Home » පුවත් පත් ප්‍රකාශන » 2600 ශ්‍රී සම්බුද්ධත්ව ජයන්තිය අර්ථවත් කරගන්නේ කෙසේද?

පිළිවෙතින් පෙළගැසෙන 2600 ශ්‍රී සම්බුද්ධත්ව ජයන්තිය අර්ථවත් කරගන්නේ කෙසේද?

Sri Sambuddha Jayanthiමේ දවස්‌වල ශ්‍රී ලංකාවේ තේමා පාඨය වී තිබෙන්නේ 2600 සම්බුද්ධත්ව ජයන්තියට පිළිවෙතින් පෙළගැසෙමු යන්නයි. නැතහොත් “යුඤ්ජථ බුද්ධශාසනේ” යන තේමා පාඨයයි. එහි තේරුම “ශාසනයේ යෙදෙන්න” යන්නයි.

මෙහිදී සමහරුන්ට ප්‍රශ්නයක්‌ වී තිබෙනවා සම්බුද්ධත්ව ජයන්තිය යනු කුමක්‌ද කියා. බුදුරජාණන් වහන්සේ ලෝකයට පහළ වෙලා අවුරුදු 2600 ක්‌ වෙනවා ද? මෙය හඳුනා ගන්නේ සම්බුද්ධත්ව ජයන්තිය යනුවෙන් ද එසේත් නැතහොත් සම්බුද්ධ ජයන්තිය යනුවෙන් ද? යනාදී වශයෙන් යම් ප්‍රශ්නකාරී තත්ත්වයක්‌ මතුවී තිබෙනවා. ඒ සඳහා පිළිවෙතින් පෙළගැසෙන මේ මොහොතේ මෙය නිවැරැදිව අවබෝධ කරගැනීම ඉතාම වැදගත්.

බුදුරජාණන් වහන්සේ ලෝකයට පහළ වෙලා අවුරුදු 2600 ක්‌ වෙනවා ද? මෙය හඳුනා ගන්නේ සම්බුද්ධත්ව ජයන්තිය යනුවෙන් ද එසේත් නැතහොත් සම්බුද්ධ ජයන්තිය යනුවෙන් ද? යනාදී වශයෙන් යම් ප්‍රශ්නකාරී තත්ත්වයක්‌ මතුවී තිබෙනවා.

Ven.Hegoda Vipassi බුදුරජාණන් වහන්සේ ලෝකයට පහළ වෙලා අවුරුදු 2600 ක්‌ වෙනවා ද? මෙය හඳුනා ගන්නේ සම්බුද්ධත්ව ජයන්තිය යනුවෙන් ද එසේත් නැතහොත් සම්බුද්ධ ජයන්තිය යනුවෙන් ද? යනාදී වශයෙන් යම් ප්‍රශ්නකාරී තත්ත්වයක්‌ මතුවී තිබෙනවා.

බුද්ධත්වය යනු බුද්ධ ශබ්දයට “ව” ප්‍රත්‍යය යොදා සාදා ගත් භාවාර්ථ තද්ධිත පදයකි. මේ සඳහා සාරස්‌වත නම් සංස්‌කෘත ව්‍යාකරණ ග්‍රන්ථයේ “භාවේ තත්ත්වයණාඃ”යන ව්‍යාකරණ සූත්‍රය දක්‌වා ඇත. “බුද්ධස්‍ය භාවඃ” යනු එහි විග්‍රහ වාක්‍යයි. එහෙයින් “බුද්ධත්ව” යන භාව තද්ධිත පදයේ අරුත වන්නේ “බුදු බවයි”. භාව යනු ශබ්දයන්ගේ පැවැත්මට ඉවහල් වන හේතුවයි. ඒ නිසා බුද්ධ ශබ්දයේ පැවැත්මට “බුද්ධත්වය” හේතු වේ. සම් යනු උපසර්ග පදයකි. “සම්බුද්ධත්ව” යන භාව තද්ධිත පදයට “ය” ප්‍රත්‍ය යොදා “සම්බුද්ධත්ව” යනුවෙන් සිංහලයට බිඳී ඇත. පාලි සංස්‌කෘත වචන බොහෝ විට “ය, ව” ප්‍රත්‍ය යොදා සිංහලයට බිඳගනියි.

