Home » පුවත් පත් ප්‍රකාශන » දහම බබළන්නේ විවෘත වූ තරමටයි

දහම බබළන්නේ විවෘත වූ තරමටයි

Dinamina_Print[1]අප තථාගත සම්බුදු රජාණන් වහන්සේ වදාළ ධර්මයෙහි යහපත් ජීවිතයක් සඳහා පැහැදිලිව දක්වනවා. පුද්ගලයින්, පවුල, සමාජය යහපත් පැවතුම් පෙන්වා දෙනවා. දෙවියන් වන්නේද, ආධ්‍යාත්මික පුද්ගලයන් වන්නේVipassi Theroද, සුර අසුර වන්නේද මිනිසුන්ය. බුදුදහම පිළිපැදිය යුතු ධර්මයකි. ඇදහිලිවලට යොමුවී සිටින්නේද බෞද්ධයන්, ජනතා විශ්වාසය දිනා ගනිමින් සමාජගත වී ඇති ඇදහිලි ක්‍රම හා බුදුදහම සම්බන්ධයෙන් රත්මලාන ධර්ම පර්යේෂණ ආයතනයේ අධ්‍යක්ෂ හෑගොඩ විපස්සි හිමි සමඟ

* ස්වාමින් වහන්ස, එදිනෙදා මතුවන සමාජීය හා පුද්ගල ගැටලුවලට පූජා හා ඇදහිලි ක්‍රමවලින් විසඳුම් සෙවීම දහමට අනුකූලද?

බුදුදහම හා ඇදහැලි ක්‍රම අතර කිසිම සම්බන්ධයක් නැහැ. කිසියම් ගැටලුවක් හෝ රෝග පීඩාවක් වූ විට පුද පූජා, පැවැත්වීමෙන් භාරහාරවීමෙන් විසඳුමක් ලැබෙන බව බෞද්ධයින් බොහෝදෙනාගේ විශ්වාසයක් තිබෙනවා. ඇදහීම් ක්‍රමයට අනුව පූජාව පැවැත්වීමෙන් පසුව බෞද්ධයින් මානසික සුවයක් ලබනවා. ගැටලුවට විසඳුමක් ලැබෙන්නේ නැහැ. එහෙත් ඒ මිත්‍යාව කෙරෙහි බෞද්ධයින්ගේ දැඩි විශ්වාසයක් තිබෙනවා.

* පූජාවිය මිත්‍යාවක් නම් බෞද්ධයින්ගේ වැඩි නැඹුරුවක් ඒ කෙරෙහි ඇතිවන්නේ ඇයි?

මීට දසක තුන හතරකට පමණ ඉහත තිබූ බෞද්ධ සමාජ පරිසරයට වඩා වර්තමාන තත්ත්වය වෙනස්. මේ වනවිට බෞද්ධයින් බුදුදහමෙන් ඈත්වී ඇදහැලිවලට යොමුවීමේ ප්‍රවණතාවක් තිබෙනවා. මිත්‍යාව සාමජයේ ප්‍රචලිත වෙලා. ඇදහීම් ක්‍රමය යනු බමුණන්ගේ දහමක්. බෞද්ධයින් ඒ භක්තිවාදයට යොමුවෙලා තිබෙන්නේ බුදුදහම ගැන හොඳ අවබෝධයක් නැති නිසායි.

* වර්තමාන සමාජය සංකීර්ණයි. රෝගයක් හෝ ප්‍රශ්නයක් ඇති වූ විට කිසියම් හෝ විසඳුමක් සොයා යාම සාමාන්‍ය දෙයක්. බුදුදහමට අනුව එයට සරල විසඳුම් තිබෙනවාද?

