Home » පුවත් පත් ප්‍රකාශන » ජීවිතය ලස්‌සන කරන සමබර පවුල් ජීවිතය

Ven.Hegoda Vipassi Thero

Ven.Hegoda Vipassi Thero

විවාහය යනු ජීවිතයේ ප්‍රබලම සන්ධිස්‌ථානයකි. සැමියාත් බිරිඳත් සමබර ජීවිතයකට හුරු වීමෙන් විවාහය හරහා ගොඩනැඟෙන පවුල් සංස්‌ථාව සාර්ථක කර ගැනීමට පුළුවන. එලෙස ගොඩනැඟෙන පවුල් සංස්‌ථා හරහා සුත මුදිත සමාජයක්‌ ගොඩනැඟෙනු ඇත.

පවුල් ජීවිතයක්‌ සාර්ථක වීමට නම් හැමවිටම සැමියාගේ සිතුවිලිත් බිරිඳගේ සිතුවිලිත් අතර සමබරතාවක්‌ තිබිය යුතුයි.

වර්තමානයේ ගත් විට සමහර පිරිමින් විවාහය කල් දමන ස්‌වභාවයක්‌ තිබෙනවා. ඒ අය පවසන්නේ හොඳ තරුණියක ලැබෙන තුරු විවාහය කල් දමන බවයි. විශ්වාසවන්ත තරුණියක සොයා ගැනීම ලෙහෙසි පහසු කටයුත්තක්‌ නොවන බවයි ඔවුන්ගේ අදහස. ඒ වගේම විවාහය කල්දමන තරුණියන් පවසන්නේ විශ්වාසවන්ත පිරිමියකු සොයා ගැනීමත් ඉතාමත් දුෂ්කර බවයි. මේ කතන්දර දෙකේම දෙපැත්තටම පොදුවූ එක ධර්මතාවක්‌ තිබෙනවා. එම ධර්මතාවය තමයි එකිනෙකාට විශ්වාසය පිළිබඳව විශාල සැකයක්‌ තිබීම. සත්‍ය වශයෙන්ම සාර්ථක පවුල් ජීවිතයකට මෙය විශාල බාධාවක්‌.

බුදුරජාණන් වහන්සේ කළ දේශනාවක්‌ අංගුත්තර ඒකක නිකායේ මෙසේ සඳහන් වෙනවා.

නාහං භික්‌ඛවෙ අඤ්ඤං ඒකරූපම්පි

සමනුපස්‌සාමි, යං ඒවා පුරිසස්‌ස චිත්තං

පරියාදාය තිට්‌ඨති, යථයිදං භික්‌ඛවේ ඉත්ථිරූපං, ඉත්ථිරූපං පුරිසස්‌ස

චිත්තං පරියාදාය තිට්‌ඨතී

මෙහි තේරුම මෙසේයි.

ස්‌ත්‍රියගේ රූපය, ස්‌ත්‍රියගේ හඬ, ස්‌ත්‍රියගේ ගඳ (ස්‌ත්‍රී සුවඳ), ස්‌ත්‍රියගේ ස්‌පර්ශය සහ ස්‌ත්‍රියගේ රසය පුරුෂයාගේ සිත හාත්පස අල්ලාගෙන ඇති බවත් එසේම

පුරුෂයාගේ රූපය, පුරුෂයාගේ හඬ, පුරුෂයාගේ ගඳ (පුරුෂ සුවඳ), පුරුෂයාගේ ස්‌පර්ශය සහ පුරුෂයාගේ රසය ස්‌ත්‍රියගේ සිත හාත්පස අල්ලාගෙන ඇති බවයි මෙහි තේරුම.

මෙයින් අදහස්‌ කරන්නේ පුරුෂයාත් ස්‌ත්‍රියත් යන දෙදෙනාම අෙන්‍යාන්‍ය වශයෙන් සෑම අස්‌ථාවකම දැඩි අවබෝධයකින්, ඔවුන් දෙදෙනාම පතාගෙන සිටින බවයි. දෙදෙනාගේ එම දැඩි බැඳීම මතයි විශ්වාසය ගොඩනැඟෙන්නේ. එම විශ්වාස නැති වුණහොත් සැමියා අන් ළඳුන් කෙරේත් බිරින්දෑවරු අන් පුරුෂයන් කෙරේත් ඇදී යැමට පුළුවන්. මෙවැනි තත්ත්වයන් මගහැරගත හැක්‌කේ දැඩි මානසික ඒකාග්‍රතාවකින් යුතුව ජීවත්වීමෙන් පමණයි. එවැනි මානසික ඒකාග්‍රතාවක්‌ හා දැඩි විශ්වාස මත පදනම්වීමයි සමබර පවුලක්‌ ගොඩනැඟෙන්නේ.

