Home » පුවත් පත් ප්‍රකාශන » අද තිබෙන්නේ තනිකරම ආගමික මංකොල්ලයක්

අද තිබෙන්නේ තනිකරම ආගමික මංකොල්ලයක්

VipassiThero10රටට, ජාතියට මෙන්ම සම්බුද්ධ ශාසනයට එල්ල වන විවිධ අභියෝග බලපෑම්  පිළිබඳව කොතෙකුත් අද කතා කරනවා.  විවිධ සංවිධාන පුද්ගලයන් මෙවැනි ක්‍රියාවන්ට එරෙහිව විවිධ ක්‍රියාමාර්ග ගන්න බවත් පෙනෙන්නට තිබෙනවා. ජාතික, සමාජයීය , ශාසනික ගැටලු පිළිබඳ  නිරන්තර අවධානයෙන් සහ අවබෝධයෙන් කටයුතු කරන  ඔබවහන්සේ සමාජයේ වත්මන් ගමන් මග ගැන දරන අදහස කෙබඳුද හාමුදුරුවනේ

අද සමාජය දෙස බැලූ විට සමාජයීය , ආර්ථික ශාසනික ඇතුළු සෑම  අංශයකම විවිධ පරිවර්තන  සිදුවෙමින් තිබෙනවා.  මේ අතුරින් අපේ සසුනට , දහමට එල්ල  වන විවිධ වූ  තර්ජන අභියෝග සහ බලපෑම් ගැන සිහිපත් කළ යුතු වෙනවා. මෙම තර්ජන  අභියෝග ඇතැම් අන්‍යාගමිකයන්ගෙන් මෙන්ම අපේ  සමහරුන්ගෙන් ද එල්ල වන අවස්ථා අප දැක  තිබෙනවා. මා සඳහන් කළ පරිදි  අපේම ගිහි පැවිදි සමහරුන්ගෙන් සේම අන්‍යයන්ගෙන්  සිදුවන එම අහිතකර බලපෑම්  පිළිබඳ අප අවබෝධයෙන්  අවධානයෙන් කටයුතු කළ  යුතුයි.

අපේම සමහරුන්ගෙන් නිර්මල දහමට යම් අභියෝග එල්ල වන බව ඔබ වහන්සේ සඳහන් කළා
ඔව්. බලන්න දැන් අද වර්තමානයේ රහතන් වහන්සේලා කියා ගන්න අය, තමන් විවිධ මාර්ගඵල ලැබුවායි කියාගන්න අය, ඇතැම් අවස්ථාවකදී තමන් බුදුවුණ බවටද කියාගන්නා ගිහි පැවිදි පිරිස් බහුල  කාලයක්  මේ. මෙන්න  මේ වගේ ප්‍රකාශ සහ එවැනි ප්‍රකාශ කරන පුද්ගලයන් නිර්මල දහමට  විශාල බලපෑමක් එල්ල කරනවා. එක්තරා පුවත්පතක ලිපි මාලාවක් හරහා තව කෙනෙක් මිථ්‍යා මත සමාජගත  කරගෙන යනවා. ඉතාම  භයානකයි. එම භික්ෂුව  තමන් රහත් වුණා  කියලා තමයි පවසන්නේ. ඇතැම් විට පිළිකුල් සහගත දේවල් කියන්නේ. මේ බුදු රජාණන් වහන්සේගේ දහම සූත්‍ර කියවපු  අය නොවෙයි. ත්‍රිපිටකයේ තිබෙන පර්යප්තියයි මේ විනාශ කරන්නේ. පර්යප්ති නැති වෙන කොට ප්‍රතිපත්ති නැති වෙනවා. එතකොට අවබෝධය නැති වෙනවා. ථෙරවාදී සංකල්ප  විනාශ කරන්නයි මේ හදන්නේ.

