Home » විශේෂාංග » පරමාධිපත්‍යය වුණත් ධර්මයට යටයි

පරමාධිපත්‍යය වුණත් ධර්මයට යටයි

 

Divainaපරමාධිපත්‍යය වුණත් ධර්මයට යටයි

දේශපාලනය සඳහා ධර්මය මුසුකර ගැනීම පිළිබඳ සාකච්ඡා මාලාවේ තවත් සාකච්ඡාවකි මේ. බුදු දහමේ එන සූත්‍ර කොටස්‌ උදාහරණයකට ගෙන දක්‌වමින් මේ පිළිබඳ පැහැදිලි විස්‌තරයක්‌ ගියවර සාකච්ඡාවේදී ඉදිරිපත් කෙරිණි. බුදුන්වහන්සේ දේශනා කළ මේ දහම් කරුණු එදා දේශපාලනයට මෙන්ම අද දේශපාලනයටද වලංගු වන්නකි. සන්නස අන්තර්ජාල පුවත්පත හා එක්‌වීමෙන් ඔබේ අදහස්‌ ද සාකච්ඡාවට එක්‌ කළ හැකිය.

විපස්‌සි හිමි –

ඇත්ත වශයෙන්ම බුදුහාමුදුරුවෝ දේශනා කළ මේ දහම් කරුණුවල තවත් පැතිකඩවල් ගොඩක්‌ තියෙනවා. අපි මේ කියන්නේ රටක්‌ පාලනය කරන්න බුදුදහමේ එන සරල පැතිකඩක්‌ උපයෝගී කරගන්න පුළුවන් කියන එක. රජවරුන්ගේ ක්‍රියාදාමය අවංක වෙන්න ඕන. නැත්නං වෙන්නේ “නග්ගා රත්තං අරාජිකං” රජෙකු නැති රට නග්නය. මෙතැන කියන්නේ සංකේතාත්මක රජෙක්‌ නොවෙයි. මේ මූලධර්ම භාවිත කරන්න පුළුවන් කෙනෙක්‌.

එඩ්මන්ඩ් රණසිංහ –

දැන් ඔය සේරම අඩංගු වෙන්න යම් කිසි දර්ශනයක්‌ ඕන. බටහිරින් අප ඉගෙන ගන්නවා ප්‍රජාතාන්ත්‍රවාදය කියලා සංකල්පයක්‌. මේ ක්‍රමය තුළ පාලකයෝ අපේ සේවකයො වෙනවා. ඒ වගේ දේශපාලන දර්ශනයක්‌ බුදු දහම තුළ පෙන්නුම් කරලා තියෙනවද?

විපස්‌සි හිමි

බුදුහාමුදුරුවෝ දේශනා කලා පරමාධිපත්‍ය ජනතාව සතුයි කියලා. පාලකයාට තියෙන්නේ රට රැක ගන්න විතරයි. මහා සම්මතවාදය ගොඩනැඟෙන්නෙත් එහෙමයි. ඔහුගේ වගකීම වුණේ ජනතාවගේ පරමාධිපත්‍ය ආරක්‍ෂා කර දීම, බුදුහාමුරුවෝ දේශනා කළේ රට පාලනය කරගන්න ඕන මොන ක්‍රමයකින්ද කියන දේ සඳහා රජුට ධර්මයක්‌ තියෙන්න ඕන කියලයි. ඒක තමයි රාජ ධර්මය, රජු සතර අගතියෙන් තොර වෙන්න ඕන. මේ දේවල් සියයට සියයේ ප්‍රතිශතය තුළ නෙවෙයි. නමුත් හැකිතාක්‌ දුරට මේ දේවල් රැකගන්න ඕන. බුදුහාමුදුරුවෝ දේශනා කළා තමන් කවුද? තමන් මොනවද කරන්නේ? කියන දේ පිළිබඳ සැලකිල්ලෙන් පාලන කටයුතු කරන්න කියලා. එතකොට තමයි ජනතාවට යහපත සැලසෙන්නේ.

