Home » පුවත් පත් ප්‍රකාශන » සුරාවට ලොල්වී ජීවිතය අපායක්‌ කරගන්න එපා

Sura01සුරා සොඬෙකු වීම, ස්‌ත්‍රී සොඬෙකු වීම මෙන්ම සූදු කෙළිය යනාදිය මිනිසාගේ පිරිහීමට හේතු වන බව බුදුරජාණන්වහන්සේ පෙන්වා දුන්හ. මේ අතුරින් අද අප ධර්ම සංවාදයට බඳුන් කරනුයේ සුරා සොඬෙකු වීම නිසා පෞද්ගලිකවත් සමාජයටත් සිදුවන හානිය පිළිබඳව විමසා බැලීමටයි.

සැප සම්පතට කවුරුත්a ආශා කරති. සැප ගිලිහුණු තැන මිනිසාට උරුම වනුයේ දුකයි. එනිසාම සැප සම්පත අප වෙතින් ඈත් වෙන, දුරින් දූර වන කාරණා පිළිබඳව යම් අවබෝධයක්‌ ලබා ගැනීම වැදගත්. එවිට අපට ඉන් වැළකීමට පුළුවන.

සැප සම්පත දුරින්දුර වන හේතු පවතින්නේ අප ළඟමයි. බුදුරජාණන් වහන්සේ දේශනා කළ සුරා සොඬෙකු වීම, ස්‌ත්‍රී සොඬෙකු වීම, සූදුකෙළිය යනාදිය මිනිසාගේ විනාශයට හේතුවනවා කියා. මේ කරුණු අතරින් සුරා සොඬෙකු වීම නිසා වන හානිය පිළිබඳව අප වැඩිදුරටත් සලකා බැලීමටයි අද අප බලාපොරොත්තු වන්නේ.

බුදුරජාණන් වහන්සේ සංයුක්‌ත නිකායේ මහාවග්ගයේ දුතිය අනාථ පිණ්‌ඩික සූත්‍රයේදී සුරාසොඬෙකු නොවී ජීවත්වීම නිසා සිදුවන යහපත මැනවින් පෙන්වා දී තිබෙනවා.

සුරාමේරය මඡ්ජපමාදට්‌ඨානා පටිවිරතස්‌ස එතං භයං වූපසන්තං හෝති. දිට්‌ඨධම්මකම්පි භයං වේරං පසවති සම්පරායිකම්පි භයං වේරං පසවති චෙතසිකම්පි දුක්‌ඛං දෝමනස්‌සං පටිසංවේදීයති.

පමාවට හේතුවන රහමෙර (මත්පැන්) පානය කිරීමෙන් වැළකුණු අයකුට භය නැති වෙන බවයි බුදුරජාණන් වහන්සේ වදාළේ. මත්පැන් බිව් අයකුට මෙලොව භය, වෛරය ඇතිවෙනවා. ඉන් වැළකුණු විට එවැනි තත්ත්වයක්‌ නැහැ. මත්පැන් බිව් අයකුට පරලොව භය, වෛරය ඇතිවෙනවා. ඉන් වැළකුණු විට එවැනි භයක්‌ ඇතිවන්නේ නැහැ. ඒ වගේ මත්පැනින් වැළකුණු අයට දුක්‌දොම්නස්‌ ඇතිවන්නේ නැහැ. එය නැතිවෙනවා. මානසික තෘප්තියක්‌ ඇති වෙනවා.

ප්‍රමාදයට හේතු වන මත්පැනින් වැළකුණු විට අපට මෙලොවදී භයත්, වෛරයත් නැතිව සතුටින් ජීවත් වෙන්න පුළුවන්. මේ ආත්මයේදී සතුටින් සොම්නසින් ජීවත් වන විට එතැන දිව්‍ය විමානයක්‌ පහළ වෙනවා. එම තෘප්තිමත් ජීවිතය නිසාම අප හොඳ ස්‌ථානයක උප්පත්තිය ලබනවා.Ven. Hegoda Vipass Thero

