Home » විශේෂාංග » දන්සල වෛරය වපුරන්නක් නොවිය යුතුයි

දන්සල වෛරය වපුරන්නක් නොවිය යුතුයි

lakbimalogo

saduu[1]හාමුදුරුවනේ, මේ වෙසක් කාලය ආරම්භ වන අවධියයි. වෙසක් සමයේදී ප්‍රතිපත්ති පූජා  හා ආමිස පූජා පිළිබඳ බොහෝ දෙනෙක් අතර කතා බහට ලක් වෙනවා. වෙසක් කාලයේදී ආමිස පූජා හා ප්‍රතිපත්ති පූජා පිළිබඳ කතා බහට ලක්වෙනවා. ඒ වගේම ආමිස පූජාවට වඩා ප්‍රතිපත්ති පූජාව වඩා උසස් බව සමහරුන් පවසනවා. කියන්නන් වා‍ලේ කියනවාට වඩා මේ පිළිබඳ විද්වත් කතිකාවතක් ඇති විය යුතුයි. ආමිස පූජා වශයෙන් හැඳින්වෙන්නේ තොරණ ඉදිකිරීම, මහා පහන් කූඩු  ඉදිකිරීම දන්සල් පැවැත්වීම ආදියයි. ප්‍රතිපත්ති පූජා වශයෙන් හැඳින්වෙන්නේ සිල් සමාදන් වීම, භාවනාවේ යෙදීම ආදියයි. නමුත් මේවා කෙතරම් ධර්මානුකූල ද යන්න පිළිබඳව ප්‍රශ්නයක් පැන නගිනවා. ත්‍රිපිටකය ගෙන බැලුවොත් ආමිස  හා පූජා කියන වචන දෙක ආමිස පූජා වශයෙන් යෙදුණු තැන් තිබෙනවා. එහෙත් ප්‍රතිපත්ති පූජා හෙවත් පටිපත්ති පූජා කියන වචන දෙක පටිපත්ති පූජා වශයෙන් එකට යෙදුණු ස්ථාන නැහැ.
ඒ වගේම අටුවාවේ පටිපත්ති පූජා කියන වචනය සඳහන් වන්නේ එය විවරණ කිරීමක්ද සහිතවයි. ආමිස පූජා යනුවෙන් හැඳින්වෙන්නේ කුමක්ද යන්න නිවැරදිව අවබෝධ කර ගැනීමෙන් ප්‍රතිපත්ති පූජා යන්නෙන් අදහස් වන්නේ කුමක්ද යන්න අවබෝධ කර ගත හැකියි.
ආමිස පූජා යන්නෙන් හැඳින්වෙන්නේ කුමක්දැයි පැහැදිලිවම සඳහන් කළහොත්
චීවර, පිණ්ඩපාත,  සේනාසන, ගිලන්පස යන සිවුපසය භික්ෂූන් වහන්සේලාට පූජා කිරීම ආමිස පූජාවයි. ඇඳුම් පැළදුම්, ඉඳුම් හිටුම්, බෙහෙත් හේත් කියන මේ දේවල් සියලු සත්වයාටත්, විශේෂයෙන් මනුෂ්‍යාටත් ‍පොදුවේ අවශ්‍ය වෙන දේවල් සිවුපසය කියන්නේ ඒවායි.
මෙවැනි දේ පූජා කරන්නේ ලෝභය, ද්වේෂය, මෝහය ආදී අකුසල මූලයන් දුරුකර ගැනීමටයි. නිර්වාණය සඳහා වූ මාර්ගය පාදා ගැනීමේ අරමුණ ඇතිවයි.
දන්සල්, දාන මාන, තොරණ හා පහන් කූඩු ඉදිකිරීම යන දේවල් ආමිස
පූජා ගණයට වැටෙනවා වුවත් සැබෑ පූජාවක්, පින්කමක් වීමට නම් එහි තිබිය යුතු මූලික අංගය වන අකුසල මූලයන් දුරු
කිරීමේ අර්ථය ගැබ්ව තිබිය යුතුයි. අකුසල මූලයන් සමනය වීමක් සිදුවනවා නම් එතැන සැබෑ පින්කමක් සිදුවෙනවා.
