Home » විශේෂාංග » අලසකම සොඳුරු දිවිය අඳුරු කරයි

අලසකම සොඳුරු දිවිය අඳුරු කරයි

පින්වතුනී,

ධාර්මිකව කටයුතුවල යෙදෙමින් උත්සාහයෙන් ජීවත් වීමට අවශ්‍ය ධර්ම උපදේශ කොච්චර නම් බුදුහාමුදුරුවො දේශනා කොට තිබෙනවාද? ඇත්ත වශයෙන්ම උත්සාහය ඔබ අප කාටත් ‘‘සම්පතක්’’. ඒ පිළිබඳව විවිධ කරුණු බුදු දහමේ තියෙනවා. අලස නොවී යහපත් උපායන් හොයමින් උත්සාහයේ නියැලීම දියුණුවේ රහසක්.

දියුණු වෙන කවරෙකුට හෝ ඒ සඳහා තියෙන ප‍්‍රධාන ම බාධාව කම්මැලිකමයි. කම්මැලි, අලස, දුර්වල වූ වීර්ය ඇති කෙනා දැන් ඉතා රස්නෙයි, දැන් ඉතා සීතලයි, දැන් ඉතා උදෑසනයි, දැන් ඉතා සවස්ය, දැන් බඩගිනියි, දැන් බඩ පිරුණා ආදී නොයෙක් හේතු දක්වමින් උත්සාහය මග අරිනව. අලසකම මානසික රෝගයක් වගේ.

බුදු බණ අනුව කම්මැලියාගේ සියක් වසරක ජීවීතයට වඩා ධෛර්ය ඇත්තාගේ එක දවසක කාලය වුව ද උතුම්.

බාල, මහළු, තරුණ උගත්, නූගත්, සෑම තරාතිරකම පුද්ගලයෙකුගේ ම ජීවිතය කඩා වැටෙන හේතුවක් තමයි අලසකම

බාල, මහළු, තරුණ උගත්, නූගත්, සෑම තරාතිරකම පුද්ගලයෙකුගේ ම ජීවිතය කඩා වැටෙන හේතුවක් තමයි අලසකම

සැලසුම් සහගත ජීවන රටාවකට හුරු පුරුදු විය යුතු ආකාරය ‘‘කුසිතාරම්භවත්‍ථූ’’ සූත‍්‍රයේ මෙහෙම සඳහන් වෙනව. ඉදිරියට කරන්නට ඇති වැඩ ගැන හිතල දැන් කළ යුතු දේ දැන්ම කරන්න. යම්කිසි වැඩක් කර අවසන් වූ පසු එය අවසන් කළා යැයි නොසිතා ඒ වැඩ කළ කාලය තුළ කිරීමට අතපසු වූ වැඩ කටයුතු සොයා බලන්න. ගමනක් යාමට ඇති විට කළ යුතු වැඩ අවසන් කොට යන්නට උත්සාහ කරන්න. ගමනක් ගොස් පැමිණි විට ඒ කාලය තුළ කිරීමට අතපසු වූ කටයුතු කරන්න. ප‍්‍රමාණවත් සේ ආහාරයක් නොලැබෙන විට තවමත් මගේ ශක්තිය පවතිනව යැයි සිතා කළයුතු දේ කරන්න. ප‍්‍රමාණවත් සේ කෑම ලැබුණු විට දැන් ශරීරය ශක්තිමත් යැයි සිතා වැඩ කරන්න. මදක් ලෙඩ ගතියක් දැනෙන විට රෝගය වැඩි වීමට පෙර කළයුතු වැඩ කටයුතු කරන්නට වෙර දරන්න. රෝගය සුව වූ පසු ලෙඩ වෙලා සිටින කාලයේ මග හැරුණු වැඩ කිරීමට වෑයම් කරන්න. එදා බුදුරජාණන් වහන්සේ ‘‘කුසිතාරම්භවත්‍ථූ’’ සූත‍්‍රයේ දී දේශනා කළ කරුණු 8 අපේ ජීවිතයට එකතු කර ගන්නව නම් කොච්චර වැදගත් ද?

බාල, මහළු, තරුණ උගත්, නූගත්, සෑම තරාතිරකම පුද්ගලයෙකුගේ ම ජීවිතය කඩා වැටෙන හේතුවක් තමයි අලසකම. එනිසා සොඳුරු දිවිය අඳුරු කරන මේ ස්වාභාවය මානසික ඌනතාවයක් වශයෙන් සලකා එය නැති කරන්න වෙර දරන්න. ධාර්මික ලෙස වෙහෙස මහන්සි වීම ලැජ්ජා වීමට කරුණක් නොව ආඩම්බර විමට කරුණක් වන බව සිහියේ තබා ගන්න.

ඔබ සැමට තෙරුවන් සරණයි!