Home » විශේෂාංග » සූවාසු දහසක් ධර්මස්කන්ධය විකෘති කළ ග්‍රන්ථ දහසක්

සූවාසු දහසක් ධර්මස්කන්ධය විකෘති කළ ග්‍රන්ථ දහසක්

ආශ්චර්යමත් ශී‍්‍ර ලංකාවේ අරුම පුදුම ‘මහ රහතන් වහන්සේ’ නමක් පහළ වී ඇත්තාහ. සත්මහල් ප‍්‍රාසාදයක වැඩ සිටින උන් වහන්සේ දුරකථන, ජංගම දුරකතන, ෆැක්ස්, විද්‍යුත් තැපෑල භාවිත කරනවා පමණක් නොව තමන්ගේ නමින් වෙබ් අඩිවයක් ද පවත්වාගෙන යන ‘මොඩිෆයි රහතන් වහන්සේ නමක් වන සේක. සියලූ ලෞකික සැප සම්පත් විඳිමින් ‘මහ රහත්’ යනුවෙන් ලේබලයක් ගසාගෙන සිටින උන්වහන්සේ ලියූ පොත්පත්වලදී තමන් හඳුන්වා ගත්තේ සිව් පිළිසිඹියාපත් අතිපූජ්‍ය …… මහරහතන් වහන්සේ යනුවෙනි. උන්වහන්සේ ලියූ පොතක දැක්වෙන පරිදි බුද්ධ ශාසනය වූ කලී පාලියය.

මේ රහතන් වහන්සේ පමණක් නොව, ඉකුත් කාලයේ ලංකාවේ දෙතුන් තැනකින්ම රහතන් වහන්සේ කිහිප නමක්ම පහළ වූහ. පිටි¥වේ සිරිධම්ම හිමියෝ ද, තමන් සකෘදගාමි ඵලයට පත්ව ඇතැයි කියමින් මහා මාධ්‍ය සංදර්ශනක් පැවැත්වූවෝය. ගාල්ලේ වඳුරඹ සිරිවර්ධන උන්නැහේ තමන් මෛතී‍්‍ර බුදුන් වහන්සේමැයි කියමින් දේශනා පැවැත්විය. පොත් ලීවේය. එහෙත් එ්වායේ ඇත්තේ බුදුන් වදාළ ධර්මය නොවේ. ඇතැම් විට එය සිරිවර්ධන උන්නැහේ ‘බුදු වී’ සොයා ගත් අලූත් දහමක් ද විය හැකිය.

මේ අතර බුදුන් වහන්සේ ?ට ?ට තමන්ට කතා කරන බව පවසමින් එක් කාන්තාවක් පොතක් ලියා තිබේ. එම පොතේ පෙරවදනේ දැක්වෙන පරිදි එක්දහස් නවසිය අනූහතේ සිට එම කාන්තාවට බුදුන් වහන්සේ කතා කර ඇත. තමන්ට ෂඞ් වර්ණ ආලෝක හා කහපාට ගෝලාකාර දෙයක් වටා විහිදෙන රශ්මි මාලාවක් පෙනෙන බව ලියා ඇති එම කාන්තාව මේ පිළිබඳ දේවාරූඪයෙන් ශාස්ත‍්‍ර කියන පුද්ගලයන්ගෙන් ඇසූ කල්හි තමන්ට ඇසෙන්නේ බුදුන්ගේ හඬ බව ඔවුන් පවා තහවුරු කළ බව පොතේ සඳහන් කර තිබේ.

බොහෝ කාලයක සිට මෙවැනි විකාර කතා රටේ සිව් දිසාවෙන්ම අසන්නට දකින්නට ඇත්තේය. එසේ අසන්නට ලැබුණු බොහෝ කතා කාලයේ වැලිතලාවෙන් වැසී ගොස් රට්ටුන්ගේ මතකයෙන් ද ගිලිහී යන්නට විය. එනමුත් වසර හත අටක සිට බුදු දහම පිළිබඳ මිථ්‍යා මත ග‍්‍රන්ථාරූඪ වීම ථෙරවාද බෞද්ධ සම්ප‍්‍රදායට බරපතළ තර්ජනයක් බව රත්මලාන ආදර්ශ නගරයේ ධර්ම පර්යේෂණාගාරයේ අධ්‍යක්ෂ හෑගොඩ විපස්සි හාමුදුරුවෝ පවසති.

