Home » පුවත් පත් ප්‍රකාශන » මග ගැඹුරු… සෝවාන් මග

සෝවාන්වීම පිළිබඳ ධර්මානුකූල විවරණය – 03

වර්තාමනයේ බෞද්ධයන් නානාප්‍රකාර පූජා විදිවලට ඇබ්බැහිවී සිටිනවා. ඇබ්බැහිවීම යන්න විවිධාකාරයෙන් අර්ථ දැක්‌විය හැකියි. මෙහිදී අදහස්‌ කරන්නේ ඇබ්බැහිවීම නරක පුරුද්දක්‌ ලෙසයි. විවිධ බෝසත් පූජා මහා මායා පූජා, දුව දුව කරණ පහන් පූජා, නව අරහාදි පූජා, බුදුගුණ පූජා, චෛත්‍ය පූජා, බෝධි පූජා ආදී විවිධ පුද පූජාවන් අද බෞද්ධ සමාජයේ දක්‌නට ලැබෙනවා.

මේ හැම පූජාවකින්ම බලාපොරොත්තු වන්නේ කෙළෙස්‌ නැති කර සෝවාන් ආදී මාර්ගඵල ලබා ගැනීමයි.

 නමුත් ප්‍රශ්නය තියෙන්නේ මෙම සියලු පූජාවලින් සෝවාන් ආදී උත්තරීතර මාර්ගඵල ලබාගැනීම සඳහා හේතුවෙනවද යන්නයි. මේ සියල්ල එම උත්තරී තත්ත්වය සඳහා හේතුවන්නේ නැහැ. මේවා ආමිස පූජාවන්. මේවා ප්‍රතිපත්ති පූජාවට හේතු වන්නේ නැහැ. බොහෝ දෙනා ආමිස පූජා හා ප්‍රතිපත්ති පූජා නිසි ලෙස තේරුම් නොගත් ස්‌වභාවයක්‌ තියෙනවා. එය වෙනමම සාකච්ඡා කළ යුතු මාතෘකාවක්‌.

Ven.Hegoda Vipassi Thero

Ven.Hegoda Vipassi Thero

මම නම් දකින්නේ අපේ බෞද්ධ ජනතාව මෙම විවිධ පූජා විධිවලින් මුලාවී ඇති ස්‌වභාවයකුයි. මංමුලාවී ඇති තත්ත්වයකුයි. මෙම මුලාව සිදුවී තිබෙන්නේ ශ්‍රද්ධාව කියන චෛතසිකයත් සමඟයි. ශ්‍රද්ධාව නරක දෙයක්‌ නොවුනත් මංමුලාවී විවිධ පූජාවන්ට ඇබ්බැහිවී ඇති කර ගනු ලබන ශ්‍රද්ධාවෙන් අප බලාපොරොත්තු වන උත්තරීතර මාර්ගඵල ලාභී තත්ත්වයට ලබා ගැනීම තවත් තවත් ප්‍රමාද කරනවා. ඈතින් ඈතට යනවා.

අද සමහරුන් එක්‌ මලක්‌ නොවේ මල් දහස්‌ ගණනින් පූජා කරනවා. එසේ කරන විට ඊට සම්බන්ධ වන පුද්ගලයන්ගේ සිත්හි ශ්‍රද්ධාවන් ඇති වෙන්න පුළුවන්. එය අය කාරුණික වෙන්නත් පුළුවන්. සමහර විට සමහර කණ්‌ඩායම් කියන්න පුළුවන් මේ ආකාරයෙන් දිගින් දිගටම පිංකම් කරන විට සෝවාන් ආදී උතුම් මාර්ගඵල ලාභී තත්ත්වයන්ට පත්විය හැකියි කියා. එය පිළිගත හැකි තත්ත්වයක්‌ නොවේ. මෙවැනි වැරදි ප්‍රතිපත්ති පූජාවලින් අප බලාපොරොත්තු වන උත්තරී තත්ත්වයට පත්විය නොහැකියි.

Podi pujawaඅපේ පැරණි සම්ප්‍රදායන් අනුව අපි බුද්ධ වන්දනාව කරනවා. බෝධි පූජා සිද්ධ කළා. දැනුත් සිදුකරනවා. නමුත් එහි විකාශයන් ලෙස ප්‍රදර්ශනාත්මකව කෙරෙන විවිධ පූජා භයානකයි. එය අප බලාපොරොත්තු වන උසස්‌ තත්ත්වයට යැමට විශාල බාධාවක්‌.

