Home » වටිනා ධර්ම කරුණු » නව අරහාදී සම්බුදු ගුණ බල මහිමය

නව අරහාදී සම්බුදු ගුණ බල මහිමය
සත්ථා දේව මනුස්සානං
සම්බුදු ගුණය

ගෞරව ශාස්ත්‍රවේදී  කෙත්සිරිගම සුජාත හිමි රත්මලාන ධර්ම පර්යේෂණාලය වාසී

ගෞරව ශාස්ත්‍රවේදී කෙත්සිරිගම සුජාත හිමි රත්මලාන ධර්ම පර්යේෂණාලය වාසී

කේවල පරිපූර්ණ වූ ව්‍යක්‍ජන සහිතව මුල, මැද, අග කලණ වූ දහමක් දෙසූ එකම ශාස්තෘවරයාණන් වන බැවින් ද තවත් බුදුවරයෙකුට පමණක් සමවන අනෙකෙකුට අසම වන හෙයින් ද දෙවි මිනිසුන්ට ශාස්තෘ වූ සත්ථා දේවමනුස්සානං වූ ප්‍රතිමූර්තිය සම්මා සම්බුදුරදුන්ම ය

නව අරහාදී බුදුගුණ නාමාවලියේ සත්ථා දේව මනුස්සානං යනු අටවන බුදු ගුණයයි. පෙළෙහි බොහෝ තැන්වල සඳහන් වන අයුරින් සත්ථා යනු ශාස්තෘ යන්නයි. දෙවියන් සහිත ලෝකයාට අනුශාසනා කරන්නේ යැයි සත්ථා නම් වන බව විශුද්ධි මාර්ගය සදහන් කරයි. (“සදෙවකෙ ලොකේ.”) සත්ථා යන පදය බොහෝ විට දේව මනුස්සානං යනුවෙන් පෙළෙහිදී දක්නට හැකියි. මෙහි දේව මනුස්සානං යනු දෙවි මිනිසුන්ට යන අරුත් සපයයි. එලෙස සසර කතරින් එතෙර වන්නට අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කරන බැවින් බුදුරජාණන් වහන්සේ සත්ථා දේව මනුස්සානං නම් වන සේක.

“අහං හි අරහා ලොකෙ
අහං සත්ථා අනුත්තරො
සකොම්හි සම්මා සම්බුද්ධො
සීතුභුතොස්මි නිබ්බුතො”

බුදුරජාණන් වහන්සේ දෙවන වර බරණැසට වඩින අතරතුර දී උපක නම් ආජීවකයා හමු වී ඔබ කවුරුන් උදෙසා මහණදම් පුරන්නේදැයි විමසූ පැනයට පිළිතුරු වශයෙන් ඉහත ගාථා ධර්මය දේශනා කළ අතර එහිදී උන්වහන්සේ හඳුන්වාදීමට සත්ථා යන්න භාවිතා කොට ඇත. එහිදී අර්ථවත් කොට ඇත්තේ අනුත්තර වූ ශාස්තෘවරයා වන බවයි.z_p13-saththa1

දෙව් බඹුන් සහිත තුන් ලෝ වැසියන්ට මෙලොව, පරලොව වැඩ පිණිස නිරන්තරයෙන් අනුශාසනා කරමින් පන්සාලිස් වසක් මුළුල්ලෙහි ගත කළ බුද්ධ චරිතය පුරාවටම උන්වහන්සේ තුළින් විද්‍යාමාන වූයේ ශාස්තෘත්වයම වෙයි. භාග්‍යවතුන් වහන්සේ තිරිසන්ගත සත්වයන්ට ද අනුශාසන ප්‍රදානයෙන් සත්ථා වන්නේ යැයි විශුද්ධි මාර්ගය සඳහන් කරයි. (භගවා පන තිරච්ජානගතානම්පි අනුසාසනිප්පාදානෙන සත්ථා) මණ්ඩුක දේවපුත්‍රාදී හූ තිරිසන්ගත ආත්මයෙක ඉපිද සිට උන්වහන්සේගේ ධර්ම ශ්‍රවණයෙන් උපනිශ්‍රය සම්පත්තියට පත්ව එම උපනිශ්‍රය සම්පත්තියෙන්ම පසු භවයකදී මගඵලලාභීහු වෙති.

ලොව බොහෝ කරුණු අරභයා අනුශාසනා කරන්නන් බොහෝ සිටියද නිවන් අරභයා අනුශාසනා කළ එකම ශාස්තෘන් වහන්සේ බුදුරජාණන් වහන්සේම ය. එනම්, ජාති, ජරා, ව්‍යාධි, මරණාදී දුක්ඛයන්ගෙන් මිදෙනු වස් කරන අනුශාසනාවයි. බුද්ධ ශ්‍රාවකයන් ද නිවනට අනුශාසනා කරතත් එය ද බුදුරජාණන් වහන්සේගේ අනුශාසනාවම වන්නේ ය. නිවන් අරභයා කළ ඒ අනුශාසනය බුදුරජාණන් වහන්සේගේ උසස්ම ප්‍රාතිහාර්ය විය.

