Home » විශේෂාංග » යහපත් හදවතක් ඇත්තා යහළුවාය

යහපත් හදවතක් ඇත්තා යහළුවාය

පින්වතුනී,

යහළුවෙක් නැති කෙනෙක් ලෝකයේ නැහැ. සෑම කෙනෙකුට ම යහළුවෙක් හෝ සිටිනවා. ඇත්ත වශයෙන් ම මෙය මානව සංහතියට පමණක් උරුම වන දෙයක් ද නොවෙයි. කොහොම වුණත් ආශ‍්‍රය කරණ සෑම දෙනා ම සැබෑ යහළුවන් දැයි අපි දන්නේ නැහැ. එය එහෙම වුණත් අපේ මව්භාෂාවේ දී තියෙන ව්‍යවහාරකරන ‘‘යහළු’’ යන පදය සෑදුන හැටි බලන්න. යහ කියන්නේ යහපත් කියන අදහසයි. ‘ළ’ යනු හදවත යි. ඒ අනුව බලන විට ‘‘යහපත් හදවතක් ඇති කෙනා තමයි, යහළුවා’’ මෙහෙම බලන විට අද කීයෙන් කීදෙනෙකුට යහපත් හදවතක් තියෙනවා ද? එය එහෙම වුණත් අපට පුළුවන් අද අද ම මේ මොහොතේ සිට ම වචනයේ අරුතට ගැලපෙන සේ ජීවත් වෙන්න.

පාළුව – කාන්සිය – තනිකම – තුරන් කර ගැනීමට පමණක් කර ගැනීමට පමණක් නොවෙයි ආධ්‍යාත්මික පුරුෂාර්ථ ලං කර ගැනීමට අතිශයින් ම වැදගත් වන ධර්මතාවයක් තමයි මිත‍්‍රත්වය. දවසක් ආනන්ද හාමුදුරුවෝ බුදුහාමුදුරුවන් වහන්සේට මෙහෙම කියනවා. බුදු හාමුදුරුවනේ බුදු සසුනේ හරි අඩක් තියෙන්නේ මිත‍්‍රත්වය මත නේ ද? ‘‘මා හෙවං ආනන්ද මා හෙවං ආනන්ද සකල මෙහිදං ආනන්ද බ‍්‍රහ්මචරියං යදිදං කල්‍යාණ මිත්තතා’’ බුදුසසුනෙන් හරි අඩක් පමණක් නොවෙයි මුළු බුදු සසුනම පවතින්නේ කල්‍යාණ මිත‍්‍රත්වය මතයි, එහි දී බුදුරජාණන් වදාළා.

දෙව්දත් තෙර ශාක්‍ය වංශික කුමාරයෙක්. ඔහු බුදුරජාණන් වහන්සේ ලඟ පැවිදි වුනා. දැන් දෙව් දත් තෙර ටික දවසකින් බිම්බිසාර රජුගේ පුතා වන අජාසත් කුමරු සමඟ යහළු වුනා. මේ විදිහට මේ දෙන්නා මිතුදමින් ජීවත් වන විට දවසක් අජාසත් කුමරට දෙව් දත් තෙර මෙහෙම කිව්වා. ඔයා තාත්තා මරා රජු වෙන්න. රජකම ලැබෙන තුරු ඉන්න එපා. ඒ නිසා ඔහු රජකම ලබා ගන්නට තම ආදරණීය පියතුමාව මැරුවා. මේ කතාව ඔබ අසා තියෙන කතාවක්. බලන්න මහා අපරාධකාරයෙක් බවට පත් වුනේ ආශ‍්‍රය කළ නරක මිතුරා නිසා නේද? බුදුහාමුදුරුවන් වදාළේ,

න භජේ පාපකේ මිත්තෙ – න භජේ පුරිසාධමෙ

භජේථ මිත්තේ කල්‍යාණෙ – භජේථ පුරිසුත්තමෙ

පාප මිතුරන් ඇසුරු කරන්න එපා. සැහැසිකම් කරන, සොරකම් කරන, දුරාචාරයේ හැසිරෙන නොමගට ගිය පහත් මිතුරන් ආශ‍්‍රය කරන්න එපා. ගුණ ධර්මයන්ගෙන් යුක්ත උතුම් පුද්ගලයන් ආශ‍්‍රය කරන්න.

ඔබ සැමට තෙරුවන් සරණයි!