පැරණි සිරිත අනුව අපි බුද්ධ වන්දනාව කළා. බෝධි පූජා පැවැත්වූවා. ඒ වගේම සිල්සමාදන් වුණා. කෙටි වේලාවක්‌ මෛත්‍රී භාවනාව කළා.

එදිනෙදා ජීවිතයේදී මිනිස්‌ සිත සංවර කර ගැනීමට, උපේක්‌ෂා සහගත සිතුවිලි ඇති කර ගැනීමට, නිවී සැනසිල්ලේ ජීවත්වීමට, කැකෑරෙමින් පවතින රාගය, කාමය වැනි කෙළෙස්‌ නැති කර ගැනීමට, මෙම වන්දනා මාන කිරීම වරදක්‌ නොවේ.

අපි ගෙදර දොරේදී බුද්ධ වන්දනාව කරනවා. අම්මා, තාත්තා, දරුවන් සමග එක්‌වී මල් කඩා බුදුකුටිය ශුද්ධ පවිත්‍ර කර පහන් පූජා කර, බුද්ධ වන්දනාව සිදුකරනවා. බුද්ධ වන්දනාවෙන් තමන්ගේ තිබෙන රාගික සිතුවිලි යටපත් වෙනවා. ඒවගේම ලෝභ සහගත සිතුවිලි, ද්වේෂ සහගත සිතුවිලි, ක්‍රෝධ සහගත සිතුවිලි යටපත් වෙනවා. එම තත්ත්වය තුළ අප අරමුණු ගතවන්නේ බුදුරජාණන් වහන්සේ කෙරෙහිය. එතැන ඇතිවන්නේ සැනසිලි දායක සිතුවිලි, භාවනායෝගී සිතුවිලි. මෙම තත්ත්වය ඇතිවුණේ කුමක්‌ නිසාද කියලා මෙම තත්ත්වයට පත්වූවෝ කල්පනා කරනවා. මොනවද එම සැනසිලිදායක පරිසරය තුළ සිතන්නේ. බුදුරජානන් වහන්සේ දේශනා කළ ධර්මය ගැන සිතනවා. මෙවන් තත්ත්වයන් ඇති වුණේ බුද්ධ වන්දනාව ප්‍රමුඛ කොට ඇති වූ මාර්ග බ්‍රහ්මචර්යාව නිසයි. අපි මෙම තත්ත්වය ප්‍රතික්‌ෂේප කරන්නේ නැහැ. එසේ ප්‍රතික්‌ෂේප කරන්න කියන්න අයිතියකුත් නැහැ.

බුද්ධ වන්දනාදිය සිදුකළ යුතුයි. නමුත් වර්තමානයේදී තිබෙන බෝසතුන් මුල් කරගෙන සිදුකරන ආගම් පූජාවලින් අප මේ කියන තත්ත්වය ඇති වන්නේ නැහැ. මේවා සැකසිලා තියෙන්නේ බෞද්ධ සම්ප්‍රදාය අනුව නොවේ. තවත් වේලාවක අපට දකින්න ලැබෙනවා විවිධ මායා පූජාවන්. මෙම පූජා විධි ගොඩනගා ඇත්තේ හින්දු ආගමික වත්පිළිවෙත්වලට අදාළවයි. නැතහොත් වෙනත් ආගම්වල ස්‌වභාවයන් ඊට ඈඳෑගනිමිනුයි. ස්‌කන්ධ දෙවියන්ට, විෂ්ණු දෙවියන්ට කරන විවිධ පූජා ක්‍රමවේදය තමයි මේ අය නමින් බෞද්ධ කර තිබෙන්නේ.

බුද්ධ වන්දනාව ශීලයට හේතුවක්‌. කායික, වාචික සංවරයටත් හේතුවක්‌. මේ තත්ත්වය දිගින් දිගට පැවතීම මානසික සංවර්ධනයට හේතුවක්‌ වෙනවා. අධ්‍යාත්මික සංවර්ධනයක්‌ ඇති වෙනවා. මෙම තත්ත්වය තුළින් මාර්ගඵලලාභී තත්ත්වයටම යැමට හේතුවෙනවා. මෙය උපනිස්‌ශ්‍රය වෙනවා. හේතුවෙනවා.

