Home » වටිනා ධර්ම කරුණු » නිර්වාණය අවබෝධ කරගැනීමේ මාර්ගය තවමත් දුරස්ථයි

බොහෝදෙනා අනුන් වෙනුවෙන් ප්‍රාර්ථනා කරන නමුත් තමන් වෙනුවෙන් සාක්ෂාත් කරගැනීම සඳහා එතරම් උනන්දුවක් නොදක්වන නිවන් මඟ සැබැවින් ම ප්‍රඥාවන්තයන් විසින් අවබෝධතා ඥානයෙන් ප්‍රත්‍යක්ෂ කරගත යුත්තකි. නගරයකට පිවිසිය හැකි විවිධ ද්වාර මෙන් නිර්වාණගාමී මාර්ගය වෙත එළැඹිය හැකි විවිධ මාර්ග පිළිබඳවත් එහි ගමන් කිරීම පිළිබඳවත් සැකෙවින් සිදුකෙරෙන මේ සාකච්ඡාවට ධර්මානුකූල විවරණ සපයන්නේ රත්මලාන ධර්ම පර්යේෂණාලයේ අධ්‍යක්ෂ හෑගොඩ විපස්සි හිමියන් ය.

බෞද්ධයාගේ අවසන් පරමාර්ථය වන්නේ නිර්මාණාවබෝධයයි. එනම් සියලු ක්ලේෂයන් මුලිනුපුටා දැමීමෙන් ඇතිවන තත්ත්වයයි. ඒ සඳහා පිළිගත් කුසලතා සමූහයක් (දස කුසල්) හා එහි ප්‍රගුණ කිරීමත් (පාරමිතා) අවශ්‍යයි. මානසික වශයෙන් නික්ලේෂී බව ඇතිකර ගැනීම සඳහා මේ පූර්ව සූදානම කොතරම් දුරට ඉවහල් වෙනවා ද?

සාංසාරික පුරුද්දකින් තොරව සියලු කෙලෙස් ප්‍රහාරණය එකවිට කළ හැකි දෙයක් නොවෙයි. මෙහි ‘සාංසාරික’ යන්න බුදුන් දේශනා කළ වැරදි දෘෂ්ටීන්ගෙන් එකක් වන සංසාර දෘෂ්ටියෙන් ගත යුතු නොවේ. අපට මෙය පැහැදිලි කිරීම සඳහා වෙනත් වචනයක් නැති බැවින් එය භාවිත කරනවා විනා, දිගින් දිගට පවතින ආත්මයක් ඇතැයි කියන ශාස්වත දෘෂ්ටියකින් විවරණය සපයනවා නොවෙයි. කෙලෙස් ප්‍රහාරණය කිරීමේ පුහුණු මාර්ගයේ එක්තරා අවස්ථාවක් ලෙස දස කුසල් හඳුන්වන්න පුළුවන්. එය නිර්මාණ මාර්ගයේ එක්තරා ප්‍රවිශ්ටයක් මිස එයින් බුදු දහමේ සමස්තය නිරූපණය වන්නේ නැහැ. ධර්ම මාර්ගය අනුගමනය කිරීමේදී පුද්ගලයාගේ පහසුව සඳහායි මේ ආකාරයේ කොටස් කිරීමකට ලක්කර තිබෙන්නේ. මහායාන බුදු දහමත් සමඟ ප්‍රචලිතව ආ පාරමිතා සංකල්පයත් ඒ ආකාරමයි. මේ සියලු පුහුණුවීම් කාලාන්තරයක් තිස්සේ ප්‍රගුණ කළ යුතුයි. බුදුරජාණන්වහන්සේ දේශනා කර තිබෙනවා අනුපුබ්බ සික්ඛා, අනුපුබ්බ කිරියා, අනුපුබ්බ පටිපදා වශයෙන් අනුපූර්ව ප්‍රතිපදාවන් තිබෙන බව.

