Home » විශේෂාංග » සසුනේ ආයුෂ තව වසර 2440 ක් ද?

සසුනේ ආයුෂ තව වසර 2440 ක් ද?

ශාසනයේ ආයුෂ අවුරුදු පන්දහසක් කල් පවතින්නේ යැයි අප ගෞතම බුදුරජාණන් වහන්සේ නොවදාළහ. එවන් දේශනාවක් ත්‍රිපිටකයේ කිසිම තැනක සඳහන් නොවේ. එසේ නම් මෙම තත්ත්ව සහතිකයේ පුරාවෘත්තය කෙසේ සිදු වී දැයි කෙටියෙන් විමසා බැලීම මෙම ලිපියේ අරමුණයි.

අප තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ ඉපදී වසර 2640 ක්ද, බුද්ධත්වයට පත්ව වසර 2605 ක්ද, පරිනිර්වාණයට පත්ව මේ වන විට වසර දෙදහස් පන්සිය හැටක් (2560) පමණ වේ. පුරා වසර පන්දහසකින් ශ්‍රී සද්ධර්මය අන්තර්ධානය වන බව පුරාතනයේ සිට පවත්නා සුප්‍රකට ප්‍රවාදයකි.

ඒ අනුව බුදු සසුනේ ආයුෂයෙන් අඩක් පමණ මේ වන විට ගත වී ඇත. තවත් වසර දෙදහස් හාරසිය හතලිහ (2440) ක් පැවතිය යුත්තේය. මෙම ගණන් හිලව් අනුව බු.ව. 5000 හෙවත් රාජ්‍ය වර්ෂ 5543 වෙසක් මස වන විට සම්බුදු දහම අන්තර්ධානය විය යුතුයි. සියලු සංස්කාර ධර්ම අනිත්‍යයයි බුදුරජාණන් වහන්සේ වදාළ සේක. සසුන ද අනිත්‍යතාව උරුම කොට ඇත. එහිලා ශ්‍රී සද්ධර්මයම යම් කිසි කලක දී අන්තර්ධානය වීම ධර්මතාවකි. සම්බුදු දහම අවිනිශ්වරයි. එහෙත් එය නියතිවාදයට හෝ වෙනස් නොවන සත් පදාර්ථය යැයි වරදවා ගත යුතු නොවේ. බුදුරජාණන් වහන්සේ ලොව පහළ වුවත් නොවූවත් ධර්මයෙහි පිහිටි බව (ධම්මට්ඨිතතා) ධර්මයෙහි නියම ස්වභාව නැතහොත් (ධම්ම නියාමතා) පටිච්ච සමුප්පාදය (ඉදප්පච්චයතා) ලොව පවතියි. තථාගතයන් වහන්සේලා එය එනම් ප්‍රතීත්‍යසමුප්පාද ධර්මය අවබෝධ කරන සේක. අභිසමය කොට, ප්‍රකට කරන සේක. එම දේශනා පාඨය අනුව සද්ධර්මය අන්තර්ධානය යනුවෙන් අදහස් කරන්නේ කිසියම් කාලයකදී ධර්මය මිනිස් ජීවිතවලින් ඈත්ව යටපත් වී යෑමයි. බුදුරජාණන් වහන්සේ නමක් ලොව පහළ වූ කල්හි යටපත් වී ඇති එම ධර්මය ස්වයම්භූ ඥානයෙන් අවබෝධ කොට නැවතත් දේශනා කරන සේක. එම නිසා මෙසේ ධර්මය අතුරුදහන්වීමට කාලසීමාවක් දේශනා කොට තිබේ දැයි විමසා බැලීම වැදගත් වේ.

ශාසනයේ ආයුෂ අවුරුදු පන්දහසක් කල් පවතින්නේ යැයි අප ගෞතම බුදුරජාණන් වහන්සේ නොවදාළහ. එවන් දේශනාවක් ත්‍රිපිටකයේ කිසිම තැනක සඳහන් නොවේ. එසේ නම් මෙම තත්ත්ව සහතිකයේ පුරාවෘත්තය කෙසේ සිදු වී දැයි කෙටියෙන් විමසා බැලීම මෙම ලිපියේ අරමුණයි. ථෙරවාද මහායාන ග්‍රන්ථයන්හි නොයෙක් වර ශාසනායුෂය පිළිබඳ, සාකච්ඡා කොට ඇති බව පෙනේ. එසේ වුවත් තීරණාත්මක නිශ්චිත විවරණයක් එම සාකච්ඡාවන්හි අන්තර්ගත නොවේ. මෙම මතය ගොඩනැගීමට හේතු වූ පසුබිම ත්‍රිපිටකාගත සූත්‍රයන්හි සඳහන්ය.

