Home » විමර්ශන » උඩුවේ ධම්මාලෝක හිමියන්ගේ ප්‍රකාශයට එරෙහිව සංඝාධිකරණයට යනවා

උඩුවේ ධම්මාලෝක හිමියන්ගේ ප්‍රකාශයට එරෙහිව සංඝාධිකරණයට යනවා

Maubimaබුදු රදුන් ලංකාවේ ඉපදුණු බවට සාක්‍ෂි තිබෙනවා යැයි උඩුවේ ධම්මාලෝක හිමියන් කළ ප්‍රකාශයට විරුද්ධව ශාසනවිලෝමක අය පිළිබඳ විනය සම්බන්ධව ‘උබ්බාහිකාවකින්’ අධිකරණ තීන්දුවකට එළැඹීමට කටයුතු කරන බව රත්මලානේ ධර්ම පර්යේෂණාලයේ අධ්‍යක්‍ෂ හෑගොඩ විපස්සි හිමියෝ පවසති.

‘අප උපන් මේ හෙළබිම බුදුරදුන්ගේ ජන්බුද්වීපයයි’ වැනි කොළ ගොඩවල් කියවන, අදහන ධම්මාලෝක හිමියන්ට අපේ මහාවිහාර සම්ප්‍රදාය හෙවත් භික්‍ෂු උරුමය පිළිබඳ නොවැටහීම අරුමයක් නොවන බවද විපස්සි හිමියෝ සඳහන් කරති.

උන්වහන්සේ එසේ සඳහන් කරන්නේ ධම්මාලෝක හිමියන් බුද්ධ පුත්‍රයන් දෙදෙනකු වාද කිරීම සුදුසු නෑයි විපස්සි හිමියන් කළ අභියෝගයට දුන් පිළිතුර සම්බන්ධයෙන් ප්‍රකාශයක් නිකුත් කරමිනි.

එම ප්‍රකාශය මෙසේ
‘ලංකාවේ දී බුදු උපත සිදුවූ බවට යම් සාක්‍ෂි සහිත පූජනීය ස්ථාන ඇතැයි’ ස්වර්ණවාහිනී නාළිකාවෙන් හා ‘මව්බිම’ පුවත්පත මඟින් ප්‍රකාශයට පත් කළ, විකෘති අදහස් පිළිබඳ ප්‍රසිද්ධ විවාදයකට පැමිණෙන ලෙස උඩුවේ ධම්මාලෝක හිමිට අප කළ අභියෝගය භාර නොගැනීම සම්බන්ධයෙන් බෞද්ධ ජන සමාජයේ සාතිශය සංවේගය ප්‍රකාශ කෙරේ.

එහෙත් අප සංවාදය ඉදිරියට ගෙන යන්නේ ‘සීනි බෝල’ කතා කියමින් මිථ්‍යාප්‍රලාප සමාජ ගත කිරීමේ ප්‍රයත්න ව්‍යර්ථ කිරීම පිණිසයි. මක්නිසාද යත් ලොව පහළ වූ ශාස්තෘෘන් අතරින් ඓතිහාසික හා පුරාවිද්‍යාත්මක සාධකවලින් හෙළිවන එකම ශාස්තෘෘන් වහන්සේ බුදුරජාණන් වහන්සේ පමණයි. එම නිසා අපේ රටේ පවත්නා නිර්මල ථෙරවාද බුදුදහම විනාශ කිරීමේ අන්තර්ජාතික කුමන්ත්‍රණ ජාලයට අවශ්‍ය වන්නේ එම අඛණ්ඩ සාධක ලාංකේය බෞද්ධයා ලවාම සැහැල්ලුවට, උපහාසයට ලක් කිරීමයි.

කෙසේ වුවත් මෙවැනි ශාසනවිලෝමක අය පිළිබඳ (‘උබ්බාහිකාවකින්’) අධිකරණ තීන්දුවකට එළැඹීමට කටයුතු සංවිධානය කරන බවත් සඳහන් කළ යුතුය.
බුද්ධ පුත්‍රයන් ප්‍රසිද්ධියේ වාද – විවාද හා අභියෝගයන්ට පැමිණීම නොහොබිනා ක්‍රියාවක් වශයෙන් ධම්මාලෝක හිමියන් කියා ඇත. අධර්ම, අවිනය, අශාස්ත්‍රීය, මිථ්‍යාවාද ඇති වූ කල්හි ඒවා ඛණ්ඩනය කොට සැබෑ ධර්ම විනය සමාජගත කිරීම පිණිස භික්‍ෂුන් වහන්සේ වාද – විවාද සිදු කිරීම භික්‍ෂු උරුමයයි. ඒ උරුමය ලැබී ඇත්තේ බුදුරජාණන් වහන්සේගෙන්ය. ඒ බව පායාසිරාජඤ්ඤ, කස්සප ආදී ත්‍රිපිටකාගත සූත්‍ර නිදසුන් වශයෙන් දැක්විය හැකිය. ත්‍රිපිටක ග්‍රන්ථයක් වැනි කථාවත්ථුප්පකරණයේ තිබෙන්නේ වාදවිවාදයන්ය. තවද 19 වැනි සියවසේ අගභාගයේ ඇති වූ බංකුවාදය, රාමඤ්ඤවාදය, අමරපුරවාදය, හික්කඩුවේ ශ්‍රී සුමංගල මාහිමි හා රත්මලානේ ශ්‍රී ධම්මාලෝක නාහිමි අතර ඇතිවූ නණලළවාදය, අධිමාස පාරුපන වාදත්, ඊට පසු ඇතිවූ ඔහුවාදය, තේවාදය, අභිධර්මවාදය, අන්තරාභව වාදය ආදිය ගැනවත් දැන සිටියා නම් ධම්මාලෝක හිමියන් එවැනි තො‍ෙ¼දාල් වචන කියන්නේ නැත.

