Home » වටිනා ධර්ම කරුණු » තුන්සිත පහදා ගෙන දෙමු දානය

තුන්සිත පහදා ගෙන දෙමු දානය

සෝවාන් වීම පිළිබඳ ධර්මානුකූල විවරණය 24, රත්මලාන ධර්ම පර්යේෂණාලයේ හෑගොඩ විපස්‌සී හිමි

බෞද්ධ වචන මාලාවේ දානය යන වචනයට සුවිශේෂී ස්‌ථානයක්‌ හිමි වේ. සන්තානගත කෙලෙස්‌, පහකොට නිර්වාණ සුවය සාක්‍ෂාත් කිරීමේ විමුක්‌ති මාර්ගයේ මූලික පියවර වන්නේ දානයයි. සමාජගත දියුණුවේ පදනමක්‌ වශයෙන් ද දාන සංකල්පය ක්‍රියාත්මක කළ යුතු ආකාරය විවිධ සූත්‍ර දේශනාවල සඳහන් වේ.

ඒ අනුව පුද්ගලයාගේ සිට පාලකයා දක්‌වාත් පාලකයාගේ සිට පුද්ගලයා (ජනතාව) දක්‌වාත් අෙන්‍යන්‍ය වශයෙන් දානය හෙවත් පරිත්‍යාගය සිදුවිය යුතු බව බෞද්ධ ඉගැන්වීමයි. රාජ්‍ය පාලකයා තම ජනතාව උදෙසා කළ යුතු යුතුකම් එනම් සතර සංග්‍රහය වස්‌තු, දශරාජ ධර්ම ආදී ප්‍රස්‌තුතයන්හි මුලින් ම සඳහන් වන්නේ දානයයි. මෙහි අදහස රාජ්‍ය පාලකයකු ජනතාවට දන්දීම නොවේ. ජනතාවගේ දිළිඳුකම නැති කිරීම පිණිස රාජ්‍ය ධනය ක්‍රමානුකූලව බෙදීයැමට සැලැස්‌වීමයි. රැකියා අවස්‌ථා සුලබ කිරීමයි. රාජ්‍ය පාලකයකුගේ යුතුකම මෙන් ම වගකීම් ද වන්නේ දාන සංකල්පය ජනතාවගේ ආර්ථික තත්ත්වය උසස්‌ කිරීම ක්‍රියාත්මක කිරීමයි. ඒ බව කූට දන්ත සූත්‍රයෙන් පැහැදිලි වේ. එනම්,

බමුණා පෙර මහා සම්පත් ඇති මහා ජීජිත නම් රජෙක්‌ විය. “මතු හිතසුව පිණිස යාගයක්‌ කරන්නේ නම් මැනවැ”යි ඔහු සිතුවේ ය. පුරෝහිත බමුණා කැඳවා එම අදහස ඉදිරිපත් කොට යාගය කළ යුතු ආකාරය විචාළේ ය.

රජතුමනි, ගම් නියම්ගම්, නගර සොර බියෙන් පීඩා විඳියි. මං පැහැරුම් දක්‌නා ලැබේ. මෙසේ උවදුරු ඇති රටකින් අයබදු ගැනීම ආදිය සුදුසු නොවේ. විවිධ දඩුවම්වලින් සොර උවදුරු වැළැක්‌විය නොහේ. එම නිසා මෙසේ පිළිපැදීම අගනේය. කෘෂිකර්මාන්තයෙහි යෙදුනවුනට ධාන්‍ය බීජ ආදිය ලබාදිය යුත්තේ ය. වෙළඳාමෙහි යෙදුනවුනට මුදල් ද, රාජකාරියේ යෙදුනවුනට ආහාර පාන, මාසික වැටුප් ආදිය ලබාදිය යුතුයි. මෙසේ කළ පසු ඒ ඒ ජනයෝ තම තමන් අයත් කාරියෙහි නිසි සේ යෙදෙති. සොරබිය දුරුවෙයි. රජුගේ ආදායම ද වැඩි වෙයි. රටෙහි උවදුරු ද නැති වෙයි. මිනිස්‌සු අඹුදරුවන් පෝෂණය කරමින් සැකයෙන් බියෙන් තොරව සුත මුදිතව වාසය කරන්නා හ. එම උපදෙස්‌ අනුව පාලනය කරන්නේ රටෙහි නිෂ්පාදනයන් වර්ධනය වී රාජ්‍යය සමෘද්ධි විය. මින් පැහැදිලි වන්නේ දාන සංකල්පය රාජ්‍ය පාලකයෙකු ක්‍රියාත්මක කළ යුතු ආකාරයයි.

