Home » විශේෂාංග » සත්ත්‍ය වටහා ගනිමු

imageඅප තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ පරිනිර්වාණයට පත් ව මේ වන විට වසර දෙදහස් පන්සිය පනස් තුනක් පමණ වේ. පුරා වසර පන්දහසකින් ශ්‍රී සද්ධර්මය අන්තර්ධානය වන බව පුරාතනයේ සිට පවත්නා සුප්‍රකට ප්‍රවාදයකි. ඒ අනුව බුදු සසුනේ ආයුෂයෙන් අඩක් පමණ මේ වනවිට ගත වී ඇත. තවත් වසර දෙදහස් හාරසිය හතලිස් හතක් (2447) ක් පැවතිය යුත්තේය. මෙම ගණන් හිලව් අනුව ක්‍රි. ව. 4446 වෙසක් මස වන විට සම්බුදු දහම අන්තර්ධානය විය යුතුයි. සියලු සංස්කාර ධර්ම අනිත්‍ය යයි බුදුරජාණන් වහන්සේ වදාළ සේක. සසුන ද අනිත්‍යතාව උරුම කොට ඇත. එහිලා ශ්‍රී සද්ධර්මයම යම් කිසි කලක දී අන්තර්ධානය වීම ධර්මතාවකි. සම්බුදු දහම අවිනිශ්වරයි. එහෙත් එය නියතිවාදයට හෝ වෙනස් නොවන සත් පදාර්ථය යැයි වරදවා ගත යුතු නොවේ.

බුදුරජාණන් වහන්සේ ලොව පහළ වුවත් නොවූවත් ධර්මයෙහි පිහිටි බව (ධම්මට්ඨිතතා) ධර්මයෙහි නියම ස්වභාව නැතහොත් (ධම්ම නියාමතා) පටිච්ච සමුප්පාදය (ඉදප්පච්චයතා) ලොව පවතියි. තථාගතයන් වහන්සේලා එය එනම් ප්‍රතීත්‍යසමුප්පාද ධර්මය අවබෝධ කරන සේක. අභිසමය කොට, ප්‍රකට කරන සේක. සංයුක්ත නිකායේ පටිච්චය සූත්‍රයෙහි අන්තර්ගත එම දේශනා මේ පාඨය අනුව සද්ධර්මය අන්තර්ධානය යනුවෙන් අදහස් කරන්නේ කිසියම් කාලයක දී ධර්මය මිනිස් ජීවිතවලින් ඈත්ව යටපත් වී ‍යෑම යි. බුදුරජාණන් වහන්සේ නමක් ලොව පහළ වූ කල්හි යටපත් වී ඇති එම ධර්මය ස්වසම්භූ ඥානයෙන් අවබෝධ කොට නැවතත් දේශනා කරන සේක. එම නිසා මෙසේ ධර්මය අතුරුදහන්වීමට කාලසීමාවක් දේශනා කොට තිබේ දැයි විමසා බැලීම වැදගත් වේ.

ශාසනයේ ආයුෂ අවුරුදු පන්දහසක් කල් පවතින්නේ යැයි අප ගෞතම බුදුරජාණන් වහන්සේ නොවදාළහ. එවන් දේශනාවක් ත්‍රිපිටකයේ කිසිම තැනක සඳහන් නොවේ. එසේ නම් මෙම තත්ත්ව සහතිකයේ පුරාවෘත්තය කෙසේ සිදු වි දැයි කෙටියෙන් විමසා බැලීම මෙම ලිපියේ අරමුණ යි. ථෙරවාද මහායාන ග්‍රන්ථයන් හි නොයෙක් වර ශාසනායුෂය පිළිබඳ, සාකච්ඡා කොට ඇති බව පෙනේ. එසේ වුවත් තීරණාත්මක නිශ්චිත විවරණයක් එම සාකච්ඡාවන්හි අන්තර්ගත නොවේ. මෙම මතය ගොඩනැගීමට හේතු වූ පසුබිම ත්‍රිපිටකාගත සූත්‍රයන්හි සදහන් ය.

“සචේ ආනන්ද නාලභිස්ස මාතුගාමො තථාගතප්ප වෙදිතෙ ධම්ම විනයේ අගාරස්මා අනගාරියං පබ්බජ්ජං, චිරට්ඨිතිකං ආනන්ද බ්‍රහ්මචරියං අභවිස්ස, වස්සසහස්සං සද්ධම්මෝ තිට්ඨෙය්‍ය. යතො ච ඛො ආනන්ද මාතුගාමෝ තථාගතප්ප වෙදිතො ධම්ම විනයෙ අගාරස්මා අනගාරියං පබ්බජිතො නා’දානි ආනන්ද බ්‍රහ්මචරියං චිරට්ඨිතිකං භවිස්සති පඤ්චෙව’දානි ආනන්ද වස්සසතානි සද්ධම්මො ඨස්සති”

ආනන්දයෙනි: මාගම ( කාන්තාව ) ගිහිගෙන් නික්ම තථාගත සාසනයෙහි පැවිදි නොවූයේ නම්, මේ සසුන් බඹසර දීර්ඝ කාලයක් පවතින්නේ ය. මේ ශාසන සද්ධර්මය අවුරුදු දහසක් පවතින්නේ ය. ආනන්දයෙනි, යම් හෙයකින් මාගම ගිහිගෙයින් නික්ම තථාගත සාසනයෙහි පැවිදි වූයේ ද එහෙයින් දැන් මේ සසුන් බඹසර දීර්ඝ කාලයක් නොපවතින්නේ ය.