අපිව මෙහෙයවන කිසිදු බලවේගයක්‌ නැහැ. අපිව මෙහෙයවන්නේ අපිමයි. එනිසා මේ ලෝකයේ නිර්මාතෘත් අපිමයි. වෙනත් ආකාරයකින් කියනවා නම් තමන්ගේ ලෝකයේ නිර්මාතෘ තමන්මයි. වෙන කිසිවෙක්‌ නොවෙයි. අපටම, තමන්ටම හොඳ ලෝකයක්‌ නිර්මාණය කර ගැනීමේ ශක්‌තිය තිබෙනවා. එවන් තත්ත්වයක්‌ තිබියදීත් අපි අපායවල් නිර්මාණය කර ගන්නේ ඇයි? අපාය කියන්නේ සැප නැති තැනටයි. සැප නැති වීමට ස්‌ත්‍රීධුර්ත වීම බලපානවා. මෙම තත්ත්වය එදත් තිබුණා. නමුත් එය අද අප සමාජයේ දකින්නට ලැබෙනුයේ අන් කවරදාකවත් නොදුටු විදිහටයි. අද එය විශාල ප්‍රශ්නයක්‌ වෙලා. ඒ වගේ තමයි සූදුකෙළිය. බුදුරජාණන් වහන්සේ සිඟාලෝවාද සූත්‍රයේදී පෙන්වා දුන්නේ සූදුකෙළිය නිසා මිනිසා බලා සිටිද්දී පිරිහෙන බවයි.

සුරාව නැතහොත් මත්පැන් භාවිතයත් පුද්ගල විනාශයට මෙන්ම සමාජ විනාශයටත් හේතු වෙනවා. එනිසාම බුදු දහමේ දැක්‌වෙන ආකාරයට සුරාවේ ආරම්භය, විනාශය සහ එහි අද තත්ත්වය පිළිබඳව වැඩිදුරටත් විමසා බැලීම වැදගත්.

ජාතක පොතේ කුම්භ ජාතකයේ සුරාවේ ආරම්භය පිළිබඳව මෙසේ සඳහන් වෙනවා.

එදවස බරණැස්‌නුවර බ්‍රහ්මදත්ත නම් රජකෙනෙක්‌ රජකම් කරන කල්හි සුරා නමැති වැද්දකු සිටියේය. මෙම වැද්දා දිනක්‌ ගස්‌ දෙබලක රැඳී තිබෙන ජලය පානය කරන සතුන් දුටුවේය.

එම ජලය පානය කරන සතුන් මද වේලාවක්‌ යද්දී සිහි නැතිව මෙන් සිට යළිත් ඇවිද යන්නාහ. මෙම සිදුවීම දුටු වැද්දාට එම ගස්‌ දෙබලේ රැඳී තිබෙන ජලය පානය කිරීමට සිතක්‌ පහළ විය. වැද්දා එම ජලය පානය කළේය. මද වේලාවක්‌ යද්දි තමාව අමුතු ලෝකයකට ගෙනියන්නාක්‌ මෙන් දැනුණි. ඒ අසල සිටි වරුණ නම් තාපසයකුටත් මෙම වැද්දා එම ජලය පානය කිරීමට දුන්නේය. තාපසයාටත් දැනුණේ තමන් අපූර්ව ලෝකයකට ගියාක්‌ බඳු හැඟීමකි. දැන් සුරා නමැති වැද්දාටත්, තාපසයාටත් සිතුවිල්ලක්‌ පහළ වෙනවා. මේවා නගරයට ගොස්‌ අලෙවි කළොත් හොඳයි කියලා. ඔවුන් භාජනවලට දමාගෙන ගිහින් මෙම ජලය නගරයේදී විකුණුවා. හොඳ අලෙවියක්‌ ලැබුණා. මේ පිළිබඳව බරණැස්‌ රජතුමාටත් දැන ගැනීමට ලැබෙනවා. අන්තිමේදී රජතුමත් වැද්දා සොයා ගත් මත්වෙන ජලය පානය කළා. රජතුමාත් පත්වෙන්නේ වැද්දාත්, තාපසයාත් පත් වූ තත්ත්වයටමයි. රජතුමාටත් දිගින් දිගටම මෙය පානය කිරීමේ අවශ්‍යතාවය මතුවෙනවා. අන්තිමට වැද්දාට සොයාගත් පානය (මත්පැන) පෙරීමට රජතුමා අවසර ලබා දෙනවා. මේ කාලයේ හැටියට කියනවා නම් ලයිසන් එකකුත් ලැබෙනවා. වැද්දාත් පලතුරු පල්කරලා මෙම පානය නිෂ්පාදනය කළා. අවසානයේ මොකද වෙන්නේ. රජතුමාත්, රට වැසියෝත් මත්පැනට ඇබ්බැහිවීමෙන් රටම විනාශ වූ බව බුදුරජාණන් වහන්සේ කුම්භ ජාතකයේදී පෙන්වා දෙනවා.