මිථ්‍යා මත නැතහොත් වැරදි මත යන්න කෙටියෙන් පැහැදිලි කළොත් අපේ හාමුදුරුවනේ
මිථ්‍යා යන්නෙහි පාලි වචනය මිච්ඡා. ඒ කියන්නේ  වැරදි ආකල්පයන්, වැරදි අදහස් යන්නයි. අද බහුල වශයෙන් මේ මිථ්‍යාවයි සමාජගත වෙමින්  තිබෙන්නේ. බලන්න එක්තරා නාලිකාවක වැඩසටහනක් තියෙනවා. ඉන් ඉතිහාසය වනසනවා. විජය රජු කියන්නේ ප්‍රභාකරන්ටත් වඩා දරුණු ත්‍රස්තවාදියෙක් කියල කියනව නම් මොන තරම් බරපතළ ප්‍රකාශයක්ද , සිංහල භාෂාව බුදුරජාණන් වහන්සේගෙන් ඇතිවුණා කියනවා නම්  කෙතරම් බරපතළ කාරණාවක්ද. සම්මුතීන් බිඳදාන්න විවිධ උපක්‍රම ක්‍රියාත්මක කරනවා. බොහෝ දෙනෙක් මේවට අහු වෙලා. පසුගිය දිනවල අපි දුටුවා ගස් පැවිදි කිරීමේ  කටයුත්තක්. එම ක්‍රියාව ගස්  රැක ගැනීමේ බොහොම සද්භාවයෙන් කළ ක්‍රියාවක්. නමුත් අදූරදර්ශීව කරන මෙම දේවලින් යහපතක් වන්නේ නැහැ. ගස් තබා තිරිසන් සතුන් වත් පැවිදි කරන්නේ බැහැනේ. මෙයින් ශාසනික උන්නතිය නොව අවනතියක් වෙනවා. බුදු දහම නමෛයි අදහන්නේ සමාජයයි. ආප්තය වශයෙන් සලකන්නේ මෙයයි. අදහන්නා විශ්වාස කරන්නා සමාජය  තමයි අදහන්නේ. විශ්වාස කරන්නේ බුදු දහම නමෛයි වැරදි ප්‍රවිෂ්ටයන්.

මිථ්‍යා මත මෙන්ම විවිධ වැරදි අර්ථකථනයන් නිසා අපේ ඇතැමුන්ගෙන් මෙන්ම  අන්‍ය අයගෙන්ද නොයෙක් හානි සිදු වන බව ඔබ වහන්සේ සිහිපත් කළා. ඒ ගැනත් යමක් සඳහන් කළොත්
හොඳයි බලන්න. අද විවිධ ප්‍රකාශ ක්‍රියාකාරකම් ඔස්සේ අපේ නිර්මල බුදුදහමට හානිවන අයුරින් ඉතා සූක්ෂම ලෙස සහ ප්‍රසිද්ධියේ නොයෙකුත් කටයුතු සිදුවෙනවා. අන්‍යාගම්වල නැති දේවල් අපේ බුදු දහමේ තියෙන සංස්කෘතික අංගත් එක්ක ඇඳාගෙන යම් අර්බුදකාරී  තත්ත්වයක් නිර්මාණය කරන්නට උත්සාහ ගන්නවා. සංඝ කියන වචනය, චිරාත් කාලයක් තිස්සේ  අපේ දහමේ මහා සංඝරත්නය හඳුන්වන්න භාවිතා කළ වචනයයි. අද අන්‍යාගමිකයන් එය භාවිතා කරනවා. මාහිමිපාණන්, සෙනසුන් , කිතුනු ශාසනාරක්ෂක මණ්ඩල, අනුනායක  , ආරාමය , “සබ්භ සුද්ධත්මනුභාවෙන” කියමින් අපේ  පාලි වචන අපේ හිත රිදෙන ආකාරයෙන් සම්මුති බිඳ හෙළමින් කොල්ල කමින් සිටිනවා.  පූජකවරු  භාෂාව පිළිබඳ ඌණතාවයකින් , දරිද්‍රතාවයකින් පෙළෙනවාද කියල හිතෙනවා. මේ දැන දැනම කරන්නේ ආක්‍රමණයක්. තනිකරම ආගමික මංකොල්ලයක්. සංඝා කුමරිය තමයි ලංකාවට ක්‍රිස්තියානි ආගම ගෙනාවේ  කියල අඹල තියෙනවා. ප්‍රබල දේශපාලනඥයෙක් ගව ඝාතන පින්කම  කියල ප්‍රකාශයක් නිකුත්  කරලා තිබුණා. පින්කම කියන වචනය කිසිම අවස්ථාවක අපේ භාෂාවේ කාටවත්  හිංසාවක්  පීඩාවක් වෙන දෙයකට යොදා ගෙන නැහැ.  දානමාන , ධර්ම දේශනා, පිරිත් පින්කම  ආදී දේ  වලට එම වචනය යොදා  ගන්නේ. මේ භාෂාමය සම්මුතීන් තමයි  බිඳින්නේ. භාෂාව සංකේත පද්ධතියක්. යම් අදහසක් නිවැරදිව  නිරූපණය කරන්න භාවිතා  කරන්නේ එයයි. මහාචාර්ය කරුණාතිලක මහතා  භාෂා පද්ධතීන් ගැන කියන දේ ඉතා වැදගත්. ධාතුන්  වහන්සේ කියන වචන පවා  අද අයුතු ලෙස භාවිතා කරන්න පටන් අරන්.

