Home » විශේෂාංග » ආශ‍්‍රය කළ යුතු නොකළ යුතු මිතුරන්

ආශ‍්‍රය කළ යුතු නොකළ යුතු මිතුරන්

පින්වතුනී,

ආශ‍්‍රය කළ යුතු නොකළ යුතු මිතුරන් හඳුනා ගැනීමට අවශ්‍ය කරන වර්ගීකරණයක් දීඝ නිකායේ සිඟාලෝවාද සූත‍්‍රයේ තිබෙනවා. මෙම සූත‍්‍රය ගිහි විනය ඇතුළත් දේශනාවකි. ඒ නිසා සාර්ථක ජීවිතයක් ගත කිරීමට අවශ්‍ය කරන කෙනෙකුට මේ සූත‍්‍රය කියවා අවබෝධ කර ගැනීම ඉතා වැදගත්.

මේ දේශනාවට අනුව මිතුරු වෙසින් පෙනී සිටින අමිත‍්‍රයෝ නැත්නම් මිත‍්‍රප‍්‍රතිරූපකයෝ හතර දෙනෙක් සිටිනවා ඔවුන් හඳුනා ගැනීමට කරුණු 4 බැගින් තිබෙනවා. කවුද ඒ අය,

අඤ්ඤදත්තුහර පළමුවැනියා. ඔහු හඳුනා ගැනීමට අවශ්‍ය කරන කරුණු මේවා

  1. හිස් අතින් එනවා
  2. යමක් ගෙන යන්නමයි බලන්නේ
  3. සුළු දෙයක් කොට බොහෝ දේ බලාපොරොත්තු වෙනවා.
  4. මිතුරාගේ විපතක දී පිටුපෑමේ ගතිය.
  5. තමාගේ ප‍්‍රයෝජන සඳහා පමණක් මිතුරා ඇසුරු කිරීම.

ඊලඟ කෙනා වචීපරම. ඔහු හඳුනා ගත හැක්කේ මේ ලක්‍ෂණවලින්. එනම්,

  1. අතිතයෙන් සංග‍්‍රහ කරනවා. මින් අදහස් කරන්නේ වුවමනා අවස්ථාව ඉක්මවුනාට පසුව එනම් අයියෝ ඊයෙවත් මට ඔය කරුණ දැනුම් දුන්න නම් අවශ්‍යතාවය ඉටු කරන්න තිබුණා. ආදී වශයෙන් යහළුවා උපකාරයක් පැතූ විට මග හරින ගතිය.
  2. අනාගතයෙන් සංග‍්‍රහ කරනවා. ඒ කියන්නේ තමාගෙන් යහළුවා උපකාරයක් ඉල්ලූ විට මේ අවස්ථාවේ නම් බැහැ පසුව බලන්නම් ආදී වශයෙන් මග හරින ගතිය.
  3. සමහර විට මිතුරාට කිසිම ප‍්‍රයෝජනයක් නැති නිරර්ථක දෙයින් සංග‍්‍රහ කරණ ගතිය.
  4. මිතුරාගේ යම් අවශ්‍යතාවක් දැනුම් දුන් විට උපකාර නොකර මග හරින ගතිය.

තුන් වෙනි අමිත‍්‍රයා අනුප්පියභාණි. ඔහු හඳුනාගත හැක්කේ මෙහෙමයි.

  1. මිතුරා පහත් වැඩක් කරනා විට එය ද අනුමත කරයි.
  2. මිතුරා හොඳ වැඩක් කරන විට එය ද අනුමත කරයි.
  3. මුහුණ ගුණ කියනවා
  4. නැති තැන දොස් කියනවා.

හතරවන අමිත‍්‍රයා අපායසහයකයි. මොහු බොහොම භයානකයි. ඔහු හඳුනා ගන්නේ

  1. මිතුරා බේබදුකමෙහි යොදවනවා.
  2. මිතුරා අවේලාවේ ඇවිදීමට, සංචාරය කිරීමට හුරු කරනවා.
  3. වැරදි නාට්‍ය, චිත‍්‍රපට ආදිය නැරඹීමට හෝ සමාජශාලා ආදියට හුරු කරනවා.
  4. මිතුරා සූදුවට පොළඹනවා.

දැන් ඔබ කවර මිතුරෙක් දැයි ඔබ ඔබම තීරණය කරන්න. නරක මිතුරෙක් නම් නරක ගති අත් හැර හොඳ ගති පුහුණු කරන්න.

ඔබ සැමට තෙරුවන් සරණයි!