බුදුන් වහන්සේගේ ධර්මයට අනුව පුද්ගලයින්ට රෝග තිබෙන්නේ දෙකයි. කායික හා මානසික වශයෙන්. කායික රෝග සුව කිරීමට අවුරුදු ගණනාවක් වූවද ප්‍රතිකාර කරන්නට පුළුවන්. මානසික රෝග පෘථග්ජන සිත සෑම මොහොතකම දුර්වල කරනවා. පුද්ගලයින්ගේ බාහිර හා අභ්‍යන්තර දියුණුව වළකාලන අයහපත් ඇබ්බැහිවීම විනාශයට හේතුවක්. අයහපත් ඇබ්බැහිවීම් මඟින් සමාජ සංස්ථාව බිඳ වැටීම් මෙන්ම පිරිහීමට ද ලක් වෙනවා. බුදුන් වහන්සේ දේශනා කරන ලද සිඟාලෝවාද සූත්‍රය මඟින් ජීවිතය යහපත් කරගන්නා අන්දම පැහැදිලිව දක්වනවා.

මානසික රෝගවලට හොඳම විසඳුම අභය දානයයි. ඒ කියන්නේ පංචශීලය ආරක්ෂා කිරීමයි. පුද්ගලයින් ආධ්‍යාත්මික වශයෙන් දියුණු වීම මානසික රෝගවලින් නිදහස්වීමේ හොඳම ක්‍රමයයි. බුදුදහම ප්‍රතිපත්තියක්. අපිරිමිත බුදුදහම පිළිපැදිය යුතු ධර්මයක්. නිවැරැදිව පිළිපැදීමෙන් මානසිකව තාවකාලික සුවයක් කොට ස්ථාවරව යහපත් පුද්ගලයකු ගොඩනැ‍ඟෙන අයුරු දක්වා තිබෙනවා. බුදුදහම නිවැරැදිව සමාජගත නොවන විට මානසික සංකල්ප වෙනස් කිරීම පහසුයි. බුදුදහම නිවැරැදි ලෙස අවබෝධ කර ගැනීමට ත්‍රිපිටකය හැදෑරීමෙන් පුළුවන්. එහෙත් ඇතැම් විහාරස්ථානවලද මිත්‍යා සංකල්පය ප්‍රචලිත කරමින් ඇදහිලි ක්‍රම පවත්වාගෙන යනවා.

* බුදුන් වහන්සේ ලොව පහළ වන විටත් ඇදහිලි ක්‍රම පවත්වා තිබෙනවා. එය මිත්‍යාවක් වන්නේ කෙසේද?

ප්‍රාග් බෞද්ධ යුගයේදීත්, ඊට පෙර පැරණි භාරතීය ජනතාවත් ඇදහීම් සිදුකළා. සූර්යයා, චන්ද්‍රයා, ග්‍රහලෝක හා තවත් නොපෙනෙන සිදුවීම් බලවේග ලෙස සලකා ඇදහීම් සිදුකළා. එම නොපෙනෙන බලවේග මිනිස් ජීවිතවලට බලපාන බවට විශ්වාසයක් ඇති කොට පුද පූජා පවත්වන්නට යෙදුණා. එකල භාරතීය ජනතාව විසින් නොපෙනෙන බලවේග කෙරෙහි විශ්වාසය දහමක් ලෙස සමාජගත කළා. පැරණි භාරතීයයන් අදහනු ලැබූ ඒ විශ්වාසයන් හා දේව සංකල්ප ශ්‍රී ලාංකික සමාජයේද කතා බහට ලක්වුණා.

සූර්යයා, චන්ද්‍රයා, ග්‍රහලෝක සංක්‍රමණය වීම සාමාන්‍ය සිදුවීමක් පමණයි. ඒවායෙහි සිදුවීම් මිනිස් ජීවිතවලට බලපෑම් සිදුකරනු ලබන බවට විශ්වාසය මිත්‍යාවක් මිස සත්‍යයක් වන්නේ නැහැ. පිළිපැදීමකින් තොරව නොපෙනෙන සිදුවීම් බලවේග ලෙස විශ්වාස කොට පෙනෙන බලවේග නිවැරදි කර ගැනීමට නොහැකියි.

