ආකර්ෂණයක් දක්වනවා. ඒත් අප සංචාරකයන් සඳහා මූලික වශයෙන් අරමුණු කරන්නේ සීගිරිය විතරයි. ලෝකයා විස්මයට පත් කරන විශාල ස්තූප, කලාශිල්ප, කැටයම් ආදිය කොතරම් ආකර්ෂණීය වූවත් ඒ ගැන සංචාරකයන් දැනුම්වත් කෙරෙනවා අඩුයි. එයින් ලැබෙන ආදායම බො‍හෝ සෙයින් රටේ දියුණුව වෙනුවෙන් භාවිත කළ හැකියි. තමන්ගේ සම්පත් ගැන පාලකයන් උනන්දු මඳි. බෞද්ධ දර්ශනයේ සඳහන් මූලිකම දේ වන්නේ ස්ව සම්පත් පරිභෝජනය කිරීමේ වැදගත්කමයි.

පාලකයා ඍජු ව ඉලක්ක කරගනිමින් බෞද්ධ දර්ශනය ඔස්සේ සාකච්ඡා වන ආර්ථික ඉලක්ක ගැන ඔබ වහන්සේගේ අවධානය යොමු කළොත්…

චින්තනය ගොඩනඟාගැනීම බෙහෙවින් වැදගත්. නිදසුනක් වශයෙන්: පටිච්චසමුප්පාද න්‍යාය පාලකයාට විශේෂයෙන් අවශ්‍යයි. අපේ ආර්ථිකය කඩාවැටෙන හේතු මොනවාද, වගේ දෙයක් ඉතා කෙටිකාලීනව අධ්‍යයනය කළ යුතුයි. ඊට පස්සේ ඒවා විශ්ලේෂණය කර, අවශ්‍ය ක්‍රියාමාර්ග ගත යුතුයි. ඕනෑම පාලකයකු සාර්ථක වන්න නම්, හේතුඵලවාදය මත පදනම් විය යුතුයි. අනෙක් පැත්තෙන් අපණ්ණක ප්‍රතිපත්තියක්, ඒ කියන්නේ නොවරදින මාර්ගයක් අනුගමනය කළ යුතුයි.

අපේ රටේ සංවර්ධනය සඳහා ආචීර්ණකල්පිත අදහස් නොවෙයි නිවැරදි දර්ශනය පිළිපදින්න ඕන. බුදු රජාණන් වහන්සේ එය දේශනා කොට තිබෙනවා. නිවැරැදි අවබෝධය හා ක්‍රියාත්මක වීම අවශ්‍යයයි. පාලකයා පත් වන්නේ සමාජ සම්මුතියෙන්. ඒ පාලකයාගේ යුතුකම තමයි රටේ සම්පත් සුරකිමින් නිසි ලෙස බෙදා දීම. මෙවැනි ක්‍රියාමාර්ගයකට යෑමේදී බාධා ඇති විය හැකියි. ඒවා ඛණ්ඩනය කරගත යුත්තේ බෞද්ධ දර්ශනය අනුවයි.

මේ වන විට යුරෝපීය රටවල බෞද්ධ ප්‍රබෝධයක් ඇති වී තිබේ. බෞද්ධ දර්ශනය පිළිබඳ හැදෑරීමේ යෙදෙන, ඒ ගැන පර්යේෂණවල නියුතු වියතුන් බොහෝ ප්‍රමාණ්‍යක් බිහි වී තිබේ; බිහි වෙමින් පවතී. රුසියානු ප්‍රවෘත්ති ප්‍රකාශයකදී රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් කළ ප්‍රකාශයක් බෞද්ධ දර්ශනය ඔස්සේ සංහිඳියාව සොයා යන මේ මාවතට මහත් ආලෝකයක් සපයනු ඇතැයි සිතේ. ඔහු රුසියාවේ කල්මයිකියා බෞද්ධ විහාරස්ථානය පුළුල් කිරීම සහ රුසියාව තුළ බුදුදහම නඟාසිටුවීම වෙනුවෙන් රුසියානු රූබල් බිලියන 800ක් වෙන් කර තිබේ. ඉදිරියේදී අවශ්‍ය අයට දහම් දැනුම ලබාගැනීමට හැකි වන පරිදි පාසල් පද්ධතියටද විෂයයක් ලෙස මෙය එක් කිරීමට ඔහු බලාපොරොත්තු වේ. සාම්ප්‍රදායික බෞද්ධ දර්ශනය ස්ථාපිත රටකින් එවැනි දෙයක් අැ‍සෙනවාට වඩා එසේ නොවන රුසියාවෙන් එවැන්නක් අසන්නට ලැබීම සතුටකි .

උපුටා ගත් ලිපිය-   //www.silumina.lk/2016/10/30/_art.asp?fn=af16103010