Home » පුවත් පත් ප්‍රකාශන » මාර්ග ඵල ලැබීමට හේතුවන නොසැලෙන ශ්‍රද්ධාව

මාර්ග ඵල ලැබීමට හේතුවන නොසැලෙන ශ්‍රද්ධාව

සෝවාන් වීම පිළිබඳ ධර්මානුකූල විවරණය 12

ශ්‍රද්ධාව පිළිබඳ සංක්‍ෂිප්ත විවරණයක්‌ අප පසුගිය කලාපයෙන් සිදු කරනු ලැබුවා. ඒ සඳහා පදනම් වූයේ ථෙරවාදී න්‍යායයි.

අද අප තවදුරටත් ශ්‍රද්ධාව පිළිබඳ සරල පැහැදිලි කිරීමක්‌ ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන්නේ එහි ඇති වැදගත්කම නිසාමයි.

පමණක්‌ අපට මාර්ගඵලාභී තත්ත්වයට පත් වෙන්න බැහැ. එනිසා ඉන් එහාට යා යුතුයි.

පමණක්‌ අපට මාර්ගඵලාභී තත්ත්වයට පත් වෙන්න බැහැ. එනිසා ඉන් එහාට යා යුතුයි.

ශ්‍රද්ධාව යනු කොහේ හෝ තියෙන දෙයක්‌ද? නැතිනම් එය අප ළඟ තියෙන දෙයක්‌ද? නැත්නම් එය අප උපදවා ගන්නේ කෙසේද? යන්නත් ඒ වගේම සෝවාන් මාර්ගඵලලාභී තත්ත්වයට පත්වීමට ශ්‍රද්ධාව කෙසේ නම් උපයෝගී වේද? සෝවාන්වීමේදී ශ්‍රද්ධාව නැතිවේද? නැතිනම් එය තවදුරටත් පවතී ද යන කාරණා විමසා බැලීම ඉතා වැදගත්.

ශ්‍රද්ධාව යනු විශ්වාසයයි. බෞද්ධයන් වශයෙන් බුදුරජාණන් වහන්සේ කෙරේ පවතින අචල විශ්වාසය ශ්‍රද්ධාව ලෙස හඳුන්වා දීමට පුළුවන්. ශ්‍රද්ධාව යන්න බෝධි පාක්‍ෂික ධර්මයක්‌ ලෙසත්, චෛතසිකයක්‌ ලෙසත්, ඒ වගේම තවත් තැන්වල විවිධ ආකාරයෙන් විවරණය කර තිබෙනවා. සූත්‍ර පිටකයේ ඇතැම් තැන්වල සෝවාන් ආදී මාර්ගඵලලාභී උතුමකුගේ සිත තුළ පවතින ශ්‍රද්ධාවක්‌ ගැනත් සාකච්ඡා කර තිබෙනවා.

ඒ වගේම ශ්‍රද්ධාව පිළිබඳ ඉතා හොඳ විවරණයක්‌ අභිධර්මයේදී දැනගැනීමට පුළුවන්.

එම විවරණයට අනුව ශ්‍රද්ධාවේ ලක්‍ෂණ දෙකක්‌ හඳුන්වා දෙනු ලබනවා. සම්පසාදන සහ සමපක්‌ඛන්ධන යනු එම ලක්‍ෂණ දෙකයි.

ශ්‍රද්ධාව යනු බුද්ධාදී අරමුණු කෙරෙහි බුදුරජාණන් වහන්සේ අරමුණු කොටගෙන ඒ හා යෙදුණු සම්ප්‍රයුක්‌ත ධර්මයන් පිළිබඳ ඇතිවන විශ්වාස, ස්‌වභාවය ශ්‍රද්ධාවයි. එම ශ්‍රද්ධාවේ සම්පසාදන ලක්‍ෂණය මෙම සාම්ප්‍රදායික උපමාව ඔස්‌සේ තේරුම් ගැනීමට පුළුවන්.