පාලකයාත් පාලිතයාත් පුද්ගලයෙක්‌මයි. ඒ නිසා ඔවුන්ගේ සන්තානගත සිතිවිලි ක්‍රියාත්මක ස්‌වරූපය සමාන මූලයන්ගෙන් යුක්‌තයි. සමාජ ස්‌ථර අනුව ස්‌වකීය භූමිකාවට සුදුසු පරිදි ක්‍රියාකිරීම ශීලාචාර පුරවැසියන්ගේ ස්‌වරූපයයි. එහිලා පුද්ගලයාගේ චිත්ත සන්තානයේ කි¹ බැස ඇති ලෝභය නමැති අකුසල මූලය පාලනය කිරීමට දානය අත්‍යවශ්‍ය සාධකයකි. ආශාව, තණ්‌හාව, කාමය, රාගය, කෑදරකම ආදී වශයෙන් හඳුන්වන්නේ ලෝභයයි. නැතහොත් ලෝභය මුල්කොට ඇතිවන චිත්ත ප්‍රවනතායි. මේ නිසා ධනය ලබාගැනීමට සෑම පුද්ගලයකුම උත්සාහ කරයි.

මෙහි අප ධනය වශයෙන් අදහස්‌ කරන්නේ මූල්‍ය සාධකය පමණක්‌ නොවේ. කෙසේ වුවත් ධනය හේතු කොට පුද්ගලයාට විපතක්‌ ඇතිවන්නේ, ධනය නිසා නොවේ ධනය පරිහරණය අනුවම යි. එම නිසා විමුක්‌තියට බාධා නොවන පරිදි ධනය පරිහරණය කරන අයුරු බුදු දහමේ පෙන්වා දී තිබේ. අනික්‌ කරුණ ප්‍රියජනක දේ භුක්‌ති විඳීමට බෞද්ධ ඉගැන්වීම් බාධා නුවුවත් ප්‍රියජනක දේ කෙරෙහි ඇලී ගැලී සිටීම විපතට හේතු වේ. විමුක්‌තියට බාධාවකි. දානය විමුක්‌තිය හෙවත් සියල්ල නැතිකොට සසරින් එතෙරවීමේ මාර්ගයේ මුල් පියවර වශයෙන් හැඳින් වූයේ එම නිසායි. ඇත්ත වශයෙන් ම ඉහත සංකල්පයෙන් දැක්‌වූ දේ පුළුල්ව සාකච්ඡා කළ යුතු වුවත් ඊට මෙය ඉඩක්‌ නොවේ. පුද්ගල සන්තානයගත ලෝභය නමැති බූවල්ලා ක්‍රම ක්‍රමයෙන් නැති කිරීම පිණිස බෞද්ධ සමාජයේ දානය සංකල්පය පුළුල්ව විකාශයට පත්ව ඇත. විශේෂයෙන් ම විමුක්‌තිය ලබාගැනීම පිණිස දානය ද සාංසාරිකව පාරමිතාවක්‌ වශයෙන් ප්‍රගුණ කළ යුතු ආකාරය දස පාරමී ධර්මයන්ගෙන් ප්‍රකට වේ.

දානය යන පාලි වචනයේ තේරුම දීමයි. ඒ වනාහි පූජා වශයෙන් හෝ අනුග්‍රහ වශයෙන් හෝ සිදු කළ හැකි ය. දීම සාමාන්‍යයෙන් එකක්‌ වුව ද පූජා හා අනුග්‍රහය (දානය) වශයෙන් දෙයාකාරයි. තමා හා සමාන වූ ද, තමාට වඩා හීන වූ ද, ගුණයෙන් යුත් පුද්ගලයන්ට තම සතු වස්‌තුව පරිත්‍යාග කිරීම අනුග්‍රහ වශයෙන් දීමයි. තමාට වඩා උසස්‌ ගුණයෙන් හෙබි බුද්ධාදී උතුමන් වහන්සේලාට තම වස්‌තුව දීම පූජා නම් වේ. එම නිසා දුගී මගී යාචකාදීන් හෝ උපාසක උපාසිකාවන්ට හෝ යමක්‌ පරිත්‍යාග කිරීම දානය වශයෙන් ව්‍යවහාර කළත් දානය පූජා කළ හැක්‌කේ මහා සංඝරත්නයට පමණයි. මෙහිදී ප්‍රශ්නයක්‌ මතු වේ. එනම් දිය යුත්තේ කුමක්‌ සඳහා ද? මේ සඳහා මහානිදාන සූත්‍රයේ සඳහන් දේශනාවක්‌ වැදගත් වේ. එනම්,

