Home » විශේෂාංග » රැකිය යුත්තේ සීලයයි

රැකිය යුත්තේ සීලයයි


lakbimalogo

17-1[1]

ධර්ම හා බැඳුණු සීලය විනය සමග සපුරා ගැළපිය නොහැකි වුවත් විනය සීලයටත් සීලය විනයටත් අනේ‍යාන්‍ය වශයෙන් ප්‍රත්‍ය වේ. සීලය
පුද්ගල බද්ධ වන අතර විනය සමාජය හා බද්ධ ප්‍රස්තූතයකි. ‍පොහෝ දින උපාසක උපාසිකාවෝ සුදු වත් හැඳ උතුරු සළු පැළඳ විහාරස්ථාන කරා පැමිණ පෙහෙවස් සමාදන් වීම චාරිත්‍රයකි. එම නිසා පස් පවින් වැළකී සැබෑ ලෙස දැහැමි දිවි පවෛතක් ගත කරන සැදැහැවතෙක් වුවත් ටයි කෝට් හැඳ පෙහෙවත් සමාදන් වීමට විහාරස්ථානයට නොපැමිණෙන්නේ පෙහෙවස් සමාජයේ විනය කඩ කිරීමක් සිදු වන හෙයිනි. මෙයින් පැහැදිලි වනුයේ ඒ ඒ සමාජ පරිසර අනුව, කාලය අනුව, දේශය අනුව විනයේ ස්වභාවය වෙනස් වන බව හා වෙනස් විය යුතු බවයි. එසේ වුවත් සීලය, සමාජ පරිසර වශයෙන් හෝ අතීත – වර්තමාන – අනාගත (සර්වකාලීන) කාල වශයෙන් හෝ, ග්‍රාමීය – නාගරික – දේශීය – විදේශීය යන භූමි (සර්වභෞම) වශයෙන් හෝ වෙනස් නොවන බවයි. 

නිවන් අවබෝධය පිණිස සීලය පදනම හෙවත් ආදිචරණය වන බැවින් නිරන්තරයෙන් බෞද්ධයා සිල්වතෙකු විය යුතුය. සිල් රැකීමත් ජීවන පැවැත්මත් එකක් නොව දෙකක්  වශයෙන් සලකන බැවින් නූතන සමාජයේ ඇතැමෙක් සීලයට ප්‍රමුඛත්වයක් නොදෙත්. සීලය කාමභෝගී ජීවන රටාවට සපුරා අවහිර යැයි ඔවුහු විශ්වාස කරති. එමෙන්ම ඇතැමෙක් සීලය ව්‍රතයක් වශයෙන් පිළිපදින බැවින් පවුල් සංස්ථාව පවා බිඳ වැටීමට හේතු වී ඇත. මෙයින් පෙනී යන්නේ සදාචාරයන් අනුගමනය කරන්නන් නොවූ සාදාචාරයෙන් සැදුණු කෘත්‍රිම මිනිස්සු බවට පත්ව සිටින බවයි. එහෙත් බුදුරජාණන් වහන්සේ වදා‍ලේ සිල්වත් කෙනෙක් වන ලෙසත්, සීලයෙන් සැදුණු කෙනෙක් නොවන ලෙසත්ය. (සීලවා හොථ, නොච සීලමයො. සමණමණඩික සූත්‍රය මජ්ක්ධිම නිකාය) මේ නිසා සීලයෙහි වැදගත්කම, අවශ්‍යතාව, උපයෝගීතාව පිළිබඳ එක්තරා පැතිකඩක් හෝ සමීපව අවබෝධ කර ගැනීමට හේතු වන කරුණු කිහිපයක් පෙන්වා දීම මෙහි අරමුණ වේ. 

නෙත්තිප්‍රකරණයේ සමාරෝපණහාර විභංගයේ සීලය පැහැදිලි කරනුයේ මෙසේය. එනම් කායිකං වාචසිකං ච සුචරිතං අයං සීලක්ඛන්ධෝ – කායික වූද වාචසික වූද යම් සුචරිතයෙක් ඇත් ද මේ සීලක්ඛන්ධයයි. කයින් හා වචනයෙන් සංවර වීම සීලයයි. තවදුරටත් ලිහිල්ව දක්වන්නේ නම් සීලය යනු කයින් හා වචනයෙන් සංවර  වීමයි. පරපණ නැසීම, සොරකම් කිරීම, කාමයෙහි වරදවා හැසිරීම වැනි කයින් හෙවත් ශාරීරික වශයෙන් සිදු කරනු ලබන අකුසල්වලින් හා බොරු කීම, එකිනෙකා භේද භින්න වන වචන, අරුත්සුන් 