සක්‌විති රජුගේ උදකප්ප්‍රසාද මාණික්‍යය කැලැල් ජලයට දැමූ විට මඩ සෙවල පහව ජලය ප්‍රසන්න භාවයට පත්වෙයි. එලෙසම, ශ්‍රද්ධාව සිතේ ඇති වූ විට කෙළෙස්‌ නිසා වික්‌ක්‍ෂිප්ත වූ අපේ සිත ප්‍රසන්නභාවයට පත්වෙනවා.

මෙයට තවත් උදාහරණයකින් මෙසේ පැහැදිලි කර ගැනීමට පුළුවන්.

කැළඹුණු ජලයට ක්‌ලෝරීන් එක්‌ කළ විට එම ජලය හොඳින් පිරිසිදු වෙනවා. ශ්‍රද්ධාව යනු ශෝභන චෛතසිකයන්ගෙන් එකක්‌. මෙම ශ්‍රද්ධාව සිතේ ඇති වූ විට අපගේ සිතේ විසිරුණු ස්‌වභාවය නැතිවී සිත සන්සුන් කරනවා. ක්‌ලෝරීන් ජලයට එක්‌වූ විට එම ක්‌ලෝරීන් නැතිවෙන්නේත් නැහැ. නමුත් ක්‌ලෝරීන් එක්‌කිරීම නිසා ජලය පිරිසිදු වෙනවා. එහි තිබූ රොන් මඩ ජලයේ යට තැන්පත් වෙනවා. ශ්‍රද්ධාව නිසා කෙළෙස්‌ සම්පූර්ණයෙන්ම නැතිවෙන්නේ නැහැ. නමුත් ශ්‍රද්ධාව නිසා කෙළෙස්‌ යටපත් වීමක්‌ සිදු වෙනවා. යටපත් වූ මෙම කෙළෙස්‌ ඉස්‌මතුවීමටත් පුළුවන්. මෙය තමයි, ශ්‍රද්ධාවේ සම්පසාදන ලක්‍ෂණය ලෙස අභිධර්මයේදී පෙන්වා දෙනු ලබන්නේ.

මීළඟට අප ශ්‍රද්ධාවේ සමපක්‌ඛන්ධන ලක්‍ෂණය යන්න කුමක්‌දැයි තේරුම් ගැනීමට උත්සාහ කරමු.

දැති මෝරුන්ගෙන් ගැවසී ගත් විලකට බසින්නට බයේ මිනිසුන් පිරිසක්‌ රැස්‌ව සිටින විට, එක්‌තරා වීර පුරුෂයෙක්‌ එතැනට පැමිණ කඩුවක්‌ රැගෙන මිනී කන මෝරුන් මරා දමමින්, බියෙන් වෙවුලා ගිය මිනිසුන් විලෙන් එතෙර කරනු ලැබීය. මෙම නිදසුනේ පෙන්වා දෙන අයුරින් ශ්‍රද්ධාවේ ලක්‍ෂණ ක්‍රියාත්මක වෙනවා. ශ්‍රද්ධාව සිතේ ඇති වූ විට මහා ශක්‌තියක්‌, බලයක්‌, තමන්ගේ ජීවිතයට ලැබෙනවා. වෙනදාට නැති උෙද්‍යාaගයකින්a යුතුව ක්‍රියා කරනවා. පොහොය දවසට පන්සලක ඝණ්‌ඨාර නාදයක්‌ ඇසෙද්දී වයෝවෘද්ධ අපේ උපාසක, උපාසිකා, පියවරු, මෑණිවරු වෙනදා නැති ශක්‌තියකින් නැඟී සිටිනවා. ඇඳෙන් බැස බුදුන් වඳින්නට පන්සල වෙත යන්න ඕනෑ කියා නැඟී සිටිනවා. සිල් සමාදන් වීමට සැරසෙනවා. ශ්‍රද්ධාව නිසා මහා පිබිදීමක්‌ ඇති වෙනවා. මනුෂ්‍යයාගේ ස්‌වභාවය අනුව වයසට යැමත් සමඟ කායිකව පිරිහෙනවා. සිත දුර්වල වෙනවා. නමුත් වෙසක්‌ දවසට හෝ පොහොය දවසට ශ්‍රද්ධාවෙන් සිත පිරී ගිය විට වයසට ගියත් අපේ උපාසක උපාසිකාවෝ වෙනදා නැති ශක්‌තියකින් නැඟී සිට ආගමික කටයුතුවල නිරත වෙනවා. සිල් සමාදන් වෙනවා. ශ්‍රද්ධාව සමඟ ඇතිවන මෙම ශක්‌තිය සමපක්‌ඛන්ධන ලක්‍ෂණය ලෙසයි හඳුන්වන්නේ.