සුරාව කියන්නේ සුරා කියන නැමැති වැද්දා මෙය සොයාගත් නිසයි. ඒ වගේම සුරාවට තවත් නමක්‌ තියෙනවා “වරුණ” කියලා. වරුණ යනු මෙම තාපසයාගේ නමයි. පාලියෙන් වරුණ කියන්නේ සුරාවටයි.

සුරාමේරය මඡ්ජපමා දට්‌ඨානා… යන්න මෙහිදී කෙටියෙන් හෝ පැහැදිලි කර ගැනීම වැදගත්. පිච්ච සුරා…. (පිටිවලින් සෑදූ), පුව සුරා (කැවිලිවලින් සෑදූ), ඕදන සුරා (බත්වලින් සෑදූ) යනාදී වශයෙන් සුරා වර්ග පහක්‌ ගැන අටුවාවේ සඳහන් වෙනවා. මේ ආකාරයෙන් විවිධ වර්ග පල්කර සාදාගන්නා බීමකටයි සුරාව ලෙස හඳුන්වන්නේ.

මේරය යනු මල් ආදියෙන් මිරිකා, පෙරා ගත් දේටයි. පුප්පාසව… ථලාසව…. මධිනාසව… ගුලාසව… ආදී වශයෙන් අටුවාවේ මේරය පිළිබඳ විවරණය කෙරෙනවා. පොල් රා, කිතුල් රා ආදිය ගත්තත් මල් තලා මිරිකා වාස්‌සවා ගන්නා ක්‍රමවේදයක්‌ තමයි අනුගමනය කරන්නේ. එනිසා බොහොම සුරාව කියන්නේ එක්‌වර්ගයක්‌. මේරය කියන්නේ තවත් වර්ගයක්‌. සුරාවෙන් රහ කියලයි සිංහලයට නැගෙන්නේ. මේරය ගන්ධය මේර කියලා හදනවා. එනිසා මෙම වචන දෙක රහමෙර කියලා සිංහලයට පරිවර්තනය වෙනවා.

ඊළඟට මඡ්ජපමා දට්‌ඨානා… යන්න සලකා බලමු. මඡ්ජ යනු මදයට නැති නම් ප්‍රමාදයට හේතුවීමයි. මත් වූ කියන එකයි. පමා දට්‌ඨානා යන ප්‍රමාදයට… මදයට හේතු වන නිසා යන්නයි. නමුත් ඇතැම් පුද්ගලයන් මද පමණට මත්පැන් බීවාට වරදක්‌ නැත යනුවෙන් වැරදි මතයක්‌ ගොඩනගා ගෙන තිබෙනවා. එය මත්පැන් බොන මිනිස්‌සු තමන්ගේ වාසියට හදාගත් කතාවක්‌.

ප්‍රමාදය යනු සිහිවිකල් වන තත්ත්වයට පත්වීමයි. පාලියට අනුව ප්‍රමාදය යන වචනය හැදිල තියෙන්නේ මද ධාතූවෙන්. සංස්‌කෘතයට අනුව නම් මද් ධාතුවෙන්. ඉංගී්‍රසියෙන් මෙය කියන්නේ ඵAD කියලයි. පාලි, සංස්‌කෘත ධාතුවට ඉංගී්‍රසි ලියන ක්‍රමය සමානයි. එනිසා මදයට පත්වීම යනු සිහිවිකල්වීමයි. එනම් “පිස්‌සු” යන අර්ථයයි. ඔක්‌ස්‌පර්ඩ් ශබ්ද කෝෂයේදී මේ පිළිබඳව දීර්ඝ අර්ථකතනයක්‌ දී තිබෙනවා. මේ කාරණා සියල්ල සලකා බැලීමේදී බොහොම පැහැදිලියි මෙහි පාලි භාෂාවේ පැරණි වචනයේ (මද) අර්ථකථනය අනුව තමයි අනෙකුත් සියලුම වචන ගොඩනැඟී තියෙන්නේ. පාලි අටුවාවේ මෙසේ සඳහන් වෙනවා.

සෝපනේaස අත්ථතෝ… සථියා අවිප්පවාසෝ නාම

සිහියෙන් තොරවීම ප්‍රමාදය බවයි. මින් අදහස්‌ කරන්නේ. ප්‍රමාදය යනු හැකිලීමක්‌. කරන්නේ කියන්නේ කුමක්‌ද කියා දන්නේ නැහැ. එනිසා මදයට හා ප්‍රමාදයට හේතු වන මේ ආදී මත්පැන්වලින් වැළකිලා ජීවත්වෙන්න කියලයි බුදුදහමේ ඉගැන්වෙන්නේ. මත්පැන් බීමෙන් සිදුවන්නේ මිනිසා නොමිනිසා විමයි.