ආනන්දයෙනි, මාගම (කාන්තාව) ගිහිගෙන් නික්ම තථාගත සාසනයෙහි පැවිදි නොවූයේ නම්, මේ සසුන් බඹසර දීර්ඝ කාලයක් පවතින්නේය. මේ ශාසන සද්ධර්මය අවුරුදු දහසක් පවතින්නේය. ආනන්දයෙනි, යම් හෙයකින් මාගම ගිහිගෙයින් නික්ම තථාගත සාසනයෙහි පැවිදි වූයේද එහෙයින් දැන් මේ සසුන් බඹසර දීර්ඝ කාලයක් නොපවතින්නේය. දැන් කාන්තාව පැවිදි වූ තැන් පටන් පන්සිය වසක්ම ශාසන සද්ධර්මය පවතින්නේය.

වර්ෂ දහසක් පවත්නා සද්ධර්මය මාගමුන් පැවිදි කිරීම හේතුකොට හරි අඩක් එනම් වර්ෂ පන්සියයක් දක්වා අඩු වන්නේය යන දේශනාව හුදෙක් සද්ධර්මයාගේ ආයුෂ ප්‍රමාණය නිශ්චය කිරීමක් නොවේ. උපමාවක් පමණයි. ඒ බව ගෝතමී සූත්‍රය කියවා බැලීමෙන් මනාව ප්‍රකට වේ. ඉහත පාඨය අර්ථකථනය කරන අටුවාචාරි බුද්ධඝෝෂ තෙරුන් වහන්සේ .

“තේසු අප්පඤ්ඤත්තේසුපි මාතුගාමස්ස පබ්බජිතත්තා පඤ්ච වස්සසතානි සද්ධම්මො, තිට්ඨෙය්‍ය පටිගච්චෙව පඤ්ඤත්තතා පන අපරානිපි පඤ්ච වස්ස සතානිතීති එවං පඨමං වුත්තං වස්සහස්සමෙව ඨස්සතීති වස්සහස්සන්ති චෙතං පටිසම්භිදාප්පභෙදප්පත්ත ඛීණාසව වසනේව වුත්තං තතො පන උත්තරිම්පි සුක්ඛ විපස්සකඛීණාසව වසෙන වස්සසහස්සං අනාගාමී වසෙන වස්සසහස්සං, සකදාගාමී වසෙන වස්සසහස්සං සොතාපන්නවසෙන වස්සසහස්සන්ති එවං පඤ්ච වස්සසහස්සානි පටිවෙධ සද්ධම්මො ඨස්සති. පරියත්ති ධම්මොපි තානියේව, න හි පරියත්තියා අසති පටිවෙධො අත්ථී නාපි පටිපත්තියා සති පටිවෙධො න හොති ලිංගම් පන පටිපත්තියා අන්තරහිතායපි චිරම්පවත්තිස්සතීති” යි පවසති.

ඒ අනුව මුල වසර දහස (1000) තුළ දී සිව්පිළිසිඹියා (අත්ථ– ධම්ම, නිරුක්ති, පටිභාන) ලාභි රහතන් වහන්සේ ඇති වන බවත්, ඊට අනතුරු වසර දහස තුළ දී සුක්ඛ විපස්සක රහතන් වහ්නසේලා, ඊට අනතුරු වසර දහස තුළදී අනාගාමී මාර්ගඵලලාභීන්ද, ඒ තත්ත්වයද, අතුරුදහන් වී ඊට අනතුරු වසර දහස තුලදී සකෘදාගාමි මාර්ගඵල ලාභීන්ද, ඒ තත්ත්වයද පිරිහී ඊට අනතුරු වසර දහස තුළදී සොතාපන්න මාර්ගඵලලාභීන්ද සිටියි. මේ ආකාරයෙන් ප්‍රතිවේද සද්ධර්මය පන්දහසක් කල් පවතින්නේ ය. පර්යාප්ති සාසනය ද ඒතාක්ම පවතින්නේය. පර්යාප්ති නැති කල්හි ප්‍රතිවේධයද නැත. එසේ වුවත් පර්යාප්ති ශාසනය අතුරුදහන් වීමෙන් පසුවද ශාසන ලිංග අන්තර්ධානය බොහෝ කාලයක් පවතින්නේ ය. (මේ ත්‍රිවිධ ශාසනය මතු දැක්වෙයි) අටුවාචාරි බුද්ධඝෝෂ හිමියන්ගේ මෙම විවරණය හේතු කොට ශාසනයේ ආයුෂ පන්දහසක් කල් පවතීය යන ප්‍රවාදය ගොඩනැගීමට ඉවහල්වන්නට ඇතැයි සිතිය හැකිය. මේ පිළිබදව තවදුරටත් විමසා බලමු.

