Home » වටිනා ධර්ම කරුණු » මාර පරාජය

මාර පරාජය

z_p31-mara2

රත්මලාන,                    ධර්ම පර්යේෂණාලයේ අධ්‍යක්‍ෂ හෑගොඩ විපස්සි හිමි

දුෂ්කර ක්‍රියා කළ සමයේ වසර සයකුත් බුද්ධත්වයෙන් වසරකුත් පමණ කාලයක් බුදුරජාණන් වහන්සේගේ සිදුරු සොයමින් මාරයා ලුහුබැන්ද ආකාරය සංයුක්ත නිකායේ සත්තවස්සික සූත්‍රයේ විස්තර කෙරේ. බුදුරජාණන් වහන්සේ මාරයාව සිය වසඟයට ගත නොහැකිව උකටලීව සිටින විට මාර දියණියන් වන තණ්හා රතී රඟා හා විවිධ හාව භාව ක්‍රියාවන්ගෙන් වසඟ කිරීමට ගත් ප්‍රයත්න මාරාධිතු සූත්‍රයේ වැලැක් වූ සැටි පාරාජිකා පාලියෙන් හෙළි වේ. මාරයා ඇතකු ලෙස මහා සර්පයකු ලෙස වෙස්ගත් අවස්ථා සූත්‍රයන්හි සඳහන් වේ. සංයුක්ත නිකායේ ගෝධික වැනි සූත්‍රවලින් මාරයා දුමක් සේ අතුරුදහන් වන සැටි ප්‍රකටයි.

බෝසතාණන් වහන්සේ සියලු කෙලෙස් ප්‍රහීණ කොට ලොවුතුරා බුද්ධත්වයට පත්වීම, බොහෝ සෙයින් ත්‍රිපිටකයෙහි නිරූපණය කරන්නේ මාරයා ජය ගැනීමක් සේයි. එහිලා පාපිම – පජාපති – පමත්තබන්ධු – අන්තක – නමුචි – කණ්හ ආදී පර්යාය නාම රාශියකින් හැඳින්වෙන පුල්ලිංග වාචී මාර ශබ්දය තුන් පිටකයේ සෑම ග්‍රන්ථයක ම පාහේ දක්නට ලැබෙන බුදු දහමට ආවේණික වූ සුවිශේෂී ශබ්දයකි.

නේරංජනා නදී තීරයේ ප්‍රධන් වීර්ය වඩන බෝසතාණන් වහන්සේ වෙත පැමිණි මාරයා ඔබ දුර්වලයි, මරණය අත ළඟයි, ඔබ දහස් පංගුවකින් මරණයට ළඟා වී ඇත. ජීවත් වීමට ඇත්තේ දහසකින් පංගුවක් පමණයි. පින්වත ජීවත් වන්න. ජීවිතය ශ්‍රේෂ්ඨයි. ජීවත් වීමෙන් පින් කළ හැකි ය. ප්‍රධන් වීර්යයයෙන් කුමක් කළ හැකි ද ? යනුවෙන් කියයි. බෝසතාණෝ අංශු මාත්‍ර පිනකින් මට වැඩක් නැත. යමෙකුට පිනෙන් වැඩක් වේ නම් එය ඔවුන්ට කියන්න. මට ශ්‍රද්ධාව ඇත. වීර්යය ඇත. වජ්‍රයක් හා සමාන ප්‍රඥාව ඇත. මෙසේ නිවන් පිණිස කැප වූ මට ජීවත් වන්න කියන්නේ කුමක් නිසා ද ? මාගේ ශරීරවාතය ගඟදිය දහර වුවත් වියළවයි. ප්‍රහිතාත්මවූ මා නොවියළවයිද ලේ වියලුනාම පිතත් සෙමත් වියළයි. මස් වියලද්දී බොහෝ සෙයින් සිත ප්‍රසන්න වෙයි. මාගේ සිහිය, ප්‍රඥාව හා සමාධිය වැඩෙයි. මෙසේ වෙසෙන වේදනාවට පත් මාගේ සිත කාමයන් අපේක්‍ෂා නොකරයි. සත්වයාගේ පාරිශුද්ධිය බලව. බෝසතාණන් වහන්සේ සමීපයට මාරයා පැමිණි ළෙන්ගතු ස්වරූපයෙන් බුද්ධත්වය වැළැක්වීම පිණිස ගත් උත්සාහය මින් ප්‍රකට කෙරේ.z_p31-mara1