දැන් කාන්තාව පැවිදි වූ තැන් පටන් පන්සිය වසක් ම ශාසන සද්ධර්මය පවතින්නේ ය, යනුවෙන් චුල්ලවග්ග පාලියේ භික්ඛුනීක්ඛන්ධකයේ සඳහන් වේ. මේ අදහස අංගුත්තර නිකායේ අට්ඨක නිපාතයේ ගෝතමී සූත්‍රයේත් සදහන් ය. වර්ෂ දහසක් පවත්නා සද්ධර්මය මාගමුන් පැවිදි කිරීම හේතුකොට හරි අඩක් එනම් වර්ෂ පන්සියයක් දක්වා අඩු වන්නේ ය, යන දේශනාව හුදෙක් සද්ධර්මයාගේ ආයුෂ ප්‍රමාණය නිශ්චය කිරීමක් නොවේ, උපමාවක් පමණයි. ඒ බව ගෝතමී සූත්‍රය කියවා බැලීමෙන් මනාව ප්‍රකට වේ. ඉහත පාඨය අර්ථකථනය කරන අටුවාචාරී බුද්ධඝෝෂ තෙරුන් වහන්සේ සමන්තපාසාදිකා නම් විනයට්ඨ කථාවේ දී “තේසු අප්පඤ්ඤත්තේසුපි මාතුගාමස්ස පබ්බජිතත්තා පඤ්ච වස්සසතානි සද්ධම්මො. තිට්ඨෙය්‍ය පටිගච්චෙව පඤ්ඤත්තතා පන අපරානිපි පඤ්ච වස්ස සතානිතීති එවං පඨමං වුත්තං වස්සහස්සමෙව ඨස්සතීති වස්සසහස්සන්ති චෙතං පටිසම්භිදාප්පභෙදප්පත්ත ඛිණාසව වසෙනෙව වුත්තං. තතො පන උත්තරිම්පි සුක්ඛ විපස්සකඛීණාසව වසෙන වස්සහස්සං අනාගාමි වසෙන වස්සසහස්සං. සකදාගාමි වසෙන වස්සසයස්සං සොතාපන්නවසෙන වස්සසහස්සන්ති එවං පඤ්ච වස්සසහස්සානි පටිවෙධ සද්ධම්මො ඨස්සති. පරියත්ති ධම්මොපි තානියෙව. න හි පරියත්තියා අසති පටිවෙධො අත්ථි නාපි පටිපත්තියා සති පටිවෙධො න හොති ලිංගං පන පටිපත්තියා අන්තරහිතායපි චිරම්පවත්තිස්සතීති යි පවසති. ( 951 පිට )

ඒ අනුව මුල් වසර දහස ( 1000 ) තුළ දී සිව්පිළිසිඹියා ( අත්ථ, ධම්ම, නිරුක්ති, පටිභාන ) ලාභි රහතන් වහන්සේ ඇති වන බවත්, ඊට අනතුරු වසර දහස තුළ දී සුක්ඛ විපස්සක රහතන් වහන්සේලා, ඊට අනතුරු වසර දහස තුළ දී අනාගාමී මාර්ගඵල ලාභින් ද, ඒ තත්ත්වය ද අතුරුදහන් වී ඊට අනතුරු වසර දහස තුළ දී සකෘදාගාමී මාර්ගඵල ලාභින් ද, ඒ තත්ත්වය ද පිරිහී ඊට අනතුරු වසර දහස තුළ දී සොතාපන්න මාර්ගඵලලාභින් ද සිටියි. මේ ආකාරයෙන් ප්‍රතිවේද සද්ධර්මය පන්දහසක් කල් පවතින්නේ ය. පර්යාප්ති සාසනය ද ඒතාක් ම පවතින්නේය. පර්යාප්ති නැති කල්හි ප්‍රතිවෙධය ද නැත. එසේ වුවත් පර්යාප්ති ශාසනය අතුරුදහන් වීමෙන් පසුව ද ශාසන ලිංග අන්තර්ධානය බොහෝ කාලයක් පවතින්නේ ය. ( මේ ත්‍රිවිධ ශාසනය මතු දැක්වෙයි ) අටුවචාරී බුද්ධඝෝෂ හිමියන්ගේ මෙම විවරණය හේතු කොට ශාසනයේ ආයුෂ පන්දහසක් කල් පවතීය යන ප්‍රවාදය ගොඩනැගීමට ඉවහල්වන්ට ඇතැයි සිතිය හැකි ය. මේ පිළිබදව තවදුරටත් විමසා බලමු.