හුදෙක් මේ මතය බුද්ධඝෝෂ හිමියන්ගේම නොවේ. බුද්ධඝෝෂ හිමියන් මහත් ආදර ගෞරවයෙන් සැලකු ක්‍රි.ව. 1 සියවසට අයත් ‘මිලින්ද ප්‍රශ්නයේ” ද සද්ධර්ම අන්තර්ධාන ප්‍රශ්නය සාකච්ඡා කොට ඇත. එහි වර්ෂ පන්දහසක කථාව නැතත් වර්ෂ දහසක් තුළ දී අධිගම අන්තර්ධානය ප්‍රතිපත්ති අන්තර්ධාන හා ලිංග අන්තර්ධානය පිළිබඳව කථාව ඇත. මෙම ත්‍රිවිධ අන්තර්ධානය පස්වැදෑරුම් ආකාරයකට වර්ධනය කොට දීර්ඝ විස්තරයක් මනෝරථපූරණී නම් අංගුත්තරනිකායට්ඨ කථාවේ ඒකක නිපාත වර්ණනාවේ දශම වර්ගයේ ඇතුළත් වේ.

මහාචාර්ය එතියල් ලාමොත් මහතා විසින් ථෙරවාද මහායාන ග්‍රන්ථ මූලාශ්‍ර කොට ශාසනාන්තර්ධානය විවිධ වර්ෂ ප්‍රමාණ අලලා ලියන ලද අගනා ලිපියක් ධාරා සඟරාවෙහි ඇත. ඒ මතයන්ද ඉදිරිපත් කරමින් මේ කරුණු ගැන සාකච්ඡා කිරීම වැදගත් වේ. ඒ අනුව ශාසනයේ ආයුෂ ප්‍රමාණය වර්ෂ 1000 ක් වශයෙන් විභාෂා ග්‍රන්ථයෙහි දක්වා ඇත. එම සංඛ්‍යාව, “අධිගමය” හා සම්බන්ධව නිවැරදි වෙතත්, සද්ධර්මයාගේ ආගම මීට වඩා දීර්ඝ කාලයක් පවතින බව අභිධර්ම කෝෂය පැහැදිලි කර ඇත. අභිධර්ම කෝෂයට අනුව යමින් කාශ්‍යප සංගීති සූත්‍රය, මූල සර්වාස්තිවාදි විනය, අශෝකාවදානය, නාගර්ජුනපාදයන්ගේ මාධ්‍යමික ශාස්ත්‍ර හා උපදේශ යන ග්‍රන්ථයන්හි ද එම වර්ෂ ප්‍රමාණ පිළිගෙන ඇත. කරුණා, පුණ්ඩරීක, මහාසන්නිපාත, මහාමායා වැනි මහායාන සූත්‍රයන්හි වර්ෂ 1500 කින් පසු ශාසනය අතුරුදහන් වන බව සඳහන් වේ. මේ මතය මිලින්ද ප්‍රශ්නයේද පිළිගෙන ඇති බවට අනුමාන කරන බව මහාචාර්ය එතියල් සඳහන් කළත් එය අපට පිළිගැනීමට නොහැකිය.

චන්ද්‍රගර්භ සූත්‍රයේ වර්ෂ 2000 කින්ද මහාසන්නිපාත සූත්‍රයෙහි වසර 2500 කින් ශාසනය විනාශ වන බව අන්තර්ගතය. මහාසන්නිපාත සූත්‍රයෙහි වර්ෂ 2500 ක් දක්වා ඇත්තේ ශත වර්ෂ පහේ යුග පහක් වශයෙනි. ඒ අනුව පළමු වන වසර පන්සීයේ යුගයේදි භික්ෂූන් වහන්සේලා හා අනිකුත් අය අප්‍රමාද බලයෙන් යුක්ත වෙති. එනම් සත්‍යාභිෂමය ලබන්නෝ වෙති. දෙවැනි වසර පන්සීයේ දී සමාධි – ධ්‍යාන බලයෙන් යුක්ත වෙති. තෙවැනි වසර පන්සීයේ දී ශ්‍රැතියෙන් බලවත් වෙති. සිවුවැනි වසර පන්සීයේ දී විහාරාරාම ගොඩනැඟීමේ බලවත් වෙති. පස්වැනි වසර පන්සීයේ දී කලහ විවාදාදියෙන් බලවත් වන අතර බුදුන් වහන්සේගේ නිර්මල ධර්මය ක්‍රම ක්‍රමයෙන් අතුරුදහන් වන බව එම සූත්‍රයේ සඳහන්ය.

