Home » පුවත් පත් ප්‍රකාශන » චිත්‍රපට රඟනවා වගේ සැබෑ ජීවිතයේ වැඩ කරන්න බෑ – හෑගොඩ විපස්සි හිමියෝ කියති

චිත්‍රපට රඟනවා වගේ සැබෑ ජීවිතයේ වැඩ කරන්න බෑ – හෑගොඩ විපස්සි හිමියෝ කියති

lakbimalogo
නව රජයේ දේශපාලනඥයන් හා සිවිල් පුද්ගලයන් කිසිදු විචාරයකින් තොරව යම් යම් ස්ථාන වැටලීම්  කර මාධ්‍යයට රඟ දැක්වීම් කිරීමෙන් ජනතාව ඉතා ඉක්මනින් රජය කෙරෙහි කලකිරීමට ඉඩ ඇතැයි රත්මලාන ධර්ම පර්යේෂණාලයේ අධ්‍යක්ෂ හෑගොඩ  විපස්සි හිමියෝ පවසති. සාමාන්‍ය ස්ථාන පමණක් නොව බෞද්ධ විහාරස්ථාන පවා වැටලීම දැන් ඇතැමුන්ගේ විලාසිතාව වී ඇතැයිද උන්වහන්සේ පවසති.
මේ සම්බන්ධයෙන්  ප්‍රකාශයක් කළ හෑගොඩ විපස්සි හිමියෝ.
ඇතැම් අයගේ අපරිණත භාවය නිසා රජය අපකීර්තියට පත්වීමේ අවදානමක් තිබෙනවා.  චිත්‍රපට රඟපානවා වගේ සැබෑ ජීවිතයේදී ක්‍රියා කරන්න බැහැ. පසුගිය කාලය පුරාත් ඇතැම් අපරිණත අයට ඉහළ තනතුරු ලැබිම නිසා විශාල හානි සිදුවුණා. ඒ හේතුවෙන් තමයි දූෂණ  වංචා” ගසා කම් වැඩිවුණේ.
රජ්‍යතන්ත්‍රික ක්‍රියාවන්වලදී පරිනතභාවයක් තිබිය යුතුයි. විමසිල්ලෙන් ක්‍රියා නොකළොත් හානිය සිදුවන්නේ  රජයටයි. මෑතකදි  බොරැල්‍ලේ වාහන ගාලක් පරීක්ෂා  කිරීම, රුසියන් තානාපති කාර්යාලයේ  ඉඩමක් පරීක්ෂා කිරීම වගේම ඉඹුල්ගොඩ භාවනා මධ්‍යස්ථානයක් වැටලීම් වැනි මාධ්‍ය සංදර්ශන  කිහිපයක් අප දුටුවා. අන්තිමට ඒ සියල්ල කිසිදු විමසිල්ලකින්  කළ ඒවා නොවන  බව පෙනී ගියා.
විචාරශීලීව ක්‍රියා නොකළහොත් යහපාලනය ඉදිරියට ගෙන යා නොහැකි වේවි.
“පඤ්ඤා සුතවිනිච්ඡතී” යනුවෙන් බුදුරජාණන්වහන්සේ දේශනා කොට තිබෙනවා. ඒ කියන්නේ ඇසූ දෙය නිශ්චය කර ගැනීමෙහිලා ප්‍රඥාව ඉවහල් කර ගත යුතු බවයි. ඇසූ පමණින් යමක් නොකළ යුතු බවයි ඉන් කියන්නේ.
කඩා පනින හමුදාවලින්  වගේ  මේ වකවානුව තුළ විවිධ ආකාරයෙන් විහාරස්ථානයන් වැටලීම සිදු කරනවා. අති සුඛෝපභෝගී ලෙස විහාරස්ථාන හදනවා කියලා ජනතාව අතර වැරදි මතයක් ඒ තුළින් ගොඩනගන්න හදනවා. මිහිඳු  මාහිමියන් ලංකාවට  වැඩම කොට  බුදු දහම
ප්‍රතිෂ්ඨාපනය කරපු දවසේ ඉඳන්ම  රාජ්‍ය අනුග්‍රහයෙන් සහ ‍පොදු මහජනතාවගේ පරිත්‍යාග වලින් පූජා වලින් මහා විසල් ආරාම සකස් කරලා පූජා කරලා තියෙනවා. බුදුරජාණන් වහන්සේ වැඩ සිටින අවධියේ ජේතවනාරාමය වගේ මහ වෙහෙර ඉදි වුණා. මහා අලංකාර  ලෙස එම විහාරස්ථාන ඉදි කරන විශාල ධනස්කන්ධයක් වැය කොට  තිබෙනවා. මේ විධිහට ගියොත් මේ අය දළදා මාලිගාවටත් කඩා පැන වටලන්න බැරි නැහැ.
අනුරාධපුර යුගයේ භික්ෂූන් වහන්සේ භාවිතා කළ වැසිකිළි පරීක්ෂා කළොත් වැසිකිළි වළවල් වල කට වල පවා කැටයම් කපා තිබුණා. ඒවා මහජනතාව  කළේ. අදත් ‍පොදු ජනතාව සල්ලි වියදම් කරලා විහාරස්ථාන  හදනවා. වැටලීම්   කළ යුතු භයානක තැන් කොච්චර තියෙනවද. මහා දූෂණ කළයි කියන අය නිදැල්‍ලේ හැසිරෙනවා. කළ යුතු දේවල් නමෛයි දැන් සිද්ධ වෙන්නේ. වැටලීම් කරන්න ඕන දේවල් වහන්න කරන දේවල් ද මේ කියා සිතෙනවා. (ලක්බිම)
2015 පෙබරවාරි 09 12.35 a.m
(ජනක හෙට්ටිආරච්චි)