එඩ්මන්ඩ් රණසිංහ –

මම හිතන්නේ එතැන තමයි බෞද්ධ දේශපාලන දර්ශනය තියෙන්නේ. බුදුදහමේ ඉගැන්වෙන ආකාරයට පරමාධිපත්‍යත් ධර්මයට යටයි. පරමාධිපත්‍ය පටන් ගන්නේ ධර්මයෙන්. ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවටත් ඉහළින් ධර්මය තියෙන්නේ. ඒ විදියේ සංකල්පයක්‌ බෞද්ධ දර්ශනය තුළින් අපේ රටෙත් නිර්මාණය වෙලා තියෙනවා.

විපස්‌සි හිමි –

දර්ශනය තියෙනවා. ඒක ක්‍රියාත්මක වෙන්නේ නෑනේ. නමුත් අපේ ඉතිහාසය බලපුවාම අපට පැහැදිලිව පේනවා ඒක ක්‍රියාත්මක වුණ ආකාරය. උදාහරණයක්‌ වශයෙන් වල්පොල රාහුල හාමුදුරුවෝ මේවා ක්‍රියාත්මක කරවන්න ප්‍රබල උත්සාහයක්‌ ගත් කෙනෙක්‌. උන්වහන්සේගේ පොතක්‌ තියෙනවා “ලංකාවේ බුදු සමයේ ඉතිහාසය” කියලා. එහි 6 වැනි පරිච්ඡේදයේ මෙහෙම සඳහන් වෙනවා.

“තමන්ට බුද්ධ ආඥවට අනුකූ+ලව සිටින්නට හැකිවනු පිණිස නගරයද ඇතුළත් කොට සීමා බන්ධනය කරන්නට දේවානම්පියතිස්‌ස රජතුමා මිහිඳු මා හිමියන්ට කළ ආයාචනයෙහි වැදගත් අදහසක්‌ ගැබ්ව ඇතිවී ඇත.”

“ක්‍රි. පූ. 3 වන ශතවර්ෂයේදී එදින පටන් ක්‍රි. ව. 19 වන ශත වර්ෂයේදී සිංහල රාජ්‍ය අභාවයට ගිය දින තෙක්‌ ලාංකික රාජ්‍යයට හිමිකම් කීමට නීතියෙන් බලය ලැබුණේ බෞද්ධයකුට පමණයි. ක්‍රි. ව. 10 වන ශතවර්ෂය වන විට මේ විශ්වාසය දැඩි ලෙස තහවුරු වී පැවතියේද යත් ලංකාවේ රජු බෞද්ධයකු පමණක්‌ නොව බෝධිසත්වයකු වීමද අවශ්‍ය විය. බෝධිසත්වයන් හැර අන් කිසිවෙක්‌ ශ්‍රී ලංකාවේ රජ නොවන්නේ යෑයි ඔවුන්ට මේ විවරණය ලැබුණේ බුදුන්වහන්සේගෙන් යෑයිද මිහිඳු රජුගේ සෙල් පුවරු ලිපියෙත් සඳහන් වෙනවා.”

මෙයින් පැහැදිලි වෙනවා අපට ඉහළින් තිබිච්ච එකම මෙහෙයවීම තමයි ධර්මය කියලා. මේ රාජ්‍ය පාලනය තමයි පාලකයකුට තිබුණේ. එතැනදී බෞද්ධ සංස්‌කෘතියත් එක්‌ක ගත්තම හැම පාලකයකුම බෞද්ධයකු විය යුතුයි කියන්නේ ආගම ප්‍රචාරය කරන්න නෙවෙයි. බුදුදහමේ සියලු මූලධර්ම අනෙකුත් සියලු ජනකොටස්‌වලට අදාළව ක්‍රියාත්මක කළ හැකි නිසා. මේ දේවල් ක්‍රියාත්මක වෙච්ච සමාජයක්‌ තිබුණා. අද ඒක නෑ. මේ දේ ක්‍රියාත්මක කරන්න දේශපාලන පක්‍ෂයකට බැරිවෙයි. මේක ක්‍රියාත්මක කරන්න අලුත් බලවේගයක්‌ අවශ්‍ය වෙනවා. ඒ බලවේගය ස්‌වාධීන කණ්‌ඩායමක්‌ විය යුතුයි.