මෙසේ සියලු කෙලෙස් නැවත ඇති නොවන ලෙස ඉවත් කිරීම සිදු කළ යුත්තේ අවබෝධතා ඥාණයකිනි. ඒ ඥාණ මාර්ගයේ විවිධ එළැඹුම් ගණනාවක් දහමේ සඳහන් වෙනවා නොවේ ද?

bAVANAඑවැනි එළැඹුමක් ලෙස පංචශීල ප්‍රතිපදාව වුණත් ගතහැකි වෙනවා. එහෙත් ඒවා ප්‍රවිශ්ට පමණයි. සීල, සමාධි, පඤ්ඤා කියන ත්‍රිශික්ෂාව ඔස්සේයි මේ මාර්ගය වැටී තිබෙන්නේ. සීලයෙන් ලබන භෞතික සහ ආධ්‍යාත්මික පුහුණුවේ මානසික කොටස භාවනාවෙන් ලැබෙනවා. එය සමාධියයි. සමාධියෙන් කාලාන්තරයක් ලබන පුහුණුවෙන් ප්‍රඥාව වර්ධනය වෙනවා. මෙහිදී නිර්වාණයේ ස්වභාවය අවබෝධ කරගැනීමටත්, නිර්වාණය අවබෝධ කර ගැනීමේදී මේ කියූ ප්‍රතිපදාවන්ගේ අවශ්‍යතාව අවබෝධ කර ගැනීමටත් කෙලෙස් කියන දේ හඳුනාගත යුතු වෙනවා. බුද්ධ දේශනාවට අනුව කෙලෙස් හටගන්නේ මූල හේතු තුනකින්. ඒ ලෝහ, ද්වේශ, මෝහ, ලෝභය සඳහා ත්‍රිපිටකයේ පර්යාය වශයෙන් වචන සියයක් තිබෙනවා.

ඒ එක එකක සියුම් වෙනස්කම් තිබෙනවා. ද්වේශයට පර්යාය විසි නවයකුත් මෝහයට විසි අටකුත් පර්යාය වචන තිබෙනවා. මේ කෙලෙස් කෙබඳුද යන්න අධ්‍යයනය නොකළ කෙනකුට කෙලෙස් යටපත් වීමකදී හෝ කෙලෙස් වෙනත් ස්වරූපයට පත්වූ අවස්ථාවකදී තමන්ගේ කෙලෙස් නැතිවූවා යැයි වැරදි වැටහීමක් ඇති වෙන්න පුළුවන්. කෙලෙස්වල ස්වභාවය නිවැරදිව අවබෝධ කර නොගත් විට නිර්මාණයට කොතරම් එළැඹුම් තිබුණත් ඊට ප්‍රවිශ්ට වීමට නෙහැකි වෙනවා.

ස්වාමින්වහන්ස, සෝවාන් ආදී මාර්ගඵල අවබෝධය සඳහා බිඳ දැමිය යුතු වන සක්කාය දිට්ඨි, විචිකිච්ඡා ආදි දස සංයෝජන ද මෙසේ හඳුනාගෙන ප්‍රහාණය කළ යුතු කෙලෙස් වන්නේ?

අධ්‍යයනයේ පහසුවට සංඛ්‍යාත්මක වශයෙන් ගොනුකර දහයක් ලෙස ගෙන තිබුණත් කෙලෙස්වල සංඛ්‍යාවක් කියන්න බැහැ. එහෙත් ඒ ගොනුකිරීම ඇතුළත තිබෙනවා කෙලෙස් අඩු කිරීමේ පියවර කීපයක්. සෝවාන් මාර්ගඵලය සඳහා පළමු සංයෝජන තුන (සක්කාය දිට්ඨි, විචිකිච්ඡා, සීලබ්බත පරාමාස) ඉවත් කළ යුතු වෙනවා. එහෙත් එසේ වූ පමණින් ලෝභ, ද්වේශ, මෝහ සහමුලින් නැති වෙන්නේ නැහැ. ඒවා යම් පමණකට තිබෙනවා. එහෙත් එය පෘතග්ජන පුද්ගලයකුගේ තරම් ප්‍රබල ව පවතින්නේ නැහැ. ඒ වගේ ම සකෘදාගාමී පුද්ගලයකුගේ තරම් අවම මට්ටමකත් නැහැ. අරහත්භාවයට පත්වීමෙන් පමණයි ලෝභ ද්වේශ මෝහ තුන සහමුලින් ඉවත් වෙන්නේ.

