Home » පුවත් පත් ප්‍රකාශන » සනත්ගෙ නළු මහණකම ගැන

සනත්ගෙ නළු මහණකම ගැන

මෙරට ප්‍රවීණ චිත්‍රපට නළුවකු වූ සනත් ගුණතිලක හඟුරන්කෙත විමලරතන නමින් බුද්ධ ශාසනයේ පැවිදි වූ බව ඉකුත් සතියේ මාධ්‍ය වාර්තා කළේය. 

බෙන්තර හපුගොඩ ශ්‍රී මහා විහාරයේදී පසුගිය 22 දින පෙ.ව. 7.22ට යෙදුණු සුබ හෝරාවේ මේ පැවිදි පින්කම සිදුකර තිබිණි. කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමගි්‍ර ධර්ම මහා සංඝ සභාවේ වැඩබලන මහා නායක හා දක්‍ෂිණ පාර්ශ්වයේ උප සභාපති ආචාර්ය ඉත්තෑපානේ ධම්මාලංකාර නාහිමියන් වෙතින් සනත් ගුණතිලක මහතා පැවිද්ද ලබා ඇත. මෙහිදී හඟුරන්කෙත විමලරතන හිමියන්ගේ උපාධ්‍යායවරු ලෙස බෙන්තර විහාර පාර්ශ්වයේ ප්‍රධාන සංඝනායක හා විනිශ්චයකාරක සභාවේ ලේකම් ශාස්ත්‍රපති දෙදියවල තිලකසිරි හිමියන් හා එම සංඝ සභාවේම කාරක සභික නුගේගොඩ නාලන්දාරාමාධිපති තිනියාවල පාලිත හිමි කටයුතු කර තිබේ.

සනත්ගෙ නළු මහණකම ගැන

සනත්ගෙ නළු මහණකම ගැන

තිනියාවල පාලිත හිමියන් සනත් ගුණතිලක මහතාගේ හිස මුඩුකරන ආකාරයද මාධ්‍යවල දක්නට ලැබිණි. මේ සිදුවීමෙන් අනතුරුව සනත් ගුණතිලක ප්‍රකාශ කර තිබුණේ තමන් මෙසේ පැවිදි දිවියට ඇතුළත් වූයේ ඉදිරියේ නිපදවන චිත්‍රපටයක් වෙනුවෙන් පැවිදි දිවියේ ස්වභාවය අත්විඳගැනීම සඳහා බවය.

ස්වකීය සිනමා නිර්මාණය උදෙසා එවැනි කැපවීමක් කිරීම හොඳ සිනමාකරුවකුගේ යහපත් අභ්‍යාසයක්ය යන්න පිළිබඳ ගැටලුවක් නැත. එහි සිනමාත්මක ප්‍රතිඵලය අත්විඳිය හැක්කේ සනත් ගුණතිලක මහතා කියන සිනමා නිර්මාණය ‍ෙදාරට වැඩි දිනකය.

එහෙත් මේ තුළින් ලාංකේය සමාජය තුළ මතුකරන ගැටලුවක් තිබේ. එනම් මෙරට ථෙරවාදී බුදු සසුන සිනමා කර්මාන්තයේ අභිවෘද්ධිය සඳහා යොදාගැනීම කොතෙක් දුරට ආගමික හා ශාසනික පැත්තෙන් සාධාරණද යන්නයි.

අපි රත්මලාන ධර්ම පර්යේෂණාලයේ අධ්‍යක්‍ෂ හෑගොඩ විපස්සී හිමියන් වෙත මේ ප්‍රශ්නය ඉදිරිපත් කළෙමු. උන්වහන්සේ සමඟ කෙරුණු සංවාදය මෙසේය.

ස්වාමීන් වහන්ස චිත්‍රපට නළු සනත් ගුණතිලක මහතා සිනමා අභ්‍යාසයක් සඳහා සතියක කාලයක් තාවකාලික පැවිද්ද ලබා තිබුණා. මොකක්ද මේ තාවකාලික පැවිද්ද කියන්නේ?

පැවිදිවීම කියන්නෙ ලොකු පුණ්‍ය කර්මයක්. ඕන කෙනකුට පැවිද්ද ලබන්න පුළුවන්. නමුත් ලංකාවේ තාවකාලික පැවිද්ද කියල දෙයක් නැහැ. නමුත් සමහර ස්වාමීන් වහන්සේ උත්සාහ කරනවා අපේ රටෙත් ඔය තායිලන්තයේ වාගේ තාවකාලික පැවිද්ද කියන තත්ත්වයක් ඇතිකරන්න.