සමාජයේ නොයෙක් ප්‍රාතිහාර්ය කරන්නවුන් සිටියද ඒ සියලු ප්‍රාතිහාර්යයන් පසෙකලා අනුශාසනා ප්‍රාතිහාර්ය උතුම්කොට සලකන ලදී. දිනක් කේවට්ට නම් බමුණා සෘද්ධි ප්‍රාතිහාර්යේ ඇති වැදගත්කම පවසා බෞද්ධ භික්‍ෂූන් ද සෘද්ධි ප්‍රාතිහාර්ය කරන්නේ වී නම් විශාල ප්‍රසිද්ධියක් අත්වන්නේ නොවේදැයි ප්‍රශ්න කොට තිබේ. බුදුරජාණන් වහන්සේට එය සැල කළ මොහොතේ බුදුරජාණන් වහන්සේ විසින් ඔහුට සෘද්ධි ප්‍රාතිහාර්යය, ආදේශන ප්‍රාතිහාර්ය, අනූශාසනා ප්‍රාතිහාර්යය යන ප්‍රාතිහාර්යය තුන විස්තර කරමින් දහම් දෙසූ සේක. භික්‍ෂූන් වහන්සේ සෘද්ධි ප්‍රාතිහාර්යය පාන්නට යෑමෙන් අත්වන ප්‍රසිද්ධියට වඩා ඉන් සිදුවන හානිය පෙන්වා දුන් බුදුරජාණන් වහන්සේ සෘද්ධි ප්‍රාතිහාර්ය සිදු කරන ලෙස තම ශ්‍රාවකයන්ට අනුශාසනා නොකරන බව වදාළ සේක. අන්‍යයන් සිතූ දෑ මුවින් නොඅසා ප්‍රකාශ කිරීම ආදේශන ප්‍රාතිහාර්යයි. එය පරචිත්තවිජානනය දියුණු කළ ඕනෑම අයෙක්ට කළ හැක්කකි.

එයිනුදු ශාසනයට අවැඩක් මිස සෙතක් නොවන බව වදාළ බුදුරජාණන් වහන්සේ එය ද තම ශ්‍රාවකයන්ට නොඅනුදැන වදාළ බව වදාළ සේක. හොඳ නොහොඳ වෙන් කොට දී කරන අනුශාසනය අනුශාසනා ප්‍රාතිහාර්යයයි. තථාගතයන් වහන්සේ ඉහත ප්‍රාතිහාර්ය අතුරෙන් අනුදැන වදාළේ අනුශාසනා ප්‍රාතිහාර්ය පමණි. ඒ තුළින් මනුෂ්‍ය සම්පත්, දිව්‍ය සම්පත්, රූපාවචර, අරූපාවචර, ධ්‍යානයන් හා අභිඥා ද සතර මාර්ග සතර ඵල නිර්වාණ ධාතුවෙන් සසර දුක් කෙළවර කළ හැකි බැවිනි.

බුදුරජාණන් වහන්සේගේ දේශනා විලාසය හා භාවිත ක්‍රමෝපායන් දෙස බැලීමෙන් උන්වහන්සේගේ ශාස්තෘත්වය මැනැවින් පැහැදිලි වෙයි. බුදුරජාණන් වහන්සේ වදාළ ශ්‍රී සද්ධර්මයෙන් එක් අකුරකුදු වෙනස් කිරීමකින් තොරව අතීත, වර්තමාන, අනාගත යන කාලත්‍රයටම භාවිත කිරීමට ඇති හැකියාව විශ්මය ජනකය. යථාර්ථය ඒ තුළින් දකින්නට ඉඩ ප්‍රස්ථාව සැලැස්වීම බුද්ධ චරිතය පුරාවට දක්නට ලැබෙන සුලභ කරුණකි.

ඒ ඒ පුද්ගලයාගේ මානසික මට්ටම අනුව දෘෂ්‍යධාර භාවිත කොට සසර අවබෝධයට ඉඩහසර විවර කළ අවස්ථා බහුල වශයෙන් ත්‍රිපිටකයෙන් දැකිය හැකිය. මගඵල ලැබීමට නොහැකියි කියා උත්සාහය අත්හල බොහෝ භික්‍ෂූන්ට ඉතා ප්‍රායෝගික අයුරින් ගැඹුරු දහම් අවබෝධයට තථාගතයන් වහන්සේ ඉඩ සැලැස්වූ සේක. චුල්ලපන්තක තෙරුන්ට ඉතා පිරිසුදු රෙදි කැබැල්ලක් දී එය පිරිමැදීමට යැයි කියා ක්ලේශයන් පිළිබඳ අවබෝධය ඒ තුළින් ලබා ගැනීමට කටයුතු සැලැස්වූ සේක. ඒ සෑම ආකාරයකින්ම සසරින් එතෙර වන්නට මඟ කියා දුන් සේක.