දස සංයෝජනයේ මුල් පහ (ඕරම්භාගිය සංයෝජන) ඉවත්වීමෙන් ලබන අනාගාමී තත්ත්වයේදීත් කාමරාගය තිබෙනවා. කාමරාගය තිබෙන්නේ දස සංයෝජනයේ දෙවැනි කොටස වන උද්දම්භාගිය සංයෝජන කොටසේයි. එහෙත් අනාගාමී උතුමකු තුළ තිබෙන කාමරාගය සෝවාන් තත්ත්වයේ දී ඇතිවන කාමරාගය නොවෙයි. මේ බෙදීම් කෙසේ වර්ග කළත් කෙමෙන් කෙමෙන් මේ සියල්ලේ අඩුවීම් තමයි සිදුවන්නේ. මක්නිසාද ඉවත් කරන්නේ ලෝභ ද්වේශ සහ මෝහයයි. එය සියුම් ව අවබෝධ කර ගත යුතු තත්ත්වයක්, මෙය වචනවලින් තේරුම්ගත හැකි දෙයක් නොවෙයි.

දස සංයෝජන වුණත් වෙනත් සූත්‍රවල මීට වඩා වෙනස් ව විස්තර වෙනවා. එයින් අදහස් වෙන්නේ මේ වර්ගීකරණය සමස්තය නියෝජනය නොකරන බවයි. ඒ නිසා මේ වර්ගීකරණ ඇසුරින් බුදු දහමේ සමස්තය අවබෝධ කරගන්න බැහැ. ඒ සඳහා ප්‍රතිපත්තිමය වශයෙන් පුහුණුව අවශ්‍යයි. ඒ පුහුණුණ එක භවයකදී පමණක් කළ යුත්තක් නෙවෙයි. මක්නිසාද මේ කෙලෙස් ඉතා බැරෑරුම් නිසා එය ඉවත් කිරීම ද බැරෑරුම් දෙයක්.

දීර්ඝ පුහුණුවක් මඟින් දීර්ඝ පියවරක් ඔස්සේ කෙලෙස් බිඳ දැමීම කළ යුතු බව සඳහන් කරත් ම නිරායාසයෙන් ම හැඟී යන්නේ ඒ සඳහා දීර්ඝ කාලයක් ගතවන බවයි. එහෙත් සුදු රෙදිකඩක් පිරි මදිමින් සිටින චුල්ලපන්ථක හිමියන්ටත්, පහන් සිළ දෙස බලා සිටින කිසාගෝතමී තෙරණියටත්, පා දෙවූ දිය පොළොවට උරාගන්නා ආකාරය දකින පටාචාරා තෙරණියටත් ක්ෂණයකින් නිර්වාණය පසක් වූ බව දහමෙන් සඳහන් වෙනවා නොවේ ද?

මෙහිදී අප දකින්නේ අවසන් ප්‍රතිඵලය පමණයි. සුදු රෙදිකඩ පිරිමදින චුල්ල පන්ථක හාමුදුරුවෝ එය කිලිටිවන ආකාරය දැකීමෙන් අනිත්‍යතාව (වෙනස්වීම) අරමුණු කරගෙන මැඩීම කරනවා. රහත් භාවය එහි ප්‍රතිඵලයක් ලෙසයි ඇති වෙන්නේ. ඒ අවසන් ප්‍රතිඵලය ලබන්න ඊට වඩා සංකල්ප ගණනාවක් පාදකවී තිබෙනවා. එබඳු ප්‍රගුණ කිරීම් මතයි ඒ අවබෝධය සිදුවන්නේ. ඒ පිළිබඳ සාක්ෂි සටහන් ලෙස ජාතක කතා හා අපදාන පාළියේ පූර්ව කතාත් නම් කරන්න පුළුවන්.