හුදෙක් මේ මතය බුද්ධඝෝෂ හිමියන්ගේ ම නොවේ. බුද්ධඝෝෂ හිමියන් මහත් ආදර ගෞරවයෙන් සැලකූ ක්‍රි. ව. 1 සියවසට අයත් ” මිලින්ද ප්‍රශ්නයේ ” ද සද්ධර්ම අන්තර්ධාන ප්‍රශ්නය සාකච්ඡා කොට ඇත. එහි වර්ෂ පන්දහසක කථාව නැතත් වර්ෂ දහසක් තුළ දී අධිගම අන්තර්ධානය ප්‍රතිපත්ති අන්තර්ධාන හා ලිංග අන්තර්ධානය පිළිබදව කථාව ඇත. මෙම ත්‍රිවිධ අන්තර්ධානය පස්වැදෑරුම් ආකාරයකට වර්ධනය කොට දීර්ඝ විස්තරයක් මනෝරථපූරණි නම් අංගුත්තරනිකායට්ඨ කථාවේ ඒකක නිපාත වර්නනාවේ දශම වර්ගයේ ඇතුළත් වේ.

මාහාචාර්ය එතියල් ලාමොත් මහතා විසින් ථෙරවාද මාහායාන ග්‍රන්ථ මූලාශ්‍ර කොට ශාසනාන්තර්ධානය විවිධ වර්ෂ ප්‍රමාණ අල්ලා ලියන ලද අගනා ලිපියක් ධාරා සඟරාවෙහි ඇත. ඒ මතයන්ද ඉදිරිපත් කරමින් මේ කරුණු ගැන සාකච්ජා කිරීම වැදගත් වේ. ඒ අනුව ශාසනයේ අයුෂ ප්‍රමාණය වර්ෂ 1000 ක් වශයෙන් විභාෂා ග්‍රන්ථයෙහි දක්වා ඇත. එම සංඛ්‍යාව “අධිගමය” හා සම්බන්ධව නිවැරදි වෙතත්, සද්ධර්මයාගේ ආගම මීට වඩා දීර්ඝ කාලයක් පවතින බව අභිධර්ම කෝෂය පැහැදිලි කර ඇත. අහිධර්ම කෝෂය අනුව යමින් කාශ්‍යප සංගීති සූත්‍රය, මූල සර්වාස්තිවාදි විනය, අශෝකාවදානය, නාගර්ජුනපාදයන්ගේ මාධ්‍යමික ශාස්ත්‍ර හා උපදේශ යන ග්‍රන්ථයන්හි ද එම වර්ෂ ප්‍රමාණ පිළිගෙන ඇත. කරුණා පුණ්ඬරීක, මහාසන්නිපාත, මහාමායා වැනි මහායාන සූත්‍රයන්හි වර්ෂ 1500 කින් පසු ශාසනය අතුරුදහන් වන බව සදහන් වේ. මේ මතය මිලින්ද ප්‍රශ්නයේ ද පිළිගෙන ඇති බවට අනුමාන කරන බව මහාචාර්ය එතියල් සදහන් කළත් එය අපට පිළිගැණීමට නොහැකිය.

චන්ද්‍රගර්භ සූත්‍රයේ වර්ෂ 2000 කින් ද, මහාසන්නිපාත සූත්‍රයේහි වසර 2500 කින් ද ශාසනය විනාශ වන බව අන්තර්ගත ය. මහාසන්නිපාත සූත්‍රයෙහි වර්ෂ 2500 ක් දක්වා ඇත්තේ ශත වර්ෂ පහේ යුග පහක් වශයෙනි. ඒ අනුව පළමු වන වසර පන්සීයේ යුගයේ දී භික්ෂුන් වහන්සේලා හා අනිකුත් අය අප්‍රමාද බලයෙන් යුක්ත වෙති. එනම් සත්‍යාභිසමය ලබන්නෝ වෙති. දෙවැනි වසර පන්සීයේ දී සමාධි – ධ්‍යාන බලයෙන් යුක්ත වෙති. තෙවැනි වසර පන්සීයේ දී ශ්‍රැතියෙන් බලවත් වෙති. සිවුවැනි වසර පන්සීයේ දී විහාරාරාම ගොඬනැගීමෙන් බලවත් වෙති. පස්වැනි වසර පන්සීයේ දී කලහ විවාදාදියෙන් බලවත් වන අතර බුදුන් වහන්සේගේ නිර්මල ධර්මය ක්‍රම ක්‍රමයෙන් අතුරුදහන් වන බව එම සුත්‍රයේ සඳහන් ය.