එසේ ම දුෂ්කර ක්‍රියා කළ සමයේ වසර සයකුත් බුද්ධත්වයෙන් වසරකුත් පමණ කාලයක් බුදුරජාණන් වහන්සේගේ සිදුරු සොයමින් මාරයා ලුහුබැන්ද ආකාරය සංයුක්ත නිකායේ සත්තවස්සික සූත්‍රයේ විස්තර කෙරේ. බුදුරජාණන් වහන්සේ මාරයාව සිය වසඟයට ගත නොහැකිව උකටලීව සිටින විට මාර දියණියන් වන තණ්හා රතී රඟා හා විවිධ හාව භාව ක්‍රියාවන්ගෙන් වසඟ කිරීමට ගත් ප්‍රයත්න මාරාධිතු සූත්‍රයේ වැලැක් වූ සැටි පාරාජිකා පාලියෙන් හෙළි වේ. මාරයා ඇතකු ලෙස මහා සර්පයකු ලෙස වෙස්ගත් අවස්ථා සූත්‍රයන්හි සඳහන් වේ. සංයුක්ත නිකායේ ගෝධික වැනි සූත්‍රවලින් මාරයා දුමක් සේ අතුරුදහන් වන සැටි ප්‍රකටයි.

මජ්ඣිම නිකායේ බ්‍රහ්මනිමන්තණික සූත්‍රයේ බක බ්‍රහ්මයා දමනය කිරීම සඳහා බුදුරදුන් බඹ ලොවට වැඩම කළ අවස්ථාවේ දී මාරයා එක්තරා බ්‍රහ්මයෙකුට ආවේශ වී ඔහු එම බ්‍රහ්මයා දමනය නොකරන ලෙස බුදුරජාණන් වහන්සේට තර්ජනය කොට ඇත. මැඳුම් සගියේ මාර තජ්ජනීය සූත්‍රයේ මුගලන් මහ රහතන් වහන්සේගේ ආමාශයට මාරයා පිවිසි අපූර්ව කථාවක් සඳහන් වේ. එම සූත්‍රයේ මාරයා කකුසඳ බුදුරජාණන් වහන්සේගේ සමයේ දුසී නමැති මාරයාව උපන් බවත් තම සොහොයුරිය වූ කාලි නැමත්තියගේ පුතා වශයෙන් මුගලන් මහ රහතන් වහන්සේ එදා උපන් බවත් මාරයා කියයි. බුදුරජාණන් වහන්සේට පමණක්නොව ශාවක ශ්‍රාවිකා දෙපිරිසටම අවැඩ කළ බව ත්‍රිපිටකාගත සූත්‍රයන්හි එයි. මෙතෙක් අප ඉදිරිපත් කළේ පෙළෙහි ඇතුළත් මාරයා පිළිබිඹු කරන සූත්‍රයන්ගෙන් අතලොස්සකි. මින් මාරයාගේ ස්වරූප යම් ආකාරයකින් හඳුනාගත හැකිය. විශේෂයෙන් පුද්ගලත්වාරෝපිත මාර ස්වභාවයක් මේ ආදී බොහෝ සූත්‍රයන්හි ඇතුළත් වේ. මේ නිසා පුරාතනයේ සිට මාර සංකල්පය විවාදාපන්න මාතෘකාවක් බවට පත්ව ඇත. එම නිසා යහපත් ගුණධර්මවලට නොකැමැති මාරයෙක් හෝ අන් නමකින් කියැවෙන එවැනි පුද්ගලයෙක් හෝ ඕනෑ කරන්නේ මැවුම්කරුවන් විශ්වාස කරන ආගම්වලට බවත් කර්ම විපාක අදහන බෞද්ධ ආගමට එවැනි දෙවියකුගෙන් පළක් නැත යනුවෙන් ඇතැම් බහුශ්‍රැත පඬිවරු මාර සංකල්පය විවේචනය කරති. ධර්මයෙහිත් ධර්ම විවරණයෙහිත් සඳහන් මාරයා පිළිබඳ ප්‍රවෘත්ති කිසිසේත්ම බැහැර නොකළ යුතු බව තවත් බහ්‍රශ්‍රැත විශාරද පඬිවරුන්ගේ අදහසයි. මාරයාගේ පුද්ගලත්වාරෝපණය පිළිබඳ බුද්ධි ගෝචර විවරණයක් ක්ලේශ මාර ලිපියෙහි පූජ්‍ය හෑගොඩ ඛෙමානන්ද නාහිමියෝ ඉදිරිපත් කරති. එනම් ප්‍රාණය නිරුද්ධ වීමෙන් සිදුවන මරණය මච්චුමාර නම් වන අතර සත්වයන්ට සියලු කරදර සිදු කරන හේතු ද බුදු දහමේ මාර නාමයෙන් ගැනේ.