ඒත් අද කා‍ලේ අසන්නට ලැබෙන්නේ දන්සල් ආශ්‍රිතව ඛිෙදනීය සිදුවීම්. මෙවැනි දේ අසන්නට දකින්නට ලැබෙන්නේ ආමිස පූජාවේ සැබෑ අර්ථය හා වැදගත්කම නිවැරදිව සමාජ ගත නොවීම නිසයි. සෑම  අවස්ථාවකදීම ප්‍රධාන විය යුත්තේ අකුසල මූලධර්ම සමනය වීම යන සංකල්පය ධාරණය වී තිබිමයි. උදාහරණයක් වශයෙන් යම් පිරිසක් ඒකරාශි වී මුදල් හා අමුද්‍රව්‍ය එකතු කර දන්සලක් පවත්වනවා යැයි සිතමු. මේ ක්‍රියාවලියට නායකත්වය දී කටයුතු කරන අයගේ ප්‍රධාන පරමාර්ථය අකුසල මූලධර්ම නැති කිරීම විය යුතුයි.
අකුසල මූලධර්ම නැති කිරීමේ පරමාර්ථයෙන් යුතුව දන්ස‍ලේ කටයුතු ආරම්භ කළත් විශාල වශයෙන් මුදල්  එකතු වෙන විට ඉන් කොටසක් තමන් සතු කරගැනීමේ දැඩි ආශාව ඇති විය හැකියි. එහෙම දෙයක් සිදුවූවොත් එතැන් පටන් ඒ පුද්ගලයා තුළ වංචනික අදහස් පහළ වෙනවා.
එවැනි අවස්ථා වල ගැටුම් නිර්මාණය විය හැකි අතර බුදුරදුන්ගේ මුල් දේශනාවලට අනුකූලව ආමිස පූජාවට අනුගත දන්සලක් පැවැත්වෙන්නේ නැහැ.
අකුසල මූලධර්ම නැති කිරීමේ පරමාර්ථය සිත් හී ධාරණය කොට ගනිමින් යම් පුද්ගලයෙක් ක්‍රියාත්මක වන විට ලෝභය, ද්වේෂය, මෝහය ඇතිවිය හැකියි. එවැනි අවස්ථාවක නැවත නියම මාවතට පිවිසෙන්නට කළ යුත්තේ කුමක්ද ?
සාමූහිකව කාර්යයන් හි නිරතවීම අගය කළ යුතු අතර එසේම විය යුතුයි. සප්ත අපරිහානිය ධර්මයට අනුව සමගිව රැස් වී සමගිව  විසිර යා යුතුයි. නමුත් වෛරය, ක්‍රෝධය, ද්වේෂය, මෝහය ආදී සිතුවිලි මගින් හිතේ ඉතිරි වන්නේ “කුණක්” පමණයි. එවිට ගැටුම් ඇතිවීම සාමාන්‍ය සිරිතයි.
පරාර්ථ වේශයෙන්ද  ලෝභය ඉදිරිපත් විය හැකියි. අනෙකාට වඩා හොඳින්, අනෙකාගේ දන්ස‍ලේ කෑමවලට වඩා උසස් කෑම වර්ග ආදිය සැපයීම අරමුණු කරගෙන දන්සල් පවත්වන්න ගියොත් පරාර්ථ වේශයෙන් ද්වේශය සිතට පැමිණෙනවා.
වැදගත් වන්නේ අකුසල මූලධර්ම සමනය වීම කියන සිතුවිල්ලෙන් යුතුව ආමිස පූජාවේ යෙදීමයි. පින්කමක් කරන්න ගිය අවස්ථාවේදී පවක් නොවන තැනට වග බලා ගත යුතුයි.
මේ නිසා ධර්මය පිළිබඳ මනා වැටහීමෙන් කටයුතු කළ යුතුයි. ධර්මය පිළිබඳ මනා වැටහීමක් ඇත්නම් ද්වේශය මෝහය ආදී සිතුවිලි පහළ වන්නේ නැහැ.
අකුසල මූලධර්ම නැති කිරීමේ අදහස ඇත්නම් මහා පරිමාණ දන්සලක් පැවැත්වුවත්, බුදුන් පුදන්න යන බැතිමතුන්ට මල් දන්සලක් ලබා දුන්නත් සිද්ධ වෙන්නේ එකම කාරණයයි.
බුදුන් පුදන්න යන අයට මල් දන්සලක් පැවැත්වීම ඉතා
සෞම්‍ය පහන් හැඟීමක් ඇති
වෙන කාර්යයක්. කිසිදු වියදමක් නැහැ. ද්වේශය, මෝහය හෝ රාගය වැනි කිසිදු හැඟීමක් කාර්යය අතරතුර ඇති වන්නෙත් නැහැ.