බීමත්කමින් මදයට සහ ප්‍රමාදයට පත්වූ පුද්ගලයා හැසිරෙන්නේ සිහිවිකල් වූවකු ලෙසයි. එවිට ලැඡ්ජා භය නැතිවෙනවා. ලැඡ්ජා භය නැතිවුණාම මිනිසාට ඕනෑම දෙයක්‌ කරන්න පුළුවන්. ප්‍රකෘති තත්ත්වය විකෘති වූ පසු නොකළහැකි පවක්‌ නැහැ. එනිසයි මත්පැන් බීම පවක්‌ වෙන්නේ.

ප්‍රකට සිගාලෝවාද සූත්‍රයේ පෙන්වා දී තිබෙනවා මත්පැන් බීමේ ආදීනව. මෙලොව තමන් සතුදේ අහිමිවීම, කෝලාහල ඇතිවීම, අපකීර්තියට පත්වීම, ලැඡ්ජාව පහවීම, භය පහ වීම, ප්‍රඥාව හීනවීම යන කාරණා මත්පැන්බීම නිසා ඇති වෙනවා. මේවා නරක ආදීනව. මෙම නරක ආදීනව පවට මුල් වෙනවා. එනිසා බොහොම පැහැදිලියි මත්පැන්බීම පාපයක්‌ කියලා.

බීමත්කම නිසා පවුල් සංස්‌ථාව බිඳ වැටෙනවා නම් එය පවක්‌ නොවෙයිද? තමන්ගේ ජීවිතය විනාශ වෙනව නම් පවක්‌ නිසයි නොවෙයිද? මත්පැන් බීම පවක්‌ බුදුරජාණන් වහන්සේ ඉන් වැළකෙන්න කියලා දේශනා කළේ. උන්වහන්සේ දේශනා කළා මත්පැන් බොන පුද්ගලයා නිරයට යනවා කියලා. නිරය කියන්නේ සැප නැති තැනක ජීවත් වීමයි. එය මෙලොව විය හැකියි. පරලොවත් විය හැකියි.

හොඳට ටයි කෝට්‌ ඇදගෙන බොහොම පෞර්ෂත්වයෙන් ඉන්න අයත් මත්පැන් බොනවා. සමහර විට එහෙම ඉන්න පුද්ගලයා බීමත්කම වැඩිවී කාණු පල්ලේ ඇදවැටෙන්න පුළුවන්. තමන් සතු දේ නැතිකර ගන්න පුළුවන්. අන්තිමේදී තමාගේ ආත්මගෞරුත්වය නැතිකර ගන්න පුළුවන්.

ඒ දවස්‌aවල තිබුණ කවට කථිකයා කියලා පුවත්පතක්‌. එහි කර්තෘවරයා වුනේ පෑලිස්‌ අප්පුහාමි කියල කෙනෙක්‌. ඔහු සිංහල, පාලි, සංස්‌කෘත භාෂා එකට එක්‌කර ගෙන අපූරු ශ්ලෝකයක්‌ වැනි යමකින් බීමත්කම නිග්‍රහයට ලක්‌කරලා තිබුණේ මෙහෙමයි.

ඒකෝ ගුඩුස්‌ සනීපංච – ද්වතීයෙ අසනීප කෘත්- තෘතියේ සිංහ නාදංච -චතුර්ථෙ ඌරු වේශයථ

මෙහි සරල තේරුම මෙහෙමයි. පළමුවෙන් මත්පැන් උගුර බොනවිට බොහොම ලොකු පෞර්ෂත්වයක්‌ ගොඩනගා ගන්නවා. හරි සනීපයක්‌ දැනෙනවා. බීලා තව ටිකක්‌ මත්වෙන කොට මොකද වෙන්නේ. එතැන අපායක්‌නේ නිර්මාණය වෙන්නේ. තවත් ටිකක්‌ මත්වෙද්දී තමන්ගේ පෞර්ෂත්වය නැතිකරගෙන හැසිරෙන්නේ ඌරෙකු වගෙයි. එවිට තමයි කාණුපල්ලේ වැටිල දගලන බිමත් අය දකින්න ලැබෙන්නේ. මේ වගේ චරිත ඕනෑ තරම් දකින්න පුළුවන්.

