Home » පුවත් පත් ප්‍රකාශන » භික්ෂුවක් විදියට පෙනී සිටිමින් ශාසනික සම්ප්‍රදාය විනාශ කරනවා

භික්ෂුවක් විදියට පෙනී සිටිමින් ශාසනික සම්ප්‍රදාය විනාශ කරනවා

Maubima

හාමුදුරුවනේ ඇත්ත වශයෙන්ම භික්ෂුවකට උපන් දිනය සැමරීම කැපයිද?

භික්ෂුන් වහන්සේ නමකට පටහැනි දෙයක් තමයි උපන් දින සමරන එක. නමුත් භික්ෂුවක් තමන්ගෙ උපන් දිනේට පින්කමක් කළාට කමක් නෑ. ඒත් අද ඇතැම් භික්ෂුන් උපන් දින සමරන්නෙ බුදුන් වහන්සේ දේශනා කරපු ධර්මය අනුව නෙවෙයි. සමාජයීය ධර්මය අනුව. සමාජයේ උපන් දින සමරන හැටි දැකල කේක් කපන්නෙ ඒකයි.

• පසුගිය දවසක සිරි සමන්තභද්‍ර ස්වාමින් වහන්සේ තමන් වහන්සේගෙ උපන් දිනය සැමරුව ආකාරය නිවැරැදිද?
ඔය දානයක් කියල දුන්නු ක්‍රමය වැරැදියි. මේව ගැන කතා කරලා වැඩක් නෑ. කොච්චර රටේ මිනිස්සු සැබෑ ධර්මානුකූල දාන දුන්නත් ප්‍රසිද්ධ වෙන්නෙ නෑ. ඒත් මේව විනය විරෝධී ශාසන විරෝධී ක්‍රියාවක් නිසා තමයි ප්‍රසිද්ධ වෙන්නෙ. ඇත්තටම එයාට ඕන බුදු දහමට නිග්‍රහ කරන්න. මේවා බුදුදහමෙ අනුමත දේවල් නෙවෙයි.

• ඒත් උන්වහන්සේ ඒක බුද්ධ කාලයේ පිඬු සිඟා වැඩීම හා සමානයි කියනවා?
භික්ෂුවකට ‘නිස්සය’ තියෙනවා. පැවිද්ද තියෙන්නෙ පිඬු සිඟා වැඩීමට. බුදුන් සමයේ ගෙන්ගෙට වැඩම කරල දානය සොයාගත්ත එකටයි පිඬු සිඟා වැඩීම කිව්වෙ. මෙතැන තියෙන්නෙ වෙන දෙයක්. පිඬුසිඟා වඩින්නෙ අවශ්‍ය ප්‍රමාණයට ආහාර ලබාගෙන වළඳන්න. එතකොට පාත්තරේ හිස් වෙන්න ඕන. ඒත් අනවශ්‍ය ප්‍රමාණයට ආහාර රැස්කරලා කල්තබාගෙන කරන්නෙ පිණ්ඩපාතයක් නෙවෙයි.

• අසදෘශ මහා දානය කියලයි ඒ උපන් දින දානය උන්වහන්සේ හැඳින්නුවේ?
අසදෘශ මහා දානයට මේ කිසිම දෙයක් කිසිසේත්ම සමාන වෙන්නෙ නෑ. මම නමවත්් කියන්න අකැමැති සිවුරක් පොරවගත්තු භික්ෂුවක් යැයි කියා ගන්නා වූ පුද්ගලයා කරන වැඩේ අපේ ශාසයට කිසිසේත්ම සුදුසු නෑ.

• සමන්තභද්‍ර හිමියන් පිරිකර පූජා කරද්දි වඳිනවට කැමැති වුණේ නෑ. බුදු දහමේ පිරිකර පූජාවෙන් පසු වන්දනා කිරීමෙන් අදහස් වෙන්නේ මොකක්ද?
පිරිකර පූජාවෙන් පසු වඳින්නත් පුළුවන්. නොවැඳ ඉන්නත් පුළුවන්. ඒත් එපා කියලා අපිට කියන්න බෑ. එයා කවුද එහෙම කියන්න. මට කියන්න තියෙන්නෙ මෑත භාගයේ ශාසනය විනාශ කරන්න පහළ වුණු පුද්ගලයෙක් තමයි ඔය. අවුරුදු 2,500ක් තිස්සෙ පැවැතුණු බුද්ධ ශාසනික සම්ප්‍රදායම භික්ෂුවක් නාමයෙන් පෙනී සිටිමින් අමු අමුවේ විනාශ කරනවා.

• භික්ෂුවක් සමරන උපන් දිනයක කේක් ගෙඩිය කාන්තාවක අතින් කැපීම සුදුසුද?
කිසිසේත්ම සුදුසු නෑ. මේක කොහොමත් සම්පූර්ණයෙන්ම ආගම් විරෝධී ක්‍රියාවක්. ඒවට තවතවත් උල්පන්දම් දීල එයාව තවත් උඩඟු කරන එකෙන් ඒ අයත් කරගත්තෙ අපායගාමී අකුසලක්.

• ඔබ වහන්සේට මේ ගැන අවසාන වශයෙන් කියන්න තියෙන්නෙ මොකක්ද?
මට කියන්න තියෙන්නෙ මේ පිටිදුවේ සිරිධම්ම හෙවත් සමන්තභද්‍ර කියන පුද්ගලයා කරන පිස්සු උමතුභාවයට තුන් නිකායෙ මහනායක හාමුදුරුවරු පියවරක් නොගත්තොත් මහා විනාශයක් වෙන්නෙ. ස්ත්‍රිය, සුරාව, වෛශ්‍යාව කියන සංස්කෘතියක් බිහිකරලා නීලපට දර්ශනයක් බිහිවීම නැත්නම් නුදුරේදීම වෙයි මේ දේවල් මේ විදියට වුණොත්. ඒ නිසා ඔය පුද්ගලයා කරන පිස්සු වැඩ ගැන කතා කර ඉඳලා වැඩක් නෑ.
චාමිකා මුණසිංහ

//mawbima.lk/1-81134-news-detail.html