උන්වහන්සේ මේ කාරණාව පවසන්නේ වසර අටක පමණ කාලයක් පුරා කළ සමීක්ෂණයකදී හෙළි වූ තොරතුරුවල බරපතළකම අනුවය.

‘ඉකුත් වසර හත අටක කාලය තුළ දී බුදු දහම විකෘති කරමින් ග‍්‍රන්ථ දහසක් පමණ එළිදක්වා තිබෙන බව මා කළ සමීක්ෂණයකදී හෙළි වුණා. පොත් පමණක් නොව, තරුණ තරුණියන් අතර ජනපි‍්‍රය සඟරා, ජාතික පුවත්පත්වල පළවන දහම් ලිපි, ඓතිහාසික තොරතුරු අන්තර්ජාල වෙබ් අඩවි සංයුක්ත තැටි, විද්‍යුත් තැපෑලෙන් ලැබෙන ලිපි, ධර්ම සාකච්ඡුා, අසපු, ආරාම යනුවෙන් හඳුන්වන ස්ථානවලින් ථෙරවාද සම්ප‍්‍රදාය බිඳ දැමීමට විශාල කුමන්ත‍්‍රණයක් කි‍්‍රයාත්මක වන බවට පැහැදිලියි. මෙවැනි ඇතැම් පොත් ලියා ඇත්තේ රූපවාහිනිය මගින් ජනපි‍්‍රයත්වයට පත් වූ භික්ෂූන් වහන්සේය. උන්වහන්සේට ති‍්‍රපිටකය හෝ පාලි භාෂාව ගැන ගැඹුරු දැනුමක් නැති බව පොත්වල තිබෙන කරුණුවලින්ම ඔප්පු වෙනවා.
බුදු දහම පිළිබඳ විකෘති වූ තොරතුරු ග‍්‍රන්ථාරූඪවීම අදට වඩා බලපාන්නේ අනාගතයට. මොකද කාලයක් යන විට ධර්මය නොදන්නා පුද්ගලයන් විශ්වාස කරන්නේ මේ පොත්වල තිබෙන මිථ්‍යා තොරතුරු යනුවෙන් හෑගොඩ විපස්සි හාමුදුරුවෝ පවසති.

මෙසේ ප‍්‍රකාශයට පත් කර ඇති ඇතැම් පොතේ පිටු හාරසියයකින් පන්සියයකින් පමණ සමන්විතය. එ්වාහි මිල එක්කෝ රුපියල් පන්සියයකි. නැත්නම් හත්සියයකි. ජනපි‍්‍රය භික්ෂූන් වහන්සේ නමක් ලියා ඇති බැවින් ශ‍්‍රද්ධාවෙන් පිරි ඉතිරී ගිය බෞද්ධයෝ මේ පොත් මිලදී ගනිති.

ධර්ම දේශනා පොත් පමණක් නොව භාවනා පොත් ද මේ කාලයේ බොහෝ ජනපි‍්‍රයය. කෙලෙස් නසන භාවනා යන වදන මෙකල භාවිතා වන්නේ තරුණ තරුණියන්ගෙන් කෙලෙස් වඩන තොඳොල් බස්වහරක් තිබෙන සඟරා හැඳින්වීමටය.

මේ අතර මක්කම ඇත්තේ ලංකාවේ යැයි කියමින් තමා මහාචාර්යවරයකු යැයි කියා ගන්නා පුද්ගලයකු පොතක් ලියා තිබේ. මේ පුද්ගලයා තමා ගැන කරන හැඳින්වීම අනුව ලෝකයේ වැඩිම උපාධි සංඛ්‍යාවක් දිනා ගිනස් වාර්තාව ඇත්තේ ඔහුට විය යුතුය. සංඝමිත්තා මහ රහතන් වහන්සේ ගණිකාවක් බව ලියා ඇත්තේ ද ඔහුය. අවාසනාවක මහත! මෙවැනි පුද්ගලයන්ගේ පොත්වලට පෙර වදන් පසු වදන් ලියා ඇත්තේ රටේ මහා කීර්තියට පත් සරසවි ඇඳුරන්ය. පාලි හා බෞද්ධ විශ්වවිද්‍යාලයේ හුන් උපකුලපති හාමුදුරුවන්ය.