බෝධිය යනු අවබෝධයයි. නිවන අවබෝධ කරගත යුතු පුද්ගලයා කරුණු 37 කින් යුක්‌ත විය යුතුයි. සත්තිස්‌ බෝධිපාක්‍ෂික ධර්ම ලෙස හඳුන්වනුයේ එයයි. මෙම බෝධිපාක්‍ෂික ධර්මවල බල පහක්‌ ඇති බව බුදුදහමෙහි පෙන්වා දෙනවා.

සද්ධා බල, විරිය බල, සති බල, සමාධි බල සහ පඤ්ච බල යනු එම බල පහයි. මෙය පංච බල බෝධිපාක්‍ෂික ධර්මවල එක්‌ කොටසක්‌. මෙහිදී ශ්‍රද්ධා යන්නත් බලයක්‌ ලෙස හඳුන්වා දී තිබෙනවා.

මේ සමාජයේ නම් ධනයත් එක්‌තරා බලයක්‌. දේශපාලන වශයෙන් පවතින බලයකුත් තියෙනවා. නමුත් මේ බලය ඊට වඩා ශ්‍රේෂ්ඨයි. අපි පෙන්වා දුන් පංච බලවලින් සමාජයේ ගැටුමක්‌ ඇතිවන්නේ නැහැ. වීර්යය යනු ශක්‌තිය හා ධෛර්යයයි. මෙම බලය උපයෝගී කර ගත යුත්තේ සමාජයේ මිනිසුන්ට පහරදීමට, සොරකම් කිරීමට, මිනී මරන්නට නොවේ. තමාගේ ශක්‌තිය යොදා ගත යුත්තේ සමාජයේ යහපත්ව නැඟී සිටීමටයි. ශ්‍රද්ධාව බලයක්‌ ලෙස තම ජීවිතයට එක්‌කර ගැනීමෙන් තමාටත් සමාජයටත් වන්නේ විශාල යහපතක්‌. ශ්‍රද්ධාව ඇති වූ පුද්ගලයා තමන්ගේ දුර්වලතා නැති කර ගන්නවා. ඔහු සමාජයට වෛර කරන්නේ නැහැ. තණ්‌හාවෙන්, කාමයෙන් පීඩිත පුද්ගලයකු බවට පත්වන්නේ නැහැ. ශ්‍රද්ධාව නිසා සෞම්‍ය මිනිසකු මේ සමාජයට නිර්මාණය වෙනවා.

මෙම කරුණු අධ්‍යයනය කිරීමේදී අපට හොඳින් පැහැදිලි වෙනවා, ශ්‍රද්ධාව වරෙක බෝධි පාක්‍ෂික ධර්මතාවක්‌ ලෙස ක්‍රියාත්මක වෙනවා. අභිධර්මානුකූල විග්‍රහයට අනුව චෛතසිකයක්‌ ලෙස ශ්‍රද්ධාව පවතිනවා. ක්‍රියාත්මක වෙනවා. එකම දේ ආකාර දෙකකට විස්‌තර කර ඇති ආකාරයයි, අප මින් අවබෝධ කරගත යුත්තේ.

අප මීට ප්‍රථමත් සඳහන් කළා. අමූලික හා ආකාරවතී යනුවෙන් ශ්‍රද්ධාව කොටස්‌ දෙකකට බෙදෙන බව. අමූලිකව, වග විභාගයකින් තොරව ගන්නා ශ්‍රද්ධාව බුදුදහමේදී ප්‍රතික්‍ෂේප කරනවා.