ශ්‍රී ලාංකික බොහෝ පිරිස හැඟීම්බරයි. ඔවුන්ගේ සිතුවිලි සංවේදියි. මේ මානසික ඌනතාව වෙළෙඳ උපක්‍රමයක් බවට පරිවර්තනය කර ගැනීමෙන් මිත්‍යා මත ඉස්මතු වෙලා. මාධ්‍ය විසින් ද ඉස්මතු කිරීමට අනුව මිත්‍යාව කෙරෙහි ජනතාව නැඹුරුවීමක් තිබෙනවා. වර්තමාන සමාජය අදහනු ලබන මිත්‍යා සංකල්ප සිතට සහනයක් සැපයූවද එය පරිහානයේ ලක්ෂණයක්.

* ලාංකික පරිසරය තුළ විවිධ ගැටුම් ඇතිවී තිබෙන්නේ ද බුදුදහම නිවැරැදිව සමාජගත නොවීම හේතුවෙන්. සෙනසුරු මාරුව ඇතුළු අනෙකුත් ග්‍රහ මාරුවීම්, රාහු කාලය හොඳින් ඉතා පුළුල් ලෙස සමාජගත වී තිබෙනවා. සත්‍ය හෝ අසත්‍ය සමාජයේ මුල්බැසගත් කාරණා බැහැර කිරීම පහසු කාර්යයක් වන්නේ නැහැ නේද?

සෞරග්‍රහ මණ්ඩලයේ දෙවන විශාලතම සෙනසුරු ග්‍රහයා සංක්‍රමණය කිරීම සාමාන්‍ය සිදුවීමක්. ලෝකයේ අනෙකුත් සිදුවීම් මෙන්ම ග්‍රහ වස්තූන්වලටද සිය ස්වරූපය අනුව ස්වභාවයෙන් සිදුවන වෙනස්වීම් තිබෙනවා. සෙනසුරු ග්‍රහයාගේ එවැනි සිදුවීමත් බලවේග ලෙසින් මිනිස් චින්තනයට බලපාන බවට විශ්වාසයක් ඇති කරමින් සිදුකරන ලද සමාජගත කිරීමක්. එහෙත් සෙනසුරු මාරුව සුබ අසුබ ඵල ගෙන දෙන සිද්ධියක් බවට වර්තමානයේ දී විශාල පිරිසකගේ අවධානයට ගෙන තිබෙනවා. හුදෙක්ම ඒ ප්‍රවණතාව සිදුකර තිබෙන්නේ වාණිජත්වය විසින්. මාධ්‍ය මඟින් පළකරනු ලබන දැන්වීම් අනුව සමාජයේ ඉහළ පිළිගැනීමක් තිබෙන බව ඇති කර තිබෙනවා. ඊට අමතරව ඉහළ ප්‍රචාරයක් ලබාදීමටද ඇතැම් මාධ්‍ය කටයුතු කරනවා.

සමාජය ඉහළින් පිළිගනු ලබන තවත් සංකල්පයක් වන රාහු කාලය යනුවෙන් වේලාවක් බුදුන් වහන්සේ දේශනා කෙළේ නැහැ. රාහු කාලය ලෙස දක්වන කාලසීමාව නරක නම් එම වේලාව ඉක්ම වූ පසු ‍ෙහාඳ කාලය විය යුතුයි. නරක වේලාව ලෙස කියන රාහු කාල වේලාවේදී දෛනිකව හොඳ නරක දෙකම සිද්ධ වෙනවා.

බුදුන් වහන්සේගේ ධර්මයට අනුව හොඳ නරක සිදුවන්නේ පුද්ගල ක්‍රියාකාරකම් මතයි. සිත, කය, වචනය මඟින් සිදුකරන ක්‍රියාකාරකම් යහපත් නම් එය හොඳ කාලවේලාවයි. යහපත් ක්‍රියාකාරකම් සිදුකරන සෑම මොහොතක්ම සුබ මුහුර්ථයක්.