අද සමාජයේ බොහෝ විට දකින්නට ලැබෙන්නේ කාන්තාව මත වරද පැටවීමයි. නමුත් අමතක කරන්න හොඳ නැහැ. කාන්තාවක්‌ වරදෙහි බැඳෙන සෑම අවස්‌ථාවකම පුරුෂයකුත් වරදෙහි බැඳෙන බව. සමාජය මේ තත්ත්වය අමතක කළ ස්‌වභාවයකුයි අද වනවිට දකින්න ලැබෙන්නේ. පුරුෂයකු වේවා ස්‌ත්‍රියක වේවා තමන්ට ආවේනික භූමිකාව නිසි ලෙස රැකීමයි කළ යුත්තේ. එය විශාල සමාජ සත්කාර්යයක්‌. එවිටයි සමාජයක්‌ නිවැරැදිව ඉදිරියට යන්නේ. මෙය ලෝක ස්‌වභාවයයි. මේ තත්ත්වය එදත් තිබුණා. අදත් අපි ඉදිරියට ගෙන යා යුත්තේ මෙම තත්ත්වයයි. මේ තත්ත්වය සියයට සියයක්‌ අපේක්‍ෂා කළ නොහැකි මුත් සදාචාරාත්මක ශිෂ්ටසම්පන්නව ජීවත්වීමට ඊට හැමවිටම අනුගත වීමටයි අප උත්සාහ කළ යුත්තේ. මෙම ක්‍රමවේදය අනුගමනය නොකළහොත් අපගේ තිරිසන් ගති සොබා මතුවී සමාජය පරිහානිය කරායි ගමන් කරන්නේa.

අප කලින් සාකච්ඡාවලින් පෙන්වා දුන්නා කුරුල්ලකු, කිරිල්ලියක ඉන්න පවුල් ජීවිත මෙන්ම දෙවියෙක්‌ දෙවඟනක හා සමානවම ඉන්න පවුල් ජීවිත ඉතා වාසනාවන්තයි කියලා. එවැනි සුන්දරත්වයෙන් පිරි පවුල් ජීවිත විනාශ කිරීමට වෙනත් පුරුෂයෙක්‌ හෝ ස්‌ත්‍රියක්‌ මැදිහත් වේ නම් එය බරපතල පාපයක්‌.

අප කලින් සාකච්ඡාවලින් පෙන්වා දුන්නා කුරුල්ලකු, කිරිල්ලියක ඉන්න පවුල් ජීවිත මෙන්ම දෙවියෙක්‌ දෙවඟනක හා සමානවම ඉන්න පවුල් ජීවිත ඉතා වාසනාවන්තයි කියලා. එවැනි සුන්දරත්වයෙන් පිරි පවුල් ජීවිත විනාශ කිරීමට වෙනත් පුරුෂයෙක්‌ හෝ ස්‌ත්‍රියක්‌ මැදිහත් වේ නම් එය බරපතල පාපයක්‌.

බිරිඳගේ මානුෂික තත්ත්වය ආරක්‍ෂා කිරීමට සැමියකු බැඳී සිටිය යුතුයි බවයි බුද්ධ දේශනාවේ සඳහන් වන්නේ. ඒ සඳහා සැමියකු සෑම විටම මානුෂිකව සිතිය යුතුයි. ඊට හේතුව වශයෙන් බුදුරජාණන් වහන්සේ පෙන්වාදුන්නේ මාගමට නැතහොත් කාන්තාවටම ආවේණික වූ දුක්‌ පහක්‌ ඇති බවයි.