සමන්තපාසාදිකාව, සුමංගලවිලාසීනි, අත්ථසාලිනි, මනෝරථපුරණි ආදී අටුවාවලත්, මහාවංශය ( 3 පරිච්ඡේදය ) වැනි පාලි වංශ කථාවලත්, රසවාහිනී, සහස්සවත්ථුප්පකරණ, සද්ධර්මාලංකාර ආදී කෘතිවලත් ශාසනායුෂය වර්ෂ 5000 ක් යන මතය ඉදිරිපත් කොට ඇත. අටුවාචාරී බුද්ධඝෝෂ තෙරුන්ගේ පාලි සමන්තපාසාදිකාවේ වසර 5000 ක් වුවත්, චීන සියවසේ පටන් සමන්තපාසාදිකාවේ එම වර්ෂ ප්‍රමාණය 10000 ක් දක්වා දීර්ඝ කොට ඇත. තවද හය වන සියවසේ පටන් චීන ගවේෂකයෝ සාසනය අතුරුදහන් වීම සද්ධර්ම අන්තර්ධානය, පතිරූපක ධර්ම අන්තර්ධනය හා පශ්චිම ධර්ම අන්තර්ධානය යනුවෙන් කොටස් තුනකට වර්ග කොට අයු ප්‍රමාණය වර්ෂ 12000 ක් දක්වා වර්ධනය කරයි. මහාචාර්ය චන්ද්‍රා වික්‍රම ගමගේ මහතා ” චුල්ලවග්ගය බුද්ධ පරිනිර්වාණයෙන් අවුරුදු සියයකට පමණ පසුව රචනා කරන ලද්දකි. ඒ කාලයේ බෞද්ධයන් අතර මෙබදු අදහසක් පිළිගෙන තිබුණු බවට සැකයක් නැත. මේ පිළිබඳව අර්ථ කථනයක් කරන බුද්ධඝෝෂ හිමි ( 5 වන සියවස ) භික්ෂුණීන් අෂ්ට ගරුධර්ම පිළිගත් නිසා සද්ධර්මය අවුරුදු දහසක් ම පවතින බව කියයි. ක්‍රි. ව. 5 වන ශත වර්ෂයට එහා මෙහා හරියේ දී ශ්‍රී ලංකාවේ බෞද්ධයන්ගේ විශේෂයෙන් මහා විහාර සම්ප්‍රදායේ පිළිගැණීම වී තිබෙන්නේ සද්ධර්මය අවුරුදු දහසක් පවතින බවයි. මේ කාලය බුද්ධ පරිනිර්වාණයේ සිට විය යුතුයි” පවස යි.

මේ ශාසනයේ මාගමුන් පැවිද්ද නොලැබුවේ නම් සද්ධර්මය දීර්ඝ කාලයක් වර්ෂ දාහක් පවතින්නේ ය. එහෙත් දැන් මාගමුන් පැවිද්ද ලබා ඇති නිසා මේ සද්ධර්මය දිගුකලක් නොපවතින්නේ ය. වර්ෂ පන්සීයක් පමණ පවතින්නේ ය. යන මේ පාඨය චුල්ලවග්ග පාලියේ පමණක් නොව අංගුත්තර නිකායේ ගෝතමී සූත්‍රය ආදී තැන්වල ද තිබේ. එසේම ශාසන විනාශ වීමට බලපාන විවිධ දේශනාවන් ත්‍රිපිටකයේ බහුලව ඇත. එම නිසා ඉහත චුල්ලවග්ගපාලිය ආදී කොට ඇති දේශනා හා අන්‍ය දේශනා අතර පවත්නා සමවිෂමතා හේතු කොට පෙර’පර දෙදිග පඬිවරුන්ගේ විවිධ මත දක්නට ලැබේ. ඒවා මෙවන් ලිපියකින් විචාර පූර්ව අධ්‍යයනයක යෙදීම අපගේ වෑයම නොවේ. කෙසේ වුවත් ඉහත දැක්වු ආකාරයට සාසන අන්තර්ධානයේ ඉතිහාසය ඇරඹෙන්නේ බුද්ධ දේශනාව පදනම් කොට ගෙනයි. එහෙත් අසවල් වර්ෂ ප්‍රමාණයන් අනුව ශාසන අන්තර්ධානය සිදුවේ යැයි බුදුරජාණන් වහන්සේ දේශානා කොට නැත. උක්ත චුල්ලවග්ග පාලියේ භික්ඛුනීක්ඛන්ධකයේ පාඨයත්, බුදුරජාණන් වහන්සේගේ පරිනිර්වාණයෙන් වසර පන්සීයකට පමණ පසු ඇති වු මිළිඳු නාගසේන සංවාදයේ එන අධිගම අන්තර්ධාන, පටිපත්ති අන්තර්ධාන, ලිංග අන්තර්ධාන කථා ප්‍රවෘත්තින් පදනම් කොට ලියන ලද සමන්තපාසාදිකා විවරණ හේතු කොට ” පන්දහසක් කල් පවත්නා බුද්ධ ශාසනය ” යන ව්‍යවහාරය ගොඞ නැගී ඇතැයි අනුමාන කළ හැකිය. ඊට තවත් සාක්ෂ්‍යක් වශයෙන් අටුවාවලට වඩා පැරණි දීපවංශය, බුද්ධශාසනයේ ආයු කාලය පිළිබඳ ඉදිරිපත් කොට ඇති අදහසක් පෙන්වා දිය හැකිය. එහි හතරවන පරිච්ඡේදයේ 23 වන ගාථාවේ “යම්තාක් කල් නවලෝකෝත්තර ශ්‍රී සද්ධර්මයෝ පවතිද් ද, යම්තාක් කල් සද්ධර්ම සංග්‍රහය විනාශ නොවන්නේ ද, ඒතාක් ශාස්තෘන් වහන්සේගේ ශාසනය ඉතා දීර්ඝ කාලයක් පවතින්නේ වෙයි” යනුවෙන් සඳහන් ය. මුල් බුදුසමයට අයත් මජ්ඣිම නිකායේ භද්දාලි සූත්‍ර වැනි දේශනාවලට අනුගත ව මෙම විවරණය කොට ඇත. අට්ඨකථාචාරී බුද්ධඝෝෂ හිමියන්ගේ ජීවමාන සමය 4- 5 සියවස් ලෙස සැලකේ. ඒ අනුව 4 වන සියවසේ සිට මේ මතය තිබෙන්නට ඇත.