වේදනාව නිසා තණ්‌හාව, තණ්‌හාව නිසා සෙවීම වෙයි. සෙවීම් නිසා ලැබීම් වෙයි. අරමුණු ලැබීම් නිසා නිගමනයන් ඇති වෙයි. දෘෂ්ටි වශයෙන් කරණ නිගමන නිසා ඡුන්ද රාගය (දුර්වල රාගය) ඇති වෙයි. ඡුන්ද රාගය නිසා මම ය මාගේ ය යන බලවත් ඇලීම වෙයි. එම නිසා තෘෂ්ණා දෘෂ්ටි වශයෙන් ගැනීම වෙයි. මසුරුකම ඇති වෙයි. මසුරුකම නිසා ආරක්‍ෂා හේතුන් ඇති වෙයි. එය හේතුකොට ද අවි ගැනීම්, කලහ, විවාද යනාදිය අගෞරව වචන, කේලාම් බස්‌, මුසා බස්‌ ආදී ලාමක අකුසල හටගනියි යනුවෙන් සඳහන් වේ. මෙයින් පැහැදිලි වන්නේ දන් දිය යුත්තේ සිත් සතන් හි පවත්නා ලෝභය, ද්වේෂය, මෝහය යන අකුසල මූල නැතිකොට ශාන්ත නිවන් සුවය පිණිස බවයි. නිවන ලබාගැනීම එක විට කළ නොහැකි ය. සංසාරිකව ඒ සඳහා ගුණධර්ම වැඩීම අවශ්‍යයි.

දන් දෙන පුද්ගලයාගේ ලෝබාදී චිත්තාවේග පාලනය කොට හික්‌මවා මෘදු මොලොක්‌ ශාන්ත ස්‌වරූපයට පත් කරයි. මෙලොව හිත සුව පිණිස සමාජ සංස්‌ථාවන්ගේ අභිවෘද්ධිය පිණිස පුහුදුන් මිනිසා දන් දිය යුතු ය. මෙම පරමාර්ථ ඉෂ්ට කිරීම පිණිස වඩා සුදුසු පින්කෙත මහා සංඝරත්නයයි.

එම නිසා පුන පුනා සිත පිනා යන හැටියට දන් දීමට නම් සම්පූර්ණ විය යුතු අවස්‌ථා තුනක්‌ තිබේ. ඒවා සම්පත්ති යනුවෙන් හැඳින්වේ. එනම් ශ්‍රද්ධා සම්පත්ති, වස්‌තු සම්පත්තිය හා ප්‍රතිග්‍රාහක සම්පත්තිය, ශ්‍රද්ධාව යනු තුරුණුවන් පිළිබඳ විශ්වාසයයි. ධාර්මික ලෙස උපයා සපයා ගත් ප්‍රතිග්‍රාහකයන් කොතෙක්‌ හොඳ වුවත් වස්‌තු සම්පත්තිය ධාර්මික වුවත් ශ්‍රද්ධාව නොහොත් චිත්ත සම්පත්තිය දුර්වල නම් දානයෙන් උසස්‌ කුසලයක්‌ අත්කරගත නොහැකි ය. දන්දිය යුත්තේ තුන්සිත පහදවාගෙන ය.

තුන් සිත පිළිබඳ ලෝවැඩ සඟරාව පැහැදිලි කරන හැටි

අන් හට අලසව නොකොට වී දානය

පින්මිස අනෙකක්‌ නොකොට ප දානය

තුන් සිත පිරිසිදු කොට දුන් දානය

උන් ගිය ගිය තැන ලැබෙයි නිදානය

අලසකමින් අනුන් යෙදවීමක්‌ නොකොට පින් මිස අන් කිසිවක්‌ ප්‍රධාන කොට නොගෙන තුන් සිත පිරිසිදු කොට දුන්නා වූ දානය ඔවුන් උපනුපන් ජාතිවල වස්‌තු ලැබීමට හේතු වෙයි.