“බුද්ධත්වය” යන පදයේ පාලි රූපය “බුද්ධත්ත”යි. එහි විග්‍රහ වාක්‍ය “බුද්ධස්‌ස භාවෝ” යනුයි.

“භාවිත්තතා භාවෙතු” යන බලාවතාර සූත්‍රයට අනුව “බුද්ධ” ශබ්දයට “ත්ත” ප්‍රත්‍ය යොදා, “බුද්ධත්ත” යන පාලි පදය සෑදේ. මෙයද භාව තද්ධිත පදයකි. “සම්” උපසර්ග පදය යොදා “සම්බුද්ධත්ත” යන පාලි පදය සෑදේ.

මෙතැන පවතිනුයේ ව්‍යාකරණමය පදනමකි. එය තේරුම් ගැනීමෙන් අපට මෙම අවුල ලිහා ගැනීමට පුළුවන.

සිද්ධාර්ථ බෝසතාණන් වහන්සේ ගිහිගෙයින් නික්‌මෙනුයේ අවුරුදු විසිනවයේදීයි. එසේ නික්‌මුණු අප බෝසතාණෝ විවිධ ශාස්‌තෘවරුන් යටතේ නිර්වාණය සොයනු ලැබුවා. එහෙත් එය සාක්‌ෂාත් කර ගැනීමට අප බෝසතාණන් වහන්සේට හැකි වූයේ නැහැ. අවසානයේදී මධ්‍යම ප්‍රතිපදාව අනුගමනය කරමින් උන්වහන්සේ බුද්ධත්වයට පත් වූහ. අවුරුදු විසිනවයේදී ගිහිගෙයින් නික්‌මුණු බෝසතාණන් වහන්සේ අවුරුදු තිස්‌පහේaදී තමයි බුද්ධත්වයට පත්වනුයේ.

 අවුරුදු 35 දී බුද්ධත්වයට පත් වූ උන්වහන්සේ අවුරුදු හතළිස්‌ පහක්‌ වැඩ සිsටිනු ලැබුවා. පිරිනිවන්පාන කොට බුදුරජාණන් වහන්සේගේ වයස අවුරුදු අසූවක්‌. බුදුරජාණන් වහන්සේ පරිනිර්වාණයට පත්වී අවුරුදු 2555 ක්‌ 2011 මැයි මාසයේදී සම්පූර්ණ වෙනවා. ඒ අනුව එම අවුරුදු 2555 ට උන්වහන්සේ බුද්ධත්වයට පත්වී වැඩ සිටි අවුරුදු 45 ක කාලයත් එක්‌ව අවුරුදු 2600 ක කාලයක්‌ සම්පූර්ණ වෙනවා. ඒ අනුව සිද්ධාර්ථ බෝධිසත්වයන් වහන්සේ “බුද්ධත්වය” ට පත්ව වර්ෂ 2600 ක්‌ සම්පූර්ණ වන බැවින් වඩා නිවැරැදි වහර වන්නේ 2600 ශ්‍රී සම්බුද්ධත්ව ජයන්තිය” මිස 2600 ශ්‍රී සම්බුද්ධ ජයන්තිය නොවේ.

කෙසේ හෝ වේවා ජයන්තිය යන්නෙහි අර්ථය උත්සව යන්නයි. ඒනිසා අප මේ මොහොතේදී කල්පනා කළ යුත්තේ “2600 ශ්‍රී සම්බුද්ධත්ව ජයන්ති” ආගමික උත්සවය වඩා අර්ථාන්විතව සමාජගත කළ යුත්තේ කෙසේද යන්නයි.

බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයට පත්වී වසර 2600 ක්‌ ගත වීම ඓතිහාසික දෙයක්‌. බුදුරජාණන් වහන්සේ කිසිම කෙනකුට සම වන්නේ නැහැ. උන්වහන්සේ අසම සමයි. උන්වහන්සේ සම වන්නේ එවැනිම තථාගත බුදුවරයකුට පමණයි. අසම සම බුදුරජාණන් වහන්සේගේ ගුණ කියා නිම කරන්න කිසිවකුටත් බැහැ. උන්වහන්සේගේ ගුණ අහස වගෙය. පැතිරිලා තියෙන්නේ. එහි ඇත්තේ ගැඹුරු දර්ශනයක්‌. එය තේරුම් ගැනීම පහසු නැහැ. එම ධර්මය මුහුද වගේ ගැඹුරුයි. සීමාවක්‌ නැහැ.

මේ උතුම් වූ තථාගත බුදුරජාණන් වහන්සේ පිළිබඳ අවුරුදු 2600 ක්‌ ගොස්‌ සිහිපත් කරන විට කොතරම් මනසින් කොච්චර එහාට ගමන් කළ යුතුද?

මේ ගමන් කිරීම නම් කර තිබෙන්නේ “2600 ශ්‍රී සම්බුද්ධත්ව ජයන්තියට පිළිවෙතින් පෙළගැසෙමු” යන්නයි.

පිළිවෙත යනු කුමක්‌ද? පිළිවෙත පාලියෙන් හඳුන්වනු ලබනුයේ “පටිපදා” යන්නයි. “ප්‍රතිපත්ති” සංස්‌කෘත වචනයයි.

එසේ නම් 2600 ශ්‍රී සම්බුද්ධත්ව ජයන්තියට පෙළගැසෙන්නේ කෙසේද? මෙය හුදු ආදර්ශ පාඨයකට පමණක්‌ සීමා කළ යුතද? එසේ නැත්නම් සැබෑ ලෙසම අර්ථවත්ව අප ඊට පෙළගැසෙමුද? මේ ඒ ගැන විමසා බැලීමට හොඳම අවස්‌ථාවයි.

ආමිස පූජාව ගැන බුදුරජාණන් වහන්සේ මෙසේ දේශනා කළ සේක.

ද්වේමෙ භික්‌ඛවේ පූජා කතමා ද්වේ( ආමිස පූජා ච ධම්ම පූජා ච ඉමා බෝ භික්‌ඛවේ ද්වේ පූජා. ඒතදග්ගං භික්‌ඛවේ ඉමාසං

ද්වින්නං පූජානං යදිදං ධම්ම පූජාති

(අංගුත්තර නිකායේ දුක්‌ඛ නිපාතය)

බුදුරජාණන් වහන්සේ දේශනා කළේ පූජා වර්ග දෙකක්‌ පවතින බවයි. එකක්‌ ආමිස පූජාව. අනෙක තමයි ධම්ම පූජාව. මෙයින් උතුම් වන්නේ, ප්‍රමුඛ වන්නේ ධම්ම පූජාව බවයි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ.

කෙසේ නමුත් මේ වන විට පටිපත්ති පූජාව හෙවත් ප්‍රතිපත්ති පූජාව යන්න සමාජගත වී තිබෙනවා. කෙසේ නමුත් ත්‍රිපිටකයේ ධම්ම පූජා සහ ආමිස පූජාවන් ගැන සඳහන් වුවත් ප්‍රතිපත්ති පූජාවන්a ගැන සඳහන් වන්නේ නැහැ. නමුත් ධම්ම පදට්‌ඨ කතාව වැනි අටුවාවලදී “ප්‍රතිපත්ති පූජාය පරමා පූජා” යනුවෙන් උතුම්ම පූජාව ලෙස අර්ථ දක්‌වා තිබෙනවා. එය ඉතා නිවැරැදියි. මෙම ධර්ම විවරණය නිවැරැදියි.

එම ධර්ම විවරණය නිවැරැදි වීමට හේතුවක්‌ තිබෙනවා.