තවත් භික්ෂුවක් වැලන්ටයින් දිනය වෙනුවෙන් නිවන් පුරේ සිට මිහිඳු මහ රහතන් වහන්සේ තරුණ තරුණියන් අමතන බව පවසමින් ලිපියක් ලීවේය. තවත් අයෙකු සිය පොතේ පාෂාණ සූත‍්‍රය සිංහලට පරිවර්තනය කර ඇත්තේ ගල් පෙරළන සූත‍්‍රය යනුවෙනි.

මීවනපළානේ සිරි ධම්මාලංකාර නමැති භික්ෂුවක් ඉකුත් කාලයේ රටේ ප‍්‍රසිද්ධියට පත්වූයේ හතරවැනි සිල් පදය කැඩූ අයෙකු ලෙසය. ‘බුද්ධෝත්පත්තිය හෙළ දිවයි’ යනුවෙන් පොතක් ලියූ එ් භික්ෂුව දිගින් දිගටම කියන්නට හැදුවේ බුදුන් වහන්සේ උපත ලැබුවේ ලංකාවේ බවය.

අවසානයේදී මේ බොරුව නතර කිරීමට නඩු පැවරීමට පවා සිද්ධ විය. බුදුන් වහන්සේ ලංකාවේ උපන් බවට මීවනපළානේ සිරි ධම්මාලංකාර භික්ෂුව පොතේ ලියන විට තවත් පිරිසක් රාවණා මෙන්ම දිවාගුහාව අරභයාද පොත් ලියති. පත්තරවල පල් හෑලි පළ කරති. සොළොස්මස්ථාන අතරින් මෙතෙක් සොයා ගැනීමට නොහැකිව තිබූ දිවා ගුහාව සිරිපා බිමෙන් හමුවූ බව වදාළේ ශී‍්‍ර පාදස්ථානාධිපති බෙංගමුවේ ධම්මදින්න නායක හාමුදුරුවන්ය. එ් කතාවේ උණුසුම මැකී යන්නටත් පෙර තවත් අයෙකු පාරම්බෑවේ දිවා ගුහාවට ගිය මුල්ම මාධ්‍යවේදියා තමන් බව කියමිනි. එනමුත් දිවාගුහාව ලෙස මේ අය හඳුන්වනු ලැබූ ගල්ලෙන සෙනරත් පරණවිතාන සූරීන් සොයාගෙන එහි සෙල්ලිපි පවා ග‍්‍රන්ථාරූඪ කර තිබුණේ එක්දහස් නවසිය තිහේ දශකයේදීය. ඉක්බිතිව මහා පඬිරුවනක් වූ කිරි ඇල්ලේ ඤාණවිමල හාමුදුරුවෝ ද සිය කෘතින්වල මේ ලෙන ගැන තොරතුරු ලිව්වෝය. එනමුත් ජනපි‍්‍රයත්වය පමණක් උදෙසා පොත්පත් ලියන උදවිය පැරණි පොත පත ගැන හැදෑරීමක් නොකරන බැවින් ඔවුන් ලියන්නේ මෙවැනි අසත්‍ය තොරතුරු බව හෑගොඩ විපස්සි හාමුදුරුවෝ පෙන්වා දෙති.
අවසානයේදී මේ අසත්‍ය පොත්වල තිබෙන කාරණා ගැන පැහැදිලි කිරීමට පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය සෙනරත් දිසානායකට මැදිහත්වන්නට සිද්ධ විය. බුදුන් වහන්සේ ලංකාවේ උපන් බවට ලියා ඇති පොත්වල ඇත්තේ අසත්‍ය කාරණා බවත් මේ ප‍්‍රකාශවල කිසිදු ශාස්තී‍්‍රය පදනමක් නැති බව ඔහු කීවේය.