මේ ප්‍රස්තුතයෙහි විසිතුරු විස්තර කථනයක් පාලි සිංහල මූලාශ්‍රයන් හි (1) අධිගම අන්තර්ධානය, (2) ප්‍රතිපත්ති අන්තර්ධානය, (3) පරියාප්ති අන්තර්ධානය, (4) ලිංග අන්තර්ධානය, (5) ධාතු අන්තර්ධානය යනුවෙන් පස් වැදෑරුම් කොට දක්වයි.

අධිගම – අන්තර්ධානය

මාර්ගඵල, ප්‍රතිසම්භිධා, ත්‍රිවිද්‍යා, අභීඥාය යන මේවා අධිගමයි. බුද්ධ පරිනිර්වානයෙන් අවුරුදු දාහක් මුළුල්ලේ භික්ෂුන් වහන්සේ සිව්පිළිසිඹියා (පටිසම්භිධා) සහිතව රහත් වෙති. කල්යත් ම එසේ නොහැකි වී ෂඩ් අභිඥා ත්‍රිවිද්‍යා සහිතව රහත් වෙති. අනතුරුව එසේ විශේෂතා ලබා ගැනීමට නොහැකිව සුක්ඛ විපස්සකව රහත් වෙති. ඊට පසු කාලවල දී ක්‍රමයෙන් පිරිහී අනාගාමී – සකෘදාගාමී – සොතාපන්න වර්ගයෙන් පමණක් මාර්ගඵල ලබති. එසේ අවසන් සොතාපන්නයාගේ අභාවයෙන් අධිගම අන්තර්ධානය වේ.

ප්‍රතිපත්ති අන්තර්ධානය

මාර්ගඵල නිපදවා ගත නොහැකි වු කල්හි භික්ෂූහූ චතුපාරිශුද්ධ ශීලය ම රකිති. කල් ගතවෙත් ම කුඩා අනුකුඩා ශික්ෂා පද උල්ලංඝණය කරති. සතර පාරාජිකා පමණක් රකිති. එබඳු භික්ෂූන් සිටින කළ ප්‍රතිපත්ති ශාසනය පවතියි. අන්තිම භික්ෂූවගේ ශීල භේදයෙන් හෝ මරණයෙන් ප්‍රතිපත්ති ශාසනය ද අතුරුදහන් වේ.

පර්යාප්ති අන්තර්ධානය

පර්යාප්ති යනු, අටුවා ටීකා සහිතව බුද්ධ ධර්මය ඉගෙන ගැනීම, ඉගැන්වීම, ධාරණය කර ගැනීමයි. කල්යත්ම කලි යුගයෙහි රජවරු අධාර්මික වෙති. ඒ නිසා ඇමතියන් ද රට වැසියන් ද අධාර්මික වන හෙයින් රට සශ්‍රීක නොවන්නේය. එහෙයින් ඇතිවන දුර්භික්ෂය හේතු කොට ගෙන භික්ෂුවටද සිව්පසය හිඟ වී පර්යාප්ති ධාරණයට හෝ අධ්‍යයනයට නොහැකි වෙයි. එනිසා ගැඹුරු අර්ථ සහිත අභිධර්ම පිටකය තේරුම් ගැනීමට නොහැකි වෙයි. ඉන්පසු සූත්‍ර පිටකයත් පිරිහෙයි. ලාභ සත්කාර කීර්ති ප්‍රශංසාකාමී භික්ෂූහු ජාතක පමණක් ධරති. කල්යත්ම ඒවා ද පිරිහී ගොස් විනය පිටකයෙන්ද යටත් පිරිසෙන් සතර පදයක ගාථාවන් පවා ද දන්නා හෝ තේරුම් කර දිය හැකි හෝ භික්ෂුවක් සොයා ගැනීමට පවා නොහැකි වෙයි. මෙසේ වූ කල්හි පර්යාප්ති අන්තර්ධානය යි කියනු ලැබේ.

