Home » පුවත් පත් ප්‍රකාශන » කිරි වෙහෙරෙන් කිරි වැගිරීමත් ශ්‍රීපාදයෙන් රැස් විහිදීමත් පිළිබඳ කතා ඇත්තද?

lakbimalogo

අපේ රටේ ආගමික සිද්ධස්ථාන කිහිපයක් ආශ්‍රිතව සිදුවූ ආශ්චර්යමත්, අද්භූත සිද්ධීන් පිළිබඳව මෑතකදී වාර්තා විය. ශ්‍රී පාද කන්දේ මහගිරිදඹය සහ අහස් ගව්ව අතර රැස් වළල්ලක් විහිදීම ඉන් එකකි. අරණායක පරපිටිය ප්‍රදේශයේ පදිංචි රංජිත් එදිරිසිංහ නම් මහතකු ඔහුගේ පවු‍ලේ අයත් කැටුව අප්‍රේල් 03 දා ශ්‍රී පාදය වැඳ පුදාගෙන පසුදින පාන්දර කන්ද බසින විට හැටන් පාරේ සීත ගඟුල ආසන්නයේ දී නැවත  කන්ද දෙස බලද්දී මේ රැස් වළල්ල දුටු බව කියනු ලැබේ. පාන්දර පහයි පහට පමණ දර්ශනය වූ බව කියන මෙම රැස් වළල්ල එදිරිසිංහ මහතා මෙන්ම ඒ මොහොතේ ඔහු අසලින්ම සිටි ඔහුගේ දියණියකද දැක ඇති බව පවසයි. ඒ අවස්ථාවේ  ඔවුන් එය ඡායාරූපයටද නගා ඇත.

ඊළඟ සිද්ධිය අප්‍රේල් 14 දා එළඹි සිංහල දෙමළ අලුත් අවුරුද්ද දිනයේ ළිප ගිනි මොළවන නැකත යෙදී තිබුණු වේලාවෙහි කිරි වෙහෙරේ කොතෙන් කිරි වැගිරීම පිළිබඳ කතාවය. කොත අසල එක් පැත්තක කුඩා සිදුරක් සෑදී මෙම කිරි වැහිරුණු  බව පවසන අතර එය අඩි තුන හතරක පමණ දුරක් පහළට ගලාවිත් ඇති බවද පැවසේ. මෙය දින හයක් පමණ එම වේලාවෙහිම ආරම්භ වී  මඳ වේලාවකින් නතර වී ඇති බව කියන අතර ඉන්පසුවද වරින්වර මෙම සිදුවීම වූ බව දැන ගන්නට ලැබිණි. මෙය කිරි ලෙස පැවසුවද කිරි හා සමාන සුදු පැහැයකින් යුතු නොවූ බවද සඳහන් වන අතර එය අඩි තුන හතරකට වඩා පහළට ගලා විත් නොමැත්තේ කිරිවලට වඩා ඝන ද්‍රවයක් නිසා  බව ද සිතිය හැකිය.

මෙය ආශ්චර්යමත් සිදුවීමක්ය යන්න එය දුටුවන්ගේ මෙන්ම  අසන්නන්ගේද අදහසයි.

අපේ රටේ මෙවැනි දේ සිදුවූ බව කියන ප්‍රථම අවස්ථාව මෙය නොවේ.  මීට පෙර සෝමාවතී ෙචෙත්‍යය, රුවන්වැලි සෑය ආදී වශයෙන් ස්ථාන ගණනාවකම බුදු රැස් විහිදීමක් ගැනද වාර්තා වී ඇත. මෙම ලිපිය මගින්  දක්වන්නට උත්සාහ දරන්නේ මෙබඳු සිදුවීම්වල තිබිය හැකි සත්‍ය අසත්‍ය භාවය පිළිබඳවය. එමෙන්ම එවැනි අද්භූත සිදුවීම් පිළිබඳ පැතිරෙන කතා බුදු හාමුදුරුවන්ගේ දර්ශනයට කෙතරම් දුරට අනුකූල වන්නේ ද යන්න පිළිබඳවය. රත්මලාන ධර්ම පර්යේෂණාලයේ අධ්‍යක්ෂ පූජ්‍ය හෑගොඩ විපස්සි හිමිපාණන් සමග කරන ලද සාකච්ඡාවක් ඇසුරින් මෙම ලිපිය සැකසිනි.