බුදුරජාණන් වහන්සේගේ දේශනා තියෙනවා. “නෙය්‍යත්ථ” සහ “නීතත්ථ” දේශනා යනුවෙන්. මෙහි තේරුම වන්නේ පමුණුවා ගත යුතු අර්ථය සහ තිබෙන අර්ථය යන්නයි.

මෙම දේශනා දෙක පූජ්‍ය හෑගොඩ ෙ€මානන්ද නාහිමියන්ගේ ථෙරවාදී න්‍යයායේ විසිතුරු ලෙස පැහැදිලි කර තිබෙනවා.

භාෂිතයේ අර්ථය නෙය්‍යාර්ථ වශයෙන් හා නීතාර්ථ වශයෙන් යෑයි දෙයාකාරයකින් ගත යුත්තේ ය. ප්‍රකාශිත වචනයේ තේරුමට නොව ඒ අනුව ගන්නා තේරුමට නොව ඒ අනුව ගන්නා අන්‍ය තේරුමක්‌a ඇත්තේ නෙය්‍යාර්ථ නයයි. අත්ත, පුග්ගල, කතා බුදුරදුන් භාවිත කර ඇතත් ඒවා ගත යුත්තේ නෙය්‍යාර්ථ වශයෙනි. එනම් පරමාර්ථ වශයෙන් පුද්ගලයෙක්‌ නැත. අනාත්ම ධර්ම යයි ආදී වශයෙනි.

අභෙදෝපචාර භාවිතය ද මේ නය අනුවම වේ.

නීතාර්ථ නය නම් භාෂිත වචනයේ ම අර්ථය තේරුමට ගැනීමයි. අනිච්ච, දුක්‌ඛාදී කතාව මෙනයින් ගන්නේය. බුදුදහමෙහි මෙන්ම ව්‍යවහාරයෙහි ද පදාර්ථයන් මේ දෙවිදියෙන් ම තේරුම් ගත යුත්තේ ය.

මේ අනුව බලන කල අටුවාචාරීන් වහන්සේලා පටිපත්ති යනුවෙන් හඳුන්වා දුන් දේ නිවැරදියි.

ආමිස පූජා යනු කුමක්‌ද? අමිසය යනු සිව්පසයයි. එනම් චීවර, පිණ්‌ඩපාත, සේනාසන සහ ගිලානුප්‍රත්‍යයයි. මේවා වෙනත් වචනවලින් ප්‍රකාශ කළහොත් ඉන් අදහස්‌ වන්නේ භික්‌ෂුන් වහන්සේගේ පෝෂණය වීමට, ජීවත්වීමට අවශ්‍ය කරන අමුද්‍රව්‍ය සිව්පසය ලෙස හඳුනා ගැනීමට පුළුවන්. මෙම ආමිසය පූජා කළ හැකියි.

ධම්මදායාදා භික්‌ඛවේ භවථ, මා ආමිස දායාදා. අත්ථි මේ තුම්හෙසු අනුකම්පා… කිත්ති මේ සාවකා ධම්මදායාදා භවෙයපුං. නො ආමිසදායාදාති.

(මඡ්ජධිම නිකායේ ධම්මදායාද සූත්‍රය)

බුදුරජාණන් වහන්සේ භික්‌ෂූන් වහන්සේට දේශනා කළේ ආමිස දායාදය ගරු නොකරන ලෙසයි, එහි ඇලෙන්න එපා කියලා උන්වහන්සේ දේශනා කළා. ධර්ම දායාදය උතුම් කොට සලකන ලෙසයි, උන්වහන්සේ දේශනා කළේ.