එඩ්මන්ඩ් රණසිංහ

ඔබ වහන්සේ කරපු විස්‌තරය අනුව දැන් තියෙන මේ දේශපාලන ක්‍රමය බුදු දහම අනුව යන එකක්‌ නෙවෙයි නේද? පක්‍ෂ ක්‍රමවලින් භේදය ඇතිවෙනවා. මිනිස්‌සු ඇණකොටා ගන්නවා. මරා ගන්නවා. නොයෙක්‌ දේවල් වෙනවනේ දැන්. අපි මේ පක්‍ෂ ක්‍රමය අයින් කරන්න ඕන. වෙනත් ක්‍රමයක්‌ සොයාගන්න ඕන. පාර්ලිමේන්තුව ඇතුළෙත් ගහගන්නවානේ. අද කාලේ පත්තරයක්‌ බලපුවාම තේරෙනවා ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාව ක්‍රියාත්මක වෙන්නෙ නෑ කියලා. මේ ක්‍රමය තුළ වුණත් මම හිතන්නේ බෞද්ධ දේශපාලන දර්ශනය ක්‍රියාත්මක කරන්න පුළුවන්. ක්‍රියාත්මක කරන අයගේ වරද නිසයි මේක වෙන්නේ නැත්තේ. ඉතින් ඒ වරද හදාගන්නත් ක්‍රමයක්‌ නැත්නම් මොකක්‌ද වෙන්නේ?

විපස්‌සි හිමි

වරද හදාගන්න ක්‍රමයක්‌ නැත්තෙ නෑනේ. ක්‍රමයක්‌ තියෙනවා. ලෝකෙ ඕනම දේකට ක්‍රමයක්‌ තියෙනවා. රණසිංහ මහත්තයා කීවේ දේශපාලන රටාව තුළ මේක ක්‍රියාත්මක වෙන්නෙනෑ කියලනේ. ඇත්ත වශයෙන් ම ක්‍රියාත්මක වෙන්නෙ නෑ. එහෙමනං අපට පුළුවන් වෙනාව අපි අර කලින් කීවා වගේ යම්කිසි විදිහකින් කණ්‌ඩායමක්‌ හදාගන්න.

එඩ්මන්ඩ් රණසිංහ-

බලවේගයක්‌ ඇති කරන්න ඕන.

විපස්‌සි හිමි –

ඒ බලවේගය කිසිම පක්‍ෂයකට නතු වෙන්න බෑ. අපට පක්‍ෂ නැති කරන්න බෑ. මොන පාක්‍ෂිකයෙක්‌ බලයට පත්වුණත් ඒ පාක්‍ෂිකයා නිරන්තරයෙන් දැනුවත් කරන ස්‌වාධීන මණ්‌ඩලයක්‌ මෙරට ඇතිවෙන්න ඕන. ඒ ස්‌වාධීන මණ්‌ඩලය තුළ සමාජයේ සියලුම කොටස්‌ නියෝජනය වෙන්න ඕන.

එඩ්මන්ඩ් රණසිංහ – දැන් සමාජයේ විවිධ පුද්ගලයන් මේ කණ්‌ඩායමට ඇතුළත් කරගන්න ගියොත් යම්කිසි තේරීමක්‌ කළ යුතු වෙනවා. නමුත් මං හිතන්නේ ඔබ වහන්සේලා වගේ ධර්මය ගැන දන්න ස්‌වාධීන කණ්‌ඩායමක්‌ තමයි සුදුසුම.

විපස්‌සි හිමි-

ඔව්. මොකුත්ම නැති සමාජයක ඒ වගේ කණ්‌ඩායමක්‌ වුණත් ඇති. ඇත්තටම ලොකු කණ්‌ඩායමක්‌ අවශ්‍ය නෑ. ඒ කණ්‌ඩායම කියන්නේ නිවැරැදිම දේ නම් ඒක ඕනම කෙනකුට පිළිගන්න වෙනවනේ. හැබැයි ප්‍රශ්නෙ මේකයි. මෙතෙක්‌ ඇති වෙච්ච හැම කණ්‌ඩායමක්‌ම බොහොම සත්පුරුෂ භාවයෙන් තමයි පටන් ගත්තේ. ඒත් ලාභ සත්කාර, කීර්ති ප්‍රශංසා හමුවේ මේ ඔක්‌කොම නැති වෙනවා.