පාලි භාෂාවටම ආවේණික වූ මාර ශබ්දය බ්‍රාහ්මණ සාහිත්‍යයේ එන පාප්මා මෘත්‍යු වැනි හෝ වචනයන්ගේ ආභාෂයෙන් බිහි වූවක් නොවේ. ඉන්ද්‍ර නමුචි වැනි අමනුෂ්‍යයන් අතර ඇති වූ සටන් පිළිබඳ පුරාවෘත්ත බ්‍රාහ්මණ සාහිත්‍යයේ ඇතත් එහි ආභාෂයෙන් මාර පර්යාය නමුචි යන්න බිහිවූයේ හෝ නොවේ. මාරයාගේ විෂය ඉක්මවීමට රුචි දෙවි මිනිසුන් නොමිදෙන්නට කරදර පීඩා කරන නිසා නමුචි යැයි අටුවාවේ එම පදය විග්‍රහ කරයි. පවු බැහැර කළ යන අර්ථයෙන් රහතන් වහන්සේට බ්‍රාහ්මණ යන වචනය භාවිතා කළාක් මෙන් තත්කාලීන පූජනීයත්වයෙන් සැලකූ ආගමික ව්‍යවහාරයන් ධර්ම සංකල්ප සඳහා යොදාගත් න්‍යාය ඊට බලපා ඇත.

නරකය, පාපය, අකුසලය, මැරීම, මරණය, විනාශය, රෝගය, හිතුවක්කාරකම, චණ්ඩිකම, සදාචාර විරෝධී ක්‍රියාකාරකම් ලෝභාදී කෙලෙස් නානා ප්‍රකාර අර්ථ මාර යන වචනයෙන් ගම්‍ය වේ. එම නිසා ධර්ම විරෝධී බලවේගයන්ගේ ක්‍රියාකාරකම් විචිත්‍ර ලෙස සාහිත්‍යයේ නිරූපණය කොට ඇත.

අටුවාකරණයේ දී මාර සංකල්ප ක්‍රමයෙන් වර්ධනය වන ආකාරය පැහැදිලි කරුණකි. දීඝ නිකායේ අටුවා කථාවේදී මාරයන් තිදෙනකු ද, සුත්ත නිද්දේස අටුවාවේ දී එය සිවුදෙනෙක් ලෙස ද පෝෂණය වී ඇති බව පෙනේ.

සිවු වැදෑරුම් මාර සංකල්පය පස් වැදෑරුම් ලෙස ද වර්ධනය වූ බව ද පෙනේ.

  1. බන්ධමාර (ස්ඛන්ධ මාර)
  2. ක්ලේශමාර (ක්ළේෂ මාර)
  3. අභිසංඛාරමාර (අභිසංස්කාර මාර)
  4. මච්චුමාර (මෘත්‍යු මාර)
  5. දේවපුත්තමාර (දේවපුත්‍ර මාර) යනු ඒ පඤ්ච මාරයෝ ය.

රූප, වේදනා, සඤ්ඤා, සංඛාර, විඤ්ඤාණ යන ස්ඛන්ධ පස ඛන්ධ මාර නම්, අභිසංස්කාර මාර යනු කුසලාකුසලයන්ගේ විග්‍රහයයි. එය තෙවැදෑරුම් වේ. එනම් පුඤ්ඤාභි සංඛාර, අපුඤ්ඤාහි සංඛාර, අනෙඤ්ඡාහි සංඛාර යි. රාගාදී කෙලෙස් සමූහය ක්ලේෂ මාර යන්නෙන් හැඳින්වේ. මච්චු මාර යනු ස්ඛන්ධයන්ගේ බිඳීමෙන් වන මරණයයි. දේවපුත්ත මාර යනු පරනිම්මිත වසවර්තියෙහි යම් ප්‍රදේශයක වසමින් සිය පිරිසෙහි ඉසුරු බව පවත්වන මහානුභාව සම්පන්න මාරයෙකි. පුද්ගලයකුගේ ස්වරූපයෙන් පෙනී සිටින එකම මාරයා මොහුය. දේවපුත්ත මාරයා අවසානයටම එකතු වී ඇත. මෙවැනි මාර විග්‍රහයක් මුල් බුදු සමයේ නැත. එහෙත් පෙළෙහි අන්තර්ගත සූත්‍ර ධර්ම අනුව ස්වකීය ප්‍රතිභා ශක්තියෙන් විවරණය වූ ධර්මානුකූල සංස්කරණයක් වශයෙන් හැඳින්විය හැකි ය.