ආමිසය ගිහියන් විසින් භික්‌ෂුන් වහන්සේලාට පූජාකළ යුත්තක්‌. භික්‌ෂුන් වහන්සේට වුවත් අවශ්‍ය නම් ආමිසය පූජා කළ හැකියි. එහි ප්‍රශ්නයක්‌ නැහැ. ආමිසය පූජා කරන්නේ ඇයි? ආමිසය පූජා කරනු ලබනුයේ ලෝභ, ද්වේෂ, මෝහ යන අකුසල් මූල අඩුකර ගැනීමට, පාලනය කර ගැනීමට සහ නැතිකර ගැනීමටයි. ගිහි පිංවතුන් එම පරමාර්ථවලින් ආමිසය පූජා කරන විට භික්‌ෂුන් වහන්සේලා වන අපි ඒවා පොදි නොබැඳිය යුතුයි. එසේ පොදි බැඳ ගැනීමක්‌ සිදු වුණොත් එය භික්‌ෂුන් වහන්සේලාගේ ධර්ම මාර්ගයට බාධාවක්‌.

එහෙත් මෙහිදී අපි භික්‌ෂුන් වහන්සේලා කෙරෙහි වැරදි අවබෝධයක්‌ ඇතිකර ගත යුතු නැහැ. සමහර භික්‌ෂුන් වහන්සේලා තමන්ට ලැබෙන ආමිසය පන්සල් නඩත්තු කිරීම මෙන්ම ශාසනික ආගමික මෙහෙවර සඳහා උපයෝගී කරගන්නවා. එහි වරදක්‌ නැහැ. නමුත් එහි ඇල්මක්‌, ගැල්මක්‌ ඇතිවුවහොත් පමණයි භික්‌ෂුන් වහන්සේලාගේ ධර්ම මාර්ගයට එය බාධාවක්‌ වන්නේ. එහිදී සිදුවනුයේ ආමිසය පරිහරණය කිරීමක්‌ පමණයි. බොහෝ භික්‌ෂුන් වහන්සේ බුදුරජාණන් වහන්සේ දේශනා කළ ධර්මදානය අදටත් රකිනවා. සමහර විට භික්‌ෂුන් වහන්සේලා නමක්‌ දෙනමක්‌ යම් ආකාරයකින් මේ දේවල් වැරදි විදිහට පරිහරණය කළත් එය සමස්‌ත සංඝ සමාජයටම බලපාන ප්‍රශ්නයක්‌ නොවේ. ගිහියන් අතරෙත් ඉතාමත් වැරදි සහගත ලෙස ජීවත්වන මිනිසුන් අතලොස්‌සක්‌ සිටිනවා. ඉන් අදහස්‌ වන්නේ නැහැ මුළු මහත් මනුෂ්‍ය සමාජයම වැරදියි කියලා. මිනිස්‌සුන් අතරේ බහුතරය මනුෂ්‍ය දායාදය රකිනවා.

ආමිස පූජාවට හුරුවන විට මිනිසුන්ගේ නොමිනිස්‌කම් අඩුවෙනවා. දිගින් දිටගම ආමිසයට ලැදිව පරිත්‍යාගශීලී වන පින්වතුන් කාලයක්‌ යද්දී එය තම ප්‍රතිපත්තියක්‌ බවට පත්කර ගන්නවා. එය යහපත් තත්ත්වයක්‌.

නමුත් අප සමාජයේ පූජා විධි සම්බන්ධයෙන් විවිධ ප්‍රශ්නකාරී තත්ත්වයන් තියෙනවා. අද සමාජයේ සිදුකරන සියලුම පූජා ආමිස පූජා වෙන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ දේශනා කළ ආමිස පූජාවන්ට පටහැනි බොහෝ දේ අද සමාජයේ සිදු වෙනවා. මේවාට ගිහියන් පමණක්‌ නොවෙයි ඇතැම් විට භික්‌ෂුන් වහන්සේලාත් සම්බන්ධ වෙන අවස්‌ථා දැකිය හැකියි. මේවා ආමිස පූජා නාමයෙන් සිදුකරන උපයා ගැනීමේ මාර්ග වෙන්න පුළුවන්. මේවා උපයාගෙන මේ අය කරන්නේ මොනවාද යන ප්‍රශ්නය තිබෙනවා.

මෙම තත්ත්වය යටතේ පිළිවෙළින් පෙළගැසෙන්නේ කෙසේද?