බ්‍රාහ්මණ ධම්මික සූත්‍රයෙහි අවසානයේ ඇතුළත් “යටිකුරු වූවක් උඩුකුරු කරන්නාක් මෙන්ද, වසන ලද්දක් විවෘත කරන්නාක් මෙන් ද, මං මුලා වූවකුට මඟ කියන්නේ අඳුරෙහි තෙල් පහනක් දරන්නෙක් සේ භාග්‍යවතුන් වහන්සේ නොයෙක් ක්‍රමයෙන් පැහැදිලිව ධර්මය ප්‍රකාශ කළ සේක.

මේ අපි භගවත් ගෞතමයන් වහන්සේ ද, ධර්මය ද, භික්‍ෂු සංඝයා ද සරණ යමු. යනුවෙන් දේශනාව අවසානයෙහි බ්‍රාහ්මණයෝ බොදුනුවන් බවට පත් වූහ. එහිදී බුදුරජාණන් වහන්සේගෙන් බමුණන් විමසා සිටියේ පැරැණි බමුණන්ගේ බමුණු දහමයි. දේශනාව තුළ දී ගාථා තිස් දෙකකින් පැරැණි බමුණු සිරිත් විරිත් දේශනා කළ සේක. තමන් වහන්සේගේ ධර්මයට හාත් පසින් වෙනස් වූ මිථ්‍යාව මත පදනම් වූ දහමක් වූවද එය පදනම් කර ගනිමින් ධර්මය මැනවින් පහදා දීම බුදුහිමියන්ගේ ශාස්තෘ ගුණය මැනවින් පිළිඹිබු කරන්නකි.

දීඝ නිකායේ සාමඤ්ඤ ඵල සූත්‍රයේ දී බුදුරජාණන් වහන්සේ සත්ථා දේව මනුස්සානං යනුවෙන් සියලු දෙවි මිනිසුන්ට ශාස්තෘ වන බව සඳහන් වේ. එහිම සත්ථුදන්වයෝ යන වචනයෙන් ද ශාස්තෘ වූ යන්න අර්ථවත් වේ.

සුත්ත නිපාතයේ චුල්ලවග්ගයෙහි නිග්‍රොධකප්ප හෙවත් වංගීස සූත්‍රයේ දී සත්ථා ත්වං අනුත්තරොසි යනුවෙන් නුඹ වහන්සේ අපගේ ශාස්තෘ වනසේයි සඳහන් වේ.

සංයුක්ත නිකායේ ඛන්ධක වග්ගයෙහි සhttp://www.lakehouse.lk/budusarana/2012/05/05/tmp.asp?ID=vision08ත්ථා දේව මනුස්සානං යනුවෙන් ද, දුක්ඛස්සන්තකරො සත්ථා චක්ඛුමා පරිනිබ්බුතොති යනුවෙන් ද ශාස්තෘන් වහන්සේ යනුවෙන් බුදුරජාණන් වහන්සේ හඳුන්වා තිබේ.

හතළිස් පස් වසරක් පුරාවට දේශනා කළ ධර්මස්කන්ධයෙන් මෙම බුදුගුණය මැනවින් පැහැදිලි වේ. පිරිනිවන් මංචකයේ දී කළ අවසාන අනුශාසනාව නොපමාව කුසල් කරන්න, අප්‍රමාදී වන්න යනුයි. බොහෝ සූත්‍රවල සඳහන් පරිදි දෙවියන්, මරුන්, බඹුන්, මිනිසුන් සහිත ලොවෙහි තමන් වහන්සේම ස්වකීව ඥානයෙන් ප්‍රත්‍යක්‍ෂ කොට කේවල පරිපූර්ණ වූ ව්‍යක්‍ජන සහිතව මුලමැද අග කලණ වූ දහමක් දෙසූ එකම ශාස්තෘවරයාණන් වන බැවින් ද තවත් බුදුවරයෙකුට පමණක් සමවන අනෙකෙකුට අසම වන හෙයින් ද දෙවි මිනිසුන්ට ශාස්තෘ වූ සත්ථා, දේවමනුස්සානං වූ ප්‍රතිමූර්තිය සම්මා සම්බුදුරදුන්මය.

උපුටා ගැන්නා ලද්දේ – http://www.lakehouse.lk/budusarana/2012/05/05/tmp.asp?ID=vision08