අනේපිඬු සිටුතුමන්ටත් සුරාවට ලොල්වූ පුතෙකු සිටියා. ඔහු බීමත්කම හා ස්‌ත්‍රී ලෝලීත්වය නිසා විනාශ වුණා. අතීතයේත් වර්තමානයේත් බීමත්කම නිසා විනාශ වුණු චරිත අනන්තවත් හමුවෙනවා.

බුදුදහම යනු අන්තවාදී දහමක්‌ නොවේ. මත්පැන් බීම භික්‍ෂුන්ට සම්පූර්ණයෙන්ම තහනම් කළා. භික්‍ෂූන්ට මත්පැන් බීම කියන්නේ පටිතියක්‌. බීමත් කමේ ආදීනව පෙන්වමින් බුදුරජාණන් වහන්සේ දේශනා කළේ ඉන් වැළකෙන ලෙසයි. නමුත් රජතුමාට සහමුලින්ම මේවා අයින් කරන්න කියලා අණකළේ නැහැ. මත්පැනින් වළකින්න කියා මනුෂ්‍යයි හැදුවේ. මේක තමයි බුදුදහමේ තියෙන සමචර්යාව. රටක සහමුලින්ම මේ දේවල් නැති කිරීම හැමවිටම ප්‍රායෝගික නොවන්න පුළුවන්. රටක්‌ කියන්නේ එක්‌කෙනෙක්‌ දෙන්නෙක්‌ ඉන්න පුංචි සීමාවක්‌ නොවෙයි.

බුදුදහමේ මනුෂ්‍යයාට පෙන්වා දෙනවා බීමත්කමේ ආදීනව. පාලකයාගේ යුතුකම විය යුත්තේ සමාජයට මත්පැන් බීමට අනුබල නොදී ඒවා මර්දනය කිරීමයි. එදා ර-ජුරුවනුත් ඇතුළු ඉහළ සමාජය මත්පැන් පානය කළා. නමුත් ඉන් අදහස්‌ කරන්නේ නැහැ ඉහළ සමාජයට වේවා පහළ සමාජයට වේවා මත්පැන් බීම හොඳයි කියලා.

මත්පැන් බීමේ ආදීනව තම තමන් තේරුම් ගෙන ඉන් වැළකීම තමයි වඩා හොඳ. වඩා යහපත්. මත්පැන් බීමේ ආදීනව අප ඇස්‌ පනාපිටම දකිනවනේ. ලස්‌සනට ඉන්න, හොඳ පෞරුෂයක්‌ තිබෙන පුද්ගලයන් බීමත්කම නිසා පරඩැල් බවට පත්වෙලා ඉන්නව අපි දැකල තියෙනවනේ.

අපේ රටේ අනාගතය භාර ගැනීමට සිටින තරුණ පිරිස්‌ බීමත්කමට ඇබ්බැහි වෙලා ඉන්නවා.

ඔවුන් මෙයින් බලාපොරොත්තු වන්නේ කුමක්‌ද? සතුටු වීම කියල තමයි ඔවුන් කියන්නේ. ඇයි නොබි සතුටු වෙන්න බැරිද? අපි මෙය සරලව තේරුම් ගැනීමට මෙහෙම කියමුකෝ. කෙනෙක්‌ මත්පැන් බීම සතුටක්‌ කියලා කියනව නම් ඔවුන්ට පුළුවන් ලේඛනයකට මත්පැන් බීමේ වාසි සහ ආවාසි සටහන් කරන්න.

ඔය ලේඛනයේ මත්පැන් බීම නිසා ඇතිවන වාසි එකක්‌වත් සඳහන් කළ හැකිද? එකක්‌වත් නැහැ. සැබෑ තත්ත්වය එයයි. මත්බීමෙන් වාසියක්‌ නැතත් මත්පැන් අලෙවියෙන් මුදලාලිලාට නම් හොඳ ලාභයක්‌ ලැබෙනවා. එය හොඳ ආදායම් මාර්ගයක්‌.

බුදු දහම පිළිබඳව ගැඹුරින් සිතන අපි මත්පැන් බීම මේ රටෙන් හෝ සමාජයෙන් සහමුලින්ම ඉවත් කල හැකියි කියන අන්තවාදී ප්‍රතිපත්තියක නැහැ. එය අපට පිළිගන්නත් බැහැ. එය එසේ කරන්නත් බැහැ. එය එසේ කළ හැකි නම් බුදුරජාණන් වහන්සේගේ කාලයේදීමයි මේවා නැති කරන්නේ. හැබැයි මත්පැන් බීමේ ආදීනව මිනිසුන්ට කියා දීමෙන් මෙහි පාලනයක්‌ ඇති කළ හැකියි.