මෙම යහපත් තත්ත්වය, පරිසරය, තුළින් ධර්මානුකූල මාර්ගය විවර කරගත යුතුයි. බුද්ධ වන්දනාවේදී අපට බුදුරජාණන් වහන්සේ කෙරේ ශද්ධාවක්‌ ඇති වෙනවා. එම ශද්ධාව පමණක්‌ සෝවාන් මාර්ගඵලලාභී තත්ත්වය අවබෝධ කර ගැනීමට ප්‍රමාණවත් වන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ යනු කවරෙක්‌ද? උන්වහන්සේ දේශනා කළ ධර්මය කුමක්‌ද? කියා සෙවිය යුතුයි. එතුළින් පමණයි මාර්ගඵලලාභීS තත්ත්වයන්ට මාර්ගය විවර කරගත හැක්‌කේ.

මෙම තත්ත්වය බුද්ධ දේශනාවේ මෙසේ සඳහන් වෙනවා.

කෙනෙක්‌ ශ්‍රද්ධාව නිසා බුදුරජාණන් වහන්සේ කරා එළඹෙනවා…. එසේ එළැඹී පයුරු පාසානය කරනවා… ආශ්‍රය කරනවා… එසේ ආශ්‍රය කරන විට ධර්මය ඇදහීමට කන යොමුකරනවා… කනේ යොමුවීම කළ විට ධර්මය අසනවා… එසේ ඇසූ ධර්මය සිත්හි තැන්පත් කරගන්නවා…. සිත්හි තැන්පත් කරගත් ධර්මය ගැන අර්ථ විමසනවා…. අර්ථය විමසන විට ධර්මය පිළිබඳ වැටහීමක්‌ ඇතිකර ගන්නවා… වැටහීම නිසා කැමැත්තක්‌ ඇති වෙනවා. ධර්මය ගැන සෙවීමට… එම කැමැත්ත තුළින් ධර්මය තුලනය කරනවා… එනම් හේතුඵල ආදී වශයෙන් ධර්මය සන්සන්දනය කරනවා… ධර්මය එසේ සන්සන්දනය කර අවබෝධ කර ගැනීමෙනුයි අපට නිර්වාණය කරා ගමන් කළ හැක්‌කේ… මෙහිදී සන්සන්දනය කරනවා යනු භාවනා කිරීමයි.

මේ පිළිබඳව මඡ්ජීම නිකායේ චංකී සූත්‍රයෙහි මැනවින් පෙන්වා දී තිබෙනවා.

මින් පැහැදිලි වන්නේ අප බොදුදහම හොඳින් අවබෝධ කරගත යුතු බවයි. එනම් ත්‍රිපිටකය හොඳින් අවබෝධ කරගත යුතු බවයි. අපට බුදුරජානන් වහන්සේ දේශනා කළ සුත්‍ර ගැන හොඳ අවබෝධයක්‌ ලබාගත යුතුයි.

එදා ජනතාව බුදුරජාණන් වහන්සේගෙන් ධර්මය ඇසුවා නැත්නම් රහතන් වහන්සේලාගෙන් ධර්මය ඇසුවා. නමුත් අද අපට බුදුරජාණන් වහන්සේ ජීවමානව දැකිය නොහැකියි. නමුත් ධර්මය ජීවමානයි. එනිසා අද අප ධර්මය අසන්නේ භික්‌ෂුන් වහන්සේලාගෙන්. සමහර අවස්‌ථාවල ගිහියනුත් ධර්මය කියාදෙනවා. නමුත් ඉන් බොහෝ දෙනා ධර්මය ගැන දන්නේ මොනවාද? බොහෝ අය හිතට ආපු දේ කියනවා. එම ධර්මය අසා සෝවාන් මග විවර කරගන්න බැහැ.

අපට සූත්‍රපිටකයක්‌ තිබෙනවා. විනය පිටකයක්‌ තිබෙනවා. අභිධර්ම පිටකයක්‌ තිබෙනවා. ධර්මය පිළිබඳව කැමැත්තක්‌ ඇති වූ පමණින් මේවා පිළිබඳව ගැඹුරින් අධ්‍යයනය කිරීමට පෙළඹෙනවා. එයට තමයි ශ්‍රතවාධියකු වෙනවා කියන්නේ.