කතරගම කිරි වෙහෙරේ කොතෙන් කිරි වැනි ශ්‍රාවයක් වැගිරුණු කතාවත්,  සිරිපා වන්දනාවේ යෙදුණු බැතිමතෙකු අතරමගදී අලුයම පහයි පහට පමණ සමනල කඳු මුදුනේ රැස් වළල්ලක් විහිදෙනු දුටු බවට වන කතාවත් පසුගිය දිනවල මාධ්‍ය මගින් ප්‍රසිද්ධියට පත් වූ අපූරු කතා පුවත් දෙකකි. සෝමාවතී ෙචෙත්‍යයෙන්ද වරින්වර බුදුරැස් විහිදෙන බවට අපේ සිංහල බෞද්ධයන් අතර ප්‍රචලිතය.

මෙවැනි ස්ථානවලින් රැස්වළලු විහිදෙන්නේ යැයි කීම මම ප්‍රතික්ෂේප නොකරමි. හේතුව විවිධාකාර කාලගුණික හා දේශගුණික විපර්යාස මත දේදුණු පායන්නාක් මෙන් මෙබඳු ආලෝක කිරණ දකින්නට ඕනෑ තරම් හැකියාවක් තිබෙන නිසාය. නමුත් එය බුදුරැස් වළල්ලක් හෝ බුදුරැස් විහිදීමක් යැයි පැවැසීම නම් එකහෙළාම ප්‍රතික්ෂේප කරමි. ඊට හේතුව කුමක්ද?

ජීවමාන බුදුරජාණන් වහන්සේගේ කාලයේ උන්වහන්සේගේ ශරීරයෙන් ආලෝක කිරණ විහිදීමක් සිදු වූ බව බෞද්ධ ග්‍රන්ථවල සඳහන්ය. එය පිළිගත හැකි සත්‍යයකි. සියලුමKiriwehera කෙලෙස් ප්‍රහීණ කරන ලද  බුදු කෙනෙකුගේ ශරීරයෙන් එවැනි ආලෝක ධාරාවක් දැකිය හැකි වීම අරුමයක් නොවේ.

බුදුරැස් විහිදීම යනු එවැනි බුදු කෙනෙකුන් වටා ආලෝකය විහිදීමයි. නමුත් බුදුරජාණන් වහන්සේ දැන් ජීවමානව නැත. එබැවින් බුදුරදුන්ගේ් පරිනිර්වාණයෙන් පසු බුදුරැස් විහිදෙන්නට විදියක්ද නැත. එය අභව්‍ය දෙයකි. බෞද්ධ සිද්ධස්ථානයක කිනම් හෝ ආලෝකයක් විහිදීම බුදුරැස් විහිදීමක් නොවේ. ජීවමාන බුදුරජාණන් වහන්සේගේ ශරීරයෙන් විහිදුණු ආලෝකයක් මෙවැනි ස්ථානවලින් විහිදෙන්නට විදියක් කොහෙත්ම නැත. මේ දේවල් හැඳින්වෙන්නේ එක් එක් පුද්ගලයා දකින භ්‍රාන්ති (hallucinations) ලෙසිනි. එනම් සැබෑ නොවන දෙයක් තමන්ගේ දෙනෙතට පෙනීම, සවනින් ඇසීම හෝ ස්පර්ශ වීමයි.

ප්‍රාග් බෞද්ධ යුගයේද මෙවැනි විශ්වාස තිබිණි. මෙබඳු විශ්වාස මගින් බෞද්ධයන්ගේ ශ්‍රද්ධාව වැඩි විය හැකි වුවත් එය කිසිසේත් නිවනට හේතු වන්නේ නම් නැත. එනිසා මේවා ඇගයීම තුළින් බුදු දහමට හානියක් සිදුවේ. හේතුව බුදු දහම එවැනි අතාර්කික දහමක් නොවන බැවිනි.

මෙබඳු දේවල් මොන හේතුවක් ඇතිව දුටුවත් එය බුදුරැස් හෝ වෙනත් ප්‍රාතිහාර්යයක් ලෙස විශ්වාස කරන්නේ නම් ඒ බුදුදහම පිළිබඳ ප්‍රාමාණික දැනීමක් නැති අයෙකි. කිරි වෙහෙරේ කොතෙන් ශ්‍රාවයක් වැගිරීමත් මෙබඳුම දෙයක් විය හැකිය. හරියටම එතැන පරීක්ෂා කර බැලුවහොත් හේතුව සොයා ගැනීම අපහසු නොවනු ඇත. ඇතැම් විට මෙය එහි වැටුණු කිනම් හෝ ලාටු වර්ගයක් උණුවී වැගිරී යාමක් ද විය හැකිය.