ශ්‍රද්ධාව නිසා අප විවිධ මත දරන්aන පුළුවන්. සමහර පුද්ගලයන් විවිධ බල තියෙන බව පවසමින් තමන්ට රෝගීන් සුවපත් කළ හැකි බව පවසනවා. ඔවුන්ව අදහන විශ්වාස කරන අය ඔවුන් කරා යනවා.

මෙයත් එක්‌තරා විදිහක ශ්‍රද්ධාවක්‌. ඔවුන් කියන දේ විශ්වාස කරමින් ඔවුන්ව අදහන නිසයි. ඇතැම් මිනිසුන් එවැනි පුද්ගලයන් කරා යන්නේ. තමන්ට කායික රෝගයක්‌ තිබුණොත් මානසිකව එය යටපත් කරගත හැකියි. නමුත් එය තාවකාලිකයි. යාඥ කිරීමකින් හෝ වෙනත් බලයකින් කායික රෝග සුව කරන්න බැහැ. අවසානයේදී එවැනි පුද්ගලයකුට වෙන්නේ සැබෑ වෛද්‍යවරයකු හමුවී ප්‍රතිකාර ලබා ගැනීමටයි. නැතිනම් රෝහල්ගත වීමටයි. මෙලෙස අන්ධ භක්‌තියෙන් ක්‍රියාත්මක ශ්‍රද්ධාව බුදුදහමේදී පිළිගන්නේ නැහැ. විමර්ශනශීලීව සිතන ආකාරවතී ශ්‍රද්ධාවයි බුදුදහමේදී අනුමත කරන්නේ.

සමහරු මල් දහස්‌ ගණනින් කෝටි ගණනින් පූජා කරනු ලබනවා. මේ දේවල් සිද්ධ වෙන්නෙත් ශ්‍රද්ධාව නිසායි. නමුත් මල් පූජා කිරීමෙන් පමණක්‌ අපට මාර්ගඵලාභී තත්ත්වයට පත් වෙන්න බැහැ. එනිසා ඉන් එහාට යා යුතුයි.

“සද්ධා ජාතෝ උපසංකමති”… ශ්‍රද්ධාව නිසා එළඹෙනවා. “උපසංකමති පයුරුපාසති යනාදී වශයෙන් ශ්‍රද්ධාව නිසා ඇති කරගත් එළඹීම ඉදිරියට ගෙනයා යුතුයි. ඒ නිසා සච්චානුරක්‌ඛනය යනුවෙන් ශ්‍රද්ධාවේ ලක්‍ෂණයන් දක්‌වා තිබෙනවා.

යම් අදහසක්‌ ලැබුණු විට සත්‍යයයි කියලා පිළිගන්නෙත් නැහැ. අසත්‍යයයි කියලා බැහැර කරන්නෙත් නැහැ. එහි සත්‍යය අසත්‍යය හෙළිවෙනකම් එම දෙය ආරක්‍ෂා කරනවා. අන්න ඒ දේ තමයි ශ්‍රද්ධාව කියන්නේ. බුදු දහමෙන් උගන්වන්නේ ඒ දෙස විමර්ශනශීලීව බැලීමටයි.

අපි කලින් සඳහන් කළ “උපන්‍යායය” කියලා දෙයක්‌ ශ්‍රද්ධාව තුළ පවතිනවා කියා. උපන්‍යායය යනු යමකට හේතුවන දෙයයි. මෙම ශ්‍රද්ධාව ඇති වූ විට යමක්‌ කෙරේ ඇති වූ පැහැදීම ඇත්තම කියා පිළිගන්නෙත් නැහැ. ඇත්ත නොවෙයි කියා බැහැර කිරීමක්‌ සිදු වන්නෙත් නැහැ. ඇත්ත හෙළිවෙනකම්, යථාවබෝධය ඇති වන තුරු එම දෙය ආරක්‍ෂා කර ගන්නවා. මෙයම තමයි ආකාරවතී ශ්‍රද්ධාව යනුවෙන් සඳහන් කරන්නේ.