තුන් සිත යනු පූර්ව ෙච්තනා, මුඤ්චන ෙච්තනා හා අපර ෙච්තනායි. දනක්‌ එය සංවිධානය කිරීම් වශයෙන් යෙදෙන ෙච්තනාව පූර්ව ෙච්තනාවයි. මුඤ්චන ෙච්තනාව යනු “ඉමං භික්‌ඛං භික්‌ඛු සංඝස්‌ස දේම” මේ භික්‍ෂාව භික්‌ෂු සංඝයාට දෙමු” යනුවෙන් කියා පිළියෙල කළ දාන වස්‌තුව සඟ සතු කරණ අවස්‌ථාවේ ඇති වන ෙච්තනාවයි. එතැන් පටන් ඇති වන සිතිවිලි අපර ෙච්තනා නම් වේ. එය මරණාසන්නය දක්‌වා හෝ බලපැවැත්විය හැකිය.

  1. බුදුන් ප්‍රමුඛ භික්‍ෂු භික්‍ෂුණී උභය සංඝරත්නයට දන් දීම.
  2. භික්‍ෂු භික්‍ෂුණී උභය සංඝරත්නයට දන් දීම.
  3. භික්‍ෂු සංඝරත්නයට දන්දීම
  4. භික්‍ෂුණී සංඝරත්නයට දන් දීම
  5. ආරාධනාවක්‌ නැතිව වඩින තරමක්‌ භික්‍ෂු භික්‍ෂුණි සංඝරත්නයට දන් දීම
  6. ආරාධනාවක්‌ ඇතිව වඩින භික්‍ෂු සංඝරත්නයට දන් දීම
  7. ආරාධනාවක්‌ ඇතිව වඩින භික්‍ෂුණි සංඝරත්නයට දන් දීම.

මේ කාලයේ දන් දිය හැක්‌කේ 3 හා 6 වැනි සාංඝික දානයි

“සංඝ යන වචනයට බෞද්ධ කාලයේ වැඩසිටි සැරියුත් මුගලන් ආදී මහ රහතන් ප්‍රධාන සියලුම ආර්ය මහා සංඝයා වහන්සේ මෙන් ම වර්තමාන කාලයෙහි වැඩ සිටින හා අනාගතයෙහි ඇතිවන සියලුම සංඝයා වහන්සේ ම ඇතුළත් වන බව බුදුරජාණන් වහන්සේ විසින් (දක්‌ණාවිභංග සූත්‍රයේ) දේශනා කර තිබෙන බැවින් බෞද්ධයන් විසින් සාංඝික දාන දීමේ දී නිකාය වශයෙන් හෝ පක්‍ෂ වශයෙන් හෝ ග්‍රාමන්ත ආරණ්‍ය වශයෙන් සිල්වත් – දුසිල්වත් වශයෙන් හෝ පුද්ගල සංඥවක්‌ ඇතිකර ගෙන දීම පින් අඩුවීමට හේතු වන්නේ ය. එසේ ම තමන්ගේ හැකියාව පරිදි කවර ගණනක්‌ වුවද සංඝයා වහන්සේට සාංඝික කොට දන් දිය හැකි ය. සඟුන් ඉල්ලා දෙතොත් එක්‌ නමකට වුවද ලැබුණේ සාමණේර නමක්‌ නම් ඒ නමට වුව ද සාංඝික වශයෙන් දන්දිය හැකි ය. මෙහිලා වැදගත්ම කරුණු වන්නේ චිත්ත ප්‍රණීධානයේ හෙවත් සිත පිහිටුවා ගැනීමේ පවිත්‍ර ආකාරයයි.

පින් තකා රෝහලක සිටින සියලුම රෝගීන්ට ගිලන් උවටැන් වශයෙන් ආහාරයක්‌ දෙනු කැමැත්තා ගිලනුන්ගේ ස්‌ත්‍රී පුරුෂභාවය, බාල මහලු බව ජාති ගෝත්‍රාදිය සත්පුරුෂ අසත්පුරුෂ ආදිය නොබලාම ගිලන් බව පමණක්‌ ම බලා දන් දෙන්නාක්‌ මෙනි. තනිකර බුදුනට පූජා කරන විට පුද්ගලික දානයක්‌ වන අතර සාංඝික කර දෙන විට වඩා ආනිශංස වන බව බුදුහුම වදාළ හ.