පසුගිය වකවානුවේ අපේ බෞද්ධයන් පුද්ගලික බස් පවා වෙන් කරවා ගෙන පවුල් පිටින් නිකවැරටිය මී වැල්ලාව බෝධියට, දොළු කන්දට ගිය අන්දම ඔබට මතක ඇතැයි සිතමි. මේවා අමුතු දේවල් නොවේ. ඔබ විශාල ගසක  ඉරිතැලී ගිය තැනක් දෙස එක දිගටම බලා සිටියොත් එතැනින් ඔබට විවිධ චිත්‍ර මැවී පෙනෙන්නට පුළුවන. මේවා දේව රූප යැයි ඔබ සිතුවොත් ඔබට දේව රූප අයුරින්ම පෙනෙනු ඇත. එතැනින් දේව රූප මතුවී ඇති බව ඔබ තව කෙනෙකුට කිව්වොත් ඒ තැනැත්තා එදෙස බලන්නේ මනසේ දේවරූප මවාගෙනය. එවිට ඔහුටත් එතැන දේව රූප පෙනෙනු ඇත. මෙය සමූහ මායාව ලෙස හැඳින්වේ.

භය, භේරව වැනි සූත්‍රවල බුදුරජාණන් වහන්සේ දේශනා කර ඇත්තේ බයක් භ්‍රාන්තියක් ඇති වූ විට අදාළ ස්ථානයටම ගොස් හොඳින් පරීක්ෂා කර බලන ලෙසය. එවිට එය සැක හැර දැනගත හැකි වනු ඇතැයි උන්වහන්සේ දෙසූහ.

බුද්ධ කාලයේ වනයේ භාවනානුයෝගීව සිටි එක්තරා භික්ෂුවකට භාවනාව යටපත් වී රාගික සිතුවිලි පහල වන්නට විය. එක්වරම මේ භික්ෂුවට අමුතු ආකාරයෙන් ශබ්දයක් ඇසෙන්නට වූ අතර මේ තමා වැරදි සිතුවිලි සිතීම නිසා අමනුෂ්‍යයකු විසින් සිදුකරන්නක් බව හැඟී භික්ෂුවට බියක් ඇති විණි. උන්වහන්සේ පසුදිනට පහන් වන තුරුම ශබ්දය එන පැත්තට හැරී දොහොත් මුදුන් දී වැඳගෙන “මං ආයෙත් ඒ වැරදි සිතුවිලි සිතන්නේ නෑ” යනුවෙන් එක දිගටම කියන්නට විය. පසුදින එළිය වැටීගෙන එන විට භික්ෂුව ශබ්දය ආ ප්‍රදේශය පරීක්ෂා කරන විට දැක ගත හැකි වූයේ හරකෙකු වමාරා කමින් සිටින ආකාරයයි.

බුදුදහමේ ආශ්චර්යයන් ලෙස සමාජය බොහෝ දේවල් වැරදි ලෙස වටහාගෙන තිබේ. නිදසුනක් ලෙස තද නියං සමයක වැසි වසින්නට ලොකු පූජාවක් තබා අධිෂ්ඨාන කරන්නට පුළුවන. මොන හේතුවකට හෝ නියඟය අවසන් වී වැසි වැස්සේ යැයි සිතමු. අධිෂ්ඨානයක් කර පූජාවක් පැවැත්වූ නිසා වැසි වැස්සේ යැයි මෙහිදී විශ්වාසයක් ඇතිවනු ඇත. මේ ආකාරයටම ක්‍රිස්තියානි බැතිමතුනට  හින්දු බැතිමතුනට මුස්ලිම් බැතිමතුනට ද තම තමන්ගේ  ආගමට අනුව වැසි වසින ලෙස ඉල්ලමින් පුද පූජා පැවැත්විය හැකිය. එවිටත් වසින්නට පුළුවන.
එහෙම නම් මොකක්ද ධර්මය? බුදු දහම ප්‍රඥාවන්තයන්ට දේශනා කළ දහමක් ලෙස බුදුරජාණන් වහන්සේ පැවැසූ සේක. ඒ අනුව මෙබඳු දේවල් බුදු දහම නොවන බව බෞද්ධයන් දැනගත යුතුය.

මා මාතෘකාවෙන් මදක් පිට පැන ඇතුවා විය හැකිය. නමුත් බෞද්ධයන්ගේ මේ මිථ්‍යාදෘෂ්ටික අදහස් තවදුරටත් වටහා දීම භික්ෂුන් වහන්සේ නමක ලෙස මගේ යුතුකමය.