යම් ශිෂ්‍යයෙක්‌ පාසලක පළමු වසරේ සිට පස්‌වැනි වසර දක්‌වා ඉගෙනුම ලබන ලබනවා කියල හිතමුකෝ. එතකොට එම දරුවාට ඔහුගේ ලෝකයේ ද දැවැන්ත චරිත බවට පත්වෙන්නේ එම ගුරුවරුයි. එම ශිෂ්‍යා පස්‌වෙනි වසරේ සිට ක්‍රමයෙන් සාමාන්‍ය පෙළ උසස්‌ පෙළ දක්‌වා ඉගෙනුම ලබනවා. එම දරුවාට දැන් දැවැන්ත චරිත බවට පත්වෙන්නේ පහ වසර දක්‌වා ඉගැන්වූ ගුරුවරු නොවෙයි. දැන් ඔහු ඊට එහා ගිය දැවැන්ත චරිත දකිනවා. එම ශිෂ්‍යයා විශ්වවිද්‍යාලයට ගිය විට ඔහුට දැවැන්ත චරිත ලෙස පෙනෙන්නේ එහි සිටින කථිකාචාර්යවරු සහ මහාචාර්යවරුයි. උපාධියෙන් පසුව එම ශිෂ්‍යයා පශ්චාත් උපාධියක්‌ කරන්න ගියොත් ඔහුට එතනදී ඊටත් එහා ගිය ප්‍රවීණ ආචාර්යවරු, මහාචාර්යවරු, මුණගැසේවි. එවිට එම ශිෂ්‍යයාට හිතෙන්න පුළුවන්. මෙම ආචාර්යවරුන්ට, මහාචාර්යවරුන්ට සාපේක්‍ෂව අනෙක්‌ ආචාර්ය, මහාචාර්යවරු, සහ ඊට පහළින් සිටි ගුරුවරු මොනවද දන්නේ කියා. ශ්‍රද්ධාවේ ස්‌වරූපය උපන්‍යාසයක්‌ ලෙස දැක්‌වුයේ මෙම ලක්‍ෂණය නිසයි. යමක්‌ අවබෝධ කර ගන්නා තුරු වැටහෙනකම් ඒ දේ විශ්වාස කරනවා. එම වැටහීමත් සමග ඇතිවෙන සංකල්පයක්‌ තියෙනවා. එම සංකල්පයත්, සිතුවිල්ලත් යළිත් වෙනස්‌ වෙන්න පුළුවන්. ශ්‍රද්ධාවේ නියම ස්‌වභාවය මෙයයි. නමුත් යම් පුද්ගලයෙක්‌ සෝවාන් මාර්ග ඵලලාභී තත්ත්වයට පත් වූ විට මෙම තත්ත්වය නැති වෙනවා. එතැනදී අචල ගුණ දැක පැහැදීමක්‌ ඇති වෙනවා.

කෙසේ හෝ වේවා අප ප්‍රායෝගිකව ජීවත් වන විට අපට මෙම ශ්‍රද්ධාව අවශ්‍ය වෙනවා. එය ජීවිතයට වැදගත් වෙනවා. නමුත් අප කලිනුත් සඳහන් කළ ආකාරවතී ශ්‍රද්ධාවෙන් තොරව කටයුතු නොකර අමූලික ශ්‍රද්ධාවෙන් කටයුතු කළහොත් එම ශ්‍රද්ධාව නිසාම කපටින්ගේ, වංචනිකයන්ගේ බසට අප රැවටීමට ඉඩකඩ තියෙනවා.

පොදු සමාජය ගත් විට මිනිසුන් විමර්ශනශීලීව කටයුතු නොකිරීම නිසා මොනතරම් නම් විපත්වලට පත්වෙනවාද? ශ්‍රද්ධාව (විශ්වාසය) පෙරදැරි කරගෙන දේශපාලනික වශයෙන් හෝ ආගමික වශයෙන් හෝ අන්ධානුකරණයෙන් කටයුතු කළහොත් අපට දියුණුවක්‌ ලබන්න වෙන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ දේශනා කළ ආකාරයට ශ්‍රද්ධාව (විමර්ශනශීලීව යමක්‌ විශ්වාස කිරීම) පෙරදැරි කරගෙන කටයුතු කිරීමෙන් පමණයි, අපට භෞතික මෙන්ම ආධ්‍යාත්මික දියුණුවක්‌ ලබාගත හැක්‌කේ.