සමන්තපාසාදිකාව, සුමංගලවිලාසිනී, අත්ථසාලිනී, මනෝරථපූරණි ආදි අටුවාවලත් මහාවංශය (3 පරිච්ඡේදය) වැනි පාලි වංශ කථාවලත්, රසවාහිනී, සහස්සවත්ථුප්පකරණ,සද්ධර්මාලංකාර ආදි කෘතිවලත් ශාසනායුෂය වර්ෂ 5000 ක් යන මතය ඉදිරිපත් කොට ඇත. අටුවාචාරී බුද්ධඝෝෂ තෙරුන්ගේ පාලි සමන්තපාසාදිකාවේ වසර 5000 ක් වුවත් චීන සමන්තපාසාදිකාවේ එම වර්ෂ ප්‍රමාණය 10000 ක් දක්වා දීර්ඝ කොට ඇත. තවද හය වන සියවසේ පටන් චීන ගවේෂකයෝ සාසනය අතුරුදහන්වීම සද්ධර්ම අන්තර්ධානය ,පතිරූපක ධර්ම අන්තර්ධානය හා පශ්චිම ධර්ම අන්තර්ධානය යනුවෙන් කොටස් තුනකට වර්ග කොට ආයු ප්‍රමාණය වර්ෂ 12000 ක් දක්වා වර්ධනය කරයි. මහාචාර්ය චන්ද්‍රා වික්‍රම ගමගේ මහතා “චුල්ලවග්ගය බුද්ධ පරිනිර්වාණයෙන් අවුරුදු සියයකට පමණ පසුව රචනා කරන ලද්දකි. ඒ කාලයේ බෞද්ධයන් අතර මෙබඳු අදහසක් පිළිගෙන තිබුණු බවට සැකයක් නැත. මේ පිළිබඳව අර්ථ කථනයක් කරන බුද්ධඝෝෂ හිමි (5 වන සියවස) භික්ෂුණීන් අෂ්ට ගරුධර්ම පිළිගත් නිසා සද්ධර්මය අවුරුදු දහසක්ම පවතින බව කියයි. ක්‍රි.ව. 5 වන ශත වර්ෂයට එහා මෙහා හරියේදී ශ්‍රී ලංකාවේ බෞද්ධයන්ගේ විශේෂයෙන් මහා විහාර සම්ප්‍රදායේ පිළිගැනීම වී තිබෙන්නේ සද්ධර්මය අවුරුදු දහසක් පවතින බවයි. මේ කාලය බුද්ධ පර්නිර්වාණයෙන් සිට විය යුතුයි පවසයි.

මේ ශාසනයේ මාගමුන් පැවිද්ද නොලැබුවේ නම් සද්ධර්මය දීර්ඝ කාලයක් වර්ෂ දාහක් පවතින්නේය. එහෙත් දැන් මාගමුන් පැවිද්ද ලබා ඇති නිසා මේ සද්ධර්මය දිගුකලක් නොපවතින්නේය. වර්ෂ පන්සීයක් පමණ පවතින්නේය. යන මේ පාඨය චුල්ලවග්ග පාලියේ පමණක් නොව අංගුත්තර නිකායේ ගෝතමී සූත්‍රය ආදි තැන්වල ද තිබේ. එසේම ශාසන විනාශ වීමට බලපාන විවිධ දේශනාවන් ත්‍රිපිටකයේ බහුලව ඇත. එම නිසා ඉහත චුල්ලවග්ගපාලිය ආදි කොට ඇති දේශනා හා අන්‍ය දේශනා අතර පවත්නා සමවිෂමතා හේතු කොට පෙර’පර දෙදිග පඬිවරුන්ගේ විවිධ මත දක්නට ලැබේ’. ඒවා මෙවන් ලිපියකින් විචාර පූර්ව අධ්‍යයනයක යෙදීම අපගේ වෑයම නොවේ. කෙසේ වුවත් ඉහත දැක්වූ ආකාරයට සාසන අන්තර්ධානයේ ඉතිහාසය ඇරඹෙන්නේ බුද්ධ දේශනාව පදනම්කොට ගෙනයි. එහෙත් අසවල් වර්ෂ ප්‍රමාණයන් අනුව ශාසන අන්තර්ධානය සිදුවේ යැයි බුදුරජාණන් වහන්සේ දේශනා කොට නැත.

මෙම ලිපියෙහි ඉතිරි කොටස මෙම මස 29 වනදා (වෙසක් අව අටවක පෝදා) පත්‍රයේ පළවේ

උපුටා ගත් ලිපිය //www.lakehouse.lk/budusarana/2016/05/21/tmp.asp?ID=fea12