ඔබේ පවු‍ලේ අයකු මියගියේ යැයි සිතන්න. ඒ මෘත දේහය නිවසේ සාලයේ තබා ඇති විට වෙන කිසිවකු හෝ ළඟපාතක නැතිව රාත්‍රියේ ඔබට එතැන තනිව සිටින්නට සිදුවුවහොත් ඔබ තුළ බියක් ඇති වන්නේ නැද්ද? කලාතුරකින් කෙනෙකුට එසේ නොවීමට පුළුවන. නමුත් බොහෝ දෙනෙක් ඊට බිය වෙති. එසේ වුවද අලියෙකු, කොටියෙකු, නයෙකු හෝ ‍පොළඟෙකු මැරුණු තැන ඒ මළසිරුර අසල තනිව සිටීමට ඔබ බය නැත. නමුත් ජීවත්ව සිටින විට ඔබ සමග ආදරෙන් සිටි අයකු වුවද මියගිය පසු එම දේහය අසල රාත්‍රියේ තනිව හිඳින්නට ඔබ බියක් දක්වයි. ඊට හේතුව හොල්මන් අවතාර ආදිය පිළිබඳ ළමා වියේ සිට අපේ සිතට කා වැදී තිබෙන දේවල්ය.

හොල්මන් අවතාර ගැන කතා ඈඳී තිබෙන්නේ මනුෂ්‍යයන් සම්බන්ධවය. බල්ලෙක් බළලෙක්, හරකෙක්, අලියෙක්, නයෙක්, ‍පොළඟෙක් මේ ආදී කුමන සතෙකු වුවද මියගිය පසු යකෙක්, ප්‍රේතයෙක්, කුම්භාණ්ඩයෙක්, භූතයෙක් වෙන බව අප අසා නැත. උන් ජීවත්ව සිටින කාලයේ පණ බයෙන් පැන දුවන අයම උන් මියගිය පසු බය නැත්තේ ඒ නිසාය. නමුත් අපේම නෑයන්ට මරණින් පසු අපි බිය වෙමු.

සිරිපාදයෙන් රැස් වළලු විහිදීම, කිරි වෙහෙරේ කොතෙන් කිරි වැගිරීම, සෝමාවතී ෙචෙත්‍යයෙන් බුදු රැස් විහිදීම වැනි දේවල් පිළිබඳව සලකන විට බෞද්ධයන් ලෙස අප මොන තරම් මිථ්‍යාවට ඇදී යන්නේ දැයි සිතේ. බුදුදහම පිළිබඳ විශාල නැඹුරුවක් ඇති මා දන්නා එක් තරුණ මහතෙකු දිනක් රාත්‍රියේ මැදියම් යාමයේ එක් විහාරස්ථානයක විහාරාධිපති ස්වාමින් වහන්සේගේද අනු දැනුම ඇතිව තම කැමරාවෙන් බෝධිය සහ ඒ අවට ඡායාරූපවලට නගා තිබිණි. මේ ඡායාරූප මට පෙන්වූ ඔහු බෝධිය අවට ආලෝකයක් විහිදෙන අන්දම ඡායාරූපවලින් දිස්වන බව කීය. කිසියම් දීප්තිමත් බවක් ඒ ඡායාරූපවලින් දිස්වුණු බව සැබෑය. ඔහු කීවේ රාත්‍රී කාලයේ බෝධීන් වහන්සේ වෙත දෙවියන් වැඩම කිරීම නිසා එම සියුම් ආලෝක ධාරාවන් විහිදී ඇති බවය. මම නිහඬව සිටියෙමි. ඉන්පසු ඔහු තවත් ඡායාරූපයක්
පෙන්වාලීය. ඒ විහාරස්ථානයේ වැසිකිළි සහිත ප්‍රදේශයේ ඡායාරූපගත කරන ලද ඒවාය. එහි තැනින් තැන කළු ලප ආකාරයෙන් දිස්විනි. “මං හිතන්නෙ ඒ පෙරේතයො වෙන්න ඇති.” මම බොහෝ සාමාන්‍ය ලෙසින් කීවෙමි.

“නෑ නෑ. ස්වාමීන් වහන්ස මේ බලන්න ඒවයෙත් අර වගේම රැස් විහිදෙන පින්තූර තියනවා.”
ඔහු කීවේ තවත් ඡායාරූප කිහිපයක් දක්වමිනි.