  1. දහරොව සමානො   පතිකුලං ගච්ඡති.   (බාල වියේදීම දෙමාපියන් අතහැර සැමියකු සමඟ යැමට සිදුවීම.)
  2. උතුනී හෝති (මාස්‌ ශුද්ධිය ඇතිවීම.)
  3. ගබ්භිනි හෝති (ගැබ් ගැනීම්)
  4. මාතුගාමො විජායති  (දරුවන් බිහි කිරීම)
  5. පුරිසස්‌ස පාරිචරියං උපෙති  (සැමියාගේ සේවයකු සේ කටයුතු කරන්නට සිදුවීම)

මෙයින් අපට පැහැදිලි වෙන එක්‌ කාරණයක්‌ තමයි කාන්තාවට ආවේණික වූ දුක්‌ පහෙන් තුනකටම හේතුව ජීව විද්‍යාත්මක හේතූන් වීම. (මාස්‌ ශුද්ධිය, ගැබ් ගැනීම, දරුවන් බිහි කිරීම.)

අනෙක්‌ කරුණු දෙක සමාජය විද්‍යාත්මක පසුබිමක පවතින එකක්‌. කොහොම නමුත් ජීව විද්‍යාත්මක සාධක මත පදනම්ව ස්‌ත්‍රියකට ඇතිවන දුක ගැන පුරුෂයා දැඩි මානුෂික තත්ත්වයකින් බිරිඳ දෙස බැලිය යුතුයි.

ස්‌ත්‍රියක වරදෙහි බැඳෙන අවස්‌ථාවක ගැබ් ගැනීම වැනි තත්ත්වයන්ට පත්විය හැකියි. නමුත් පුරුෂයන්ට එවැනි ප්‍රශ්නයක්‌ නැහැ. එවැනි තත්ත්වයක්‌ තිබූ පමණින් පුරුෂයන්ට කෙතරම් රාගික සිතුවිලි මතු වුවත් ඊට අනුගත වී අන් කතුන් කරා යැම අනුමත කළ නොහැකියි.

ඇතිවන රාගික සිතුවිලි පාලනය කිරීමට නැතිනම් මර්දනය කිරීමටයි පුරුෂයන් උත්සාහ කළ යුත්තේ.

පුරුෂයන් අන් ස්‌ත්‍රීන් කෙරේ ඇතිවන රාගික සිතුවිලි පාලනය කර ගැනීමට පාලනය කිරීමට බුදුදහමෙහි උපදෙස්‌ ලබාදී තිබෙනවා.

තමන්ට වඩා බාල තරුණියක කෙරේ රාගික සිතිවිලි ඇති වුවහොත් ඇය නැගණියක ලෙස සිතීමත් තමන්ට වඩා වැඩිමල් ඇත්තියක කෙරේ එවැනි සිතුවිල්ලක්‌ ඇති වුවහොත් තමන්ගේ මව හෝ වැඩිමල් සොයුරිය ලෙස සිතන ලෙසත් බුදු දහමෙහි උපදෙස්‌ වශයෙන් ලබාදී තිබෙනවා. ඒ තුළින් දැඩි ශික්‍ෂණයකට පත්වීමට පුරුෂ පාර්ශ්වයට හැකියාව තිබෙනවා. අප මේ කී සිතුවිලි පුරුෂයාට පමණක්‌ ආවේණික නැහැ. අන් පුරුෂයන් කෙරේ ස්‌ත්‍රියකට වුවත් රාගික සිතුවිලි ඇතිවිය හැකියි. එවැනි අවස්‌ථාවක ස්‌ත්‍රියකට මල්ලි, පුතා, පියා වශයෙන් සිතා පුරුෂයකු කෙරේ ඇති වූ රාගික සිතුවිලි මැඩපැවැත්වීමට හැකියි. එලෙස පුරුෂයන් ස්‌ත්‍රීන් අන්‍යයන් කෙරේ ඇතිවන රාගික සිතුවිලි පාලනය කර ගැනීම සමබර පවුල් ජීවිතයකට අත්‍යවශ්‍යයි.

විවාහයේදී පුරුෂයාත් සැමියාත් අතරේ විශාල වයස්‌ පරතරයක්‌ තිබීමත් සමබර පවුල් ජීවිතයකට බාධාවක්‌ වෙනවා.