සෝවාන්ඵලලාභී උත්තමයකුගේ ද ශ්‍රද්ධාව කෙබඳු එකක්‌ද යන්නත් මෙහිදී අපි තේරුම් ගත යුතුයි.

ශ්‍රද්ධාව කියන්නේ චෛතසිකයක්‌. එය ඕනෑම කෙනෙකුට පොදුයි.

චෛතසිකයට ජාති බේදයක්‌ නැහැ. ඒ වගේම ආගම් බේදයක්‌ නැහැ. එම චෛතසිකයට කුල මල බේදයක්‌ නැහැ. චෙතසිකයන්ගේ ස්‌වභාවය අනුවයි, ඒ ඒ මතිමතාන්තර පිළිගන්නේ. ක්‍රිස්‌තියානි ආගම ගත්විට ප්‍රශ්න නොකළ යුතු අවස්‌ථා තුනක්‌ දක්‌වනවා. ඒ වගේම ඉස්‌ලාම් භක්‌තිකයන්ගෙන්ද ප්‍රශ්න නොකළ යුතු අවස්‌ථා සඳහන් කර තිබෙනවා. හින්දු දර්ශනයෙත් ඒ වගේ දේවල් තියෙනවා. නමුත් බුදුදහමේ එහෙම දෙයක්‌ නැහැ. බුදු දහමේ හැම දෙයක්‌ම ප්‍රශ්න කළ හැකියි. භක්‌තිය පමණක්‌ නොවෙයි ඉන් එහා ගිය දෙවල් පවා විමර්ශනාත්මකව ප්‍රශ්න කිරීමට බුදු දහමේ ඉඩකඩ විවර කරදී තිබෙනවා. එනිසාම බුදු දහමේ පෙන්වාදෙන ශ්‍රද්ධාව අන් ආගම්වල දක්‌වන ශ්‍රද්ධාවට සමාන වන්නෙත් නැහැ.

සෝවාන් වූ උතුමකුටත් මෙම චෛතසිකය තියෙනවා. සෝවාන් මාර්ගඵලලාභී තත්ත්වයට පත්වූ විට එම උතුමන්ගේ සිතේ පවතින්නේ, ගුණ දැන ඇති වූ පැහැදීමකුයි.

එය අචලයි. එතැන පවතින්නේ “අචෙච්චප්පසාදෙන” ශ්‍රද්ධාවයි. එනම් ගුණ දැනගෙන ඇති වෙන පැහැදීමයි.

මෙම තත්ත්වය සංයුක්‌ත නිකායේ බ්‍රහ්මචරීයෝග සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ දේශනා කර තිබෙනවා.

බුදුරජාණන් වහන්සේ කෙරෙහි අචල පැහැදීමක්‌ හා දැනීමක්‌ ඇති බව, ධර්මය කෙරෙහි අචල දැනීමක්‌ හා පැහැදීමක්‌ ඇති බව සංඝරත්නය කෙරෙහි අචල පැහැදීමක්‌ හා පිළිගැනීමක්‌ ඇති බව උසස්‌ කොට නොකඩ කොට ගත් සීලයක පිහිටා සිටීම සෝවාන් උතුමකුගේ සිතේ ස්‌වරූපයයි. සෝතාපත්ති අංග කියා මේවා තවත් තැනක සඳහන් වෙනවා. එවන් සෝවාන් උතුමකුගේ ශ්‍රද්ධාව ක්‍රියාත්මක වන අයුරුයි මින් පෙන්වා දෙනු ලබන්නේ.

