Home » පුවත් පත් ප්‍රකාශන » විනයෙන් ගොඩනගන භික්ෂු පෞරුෂය සහජීවනය යනු බෞද්ධ අනන්‍යතාව මකා දැමීම නොවේ

Vipassi Theroහිමියනි “විනය” යන්නෙන් අදහස් වන්නේ කුමක්ද?
යම් සංස්ථාවක චිරාත් කාලීන පැවැත්ම සඳහා පනවා ගන්නා ලද නීතිරීති පද්ධතීන් “විනය” ලෙස හැඳින්විය හැකියි. විනය කියන දේ වෙනස් වෙනවා. එය ධර්මයට එකඟද කියා බැලිය යුතුයි. විනය වෙනස් කර ගැනීමේදී අපිට න්‍යායක් තිබෙනවා. භික්ෂු විනය සහ ගිහි විනය කියා දෙකක් තිබෙනවා. භික්ෂූන් වහන්සේ සතර පාරාජිකාවන්ගෙන් යුක්තයි. ඒසේ වුව ද ගිහියාට අදාළ විනයවන්නේ පංචශීලයයි. විවාහ වන්න එපා කියා භික්ෂූන් වහන්සේට දේශනා කළාට ගිහියාට එහෙම නැහැ.

ශාසනික සම්ප්‍රදායන් යන්නත් කෙටියෙන් පැහැදිලි කරමු අපේ හමුදුරුවනේ?
සම්ප්‍රදායන් කියන්නේ යහපත් නැතහොත් නිවැරදි ආකල්පයන්ටයි. ශාසනික සම්ප්‍රදාය යන්න ඉතාම ගැඹුරින් කතා කළ යුතු දෙයක්. බොහෝ කාලයක සිට පවතින බුදුරජාණන් වහන්සේ වදාළ කරුණුයි. එක එක වකවානුවල සකස් කරගෙන තියෙනවා. එක එක දේවල්, භික්ෂූන් වහන්සේට සුවඳ විලවුන් පාවිච්චි කරන්න හොඳ නැහැ. ගඳ ගහනවා නම් සඳුන් පාවිච්චි කරන්න පුළුවන්. දැන් බලන්න භික්ෂූන් වහන්සේ රිය පදවනවානම් එය උන්වහන්සේගේ සංවර භාවයට හානියක්. අල්ප කෘත්‍ය භාවයට, අල්පේච්චතාවට හානියක්. මේ නිසා වෙන අකටයුතුත් වෙන්න පුළුවන්. වත්මන් යුගයේ භික්ෂූන් වහන්සේගේ ඇතැම් ක්‍රියාදාමයන් පිළිබඳව දැඩි විවේචනයන්ට ලක් වෙනවා. අපි ජීවත් වන පරිසරය තුළ ශාසනික සම්ප්‍රදායට පටහැනි කාර්යයන් භික්ෂූන් වහන්සේගේ ක්‍රියාදාමයන් තුළ ශීඝ්‍ර ලෙස පැතිර යන බවක් දක්නට ලැබෙනවා.

ශාසනික සම්ප්‍රදායට පටහැනි කාර්යයන් භික්ෂූන් වහන්සේගේ ක්‍රියාදාමයන් තුළ ශීඝ්‍ර ලෙස පැතිර යන ඔබ වහන්සේ ප්‍රකාශ කරන්නට යෙදුණා?
ඔව්. බලන්න මේ ඉතාම මෑත සිදු වූ බරපතළ සිදුවීමක්. ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලය කියන්නේ හුදෙක් භික්ෂූන් වහන්සේගේම අධ්‍යාපන ආයතනයක්. මෙහි මූලික පරමාර්ථය ජාතික ජාත්‍යන්තර වශයෙන් බුදු දහම ව්‍යාප්ත කිරීමට අවශ්‍ය ධර්ම විනයධර උගත් ප්‍රතිබල සම්පන්න භික්ෂුවක් නිර්මාණය කොට සමාජයට දායාද කිරීමයි. පසුගිය අප්‍රේල් 23 වැනි බදාදා එම ආයතනයේ පවත්වා තිබෙන ආගමික සහජීවනය සහ සාමය පිළිබඳ අන්තර්ජාතික යැයි කියන සම්මන්ත්‍රණයකදී පංචශීලය සමාදන් කරවීම, බෞද්ධ කොඩිය එසවීම අත්හිටුවලා තිබෙනවා. සකස් කරලා තිබුණ පුන්කලස් ඉවත් කරන්න කියලා තිබුණා. ශ්‍රී ලංකා ඇමරිකානු තානාපති කාර්යාලයයි මෙය සංවිධානය කරලා තියෙන්නේ. මහා දැවැන්ත බෞද්ධ විශ්වවිද්‍යාලයේ චිරාත් කාලයක් පැවතුණ සම්ප්‍රදාය විනාශ කළා. මෙහි මහාචාර්ය හිමිවරුයි වැඩ ඉන්නේ. කොහෙවත් ඉන්න පිරිසකගේ න්‍යාය පත්‍රයයි ක්‍රියාත්මක කරන්නේ. ඉදිරියේදී පන්සිල් දෙන්න බැරි තත්ත්වයක් උදා වේවි. ඒකට යම් යම් ස්ථානවලින් අවසර ගන්න වේවි. පාලි බෞද්ධ විශ්වවිද්‍යාලය නිකන් විශ්වවිද්‍යාලයක් ‍නෙවෙයි. රජය මේවා පිහිටෙවුවේ අපේ අනන්‍යතාව රැක ගන්න.භික්ෂුවගේ පෞරුෂය ගොඩනගා ගන්න. මෙවැනි දේ අමු අමුවේ උල්ලංඝනය කරන තත්ත්වයකට පත් වීම ගැන සෑම භික්ෂූන් වහන්සේනමක්ම විමසිල්ලෙන් සිටීම වැදගත්. මේ සම්මන්ත්‍රණයට මුස්ලිම් පූජක කෙනෙක් මෙන්ම මහායාන ස්වාමීන් වහන්සේ කෙනෙකුත් ඉඳ තිබෙනවා. ආගමික සහජීවනය කියන්නේ චිරාත් කාලයක් පැවති අපේ බෞද්ධ අනන්‍යතාව අමු අමුවේ අකා මකා ගැනීම නොවෙයි.