කෙසේ නමුදු බුදු දහම විකෘති කරමින් ලියැවුණු පොත්වලට විරෝධය එල්ල වූ පළමු අවස්ථාව මෙය නොවේ. හෙළයේ මහා ගත්කරු මාර්ටින් වික‍්‍රමසිංහ සූරින් එක්දහස් නවසිය හැත්තෑ තුනේ දී බවතරණය නවකතාව ලියූ අවස්ථාවේදීත් විද්‍යාලංකාර පරිවේණාධිපති යක්කඩුවේ ප‍්‍රඥාරාම නාහිමි ප‍්‍රමුඛ මහා සංඝරත්නය ඊට දැඩි විරෝධය පළ කළහ. සිදුහත් සිරිත හා බුදු සිරිත විවරණය කරමින් ලියූ බව කීවත් බවතරණයෙන් බුද්ධ චරිතය විකෘති කර ඇති බවට භික්ෂුහු චෝදනා කළහ. බවතරණයට එරෙහිව යක්කඩුවේ ප‍්‍රඥාරාම නාහිමියෝ ‘බවතරණ මඟ’ හා බුද්ධ චරිතය යනුවෙන් පොත් දෙකක් ලියා පළ කළ සේක. මාර්ටින් වික‍්‍රමසිංහ සිංහල නවකතාවේ ලකුණ වුවත් ඔහුගේ කෘතිය විවේචනය කිරීමට පවා එකල භික්ෂූන් වහන්සේ පසුබට නොවූහ. පසුකලක බවතරණයෙන් පන්නරය ලබා කේ. ජයතිලක ලියූ බුද්ධ චරිතයෙන් බුද්ධ චරිතය කෘතියෙන් ද කර ඇත්තේ බුද්ධ චරිතය විකෘති කිරීමක් යැයි හෑගොඩ විපස්සි හාමුදුරුවෝ පවසති.

බුදු දහම පිළිබඳ ලියූ විකෘති පොත්පත් හා රටේ සදාචාරයට නොගැළපෙන පොත් ගිනි තබා විනාශකළ යුතු බවට යෝජනාවක් හැටේ දශකයේ ගාල්ලේ පැවැති සමුළුවකදී යෝජනා කර සම්මත කෙරුණි. ගාල්ලේ පුඤ්ඤසාර පිරිවෙනේ පැවැති එම සමුළුවේදී මෙම යෝජනාව සම්මත කෙරුණේ ගාල්ලේ විද්‍යාලෝක පරිවේණාධිපති හෑගොඩ ඛේමානන්ද, ගාල්ල කොටුව විහාරාධිපති ගෝනපීනුවල පුඤ්ඤාසාර හා උළුවිටිකේ ජයසුමනාරාමාධිපති උළුවිටිකේ සංඝරතන යන නාහිමිවරුන්ගේ මූලිකත්වයෙනි.

එක්දහස් නමසිය හැටේ දශකයට වඩා දැන් තත්ත්වය බොහෝ බරපතළය. එ් බුදු දහම විකෘති කරමින් ලියැවෙන්නේ පොත් එකක් දෙකක් පමණක් නොව සිය ගණනකින් බැවිනි. මෙසේ බුදු දහම විකෘති කරමින් ලියන පොත්පත් වාරණය කිරීමට උපදේශක මණ්ඩලයක් පාර්ලිමේන්තු පනතකින් සම්මත කළ යුතු බව හෑගොඩ විපස්සි හාමුදුරුවෝ රජයට යෝජනා කළේ මීට බොහෝ කලකට පෙරය. එ් ගැන බෞද්ධ කටයුතු කොමසාරිස් චන්ද්‍රසෝම ගමගේ කියන්නේ බුදු දහම පිළිබඳ ලියැවෙන පොත්පත් ප‍්‍රකාශයට පත් කිරීමට පෙර විද්වත් මණ්ඩලයට ඉදිරිපත් කර එ් සඳහා අනුමැතිය ගැනීම අනිවාර්ය කරන බවය. නව නීතියට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලැබී ඇති බව පවසන බෞද්ධ කටයුතු කොමසාරිස්වරයා නව පනත් කෙටුම්පත නීතිපති දෙපාර්තමේන්තුවට යවා ඇති බවද සඳහන් කළේය. නව පනත යටතේ බුදු දහම හා බුද්ධ චරිතය සම්බන්ධයෙන් ලියැවෙන පොත්පත් ප‍්‍රකාශයට පත්කිරීමට පෙර විද්වත් කමිටුවකට ඉදිරිපත්කර අනුමැතිය ගත යුතුය. මහානාහිමිවරුන් ඇතුළු බුදු දහම පිළිබඳ හසල දැනුමක් තිබෙන පිරිසකගෙන් මෙම කමිටුව සමන්විත වනු ඇත. එම කමිටුවේ අනුමැතිය නොමැතිව බුදු දහම පිළිබඳ පොත්පත් ප‍්‍රකාශයට පත් කිරීම මින් ඉදිරියට තහනම් කටයුත්තක් වනු ඇත්තේය.

 yatraහෑගොඩ විපස්සි හිමියෝ හෙළිකරති.
මිහිරි ෆොන්සේකා

//yathranews.com/magazine/?p=229