නිෂ්ඵල අවැඩදායි වචන කතා කිරීම් වැනි වචනයෙන් සිදු කරනු ලබන අකුසල්වලින් තොර වීම වාචසික සංවරයයි. මෙසේ පස්පව් ආදී අකුසලයන්ගෙන් වැළකීම වාරිත්‍රසීල නමින් හැඳින්වේ. මේ දේ නොකළ යුතුයි. දහමෙන් යමක් 
ප්‍රතික්‍ෂේප කරන ලද්දේද එයින් වැළකී සිටීම වාරිත්‍ර සීල නම් වේ. චාරිතං තායන්ති රක්ඛන්ති තෙනාති චාරිතතං යනුවෙන් විශුද්ධි මාර්ග අටුවාවේ විග්‍රහ කොට ඇත. වැඩිහිටියන්ට සැලකීම, ඔවුනොවුන් වශයෙන් මිත්‍රශීලීව ජීවත් වීම, පරිසරය සුරැකීම ආදී වශයෙන් හොඳ දෑ අනුගමනය කිරීම චාරිත්‍රශීල යයි. (විශුද්ධි මාර්ගයේ චාරිත්‍ර යන වචනය විග්‍රහ කරන්නේ මෙසේය. චරන්ති තස්මිං සීලෙ පරිපූර කාරිතාය පවත්තන්ති චාරිත්තං – ඒ ශික්ෂා පදයන් හි නියමිත සේ කිරීම චාරිත්‍ර සීලය යි) තමා ළඟ නොමැති ආචාර සමාචාර විධි ඇති කර ගැනීමට චාරිත්‍ර ශීලය උපකාර වේ. මෙය විනයට වඩාත් සමීපයි. සමාජය තුළ විනය ආරක්ෂා කිරීමට ආසන්න කාරණය චාරිත්‍ර ශීලය පිළිපැදීමයි. නැතහොත් චරිත්‍ර ශීලය අනුගමනය කිරීමෙන්, විනය සමාජය තුළ තහවුරු කළ හැකිය.

සිල් සමාදන්වීම පිළිබඳ වැරදි වැටහීම් නිසා අද බොහෝ බෞද්ධයෝ ශීලය කෙරෙහි දක්වන්නේ ආගන්තුක ස්වරූපයකි. සිල් දෙන භික්ෂුවගෙන් කොටසක් තමන්ට ලැබෙන බව සිතති. මේ නිසා සිල්වතුන් සොය සොයා ගොස් සිල් සමාදන් වෙති. සිල් වතුන්ගේ සිල්වලින් කොටසක් තමන්ට ලැබෙන නිසාත්, එහෙයින් පින් අත්පත් වෙන නිසාත්, යන වැරදි කල්පනාව හේතුකොට සිල් ආරක්ෂා කිරීමට ඔවුහු නොපෙළඹෙති. 

එසේ නම් සිල් සමාදම්වීම යනු කුමක්ද ? සිල් සමාදම් වීම යනු සිල් බාරගැනීම. උදාහරණයක් වශයෙන් සතුන් මැරීමෙන් වළකින ශික්ෂා පදය සමාදම් වෙමි. (පාණාතිපාතා වේරමණී සික්ඛා පදං සමාදියාමි) ආදී වශයෙන් ඒ පව්වලින් 
වළකින බවට තිබෙන නීතිය (ශික්ෂා පදය) රකින බවට ‍පොරොන්දු වීමයි. ‍පොරොන්දු වූ පමණින් යමක් ඉටු නොවේ. එනිසා පෙරොන්දුව රැකිය යුතුයි. එය සීලයයි. යෙ ච්ෙතනා සීලය වශයෙන් හැඳින්වේ. කෙනෙක් ළඟ ‍පොරොන්දු වූ විට ඔහු සාක්ෂියට තබා වැරදිවලින් වැළකී සිටිනවා මිස, සිල් දෙන පුද්ගලයාගේ ශීලයෙන් කොටසක් තමන්ට ලැබෙන්නේ නැති බව අවබෝධ කර ගත යුතුය. 

සමාදන් වූ හෝ ‍පොරොන්දු වූ පරිදි, අකුසලයන්ගෙන් ඈත්ව කුසලයන්ගෙන් යුක්තව ජීවත් විය යුතුයි. එය ෙචෙතසික සීල වශයෙන් විශුද්ධි මාර්ගයේ දී හඳුන්වයි. මේවා පුරුදු පුහුණු කිරීමම පුද්ගලයාගේ දියුණුවට හේතුවේ. 