ගමේ ළමෝ ළපටි පිරිස  සමග ගමපුරා ඇවිද මල් එකතු කර පන්සල දොරකඩ පවත්වන මල් දන්සලට කාගේත් ආශීර්වාදය ලැබෙනවා. කොඩි වනලා පාරේ යන පිරිස් දන්සල ඉදිරිපිටදී බලහත්කාරයෙන් නවත්වන්න අවශ්‍ය නැහැ. දන්සල ළඟට ඇවිත් දෝතට මල් ටික අරන් යන්න මිනිසුන් සුදානම්.
ආමිස හෝ ප්‍රතිපත්ති පූජාවක් මගින් පිනක් කර ගැනීමට යාමෙන් වෛරී සිතුවිලි ඇති නොවිය යුතුයි.  ඒ වගේම පින්කම තුළ නොයෙක් දූෂණ සිදුවේ නම් දන් දීමේ පරමාර්ථය ඉෂ්ට වෙන්නේ නැහැ.
මාධ්‍ය මගින් කෙරෙන පින්කම් හා නොයෙකුත් පූජාවන් මගින් ආමිස පූජාවක් සිදු වෙනවාද?
භික්ෂූන් සිවුපස ගොඩ ගසා ගැනීම නොකළ යුත්තක්. ඒවා උසස් කොට නොසලකා තමන්ට යැපෙන්න සරිලන ප්‍රමාණයට පමණක් භාරගත යුතුයි. කවුරුන් හෝ  ශ්‍රද්ධාවෙන් දෙන දේ විනාශ නොකිරීමට වගබලා ගැනීමට ප්‍රධානත්වය දීම වටිනවා.
තමන්ගේ  තිබෙන ආවේගශීලීත්වයන්, ආශාවන්, පාලනය කර  තුනීකර නැතිකර ගැනීම මගින් නිර්වානයට යාමට මාර්ගය ආධ්‍යාත්මික ප්‍රගතිය තුළින් ළඟා කර  ගත හැකියි.
මේ වන විට අටපිරිකර විශාල වශයෙන් පූජා කිරීමට ‍පොළඹවන පූජාවන් පැවැත්වීමට මාධ්‍යයේ අනුග්‍රහය ඉහළින්  ලැබෙනවා. මෙහි භයානක තත්ත්වයක් තිබෙනවා. මෙලෙස එකතු කෙරෙන අටපිරිකර දුප්පත් පන්සල්වලට පූජා කරන බවට මතයක් ද ප්‍රකාශයට පත් වෙනවා. භික්ෂූත්වය මත දුප්පත් ‍පොහොසත් භේදය ඇති කිරීම භයානක තත්ත්වයක්. දුප්පත් හෝ ‍පොහොසත් වන්නේ භෞතික සම්පත් මත නොවෙයි. ගුණධර්ම මගින් ‍පොහොසත්  වීමයි වටින්නේ.
කෙතරම් යාන වාහන, සැප පහසුකම් සහිත පන්සල් තිබුණත් භික්ෂුව දුශ්ශීල
නම් ඉතාම දුප්පත්. මුල් බුදු සමයටත්, ශාසනික පැවැත්මටත් හානි නොවන ලෙස  මාධ්‍ය විසින් මේවා සිදුකළ යුතුයි.
මේවා නිසා පන්සල්වලට වෙන් වූ ගොදුරු ගම් සීමාවන් බිඳ වැටෙනවා. එදා දුෂ්කර
පළාත් විහාරස්ථාන නඩත්තු කළේ ගමේ උපාසක උපාසිකාවන් වුණත් අද ඒ උපාසක උපාසිකාවෝ මාධ්‍ය නඩත්තු කරනවා. මාධ්‍ය විහාරස්ථාන නඩත්තු කරන බව කියනවා.
මෙවැනි දේට බොහෝ විට අදාළ වන්නේ විද්‍යුත් නාලිකා. ඔවුන් ගමේ දායක දායිකාවන්ගේ මුදල් හා අනෙකුත් පිරිකර ලබාගෙන වෙනත් ගම්වලට දෙන විට ගමේ පන්සල දුප්පත් වී වල්බිහිවෙන්න පටන් ගන්නවා. දායකයා පන්සලට එන්නේ නැහැ. නමුත් පින් කරනවා කියා සිතනවා.
විහාරස්ථාන භෞතික දියුණුව දායකයින් මගින් ඇති කිරීමයි වැදගත්. නැතිව භක්තිවාදයේ ප්‍රතිඵල එළිදැක්වීමට සහාය දීම නොකළ යුතුයි.