අංගුත්තර නිකායේ තික නිපාතයේ මංගල වර්ගයේ දස වැනි සූත්‍රයෙහි හොඳ නැකැත් හදාගැනීම පිළිබඳව දක්වනවා. චතුරවේදය යටතේ වන අකර්වවේදයෙහි වේදාගේ අංශය යනු එම ජ්‍යොතිෂ්‍යයි. එය බමුණන් විසින් වැරදි අර්ථකථන ලබාදෙමින් සමාජගත කර තිබෙනවා.

බුදුන් වහන්සේ ලොව පහළ වනවිටත් මිත්‍යා විශ්වාස මත ඇදහිලි ක්‍රම තිබුණා. ධර්මය ප්‍රචලිතවීමත් සමඟ ඇදහීම් ක්‍රමයෙන් බැහැර වුණා. බුද්ධ වචනය යහපත් බුද්ධියෙන් වැඩ කරන්නටයි, ආර්ය අෂ්ටාංගික මාර්ගයේ සම්මා සංකල්පයයි.

* මිත්‍යාවෙන් අසත්‍යයෙන් බැහැරව යහපත් සමාජයක් ගොඩනැ‍ඟෙන්නේ කෙසේද?

සුර – අසුර වන්නේද පුද්ගලයින්. දෙවියන් වන්නේද ආධ්‍යාත්මික මිනිසුන් වන්නේ ද පුද්ගලයන්. තමන් පිළිපදින ධර්මතාවට අනුව ආධ්‍යාත්මික හෝ මිත්‍යාව වෙත ගමන් කරනවා.

පුද්ගලයින්ගේ දුර්වලතාවයන් සක්‍රීය කරන්නට බලවේග ආදේශ කර ගන්නවා. බමුණු දහම අදහන පුද්ගලයින්ගේ ආත්මීය ශක්තිය දුර්වල කර තිබෙනවා. අයහපත් ක්‍රියාකාරකම් සඳහා ප්‍රතිකර්ම තිබෙනවා. අසත්‍ය දිගින් දිගටම පැවතෙන්නේ නැහැ. සත්‍යය හෙළිවෙනවා.

පුද්ගලයින් යම් දෙයක් තේරුම් ගනු ලබන්නේ ප්‍රත්‍යක්ෂ සමාජ මට්ටමේ සිටයි. මේ පිළිබඳව පර්යේෂණ මඟින් හෙළි කර තිබෙනවා. සමාජ දහමක් ලෙස ප්‍රචලිත බමුණන්ගේ දහම මඟින් මිනිසුන් නොමිනිසුන් බවට පත්කරනු ලබනවා. මානසික මහලුන් බවට පත්කරනවා. ඒ අනුව බුද්ධිය බද්දට අරගෙන නිවැරැදි තීන්දු ගන්නට නොහැකි තත්ත්වයට පත්වෙනවා. වැරදි වැටහීම් සමාජගත වූ විට මිනිසුන් අතර කතිකාවක් ගොඩ නැ‍ඟෙනවා.

පුද්ගලයින්, පවුල, සමාජ සංස්ථා යහපත් කරන නිර්මල බුදුදහම වඩාත් ප්‍රචලිත කරන්නට සමාජ කතිකාවක් අවශ්‍යයි. බුදුදහම නොදැන නිවැරැදි මාර්ගයේ ගමන් කරන්නට බැහැ. පරිහානිය වළක්වා ගන්නා ක්‍රම බුදුන් වහන්සේ දේශනා කර තිබෙනවා. යහපත් පරිසරයක යහපත් ජීවිත ගෙවන්නට බුදුදහම නිර්භීත ලෙස ජීවිතවලට සම්බන්ධ කරගන්නට ඕන. බුදුදහම බබළන්නේ ද විවෘත වූ තරමටයි.

//www.dinamina.lk/2015/02/20/_art.asp?fn=f1502202