විමුක්තිය මාර්ගය ගොඩනැගී ඇත්තේ ශීල, සමාධි, ප්‍රඥා යන ත්‍රිශික්ෂා මතයි. බුදුදහමේ අනූපූර්ව ලක්ෂණ යනු එයයි. අද කෙනෙක් 
පිළිවෙත් තේරුම් නොගෙන භාවනාවම වඩති. ඉන් ලද ප්‍රගතියක් නම් නැත. භාවනා කිරීමට පෙර ශීලයෙන් ක්‍රියාකාරී විය යුතුයි. ශීලයෙන් තොර භාවනාවක් නැත. ආදී චරණය වශයෙන් සීලය හඳුන්වන්නේ ද එම නිසායි. බුදුරජාණන් වහන්සේ වදා‍ලේ 

සීලෙ පතිට්ඨාය නරො සපඤ්ඤාෙ
චිත්තං පඤ්ඤං ච භාවයං (ස.නි. දෙවතා සංයුතතය)
නැණවත් මිනිසා සීලයෙහි පිහිටා සමාධියත් (භාවනාව) ප්‍රඥාවත් වඩන බවයි. සිතෙහි කෙලෙස් පවත්නා අවස්ථා තුන විමසීමෙන් බුදු දහමෙන් සීලයට ප්‍රමුඛස්ථානය හිමි වන්නේ කුමක් නිසාදැයි අවබෝධ කරගත හැකිය.

එනම් 1. අනුසය 2. පරියුට්ඨාන 3. වීතික්කම 
මේවා මනසෙහි කෙලෙස් පවත්නා අවස්ථා හෙවත් ස්වභාවයයි, රාගය, 
ද්වේෂය, වෛරය, මාන්‍ය, කුහකකම්, ගුණමකුකම් ආදී කෙලෙස් මනසෙහි පැලපදියම් වී නිදිය ගත් ස්වරූපයෙන් පවතියි. එසේ පැවැත්ම අනුසය වශයෙන් හැඳින්වේ. අනුසය වශයෙන් පවත්නා කෙලෙස් ප්‍රඥා ශික්ෂාවෙන් වළක්වයි. යටපත් කරයි. (වීතික්ඛමප්පහාණං කිලෙසානං වීතික්ඛමපටිපක්ඛත්තා සීලස්ස) (චිත්තානු පස්සනා වැනි භාවනා තුළින් අනුසය ධර්ම නැති කිරීමට සම්මර්ශනය කරයි) අනුසය වශයෙන් පවත්නා කෙලෙස් විටෙක අලුයට ගිනි පුපුරු සේ ඇවිළෙමින් කැකෑරෙමින් හාත්පසින් නැගී සිටින තත්ත්වයකට පත් වේ. එය පරියුට්ඨාන (පරි+උට්ඨාන)වශයෙන් හැඳින්වේ. සමාධි ශික්ෂාව  පරියුට්ඨාන අවස්ථාවේ මැඩ පවත්වා ගනියි. (පරියුට්ඨානප්පහාණං පරියුට්ඨාණපටිපක්ඛත්තා සමාධිස්ස) සිත එක අරමුණක මෙහෙයවීම – පිහිටුවීම – විසිරෙන්නට නොදී තබා ගැනීම සාමධියයි. එය දියුණු කිරීම භාවනාව බැවින් භාවනා පුහුණුවෙන් හාත්පසින් නැගී සිටි කෙලෙස් අවස්ථා සමනය කර ගනියි. මේ ආකාරයෙන් පරියුට්ඨාන කෙලෙස් පාලනය කර ගන්ට බැරි නම් වීතික්කම තත්ත්වයට පත්වේ. වීතික්කම යනු ඉක්මවා යෑමයි. පිටාර ගලා යෑමයි. අභ්‍යන්තරික වශයෙන් පැවැති කෙලෙස් සමාජගතවීම නොහොත් බාහිරගත වන්නේ මේ මොහොතෙයි. මේ මොහොත පාලනය කරන්නේ -සන්සුන් කරන්නේ – සංවර කරන්නේ – වළක්වන්නේ ශීල ශික්ෂාවෙනි. (අනුසයප්පහාණං අනුසය පටිපක්ඛත්තා පඤ්ඤාය) කයින් හා වචනයෙන් සංවර නොවූ පුඟුලා නිරන්තරයෙන් ගැටුම්කාරී සමාජ පරිසරයක් ගොඩනගා ගන්නේ මේ නිසාය.  

ධර්මය දැනගත්තත් ඒවා පිළිපදින්නේ නැත්නම් එයින් ශාන්තියක් නොවේ. දැන ගැනීමත් පිළිපැදීමත් දෙඅංශයම බෞද්ධ ජීවිතයකට අත්‍යවශ්‍ය වේ. දැනීමෙනුත් (විඡජා) හැඳීමෙනුත් (චරණ) අගතැන්පත් නිසා බුදුරජාණන් වහන්සේ “විජ්ජාචර” වන සේක. මේ බුදු ගුණ තොල් මැතිරීම නොව කළ යුත්තේ පුරුදු පුහුණු කිරීමයි. සීලයෙන්ම නිවන් ද අවබෝධ කර ගත නොහැකිය. එහෙත් නිවන් මාර්ගය සාක්ෂසාක්ෂත් කිරීමට ශීලය උපනිශ්‍රය 
(ඉවහල්) වේ.

රත්මලාන ධර්ම පර්යේෂණාලයේ අධ්‍යක්ෂ හෑගොඩ විපස්සි හිමි