‘අප උපන් මේ හෙළබිම බුදුන් ජන්බුද්වීපයයි’ වැනි කොළ ගොඩවල් කියවන, අදහන උන්වහන්සේට අපේ මහාවිහාර සම්ප්‍රදාය හෙවත් භික්‍ෂු උරුමය පිළිබඳ නොවැටහීම අරුමයක් නොවේ. ඇත්ත වශයෙන්ම වර්තමානයේ ඇතැම් භික්‍ෂුන්ගේ අත්තනෝමතික ක්‍රියාකලාප පිළිබඳ ධර්මශාස්ත්‍රීය සංවාද බිහිනොවීම නිසා මෙතරම් ශාසනික අර්බුද ඇතිවීමට හේතුවේ.

වර්තමාන කාලයේ මෙවැනි භික්‍ෂුන් වහන්සේ කාර්ය බහුලව සිටින බැවින් බුදුන් වදාළ ධර්මය හෝ අටුවා ටිකා, වංසකතා, ඉතිහාස කතා ආදිය කියවා බැලීමට වෙලාව නැත. ත්‍රිපිටක පොත් අටුවා ටීකා, ප්‍රකරණ ග්‍රන්ථ, ඉතිහාස ග්‍රන්ථ විසිතුරු අල්මාරිවල තැන්පත් කොට උදේ හවස හඳුන්කූරු, කට්ටකුමන්ජල් දුම් ඇල්ලීම පමණක් සිදුවේ. එම නිසා මෙවැනි මිථ්‍යාප්‍රලාප සමාජගතවීම වැළැක්වීම අපහසු වී ඇත. කෙසේ වුවත් මේ ප්‍රවාහයට නතුව සිටින උඩුවේ ධම්මාලෝක හිමියන්ට අනුකම්පා කළ යුතු වන්නේය.

තවද තම විහාරස්ථානය මෙරට ඕනෑ කෙනකු දන්නා ස්ථානයක් වන බැවින් ධර්මය, ඉතිහාසය පිළිබඳ දැන ගැනීමට එහි පැමිණෙන ලෙස පුවත්පතේ සඳහන් කොට ඇත. කෙසේ වුවත් රටම දන්නවා යැයි කියන පන්සලක වැඩවසන උඩුවේ ධම්මාලෝක හිමි අඩුම තරමේ බුදුරදුන් උපන් දේශයවත් නොදන්නා බව දැන් රටම දන්නා කරුණක් බවට පත්ව ඇත.

ථෙරවාද න්‍යාය, සම්‍යග් දර්ශන මාර්ගය, ත්‍රිපිටක ග්‍රන්ථ සංස්කරණය, නූතන මහාවංස සම්පාදනය වැනි ධර්ම ශාස්ත්‍රීය සේවාවන් සිදු කළ ථෙරවාද දර්ශන විශාරද, රාජකීය පණ්ඩිත ඛේමානන්ද නාහිමි අපගේ ගෝනගල ගුරුදේවයන් වහන්සේය. ඉඳුරුව ගෝනගල සද්ධර්මෝදය පිරිවෙන, කොළඹ විදේ‍යාදය පිරිවෙන් අපේ ගුරු භූමීන්ය. ඒ ගුරු භූමිවල වැඩ සිටි අකුරටියේ අමරවංශ නාහිමි, පල්ලාවෙල සද්ධාතිස්ස නාහිමි, මහාචාර්ය කලල්ඇල්ලේ සේකර නාහිමි, අග්ගමහා පණ්ඩිත ආචාර්ය බෙල්ලන ඤාණවිමල මහ නාහිමි වැනි ප¾ඩිවරුන් යටතේ ශාසනික සම්ප්‍රදාය, ධර්මශාස්ත්‍රීය ශික්‍ෂණය ලබා රත්මලාන ධර්ම පර්යේෂණාලයේ සිටින අප උඩුවේ ධම්මාලෝක හිමියන්ගේ පන්සලට ගොස් ගැටලු ලිහා ගැනීමට යෑම ‘බෙහෙත් ගැනීමට හාඩ්වෙයාර් එකකට යනවා වගේ’ වැඩක්ය. ධර්ම විනය විනිශ්චයකදී ලාභ සත්කාර, කීර්ති ප්‍රසංසා, ධනය බලය, රූපය ආදිය මිනුම් දඬු වශයෙන් ගැනීමට පෙලැඹීම පිළිකුල් සහගත ක්‍රියාවකි.

අවසාන වශයෙන් සඳහන් කළ යුත්තේ බුදුරදුන් උපන් දේශය කෙසේ වුවත් එදා බුදුරජාණන් වහන්සේට ගල් පෙරළා අපාගත වූ දෙව්දත් පරපුරේ අය බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පා වර්ෂ දෙදහස් පන්සීයකට පමණ පසු ලංකාවේ උපදිමින් සිටින බව මේ කරුණුවලින් හෙළි වන බවයි.

රෂිනි මෙන්ඩිස්

//www.mawbima.lk/86-19331-news-detail.html