අමාරු වැඩේ දන් දීම නොවේ.

පෙර බරණැස්‌ නුවර මද්දව නම් රජෙක්‌ සිටියේ ය. දිනක්‌ ඔහු ඉතා වටිනා වස්‌තුවක්‌ පරිත්‍යාග කළේ ය. පසුව ඒ ගැන සිතත් සිතත් ම ඒ ගැන ආශාව ඇති වී ඔහු රෝගාතුර විය. රජු සුවපත් කිරීම පිණිස ඇමතියන්ගේ උපදෙස්‌ පරිදි රජගෙදර මිදුලේ ක්‍රීඩා ප්‍රදර්ශනයක්‌ පවත්වන ලදී. එහි එක්‌ පුරුෂයෙක්‌ අඩි දෙකහමාරක්‌ පමණ දික්‌ වූ තියුණු මුවහත් කඩුවක්‌ ගිල්ලේය. රජු ඒ දැක පුදුම වී ලෝකයෙහි එයටත් වඩා දුෂ්කර දෙයක්‌ තවත් ඇත්දැයි ඇමතියෙකුගෙන් විචාළේ ය. එවිට ඇමැතිය කියන්නේ

 මහ රජතුමනි මේ පුරුෂයා ඉතා මුවහත් වූ අනුන්ගේ ලේ හලන්නා වූ කඩුව ගිලින්නේ ධන ලෝභයෙනි. යමෙක්‌ තමාට අයත් දෙයක්‌ අනුන්ට දෙමියි කියා පොරොන්දුවේ නම් එය කඩුව ගිලීමට වඩා දුෂ්කර කරුණකි. අන් සියල්ල ඊට වඩා පහසු ය. දෙමියි කීම ඒ සියල්ලට වඩා අමාරු වැඩකැයි කීවේ ය.

එය අසා රජතෙම අන් ඇමතියකුට කථා කොට පළමු ඇමතියා කී දෙයට වඩා දුෂ්කර වූ දෙයක්‌ ලෝකයෙහි තවත් ඇත් දැයි විමසූ විට ඔහු කියන්නේ මහරජතුමනි වචනය නිසා ජීවත් වන අය නැත. එබැවින් වචනය නිෂ්ඵල ය. යමෙක්‌ පොරොන්දු වූ හැටියට ම වස්‌තු ලෝභය හැර පියා පොරොන්දු වූ දෙය දෙයි නම් එය ඊටත් වඩා දුෂ්කර වැඩකැයි ද ලෝකයේ ඇති අන් සියල්ලම පහසු යයි ද කීවේ ය. එය අසා රජතුමා මම පොරොන්දු වූ සැටියට ම දී දුෂ්කර දෙයක්‌ කෙළෙමියි සතුටු වී ශෝකය තුනී කර ගෙන ළඟ සිටි මහ බෝසත් වූ සේනක පඩිතුමාගෙන් කලින් කියන ලද කරුණු දෙකට වඩා තවත් දුෂ්කර කරුණු ඇත් දැයි විචාළේ ය. ඊට පිළිතුරු වශයෙන් බෝසත් පඬිතුමා කියන්නේ මහ රජතුමනි මනුෂ්‍යයා ස්‌වල්ප වූ හෝ බොහෝ වූ හෝ දාන දෙන්නේ ය. යමෙක්‌ දුන් දේ ගැන පසුව නොතැවේ නම් එය ඒ සියල්ලට වඩා දුෂ්කර කරුණකි. අන් සියල්ලම පහසු කරුණු යෑයි පැවසීය. මෙය අසා රජතුමා මම දැන් දුෂ්කර කරුණු දෙකක්‌ සම්පූර්ණ කළෙමි. මා වැන්නකුට දුන් දෙය ගැන ශෝක කිරීම නුසුදුසු ය. ඒ තුන්වන දුෂ්කර කාරණය ද මා විසින් සිදු කළ යුතුය යි සලකා ශෝකය දුරු කර ගත්තේ ය. රජුගේ රෝගය ද සුව විය. (දසණ්‌ණක ජාතකය)