අතීතයොබ්බනෝ පොසො

ආනේති තිම්බරුත්ථනිං

තස්‌සා ඉස්‌සා න සුපති

තං පරාභවතෝ මුඛං

(සුත්ත නිපාතයේ – පරාභව සූත්‍රය)

වයෝවෘද්ධ තැනැත්තෙක්‌ තිඹිරි ගෙඩිවන් පියයුරු ඇති යොවුන් දැරියක්‌ විවාහ කර ගතහොත් එම පුද්ගලයා මානසිකවත් කායිකවත් බිඳවැටෙනු ඇත. ඊට හේතුව වන්නේ ලාබාල ළඳ බොළොඳ දැරිය තමන්ගේ වසඟයේ තබා ගැනීමට නොහැකි වීමයි. ඇයගේ සිත වෙනත් පිරිමින් කරා ගමන් කළ හැකියි. ඒ නිසා මෙම වයෝවෘද්ධ තැනැත්තා නිඳි වරාගෙන ඇය ආරක්‍ෂා කිරීමට උත්සාහ කරනවා. ඇත්තටම මෙම තත්ත්වය දුකක්‌. ඒ නිසා සෑම කෙනකුම තමන්ගේ වයසත් සමග ගැලපීමට උත්සාහ කළ යුතුයි.

මාතුගාම වැනි සූත්‍රවලදීත් සමබර පවුල් ජීවිතයේ ඇති වැදගත්කම බුදුරජාණන් වහන්සේ පෙන්වාදී තිබෙනවා.

  1. නච රූපවා හෝති (රූපවත් නොවේ)
  2. නච හොගවා හෝති (ධනවත් නොවේ නම්)
  3. නච සීලවා හෝති (සිල්වත් නොවේ නම්)
  4. අලසොච හෝති (අලස වේ නම්)
  5. පජඤ්චස්‌සන න ලභති  (දරුවන් නොමැති නම්)

මෙන්න මේ කාරණා පහ නොමැති අය සමග බිරිය අමනාපකම් ඇති කරගන්නවා. සමබර පවුල් ජීවිතයක්‌ ගෙන යැමටත් නොහැකි වෙනවා. මෙකී කාරණාව බිරිඳ සම්න්ධයෙන් ද පොදුයි.

පුරුෂ සූත්‍රයේදී සඳහන් වන අන්දමට බිරිඳ කල්පනා කරනවා, තමන්ගේ සැමියා රූමත් නොවේ නම් ඒ වගේම ධනවත් නොවේ නම්, අලස වේ නම්, දරුවෝ නැති නම් සිල්වත් නොවේ නම් එම ජීවිතය බොහෝ දුකයි කියා. සමබර නැහැ කියා. එම අවස්‌ථාවේදී පවුල් ජීවිතයේ බොහෝ බේදබින්න ඇතිවිය හැකි තත්ත්වයකට පත්විය හැකියි. අද සමාජයේ මේ තත්ත්වයන් දකින්නට ලැබෙනවා.

විවාහයක්‌ වූ පසු දරුවන් නොලැබුණොත් එය අඹුසැමියන්ගේ නොසතුටට හේතු වෙනවා. බුදු දහමේ දැක්‌වෙන අයුරින් දරුවන් නොලැබීමට ගොඩක්‌ හේතු තියෙනවා. එක්‌ හේතුවක්‌ තමයි කර්මය. පෙර ආත්මයන්හිදී කළ අකුසල කර්මයන් නිසා දරුවන් නැති වෙන්න පුළුවන්. නූතනයේ ගත් විට විවාහක අඹුසැමියන් නොයෙකුත් හේතු නිසා දරුවන් ලැබීම කල් දැමීම නිසාද දරු ඵල නැතිවන අවස්‌ථා තියෙනවා. ඊට අමතරව ජීව විද්‍යාත්මක සාධකත් මේ සඳහා හේතුවන අවස්‌ථා තිබෙනවා.

මේ කුමන හේතුවක්‌ නිසා හෝ විවාහක අඹුසැමියන්ට දරුවන් නොමැති අවස්‌ථාවක වෙනත් දරුවකු නිත්‍යානුකූලව දරුකමට හදා ගැනීම වරදක්‌ නොවේ. එම තත්ත්වය එදා සමාජයෙත් තිබුණා. අද සමාජයෙත් තියෙනවා. අනුන්ගේ දරුවකු හදා ගත්තත් එතැනදී එම අඹුසැමියන් එම දරුවාට පියකු මවකු ලෙසින් සලකන්නේ නම් එතැනදී මාපිය සෙනෙහසක්‌ ඇති වෙනවා. ඊට හොඳම නිදසුනක්‌ සංඝ සමාජයෙන්ම පෙන්වා දිය හැකියි.