ආමිස පූජාව ධර්මානුකූලව සිදුකරන විට ඔවුන් තුළ කරුණාව, මෛත්‍රිය ඇතිවෙනවා. පරිත්‍යාගශීලී සිතිවිලි ඇති වෙනවා. සුහදත්වය ඇතිවෙනවා. දිගින් දිගටම අඛණ්‌ඩව මෙම ක්‍රියාවලිය සිදුවන විට මෙය ඉබේ කෙරෙන ක්‍රියාදාමයක්‌ බවට පත්වෙනවා. එවිට ඔහු හෝ ඇය සිල්වතකු බවට පත්වෙනවා. සිල්වතෙක්‌ කියන්නේ සිත කය සහ වචනය යන තුන්දොරින්ම සිදුවන අකුසල්වලින් ඈත් වූවෙක්‌. මෙලෙස දියුණු වන කායික වාචික සංවරයත් සමඟයි ප්‍රතිපත්තිය සකස්‌ වන්නේ. මෙම ද්වාරය සංවර කර ගැනීමට මානසික ඒකාග්‍රතාව ඉතා වැදගත් වෙනවා.

යම් පුද්ගලයෙක්‌ සතුන් මරයි නම්, සොරකම් කරයි නම්, කාමයේ වරදවා හැසිරෙයි නම්. කේලාම් කියයි නම්, බොරු කියයි නම්, යම් යම් පුද්ගලයන් භේදයන් කරයි නම්, එම ක්‍රියාදාමය සමාජයට අහිතකරයි.

මෙහෙම ක්‍රියාකරන පුද්ගලයකුට ප්‍රතිපත්තියක්‌ සකස්‌ කර ගත හැකියි. මම මේ මොහොතේ පටන් මේ සියලු පවිටු ක්‍රියාවලින් වැළකෙනවා. මගේ නරක චර්යාවලින් ඈත්වෙනවා. මම මගේ චරිතය හොඳ ප්‍රතිපත්තියක්‌ ඔස්‌සේ ඉදිරියට ගෙනයනවා. මේ ආකාරයෙන් හොඳ ප්‍රතිපත්තියක්‌ ඔස්‌සේ විවෘත මනසකින් තමන්ගේ ජීවිතය ධාර්මිකව ගත කිරීමට අදිටන් කර ගැනීම උතුම් දෙයක්‌. එය හොඳ පිළිවෙතක්‌. 2600 සම්බුද්ධත්ව ජයන්තියට පිළිවෙලින් පෙළගැසෙන මේ මොහොතේදී අපේ ප්‍රතිපත්තිය විය යුත්තේ එය නොවෙයිද?

අද මේ සමාජයේ ආර්ථික රටාව බිඳවැටිලා තියෙනවා. එහෙත් එක රැයට රුපියල් ලක්‌ෂ ගණන් නිකරුණේ විය පැහැදම් කරන අය ඉන්නවා. මේවා තමන් උපයා ගත් මුදල් වෙන්න පුළුවන්. එහෙත් ඒ ආකාරයෙන් සම්පත් නාස්‌ති කිරීමට කාටවත් අයිතියක්‌ තියෙනවද? තවත් කෙනෙක්‌ ගස්‌ කොළන් කපා මුළු පරිසරයම විනාශ කර මුදල් උපයා ගැනීමට පුළුවන්. එහෙත් ඒ ක්‍රියාව තුළ සතුන්ට පමණක්‌ නොවෙයි, මිනිසුන්ටත් ජීවත්විය නොහැකි පරිසරයක්‌ ගොඩනැඟෙනවා. මෙම නරක ප්‍රතිපත්තිවලින් මිදී හොඳ පිළිවෙතකින් ජීවිතය අලුත් මඟට ගැනීමට යම් අයෙක්‌ අධිෂ්ඨාන කර ගනී නම් එය කොතරම් හොඳද?