භික්ෂූන් වහන්සේගේ ක්‍රියා කලාපය දෙස සමස්ත සමාජයම නෙත් යොමා සිටිනවා නේද හාමුදුරුවනේ?
ඔව්. පිරිවෙන්වලදී පුංචි හාමුදුරුවරුන්ට කියා දෙනවා ගිහි ආකල්පවලින් භික්ෂූ ආකල්ප වෙනස් කියලා. ගිහි ආකල්ප සියලුම දේ කිරීම භික්ෂුවට සුදුසු නැහැ. එය භික්ෂු පෞරුෂයට හානියක්. අවුරුදු කාලය නිමා වුණානේ. මෙවර අවුරුදු චාරිත්‍ර සිරිත් විරිත් නිමා වීමත් සමග ශාසනයට අලුත් තරගයක් හඳුන්වා දීලා තිබුණා. එයත් විශේෂත්වයක්. භික්ෂූන් කණා මුට්ටි බිඳීමේ තරගය. කිදෙල්පිටිය පැත්තේ පන්සලක තිබුණ මෙම අවුරුදු උත්සවය පුවත්පත්වල ඡායාරූප පළවෙලා තිබුණ. කණා, මුට්ටිය බිඳින්නා සේ බුදුන් වදාළ ධර්ම විනය පිළිබඳ අවබෝධයෙන් ඒ වගේම නොතැකීමෙන් චිරාත් කාලයක සිට පවත්නා භික්ෂු චර්යාධර්ම ඇතැම් භික්ෂුන් වහන්සේ විනාශ කරනවා. මේවා සම්න්ධයෙන් වගකිව යුතු සැමගේ නෙත් සිත් යොමු විය යුතුයි.

මෙවැනි දේ අණපනත්, නීතිරීති වැනි දේවලින්ම විතරක් පාලනය කළ නොහැකියි නේද අපේ හාමුදුරුවනේ හැම දේකටම පනත් ගේන්න බැහැ. පැවිදි වෙනවත් එක්ක අපි පනත් සම්මත කර ගන්නවනේ. සාමනේර උපසම්පදා භික්ෂුවක් වශයෙන් පනත් තියෙනවා. භික්ෂු ගරුත්වය රැක ගත යුතුයි. අතීතය, අනාගතය රැකිය නොහැකි අතර වර්තමානය රකින්න උත්සාහ ගත යුතුයි. විනය පිටකයේ හැම දෙයක් සම්බන්ධයෙන්ම තියෙනවා. ඉවසීමෙන්, උපේක්ෂාවෙන් කටයුතු කළ යුතුයි. නැත්නම් ශාසනය විනාශ වෙනවා. එය ජාතියටම බලපානවා.
මෙම තත්ත්වය තවදුරටත් පැවතීමට ඉඩ නොතබා යම් ක්‍රියාමාර්ග ගත යුතුයි නේද හාමුදුරුවනේ පිටරටවල අය පවා ලංකාවට එන්නේ අභ්‍යවකාශය ගැන, භූ කම්පන ගැන හොයන්න නමෛයිනේ. ඔවුන් එන්නේ බුදුදහම හොයා ගෙනයි. ආචාර්යකමක් ගන්න බැරි වුණ ඇතැම් හිමිවරු රථාචාර්ය කම ගන්න හදානවනේ. ඒ වගේම භික්ෂූන් වහන්සේ එක පක්ෂයකට සීමා නොවී සියලුම දෙනාට අනුශාසනා කළ යුතුයි. හොඳ දේවල් අගය කරනවාසේම වැරදි දේ විවේචනය ද කළ යුතුයි. එතකොට කවුරු බලයට පත් වුණත් ප්‍රශ්නයක් නැහැ. භික්ෂූන් වහන්සේ මධ්‍යස්ථ විය යුතුයි. එදා ජාතික ව්‍යාපාර කළේ භික්කඩුවේ මාහිමි, මිගෙට්ටුවත්තේ මාහිමි, අනගාරික ධර්මපාලතුමන් වැනි මහා දැවැන්ත චරිතයි. අද කොහේ හරි ඉන්න පල් හොරු ටිකක් ඇවිත් ජාතික වීරයන් වෙන්න හදනවා. මහානායක හිමිවරු, අධිකරණ නායක හිමිවරු, දිසාපාලක හිමිවරු වගේම මහා දැනඋගත් ධර්ම විනයධර හිමිවරුන් නිහඬව සිටීම එතරම් සුබදායී නොවෙයි.

සාකච්ඡා කළේ ජනක හෙට්ටිආරච්චි

lakbimalogohttp://www.lakbima.lk/index.php?option=com_content&view=article&id=45530:2015-05-11-18-02-31&catid=58:urumaya&Itemid=80