දිස්‌නා බණ්‌ඩාර

හාමුදුරුවනේ ඒක මේ රටේ දේශපාලකයෝ දන්නවා. ඕනම බලවේගයක්‌ සල්ලිවටල නතු කරන්න පුළුවන් කියලා. ඒ අය විශ්වාස කරනවා. මේ නිසා මේ බලවේගය විසින් කළ යුතුම දේ වන්නේ ජනතාව දැනුවත් කරන එක නේද? මේ දේවල් මෙහෙම වෙලා තියෙන්නේ ජනතාවගේ දැනුවත් භාවය නැති නිසානෙ. දැනුවත් පිරිසක්‌ අතරින් පතර හිටියත් ඒ අයගේ හඬ එළියට එන්නේ නෑ.

විපස්‌සි හිමි-

ඔව්. එතකොට අර ස්‌වාධීන කණ්‌ඩායමේ එක වගකීමක්‌ තමයි ජනාව දැනුවත් කරන එක.

එඩ්මන්ඩ් රණසිංහ –

ඔව්. මේ විදිහට ජනතාව දැනුවත් කරනවා නම් ජනතා බලවේගයක්‌ ඇතිවෙයි. ජනතාව ස්‌වාධීන විය යුතුයි. දේශපාලකයන් පස්‌සේ නොයා යුතුයි. අද වෙන්නේ මේ දේශපාලන පක්‍ෂ ජනතාව දක්‌කගෙන යනවනේ. ඔබ වහන්සේලාට අයිතියකුත් තියෙනවා ජනතාව මේ තත්ත්වයෙන් මුදවා ගන්න.

විපස්‌සි හිමි

ඇත්ත වශයෙන්ම ඒ වගේ දෙයක්‌ අවශ්‍ය වෙනවා. දැන් මේ දේ භික්‍ෂූන් වහන්සේලා ප්‍රාදේශීය මට්‌ටමින් සිදු කරනවා. ඒත් ප්‍රශ්නය වෙන්නේ නොයෙක්‌ නොයෙක්‌ බලවේග එනවනේ.

දිස්‌නා බණ්‌ඩාර –

ඒ වගේම හාමුදුරුවනේ මේ හඬ ප්‍රමාණවත් මදි නේද?

විපස්‌සි හිමි

ඔව්. ඒක ඇත්ත.

දිස්‌නා බණ්‌ඩාර – මීට වඩා ප්‍රබල සාධක විසින් ජනතාව ඩැහැ ගන්නවා.

විපස්‌සි හිමි –

ඇත්තටම කිසිම බලවේගයකට යටත් නොවී භික්‍ෂූත්වය පිළිබඳ අභිමානයකින් කටයුතු කරන ස්‌වාධීන භික්‍ෂූන් වහන්සේලා පිරිසක්‌ මේ සඳහා නායකත්වය ගත යුතුයි.

එඩ්මන්ඩ් රණසිංහ – වෙනම සංවිධානයක්‌ විදිහට ආවොත් දේශපාලකයන් ඔය දේට විරුද්ධ වෙන්න පුළුවන්.

විපස්‌සි හිමි – ඇත්තටම ඒ වගේ දෙයක්‌ වෙයි. මොකද හැම දෙයක්‌ම බලන්නේ දේශපාලන දෘෂ්ටියකින්නේ. ඒත් ඉතිං භික්‍ෂූන් වහන්සේලා ක්‍රියාත්මක වෙන්න ඕන. උන්වහන්සේලා බොහොම ආදර්ශවත් වෙන්න ඕන. උන්වහන්සේලාගේ සිල්වත් බව ආරක්‍ෂා කර ගනිමින් මේ දේවල් සිද්ධ කරනවා නම් මේ සමාජයේ නව ප්‍රවණතාවක්‌ ඇති කරන්න පුළුවන් වේවි.

එඩ්මන්ඩ් රණසිංහ
දිස්‌නා බණ්‌ඩාර

//www.divaina.com/2009/12/06/feature08.html