භික්‍ෂුන් වහන්සේලා දරුවන් සෑදීමක්‌ සිදු කරන්නේ නැහැ. නමුත් භික්‍ෂුන් වහන්සේලා ශාසනයේ පැවැත්ම සඳහා කුලදරුවන් පැවිදි බිමට ඇතුළත් කරගනු ලබනවා. එතැනදී බුදුරජාණන් වහන්සේ දේශනා කළේ නායක හාමුදුරුවන් විසින් එම දරුවන්ට මවක ලෙසින් පියකු ලෙසින් සෙනෙහස දක්‌වන ලෙසයි. සේවා ස්‌ථානයක ගත් කල මෙවැනි තත්ත්වයන් ඇතැම් අවස්‌ථාවලදී දැකිය හැකියි. තම සේවකයන්ට මවක ලෙසින් පියකු ලෙසින් සලකන ආයතන ප්‍රධානීන් සිටිනවා. ඒවගේ ඉහළ තනතුරුවල සිටිමින් තමන් යටතේ සිටින සේවකයන්ට මවක ලෙසින් පියකු ලෙසින් සලකන ඉහළ ශ්‍රේණියේ නිලධාරීන්ද සිටිනවා. ආයතනයක දියුණුවට එවැනි තත්ත්වයන් විශාල පිටිවහලක්‌ වෙනවා. කෙසේ හෝ වේවා බුදුරජාණන් වහන්සේ දේශනා කළේ අඹුසැමියන්ට දරුවන් නැතිවීම දුකක්‌ කියලයි. දරුවන් නොමැති අඹුසැමියන්ට දරුවකමට හදා ගන්නා දරුවකුට නියම පිය සෙනෙහස, මව් සෙනෙහස දක්‌වමින් එම දරුවා තමන්ගේම දරුවකු ලෙසින් හදාවඩා ගැනීමෙන් එම දුක නැති කරගන්න පුළුවන්.

අප කලින් සාකච්ඡාවලින් පෙන්වා දුන්නා කුරුල්ලකු, කිරිල්ලියක ඉන්න පවුල් ජීවිත මෙන්ම දෙවියෙක්‌ දෙවඟනක හා සමානවම ඉන්න පවුල් ජීවිත ඉතා වාසනාවන්තයි කියලා. එවැනි සුන්දරත්වයෙන් පිරි පවුල් ජීවිත විනාශ කිරීමට වෙනත් පුරුෂයෙක්‌ හෝ ස්‌ත්‍රියක්‌ මැදිහත් වේ නම් එය බරපතල පාපයක්‌.

එවැනි පාපයක්‌ සිදු කිරීමට පෙර ඒ සඳහා මැදිහත්වන අය සිතිය යුතු කාරණයක්‌ තිබෙනවා. යම් අවස්‌ථාවක තමන්ටත් ඒ වේදනාව විඳින්න ලැබුණොත් මොකද වෙන්නේ. ඔවුන් ඒ ගැන සිතිය යුතුයි. මානුෂික හැඟීමකින් මෙම ප්‍රශ්නය දෙස බලා පවුල් ජීවිත අවුල් කරන පාපී ෙච්තනාවලින් ඈත්විය යුතුයි. ශිෂ්ටසම්පන්න පුද්ගලයා ක්‍රියා කළ යුත්තේ එලෙසයි. සමාජ සදාචාරය බිඳ දැමීමට අපට කිසිම අයිතියක්‌ නැහැ.

බුදු දහමේදී කතා කරනුයේ යුතුකමයි. යුතුකම් ඉටුවන විට වගකීම්වලට යැමට අවශ්‍ය වන්නේ නැහැ. වගකීම යනු නෛතික පදනමක්‌. ඔවුනොවුන්ට සලකමින් එකිනෙකාට ගරු කරමින් ජීවත්වීම තමයි ඉතා සාර්ථක විවාහ ජීවිතයකට පදනම වන්නේ.

විවාහය යනු ජීවිතයේ ප්‍රබලම සන්ධිස්‌ථානයකි. සැමියාත් බිරිඳත් සමබර ජීවිතයකට හුරු වීමෙන් විවාහය හරහා ගොඩනැඟෙන පවුල් සංස්‌ථාව සාර්ථක කර ගැනීමට පුළුවන. එලෙස ගොඩනැඟෙන පවුල් සංස්‌ථා හරහා සුත මුදිත සමාජයක්‌ ගොඩනැඟෙනු ඇත.