ලිංග අන්තර්ධානය

එසේ පර්යාප්ති පිරිහුණු කල්හි භික්ෂූන්ගේ පාත්‍ර සිවුරු ගැණීම් – ඉරියව් පැවැත්වීමේ ආදී චර්යා ප්‍රසාද ජනක නොවේ. බමුණන් නිගණ්ඨයෝ මෙන් ඇවිදිති. පසුව ඒවාද හැර දමා කහ පටියක් අතෙහි හෝ කරෙහි බැඳ අඹුදරුවන් රකිමින් ගොවිතැන්, වෙළ හෙළඳාම් ආදී විවිධ රැකී රක්ෂා ආදිය කරමින් ජීවත් වෙති. මෙසේ හැසිරෙන භික්ෂූන් කාසාවකණ්ඨක යනුවෙන් මජ්ඣිම නිකායේ උපරිපණ්ණාසක දක්ඛිණා විභංග සුත්‍රයේ දි හඳුන්වා ඇත. කල්යත්ම කහකඩ (පටි) ද ඉවත ලා සිටිති. එකල් හි ලිංග අන්තර්ධානය ලෙස හැඳින්වේ.

ධාතු අන්තර්ධානය

අධිගම – ප්‍රතිපත්ති – පර්යාප්ති – ලිංග අතුරුදහන් වූ කල්හි එකල මිනිසුන්ගේ ශ්‍රද්ධා බුද්ධිය මදවීම නිසා පූජා සත්කාර නොලබන්නා වූ ධාතුන් වහන්සේලා බුදුන්ගේ අධිෂ්ඨාන බලයෙන් සත්කාර සම්මාන ලබන තැනකට වඩිති. කල්යත්ම හැම තැන්හි ම සත්කාර සම්මාන නොවේ. එකල ලක්දිව සෑම සර්වඥ ධාතුන් වහන්සේලා රුවන්වැලි දාගැබට වඩිති. එතැනින් නා දිවයින රාජායතන චෛත්‍යයට වඩිති. ඉන්පසු මහබෝමැඩට වඩිති. නා ලොව – දෙව් ලොව ධාතුහු ද වඩිති. සියලු ධාතුන් වහන්සේලා මහාබෝධි පර්යංකයෙහි රැස් වී බුදුරජාණන් වහන්සේගේ වෙස් ගෙන දෙතිස් මහා පුරිස් ලකුණෙන්, අසු අනුව්‍යඤ්ජනයෙන්, ව්‍යාම ප්‍රභාවෙන් සම්පූර්ණව බෝ මැඩ පලක් බැඳ වැඩ සිටිති. සවණක් ඝන බුදුරැස් බඹලොව දක්වා විහිද අනන්ත අපරිමාණ සක්වලට ද දිවන්නේය. එයින් සියලු දෙව් මිනිස්සු රැස්වෙති. අද බුදුහු පිරිණිවෙති. මේ අපගේ අන්තිම දර්ශනය යි හඬා වැලපෙති. එකල් හි ජීවමාන බුදුන් සෙයින් යමක ප්‍රාතිහාර්යය පා පිරිනිවන් පාති. මෙසේ ධාතු අන්තර්ධාන වර්ණනාතික්‍රාන්තියෙන් ලියන ලද අභව්‍ය සිද්ධීන් ය. අප මෙතෙක් සාකච්ඡා කළේ ඒ ඒ අවදීන් හි ශාසනායුෂය පිළිබඳ ගොඩනැගී ඇති මතිමතාන්තරයි.