මාරයා යනු කවරෙක්දැයි ප්‍රශ්න කළ රාද තෙරුන්ට බුදුරජාණන් වහන්සේ වදාළේ රූපං ඛෝ රාධ මාරෝ, වේදනා මාරෝ, සඤ්ඤා මාරෝ, සංකාරා මාරෝ, විඤ්ඤාණං මාරෝ යනුවෙනි.සංයුක්ත නිකායේ ඛන්ධක වර්ගයේ මාර සූත්‍රයේ සඳහන් එම දේශනාව අනුව මාරයා යනු රූප, වේදනා, සඤ්ඤා, සංස්කාර, විඤ්ඤාණ යන පඤ්චස්ඛන්ධයයි. එහිම ප්‍රථම මාර වර්ගයේ මාර සූත්‍රයේ රාධය රූපය ඇති කල්හි මරු ( මරණය ) හෝ මැරිය යුත්තා හෝ මැරෙන්නා හෝ වන්නේ ය. එනිසා මෙහි රූපය මරු යැයි දකින්න. මැරිය යුත්තා යැයි දකිමු. ගව යැයි දකිමු. හුල යැයි දකිමු. ව්‍යසනය යැයි දකිමු. ව්‍යසනයට පැමිණියැකැයි දකිමු. යම් කෙනෙක් එය ( රූපය ) මෙසේ දකිත්ද ඔහු මැනවින් දකිත්. මෙසේ සෙසු බන්ධකයන් ද දේශනා කරන සේක. තවත් වර්ග කිරීමක දී මාරයා ඇස, කණ, දිව, නාසය, ශරීරය හා මන යන ඉන්ද්‍රිය සය ලෙසත් සංයුත්ත නිකායේ අන්තර්ගතයි. මාරයාගේ බලසම්පන්න සේනාව නම්

  1. කාමය
  2. අරතිය
  3. සාපිපාසාව
  4. තෘෂ්ණාව
  5. ථිනමිද්ධ
  6. බිය
  7. සැකය
  8. ගුණමකු බව
  9. ලාභ, පැසසුම්, සත්කාර, වැරදි මගින් ලබන යසස
  10. තමන් උසස්කොට තැකීම සංයුක්ත නිකායේ පධාන සූත්‍රයේ එම කරුණු ඇතුළත් වේ.

කායික වාචසික මානසික සියලු කෙලෙස් ධර්ම ( සබ්බා කුසලාභි සංඛාරා ) මාර සේනාව ලෙස මහා නිද්දේස පාලියෙහි පැහැදිලි කරයි. අභිධර්මයේ දී තෘෂ්ණාව හඳුන්වා ඇත්තේ මාරයාගේ කොටස මාරයාගේ බිලී කොක්ක මාරයාගේ විජිතය යනුවෙනි. දීඝ නිකායේ චක්කවත්ති සීහනාද සූත්‍රයේ මාර බලය සේ ඉතා දුක සේ මැඬලිය යුතු අන් එකදු බලයක් මම නො දකිමියි වදාරති.

පඤ්චකාම නමැති අගොචරස්ථානයේ වසන්නා නිරන්තරයෙන් මාරයාට ගොදුරු වන බවත් සතර සතිපට්ඨාන නමැති ගෝචරස්ථානයේ වසන්නා මාරයාගේ අරමුණුවලට අසු නොවන බව එම සූත්‍රයෙන් පැහැදිලි වේ. බුදු දහමෙහි කරනු ලබන්නේ සකලවිධ ප්‍රපංච ධර්මයෝ. ක්ලේෂ ප්‍රහාණය මාර යුද්ධයක් වශයෙන් වෙලාවකට එහි ඇති අතිශය දුෂ්කරත්වය පෙන්වීමට විය හැක.

උපුටාගත් ලිපිය //www.lakehouse.lk/budusarana/2012/05/05/tmp.asp?ID=vision14