“එහෙනම් දෙවියො පන්සලට ආපු ගමන් වැසිකිළිත් යන්න ඇති.” මා කී විට ඔහු බිරන්තට්ටු වූ කලෙක මෙන් මදෙස බලා සිටියේය.
දැන් බුදු දහමේ සැබෑ ස්වරූපය අතුරුදන් වී තිබේ. ඒ වෙනුවට දැන් අප මේ නියෝජනය කරන්නේ අතීතයේදී පිරිහුණු, මහනුවර යුගයේ පැවැති බුදු දහමය. එකල ගණින්නාන්සේලා නමින් කොටසක් දහම් දේශනා කළහ. පත්තිනි දේව ඇදහිල්ල වැනි දේව ඇදහිලිත්, අන්‍යාගමික මත හා දේව විශ්වාස එකල බොහෝ සෙයින් ව්‍යාප්තව පැවැතියේය. පුද්ගලයා ධර්ම ඥානයෙන් හීන වන්නට වන්නට ගුණධර්ම අතින්ද හීන වෙයි. එවිට ඔහු ගමන් කරන්නේ මිථ්‍යාදෘෂ්ටිය දෙසටය.

අප දැන් ජීවත් වන්නේ බුදුහාමුදුරුවන්ටත් වඩා දෙවියන් අදහන දෙවියන්ට පුද පූජා තබන සමාජයකය.
කලකට ඉහතදී මම කුඩා මෝටර් රථයක් මිලදී ගත්තෙමි. දිනක් මට රත්නපුර ප්‍රදේශයේ ධර්ම දේශනාවකට යාමට සිදුවිය. මා හොඳින් දන්නා හඳුනන රියැදුරු මහත්මයකු මම මෙහිදී කැඳවා ගත්තෙමි. වාහනය පාරට දැමූ රියැදුරු “හාමුරුවනේ වාහනේට බාරයක් එහෙම වුණාදැයි” මගෙන් ඇසීය.

“අ‍පොයි ඔව්” මම කීවෙමි.

“බාරෙ ඔප්පු කළාද හාමුදුරුවනේ”.

“මං මාසෙකට සැරයක් බාරෙ ඔප්පු කරනවා.” මා එසේ කී විට රියැදුරු මහතා පුදුමයෙන් මදෙස බැලීය.

“මාසෙකට වතාවක් බාරෙ ඔප්පු කරන්නෙ මොකටද හාමුදුරුවනේ? ඔබ වහන්සේ කොහාටද බාර වුණේ?……කතරගම දෙවියන්ටද?” රියැදුරු මහතා යළි ඇසීය.

“නෑ මහත්තයෝ මං බාර වුණේ ෆිනෑන්ස් දෙවියන්ට. මාසයක් ගාණෙම ෆිනෑන්ස් දෙවියන්ට බාරෙ ඔප්පු කරනවා. ඒ හින්දා කිසි ප්‍රශ්නයක්

නෑ. බය නැතුව අපට පාරෙ යන්න පුළුවන්.”මා කී කල රියැදුරු මහතා නිහඬ විය.

ත්‍රිපිටකයේ බුද්ධ දේශනා තුළ දෙවියන් පිළිබඳව කතා කරන්නේ නැත. වර්තමානයේ තිබෙන මේ දේව සංකල්පයන් සැබෑ බුදු දහම තුළ නොමැත. සමහර භික්ෂුන් වහන්සේලා පවා දහම වරදවා තේරුම් ගෙන, වැරදි දෘෂ්ටි කෝණවලින් මෙය විවරණය කරනු පෙනේ. බුදු දහම අවබෝධ කරගත යුත්තේ බෞද්ධ විඥානයෙන්මය. බුදු දහම යනු දෘෂ්ටි භජනයක් (දෘෂ්ටියෙහි ඇලී ගැලී සිටීමක්) නොවේ. නමුත් ප්‍රාග් බෞද්ධ යුගයේ තිබූ මිථ්‍යා ඇදහිලි දැන් ශීඝ්‍රයෙන් වැඩිවෙමින් පවතියි.

බුදු දහම වැරදි ලෙස විවරණය කිරීමේ ආදීනව අපි දැන් භුක්ති විඳිමින් හිඳිමු. වර්තමානයේ සමාජගත වී තිබෙන්නේ ධර්මය නොවේ. ධර්මය වගේ පෙනෙන දේවල්ය.

සාකච්ඡා කළේ : ඉන්දු පෙරේරා

http://www.lakbima.lk/index.php?option=com_content&view=article&id=36633:2014-05-11-07-04-21&catid=58:urumaya&Itemid=80