මේ අතර ඇතැමෙක් සෝවාන් මාර්ගඵලයට පත්වී භව හතකින් මතු නිර්මාණය පසක් කරගන්නවා. ඒ ඒ අයගෙ ප්‍රගුණ කිරීම් මතයි මේ අවබෝධතා ඥානය පහළ වන්නේ, ඒ සඳහා බලපානවා පෙර පුරුදු. හරියට එකම පන්තියේ සිසුන් දෙදෙනකු එකට ඉගෙනගෙන එක් අයෙක් විභාගය සමත් වීමත් අනෙකා අසමත් වීමත් වගෙයි. මේවාට හේතු පංචේන්ද්‍රිය ප්‍රත්‍යක්ෂයෙන් තහවුරු කරගන්න බැහැ. එය ඊට හසුවෙන්නේ නැහැ. එහෙත් අප බොහෝවිට අපගේ අත්දැකීම් මතයි, සමස්ත සමාජයේ කරුණු විමර්ශනය කරන්නේ. බුද්ධ දේශනාවේ පෙර භවයන්ගේ පුහුණුවීම් පිළිබඳ කතාන්තර ලෙස ජාතකවල දේශනා වී තිබෙනවා. ඒ ඇසුරින් අනුමාන ඥානයෙන් අපට ඒ පූර්ව භවයන්ගේ ප්‍රගුණ කළ දේ දැනගැනීමට හැකියි. මේ කුමන ආකාරයට රහත්භාවය ලැබුවත් දස සංයෝජන සියල්ල නැතිවී යනවා.

ඔබ වහන්සේ මුලින් සඳහන් කළ පරිදි යථාවබෝධය හෙවත් නිර්වාණාවබෝධයේ මාර්ගය වන ත්‍රි ශික්ෂාවේ දී හමුවන සමාධිය වැඩීම සිදුවන්නේ භාවනාව මඟින්. එහිදී භාවනාවේ ප්‍රතිඵල ලෙස ධ්‍යානත්, මාර්ගඵලත් හඳුනාගත හැකි වෙනවා. මේ තත්ත්ව දෙක පැහැදිලි ලෙස නිර්වාණය සමඟ තිබෙන්නේ කුමන සම්බන්ධයක් ද?

ධ්‍යානවල ලෞකික තත්ත්වයන් ද තිබෙනවා. දේවදත්ත හාමුදුරුවො ලෞකික ධ්‍යාන ලාභියෙක්. බුද්ධෝත්පත්තියට පෙර සිට ලෞකික ධ්‍යාන ලැබීම් තිබුණා. ධ්‍යානලාභීන් අනිත්‍ය දුක්ඛ අනාත්ම යන ත්‍රිලක්ෂණය වඩා නිර්වාණාවබෝධය ලැබීම නොකළොත් තමන්ගේ පිරිහීමක් ඇති වෙනවා. ඒ නිසා තමන් ලැබූ මානසික ප්‍රගතිය පිළිබඳ අවබෝධයක් තමන්ට තිබිය යුතුයි. ඒ අනුව ධර්මානුකූල ප්‍රතිපත්තියකින් ඉදිරියට ගමන් කර නිර්වාණාවබෝධය ලද හැකියි. එසේ නොවුණහොත් ධ්‍යාන බිඳ වැටෙන්න පුළුවන්. ඒවා අනිත්‍යයි. රූප අරූප දක්වා ධ්‍යාන වුණත් බිඳ වැටෙන්න පුළුවන්. ධ්‍යාන ලාභියකුට වුවත් විදර්ශනා ඥානයෙන් නිර්වාණාවබෝධය ලැබිය හැක්කේ බුද්ධ දේශනාව අනුව යාමෙන් පමණයි. කෙලෙස් සහමුලින් ම නැති කිරීමේ ඥාණය (ආසවක්ඛය ඥාණය) තිබෙන්නේ බුදු දහමේ පමණයි.

පසුගිය කාල වකවානුවේ මග ඵල ලාභීන් පිළිබඳව ආන්දෝලනාත්මක වාර්තාවක් ඉදිරිපත් වුණා. වත්මන් සමාජයේ මගඵල ලැබීම සම්බන්ධයෙන් බලපාන අභියෝග හෝ බාධක තිබෙනවා යැයි ඔබ වහන්සේ සිතනවාද?