පෘතග්ජනයෙක්‌ වුවත් හොඳ බහුශ්‍රතයකුවිය යුතුයි. හොඳින් ධර්මය පිළිබඳ පොත පත කියවා දැනුම රැස්‌කර ඒවා අන් සූත්‍ර සමඟ සසඳන්න හුරුවිය යුතුයි. ඒ සඳහා අභාෂය ලබාගැනීමට ධර්මධර විනයධර භික්‌ෂුවක හෝ උගත් ධර්මානුකූල ජීවිතයක්‌ ගතකරන ගිහියකු සමඟ සාකච්ඡා කරන්න පුළුවන්. එසේ සාකච්ඡා කරන ඒ පිළිබඳව සිතන විටයිs ධර්මය පිළිබඳව ඥනය පහළවන්නේ. ධර්මානුකූලවමයි මේ පිළිබඳව සිතිය යුත්තේ. ඔළුවේ වෙන වෙන මනස්‌ගාතවලිනුත් නොවෙයි. වෙන වෙන දර්ශනවලිනුත් නොවෙයි.

මෙසේ ධර්මය පිළිබඳව සාකච්ඡා කිරීම් තුළින්, සිතීම තුළින් පමණයි. ගැඹුරු මාර්ගඵල ලාභී තත්ත්වයන් පිළිබඳව අවබෝධ කර ගැනීමට යා හැකි වන්නේ. එවිට අපි කෙළෙස්‌ යනු කුමක්‌දැයි හඳුනා ගන්නවා. කෙළෙස්‌වල මුලම කුමක්‌දැයි සෙවීමට පෙළඹෙනවා. හඳුනාගන්න කෙළෙස්‌ ටික ටික නැතිකර ගැනීමට උත්සහ කරනවා. මෙය භාවනාවක්‌. මෙලෙස ගමන් කිරීමේදී අපට උත්තරීතර සෝවාන් මාර්ගඵල ලාභී තත්ත්වයට ගමන් කළ හැකියි. එනිසා සෝවාන් මාර්ගඵල ලාභියකු වනවා කියන්නේ සරල කාරණයක්‌ නොවෙයි. එම ගැඹුරු තත්ත්වයක්‌.

නමුත් අද අපට තියෙන ලොකුම ප්‍රශ්නය වෙලා තියෙන්නේ බුදු දෙසපු ධර්මය නිවැරදිව අසන්නට නොලැබීමයි. තමන් තමන්ට රිසිසේ බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මය වෙනස්‌ කර දේශනා කිරීම, ඒ සම්බන්ධ පුද පූජා පැවැත්වීම නිසා අද ගිහියන් අතරමංවෙලා. ඒ කරන පුද පූජාවලින් ලැබෙන ශද්ධාව නිසා නිවන් මාර්ගය සොයා ගත හැකි යෑයි ඔවුන්ට මගපෙන්වන අයගේ දේශනා නිසා ගිහි පින්වතුන් අසරණ වෙලා.

නිවන් දැකීමේ පළමු පියවර සෝවාන්වීමයි. නිවන් දැකීමට නම් සංයෝජන දහයක්‌ නැතිකළ යුතුයි. මෙම දස සංයොජනවලින් පළමු තැන නැති කිරීමෙන් සෝවාන් මාර්ගඵල ලාභියකු විය හැකියි.

අපි දැන් ඒ ගැන කතා කරමු. දස ඉමානි භික්‌ඛවේ සංයෝජනානි, කතමේ දස( පඤ්චෝර්ම්භාගියානි සංයෝජනානි, පඤ්චුද්ධම්භාගියානි සංයෝජනානි. කතමානි පඤ්චෝරම්භාගියානි සංයෝජනානි( සක්‌කායදිට්‌ඨි, විචිකිච්ඡා, සීලබ්බතපරාමාසො, කාමච්ඡන්දො, බ්‍යාපාදොaති මා… කතමානි පඤ්චුද්ධම්භාගියානි සංයෝජනානි( රූපරාගෝ, අරූපරාගෝ, මානෝ, උද්ධච්චං, අවිඡ්ජා…. ඉමානි ඛො භික්‌ඛවේ දස සංයෝජනානිති.

මෙම සංයෝජන සූත්‍රය අංගුත්තර නිකායේ දසත නිපාතයේ ඇතුළත් වන්නේ. මේ දස සංයෝජන පිළිබඳ තවත් බෝහෝ දේශනා ත්‍රිපිටකයේ තියෙනවා. දැන් මේ සූත්‍රයෙන් සඳහන් කරුණු විමසා බලමු.

මහණෙනි, සංයෝජන දහයකි. ඒවා ඕරම්භාගීය සංයෝජන පහක්‌ද, උද්ධම්භාගිය සංයෝජන පහක්‌ද වශයෙන් බෙදෙනවා.

එම දස සංයෝජන මෙසේයි.