අද මත්පැන් බීම සමාජයේ බහුලව සිදුවන්නක්‌. මේ නිසා අවුල් වන පවුල් ජීවිත බොහොමැයි. එනිසා මත්පැනට අබ්බැහි වූ අයෙක්‌ ඉන් මිදීමට 2600 සම්බුද්ධත්ව ජයන්තිය සමරන මේ මොහොතේදී අධිෂ්ඨාන කර ගනී නම් එය හොඳ ක්‍රියාදාමයක්‌. හොඳ ප්‍රතිපත්තියක්‌. තවත් කෙනෙක්‌ කාමයේ වරදවා හැසිරේ නම් ඉන් ඔහුටත් පුළුවන් එවැනි අධිෂ්ඨානයක්‌ ඇති කර ගන්න. තවත් සමහර අය සියුම් ලෙස සොරකම් කරනවනේ. ඒ අයටත් පුළුවන් ඉන් මිදීමේ අධිෂ්ඨානයක්‌ මේ උතුම් මොහොතේ ඇති කර ගැනීමට. මේ අයුරින් 2600 සම්බුද්ධත්ව ජයන්තිය අර්ථවත් කරගැනීමටයි, අප උත්සාහ ගත යුත්තේ. එසේ නොමැතිව මෙයත් තව එක්‌ සැමරුම් උත්සවයක්‌ වූවොත් එයින් ඵලක්‌ වන්නේ නැහැ.

බොහෝ දෙනෙක්‌ කියන කතාවක්‌ තමයි, ජීවිතේ කිසිම සතුටක්‌ නැහැ කියලා. හැම කෙනෙකුටම සතුටින් ඉන්න පුළුවන්. අපෙන් සතුට පලාගිහින් කියන්නේ ඇයි? ජීවිතය නිසි ලෙස අවබෝධ කරගෙන සතුටින් සිටීමේ කලාව ඔවුන් නොදන්නා නිසයි, ඔවුන් මේ තත්ත්වයට පත්ව තිබෙන්නේ. යම් අයෙක්‌ තමන්ට ලැබෙන ධනය අරපිරිමැස්‌මෙන් වැයකර ජීවිතය සමබර කරගන්නේ නම් තමන්ගේ ජීවිතය සාර්ථක කර ගැනීමට පුළුවන්. නමුත් මසුරෙක්‌ වෙන්න හොඳ නැහැ. මසුරෙකුගේ සිතිවිලිවලින් ජනිත වන්නේ අසහනය, අසතුට මිස ජීවිතයේ සතුට නොවේ. මසුරකු උපයා ගත් ධනයෙන් ඔහුටවත් සමාජයටවත් ඵලක්‌ වන්නේ නැහැ. මසුරුකම් පලවා හැර අරපරිස්‌සම නමැති ප්‍රමිතිය තම ජීවිතයට ළංකර ගත හැකි නම් ජීවිතයට සාර්ථකත්වයත් සතුටත් ළඟා කරගන්න පුළුවන්.

ණය නැති වීම (අණන සුඛය) සැපක්‌ කියලයි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ. මෙහිදී වැරදියට කෙනෙක්‌ වැටහීමක්‌ ඇතිකර ගන්නත් පුළුවන්. යම් අයෙක්‌ නිවසක්‌ සදාගැනීමට හෝ වෙනත් තමන්ගේ කාර්යයක්‌ සඳහා ණයක්‌ ගන්න පුළුවන්. එම ණය තමාගේ වැටුපෙන් ක්‍රමයෙන් අඩුවන බැවින් එම ණය බරක්‌ වන්නේ නැහැ. නමුත් තමන්ගේ තරම අවබෝධ කර නොගෙන රටට ණයවී ජීවිතය එපාවෙන තත්ත්වයකට යම් අයෙක්‌ ක්‍රියා කරන්නේ නම් එතැන තියෙන්නේ දුකක්‌. එනිසා සැලසුම් සහගතව සැහැල්ලු ධාර්මික ජීවිතයකට මඟ පාදා ගැනීමෙන් පමණයි, මේ උතුම් සම්බුද්ධත්ව ජයන්තිය අපට අර්ථාන්විත කරගත හැක්‌කේ.

ධර්ම සංවාදය

වසන්ත ලියනගේ