ධාතුන් වහන්සේ යනු දුරාතීතයේ පටන්ම සිංහල බොදු ජනතාව ඉතාම ගෞරවයෙන් යුතුව භාවිතා කළ වචනයක්.  අපේ හාමුදුරුවනේ ධාතුන් වහන්සේලා යන්න කෙටියෙන් අර්ථ දැක්වුවහොත් ධාතු යන වචනයෙහි විවිධ අර්ථ තිබෙනවා. ධර්මයෙහි  ධාතූන් යන වචනය ඉතා වැදගත්. බුදුරජාණන් වහන්සේ ගේ ශ්‍රී  දේහය ආදාහනය කිරීමෙන්  පසු ඉතුරු වූ නොවිසුරුණු ශාරීරික කොටස් එනම් සතර දළදාව, දෙඅකුධා, නළල් පටය වැනි සහ විසිරුණු අනික්  ධාතුන් එසේ හඳුන්වනවා. විවිධ අර්ථයන් තිබුණත් ප්‍රස්තුතයන් අනුව ධාතු වශයෙන් සලකන්නේ උත්තරීතර පූජනීය වන්දනීය ශාරීරික කොටස්. එය බෞද්ධ අර්ථකථනයයි. බුදුරජාණන් වහන්සේ පරිහරණය කරන ලද පත්‍රාව ධාතු වශයෙන් සලකන්නේ. මෙය බෞද්ධ සම්ප්‍රදායයි. එකල තිබුණ  වෙනත් ආගමකවත් මේ වැනි වචන තිබුණේ නැහැ. වෙන ආගමක කිසිම ලෙසකින් ධාතු වන්දනාව  ගැන සඳහන් වෙන්නේ නැහැ. බුදු දහමේ චිරාත් කාලයක් භාවිතා වූ දේවල් මේ . උදාර වූ ගුණවාචක ස්වභාවයන් සම්මුතීන්  බිඳ දමන්නයි මේ හදන්නේ . ගැටුමක් ඇති කරන්නයි මේ උත්සාහ කරන්නේ.

ඔබ වහන්සේ දකින විදියට මේ අර්බුදයන් සඳහා විසඳුම් කවරේද?
මේ එළි දකින පරස්පර විරෝධතාවයන්  බුදු දහම කියන්නේ  කුමක්ද කියා කල්පනා නොකිරීම නිසා සිදුවන දේවල්. චිරාත් කාලයක් තිස්සේ පැවැතියා වූ අපේ අනන්‍යතාවයන් රැක ගැනීමට උත්සාහ ගත යුතුයි. බුදු දහමේ  තියෙනවා ස්වලක්ෂණ. ථෙරවාද න්‍යායන්හි දැක්වෙන ඒවා අපි ආරක්ෂා  කළ යුතුයි. වග කිවයුතු  මහා සංඝ රත්නය සහ විද්වතුන්ට මේ සම්බන්ධයෙන්  කතා කරන්නට වෙනවා. ඒවා කතා කරන කොට ආගම බේදය ඇවිස්නෙවා කියයි. මේවා පිළිබඳ  කතා කරලා අනාගත විපත්තීන් වළක්වා ගන්න වර්තමානයේ කටයුතු කළ යුතුයි.

සාකච්ඡා කළේ – ජනක හෙට්ටිආරච්චි

 

//www.lakbima.lk/index.php?option=com_content&view=article&id=32801:2014-01-27-10-44-08&catid=58:urumaya&Itemid=80