අද මේ සමාජයේ මිනිස්‌සු සතුටටත් හිතේ අමාරුවටත් මත්පැන් බොනවා. මේ ගැන ටිකක්‌ විග්‍රහ කර බලමුකෝ. හොඳයි කෙනෙකුට දුකක්‌, හිතේ ලොකු අමාරුවක්‌ ඇතිවි මත්පැන් බීවා කියමුකෝ. එවිට ඔහු මත්වීම නිසා සිහිවිකල් වීම නිසා තාවකාලිකව ඔහුගේ ප්‍රශ්නය යටවෙන්න පුළුවන්. නමුත් බීමත්ව සිහිවිකල්වූ පුද්ගලයා පියවි සිහියට පැමිනි පසු ඔහු යළිත් වැටෙන්නේ අර ප්‍රශ්න ගොඩටමයි. එම දුකටමයි. එනිසා මනසින් උසස්‌ වූ පුද්ගලයා තමන් මුහුණ පෑ ගැටලුවට භේතුව සොයාගෙන ඊට අපි පිළියම් යෙදිය යුතුයි. එසේ නොමැතිව මත්පැන් බීමෙන් ප්‍රශ්නවලට උත්තර හොයන්න බැහැ.

දැන් සමහරු කියනවනේ බොන්නේ සතුටට කියලා. එහෙම වෙනවද? මෙය තේරුම් ගැනීමට අප දන්න සත්‍ය කතාවක්‌ මීට හොඳම නිදසුනක්‌ ලෙස පෙන්වා දෙන්න පුළුවන්. මත්පැන් බීම සතුටක්‌ බවට සමහරු ප්‍රකාශ කරනවා. එය අමූලික බොරුවක්‌ බව අප දන්න කියන සත්‍ය කතාවක්‌ ඇසුරින් පෙන්වාදීමට පුළුවන්.

එක්‌තරා ප්‍රදේශයක පියෙක්‌ තමාගේ පුතාගේ උපන් දිනයේ සතුට විඳගන්න සාදයක්‌ සංවිධානය කළා. ඔහු දන්න කියන මිතුරන් කීපදෙනකුටත් ඊට ආරාධනා කළා. සතුටු වීම සඳහා මත්පැනුත් එම සාදයට ගෙනැවිත් තිබෙනවා. ටික වේලාවක්‌ යද්දී මෙම පියා ඇතුළු මිතුරන් මත්පැන් බී සිංදු කියමින් විනෝද වුණා. ඔය අතරේ මෙම නිවසේ උපන් දිනය සමරන පුතා හුරතලයට ඇති කළ පූස්‌පැටියා ඇවිත් මෙම පියාගේ හොඳම මිතුරාගේ කකුළේ දැවටුණා. එවිට ඔහු එම පූස්‌ පැටවා එහාට තල්ලු කළා. පූස්‌ පැටවා දෙවැනි වතාවටත් ආවා. එම සැරෙත් එහාට තල්ලු කළා. නමුත් දිගින් දිගටම මෙම පූස්‌ පැටවා එම යාළුවාගේම කකුලේ වෙලෙන්න පටන් ගත්තා. අන්තිමට මෙම යාළුවා පූස්‌ පැටවාව වේගයෙන් වීසි කළා. බිත්තියක හැපුණු පූසා බිම වැටී වේදනාවෙන් කෑගසන්න පටන් ගත්තා. උපන් දිනය දවසේ සුරතලාට උණ විපත්තිය දැකලා පුතා අඬන්න පටන් ගත්තා. එම පුතාව නළවන්න ඔහුගේ අම්මා උත්සාහ කළා. පළක්‌ වුණේ නැහැ. පියාත් නළවන්න උත්සාහ කළා. පළක්‌ වුණේ නැහැ. දැන් මෙම පියාට මිත්‍රයා කෙරේ තිබෙන්නේ දැඩි කේන්තියක්‌.

දැන් මෙම පියා තම යහළුවා සමඟ සණ්‌ඩුසරුවල් කරනවා. අන්තිමේදී ගැටුම දුරදිග ගියා. අන්තිමේදී මෙම පියා යහළුවාට පිහියකින් අනිනවා. පිහිඇනුම් කෑ යහළුවා රෝහල්ගත වී දින කීපයකින් මියගියා. තම පුතාගේ උපන් දින සාදය ඉහළින් සමරන්න ගිය මෙම පියාට අන්තිමේදී සිරබත් කන්න සිදු වුණා. මේවා ආදීනවනේ. මේවා පව්. මෙම මත්පැන් බීම විශාල පාපකර්මයක්‌ කිරීමට හේතු වුණානේ. කෝ දැන් අර පියා ඇතුළු යහළුවන් මත්පැන් බීලා සෙවූ සතුට. එතැන සතුටක්‌ නැහැ. තියෙන්නේ දුකක්‌. එනිසයි බුදුරජාණන් වහන්සේ මත්පැන් බීමෙන් වළකින්න කියලා දේශනා කළේ.