විවාහය යනු ජීවිතයේ ප්‍රබලම සන්ධිස්‌ථානයකි. සැමියාත් බිරිඳත් සමබර ජීවිතයකට හුරු වීමෙන් විවාහය හරහා ගොඩනැඟෙන පවුල් සංස්‌ථාව සාර්ථක කර ගැනීමට පුළුවන. එලෙස ගොඩනැඟෙන පවුල් සංස්‌ථා හරහා සුත මුදිත සමාජයක්‌ ගොඩනැඟෙනු ඇත.

ආදර්ශය යන්න මුහුණ බලන කැඩපතක්‌ බඳුයි. පවුල් ජීවිතය සමබර වීමටත් ඒ ඔස්‌සේ දරුවන්ට නිසි මග කියාදීමට මාපියන් කැඩපතක්‌ ලෙස ක්‍රියා කිරීම වැදගත්. දෙමාපියන් සමගියෙන් සමාදානයෙන් ධාර්මිකව පවුල් ජීවිතය ගත කරන විට එම ආදර්ශය ඔවුනගේ දරුවනුත් ලබා ගන්නවා. ඒ හරහා ගොඩනැගෙන සමාජය රටට හිතකරයි. එනිසා සමබර ධාර්මික පවුල් ජීවිතයක්‌ යනු අපේ අනාගත සමාජය වෙනුවෙන් කරන ධාර්මික ආයෝජනයක්‌ ලෙස හඳුන්වාදීම වරදක්‌ නැහැ. විශේෂයෙන් අද සමහර අන්‍යාගමික මතවලට අනුව වැරදි දේ අප සමාජය මත පටවමින් සිටින යුගයක අප සැම විටම නිවැරැදි විවාහයකින් කටයුතු කිරීමටයි උත්සාහ කළ යුතුයි.

නූතනයේ පවුලේ සමබරතාව බිඳ වැටීමට මාධ්‍යයත් යම් ප්‍රමාණයක්‌ වගකිව යුතුයි. විශේෂයෙන් සමාජයේ ලැඡ්ජා භය නැතිකර ටෙලි නාට්‍ය, සන්දර්ශන අප සමාජයට විශාල හානියක්‌ වෙලා. පව් කිරීමට ඇති බිය වළකන ලෝක පාලක ධර්ම බිඳවැට්‌ටවීම උපක්‍රමශීලීව සිදුවන බවක්‌ තමයි මින් පෙනෙන්නේ.

පවුල් ජීවිත බොහෝ විට බිඳ වැටෙන්නේ තමන්ගේ තරම, හැකියාව, ශක්‌තිය නොදෙන තීරණ ගැනීම නිසයි. විශේෂයෙන් සමහර ටෙලි නාට්‍යවලින් ජනතාවගේ මනසට ලබා දෙන්නේ ළඟාකරගත නොහැකි දේවල්. ඒවා අනුගමනය කිරීමට උත්සහ කරන අය පත්වන්නේ දැඩි අසහනයකට. තමන්ට ලැබෙන ආදායම අනුව වියදම පාලනය කර ගැනීමට ඕනෑම අයෙක්‌ උත්සහ කළ යුතුයි. තමන්ට ලැබෙන ආදායම කොටස්‌ හතරකට බෙදා වියදම් කළ යුතු බවයි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ. කොටසක්‌ පරිභෝජනයටත්, තවත් කොටස්‌ දෙකක්‌ ආයෝජනයටත්, තවත් කොටසක්‌ ආපදා තත්ත්වයකදී පරිහරණය කිරීමට තබාගත යුතු බවයි උන්වහන්සේ දේශනා කළේ.

සමහර විට මුදල් කොපමණ තිබුණත් ජීවිතය තෘප්තියෙන් ගත නොකරන අඹුසැමියන් අනන්තවත් ඉන්නවා. ඒවගේ සුළු වැටුපක්‌ ලැබුණත් දරු මල්ලන් සමග සතුටින් තෘප්තියෙන් පවුල් ජීවිතය ගත කරන අයත් ඉන්නවා. නරක දේවල්වලින් ඈත්වී තෘප්තිමත් සමබර පවුල් ජීවිතයක්‌ ගොඩනගා ගැනීම තමා වැදගත්.

ධර්ම සංවාදය

වසන්ත ලියනගේ