නිර්වාණාවබෝධය අද දවසේ කළ නොහැකි දෙයක් නොවෙයි. ත්‍රිපිටක ධර්මය තිබෙනවා. එය අනුගමනය කර නිර්වාණය ප්‍රතිවේධ කරගත හැකියි. ගැටලුව වන්නේ අද ධර්මය ලෙස බොහෝවිට අවබෝධ කරගෙන තිබෙන්නේ සමාජ ධර්මයන් වීමයි. බෞද්ධ ඥානයෙන් ධර්මය අවබෝධ කර ගැනීම හෙවත් ධර්මයෙන් ම ධර්මය අවබෝධ කිරීම වෙනුවට අද බොහෝදුරට සිදුවන්නේ සමාජීය තොරතුරු මඟින් ධර්මය දැකීමයි. ඒ කියන්නේ සමාජ දෘෂ්ටියෙන් ධර්මය දැකීමයි. සමාජයේ යම් සිද්ධියක් පදනම් කරගෙන ඊට ගැළපෙන ලෙස ධර්මය ගැළපීමයි අද බහුල ලෙස සිදුවන්නේ. මේ වැරදි නිසා තමයි මගඵල ලාභීන්සහ බුදු වූවා යැයි කියන පුද්ගලයන් බිහිවන්නේ.

මේ ගම්භීර ධර්මය නැණවතුන්ට පමණයි ගෝචර වන්නේ. සමාජ දෘෂ්ටි මත ඉඳ සමාජය අදහන කෙනෙකු අතින් එවැනි වැරදි ප්‍රකාශ කෙරෙන්න පුළුවන්. ඒ තමන් තුළ වංචනික ධර්ම ක්‍රියාත්මක වීමේ ප්‍රතිඵලයක් ලෙසයි. කෙනෙක් දිගින් දිගටම දානය දීම සිදුකරගෙන යනවිට තමන්ට ම සිතෙන්න පුළුවන් මේ තරම් තමා දානය දෙන්නේ මාර්ගඵලයක් ලැබීමෙන් ද කියා. එහිදී තමන් ම මැන බැලිය යුතුයි තමා තුළ දානයට තිබෙන අරමුණු සමඟ ලෝභය ද්වේශය මෝහය සම්බන්ධවී තිබෙනවාද කියා. ඇතැම්විට ජනපි‍්‍රයත්වය ආදියට තමන් තුළ කැමැත්තක් ඒ අතර තිබෙනවා විය හැකියි. එසේ නම් ශ්‍රද්ධාව වෙසින් පෙනී සිට ඇත්තේ තෘෂ්ණාව නම් වංචනික ධර්මයකි.

ඒ වගේ ම බුද්ධ පරිනිර්වාණයෙන් වසර 2556 වන අද දිනයේ තිබෙන්නේත් බුද්ධ කාලයේ තිබූ ලෝභ ද්වේශ මෝහමයි. එහෙත් එය අද සීමා රහිත වී තිබෙනවා. එදා යාන වාහන ලෙස ගත්තොත් තිබුණේ බාර බාගෙයක්, අශ්ව කරත්තයක් හෝ පුහුණු කළ අලියෙක්. (පුහුණු අලි පිළිබඳ මහාවග්ගපාලියේ තොරතුරු හමුවේ) කෙලෙස් වැඩිවීම මත එහිදී තෝරා ගැනීමේ අවස්ථා තිබුණේ සීමිතවයි. එහෙත් වර්තමානයේ රෝද දෙකේ බයිසිකලය වුණත් මාදිලි ගණනාවකින් හා මිල ගණන් ගණනාවකින් සමන්විත වර්ග රාශියකින් තිබෙනවා. ඒ නිසා ආශාවන් සීමිත වන්නේ නැහැ. නිර්වාණ මාර්ගය දහම තුළ තිබුණත් එය අවබෝධ කරගැනීමේ මාර්ගය දුරස්ථවී තිබෙන්නේ ඒ නිසයි.

http://www.silumina.lk/punkalasa/20130519/_art.asp?fn=ar1305198