අටපිරිකර පූජාවලට ජනතාව පෙළඹුවත් ඇත්තෙන්ම අටපිරිකර භාවිතා කරන්නේ කවුද කවුරුත් නැහැ. මූලධර්ම ඛණ්ඩනය නොවන පරිදි භික්ෂූ ශරීරයට ප්‍රමාණවත් ලෙස ආකෘතියකට අනුව මසන සිවුරු අටපිරිකර තුළ නැහැ. ඒ වගේම දැලි පිහියා වැනි දේ අද වන විට භාවිතා වන්නේ බොහෝම අඩු මට්ටමකින්.
අටපිරිකරක් පූජා කර ගන්න වත්කමක් නැති පුද්ගලයා ඒ පිළිබඳ තැවෙන ආකාරයට සමාජ මතය සකස්වෙලා. අටපිරිකර පූජාව නරක නැහැ. නමුත් අනවශ්‍ය ලෙස ඒවා ඉස්මතු කිරීමෙන් සිදුවන සමාජ හානිය පිළිබඳව විමසිලිමත් විය යුතුයි.
මෙවැනි දේට වැය කරන කෝටි ගණන් මුදල් බෞද්ධයාත්, බෞද්ධ ආයතනයත්,  මනුෂ්‍ය  චින්තනය හැඩ ගැස්වීමටත් උපයෝගී කර ගත හැකියි.
භක්තිවාදය සමාජගත වීමෙන් රටටත් සමාජයටත්  යහපතක් සිදුවන්නේ නැහැ නේද හාමුදුරුවනේ ?
භක්තිවාදයේ ආදීනව පිළිබඳව අපට මෑතකදී අසන්නට ලැබුණේ සෞදි අරාබියෙන්. එරට සේවයට ගිය ශ්‍රී ලාංකිකයෙක් බුදුන් වැඳීම නිසා කස පහරදී මෑතකදී නැවත ශ්‍රී ලංකාවට පිටුවහල් කර තිබුණා.
පළමුවෙන්ම බුදුදහම කියන්නේ ඇදහිල්ලක් නොවේ. වෙනත් රටකට ගිය විට ඒ රටේ සංස්කෘතියට හා නීතියට අනුගතව ජීවත්වීමට බෞද්ධයන් දැනගත යුතුයි. බුදුන් දේශනා කළේ යදින්න නොවෙයි.
පංචශීලය අනුගමනය කරන්න, හිංසා නොකරන්න ආදී වශයෙන් දේශනා කළ බුදුන් වහන්සේගේ ධර්මය ඕනෑම සමාජයකට ඔබිනවා. කස පහර කෑවේ බුදුදහම  පිළිබඳ නිසි අවබෝධයක් නොමැතිකමින්.
බුදුදහමේ පදනම විශ්ව ප්‍රවිෂ්ටයයි. මෑත භාගයේ උදාහරණ මගින් පෙනෙන්නේ ධර්මය නිවැරදිව සමාජගත නොවන බවයි.
බෞද්ධයා විසින් බුදු දහමට අනුව ජීවත්වීම හා ජීවත්වන ආකාරය බෞද්ධයාගේ මනස විනිවිද යැවිය යුතුයි.
හාමුදුරුවනේ, එළැඹෙන වෙසක් සමයේ බෞද්ධ කොඩියට නිසි ගෞරවය ලබාදීමත් සිදුවිය යුතුව තිබෙනවා නේද?
ඇත්ත. පූජාවකින් සිදුකෙරෙන අකුසල මූලධර්ම නැසීමේ අදහස ජනතාව තුළ නැහැ. වෙසක්වලට තොරණක් හදනවා. හැමදාම දුන්න දන්සල දෙනවා ආදී ලෙස සිතීම වෙනුවට සැබෑ අරමුණු ඇතිව ආමිස පූජාවේ යෙදීමයි වැදගත්  වන්නේ.
දන්සල්වල බෞද්ධ කොඩිය භාවිත කරන්නේ වාහන නැවැත්වීමට. බෞද්ධ කොඩිය එසවීමේ ප්‍රමිතියක් තිබෙනවා. කොඩියෙන් සංකේතවත් කරන සිද්ධාන්තයක්ද තිබෙනවා. ඒ දේවලට හානි නොවන ලෙස නීතිගරුකව කටයුතු කිරීමට මනුෂ්‍යා දැන ගත යුතුයි. දැන් ඒ වෙනුවට කහ කොඩියක් ඔසවන්න කියා බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව උපදෙස් දී තිබෙනවා. එය ඉතා කාලෝචිතයි.

රන්මලී සෝමසිරි

//www.lakbima.lk/index.php?option=com_content&view=article&id=10094:2013-05-21-08-42-21&catid=58:urumaya&Itemid=80