1. සක්‌කාය දිට්‌ඨි, 2. විචිකිච්ඡා, 3. සීලබ්බතපරාමාස, 4. කාමරාග, 5. ව්‍යාපාද, 6. රූපරාග, 7. අරූපරාග, 8. මාන, 9. උද්ධච්ච, 10. අවිඡ්ජා

මෙයින් ඕරම්භාගීය සංයෝජන කියන්නේ සක්‌කායදිට්‌ඨි, විචිකිච්ඡා, සීලබ්බතපරාමාස, කාමරාග, ව්‍යාපාද යන පහයි. “ඕරං” කියන්නේ කාමලෝකයයි. මේ සංයෝජන නිසා සත්ත්වයා සතර අපායේ (නරක, තිරිසන්, ප්‍රේත, අසුර) මිනිස්‌ ලොව, සදෙව් ලොව එනම්, චාතුර්මහාරාජිකය, තාවතිංසය, යාමය, තුෂිතය, නිර්මාණරතිය, පරනිර්මිත වසවර්තිය යන කාම ලෝක එකොළහේ උපදිනවා.

මෙලොව පිළිබඳ ඉහත භජනය කරන කලින් කී ලෝකවල සත්වයා උපදින්නේ සක්‌කාය දිට්‌ටිය ආදී සංයෝජන පහ නිසයි.

රූපරාග, අරූපරාග, මාන, උද්ධච්ච, අවි-ජා යන සංයෝජන පහ උද්ධම්භාගිය සංයෝජනයයි. උද්ධම්භාගී කියන්නේ උඩ කොටසට අයිති කෙළෙස්‌ ලෝභය, ද්වේෂය, මෝහය කියන අකුසල මූල තුනී වූ විට සිතේ පවතින උසස්‌ බව මින් අදහස්‌ කෙරේ.

උද්ධ ලෝක වශයෙන් අදහස්‌ කරන්නේ සොළොස්‌ බඹ තුළයි.

එනම්, 1. බ්‍රහ්මපාරිසච්ඡය, 2. බ්‍රහ්ම පුරෝහිත, 3. මහාබ්‍රහ්මය, 4. පරිත්තාභය, 5. අප්පමාණාභය, 6. පරිත්තසුභය, 7. ආභස්‌සරය, 8. අප්පමාණ සුභය, 9. සුභකිණ්‌ණය, 10. වෙහප්ඵලය, 11. අස්‌ඤ්ඤ සත්තය, 12. අවිහය, 13. අතප්පය, 14. සුදස්‌සය, 15. සුදස්‌සීය, 16. අකණිට්‌ඨය.

මෙකී සංයෝජන දහය නැතිවන ආකාරය, තුනීවන ආකාරය මාර්ගඵලවලට වෙන් කළාම මේ විදියට හඳුනා ගැනීමට පුළුවන.

සොවන්වීමෙන්, 1. සක්‌කායදිට්‌ඨි, 2. විචිකිච්ඡා, 3. සීලබ්බතපරාමාස යන සංයෝජන තුන සහමුලින්ම නැතිවෙයි. 4. කාමරාග, 5. ව්‍යාපාද යන සංයෝජන දෙක සකෘදාගාමී වීමෙන් තුනීවෙයි. අනාගාමී වීමෙන් තුනී වූ ඒ සංයෝජන දෙක සහමුලින්ම නැති වෙනවා. ඒ වාගේම රූපරාග ආදී උද්ධම්භාගීය සංයෝජන තුනීS වෙනවා. රහත්වීමෙන් මේ සියලුම සංයෝජන සහමුලින්ම නැති වෙනවා. මේ සියලු සංයෝජන ලෝභය, ද්වේෂය, මෝහය යන අකුසල් මුල් නිසා ඇතිවන්නක්‌. රහත්වීමෙන් අකුසල මුල් විනාශවෙනවා.

දැන් අපි සෝවාන් මාර්ගඵලය ගැන විමසා බලමු. සොත කියනවා සැඬ පහරට. සොත කියනවා කනට මේවාගේ අර්ථ කිහිපයක්‌ පොත් යන්හි තියෙනවා. සංයුක්‌ත නිකායේ මහාවග්ගයේ තියෙන දූතිය සාරිපුත්ත සූත්‍රය බුදුරජාණන්වහන්සේ වදාලේ සැරියුත් මහ රහතන් වහන්සේට. එහි මෙසේ සඳහන් වෙනවා.