සදහම් මග අතුරුදන් වීම, සිදුවන හේතු විශාල සංඛ්‍යාවක් දේශනා පාලියේ සඳහන් වේ. ඒවායෙන් එකක් දෙකක් පමණක් මෙහි දී පෙන්වා දීම වැදගත්ය. එනම්, පෙර අප බුදුරජාණන් වහන්සේ විසින් පනවන ලද ශික්ෂා පද ඉතා අල්පය. එහෙත් බොහෝ භික්ෂුන් රහත් බැව්හි පිහිටියාහු ය. දැන් පනවන ලද ශික්ෂා පද බොහෝ ය. එහෙත් රහත් බැව්හි පිහිටන භික්ෂූහු අඩු වෙති. ඊට හේතු කවරේ දැයි මහාකස්සප මහ රහතන් වහන්සේ බුදුරජාණන් වහන්සේගෙන් විමසන ලද අවස්ථාවක් සංයුක්ත නිකායේ සද්ධම්ම පතිරූපක සුත්‍රයෙහි සඳහන්ය. එය යක්කඩුවේ ප්‍රඥාරාම හිමියන්ගේ වචනවලින් දක්වමු. “කාශ්‍යප – සත්වයන් ප්‍රතිපත්ති පිරීමෙන් පිරිහෙද්දී, සද්ධර්මය – ශාසනය – අන්තර්ධානය වෙද්දී, ශික්ෂා පද වැඩි වෙයි. රහත්විම අඩු වෙයි වදාරා රත්රන් වතුරේ දමා රන් ඔපය ගන්වා රත්රන් පෙනුම ඇති කළ නිසා රත්රන් අතුරුදහන් නොවෙයි. රත්රන් නොපෙනී රත්රන් වගේ පෙනෙන දේ ලොව පහළ විමෙන් පසු රත්රන් නොපෙනී යයි. ඒවාගේ කාශ්‍යපය, සද්ධර්මය මෙන් පෙනෙන දේ ලොව පහළ නොවනතුරු සද්ධර්මය අතුරුදහන් නොවෙයි; සද්ධර්ම පෙනුම ඇති දේ පහළ වූ දා සද්ධර්මය නැති වී යයි. අහන දකින විට ඒ වගේ පෙනෙන – ප්‍රතිපත්ති පෙනුම ඇති දුෂ්ප්‍රතිපත්තිත්, ධර්ම පෙනුම ඇති අධර්මත්, විනය පෙනුම ඇති අවිනයත්, ලොව ඇති නොවන තුරු ඒවා නොනැසී පවතියි; ශ්‍රමණ පෙනුම ඇති අශ්‍රමණයන්, මහණකම නැති කරගෙන පෙනුමෙන් වේෂයෙන් පමණක් මහණුන් වගේ පෙනෙමින් “අපිත් ශ්‍රමණයම් හ” යි කියමින් මහණුන් අතර හැසිරෙන ශ්‍රමණ ප්‍රතිරූපකයන් පහළ වු විට මහණකමත් අතුරුදහන් වූවා නම් වෙයි. ඒ ඒ පෙනුම ඇති දේ පහළ වූ විට ඒ ඒ දේ නැති වෙලා යයි.

සද්ධර්මය අන්තර්ධානය කරන්නේ කාශ්‍යපය, පෘථිවි ධතුව හෝ නොවෙයි, අපෝ ධාතුව ද නොවෙයි, තේජෝ ධතුව ද නොවෙයි. වායෝ ධාතුව ද සද්ධර්ම අන්තර්ධානය නොකරයි. එසේ නම් කාශ්‍යප, සද්ධර්මය අන්තර්ධානය කරන්නෝ කවරහු ද? සද්ධර්මය අන්තර්ධානය කරන ඒ හිස් මිනිස්සු ඒ තුච්ඡ පුද්ගලයෝ කාශ්‍යප, මේ ශාසනයෙහිම ඇති වෙත්. ඒ හිස් මිනිස්සු කාශ්‍යප, මේ පර්යාප්ති ප්‍රතිපත්ති ප්‍රතිවේධ සංඛ්‍යාත ත්‍රිවිධ සාසනයම නසා වනසා දමත්.

තවද – කාශ්‍යපයෙනි මේ සසුනේ අතුරුදහන් විම පිණිස නැසීම පිණිස හේතුවන කරුණු පහකි. එනම්, භික්ෂු භික්ෂුණී, උපාසක, උපාසිකා යන සිව්වනක් පිරිස (1) ශාස්තෘන් වහන්සේ ගැණත්, (2) ධර්මය ගැණත්, (3) සංඝයා ගැණත්, (4) ශික්ෂා ගැණත්, (5) සමාධි භාවනා ගැණත්, ගරු සරු නැතුව නොසලකා හැරීමයි.

බුද්ධත්වයෙන් වසර විස්සක් ගතවන තෙක්ම විනය නීති පැනවීමක් නොතිබුණේය. එම නිසා වරක් සැරියුත් රහතන් වහන්සේ බුදු රජාණන් වහන්සේගෙන් ශාසනය දිගු කලක් පවතිනු පිණිස ශික්ෂා පද පනවන ලෙස ඉල්ලා සිටිති. එහිදී බුදුරජාණන් වහන්සේ වදාළේ භික්ෂූන් කෙරෙහි යම් කලෙක ආසවට්ඨානීය ධර්ම එනම් රත්තඤ්ඤුමහන්තතා (සාසනයේ බොහෝ කල් ගත වූ භික්ෂූන් සංඛ්‍යාව වැඩි වීම ), වෙපුල්ලමහන්තතා (ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා බහුල වීම ), බාහුසච්චමහන්තතා (විවිධ විෂයන් පිළිබඳ දැනීම වැඩි වීම ) යන කරුණු ඇති වූ කල්හි ශික්ෂා පණවන බව යි.