මනුෂ්මෘතියේ 11 වැනි අදියරේ මත්පැන් ගැන මෙහෙමයි සඳහන් වෙන්නේ.

යක්‍ෂරාක්‍ෂඃ පිශාචාන්න – මද්‍යං මාංසඃ සුරාවසම්

යක්‍ෂයාගේ, ප්‍රේතයාගේ ආහාර කියන්නේ මත්පැන්, මස්‌ මාංශ ආදිය බවයි. එසේ නම් අපි මත්පැන් කියලා බොන්නේ ප්‍රේතයන්ගේ, යක්‍ෂයන්ගේ බීමක්‌, ශෝකයට, දුකට හේතුවන මත්පැන් බී ඇයි අපි අපේ ආත්ම ශක්‌තිය නැති කර ගන්නේ. අපේ වැදගත් ජීවිතය විනාශ කර ගන්නේ. අද ඇතිවෙලා තියෙන භයානකම තත්ත්වය තමයි තරුණ තරුණියන් මත්පැනට ඇබ්බැහි වීම. මත්පැන්වලට පමණක්‌ නොවෙයි මේ අය දැන් මත්ද්‍රව්‍යවලටත් ඇබ්බැහි වෙලා. මේවා රටක සුන්දරත්වය විනාශ කරන්න හදන දේවල්.

සුරාව කියන්නේ කොයි අතින් බැලුවත් හොඳ නැති දෙයක්‌. සමහරු කියන්නේ ඉඳහිට බොනව කියලා. එහෙම ටික දිනක්‌ බොනකොට එය පුරුද්දකට යනවා. ඒ නිසා සුරාධූර්ථ නොවී ඉන් වැළකී සිටීමයි වඩා යහපත්ම දේ.

සමහරවිට පුරුද්දක්‌ වශයෙන් මත්පැන් නොබොන කෙනෙක්‌ වුවත් සමාජයේ පිරිසක්‌ සමග එක්‌වූ විට මත්පැන් බොන තත්ත්වයක්‌ තියෙනවා. සමහර විට ඔහු එම අවස්‌ථාවේදී මත්පැන් බොන්නේ තමන් ඔවුන් අතුරින් කොන්වේ යෑයි භියෙන්. මෙතැනදී තමයි කෙනකුගේ ආත්ම ශක්‌තිය වැදගත් වෙන්නේ. බුදුරජාණන් වහන්සේ දේශනා කළේ තමන්ගේ සෘජු ප්‍රතිපත්ති කවර සමාජයකදී වුවත් රැක ගැනීමට මිනිසාට ශක්‌තියක්‌ තිබිය යුතු බවයි. ප්‍රතිපත්තිගරුක මිනිසුන්ට බොන තැනක වුවත් නොබී ඉන්න පුළුවන්. නමුත් සමාජගත ජීවිතයේදී අපේ සමහරු මිනිසුන් සෘජු ප්‍රතිපත්තියක්‌ ඇති මිනිසුන්ට එම තත්ත්වයේ ඉන්න නොදෙන තත්ත්වයක්‌ තියෙනවා. මත්පැන් නොබොන කෙනාට “නුඹ මහා නෝන්ජල් මිනිහෙක්‌” කියා වචනවලින් ගසා මානසිකව ඒ පුද්ගලයා වට්‌ටවා ඔහුව නරකට පොළඹවන්න උත්සාහ කරනවා. එතැනදී අපි ප්‍රවේසම් විය යුතුයි. එවැනි වචනයත් දමා ගසන්නන් වැටෙන්නේ අපාය සහය මිත්‍රයන්ගේ ගණයට.