ඔබ වහන්සේ කියන්නේ ථෙරවාදි බුදුදහමෙ තාවකාලික පැවිද්ද ලැබීමේ සම්ප්‍රදායයක් නැති බවද?

තායිලන්තයේ තිබෙන්නෙත් ථෙරීය සම්ප්‍රදාය තමයි. බුදුන් වහන්සේ ජීවමාන කාලයේවත් මේ තාවකාලික පැවිද්ද කියල දෙයක් තිබුණේ නැහැ. කෙනෙක් පැවිදිවෙලා ඉන්නවා. තව දුරටත් ඒ තැනැත්තාට සිවුරු දරාගෙන ඉන්න බැරි නම් මහණකම දරන්න බැරි නම් සිවුරු හැර යනවා. ඒක ඕනෙ නම් තාවකාලික පැවිද්දක් හැටියට හඳුන්වන්න පුළුවන්.

දැන් මේ සනත් ගුණතිලක සතියකට මහණ වුණා වාගේ නැවත සතියකට පස්සේ ගිහි ජීවිතයටම ඇතුළුවෙන තාවකාලික පැවිදිවීම ගැනයි මා අදහස් කෙළේ?

එහෙම දෙයක් නැහැ. බුදුන් වහන්සෙගෙ කාලයේම සුනක්ඛත්ත මහණවෙලා හිටිය. ටික කාලෙකින් සිවුරු ඇරල යන්න ගියා මහණ දම් පුරන්න බැහැ කියලා. නැවත ගිහි ජීවිතයට ගියා. බුදු හාමුදුරුවො ඔහුට දෝෂාරෝපණය කළේ නැහැ.

ලංකාවේ ශාසන ඉතිහාසයේ මෙවැනි අත්දැකීමක් තිබුණද?

මිහිඳු හාමුදුරුවො වැඩම කරල ක්‍රිස්තු පූර්ව 300 ඉඳල අද දක්වා ලංකාවෙ කිසිම දවසක තාවකාලික පැවිද්දක් තිබුණෙ නැහැ. අපට එහෙම සම්ප්‍රදායයක් නැහැ.

ස්වාමීන් වහන්ස එහෙම නම් ඇයි මේ වගකිවයුතු හිමිවරුන්ගේ උපාධ්‍යාය ඇතිව තාවකාලික පැවිද්ද ලබාදෙන්නෙ?

මෑතැක ඉඳල අපේ ඇතැම් හිමිවරු උත්සාහ කරනව අපේ ශාසන සම්ප්‍රදාය ගැන කිසිම විචාරයක් නැතිව පිටරටවල තියෙන තත්ත්වය මෙහාට ගේන්න.

හාමුදුරුවනේ සනත් ගුණතිලක මහත්මයා ගිහිගෙයි කලකිරිල නැහැනෙ?

මෙතන ප්‍රශ්නය සනත් ගුණතිලක මහත්තය ලංකාවේ ඉන්න ප්‍රකට නළුවෙක්නෙ. එයාට අවශ්‍ය බව කියන්නෙ අත්දැකීම් ලබන්නනෙ. අනෙක් කාරණය ගිහිගෙයි කලකිරෙන්න අවශ්‍ය නැහැ පැවිදි වෙන්න. අපි පුංචි කාලෙ පැවිදි වුණේ පැවිදිවීමේ ආශාව ඇතිවීම නිසයි. හැම තෙරුන් වහන්සේ කෙනෙක්ම එහෙමයි. මහණදම් පුරන්නේ ජීවිතය කලකිරීම නිසා නෙවෙයි.

ඔබ වහන්සේ කියන්නෙ සමහරු ජීවිතය කලකිරිල මහණ වුණා කියන කතාව සත්‍ය නෙවෙයිද?

බලන්න දරුණු ගණයේ අපරාධකාරයොත් පස්සෙ කාලෙ ඔය මහණ වුණු අවස්ථා තියෙන්නෙ. ඕව කරන්නෙ තමන්ට ආවරණයක් හදාගන්න. ලංකා ශාසන ඉතිහාසයේ දරුවෙක් කුඩා කල පැවිදි වෙලා ශාසන සම්ප්‍රදාය හදාරනවා. විශාල සතතාභ්‍යාසයක යෙදෙනවා මහණ ජීවිතය ගතකරන්න.