සංයුත්ත නිකායේ ඔපම්ම සංයුත්තයේ අන්තර්ගත ආණී සූත්‍රයේ ශාසන විනාශයට හේතු වශයෙන් බුදුරජාණන් වහන්සේ වදාළේ අනාගත කාලයේ ගැඹුරු අරුත් ඇති සූත්‍ර පැහැදිලි කරණ ධර්ම, ගිහියන් පමණක් නොව පැවිද්දන් ද ශ්‍රවණය නොකරණ බවත් ඒවා අවබෝධ කිරීමට උත්සාහ නොගන්නා බවත් ය. එහෙත් ජන කවියන් සේ විසිතුරු ලෙස කියන වැරදි දහම් ශ්‍රවණය කිරීමට රුචි කරන බවත් එමගින් සතුටු වන බව යි. තව ද අනාගත කාලයේ බොහෝ ගිහිපැවිද්දෝ ගැඹුරැ ධර්මවිනය ගැන දැනුමක් නැතිවම දන්නෝ යැයි සිතමින් බොහෝ වැරදි අර්ථ කථන දෙති. ධර්මය ගැනත් ඔවුහු එකිනෙකා ගැනත් කිසි ගරුසරුවක් නොදක්වති. විනය බණදහම් කනපිට පෙරළෙමින් කෙලෙසන්නෝ වෙති. ධර්මවිනය ගැන දැන උගත්කම් නැතත්, ලාභ සත්කාර ආදී ප්‍රබලකම් හා පක්ෂ බල නිසා එඩිතරව සඟ මැද ධර්මය අධර්මය ලෙසත්, විනය අවිනය ලෙසත්, අධර්මය ධර්මය ලෙසත්, අවිනය විනය ලෙසත්, ප්‍රකාශ කරති. ලජ්ජා භය නිසා වාද බිමට නොබසින සිල්වත්, ගුණවත්, ධර්මධර භික්ෂූහූ ධර්ම විනය යථා තත්වයෙන් ඉදිරිපත් කරතත්, දුර්වල වී යන්නාහුය ආදී වශයෙන් ථෙරගාථා පාලි තිංසති නිපාතයේ සඳහන්ය.

මේ කරුණු පරීක්ෂා කිරීමේ දී පැහැදිලි වන්නේ පන්දහසේ වර්ෂ ප්‍රමාණය බුද්ධඝෝෂ හිමියන්ගේ අටුවාකරණයත් සමඟ ලාංකේය ජන සමාජය තුළ තහවුරු වු බවයි. එසේ වුවත් සද්ධර්මය අතුරුදහන් වන්නේ අවුරුදු පන්දහසකින් යැයි නිගමනය කිරීමක් හෝ එවැනි නිගමනයකට පසුබිමක් හෝ බුද්ධඝෝෂ හිමියන්ගේ අටුවා විවරණ ඉඩ නොදෙයි. එසේ ම වසර පන්දහසකින් ශාසනය අතුරුදහන් වන කථාව බුද්ධ දේශනාවේ කිසිතැනක සඳහන් නොවේ. ඒ පිළිබඳ අපට කිසිදු විවාදයක් නැත. ඒ වකවානුවල ශාසනික සංස්තිථිතීන්ගේ පරිණාමීය ධර්මතා අනුව පුරාතන බෞද්ධාචාරවරයෝ, එවන් සංකල්පීය මතයක් ඉදිරිපත් කොට ඇත්තාහ. ව්‍යක්ත, විනීත, විශාරද, බහුශ්‍රැත, ධර්මානුධර්ම ප්‍රතිපන්න ස්වකීය ආචාර්ය වාදයන්හි විශද ප්‍රඥාසාරයෙන් යුක්ත ඒ උතුමන්ගේ සප්‍රමාණික මතවාදයන් හුදු මනඃකල්පිත කියා ප්‍රතික්ෂේප කිරීමට ඉක්මන් වීම බුද්ධි ගෝචර නොවන්නේ ය.

කෙසේ වුවත් ධර්ම තිබුණත් විනය තිබුණත් ප්‍රතිපත්ති පුරන්නවුන් පිරිහී ගිය විට සද්ධර්මය, ශාසනය පිරිහී යන වග බුද්ධ දේශනාව අනුව ඉතා ප්‍රකට කරුණකි. එම නිසා බුද්ධ ශාසනයේ සංස්තිථිය අවුරුදු සියයකින් හෝ දහසකින් හෝ පන්දහසකින් හෝ දසදයසකින් හෝ ලක්ෂයකින් හෝ තීරණය කරණු ලබන්නේ ප්‍රතිපත්ති පුරන පැවිද්දන් හෝ ගිහියන් විසිනි. එම නිසා බුද්ධානුශාසනා යම්තාක් දුරට පිළිපදී ද ඒතාක් දුරට ශාසනයාගේ ආයුෂ තීරණය වන්නේය.

රචනා කරන ලද්දේ, රත්මලාන – ධර්ම පර්යේෂණාලයේ අධ්‍යක්ෂක හෑගොඩ විපස්සි හිමි