වැඩිදෙනාගේ අවබෝධය පිණිස බ්‍රහ්මචරියෝ සූත්‍රය මෙසේ උපුටා දැක්‌වීමට කැමැත්තෙමු

චතුහි භික්‌ඛවෙ, ධමෙම්හි සමන්නාගතො අරියසාවකො සොතාපනෙනා හොති අවිනිපාතධමේමා නියතො සමේමාධිපරායණො. කතමෙහි චතුහි? ඉධ භික්‌ඛවෙ, අරියසාවකො බුදේධ අවෙච්චප්පසාදෙන සමන්නාගතො හොති( “ඉතිපි සො භගවා අරහං-පෙ-සත්ථා දෙව මනුස්‌සානං බුදේධා භගවා ති. ධමේම අවෙච්චප්පාසාදෙන සමන්නාගතො හොති “ස්‌වාක්‌ඛාතො භගවතා ධමේමා -පෙ- පච්චත්තං වෙදිතබෙබා වි­හී”ති. සඛෙඝ අවෙච්චප්පාසාදෙන සමන්නාගතො හොති. “සුපටිපනේනා භගවතො සාවකසඬෙඝා -පෙ- අනුත්තරං පුඤ්ඤකෙඛත්තං ලොකස්‌සා”ති. අරියකනෙතහි සීලෙහි සමන්නාගතො හොති අඛණෙඩහි -පෙ- සමාධිසංවත්තනිකෙහි. ඉමෙහි ඛො භික්‌ඛවේ, වතුහි ධමේමහි සමන්නාගතො අරියසාවකො සොතාපනේනා හොති අවිනි අවිනිපාතධමේමා නියතො සම්ඛාධිපරායණොති. ඉදමවොච භගවා, ඉදං වත්වා සුගතො අථාපරං එතදවොච සත්ථා

යෙසං සද්ධා ච සීලඤ්ච සපාදො දම්මදස්‌සනං

තෙ වෙ කාලෙන පච්චත්ති බ්‍රහ්මවරියොගඨං සුඛන්ති

හේතුව–

මහණෙනි, සිවුදහමින් යුතු අරීසවුතෙමේ විවස ව නොවැටෙන සුලු නියත වූ සම්බොධිය පිහිට කොට ඇති සෝවාන් වේ. කවර සිවු දහමින් ද යත්( මහණෙනි, මෙහි රිසවු තෙමේ “ඒ භාග්‍යවතුන් වහන්සේ මෙකරුණෙනුදු අර්හත් හ…. දෙවිමිනිසුන්ට ශාස්‌තෘහ. බුද්ධ හ. භගවත් හ”යි. බුදුරජාණන් වහන්සේ කෙරෙහි ගුණ දැන පැහැදීමෙන් යුතු වෙයි. “භාග්‍යවතුන් වහනසේ විසින් ධර්මය ස්‌වාඛ්‍යාත ය… නුවණැත්තවුන් විසින් තම තමන් කෙරෙහි ලා දත යුතු”යි. ධර්මය කෙරෙහි ගුණ දැන පැහැදීමෙන් යුතු වෙයි. “භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවකසංඝතෙමේ සුප්‍රතිපන්නය. …ලෝකයාහට අනුන්තරපුණ්‍යකෂේත්‍ර ය”යි නො කඩවූ… සමාධිය පිණිස පවත්නා වූ ආයර්යකාන්ත ශීලයෙන් යුක්‌ත වූයේ වෙයි. මහණෙනි, මේ සිවු දහමින් යුතු වූ අරිසවු තෙමේ විවස ව නො වැටෙනසුලු නියත වූ සම්බෝධිය පිහිට කොට ඇති සෝවාන් වෙයි. භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක. සුගත වූ ශාස්‌තෘන් වහන්සේ මෙය වදාරා යළි මතු ද මෙය වදාළ සේක.

බුදුරජාණන් වහන්සේ කෙරෙහි ශ්‍රද්ධාවන් ආර්යකාන්තශීලයත් සංඝයා කෙරෙහි පැහැදීමත් ධර්මයෙහි පැහැදීමත් යම් කෙනෙකුන්ට වෙති නම් ඔහු බඹසරට ඇතුළත් වෙනු (පැනවන හා යෙදුනු) සුවයට සුදුසු කල්හි එකාන්තයෙන් පැමිණෙති යි.