සිනමා රංගනය සඳහා අත්දැකීම් ලබාගැනීමට බුද්ධ ශාසනය යොදාගැනීම වැරැදි බවයි ඔබ වහන්සේ කියන්නේ?

එය අනුචිතයි. අනුමත කරන්න බැහැ. රඟපාන්න ඉගෙන ගන්න තාවකාලික මහණවීම කොහෙත්ම උචිත නැහැ. ඒක බොරුවක්. දවස් හතක් මහණ වෙලා ශාසනික සම්ප්‍රදායේ අත්දැකීම් ලබන්න බැහැ. එහෙම වුවමනාවක් යම්කිසි කෙනකුට තියෙනවා නම් ඒකට වෙනත් මාර්ග තියෙනවා ඉගෙන ගන්න.

ස්වාමීන් වහන්ස ඒ මොනවාද?

භික්‍ෂු චර්යාව, බ්‍රහ්ම චර්යාව ඒ සම්බන්ධව ලියැවුණු විශිෂ්ට ග්‍රන්ථ තිබෙනවා ඒවා අධ්‍යයනය කරන්න පුළුවන්. ඒව හදාරන්න පැවිදි වෙන්නම වුවමනා නැහැනෙ. බෞද්ධයෙක් නොවන කෙනකුට වුණත් ඒව අධ්‍යයනය කරන්න පුළුවන්.

එහෙම නම් මේ වැඩවල වෙනත් අරමුණු තිබිය යුතුයි?

පන්සලක සාමණේර හාමුදුරුවරු කොයිවගෙ ජීවිතයක්ද ගතකරන්නේ. ඒ ස්ථානවල හැසිරීමෙන් ඒ ගැන වැටහීමක් ඇතිකරගන්න පුළුවන්. බුද්ධ ශාසනය එහෙම පුහුණුවීම්වලට යොදා ගැනීම ඉතා නරක පූර්වාදර්ශයක්.

අනෙක ලොකු හොරකමක් සම්බන්ධ චිත්‍රපටයක් හදන්න. අධ්‍යක්‍ෂවරයා හොරකම් කරන්න ඕනද? හොරකම් කරලා හිරේ ගිහින් අත්දැකීම් ලබාගෙන ඇවිත්ද චිත්‍රපටය හදන්නෙ. හොරුන්ගෙ ක්‍රියාකාරකම් ගැන පොලිස් වාර්තා බලල ඉගෙනගන්න පුළුවන්. සිරගතවී ඉන්න අයගෙ ස්වභාවයත් අධ්‍යයනය කරන්න පුළුවන්. කොච්චර ඒ සඳහා මාර්ග තියෙනවද. මෙතැන වෙනත් අරමුණක් තියෙන්න පුළුවන්.

ඔබ වහන්සේගේ අදහස මේ තාවකාලික පැවිද්දෙන් ශාසනයට හානියක් කියන එකද?

රංගනයට භික්‍ෂුත්වය යොදාගැනීම හානියක්. වුවමනා නම් දසසිල් වෙන්න තිබුණා. මට සැක හිතෙනවා තාවකාලික පැවිද්ද ලංකාවට ගෙන එන අරමුණ මේ තුළ තිබෙනවාද කියා. මේව කොටින්ම අපට ඔබින්නෙ නැති දේවල්. එක අතකට මේව විහිළු වැඩ. ජාතික හෙළ උරුමයේ ගිහි නායකයින් වූ චම්පික රණවක උදය ගම්මන්පිල මහත්වරු තට්ටෙ ගාලා දස සිල් සමාදන් වෙළා තිබුණා. ඕව විහිළු වැඩ. වෙනත් අරමුණු ඇතිව කරන.

වීඩියෝ කැමරා ඉස්සරහ ඕව කරන්නෙ ඒ නිසයි. ඒකයි ගැටලුව. අරමුණු පැහැදිලි නැහැ. මේවයින් සම්බුද්ධ ශාසනයට හානියක් මිස සහනයක් වෙන්නෙ නැහැ.

 

Maubima

උදේනි සමන් කුමාර

//www.mawbima.lk/54-34390-news-detail.html