සොතො සොතොති හිදං සාරිපුත්ත, වුච්චති. කනමේ නුඛො සාරිපුත්ත, සෝතොති? අය මෙවහි භන්තේ, අරියො අට්‌ඨංගිකො මග්ගෝ සෝතො. සෙයHථිදං, සම්මා දිට්‌ඨී, සම්මා සංකප්ප…. ආදී වශයෙන්.

මෙහි අදහස බුදුරජානන් වහන්සේ සැරියුත් හාමුදුරුවන්ට දේශනා කරන්නේ අර්ධ අෂ්ඨාංගික (අරි අට මඟ) එනම් සම්මා දිට්‌ඨී, සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව, සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි සොත නම් වන බවයි.

“ඉමිනා අරියෙන අට්‌ඨංගිකෙන මග්ගෙන සමන්නාගතො, අයං වුච්චති සොතාපන්නෝ” සාරිපුත්ත, මේ ආර්ය අස්‌ටාංගික මාර්ගයෙන් යුක්‌ත වීම සෝතාපන්න නම් වේ. බුදුරජානන් වහන්සේ වදාළ.ඇතැමෙක්‌ මේ වචනය සොතූපන්න කියා වැරදි විදියට විසන්ධි (වෙන්කොට) කියනවා.

අද සෝවාන්වීම ගැන කතාකරන බොහෝ දෙන බුදුබණ දන්නේ නැහැ. ඒ අය මනස්‌ගාත දොඩවනවා. මේ නිසා ඔවුන්ගේ අනුගාමික පිරිස්‌ මංමුලාවී පව්සිදු කරගන්නවා.

මඡ්කධිම නිකායේ ආකංඛෙයH සූත්‍රයේ දී බුදුරජාණන් වහන්සේ මෙසේ දේශනා කර තිබෙනවා.

“ආකංඛෙයH වෝ භික්‌ඛවේ භික්‌ඛු තිණ්‌ණං සංයෝජනානං පරික්‌ඛයා සොතාපන්නෝ අස්‌ස අවිනාපාතධම්මෝ නියතෝ සම්බෝධි පරායණොති. සීලෙස්‌වෙස්‌ස පරිපූරකාරී…. බ්‍රෑහෙතා සුඤ්Æගාරානං”

මහණෙනි යම් භික්‌ෂුවක්‌ සංයෝජන තුනක්‌ ක්‌ෂය කිරීමෙන් දුගතියක නොවැටෙන සුළු නියත වූ උපරිම මාර්ගඥනයෙන් පිහිටකොට ඇති සෝවාන් තැනැත්තෙක්‌ වීමට කැමැති නම් ශීලය සම්පූර්ණ කරන්නෙක්‌ විය යුතුයි… ශූන්‍යාගාරයන්හි භාවනා වඩන්නෙක්‌විය යුතුයි. මෙයින් පේනවා සෝවාන්වීමේ අනුගත පිළිවෙළ. ඒ වගේම මැදුම් සඟිය. කියන්නෙත් මඡ්ජිම නිකායටයි. එහි කෝසම්බිය සූත්‍රයේ සෝවාන්ඵලයට පමුණුවනු ප්‍රත්‍යවේක්‍ෂා ඥන හතක්‌ සඳහන් වෙනවා.

සෝවාන්වීමෙන් නැති වෙන සංයෝජන තුනෙන් මුලින් සඳහන් වෙන්නේ “සක්‌කායට්‌ඨිය”යි. මොකද්ද සක්‌කායදිට්‌ඨිය කියන්නේ.

මඡ්ජිම නිකායේ චූලවේදල්ල සූත්‍රයේ එය මෙසේ සඳහන් වෙනවා.

“පඤ්ඤ ඛෝ ඉමේ ආවුසෝ විසාඛ, උපාදානක්‌ඛන්ධා සක්‌කායෝ වුත්තෝ භගවතා.

ඒ අනුව සක්‌කායදිට්‌ඨිය කියන්නේ පස්‌වැදෑරුම් උපාදානස්‌කන්ධයයි.

සක්‌කායදිට්‌ඨිය පිළිබඳව පුළුල් ධර්මානුකූල විවරණයක්‌ ලබන සතියේ සමාධි ලිපියෙන් බලාපොරොත්තු වන්න.

රත්මලාන ධර්ම පර්යේෂණාලයේ

හෑගොඩ විපස්‌සී හිමි.

ධර්ම සංවාදය

වසන්ත ලියනගේ