පෘතග්ජන පුද්ගලයකු කොයිතරම් ශ්‍රද්ධාවට පත්වුවත් ඔහුට යම් යම් අවස්‌ථාවල දී බුදුරජාණන් වහන්සේ පිළිබඳව වේවා, නැත්නම් උන්වහන්සේගේ දේශනා කළ ධර්මය කෙරෙහි වේවා සැක ඇතිවෙන්න පුළුවන්. දැඩි අචල විශ්වාසයක්‌ පිටතට පෙන්නුම් කළත්, ඔහුට හෝ ඇයට ආධ්‍යාත්මික වශයෙන් බුදුරජාණන් වහන්සේ කෙරෙහි, ධර්මය කෙරෙහි ඇතිවීමට ඉඩකඩ තියෙනවා.

පෘතග්ජන පුද්ගලයකු භික්‍ෂුන් වහන්සේ නමකගෙන් බණ අසා යම් පැහැදීමක්‌ ඇතිකර ගන්න පුළුවන්. එම බණම තවත් ස්‌වාමින් වහන්සේ නමකගෙන් ඇසූ විට ඊටත් වඩා ඒ කෙරේ පැහැදෙන්න පුළුවන්. සමහර විට එම බණම තවත් භික්‍ෂුන් වහන්සේනමකගෙන් ඇසූ විට ඊටත් වඩා ඒ කෙරේ පැහැදෙන්න පුළුවන්. පෘතුග්ජන පුද්ගලයකුගේ ශ්‍රද්ධාව, පැහැදීම එසේ වරින් වර වෙනස්‌ වූවත් සොවාන් උතුමකුගේ ශ්‍රද්ධාව විටින් විට වෙනස්‌ වන්නේ නැහැ. එය අචලයි. සෝවාන් වනතෙක්‌ පුද්ගලයකු තුළ බුදුරජාණන් වහන්සේ කෙරෙහි ධර්මය කෙරෙහි පවතින විශ්වාසයට “ශ්‍රද්ධාව” ලෙස හැඳින්වූවත් ඉන් එහාට “ශ්‍රද්ධාව” යන්න සඳහන් වන්නේ නැහැ. ඉන් එහාට මෙම තත්ත්වය විස්‌තර කිරීමට දහමෙහි යෙදාගෙන තිබෙන්නේ අවේච්චප්පසාදං” යන වචනයයි.

මම මේ කාරණය ඒකාන්ත වශයෙන්ම කියන්නේ නැහැ. මේ පිළිබඳව ධර්මධරයන් මේ කරුණ ගැන තවදුරටත් විමසිය යුතු බවයි මගේ අදහස. අපි අවසාන වශයෙන් ඉදිරිපත් කළ කාරණය අටුවා හා සූත්‍ර අධ්‍යයනය කිරීමෙන් පසු ඉදිරිපත් කළ අදහසක්‌. මෙය වෙනස්‌ විය හැකියි. සෝවාන් ආදී මාර්ගඵලලාභී පුද්ගලයකුගේ සිතෙහි පවතින ශ්‍රද්ධව නැමති චෛතසිකය හදුන්වා ඇත්තේ “අවේච්චප්පසාදන්” ලක්‍ෂණ වශයෙන් (ගුණ දැන පැහැදීම) බව පැහැදිලියි. කෙසේ හෝ වේවා මේ පිළිබඳව ධර්මධර භික්‍ෂුන් වහන්සේලා සහ ධර්මධර ගිහියෝ ඉදිරිපත් කරන අදහස්‌ අප බලාපොරොත්තු වෙනවා. අපත් තවදුරටත් ඒ පිළිබඳව විමර්ශනය කිරීමට බලාපොරොත්තු වෙනවා.

රාත්මලාන ධර්ම පර්යේෂණාලයේ

හෑගොඩ විපස්‌සී හිමි