අපගේ නායක හාමුදුරුවෝ වන හෑගොඩ ෙ€මානන්ද හාමුදුරුවෝ 1962 දී “අමද්‍යප අධුමප සංගමය” කියන සංවිධානයක්‌ හැදුවා. එම සංවිධානයේ අරමුණ වූයේ අවුරුදු 25 ක්‌ යනතෙක්‌ ශිෂ්‍යයන් මත්පැනට, දුම් පානයට නතු නොවී ඉන් ගලවා ගැනීමට පොරොන්දු වීමයි. මෙහි සීමාව අවුරුදු 25 ක්‌ වුණත් ප්‍රතිපත්තිය හොඳයි කියලා හැඟෙන අයට එය තම මුළු ජීවිතයට ම ළං කර ගන්න පුළුවන්. එම සංගමයේ සාමාජිකත්වය ලැබූ අප රටේ රසායන විද්‍යාව පිළිබඳ ආචාර්යවරයකු වන රත්නායක මහතාට පී. එච්. ඩී. එක ලබා ගැනීමට ඇමරිකාවට යැමට සිදු වුණා. ඔහු පොඩි කාලයේදී මෙම සංගමයේ පොරොන්දු පත්‍රයකට අත්සන් කර තිබූ නිසා මත්පැන් බීවේවත් දුම්වැටි ඉරුවේවත් නැහැ. අවුරුදු 25 පොරොන්දුව ඔහු තම මුළු ජීවිත කාලයේදීම රකින බවට තීරණය කර තිබුණා. එම කණ්‌ඩායමේ දක්‍ෂම ශිෂ්‍යයා වුණෙත් ඒ මහතායි. මෙම කණ්‌ඩායම් භාර මහාචාර්යවරයා අවසානයේදී මෙම ශිෂ්‍යයන්ට සාදයක්‌ පවත්වනවා. ඔහු දෙන මීවිත බඳුන තොල ගෑමෙන් තමයි ඔවුන් තම ගුරුවරයා වූ මහාචාර්යවරයාට සිය ගෞරවය පුද කරන්නේ. මෙතැනදී අපේ ආචාර්ය රත්නායක මහතා උභතෝකෝටික ප්‍රශ්නයකට මුහුණ පෑවා. තමාගේ ප්‍රතිපත්ති රැක ගන්නත් ඕනෑ. ගුරුවරයා සතුටු කරන්නත් ඕනෑ. ඔහුගේ යහළුවෝ ඒ වන විට කියා තිබුණේ මීවිත පිළිගන්තේ නැත්නම් එය ඔහුගේ පී. එච්. ඩී. විභාගයටත් බලපෑම් කළ හැකි බවයි. කෙසේ හෝ වේවා අවසානයේදී සාදය පැවැත්වෙනවා. ගුරුවරයා දුන් මීවිත බඳුන අතට ගත්තත් ඔහු පානය කළේ නැහැ. තමන්ගේ විභාගයට එය බලපෑමක්‌ විය හැකි වුවත් තමන් මත්පැන් නොබී සිටීමට ගත් ප්‍රතිපත්තිමය තීරණය රකින බව ඔහු දැඩිව සිතට ගත්තා. දැන් ඔහුගේ යහළුවෝ මත්පැන් බොනවා. සාදයත් අවසාන භාගයට පැමිණෙනවා. අර මහාචාර්යවරයා අහනවා ඇයි මීවිත තොල නොගෑවේ කියලා. එවිට ඔහු තම ප්‍රතිපත්තිය මහාචාර්යවරයාට කියනවා. අවසාන ප්‍රතිඵලය වෙන්නේ මොකක්‌ද? ඔහු ප්‍රතිපත්තිය රැක්‌ක නිසා ඔහුගේ වියදම් සඳහා අමතර ඩොලර් පනහක මුදලකුත් ලබාදෙනවා. මහාචාර්යවරයා “උඹ හොඳ කොන්ද පණ ඇති පුද්ගලයෙක්‌” කියා ප්‍රශංසාවටත් ලක්‌කරනවා.

යහපත් ප්‍රතිපත්තියකට ඕනෑම අයෙක්‌ ගරු කරනවා. අපි හණමිට කරතබාගෙන නොයා යුතුයි. හොඳ දෙයක්‌ වැළඳ ගන්නත්, නරක ප්‍රතිපත්ති අවබෝධ කරගත් සැනින් ඉන් ඉවත් වීමටත් අපි බුද්ධිමත් විය යුතුයි.

මත්පැන් බී විට කායිකව මෙන්ම මානසිකව දුර්වල වෙනවා. මත්පැනට ලොල් වී අපි අපේ ජීවිතය අපායක්‌ කරන්නේ ඇයි? සැප නැති තැනක්‌ කර ගන්නේ ඇයි? අපි හැමවිටම දීන මානසිකත්වයට තිත තබා ප්‍රබුද්ධ ලෙස ජීවත්වීමටයි උත්සාහ කළ යුත්තේ.

ධර්ම සංවාදය

වසන්ත ලියනගේ